Sunday, October 27, 2019

මිථුන, කන්‍යා ලග්න හිමියන්ට ලංකා පොළවේ වාසිය වැඩිද ?



බුධ ග්‍රහයා සහ ශ්‍රී ලංකා භූමිය අතර තිබෙන විශේෂ බැඳීම කුමක්ද? ශ්‍රී ලංකාවේ බිහිවූ අගමැතිවරු ජනාධිපතිවරු බොහොමයක් දෙනා මිථුන හා කන්‍යා ලග්න හිමියන්ය. ඒ ගැන පැහැදිලි කරන්න නම් මුළටම යා යුතුය. ඒ කියන්නේ...නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයාගේ සිට වර්තමාන ජනාධිපතිවරයා තෙක් සියලු රාජ්‍ය නායකයින්ගේ ලග්නය සෙවිය යුතුය.

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වූයේ ඩී.එස් සේනානායක මහතාය. එතුමා මෙළොව එළිය දුටුවේ 1884 ඔක්තෝබර් මස 20 වෙනිදාය. ඒ, බුධට අයත් මිථුන ලග්නයෙනි. බුධගෙන් යෙදුණු භද්‍ර යෝගය නම් වූ පංච මහා යෝගයද ඇතුවය. එහෙම නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා මිථුන ලග්න හිමියෙකි.

නිදහස් ශ්‍රී ලංකාවේ දෙවැනි අගමැතිවරයා ඩඩ්ලි සේනානායක මහතාය. 1911 ජූනි මස 19 වෙනිදා උපත ලැබූ එතුමා කන්‍යා ලග්න හිමියෙකි. කන්‍යා ලග්නය බුධට හිමි ලග්නයකි. ඩඩ්ලි සේනානායක මහතා තෙවරක් අගමැති පදවියට පත්විය.

ශ්‍රී ලංකාවේ තෙවැනි අග්‍රාමාත්‍යවරයා වූයේ ජෝන් කොතලාවල මහතාය. 1895 අප්‍රේල් 04 වෙනිදා මෙලොව එළිය දුටු ජෝන් කොතලාවල මහතාගේ ලග්නය වූයේ බුධට අයත් කන්‍යා ලග්නයයි.

මේ අනුව 1956 තෙක් ශ්‍රී ලංකාව පාලනය කරනු ලැබුවේ බුධට අයත් මිථුන හා කන්‍යා ලග්න හිමියන්ය. 1956 මහ මැතිවරණයෙන් ජය ලබා අගමැති තනතුරට පත් එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා කුම්භ ලග්න හිමියෙකි. 

1959 සැප්තැම්බර් මස 26 වෙනිදා බණ්ඩාරනායක මහතා දැයෙන් සමුගත් අතර, අග්‍රාමාත්‍ය තනතුරට පත් වූයේ විජයානන්ද දහනායක මහතාය. 1902 ඔක්තෝබර් මස 22 වෙනිදා උපත ලැබූ විජයානන්ද දහනායක මහතා කන්‍යා ලග්න හිමියෙකි.

විජයානන්ද දහනායක මහතාගෙන් පසුව නැවත අගමැති තනතුරට පත්වන්නේ කන්‍යා ලග්නය හිමි ඩඩ්ලි සේනානායක මහතාය.

ඩඩ්ලි සේනානායක මහතාගේ ධූර කාලය මාස කීපයකට සීමා වූ අතර සිරිමාවෝ ආර්.ඩී බණ්ඩාරනායක මැතිනිය අගමැති තනතුරට පත් වූවාය. බණ්ඩාරනායක මැතිනිය බුධට අයත් කන්‍යා ලග්නයෙන් උපන්නියකි. 

1965 වසරේදී නැවත බලයට පත්වන්නේ බුධ හිමි කන්‍යා ලග්නයෙන් උපන් ඩඩ්ලි සේනානායක මහතායි. අනතුරුව, 1970 දී බලයට පත්වන්නේ බුධ හිමි කන්‍යා ලග්නයෙන් උපන් බණ්ඩාරනායක මැතිනියයි.

1977 වසරේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති තනතුරට පත් වූයේ ජේ.ආර් ජයවර්ධන මහතාය. 1906 සැප්තැම්බර් මස 17 වෙනිදා උපත ලැබූ ජේ.ආර් ජයවර්ධන මහතා බුධට අයත් කන්‍යා ලග්නයෙන් උපත ලැබූවෙකි. ජේ.ආර් ජයවර්ධන මහතා 1988 වසර තෙක් ජනාධිපති ධූරය හෙබවූ අතර එතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ය.

මේ අනුව 1959 වසරේ පටන් 1988 වසර තෙක් මෙරට පාලන බලය හිමි කරගෙන ඇත්තේ බුධට අයත් කන්‍යා ලග්න හිමියන්ය.1988 වසරේ ජනාධිපති තනතුරට පත් වූයේ කුජට අයත් මේෂ ලග්නය හිමි රණසිංහ ප්‍රේමදාස මහතා යි.

රණසිංහ ප්‍රේමදාස මහතා 1993 මැයි මස පළමු වෙනිදා හදිසියේ දැයෙන් සමුගත් අතර ජනාධිපති පදවිය හිමි වූයේ ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතාට ය. 1916 පෙබරවාරි 15 වෙනිදා උපන් ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා බුධට අයත් මිථුන ලග්න හිමියෙකි. වසර එකහමාරක කාලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරය හෙබවූ විජේතුංග මහතා 1994 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණු අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති ධූරයට පත් විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සඳුට අයත් කටක ලග්නයෙන් උපන්නියකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පස් වැනි විධායක ජනාධිපති ධූරයට පත් වන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. එතුමා බුධට අයත් කන්‍යා ලග්න හිමියෙකි. මහින්ද රාජපක්ෂ මහතා වසර දහයක් ජනාධිපති ධූරය හෙබවූ අතර 2015 වසරේ ජනාධිපතිවරණයෙන් ජයගනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන මහතාය.  එතැන්  පටන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය හොබවන මෛත්‍රීපාල සිරිසේන මහතා සිකුරුට අයත් තුලා ලග්න හිමියෙකි.

2019 නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ද මිථුන ලග්න හිමියෙක් ඉදිරිපත් වී සිටියි. ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා මිථුන ලග්න හිමියෙක් වේ දැයි දැන ගැනීමට තව දින කීපයක් ඉවසා සිටිය යුතුය.

1948 නිදහස ලබාගත් මොහොතේ උදා වී පැවතියේ කුම්භ ලග්නය බැවින් වැඩි වශයෙන් ශ්‍රී ලංකා කේන්දරය විග්‍රහ කරනු ලබන්නේ කුම්භ ලග්නය මුල් කරගෙනය. ශ්‍රී ලංකා ජනරජ කේන්දරය විග්‍රහ කෙරෙන්නේ රවි හිමි සිංහ ලග්නය මුල් කරගෙනය.ඒ, 1972 මැයි 22 වෙනිදා ජනරජය පිහිටුවනු ලැබූ මොහොත මුල් කරගෙනය. බ්‍රිතාන්‍යයන් විසින් පහතට හෙළනු ලැබූ ශ්‍රී ලංකා ජාතික කොඩිය මහනුවරදී නැවත ඔසවනු ලැබුවේ 1948 පෙබරවාරි මස 12 වෙනිදා රාත්‍රී 08.30 ට බව සඳහන් වෙයි. ඒ මොහොතට අනුව උදා වී පැවති ලග්නය බුධ හිමි කන්‍යා ලග්නය යි.
කෙසේ වූවද නිදහස් ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වී ඇති රාජ්‍ය නායකයින් අතරින් වැඩි පිරිසක් මිථුන හා කන්‍යා ලග්න හිමියන් බව පැහැදිලිය.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
සංජීව කුළුපන බණ්ඩාර 

Friday, October 18, 2019


  වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරඟ වදින ජනාධිපතිවරණය ලෙස මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගතව ඇතැයි කියැවේ. ඒ අතරින් වැඩි ජනතා අවදානයක් යොමුව ඇත්තේ ප්‍රධන දේශපාලන පෙරමුණු නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් වෙතට ය. ඒ අනුව, සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක යන මහත්වරු තම නාමයෝජනා පත්‍ර භාරදුන් මොහොත ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණයි.

මුහුර්ථය යනු මොහොතයි. ශුභ මුහුර්ථය යනු ශුභ මොහොතයි. යම් කිසි විශේෂ කාර්යයකට අතගසනු ලබන මොහොත ශුභ මොහොතක් වන්නට නම් ඒ මොහොතේ විශ්ව ගුණාංග වැඩි ප්‍රමාණයක් එක් රැස්ව, තමන්ටත් තමන් විසින් සිදුකරන කාර්යයටත් හිතකර විශ්ව ශක්තිය ක්‍රියාත්මකව පවතින මොහොතක් විය යුතුය.

ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව ශුභ මුහුර්ථයක් පිළියෙළ කරගැනීමේදී විමසිලිමත් විය යුතු කරුණු රාශියකි. මඟහැරිය යුතු දෝෂ ගණනාවකි. සියලු ගුණාංගවලින් සමන්විත හෙවත් සර්වතෝභද්‍ර මුහුර්ථයක් සෑදීම දෙවියන්ටවත් කළ නොහැකි බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. ශුභ මුහුර්ථ පිළියෙළ කිරීම හෙවත් ශුභ නැකත් සෑදීම ඉතාමත් දුෂ්ඛර, ගැඹුරු කටයුත්තක් බව එයින් පැහැදිලි වේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට නියමිතව තිබුණේ 2019 ඔක්තෝබර් මස 7 වෙනි සඳුදා ය. පළමුව මෙම දිනයේ ගුණ දොස් විමසා බලමු. 2019 ඔක්තෝබර් මස 7 වෙනි සඳුදා දින ප.ව. 05. 29 තෙක් පැවතියේ රවිට අයත් උතුරුසල නැකතයි. උතුරුසල නැකත යනු සුබ කටයුතු සඳහා යොදා ගැනෙන ඉතාමත් යහපත් නැකතකි. උතුරුසල වනාහි රක්ත වර්ණ, ස්ත්‍රී ලිංග, ඌර්ධව මුඛ, වායෝ භූත නැකතක් බවත්, සියලු සුබ කටයුතු ආරම්භ කිරීම සඳහා යෝග්‍ය නැකතක් බවත් ජ්‍යොතිෂයේ සඳහන් වේ. මෙදින ප.ව. 12. 42 තෙක් පැවතියේ පුර නවවක තිථිය යි. සුකර්ම යෝගයද, කෞලව කරණය ද උදාව පැවති අතර පොදුවේ ගත් කළ මෙම දිනය යහපත් දිනයක් බව පැවසිය හැකිය. මෙදින පැවති උතුරුසල නැකත සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම නැකතට අනුව පරම මෛත්‍රී කාණ්ඩයේ නැකතකි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම නැකතට අනුව ක්‍ෂේම නැකත් කාණ්ඩයට ඇතුළත් නැකතකි. අනුර කුමාර දිසානායක මහතාගේ ජන්ම නැකතට අනුව ජන්ම නැකත් කාණ්ඩයට අයත් නැකතකි. මේ අනුව ඔක්තෝබර් 7 වෙනි සඳුදා දිනය පොදුවේ අපේක්ෂකයින් තිදෙනාටම යහපත්ය.

යම් සුබ කටයුත්තක් ආරම්භ කරන අවස්ථාවේ උදාවන ලග්නය කේන්ද්‍ර කරගත් ග්‍රහ බලය අතිශයින් වැදගත්වේ. තත්කාල කේන්දරය යනු මෙම මොහොතේ උදාවන ලග්නය කේන්ද්‍ර කරගත් ග්‍රහ බලයයි. එය තමන්ගේ ජන්ම ග්‍රහ බලයට අනුව යහපත්, වාසනාවන්ත, ජයග්‍රාහී ග්‍රහ බලයක් විය යුතුය.

සජිත් ප්‍රේමදාස මහතා තම නාමයෝජනා පත්‍රය භාරදුන්නේ පෙ.ව 10. 04 ටයි.මේ මොහොත වන විට වෘශ්චික ලග්නයත්, ධනු නවාංශකයත්, උතුරුසල නැකතේ 3 වෙනි පාදයත් සටහන්ව පැවතුණි. තත්කාල කේන්දර සටහනේ ගුරු පළමු භාවයේය. ශනි, කේතු දෙවැනි භාවයේය. සඳු තෙවැනි භාවයේය. රාහු අටවැනි භාවයේය. කුජ,රවි එකොළොස්වැනි භාවයේය. බුධ, සිකුරු දොළොස්වැනි භාවයේය.  අදාල මොහොතේ ගුරු ලග්නගතවීම දෝෂ භංග කරවන පිහිටීමකි. එමෙන්ම රාජ්‍ය කාරක රවි ලග්නාධිපති සමඟ එකොළොස්වැනි භාවයේ තැන්පත් වීමද යහපත්ය. අටවැන්නාධිපති බුධ දොළොස්වැනි භාවයේ තැන්පත් වීම විපරිත රාජ යෝගයකි. භාග්‍යස්ථානාධිපති සඳු තෙවැනි භාවයේ තැන්පත්ව  භාග්‍යස්ථානාය දැකීමද ඉතාමත් යහපත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා තම නාමයෝජනා පත්‍රය භාරදෙන ලද්දේ පෙ.ව 10. 16 ට ය.මේ මොහොත වන විට උදාවී පැවතියේද වෘශ්චික ලග්නය යි. එබැවින් තත්කාල කේන්ද්‍රය පෙර විග්‍රහ කළ අයුරින්ම පැවති බැවින් නැවත විග්‍රහ කිරීම අවශ්‍ය නොවේ.

අනුර කුමාර දිසානායක මහතා තම නාමයෝජනා පත්‍රය භාරදෙන ලද්දේ පෙ. ව 09. 37 ට ය. ඒ මොහොතේදීද තත්කාල ලග්නය වෘශ්චික වූ අතර ග්‍රහ තත්වය පෙර විග්‍රහ කළ ආකාරයටම සටහන්ව පැවතුණි.

සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා පත්‍රය භාරදෙන ලද්දේ රවි කාල හෝරාවේ, රවි පංචම කාල හෝරාවේ, සිකුරු සූක්ෂම කාල හෝරාවේදී ය. රජ්‍යකාරක රවිගේ කාල හෝරාව හා පංචම කාල හෝරාව යොදාගැනීම ඉතාමත් යහපත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා තම නාමයෝජනා පත්‍රය භාරදෙන ලද්දේ රවි කාල හෝරාවේ, සඳු පංචම කාල හෝරාවේ, ශනි සූක්ෂම කාල හෝරාවේදී ය. රවි කාල හෝරාවේ, සඳු පංචම කාල හෝරාව යොදාගැනීම යහපත්ය. සෙනසුරුගේ සූක්ෂම කාල හෝරාව යොදාගැනීම සුබදායක නොවුණත් රවි කාල හෝරාවේ, සඳු පංචම කාල හෝරාව යොදාගැනීම හේතුවෙන් ශනි සූක්ෂම කාල හෝරාවේ අසුබතාවය දුරුවේ.

අනුර කුමාර දිසානායක මහතා තම නාමයෝජනා පත්‍රය භාරදෙන ලද්දේ කුජ කාල හෝරාවේ, සිකුරුගේ පංචම කාල හෝරාවේ, සිකුරු සූක්ෂම කාල හෝරාවේදී ය. තරඟ සඳහා ඉදිරිපත් වීමට කුජ හෝරාව යහපත් බැවින් කුජ කාල හෝරාව යෙදී තිබීම යහපත්ය. එහි සිකුරු පංචම කාල හෝරාවේ සිකුරු සූක්ෂම කාල හෝරාව යෙදී තිබීම ද යහපත්ය.

ශුභ මුහුර්ථ සැදීමේ ක්‍රම දෙකක් පිළිබඳව ජ්‍යොතිෂයේ සඳහන් වේ. ඒ, මහා නක්ෂත්‍රය හා චූල නක්ෂත්‍රය යනුවෙනි. ඉහත කරුණු දක්වන ලද්දේ මහා නක්ෂත්‍රය අනුවය. චූල නක්ෂත්‍රය අනුව, අපේක්ෂක මහත්වරුන්ගේ නමට, නැකතට හිමි පක්ෂීන්ගේ බල දුබලතාවය ද විග්‍රහ කිරීම වැදගත් වේ.

නාමයෝජනා පත්‍රය භාරදෙන ලද අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම නැකතට හිමි කුක්කුට පක්ෂියාගේ නිදි අවස්ථාව උදාවී පැවතුණි. පක්ෂියාගේ නිද්‍රා අවස්ථාව අසුබ වූවද එහි සූක්ෂම රජ අවස්ථාවේ ඇති සූක්ෂම රජ අවස්ථාව දී තිබීම යහපත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා පත්‍රය භාරදෙන ලද අවස්ථාවේ ජන්ම නක්ෂත්‍රයට හිමි මයුර පක්ෂියාගේ මර අවස්ථාවේ සූක්ෂම රජ අවස්ථාවේ අති සූක්ෂම රජ අවස්ථාව යෙදී තිබුණි. පක්ෂියාගේ මර අවස්ථාව අසුබ වූවද සූක්ෂම රජ අවස්ථාවේ ඇති සූක්ෂම රජ අවස්ථාව දී තිබීම යහපත්ය.

අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා පත්‍රය භාරදුන් අවස්ථාවේ ජන්ම නැකත හිමි කුක්කුට පක්ෂියාගේ රජ අවස්ථාවේ සූක්ෂම මර අවස්ථාවේ අති සූක්ෂම රජ අවස්ථාව යෙදී තිබුණි. පක්ෂියාගේ රජ අවස්ථාවත්, අති සුක්ෂම රජ අවස්ථාවත් දී තිබීම යහපත්ය.

චූල නක්ෂත්‍රයේ සිවලිත මුහුර්ථයන්ට අනුව සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා පත්‍රය භාරදෙන ලද්දේ අභිජිත් නම් වූ මුහුර්ථය දී තිබුණු අවස්ථාවේදීය. අභිජිත් මුහුර්ථය සියලු සුබ කටයුතු සඳහා යෝග්‍ය, ඉතාමත් යහපත් මුහුර්ථයකි.

ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා පත්‍රය භාරදෙන ලද අවස්ථාවේදී ද දී තිබුණේ අභිජිත් මුහුර්ථය යි.

අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා පත්‍රය භාරදෙන ලද අවස්ථාවේ දී තිබුණේ තුරදේව මුහුර්ථය යි. අභිජිත් මුහුර්ථය තරමට බලවත් නොවූවද එය යහපත් මුහුර්ථයක් ලෙස සැළකේ.

මේ අනුව බලන විට ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා තම නාමයෝජනා පත්‍ර භාරදුන් අවස්ථාවන් තුනම ජ්‍යොතිෂයට අනුව යහපත්ය. නියම කරන ලද දිනයකදී, නියමිත සීමාවක් තුළදී ශුභ මුහුර්ථ තෝරාගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ.

ජනාධිපතිවරණයට මාසයකට අසන්න කාලයක්‌ ඉතිරිව තිබේ. මෙම කාලසීමාව තුළ දේශපාලන පිටියේ බොහෝ වෙනස්කම්, නොයෙක් පෙරැළි සිදුවිය හැකිය. අවසානයේ මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා තේරී පත්වනු ඇත. ඒ ජනතා ඡන්දයෙනි. ජනතා ඡන්දයෙන් රටේ නායකත්වයට පත්වීමට නම් වාසනා බලයත්, රාජයෝග බලයත් තිබිය යුතුය. ඒ සම්බන්ධයෙන් නුදුරු දිනෙක කතා කරමු.



Monday, July 15, 2019



ජ්‍යොතිෂය හැදෑරූවෝ බොහෝ ය. හදාරන්නන්ද එමට ය. ජ්‍යොතිෂය හදාරන සියල්ලන්ටම පලාපල පැවසිය නොහැක. පලාපල පැවසීම ජ්‍යොතිෂය ඉගෙනීමෙන් පමණක් කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා සාංසාරික පුරුද්දක් අවශ්‍ය ය. සසර පුරුද්ද ඇති පුද්ගලයාට ජ්‍යොතිෂය අල්ලා ගැනීම මහ ලොකු වැඩක් නොවේ.

ජ්‍යොතිෂ පොත පත හා උපාධි සම්බන්ධයෙන් නම ගිය ආයතනයක සිසුවියක් කාලයකට පෙර මා හමුවීමට පැමිණියා ය. මගෙන් පලාපල අසා දැනගත් ඇය පවුලේ සියලු දෙනාගේ කේන්දරත් මා වෙතින් පරීක්ෂා කරගත්තා ය. " අපේ සර් ජ්‍යොතිෂය ඉගැන්නුවට පලාපල කියන්න දන්නෙ නැහැනෙ..." ඒ ඇය නිතර පැවසූ කාරණය කි.

ජ්‍යොතිෂය යනු ඉගැන්විය හැකි, ඉගෙන ගත හැකි ශාස්තරයකි. එසේ වූවද, පලාපල කථනය සහ අනාවැකි පැවසීම ඉගැන්විය හැකි හෝ ඉගෙන ගත හැකි ශිල්පයක් නොවේ.

පලාපල පැවසීමේදී ඉෂ්ට දේවතාවුන්ගේ පිහිට ලබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය. ඇතැමුන් කේන්දරය පීරා ඉෂ්ට දේවතාවා සොයන බව ද නොරහසකි. කේන්දරය තුළ ඇති ඉෂ්ට දේවතාවෙක් නැත. ඉටු දෙවියන් වැඩ සිටින්නේ තමා තුළම ය. ඉටු දෙවියෝ නම් තමන්ගේ උප විඥානයයි. නැතිනම් යටි සිත යි. උප විඥානයට කිසිවක් අමුතුවෙන් ඉගැන්විය යුතු නැත. උප විඥානක මනසේ ඉන්ද්‍රජාලික හැකියාව අප මෙලොව ජනිත වන්නට පෙර, පල්ලි, පන්සල්, කෝවිල් පවතින්නට පෙර සිටම තිබුණේය. ඉටු දෙවියන්ට සම කළ හැකි වෙනත් බලවේගයක් විශ්වය තුළ නැත.

" අපි නිහඬ වෙමු. දෙවියන් හෙමින් මුමුණනු ඇසෙන්නේ එවිට ය " යනුවෙන් අගනා කියමනක් තිබේ. සමාධිගත මනසකින් මිස කලබලකාරී මනසකින් පලාපල පැවසිය නොහැක. අද කාලයේ බොහෝ දෙනා කටයුතු කරන්නේ සමාධිගත වනවා තබා, කෙනෙක් දුරකතථනයෙන් පවසන දෙයක් හෝ පැහැදිලිව අසා ගැනීමට නොහැකි තරමේ ඝෝෂාකාරී, කලබලකාරී පරිසරයන් තුළ ය.

කේන්දරය තුළ ග්‍රහ තාරකාවන්ගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීමේදී, බැසිය යුතු අවසන් විනිශ්චය ඉතාමත් ආශ්චර්යවත් ලෙස දැනුම් දෙන්නේ, සමාධිගත චිත්තය තුළ වෙසෙන දෙවියන් විසිනි. අතීතයේ ජ්‍යොතිෂ කටයුතුවල නියැලුණු මුතුන් මිත්තන්ගේ දක්ෂතා පිළිබඳව අද ද ඉඳ හිට අසන්නට ලැබේ. ඔවුන්ගේ මානසික සංයමය, අධ්‍යාත්මික ශක්තිය, චිත්ත සමාධිය ඊට බෙහෙවින් ඉවහල් වූවාට කිසිම සැකයක් නැත. ඊට සරිලන අන්දමේ නිස්කලංක, ස්වභාවික පරිසරයක්ද ඔවුන්ට තිබුණි.

සසර තුළ පුරුදු පුහුණු කළ සියලු දේ උප විඥානය තුළ නොනැසී පවතින අතර, තමන් නියැලෙන ක්ෂේත්‍රය ට අදාල විශේෂඥ දැනුම උප විඥානය තුළින් මතුකර ගන්නෝ ක්ෂේත්‍රය තුළ උපරිම සාර්ථකත්වයට පත් වෙති.වෛද්‍ය විද්‍යාව, සංගීතය, ගායනය, කථිකත්වය, උපදේශනය, ව්‍යාපාර ආදී කුමන ක්‍ෂේත්‍රයක වූවද විශේෂඥ දැනුම ලබාදීමේ ආශ්චර්යවත් හැකියාව උප විඥානය සතුව පවතී. සෑම කටයුත්තක්ම භාවනාවක් යැයි පවසන්නේ ඒ නිසාය. අවාසනාවට වර්තමානයේ බොහෝ දෙනා අඩුම අවදානය යොමු කරන්නේ 'සිත' පිලිබඳව ය.

සිදුවෙමින් පවතින හා සිදුවීමට නියමිත අනේක විධ සිදුවීම් පිලිබඳව විස්තර කථනය කිරීම සුළු පටු කාර්යයක් නොවේ.සමාජ යහපත පිලිබඳව බලවත් හැඟීමෙන් යුතුව, හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමෙන් තොරව යටි සිතේ ශක්තිය අවදි කරගැනීම දුෂ්කර ය. යටි සිත යනු මූලධර්මයකි. විශ්ව ව්‍යාපි බලවේගයක ප්‍රකාශනයයෙකි. ඉටු දෙවියන් යනු උප විඥානය හෙවත් යටි සිත බැවින්, හෘද සාක්ෂිය ට එරෙහිව කටයුතු කරන කවරෙකුට වූවද සෘණ ප්‍රතිපල භුක්ති විඳීමට සිදුවේ. එවන් පුද්ගලයින් උන්හිටි ගමන් අමාරුවෙ වැටෙන්නේ ශාස්ත්‍රයට ද බරපතල හානි ගෙන දෙමිනි.

ජ්‍යොතිෂය සම්බන්ධයෙන් කිසිවක් නොදැන පලාපල පවසන අය පිළිබඳව ද ඇතැම් විට අසන්නට ලැබේ. මා දන්නා එක්තරා කාන්තාවක් කාලයක් තිස්සේ හඳහන් බැලීම සිදුකරගෙන ගියා ය. ඇය ජ්‍යොතිෂය ගැන එතරම් දැනීමක් තිබුණු තැනැත්තියක් නොවුණ ද, නිවැරදිව පලාපල පැවසුවා ය. ඇයගෙන් පලාපල දැනගැනීම සඳහා උපන් වේලාව රැගෙන යාම ප්‍රමාණවත් නොවුණු අතර කේන්දරය රැගෙන යාම අනිවාර්යය විය. කේන්දරය අතට ගන්නා ඇය, පැමිණි පුද්ගලයින් විශ්මයට පත් වන අයුරින් පලාපල පැවසුවාය. පැවසිය යුතු සියලු දේ ඇයට දන්වා සිටින්නේ කලකට පෙර මියගිය තම සමීප ඥාතියෙක් බව ඇය මා සමග පැවසුවා ය. එම මියගිය ඥාතියා ජීවත්ව සිටියදී ජ්‍යොතිෂයෙහි නියැලුණු අයෙකි. දැනට ඇය එම කටයුතුවලින් ඉවත්ව සිටින්නීය. ඒ, පලාපල කථනයේ තවත් පැතිකඩකි.

මේ වන විට විද්‍යුත් මාධ්‍යය තුළ ජනප්‍රිය ජ්‍යොතිෂවේදියෙක් මුල් කාලයේ හඳහන් පරීක්ෂාව සිදුකරන ලද්දේ, තම මේසය මත දැල්වුණු පහනේ ආලෝකයට හඳහන අල්ලා බැලීමෙනි. එකල ඔහු පවසා සිටියේ තමන් කාලි මෑණියන්ගේ වරමින් හඳහන් බලන බව යි. කාලි මෑණියන්ගේ වරමින් හඳහන් බලන්නේ යැයි කී ප්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැක. කෙසේ වෙතත් මේ වන විට ඔහු එම ක්‍රමවේදයෙන් බැහැරව, මාධ්‍ය තුළ වැඩසටහන් ඉදිරිපත් කරමින් කාර්ය බහුල වී සිටියි. එසේ වූවද ඔහුගේ පැරණි සේවාදායකයින් පවසන්නේ පෙර තිබුණු දක්ෂතාවය මේ වන විට ඔහු වෙතින් දැකගැනීමට නොහැකි බවත්, ඉදිරිපත් කරන පලාපල සැළකිය යුතු තත්වයක නොමැති බවත් ය.

ඉටු දෙවියන් කෙරෙහි පූර්ණ විශ්වාසය තබාගෙන, සමාධිගත සිතින් පලාපල පැවසීමෙහි නියැලෙන ඇතැම් ජ්‍යොතිෂවේදීන්ට එක්තරා අවස්ථාවක පලාපල පැවසීමේ 'තත' හසුවන්නේ ඉතාමත් ආශ්චර්යවත් ලෙසිනි. එම මුල්ම අවස්ථාව තමන් පිලිබඳව තමන්ටම පුදුම සිතෙන, මහත් ප්‍රබෝධමත් අවස්ථාවකි. කේන්දරය තුළ සටහන්ව පවතින ග්‍රහ රටාවන් අභිබවා යමින්, වර්තමාන තත්වයත් ඉදිරි තත්වයත් මැනවින් විස්තර කිරීමේ හැකියාව එතැන් පටන් හිමි වෙයි. දෛනිකව සිදුකරන උප විඥානය සමග දැහැන් ගතවීම කෙරෙන් ඈත් වීමත් සමග පලාපල පැවසීමේ විශේෂඥ හැකියාව ද ක්‍රමයෙන් අහිමි වේ.

විවිධ මාදිලියේ ගණිත ක්‍රම, යෝග, දෘෂ්ටි, උප පද ආදී අනේකවිධ කරුණු කාරණා පිලිබඳව සාරගර්භ විස්තර, කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවා විනා අවබෝධ කරගත් වටිනා දේ රහස් වශයෙන් තබාගෙන සිටීම බොහෝ දෙනාගේ සිරිත ය.

මෙම ලිපිය කීප දෙනෙකුට හෝ ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
සංජීව කුළුපන බණ්ඩාර.

Tuesday, May 28, 2019

ජනාධිපතිවරණය


සංජීව කුළුපන බණ්ඩාර.
(මව්රට- 2019.05.26)

ලබන නොවැම්බර් 15 වැනිදාත් දෙසැම්බර් 07 වැනිදාත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්, ඒ සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් 20 වැනි දින හෝ ඊට පෙර සිදු කළ යුතු බවත්, නව ජනාධිපතිවරයා 2020 ජනවාරි මස 08 වැනි දින හෝ ඊට පෙර දිව්රුම් දිය යුතු බවත් කියැවෙයි. බොහෝ දෙනා විශ්වාස කරන්නේ ද මේ වසර අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

රටේ දේශපාලනය සම්බන්ධයෙන් අනාවැකි පැවසීමේදී සෙනසුරු ග්‍රහයාගේ හැසිරීම ඉතාමත් තීරණාත්මක වෙයි. කුම්භ ලග්නය හිමි ලංකා කේන්දරයේ ලග්නාධිපති සෙනසුරු ය. පොදුජන කාරක ග්‍රහයා ද සෙනසුරු ය. සෙනසුරුට අමතරව ගුරු සහ රාහුගේ හැසිරීම ද වැදගත් වෙයි. දීර්ඝකාලීන නොවූ කෙටි කාලීන වෙනස්වීම් සම්බන්ධයෙන් සෙසු ග්‍රහයින් වැදගත් වෙයි.

මේ වන විට සෙනසුරු ගමන් කරන්නේ තේජෝ රාශියක් වූ ධනු රාශියේ ය. සෙනසුරු ධනු රාශියට ගමන් කළේ 2017 වසරේ ජනවාරි මස 26 වැනිදා ය. සෙනසුරු ධනු රාශියෙන් සමුගන්නේ 2020 වසරේ ජනවාරි මස 24 වැනිදා ය. රට පුර භිෂණය පැතිරී තිබුණු ඉතාමත් අඳුරු කාලපරිච්ඡේදයක් වූ 1988 - 1989 කාලය තුළ ද සෙනසුරු ගමන් කළේ ධනු රාශියේ ය. හිටපු අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වන විට ද සෙනසුරු ගමන් කළේ ධනු රාශියේ ය. සෙනසුරු තේජෝ හෙවත් ගිනි රාශියක් වූ ධනු රාශියේ ගමන් කරන කාලසීමාවන් රටට සුබදායක නොවේ.

2020. 01. 24 තෙක් කාලය දේශපාලනය සම්බන්ධයෙන් ද ඉතාමත් අවිනිශ්චිත කාලයකි. මෙම කාලය තුළ කලට වෙලාවට මැතිවරණ,ජනාධිපතිවරණ පැවැත්වේ යැයි පැහැදිලි විශ්වාසයක් ඇතිකරගැනීමට නොහැකිය. සියල්ල වෙනස් විය හැකි කාලයකි. ධනු රාශියේ ගමන් කරන සෙනසුරු තදබල අර්බුද නිර්මාණය කිරීම හා නොසිතූ දේ සිදුකිරීම ඊට හේතුව යි. මෙම කාලය තුළ ජනතාවට වරින්වර පීඩා ඇතිවීම මිස ජනතා සිතුම් පැතුම් ඉටුවීමක් සිදු නොවේ. මෙම කාලය ආරක්ෂාව අතින්ද අවදානම් ය. නොසිතූ ආකාරයේ ගැටුම්, ප්‍රහාර හා ඝාතනවලට ඉඩකඩ පවතින කාලයකි. දේශපාලනය,ආර්ථිකය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිසේත්ම සුබදායක කාලයක් නොවේ.

ජනපතිවරණය පැවැත්විය යුතු යැයි කියැවෙන නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 අතර කාලසීමාව තුළ ගුරු ධනු රාශයේ ගමන් කිරීම එක් අතකින් යහපත් ය. ස්වකීය ධනු රාශියේ ගත කරන ගුරු, සෙනසුරුගේ අයහපත් හැසිරීම යම් තරමකින් පාලනය කරන බැවිනි.

කෙසේ වෙතත් ගුරු සෙනසුරු සමඟ ධනු රාශියේ එක්ව ගතකරන්නේ ඉතාමත් කෙටි කාලයකි. 2020 ජනවාරි මස 24 වැනි දින සෙනසුරු ධනු රාශියෙන් සමුගෙන මකර රාශියට ගමන් කිරීමට නියමිතය. මකර රාශිය ඉතාමත් ගුප්ත රහස්‍ය රාශියකි. සෙනසුරුට අයත් රාශියක් වූව ද මකර රාශියේදී සෙනසුරු කටයුතු කරන්නේ තේරුම් ගත නොහැකි ආකාරයට ය. සෙනසුරු මකර රාශියේ කල්ගෙවන කාලය සම්බන්ධයෙන් පසුව කතා කළ යුතු ය. වඩාත් වැදගත් වන්නේ 2020. 01. 24 තෙක් දැනට ගතවන කාලය යි.

ජනපතිවරණයේ මූලික කටයුතු ඇරඹෙන බව කියැවෙන අගෝස්තු මාසය ද ග්‍රහචාරය අතින් සුබදායක නැත. දැඩි අර්බුද, මතභේද ඇතිවන කාලයකි. අගෝස්තු මාසය පුරා සෙනසුරු ධනු රාශයේ වක්‍රව ගමන් කිරීම යහපත් ග්‍රහ තත්වයක් නොවේ.

පවතින ග්‍රහ රටාව අනුව පොදුවේ පැවසිය යුතු කාරණය නම් 2020 ජනවාරි මස 24 දින දක්වා කාලය ඉතාමත් අවිනිශ්චිත හා අර්බුදකාරී බව යි. ජනපතිවරණයක් පැවැත්වූව ද, නොපැවැත්වූව ද දේශපානය, ආර්ථිකය හා ආරක්ෂාව සම්බන්ධයෙන් සුබදායක කාලසීමාවක් නොවේ.

ජ්‍යොතිෂවේදී,ගුප්ත වෛද්‍ය 

  සංජීව කුළුපන බණ්ඩාර 


Wednesday, May 1, 2019

ගුරු වක්‍ර ගමනින් වෘශ්චික රාශියට.

2019.04.21 මව්රට පුවත්පතේ කේන්දරේ අතිරේකය.




     ගුරු හෙවත් බ්‍රහස්පති 2019 මාර්තු මස 29 වැනිදා ස්වකීය ධනු රාශියට ගමන් කළා. අප්‍රේල් මස 12 වැනිදා වක්‍ර වීමට පටන්ගත් ගුරු අප්‍රේල් 23 වැනිදා අලුයම 01.16 ට නැවත වෘශ්චික රාශියට ගමන් කරනවා. අගෝස්තු මස 12 වැනිදා පටන් නිවෘත වී නොවැම්බර් මස 05 වැනිදා තෙක් වෘශ්චික රාශියේ කල් ගෙවනවා. ගුරු වක්‍ර වී වෘශ්චික රාශියට ගමන් කිරීම හේතුවෙන් රටේ දේශපාලනය,ආර්ථිකය හා කාලගුණය කෙරෙහි දැඩි බලපෑම් එල්ල වෙනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළ අර්බුධ ගැටුම් ඇතිවෙනවා. මහජන නියෝජිතයින්ට නොයෙක් චෝදනා එල්ල වෙනවා. ඇතැමුන්ගේ ගෞරවය බරපතල ලෙස බිඳ වැටෙනවා.
පාර්ලිමේන්තුව තුළ අර්බුධ ඇතිවෙනවා.
ජල ගැලීම් හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් එල්ල වෙනවා. ඇතැම් ප්‍රදේශවල නාය යාම් සිදුවෙනවා. ගංවතුර තර්ජනයට ලක් විය හැකි ප්‍රදේශවල දිවි ගෙවන ජනතාව අප්‍රේල් 23 දින පටන් අගෝස්තු 12 වැනිදා තෙක් කාලය තුළ කල්පනාකාරී වීම වැදගත් වෙනවා.
අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම හා බදු බර හේතුවෙන් ජනතාව පීඩාවට පත් වෙනවා.
ඇතැම් ආගමික ස්ථානවලට මෙන්ම පූජක උතුමන්ට අප්‍රේල් 23 දින පටන් නොවැම්බර් 05 වැනිදා දක්වා කාලය තුළ අසුබ බලපෑම් එල්ල වෙනවා.
ගුරු වක්‍ර වී වෘශ්චික රාශියට ගමන් කිරීම ඒ ඒ ලග්නවලට බලපාන්නේ කෙසේදැයි විමසා බලමු.

මේෂ ලග්නය.
ගුරු වක්‍ර වී අට වැනි භාවයට ගමන් කිරීම මේෂ ලග්න හිමියන්ගේ ආර්ථිකයට එතරම් හිතකර නෑ. ධන හානි,අධික වියදම්, නිෂ්පල වියදම්වලට ඉඩ තිබෙනවා. මුදල් යෙදවීම්වලදී කල්පනාකාරී විය යුතුයි. ශරීර සෞක්‍යය සම්බන්ධයෙන්ද සැළකිලිමත් විය යුතුයි. ඉටු වේ යැයි විශ්වාසය තබාගෙන සිටි බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වෙනවා. උද්යෝගය හා උනන්දුව අඩු වෙනවා.

වෘෂභ ලග්නය.
ගුරු වෘශ්චික රාශිගත වීම වෘෂභ ලග්න හිමියන්ගේ විවාහ කටයුතු හා යුග දිවිය සම්බන්ධයෙන් අහිතකර ලෙස බලපානවා. විවාහ කටයුතුවලට බාධක අවහිර එල්ල වෙනවා. යුග ජීවිත ගත කරන වෘෂභ ලග්න හිමියන් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා. යුග ජීවිතයේ සතුට සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙනවා. ආදායම් මාර්ගවලට ද තරමක බාධක එල්ල වෙනවා.

මිථුන ලග්නය.
ගුරු වෘශ්චික රාශියට ගමන් කිරීම මිථුන ලග්න හිමියන්ගේ රැකියා කටයුතු සම්බන්ධයෙන් අහිතකර ලෙස බලපානවා. රැකියා කටයතුවලට බාධක අවහිර එල්ල වෙනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුට තෘප්තිය අඩු වෙනවා. ශරීර සෞක්‍යය සම්බන්ධයෙන්ද සැළකිලිමත් විය යුතුයි. උදරාශ්‍රිත අසනීප පීඩා මතුවීමට ඉඩ තිබෙනවා. යුග දිවිය තුළ සමගිය ආරක්ෂා කර ගත යුතුයි.

කටක ලග්නය.
ගුරු වක්‍ර වී පස් වැනි භාවයට ගමන් කිරීම හේතුවෙන් කටක ලග්න හිමියන්ගේ වාසනා බලයට බලපෑම් වෙනවා. ලැබෙන්නම තිබෙන දේවල් පවා කලට වෙලාවට නොලැබී යනවා. බලාපොරොත්තු ඉටුවීම ප්‍රමාද වෙනවා. ප්‍රේම සම්බන්ධතාවලට තද බල බාධක එල්ල වෙනවා.ඊර්ෂ්‍යාකාර සතුරු බලපෑම් එල්ල විය හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි. අන්‍යයන් විශ්වාස කිරීමේදී සැළකිලිමත් විය යුතුයි.

සිංහ ලග්නය.
සිංහ ලග්න හිමියන්ගේ සිව් වැනි භාවයට ගුරු වක්‍ර වී ගමන් කිරීම ගෘහ ජීවිතයට සුබදායක නෑ. ගෘහ ජීවිතයේ සතුට සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙනවා. ගේදොර දේපළ සම්බන්ධයෙන් ගැටළු කරදර මතු විය හැකියි. ගේදොර දේපළ සම්බන්ධ ගණුදෙනුවලට මෙම කාලසීමාව සුබදායක නෑ.රැකියා කටයුතුවලට ද තරමක බාධක එල්ල වෙනවා.

කන්‍යා ලග්නය.
කන්‍යා ලග්න හිමියන්ගේ තෙවැනි භාවයට ගුරු වක්‍ර වී පැමිණීම ගමන් බිමන් හා සහෝදර බැඳීම් සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. ගමන් බිමන්වලදී ගැටළු කරදර මතුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි. සහෝදරාදීන් සමග නොහොඳ නෝක්කාඩු ඇතිවීමට ඉඩ තිබෙනවා. විවාහ කටයුතුවලට බාධක එල්ල වෙනවා. පපුව ආශ්‍රිත අසනීප පීඩා මතුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි.

තුලා ලග්නය.
තුලා ලග්නය හිමි ඔබගේ ධනස්ථානයට ගුරු ගමන් කිරීම ආර්ථිකය සම්බන්ධයෙන් සුබදායක නෑ. ධන හානි,අධික වියදම්, නිෂ්ඵල වියදම්වලට ඉඩ තිබෙනවා. ආර්ථිකය ඉතාමත් කල්පනාකාරීව මෙහෙයවිය යුතුයි. සතුරු බලපෑම් හේතුවෙන් පාඩු අලාභ සිදුවීමට ඉඩ තිබෙනවා. ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් ද සැළකිලිමත් විය යුතුයි. සුළු අසනීපයක් වැළඳුණ ද ලබාගන්නා ප්‍රතිකාරවලින් ඉක්මන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා.

වෘශ්චික ලග්නය.
ගුරු වක්‍ර ගමනින් ලග්න භාවයට ගමන් කිරීම වෘශ්චික ලග්න හිමියන්ට සුබදායක නෑ. මානසික සහනය සතුට ප්‍රබෝධය අඩු වෙනවා. කරන කියන කටයුතුවලට බාධක අවහිර එල්ල වෙනවා. නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි. අන්‍යයන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී විය යුතුයි. අගෝස්තු මස 12 වැනිදා පටන් අසුබ බලපෑම් තරමක් අඩු වෙනවා.

ධනු ලග්නය.
ගුරු දොළොස්වැනි භාවයට ගමන් කිරීම ධනු ලග්න හිමියන්ගේ ආර්ථිකයට සුබදායක නෑ. වියදම් ඉහළ යනවා. නිෂ්ඵල වියදම් හා ධන හානිවලට ද ඉඩ තිබෙනවා. නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි. ගමන් බිමන්වලදී අනතුරු සිදුවීමට ඉඩ තිබෙනවා. ගේදොර දේපළ සම්බන්ධ ගණුදෙනු කටයුතුවලට මෙම කාලසීමාව සුබදායක නෑ.

මකර ලග්නය.
මකර ලග්නය හිමි ඔබගේ අයස්ථානය වූ එකොළොස්වැනි භාවයට ගුරු වක්‍ර වී ගමන් කිරීම ආදායම් මාර්ගවලට හිතකර වන්නේ නෑ. රැකියා කටයුතු,ව්‍යාපාර කටයුතු ආදියට බලපෑම් එල්ල වෙනවා.ඉක්මන් තීන්දු තීරණවලින් වැළකී ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. සුළු අනතුරුවලට ඉඩ තිබෙන බැවින් අවදානම් සහිත කටයුතුවලදී සහ ගමන් බිමන්වලදී කල්පනාකාරී විය යුතුයි. මිතුරු සම්බන්ධතා දුරස් වීමට ද ඉඩ තිබෙනවා.

කුම්භ ලග්නය.
ගුරු වක්‍ර වී දසවැනි භාවයට ගමන් කිරීම රැකියා කටයුතු සම්බන්ධයෙන් සුබදායක නෑ. රැකියා කටයුතුවලට බාධක අවහිර එල්ල වෙනවා. ව්‍යාපාර කටයුතුවල නියැලෙන කුම්භ ලග්න හිමියන් වඩාත් සැළකිලිමත් විය යුතුයි. උරුම හිමිකම් සම්බන්ධයෙන් ද ගැටළු මතුවීමට ඉඩ තිබෙනවා. මෙම කාලය තුළ අන්‍යයන් සමග සිදු කරන මුදල් ගණුදෙනුවලදී විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි.

මීන ලග්නය.
ලග්නාධිපති ගුරු වක්‍ර වී නවවැනි  භාවයට ගමන් කිරීම හේතුවෙන් මීන ලග්න හිමි ඔබගේ ලෞකික දියුණුවට බාධක අවහිර එල්ල වෙනවා. කරගෙන යන කටයුතුවලට අනපේක්ෂිත බාධක එල්ල වෙනවා. උද්යෝගය උනන්දුව අඩු වෙනවා. කණස්සලු ගති ඇතිවෙනවා. ප්‍රේම සම්බන්ධතා, විවාහ කටයුතුවලට බාධක එල්ල වෙනවා. අගෝස්තු මස 12 වැනිදා පටන් අසුබ බලපෑම් තරමක් අඩු වෙනවා.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
සංජීව කුළුපන බණ්ඩාර 

Saturday, March 30, 2019

අල්හාජ් මොහිදීන් බෙග්.


ලාංකික ජනතාව අතර තවමත් ජීවමාන අග්‍රගණ්‍යයේ ගායන ශිල්පියා අල්හාජ් මොහිදීන් බෙග්. ඒ ඔබේත් මගේත් ආදරය දිනාගත් අමරණීය ගායන ශිල්පියා යි.

පනහ දශකයේ අග භාගයේ දිනෙක ඉන්දියාවේ ස්ටුඩියෝවක ගැහැණු ළමුන් පිරිමි ළමුන් පනස් දෙනෙක් සමඟ මේ අමරණීය ගායන ශිල්පියා ගීතයක් ගායනා කළා. ගීතය ආරම්භ කර තප්පර කීපයකින් ඉන්දීය සංගීත අධ්‍යක්ෂ අනිල් බිස්වාන් පැමිණ ගීතය නතර කර මෙසේ විමසා සිටියා.
'මේක විනාඩි දාහතරක ගීතයක්...මේක එක දිගට කියන්න ඔයාට ශක්තියක් තියෙනවද...?'
සංගීත අධ්‍යක්ෂවරයා ගේ ප්‍රශ්නයට බෙග් මාස්ටර් මේ විදියට උත්තර දෙනවා.
'මේ සින්දුව මම කියනවා...නැත්නම් මැරෙනවා...'

එසේ කී මේ අසහාය කලා ශිල්පියා, එදා මෙදා තුර ලාංකීය බොදු ගී ඉතිහාසයේ සදා නින්නාද දෙමින්  බුද්ධාලම්භන ප්‍රීතිය උතුරා ගලා යන ගීතයක් සත්සර සමඟ මුසු කළා.

‘මෛත්‍රී කරුණා දූෂිත වී... ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී...
හිංසා පීඩා දේවිදෝ... මිනිසා තිරිසන් වේවිදෝ...
ඝෝර විසැති නයි පොළොඟුන් වන්...
මිනිසුන් මිතුරු වෙසින් එයි නම්...
එමවිට පවසනු මුවින් ඔබේ...
බුද්ධං සරණං ගච්ඡාමි...'
මේ සූදානම ඒ අමරණීය, ආදරණිය කලා ශිල්පියා ගේ ග්‍රහ බලය විමසුමට ලක් කිරීමට යි.
1919 දෙසැම්බර් මස 05 වැනි සිකුරාදා අලුයම සිකුරු හිමි බෙරණ නැකතින්, සිකුරු හිමි තුලා ලග්නයෙන් ඉන්දියාවේ දී  උපන් මේ කලා ශිල්පියා ඉතාමත් වාසනාවන්ත ග්‍රහ බලයකට හිමිකම් කියනවා. සකල කලාවට අධිපතිත්වය දරන සිකුරු ග්‍රහයාගේ පූර්ණ බලය විශේෂයෙන්ම කැපී පෙනෙනවා. උපන් නැකතත් සිකුරුට හිමි නැකතක් නම්, ලග්නයත් සිකුරුට අයත් ලග්නයක්නම්, ලග්නාධිපති සිකුරු ඉන්නෙත් සුවිශේෂ යෝගයක් උදා කරමින් ලග්න භාවයේම නම්, ඒ සිකුරු නවාංශකයෙත් බලවත් නම් තව මොනවද...ඒක තනිකරම කලා යෝගයක්ම යි. සිකුරුයි කලාවයි කියන්නෙත් හරියට ගහයි පොත්තයි වගේ තමයි.
තුලා ලග්නයෙන් ඉපදිලා, සිකුරු ලග්නගත වෙලා උදා කළ යෝගය 'මාලවි යෝගය' යි. මෙය පූර්ණ පුණ්‍ය බල යෝගයක් විදියට හැඳින්වෙනවා. බොහෝ දෙනෙකු ගේ ආදරයට පාත්‍ර කරවන, ජනප්‍රියතාවය හිමි කරවන, ඉතාමත් වාසනාවන්ත යෝගයක් බවට පිළිගැනෙනවා. මේ යෝගයේ බලය මොහිදීන් බෙග් කලාකරුවා ගේ ජීවිතය ඇසුරින් කදිමට විවරණය වෙනවා.
පුර පස චන්ද්‍රයා සත් වැනි භාවයේ තැන්පත්ව සිටිමින්, ලග්න භාවයේ බලවත්ව සිටින සිකුරුට හෙලන පූර්ණ දෘෂ්ටිය, කලා කුසලතාවය මෙන්ම ජනප්‍රියතාවය වඩාත් වර්ධනය කිරීමට හේතු වී තිබෙනවා..

නායක කාරකාදීන්ගේ සහයෝගය ලබන්නත් හැමෝටම බෑ. ඒකටත් හොඳ පින් බලයක් තියෙන්න ඕනෑ. කේන්දරයක ගුරු ග්‍රහයාගේ බලවත් බව ප්‍රභූ ඇසුර මෙන්ම ප්‍රභූ සහයෝගය ලැබීමට බොහෝ සෙයින් ඉවහල් වෙනවා. ගුරු උච්ච බලයෙන් යුතුව දස වැනි භාවයේ තැන්පත්ව 'ජයසිඳු' යෝගය උදා වී ඇති අතර, එම ගුරු හත් වැනි භාවයේ තැන්පත්ව සිටින සඳු ට කේන්ද්‍රගතව පිහිටීමෙන් 'ගජ කේශරී' යෝගය ද යෙදී තිබෙනවා. මොහිදීන් බෙග් මහතාට ලංකාවේ පුරවැසි භාවය ලබා දුන්නේ, 2500 වැනි බුද්ධ ජයන්තිය නිමිත්තෙන් පැවති උත්සවයකදී බෙග් මාස්ටර් ගායනා කළ 'දෙදහස් පන්සිය බුද්ධ ජයන්තිය බැබළේවා ලංකා' ගීතය සාවධානව අසා සිටි  අගමැති බණ්ඩාරනායක මහතා යි. පසු කලෙක පාකිස්ථාන ජනාධිපති සියාඋල් හක් මහතාගේ ගේ අනුග්‍රහයෙන් මක්කම පුදබිම වෙත යාමේ අවස්ථාව මෙන්ම, පාකිස්තානයේ සංචාරය කිරීමේ අවස්ථාව ද බෙග් මාස්ටර්ට උදා වුණා.


ගුරු ග්‍රහයාගේ බලවත් බව පුද්ගලයෙකු ගේ විනය සහ සදාචාරසම්පන්න බව ආරක්ෂා වීමට විශේෂයෙන් හේතු වෙනවා. කෙතරම් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටිය ද  අද බොහෝ කලා ශිල්පීන් ගේ නොමනා හැසිරීම් පිළිබඳව නොයෙක් විට අසන්නට ලැබෙනවා. ඇතැමුන් උන් හිටි ගමන් නීතියේ රැහැනට හසු වන අවස්ථා ගැන ද වාර්ථා වෙනවා. එවන් පුද්ගලයින් ගේ ජන්ම පත්‍ර තුළ ගුරු ග්‍රහයා දුර්වලව පිහිටා ඇති බව පෙනෙන්නට තිබෙනවා.

බෙග් මහතා ගේ විවාහය සිදුවුණේ 1947 වර්ෂයේදී යි. එනම් විවාහස්ථානය වූ හත් වැනි භාවයේ තැන්පත්ව සිටි සඳු ගේ මහ දශා කාලයේදී යි.

බෙග් මහතා ගේ කේන්දරය තුළ සටහන්ව ඇති තවත් යෝගයක් වෙත හැරෙමු. ඒ 'චාමර යෝගය' යි. ගුරු ද ඇතුළුව ශුභ ග්‍රහයින් දෙදෙනෙකු හෝ ගුරු වෙතින් දෘෂ්ටි ලබන ශුභයින් දෙදෙනෙකු 1,7,9,10 යන තැනක සිටීමෙන් චාමර යෝගය යෙදෙනවා. මෙම කේන්දරයේ ගුරු දස වැන්නේත්, සිකුරු ලග්නයේත් ඉතාමත් බලවත්ව යෙදී 'චාමර යෝගය' උදා වී තිබෙනවා. උතුමන්ගෙන් පවා හරසර ලැබීමට, කලා ශිල්පවල නිපුණත්වය ලැබීමට, ගුණදම් සපුරන විනයගරුක පුද්ගලයෙකු වීමට හේතු වන යෝගයක් ලෙස චාමර යෝගය සැළකෙනවා.


කලාවට අධිපතිත්වය දරන්නේ සරස්වතී දේවිය යි. සරස්වතී දේවිය ගේ නමින් හඳුන්වන යෝගය 'සරස්වතී යෝගය' යි. ගුරු,සිකුරු,බුධ යන ග්‍රහයින් ලග්නය, දෙවැන්න,සිව්වැන්න,පස්වැන්න,සත්වැන්න,නවවැන්න හා දසවැන්න යන ස්ථානයන්හි එක්ව හෝ වෙන් වෙන්ව හෝ දෙදෙනෙකු යෝගව තැන්පත්ව සිටී  නම්, එහිදී ගුරු උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව සිටී නම් එය සරස්වතී යෝගය යි. මොහොදීන් බෙග් මහතා ගේ කේන්දරයේ සිකුරු ලග්නයේ ස්වක්‍ෂේත්‍රව පිහිටා ඇති අතර බුධ දෙවැන්නේ ද, ගුරු උච්චව දස වැනි භාවයේද පිහිටීමෙන් සරස්වතී යෝගය ඉතාමත් අපූර්ව ලෙස යෙදී තිබෙනවා. මෙය, කුසලතා පූර්ණ අභිමානනීය කලාකරුවන් බිහි කරවන යෝගයක් ලෙසට අවිවාදයෙන් පිළිගැනෙනවා.

1991 වසරේ නොවැම්බර් මස 4 වැනිදා මොහිදීන් බෙග් මහතා තම දිවි සැරිය නිම කළ ද, අදටත් බණට, පිරිතට, පිංකමට,තොරණට, දන්සැලට,පෙරහරට සූදානම් වන කොතැනක වූවද ඒ මධුර මනෝහර හඬ අනිවාර්යයෙන්ම ඇසෙනවා. ඒ හඬ තවත් චිරාත් කාලයක් පුරා අමරණීයව නින්නාද දෙන බව ඒකාන්තයි.

සංජීව කුළුපන බණ්ඩාර.











Thursday, March 28, 2019

සඳක් සදිසි රුවක් ලබමු.


ලස්සන වෙන්න කවුද අකමැති... පෙති,කරල්,එන්නත්,ආලේපන මේ හැම දේකින්ම බලාපොරොත්තු වෙන්නෙ ලස්සන නෙ. සමහරු ලස්සන වෙන්න, පැහැපත් වෙන්න ලක්ෂ ගණන් වියදම් කරනවා. හැබැයි ඉතින් ලස්සන වෙනව කියන්නෙ පැහැය වෙනස් කරගන්න එකටමත් නෙමෙයි. දුටුවන් ගේ සිත් තුළ ප්‍රියතාවයක් ඇතිවෙන විදියේ සොඳුරු සිරියාවන්ත පෙනුමට තමයි ලස්සන කියල කියන්නේ. කිසිම ප්‍රියමනාප බවක්, සිරියාවක් නැති සුදු අය ඕනැ තරම් ඉන්නවා. හැබැයි මේ ඉදිරිපත් කරනන්නෙ පැහැපත් බව, ප්‍රියමනාප බව වගේම නියම හැඩය පවා ලැබෙන වටිනා භාවනාවක්.

ලස්සන වෙන්නෙ කොහොමද කියල ජ්‍යොතිෂවේදියෙක් ගෙන් ඇහුවොත් ...'ලස්සන උපතින්ම හිමිවෙන්න ඕනැ..සිකුරු බලවත් වෙන්න ඕනැ..පුර සඳු ලග්නයෙ ඉන්න ඕනැ..සඳු,සිකුරු ලග්නය දකින්න ඕනැ..සඳු,සිකුරු යෝග වෙන්න ඕනැ..' ඔය වගේ ග්‍රහ පිහිටීම් බොහොමයක් ගැන කියයි.

ජ්‍යොතිෂයයි සිතයි දෙකම සම්බන්ධ කරගෙන උපදෙස් දෙන ජ්‍යොතිෂවේදියෙක් හැටියට වගේම බොහෝ දේවල් අපිට අවශ්‍ය විදියට වෙනස් කරගන්න පුළුවන්ය කියන කාරණය විශ්වාස කරන ජ්‍යොතිෂවේදියෙක් විදියටයි මම මේ උපදෙස් ලබාදෙන්නේ.

හැමෝම ලස්සන වෙන්න ආසයි වගේම, හැමෝම හඳ දිහා බලන්නත් ආසයි. විශේෂ හේතුවකට නොවුණත් අඩුම තරමේ පසළොස්වක දවසටවත් හැමෝම හඳ දිහා බලනවා.

චන්ද්‍ර මාසයක් කොටස් දෙකකට බෙදෙනවා. පුර පෑලවිය තිථියේ පටන් පුර පසළොස්වක තිථිය තෙක් කාලය පුර පක්ෂය හෙවත් හඳ පිරෙන කාලය විදියටත්, අව පෑලවිය තිථියේ පටන් අමාවක තිථිය තෙක් කාලය අව පක්ෂය හෙවත් හඳ පිරිහෙන කාලය ලෙසත් හඳුන්වනවා. පුර අටවක තිථිය යෙදුණු දිනයේ පටන් හඳ පෙනෙන්න පටන් ගන්නවා. පසළොස්වක තිථිය යෙදුණු දාට හඳ බොහොම ලස්සනයි. පසළොස්වක ට පහුවදා පටන්, ඒ කියන්නෙ අව පෑලවිය තිථිය යෙදුණු දිනයේ පටන් හඳ පිරිහෙන්න පටන් ගන්නවා.

පුර පක්ෂයේ හඳ දර්ශනය වෙන දිනයේ තමයි මේ භාවනාව පටන් ගන්න තියෙන්නේ. හිත හොඳට නිරවුල් කරගෙන හඳ දිහා බලාගෙන හිතන්න ' මම මේ හඳ වගේ දවසින් දවස පැහැපත් වෙනවා ...ලස්සන වෙනවා.  හිත පිරිසිදු වෙනවා...නිරවුල් වෙනවා.  ශරීරය සැහැල්ලු වෙනවා...හැමෝටම ප්‍රියමනාප කෙනෙක් වෙනවා.'
දෙතුන් වතාවක් ඔය විදියට විශ්වාසයෙන් හිතන්න. නින්දට යද්දිත් ඒ සිතුවිල්ලත් එක්කම නින්දට යන්න.
පසළොස්වක පෝය දවසට ඔය භාවනාව ටිකක් වැඩිපුර වෙලාව අරගෙන කරන්න. පසළොස්වකට දවසට පහුවදා ඉඳලා හඳ දිහා බලාගෙන භාවනා කරන්න ඕනැ නෑ. එතැන් පටන් නින්දට යද්දි ඔය ටිකම හිතාගෙන නින්දට යන්න. ඊට පස්සෙ පසළොස්වක දවසට විතරක් හඳ දිහා බලාගෙන හිතුවම ඇති. දවසින් දවස ශරීරය පැහැපත් වෙන බව, ලස්සන වෙන බව විතරක් නෙමෙයි, දවසින් දවස මානසික නිරවුල්තාවය, සතුට, ප්‍රබෝධය, ඉහිල් බව (Relax) ඇති වෙන අපූරුවත් අත් දකින්න ලැබෙයි.

ඒ වගේම, අඹ කෑල්ලක්, ගස්ලබු කෑල්ලක්, අන්නාසි කෑල්ලක්, වැල මදුලක්, වරකා මදුලක් ආහාරයට ගන්න අතරෙදිත්, මේ පැහැය මටත් ලැබෙනවා...මගේ ශරීරය දවසින් දවස පැහැපත් වෙනවා...ලස්සන වෙනවා කියල හිතන්න. පිඟානෙ තියෙන වට්ටක්කා, කැරට්, අර්තාපල් අනුභව කරන කොටත් ඒ විදියටම  භාවනාවක් වගේ, බොහොම සංයමයෙන්, නිරවුල් සිතින් කරන්න.

මිදුලේ තියෙන මල් ගස්වල පිපෙන ලස්සන කහ පාට මල් දිහා බලන්න නිරවුල් මනසින්. ඒ ලස්සන පැහැය තමන්ටත් ලැබෙනවා කියන විශ්වාසය ඇති කරගන්න.

හැම දෙයක්ම භාවනාවක් කරගන්න. යහපත් සිහියෙන් කරන්න.

හිත තමන්ට මොන තරම් කීකරු වෙනවද... කීකරු වුණු හිතෙන් මොන තරම් දේවල් කරන්න පුලුවන්ද...හිතේ ශක්තිය මොන තරම්ද...කියල විතරක් නෙමෙයි,  හිතට වද දීපු ගැටළු කරදර පවා දවසින් දවස තමන් වෙතින් ඈතට යන හැටිත් දැනෙන්න ගනියි.

සංජීව කුළුපන බණ්ඩාර.



Wednesday, March 6, 2019

රාහු කේතු මාරුව - 2019


රාහු සහ කේතු සැළකෙන්නේ ඡායා ග්‍රහයින් ලෙසට යි. ඇසට නොපෙණුන ද මොවුන් ගේ භූමිකාව සුළු පටු නෑ.

මේ සුවිශේෂී ග්‍රහයින් දෙදෙනා 2019. 03. 07 දින පෙ.ව. 10.13 ට මෙතෙක් රැඳී සිටි රාශි වෙතින් සමුගන්නවා. රාහු මිථුන රාශියටත් කේතු ධනු රාශියටත් ගමන් කරනවා. 2019.03.07 දින පටන් 2020. 09.23 දින තෙක් රාහු මිථුන රාශියේත් කේතු ධනු රාශියේත් රැඳී සිටිනවා.
මෙවර රාහු සහ කේතු ගමන් ගමන් කරන්නේ තම බලය සහ ශක්තිය උපරිම ආකාරයට විහිදුවාලිය හැකි රාශි යුගළයකට වීම සුවිශේෂ යි. මෙලෙස මොවුන් මිථුන සහ ධනු රාශි වෙත ගමන් කරන්නේ වසර 18 කට පසුවයි.

රාහු කේතු මාරුව බොහෝ දෙනෙකුට සුබදායක වනවාට කිසිම සැකයක් නෑ.

කෙසේ වෙතත්, මෙම විග්‍රහය පොදුවේ ඉදිරිපත් කරන්නක් විනා ඔබේ ජන්ම කේන්දරය ඇසුරින් ඉදිරිපත් කරන පලාපල විස්තරයක් නොවන බැවින්, ජන්ම කේන්දරයේ ග්‍රහ බල දුබලතා අනුව මෙම කරුණු වෙනස් විය හැකි බව මතක තබා ගත යුතුයි.



මේෂ ලග්නය.
මෙතෙක් කලක් ගෘහ ස්ථානයේ රැඳී සිටි රාහු ඉන් ඉවත්ව වික්‍රමස්ථානය වෙත ගමන් කරනවා. රැකියා ස්ථානයේ රැඳී සිටි කේතු භාග්‍යස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව මේෂ ලග්න හිමියන්ට ඉතාමත් සුබදායකයි. ගෙදර දොරේ දියුණුව වසා පැවති සියලු බාධක අවහිර, අදෘශ්‍යමාන බලපෑම් ඉවත් වෙනවා. ගෙදරදොර, දේපළ ආදියේ මනා දියුණුවක් කලඑළියක් ඇති වෙනවා. අනොන්‍ය සමගිය වර්ධනය වෙනවා.
රැකියා කටයුතුවල මනා ප්‍රගතියක් ඇති වෙනවා. ලැබෙන්නට තිබුණත් නොලැබී කල් පසු වුණු උසස්වීම්, වරප්‍රසාද ලැබෙන්න පටන්ගන්නවා. කිසිසේත්ම නොදැන සිටි උරුමයක් නිරවුල් වී හිමි වෙනවා.

වෘෂභ ලග්නය.
මෙතෙක් කාලයක් වික්‍රමස්ථානයේ රැඳී සිටි රාහු ඉන් ඉවත්ව ධනස්ථානය වෙත ගමන් කරනවා. භාග්‍යස්ථානයේ සිටි කේතු මාරකස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව වෘෂභ ලග්න හිමියන්ට එතරම් සුබදායක නෑ. ආර්ථිකයට බලපෑම් එල්ල වෙනවා. වියදම් ඉහළ යනවා. ධන හානි හා නිෂ්පල වියදම්වලටත් ඉඩ තියෙනවා. ආර්ථිකය සම්බන්ධයෙන් සුපරික්ෂාකාරී වීම වැදගත් වෙනවා. කතාව හේතුවෙන් සිත් අමනාපකම්, පාඩු සිදුවීමට ඉඩ තිබෙන බැවින් කතා කිරීමේදී සැළකිලිමත් විය යුතුයි.
ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කළ යුතුයි. වැටීම්,අනතුරු, අස්ථි බිඳීම්වලට ඉඩ තියෙනවා. අවදානම්කාරී කටයුතුවල යෙදෙන වෘෂභ ලග්න හිමියන් වඩාත් කල්පනාකාරී විය යුතුයි. වැළඳෙන සුළු අසනීපයක් වූවද ලබාගන්නා ප්‍රතිකාරවලින් ඉක්මනින් සුව නොවීමට ඉඩ තිබෙනවා.

මිථුන ලග්නය.
මෙතෙක් කාලයක් ධනස්ථානයේ රැඳී සිටි රාහු ඉන් ඉවත්ව ලග්න භාවය වෙත ගමන් කරනවා. මාරකස්ථානයේ සිටි කේතු විවාහස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව මිථුන ලග්න හිමියන්ට මිශ්‍ර පල උදා කරනවා.
පුනීලයට වතුර පිරවූවා මෙන් හිස්ව ගිය ආර්ථිකය පණ ගසා නැඟී සිටිනවා. උද්යෝගය,උනන්දුව නොඅඩුව ඇතිවෙනවා. නියැලෙන ක්ෂේත්‍රය තුළ වේගයෙන් ඉදිරියට ගමන් කිරීමේ ශක්තිය ලැබෙනවා. දුරදිග නොබලා ගන්නා ඇතැම් තීරණ හේතුවෙන් විටෙක පසුතැවීමට සිදුවිය හැකි බැවින් නිවැරදි කල්පනාවෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වෙනවා.
විවාහ කටයුතුවලට බාධක එල්ල වෙනවා. යුගදිවියේ සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙන බැවින් ඉතාමත් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි.
හවුල් ව්‍යාපාරවලින් වැළකිය යුතුයි.

කටක ලග්නය.
මෙතෙක් කලක් ලග්න භාවයේ රැඳී සිටි රාහු වැයස්ථානය වෙත ගමන් කරනවා. විවාහස්ථානයේ සිටි කේතු රෝගස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව කටක ලග්නයට මිශ්‍ර පල උදා කරනවා.
කටක ලග්න හිමියන්ට ආවේනික සුන්දර සිතුවිලි රටාව රාහු විසින් වසර එකහමාරක කාලයක් මුළුල්ලේ ආවරණය කරගෙන හිටියා. ඔබටම උරුම ඒ නිදහස්, මහා සිතුවිලි ගංගාව මාර්තු 7 වැනිදා පටන් නැවත පෙර පරිදි නිදහසේ ගලා යන්න පටන් ගන්නවා. හිසේ තියාගෙන සිටි මහා බරක් ඉවත් වූ තරම් නිදහසක් දැනෙන්න ගන්නවා.
ආර්ථිකය ගැන සැළකිලිමත් විය යුතුයි. වියදම් ඉහළ යන්න පුළුවන්. ණයට දුන්නොත් ආපසු නොලැබෙන්න ඉඩ තියෙනවා.
උදරාශ්‍රිත රෝග පීඩා මතුවෙන්න ඉඩ තියෙනවා.
විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම් ඉටු වෙනවා.

සිංහ ලග්නය.
මෙතෙක් කලක් වැයස්ථානයේ රැඳී සිටි රාහු අයස්ථානය වෙත ගමන් කරනවා. රෝගස්ථානයේ සිටි කේතු පුත්‍රස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව සිංහ ලග්න හිමියන්ට මිශ්‍ර පල උදා කරනවා.
පාලනය කරගැනීමට දුෂ්කර වී තිබුණු ආර්ථිකය යහපත් තත්වයට පත් වෙනවා. ආර්ථිකයේ කැපී පෙනෙන දියුණුවක් ඇතිවෙනවා. ලැබෙන්නම තිබියදීත් නොලැබී කල් ගතවුණු ලැබීම් හිමි වෙන්න පටන් ගන්නවා.
අධ්‍යාපනයේ යෙදී සිටින සිංහ ලග්න හිමියන්ගේ ඉගෙනීමේ කටයුතුවල ප්‍රගතියක් ඇතිවෙනවා.
ප්‍රේම සම්බන්ධතාවලට තද බල බාධක එල්ල වෙනවා. ඇසුරු කරන අය හේතුවෙන් රැවටිලිවලට ලක් විය හැකි බැවින් සැළකිලිමත් විය යුතුයි.
උදරාශ්‍රිත දැවිලි,වේදනා මතුවෙන්න ඉඩ තියෙනවා.

කන්‍යා ලග්නය.
මෙතෙක් කලක් අයස්ථානයේ රැඳී සිටි රාහු රැකියාස්ථානය වෙත ගමන් කරනවා. පුත්‍රස්ථානයේ සිටි කේතු ගෘහස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව කන්‍යා ලග්න හිමියන්ට මිශ්‍ර පල උදා කරනවා.
රැකියා කටයුතු ඉතාමත් උද්යෝගයෙන් යුතුව කරගෙන යාමට හැකි වෙනවා. නියැලෙන ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන තත්වයක් අත් කරගැනීමට ඉඩ කඩ ලැබෙනවා.
ගෙදරදොරේ සතුට සමගිය වරින් වර බිඳ වැටෙන්න ඉඩ තියෙනවා. ගෘහ ජීවිතය තුළ ඉතාමත් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.
දෙමාපියන්ට අපල බලපෑම් එල්ල වෙනවා. දෙමාපිය උරුමයන් පිලිබඳව අවුල් සහගත තත්වයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඥාතීන් සමග විරසකතා ඇතිවෙන්නට ඉඩ තියෙනවා.

තුලා ලග්නය.
මෙතෙක් කාලයක් රැකියාස්ථානයේ රැඳී සිටි රාහු ඉන් ඉවත්ව භාග්‍යස්ථානය වෙත ගමන් කරනවා. ගෘහ ස්ථානයේ සිටි කේතු වික්‍රමස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව තුලා ලග්න හිමියන්ට සුබදායකයි.
ගෙදරදොරේ දියුණුව,සතුට, සමගිය අවහිර කරමින් පැවති සියලු බාධා, බලපෑම් දුරු වෙනවා. පදිංචි ස්ථානය හිතට වඩාත් ප්‍රියමනාප,සැනසිලිදායක ස්ථානයක් බවට පත් වෙනවා. දුරස්ව තිබුණු ඥාති සම්බන්ධතා නැවත වර්ධනය වෙනවා. 
රැකියාවේ කැපී පෙනෙන දියුණුවක් ඇතිවෙනවා. ලැබෙන්න තිබුණු උසස්වීම් හා වරප්‍රසාද හිමි වෙනවා. අසීරුතා මැද කරගෙන ගිය ව්‍යාපාර දියුණුවට පත් වෙනවා.
උරුම හිමිකම් නිරවුල් වෙනවා.

වෘශ්චික ලග්නය.
මෙතෙක් කලක් භාග්‍යස්ථානයේ රැඳී සිටි රාහු මාරකස්ථානය වෙත ගමන් කරනවා. වික්‍රමස්ථානයේ සිටි කේතු ධනස්ථානය වෙත ගමන් කරනවා. 
රාහු කේතු මාරුව වෘශ්චික ලග්න හිමියන්ට එතරම් සුබදායක නෑ.
මානසික සහනය අඩුවෙනවා. සිත එකලස් කරගෙන කටයුතු කරන්න අපහසු වෙනවා. මානසික නිරවුල්තාවය හොඳින් පවත්වාගැනීමට වගබලා ගත යුතුයි.
ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කළ යුතුයි. ධන හානි, නිෂ්පල වියදම්, අධික වියදම්වලට ඉඩ තියෙනවා. දුරදිග නොබලා කරන මුදල් යෙදවීම්වලින් වැළකිය යුතුයි.
වැටීම් අනතුරුවලට ඉඩ තිබෙන බැවින් යහපත් කල්පනාවෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වෙනවා. උෂ්ණ හා දැවිලි අසනීප පහසුවෙන් මතුවෙන්න පුළුවන්.
නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් අන්‍යයන්ගේ ණය ගණු දෙනුවලට ඇප වීමෙන් වැළකිය යුතුයි. 

ධනු ලග්නය.
මෙතෙක් කලක් මාරකස්ථානයේ රැඳී සිටි රාහු විවාහස්ථානය වෙත ගමන් කරනවා. ධනස්ථානයේ රැඳී සිටි කේතු ලග්න භාවය වෙතගමන් කරනවා. 
රාහු කේතු මාරුව ධනු ලග්න හිමියන්ට මිශ්‍ර පල උදා කරනවා.
ආර්ථිකයේ යම් සතුටුදායක තත්වයක් ඇතිවෙනවා. තැන්පත් ධනයේ වර්ධනයක් සිදුවෙනවා. 
මානසික සහනය සතුට ප්‍රබෝධය වරින්වර අඩු වෙනවා. අන්‍යයන්ට නොපෙනෙන ආකාරයේ කනස්සලු, කළකිරීම් ඇතිවෙන්න පුළුවන්. තම කැපවීමේ හා මහන්සියේ තරමට සිතට සතුටු විය හැකි තරමේ ප්‍රතිපල උදා කරගැනීමට අපහසු වෙනවා. 
විවාහ කටයුතුවලට බාධක එල්ල වෙනවා. විරුද්ධ ලිංගිකයින් සමග ඇතිවන සම්බන්ධතාවලදී මානසික පීඩා, මත ගැටුම් ඇතිවෙන්න පුළුවන්. යුග ජීවිත ගතකරන ධනු ලග්න හිමියන් හැකි තරම් ඉවසිලිමත්ව කටයුතු කිරීම ගුණදායක වෙනවා.
මුත්‍රා ආබාධ, අර්ශස්, සෙම් පීඩා ඇතිවෙන්න ඉඩ තියෙනවා.

මකර ලග්නය.
මෙතෙක් කාලයක් විවාහස්ථානයේ රැඳී සිටි රාහු ඉන් ඉවත්ව රෝගස්ථානය වෙත ගමන් කරනවා. ලග්න භාවයේ සිටි කේතු වැයස්ථානය වෙත ගමන් කරනවා. 
රාහු කේතු මාරුව මකර ලග්න හිමියන්ට සුබ පල උදා කරනවා.
මානසික අසහනකාරී ගති බොහෝ දුරට දුරු වෙනවා.උද්යෝගය උනන්දුව ඇතිවෙනවා.  බාධක අවහිර තරමක් දුරු වෙනවා.තම වැඩ කටයුතුවලට අන්‍යයන්ගේ උදව් උපකාර හිමි වෙනවා.
නීති ප්‍රශ්නයක් මතු වීමට ඉඩ තිබෙන බැවින් අන්‍යයන්ගේ ණය ගණුදෙනුවලට ඇප වීමෙන් වැළකීම ගුණදායක වෙනවා. ඉක්මන් තීන්දු තීරණවලින් වැළකී දුරදිග බලා කටයුතු කළ යුතුයි.
විවාහ කටයුතුවලට හා යුග ජීවිතයට එල්ල වෙමින් පැවැති අහිතකර බලපෑම් දුරු වෙනවා. 
වැටීම් අනතුරුවලට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි.

කුම්භ ලග්නය.
මෙතෙක් කාලයක් රෝගස්ථානයේ රැඳී සිටි රාහු පුත්‍රස්ථානය වෙත ගමන් කරනවා. වැයස්ථානයේ සිටි කේතු අයස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව කුම්භ ලග්න හිමියන්ට මිශ්‍ර පල උදා කරනවා.
ඒකාකාරී ගමන් මඟ වෙනස් කර නව අදහස් අනුව වෙනස් වැඩපිළිවෙලක් දියත් කිරීමට සිත පෙළඹෙනවා. උද්යෝගය උනන්දුව වර්ධනය වෙනවා. බාධක මැඩගෙන ඉදිරියට යාමේ ශක්තිය උදා වෙනවා. අලුත් ආදායම් මාර්ග නිර්මාණය කරගැනීමට හැකි වෙනවා. අනපේක්ෂිත ධන ලාභවලට ඉඩ තියෙනවා.
විවේකය අඩු වෙනවා. ස්ථාන වෙනස් වීමකට ඉඩ තියෙනවා.
හදිසි ගමන් බිමන් බහුල වෙනවා. 
ප්‍රේම සම්බන්ධතාවලට බාධක එල්ල වෙනවා.

මීන ලග්නය.
මෙතෙක් කාලයක් පුත්‍රස්ථානයේ රැඳී සිටි රාහු ගෘහ ස්ථානයට ගමන් කරනවා. අයස්ථානයේ සිටි කේතු රැකියාස්ථානය වෙත ගමන් කරනවා.
රාහු කේතු මාරුව මීන ලග්න හිමියන්ට එතරම් සුබදායක නෑ.
මානසික සහනය අඩු වෙනවා. ගෘහ ජීවිතය තුළ සතුට සමගිය අඩු වෙන්න පුළුවන්. ඥාතීන් සමග විරසකතා ඇතිවෙන්නත් ඉඩ තියෙනවා. ගේදොර දේපළ සම්බන්ධයෙන් ගැටළු කරදර මතුවෙන්න ඉඩ තියෙනවා.
රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුට තෘප්තිය අඩු වෙන්න පුළුවන්. රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකිය යුතුයි. 
දෙමාපියන්ට තරමක අපල බලපෑම් එල්ල වෙනවා.
උත්සාහයේ හා මහන්සියේ තරමට බලපොරොත්තු වන තරමේ ප්‍රතිපල නොලැබීම හේතුවෙන් කනස්සලු ගති ඇතිවෙනවා.

          ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
සිංහල අවුරුදු රාජ්‍ය නැකත් කමිටුවේ සාමාජික,

  දේශමාන්‍ය,ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර.





Saturday, February 23, 2019

ජලනන්දන පිරිත.


'පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං'   
හාත්පසින් ආරක්ෂාව සලසන බැවින් 'පරිත්ත' නම් වේ.  පිරිත ගැන කියැවෙන්නෙ ඔන්න ඔහොමයි. නිවැරදි ඝණ සංකලනයකින් යුතු ශබ්ද විද්‍යාත්මක පද වැලක් තමයි පිරිත කියන්නෙ. කොහොම වුණත්, මේ හදන්නෙ සියලු පිරිත් දේශනාවන් ගැන කතා කරන්න නෙමෙයි. බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වෙන, බොහෝ දෙනා භාවිතා කරන ජලනන්දන පිරිත ගැන කතා කරන්නයි.  බුදුන් වහන්සේ දේශනා කළා යැයි කියන්නට පැහැදිලි සාක්ෂි හමු නොවුණත් මේ පිරිත බොහොම බලසම්පන්නයි කියන්න ඕනැ තරම් සාක්ෂි තියෙනවා.

  ජලනන්දන පිරිත ගැන නොයෙක් විදියේ ප්‍රශ්න නඟන අයත් එමටයි. ජලනන්දන පිරිත ගේ ඇතුලෙ කියන්න හොඳ නැද්ද...ජලනන්දන පිරිතෙන් සියලු යන්ත්‍ර මන්ත්‍රවල බලය බිඳෙනවද...ජලනන්දන පිරිත නිතර භාවිතා කිරීමෙන් විවාහය ප්‍රමාද වෙනවද...
ඔන්න ඔය විදියේ ගැටළු නිතර දෙවේලේ ඉදිරිපත් වෙනවා. ජලනන්දන පිරිත දෙපැත්ත කැපෙන අවියක් තරමට භයානකයි කියලත් ඇතැමුන් ප්‍රකාශ කරනවා.

සතර පොත්ගුල් අලගුව සහිත ජලනන්දන පිරිත, දැහැන සහිත ජලනන්දන පිරිත, ජලනන්දන මන්ත්‍ර ආදී වශයෙන් ජලනන්දන පිරිත් දහයක් පමණ තියෙනවා. ගාථා හතකින් සමන්විත ජලනන්දන පිරිතක් වර්තමානයේ පිරිත් පොත්වල තියෙනවා. මෙම පිරිත් එකකට එකක් වෙනස්.

ජලනන්දන පිරිත වැඩි වශයෙන් භාවිතා කරන්නේ මන්ත්‍ර ශාස්ත්‍රීය කටයුතුවල නියැලෙන අයයි. කොඩිවිණ ආපිට පෙරලා කැපීම, අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම මෙන්ම තවත් බොහෝ කටයුතු සඳහා ඔවුන් ජලනන්දන පිරිත භාවිතා කරනවා. ජලනන්දන පිරිත්වලින් ගත හැකි වැඩ දහස් ගණනක් බව පැරණි පොත් පත්වල සඳහන් වෙනවා.

කොහොම වුණත්, වර්තමානයේ පිරිත් පොත්වල සඳහන් වන ගාථා හතකින්  යුතු ජලනන්දන  පිරිත එතරම් බලසම්පන්න පිරිතක් නෙමෙයි. ආරක්ෂාවක් හැරුණු කොට වෙනත් සැළකිය යුතු තරමේ වැඩ කොටසක් ඉටු කරගැනීමට ප්‍රමාණවත් නෑ.

ගාථා හතකින් යුතු ජලනන්දන පිරිතේ ගාථා දෙකක සඳහන් වෙනවා 'සර්ව බන්ධන ඡේදනං' කියලා. තවත් තැනක 'සයනේ බන්ධන විද්වන්සනං' කියල සඳහන් වෙනවා. සර්ව බන්ධන කියන්නෙ සියලු බැඳීම් කියන එකයි. සියලු බැඳීම් කිව්වම අඹු සැමි බැඳීම්, මාපිය දූදරු බැඳීම්, ඥාති බැඳීම් සියල්ල අයත් වෙනවා. මේ අනුව, සියලු ආකාරයේ බැඳීම් තමයි දුරුවෙන්න කියන්නේ. ඒක ලෞකික ජීවිතයක් ගත කරන අයට ගැටළුවක් වෙනවා. මේ ගාථා හතකින් යුතු ජලනන්දන පිරිත නිතර භාවිතා කළ බොහෝ දෙනෙකුට විවාහ ගැටළු, දූදරු ප්‍රශ්න පමණක් නෙමෙයි ආර්ථික ගැටළු පවා මතුවෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම අවුරුදු දහයකට වැඩි කාලයක් තිස්සෙ හොයල බැලුවා. සියලු බැඳීම්වලින් ඈත් වෙලා ඉන්න අය තමන්ගෙ ආරක්ෂාවට මේ පිරිත භාවිතා කළාට ගැටළුවක් නෑ. 'යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා විනාසං බුද්ධානුභාවතො' කියලත් මේ පිරිත තුළ සඳහන් වෙනවා. හොඳ නරක සියලු යන්ත්‍ර මන්ත්‍ර බලය බිඳ වැටෙනවා.

මේ සමග මම ඉදිරිපත් කර තිබෙන ගාථා දහයකින් යුතු ජලනන්දන පිරිත තුළ 'සර්ව බන්ධන ඡේදනං' 'සයනේ බන්ධන විද්වන්සනං' 'යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා' යනාදී යෙදුම් නෑ. 'සබ්බ වින විනස්සතු' 'වින දෝෂානි විනස්සතු' ' නීච කුල බන්ධන ඡේදනං' 'වින මන්ත්‍රානි විනස්සතු' ආදී වශයෙන් තමයි සඳහන් වෙන්නෙ. ඒ අනුව මේ පිරිතෙන් තමන්ට අහිතකර වින සහ දෝෂ දුරුවෙනවා. ඒ හැර අපලෙට පැළඳගෙන ඉන්න යන්ත්‍රයේ බලය හෝ වෙනත් බැඳීම් දුරු වෙන්නෙ නෑ. මේ පිරිත නිවස තුළ නිතර භාවිතා කිරීම ඉතාමත්ම ගුණදායකයි.

ගාථා දහයකින් යුතු මේ ජලනන්දන පිරිතෙන් ඕනෑම කොඩිවිනයක්, නීච බන්ධනයක් විනාශ කරන්න පුළුවන්. ඇස්වහ, කටවහ, ප්‍රේත දෝෂ, ඉනා බන්ධන ආදී සියලු අහිතකර බලපෑම් මෙයින් දුරු කරගන්න පුළුවන්. 2014 ජනවාරි මාසයේදි පළමු වරට මෙම පිරිත අන්තර්ජාලය තුළ පළ කළ දා පටන් මෙයින් වැඩ ගන්නා බොහෝ දෙනා තම අත්දැකීම් නිතර මා සමග පවසනවා.

ජලනන්දන පිරිත දෙපැත්ත කැපෙන අවියක් වෙන්නෙ හැමෝටම නෙමෙයි. නිසි ප්‍රතිපත්තියක් නැති, පාපකාරී අයට මේක දෙපැත්ත කැපෙන අවියක් බවට පත්වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේ නාමයන් ඇතුළත් කර ඇති බලසම්පන්න පිරිතකින් හැමෝටම වැඩ ගන්න අමාරුයි. පස් පවින් වැළකිලා, සියලු සත්වයින්ට මෙත් සිත පතුරවාගෙන භාවිතා කළොත් තමන්ට කිසිම හානියක් වෙන්නෙ නෑ.

මේ සමග ඉදිරිපත් කර ඇති ජලනන්දන යන්ත්‍රය අඟල් 2 -10 හෝ 2-6 තඹ පත්‍රයක ඉරි නොකැපෙන සේ ඇඳ, පුර පක්ෂයේ තමන්ගේ ජන්ම නැකතට සීහෙන සුබ නැකතක් යෙදුණු දවසක, රාහු කාලය මඟහැර, සුබ හෝරාවක, මරුට පිටුපා හිඳ දහස් වාරයක් ජීවම් කරගෙන පැළඳීමෙන් ඉමහත් ආරක්ෂාවක් සලසා ගත හැකියි. මෙම යන්ත්‍රය ඇඳීමේදී සෑම රේඛාවක්ම ද්විත්ව විය යුතු බව මතක තබා ගත යුතුයි.

සුදු හඳුන් තෙල් හෝ රන් තැඹිලි තෙල් ස්වල්පයක් පීරිසියකට හෝ එවැනි කට පළල් භාජනයකට දමා, පෙර සඳහන් කළ පරිදි සුබ දිනෙක දහස් වර ජීවම් කරගෙන රන් සුරයක දමා පැළඳීම ද ගුණදායක වෙනවා. නඩු ජයග්‍රහණයට, සතුරු බලපෑම්,අමනුෂ්‍ය දෝෂ,කොඩිවින, ඇස්වහ කටවහ ආදියෙන් නිසි ආරක්ෂාව සැලසෙනවා.  තෙල් හෝ යන්ත්‍රය ජීවම් කිරීමේදී මල් ආසනයක් සකස් කර එහි ලදපස්මල් අතුරා ඊට උඩු වියන් බැඳගත යුතුයි.

නූල් බැඳීම, දෙහි කැපීම, නිවාස ආරක්ෂා කිරීම,කොඩිවින කැපීම, අමනුෂ්‍යයින් ඉවත් කිරීම ආදී ඔනෑම කාර්යයක් සඳහා මෙම පිරිත සුදුසුයි. මේ සම්බන්ධයෙන් වැඩි යමක් දැනගැනීමට ඇත්නම් පෞද්ගලිකව විමසන්න.

ඔබට තෙරුවන් සරණයි.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
  සංජීව කුළුපන බණ්ඩාර
       077 7065760
       071 8875816






Wednesday, February 13, 2019

අනාවැකි පැවසීම උගන්වන්න පුළුවන් ද ?



ජ්‍යොතිෂය හැදෑරූවෝ බොහෝ ය. හදාරන්නන්ද එමට ය. ජ්‍යොතිෂය හදාරන සියල්ලන්ටම පලාපල පැවසිය නොහැක. පලාපල පැවසීම ජ්‍යොතිෂය ඉගෙනීමෙන් පමණක් කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා සාංසාරික පුරුද්දක් අවශ්‍ය ය. සසර පුරුද්ද ඇති පුද්ගලයාට ජ්‍යොතිෂය අල්ලා ගැනීම මහ ලොකු වැඩක් නොවේ.

ජ්‍යොතිෂ පොත පත හා උපාධි සම්බන්ධයෙන් නම ගිය ආයතනයක සිසුවියක් කාලයකට පෙර මා හමුවීමට පැමිණියා ය. මගෙන් පලාපල අසා දැනගත් ඇය පවුලේ සියලු දෙනාගේ කේන්දරත් මා වෙතින් පරීක්ෂා කරගත්තා ය. " අපේ සර් ජ්‍යොතිෂය ඉගැන්නුවට පලාපල කියන්න දන්නෙ නැහැනෙ..." ඒ ඇය නිතර පැවසූ කාරණය කි.

ජ්‍යොතිෂය යනු ඉගැන්විය හැකි, ඉගෙන ගත හැකි ශාස්තරයකි. එසේ වූවද, පලාපල කථනය සහ අනාවැකි පැවසීම ඉගැන්විය හැකි හෝ ඉගෙන ගත හැකි ශිල්පයක් නොවේ.

පලාපල පැවසීමේදී ඉෂ්ට දේවතාවුන්ගේ පිහිට ලබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය. ඇතැමුන් කේන්දරය පීරා ඉෂ්ට දේවතාවා සොයන බව ද නොරහසකි. කේන්දරය තුළ ඇති ඉෂ්ට දේවතාවෙක් නැත. ඉටු දෙවියන් වැඩ සිටින්නේ තමා තුළම ය. ඉටු දෙවියෝ නම් තමන්ගේ උප විඥානයයි. නැතිනම් යටි සිත යි. උප විඥානයට කිසිවක් අමුතුවෙන් ඉගැන්විය යුතු නැත. උප විඥානක මනසේ ඉන්ද්‍රජාලික හැකියාව අප මෙලොව ජනිත වන්නට පෙර, පල්ලි, පන්සල්, කෝවිල් පවතින්නට පෙර සිටම තිබුණේය. ඉටු දෙවියන්ට සම කළ හැකි වෙනත් බලවේගයක් විශ්වය තුළ නැත.

" අපි නිහඬ වෙමු. දෙවියන් හෙමින් මුමුණනු ඇසෙන්නේ එවිට ය " යනුවෙන් අගනා කියමනක් තිබේ. සමාධිගත මනසකින් මිස කලබලකාරී මනසකින් පලාපල පැවසිය නොහැක. අද කාලයේ බොහෝ දෙනා කටයුතු කරන්නේ සමාධිගත වනවා තබා, කෙනෙක් දුරකතථනයෙන් පවසන දෙයක් හෝ පැහැදිලිව අසා ගැනීමට නොහැකි තරමේ ඝෝෂාකාරී, කලබලකාරී පරිසරයන් තුළ ය.

කේන්දරය තුළ ග්‍රහ තාරකාවන්ගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීමේදී, බැසිය යුතු අවසන් විනිශ්චය ඉතාමත් ආශ්චර්යවත් ලෙස දැනුම් දෙන්නේ, සමාධිගත චිත්තය තුළ වෙසෙන දෙවියන් විසිනි. අතීතයේ ජ්‍යොතිෂ කටයුතුවල නියැලුණු මුතුන් මිත්තන්ගේ දක්ෂතා පිළිබඳව අද ද ඉඳ හිට අසන්නට ලැබේ. ඔවුන්ගේ මානසික සංයමය, අධ්‍යාත්මික ශක්තිය, චිත්ත සමාධිය ඊට බෙහෙවින් ඉවහල් වූවාට කිසිම සැකයක් නැත. ඊට සරිලන අන්දමේ නිස්කලංක, ස්වභාවික පරිසරයක්ද ඔවුන්ට තිබුණි.

සසර තුළ පුරුදු පුහුණු කළ සියලු දේ උප විඥානය තුළ නොනැසී පවතින අතර, තමන් නියැලෙන ක්ෂේත්‍රය ට අදාල විශේෂඥ දැනුම උප විඥානය තුළින් මතුකර ගන්නෝ ක්ෂේත්‍රය තුළ උපරිම සාර්ථකත්වයට පත් වෙති.වෛද්‍ය විද්‍යාව, සංගීතය, ගායනය, කථිකත්වය, උපදේශනය, ව්‍යාපාර ආදී කුමන ක්‍ෂේත්‍රයක වූවද විශේෂඥ දැනුම ලබාදීමේ ආශ්චර්යවත් හැකියාව උප විඥානය සතුව පවතී.  සෑම කටයුත්තක්ම භාවනාවක් යැයි පවසන්නේ ඒ නිසාය. අවාසනාවට වර්තමානයේ බොහෝ දෙනා අඩුම අවදානය යොමු කරන්නේ 'සිත' පිලිබඳව ය.

සිදුවෙමින් පවතින හා සිදුවීමට නියමිත අනේක විධ සිදුවීම් පිලිබඳව විස්තර කථනය කිරීම සුළු පටු කාර්යයක් නොවේ.සමාජ යහපත පිලිබඳව බලවත් හැඟීමෙන් යුතුව, හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමෙන් තොරව යටි සිතේ ශක්තිය අවදි කරගැනීම දුෂ්කර ය. යටි සිත යනු මූලධර්මයකි. විශ්ව ව්‍යාපි බලවේගයක ප්‍රකාශනයයෙකි.  ඉටු දෙවියන් යනු උප විඥානය හෙවත් යටි සිත බැවින්, හෘද සාක්ෂිය ට එරෙහිව කටයුතු කරන කවරෙකුට වූවද සෘණ ප්‍රතිපල භුක්ති විඳීමට සිදුවේ. එවන් පුද්ගලයින් උන්හිටි ගමන් අමාරුවෙ වැටෙන්නේ ශාස්ත්‍රයට ද බරපතල හානි ගෙන දෙමිනි.

ජ්‍යොතිෂය සම්බන්ධයෙන් කිසිවක් නොදැන පලාපල පවසන අය පිළිබඳව ද ඇතැම් විට අසන්නට ලැබේ. මා දන්නා එක්තරා කාන්තාවක් කාලයක් තිස්සේ හඳහන් බැලීම සිදුකරගෙන ගියා ය. ඇය ජ්‍යොතිෂය ගැන එතරම් දැනීමක් තිබුණු තැනැත්තියක් නොවුණ ද, නිවැරදිව පලාපල පැවසුවා ය. ඇයගෙන් පලාපල දැනගැනීම සඳහා උපන් වේලාව රැගෙන යාම ප්‍රමාණවත් නොවුණු අතර කේන්දරය රැගෙන යාම අනිවාර්යය විය. කේන්දරය අතට ගන්නා ඇය, පැමිණි පුද්ගලයින්  විශ්මයට පත් වන අයුරින් පලාපල පැවසුවාය. පැවසිය යුතු සියලු දේ ඇයට දන්වා සිටින්නේ කලකට පෙර මියගිය තම සමීප ඥාතියෙක් බව ඇය මා සමග පැවසුවා ය. එම මියගිය ඥාතියා ජීවත්ව සිටියදී ජ්‍යොතිෂයෙහි නියැලුණු අයෙකි. දැනට ඇය එම කටයුතුවලින් ඉවත්ව සිටින්නීය.  ඒ, පලාපල කථනයේ තවත් පැතිකඩකි.

මේ වන විට විද්‍යුත් මාධ්‍යය තුළ ජනප්‍රිය ජ්‍යොතිෂවේදියෙක් මුල් කාලයේ හඳහන් පරීක්ෂාව සිදුකරන ලද්දේ, තම මේසය මත දැල්වුණු පහනේ ආලෝකයට හඳහන අල්ලා බැලීමෙනි. එකල ඔහු පවසා සිටියේ තමන් කාලි මෑණියන්ගේ වරමින් හඳහන් බලන බව යි. කාලි මෑණියන්ගේ වරමින් හඳහන් බලන්නේ යැයි කී ප්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැක. කෙසේ වෙතත් මේ වන විට ඔහු එම ක්‍රමවේදයෙන් බැහැරව, මාධ්‍ය තුළ වැඩසටහන් ඉදිරිපත් කරමින් කාර්ය බහුල වී සිටියි. එසේ වූවද ඔහුගේ පැරණි සේවාදායකයින් පවසන්නේ පෙර තිබුණු දක්ෂතාවය මේ වන විට ඔහු වෙතින් දැකගැනීමට නොහැකි බවත්, ඉදිරිපත් කරන පලාපල සැළකිය යුතු තත්වයක නොමැති බවත් ය.

ඉටු දෙවියන් කෙරෙහි පූර්ණ විශ්වාසය තබාගෙන, සමාධිගත සිතින් පලාපල පැවසීමෙහි නියැලෙන ඇතැම් ජ්‍යොතිෂවේදීන්ට එක්තරා අවස්ථාවක පලාපල පැවසීමේ 'තත' හසුවන්නේ ඉතාමත් ආශ්චර්යවත් ලෙසිනි. එම මුල්ම අවස්ථාව තමන් පිලිබඳව තමන්ටම පුදුම සිතෙන, මහත් ප්‍රබෝධමත් අවස්ථාවකි.  කේන්දරය තුළ සටහන්ව පවතින ග්‍රහ රටාවන් අභිබවා යමින්, වර්තමාන තත්වයත් ඉදිරි තත්වයත් මැනවින් විස්තර කිරීමේ හැකියාව එතැන් පටන් හිමි වෙයි. දෛනිකව සිදුකරන උප විඥානය සමග දැහැන් ගතවීම කෙරෙන් ඈත් වීමත් සමග පලාපල පැවසීමේ විශේෂඥ හැකියාව ද  ක්‍රමයෙන් අහිමි වේ.

විවිධ මාදිලියේ ගණිත ක්‍රම, යෝග, දෘෂ්ටි, උප පද ආදී අනේකවිධ කරුණු කාරණා පිලිබඳව සාරගර්භ විස්තර, කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවා විනා අවබෝධ කරගත් වටිනා දේ රහස් වශයෙන් තබාගෙන සිටීම බොහෝ දෙනාගේ සිරිත ය.

මෙම ලිපිය කීප දෙනෙකුට හෝ ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.


Saturday, January 26, 2019


සතුට සැනසුම පිරුණු ජීවිතයක් ගතකරන්න කවුද අකමැති ?
ඒත්... මේ මොහොතේත් මොන තරම් දෙනෙක් දුකින් කනස්සල්ලෙන් කළකිරීමෙන් ඇත්ද...
බිරින්දෑවරු, ස්වාමිපුරුෂයින් කී දෙනෙක් නම් දුක් කරදර මානසික පීඩා මැද කල්ගෙවනවා ඇත්ද...
හය හතර නොතේරෙන සුරතල් දරුවො තුරුළු කරගෙන, තමන් අතහැර ගිය ස්වාමිපුරුෂයින් ගැන සිතමින් හඬන බිරින්දෑවරුන් ගේ දුක් සුසුම් මේ මොහෙතේදීත් වා තලයට මුසු වෙනවා ඇති...
පෙම් ලොවේදි දෙවිවරු වගේ හැසිරෙන සියලු පෙම්වතුන් යුග ජීවිතයේදීත් ඒ වගේම හැසිරෙනවා නම් මොන තරම් දෙයක්ද... මගේ ජීවිතයම ඔයා විතරමයි කියන පෙම්වතුන් කාලයක් ගතවෙද්දි තව තව අය හොයාගෙන නොයා බිරිඳ සමඟම ආදරෙන් කල් ගෙවනවා නම් මොන තරම් වටිනවද...අඹු සැමියන්ගේ අඬ දබර මැද්දේ දෑතින් දෑස් වසාගෙන බියෙන් ජීවත්වෙන දරුවො මොනතරම් දුකක් උහුලනවා ඇත්ද...
හය හතර නොතේරෙන අහිංසක දරුවොත් එක්ක දුම්රියට, ගඟට, මුහුදට පැනලා දිවි තොර කරගන්නා අඹු සැමියො ගැන මොන තරම් අහන්න ලැබෙනවද...
බිරින්දෑවරුන්ගේ අනියම් පුරුෂයින් අතින් මරණයට පත්වෙන, කරදරයට ලක්වෙන ස්වාමිපුරුෂයින් ගැන පුවත් මොන තරම් අහන්න ලැබෙනවද...

'විවාහයට පෙර ගැළපිය යුත්තේ කේන්දර නොව හදවත්' යැයි පවසන අයට පුළුවන් නම් ගුරු මුෂ්ටිය සඟවා නොගෙන ඒ ක්‍රමය පැහැදිලිව කියාදෙන්නට...අද මොන තරම් දෙනෙක් සතුටින් කල්ගෙවනවා ද...
වැඩිපුර Share කළ හැකි කියුම් නිර්මාණය කිරීම පහසු වූවත් ඒවා ප්‍රයෝගික ජීවිතයේදී ක්‍රියාත්මක කළ හැකි ක්‍රමය දන්නා විෂ්ම කර්මයෙක් මිහිපිට නෑ.

මගේ පෙම්වතා, මගේ පෙම්වතිය මගේ සාංසාරික සහකරුමයි කියල බොහෝ දෙනෙකුට හිතෙනවා. විවාහය හින්දා තැවෙන, හඬන, දුක් විඳින බොහෝ දෙනා ඒ විදියටම හිතපු, විශ්වාස කරපු අයම තමයි. විවාහය බිඳවැටේ යැයි මොහොතකටවත් නොසිතපු, එසේ සිතන්නට කිසිදු අවශ්‍යතාවයක් නොතිබුණු අයම තමයි.  දෙහදවත් නොබිඳෙන සේ ගැළපිලා, යාවෙලා තියෙන බව හදවතින්ම විශ්වාස කරගෙන හිටියත් අනපේක්ෂිත විදියට බොහෝ දේ වෙනස් වෙන්න පුළුවන්.

යුග දිවිය ගිනි ගොඩක්, අපායක්, මාරකයක් බවට පත් නොවන විදියට හරිම නිවැරදිම තෝරාගැනීම කරන්නෙ කොහොමද ? පොරොන්දම් විස්සෙන් ඔය වැඩේ කරන්න පුළුවන්ද ?
පොරොන්දම් විස්සෙන් නම් කොහොමටත් කරන්න බෑ. ඒත්, තෝරාගැනීම හරිද වැරදිද කියන එක කේන්දර දෙකෙන් හරියටම දැනගන්න පුළුවන්.
විවාහය සඳහා පොරොන්දම් ගළපනවා කියන කියමනම වැරදියි. මානසික රෝගියෙකුගේ කේන්දරයක් නිරෝගී කෙනෙකුගේ කේන්දරයක් සමග ගැළපුවත් පොරොන්දම් විස්ස ගැළපෙන්න පුළුවන්. ඒත්, එයා මානසික රෝගියෙක්ද, නිරෝගී කෙනෙක්ද කියන එක දැනගන්න නම් එයාගෙ කේන්දරය බලන්නම වෙනවා.

මේ පුද්ගලයා සමග විවාහ වුණොත් මම බලාපොරොත්තුවෙන සතුට සැනසුම උරුම වෙයිද...? මෙයා මේ පෙන්නන්නෙ අව්‍යාජ, නොවෙනස් ආදරයක්ද...? මෙයාට තව සම්බන්ධකම් ඇත්ද...? විවාහයෙන් පස්සෙ තවත් අය ඕනැ වෙයිද...? මගේ දේපළ ලියාගෙන වෙන කෙනෙක් එක්ක විවාහ වෙයිද...? දැන් දෙවියෙක් වගේ පෙනුනට පස්සෙ යක්ෂයෙක් වගේ වෙයිද...? උපදින දරුවන්ට යහපත් මවක්, පියෙක් වෙයිද...?
ඔය කිසිම දෙයක් පොරොන්දම් විස්ස ගැළපුවට හොයාගන්න ලැබෙන්නෙ නෑ. ' කේන්දරත් ගැළපුණා, ඒත් විවාහය අවුල් වුණා...' කියන්නෙ පොරොන්දම් විස්ස බලාගෙන විවාහ වුණු අය තමයි.

දෙන්නගේ කේන්දර අරගෙන ජ්‍යොතිෂවේදියෙක් හමුවෙන්න ගියාම ඔය ඉහත සඳහන් කරලා තියෙන දේවල් පැහැදිලිව අසා දැනගන්න. කේන්දරවලින් ඒ දේවල් කියන්න පුළුවන්කම තියෙන ජ්‍යොතිෂවේදියෙක් තෝරාගන්න.

ආදරය වගේම වෛරයත් සසර පුරුද්දට ගමන් කරනවා. දරුවො විදියට පූර්ව වෛරක්කාරයො ඉපදෙන අවස්ථා තියෙනවා. ඒ අය උස් මහත් වෙලා මව, පියා ඝාතනය කරන අවස්ථා, දෙමාපියන්ව මහපාරට ඇද දමන අවස්ථා තියෙනවා. දෙමාපියො සාංසාරික වෛරක්කාරයො විදියට දරුවන්ව මරා දමන, හිංසනයට ලක් කරන, නොසළකා හරින අවස්ථා ද කොතෙකුත් තියෙනවා. ඒ වගේම, බිරිඳ හෝ ස්වාමිපුරුෂයා විදියට හමුවෙලා සාංසාරික වෛරය පිරිමහන අවස්ථාත් තියෙනවා. සාංසාරික ආදරය වගේම සාංසාරික වෛරයත් කේන්දර තුළින් හොයාගන්න පුළුවන්.

අද මුහුණු පොතේ ජ්‍යොතිෂ pages, groups බොහොමයක් තියෙනවා. හරි නමක් නැති, හරි ඡායාරූපයක් නැති බොහෝ දෙනෙක් මේවයෙ කල්ගෙවනවා. හරි අපූරු කරුණු කාරණා, උත්තර, අනාවැකි පවසනවා. දින කීපයකට පෙර මවක් දුරකතනයෙන් මා ඇමතුවා. ' මගේ දරුවාගෙ කේන්දර සටහන ජ්‍යොතිෂ group එකකට යැව්වා. ඒකෙ කෙනෙක් මට inbox හරහා සම්බන්ධ වෙන්න කියලා දරුවට මාරකයක් තියෙනවා, ඒකට පූජාවක් කරන්න ඕනැ කිව්වා. පූජාවට  රුපියල් හැත්තෑදාහක් යනව කිව්වා. ඇත්තටම මගේ දරුවට මාරකයක් තියෙනවද...?  මම උපන් දිනය, වෙලාව ඉල්ලගෙන බලලා 'කිසිම මාරකයක් නෑ බය වෙන්න එපා' කිව්වා.
ඉවක් බවක් නැතුව ඒ මේ අත කේන්දරය යැවීමට පෙර දෙපාරක් සිතා බැලීම වැදගත් වෙනවා.

මුහුණු පොත හරහා බොහෝ දෙනෙක් කේන්දරය සම්බන්ධයෙන් කරුණු කාරණා, උපදෙස් අසා දැනගන්නවා. එසේ පලාපල, උපදෙස් ලබාගන්නා නමුත් තමන්ගේ මතයට දැඩි තීන්දු තීරණ ගන්නා අයත් එමටයි. එවැනි අයගේ මංගල ඡායාරූප ටික දවසකින් අතුරුදන් වී තමන්ගේ ඡායාරූප පමණක් ඉතිරි වෙනවා. තවත් කාලයක් ගතවෙන කොට married to කියන තැනින් නම අයින් වෙලා married යන්න පමණක් සඳහන් වෙනවා. තවත් ටික දිනක් ගතවෙන විට married කියන වචනෙත් අතුරුදන් වෙලා යනවා. බොහොමයක් දෙනා සිදුවූ සියල්ල පවසන නමුත් ඇතැමුන් පැවසිය නොහැකිව නිශ්ශබ්දව සිටිනවා. මෙසේ සඳහන් කරන කිසිවක් අපහාසය හෝ උපහාසය පිණිස නොවන බවත්, ජීවිතයේ සාර්ථකත්වය සඳහාම බවත් කරුණාවෙන් සළකන්න. ජ්‍යොතිෂය ඇසුරින් ජනතාව දැනුවත් කිරීම 1997 වසරේ පටන්ම නොයෙක් පුවත්පත්, සඟරා ඔස්සේ සිදුකළ බව ද සළකන්න.

බහුතරයක් දෙනා මෙවැනි ලිපි කියවනවා අඩුයි. එනිසාම කරදරයට පත්ව අසරණ වූ විට නොයෙක් වංචනිකයින්ට හසු වී දහස් ගණන්, ලක්ෂ ගණන් මුදල් නාස්ති කරගනිමින් තවත් අසරණ වෙනවා. හරි තැනට යොමුවෙන විට සියල්ල නැති වී හමාරයි. ' යන්න තියෙන හැම තැනටම ගිහින් නැත්තටම නැතිවෙලා ඉන්නෙ... අනේ මට පිහිට වෙන්න...' බොහෝ පිරිසක් නිතර දෙවේලෙ ඔය විදියට කියනවා.

දුකට පත්වීමට පෙර දැනුවත් වීම හැම අතින්ම සුබදායකයි.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දිවයිනටම සාම විනිසුරු 
   දේශමාන්‍ය, ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර.

       දුරකථන: 077 7065760, 071 8875816




Sunday, January 20, 2019

ජේ.ආර් ජයවර්ධන මහතාගේ ග්‍රහ බලය.


ස්ටාර් එක හොඳ වෙලාවට බඹරෙ වැල්ලෙ ගැහුවත් කැරකෙනවා. ඒ වෙලාවට තමන්ගෙ වාසියට පිටිය සකස් වෙනවා. ලැබිය යුතු තැන ලැබෙනවා. ළං වෙන්න ඕනැ අය ළං වෙනවා. සතුරු බලවේග අඩපන වෙනවා. අරමුණු මුදුන්පත් වෙනවා. වයස් අවුරුදු 72 දි වාසනාව සුපිරියටම උදා වුණු ජන නායකයෙක්ගේ ග්‍රහ බලය ගැනයි මේ කතා කරන්න හදන්නේ.

ඔහු මේ රටේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ය. පූර්ණ බලතල සහිත විධායක ජනාධිපති ධූරයේ නිර්මාතෘවරයා ය.  ඉංග්‍රීසි පුවත්පත්වල මාද්‍යවේදීන් ඔහු හැඳින්වූයේ Old Fox යනුවෙනි. එහි තේරුම 'මහළු හිවලා' යන්න යි. තීක්ෂණ උපායශීලී ඥානය අතින් ඔහුට සම කළ හැකි අයෙක් ලංකා දේශපාලනය තුළ මෙතෙක් බිහි වී නැතැයි ඇතැමුන් පවසයි. මොන තරම් උපායශීලී ඥානයක් තිබුණ ද රටේ නායකත්වයට පත්වීමට වයස අවුරුදු 72 වන තුරු බලා සිටීමට සිදුවිය. එනම්, ඔහු රටේ නායකත්වයට පත් වූයේ  රාජ යෝග බලය නිසි පරිදි මතු වී පලදෙන්නට ගත් විට ය.

ජේ ආර් ජයවර්ධන මහතා උපත ලැබුවේ 1906 සැප්තැම්බර් මස 17 වෙනි සඳුදා කොළඹදී ය. ඒ, ශ්‍රී ලංකා භූමිය හොඳින්ම පලදෙන කන්‍යා ලග්නයෙනි. ලග්නාධිපති බුධ දොළොස්වැනි භාවයේ ය. දොළොස්වැනි භාවාධිපති රවි ලග්නයේ ය. එනම්,එකත් දොළහත් අතර පරිවර්තන යෝගය කි. පරිවර්තන යෝග තුන් ආකාරයකට වර්ග කොට තිබේ.

1. මහා පරිවර්තන යෝග
2. මධ්‍යම පරිවර්තන යෝග
3 දෛන්‍ය යෝග යනුවෙනි.

ජේ ආර් ජයවර්ධන මහතාගේ පරිවර්තන යෝගය අයත් වන්නේ දෛන්‍ය යෝග ගණයට ය. එහි ප්‍රතිපල නම් දිළිඳු වීම, ලැබෙන දෙය පල නොදීම, අග හිඟතා ඇතිවීම,ණය තුරුස් වීම  බව ජ්‍යොතිෂ පොත පතේ සඳහන්ව තිබේ. ඒත් ජේ ආර් ජයවර්ධන මහතාට මේ කියන කිසිම අසුබතාවයක් බලපෑවේ නැත. රහස නම් අසුබදායක පරිවර්තන යෝගයේ බලපෑම යටපත් කරමින් ක්‍රියාත්මක වූ බලවත් යෝග ගණනාවක් කේන්දරයේ සටහන් වීම යි. ඒ මොනවාදැයි පිළිවෙලට සොයා බලමු.

උභයචාරී යෝගය පිළිබඳව ජ්‍යොතිෂය යම් තරමින් හෝ දන්නා අයට අමුතුවෙන් කියා දිය යුතු නැත. රවිගෙන් දෙපස සඳු හැර වෙනත් ග්‍රහයින් දෙදෙනෙකු හෝ ඇත්නම් උභයචාරී යෝගයයි. රවිගෙන් දෙවැන්නේ සිකුරු සිටින්නේ නිකම් නොව ස්වක්‍ෂේත්‍රව ය. රවිගෙන් දොළොස්වැන්නේ කුජ හා බුධ ය. සමෘද්ධිමත් බව, වියත් කථිකත්වය, මනා සේ වැඩුණු දේහය, ප්‍රසිද්ධිය උභයචාරී යෝගයේ ප්‍රතිපල ය.

සිකුරු දෙවැන්නාධිපති වී දෙවැනි භාවයේ තැන්පත්ව සිටීම දේශපාලන නායකයෙකුට ඉතාමත් වැදගත් පිහිටීමකි. තම කතාවෙන් ඉමහත් ප්‍රයෝජන ලබාගැනීමට මෙම පිහිටීම හේතු වේ. 1951 වසරේදී සැන්ප්‍රැන්සිස්කෝ නුවර පැවැත්වුණු ජපන් සාම ගිවිසුම් සම්මේලනය ඇමැතූ ජේ ආර් ජයවර්ධන මහතා පිලිබඳව ඇමෙරිකාවේ ටයිම්ස් සඟරාවේ මෙසේ සඳහන් වී තිබුණි.
" කේඩෑරි සිරුරක් ඇති, හෙමින් කතා කරන, දැලි පිහියක මුවහත් දිවක් ඇති, ශ්‍රී ලංකාවේ නියෝජිතයා සම්මේලනය ඇමැතූ දක්ෂ ආසියානු කථිකයා විය"
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යටත් විජිත රටවලට නිදහස ලබාදීම සඳහා පැවති එම සම්මේලනයේදී 'නහී වේරේණ වේරාණි' ගාථාව ඉදිරිපත් කරමින් ජපානයට නිදහස ලබා දිය යුතු බවට ජයවර්ධන මහතා කළ කතාව නිසා, තුනට කැඩී යාමට ගිය ජපානයට තනි රටක් ලෙස නිදහස ලැබුණි. ඒ, දෙවැන්නේ බලවත් වූ සිකුරු විසින් ප්‍රදානය කරන ලද කතා විලාශයේ ප්‍රතිපල යි. සිකුරු ග්‍රහයා නවාංශකයේ උච්ච බලයෙන් සිටින බවද සඳහන් කළ යුතුය. 

අමලා නම් යෝගයක් පිළිබඳව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ලග්නයෙන් හෝ සඳුගෙන් දසවැන්නේ සුබ ග්‍රහයෙක් තැන්පත්ව ඇත්නම් ඒ අමලා යෝගය යි. කල් පවත්නා නාමයක් හිමිකර දෙන , කීර්තිය අත්කර දෙන, සැපවත් ජීවිතයකට වාසනාව උදා කරන යෝගය කි. කන්‍යා ලග්නය හිමි මෙම කේන්දරයේ දස වැනි භාවයේ ගුරු තැන්පත්ව අමලා යෝගය උදාවී තිබේ. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වූයේ ද, අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා රටේ ප්‍රථම විධායක ජනාධිපති ධූරයට පත්වූයේ ද අමලා යෝගය උදා කරමින් දස වැනි භාවයේ තැන්පත්ව සිටි ගුරු ගේ මහ දශා කාලය තුළ දී ය.

සයවැන්නාධිපති 6,8,12 යන ස්ථානයක තැන්පත්ව ඇත්නම් ඒ හර්ෂා යෝගය යි. මෙම කේන්දරයේ සයවැන්නාධිපති සෙනසුරු සයවැන්නේම තැන්පත්ව හර්ෂා යෝගය යෙදී තිබේ. මෙය සතුරු බලවේග දුර්වල කරවන යෝගයකි. කායික වශයෙන් නිරෝගී ශක්ති සම්පන්න බව ඇති කරයි. ධනය, කීර්තිය හිමිකර දෙයි.

සරලා යනුවෙන් තවත් යෝගයකි. අටවැන්නාධිපති 8,12,6 යන තැනක තැන්පත්ව ඇත්නම් ඒ සරලා යෝගය යි. මෙම කේන්දරයේ අටවැන්නාධිපති කුජ දොළොස් වැනි භාවයේ තැන්පත්ව සරලා යෝගය යෙදී තිබේ. මෙය දීර්ඝායු ලබාදෙන යෝගයකි. සතුරන් පරාජයට පත් කරවන, සමෘද්ධිය උදාකරන, උගත්කම හිමිකර දෙන, කීර්තිය හා ප්‍රසිද්ධිය උරුමකර දෙන යෝගයකි.

සියලුම සුබ ග්‍රහයින් 10,11,12,1,2,3 යන භාවයන් ගෙන් එකකට හෝ කිහිපයකට සීමා වී පිහිටා ඇත්නම් එය රාජ යෝගයකි. මෙම කේන්දරයේ ගුරු, බුධ, සඳු, සිකුරු යන ග්‍රහයින් 10,12,2 යන භාවවල තැන්පත්ව එම රාජ යෝගය යෙදී තිබේ.

ලග්නාධිපති හා පස්වැන්නාධිපති සම සප්තමව යෙදීම ද බලවත් ග්‍රහ යෙදුමකි. මෙම කේන්දරයේ ලග්නාධිපති බුධ දොළොස්වැන්නේ ද පස් වැන්නාධිපති සෙනසුරු සය වැන්නේ ද තැන්පත්ව සිටියි. තමන් යෙදී සිටින ක්‍ෂේත්‍රය තුළ ඉහළම සාර්ථකත්වයක් අත්කර දෙන වටිනා ග්‍රහ පිහිටීමකි.

ගුරු මහ දශා කාලය තුළ රටේ ඉහළම තනතුරට පත්වූ ජයවර්ධන මහතා සෙනසුරු මහ දශාවේ බුධ අන්තර් දශා කාලය තුළ දේශපාලනයෙන් සමුගත් අතර, සෙනසුරු මහ දශාවේ සඳු අන්තර් දශා කාලය තුළ ජීවිතයෙන් සමුගත්තේ ය.

මෙම කේන්දරය ඇසුරින් ඉදිරිපත් කළ හැකි තවත් කාරණා බොහෝය. ආධුනික ජ්‍යොතිෂවේදීන් මෙවැනි කේන්දර වැඩි දුර අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත්ය. ජීවිතයේ සුවිශේෂ සිදුවීම් හා බැඳුණු ග්‍රහ බලපෑම් එමගින් වඩාත් පැහැදිලිව සොයා දැනගැනීමට හැකි වනු ඇත.

සංජීව කුළුපන බණ්ඩාර.




Monday, January 14, 2019

පාරිජාත යෝගය.


සමහර ජීවිතවලට වාසනාව උදාවෙන්න කල් යනවා. සමහරු උපන් දා ඉඳලා සැප විඳිනවා. උපන් දා ඉඳලා සැප විඳපු සමහරු ජීවිතයේ අවසාන කාලයෙදී දුක් විඳිනවා.සමහරු ජීවිතෙයේ මුල් කාලයේ මවපු හීන මැදි වියේ ඉඳලා සැබෑ වෙනවා. කාගෙවත් සැළකිල්ලට ලක් නොවී අවලංගු කාසි වගේ ඔහේ ගතවෙන සමහර ජීවිතවලට වාසනාවේ සිරි දෙව්දුව හිටි ගමන් වඩිනවා. අඳුරු වෙලා, කළු ගැහිලා තිබුණු ජීවිත දිස්නෙ දිදී බැබළෙන්න ගන්නවා.

වාසනාව උදාවෙන හැටි, ජීවිතය බැබළෙන්න පටන්ගන්න හැටි, කාට කාටත් අගය වටිනාකම දැනෙන්න ගන්න හැටි, සියලු දුක්ඛ දෝමනස්සයන් හිරු දුටු පිනි මෙන් වාෂ්ප වෙලා යන හැටි කේන්දරයේ සටහන් වෙලා තියෙනවා. ග්‍රහයො නවදෙනාගෙ රුව ගුණ, හැසිරීම හොඳින්ම දන්න ජ්‍යොතිෂවේදියෙකුට මේ දේවල් අපූරුවට පේනවා.

කේන්දරවල සටහන්වන සුබ අසුබ යෝග අතරේ දැකගන්න ලැබෙන බොහොම සුබදායක යෝගයක් ගැනයි මේ කියන්න හදන්නේ. මැදි වයසේ පටන් ජීවිතයට වාසනාව කැන්දන මේ යෝගය 'පාරිජාත යෝගය' විදියට හඳුන්වනවා.

කේන්දරය තුළ මේ යෝගය යෙදෙන්නෙ මෙන්න මේ විදියටයි.
ලග්නාධිපති ග්‍රහයා තැන්පත් රාශ්‍යාධිපති ග්‍රහයා තැන්පත්ව සිටින රාශිය හිමි ග්‍රහයා හෝ 
ලග්නාධිපති ග්‍රහයා තැන්පත් රාශ්‍යාධිපති ග්‍රහයා පිහිටි නවාංශකයට අධිපති ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව        කේන්ද්‍රස්ථානයක නැති නම් ත්‍රිකෝණස්ථානයක  පිහිටා ඇත්නම් ඒ 'පාරිජාත යෝගය' යි.

ලග්නාධිපති ග්‍රහයා ස්වක්‍ෂේත්‍රව ලග්න භාවයේ හෝ ලග්නයෙන් කේන්ද්‍රගතව තැන්පත් වී ඇත්නම් මුලින් දක්වා ඇති ආකාරයට පාරිජාත යෝගය නිරායාශයෙන් උදාවෙයි. 
    
ජීවිතයේ මැදි වයසේ පටන් අවසානය දක්වා කාලය තුළ සැපදායක, ඉසුරුබර ජීවිතයක් ගත කිරීමට ලැබෙන බව මේ යෝගයෙන් පෙන්නුම් කරනවා.  රජුන්ගෙන් උපකාර හිමිවෙනවා. උසස් අයගේ ගෞරවයට පාත්‍ර වෙනවා. මිල මුදල්, යාන වාහන ඇතුව සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමට හැකි වෙනවා. ඉවසිලිමත් බව, සිරිත් විරිත්වලට අනුකූලව කටයුතු කිරීම, නිහතමානී බව, ත්‍යාගශීලී බව චරිත ලක්ෂණ තුළ කැපී පෙනෙනවා. බොහෝ දෙනෙක් දන්නා හඳුනන තත්වයට පත්වෙනවා.

මේ සමග ඉදිරිපත් කරනවා මිථුන ලග්නය හිමි කේන්දරයක්. කේන්දරයේ හිමිකරු කලාකරුවෙක්. දුෂ්ටයා විදියට තිරයට ඇවිත් පසු කාලයේ පෙම්වතා බවට පත්වුණා. ජීවිතයේ මැදි වයසේදී දේශපාලනයට සම්බන්ධවීමේ අවස්ථාව උදා වුණා. බොහොම කෙටි කලකින් කැබිනට් අමාත්‍යවරයෙක් බවට පත්වුණා. මේ කේන්දරයේ ලග්නාධිපති බුධ කුජට අයත් වෘශ්චික රාශියේ තැන්පත්ව සිටිනවා. කුජ සිකුරුට අයත් වෘෂභ රාශියේ තැන්පත් වෙලා ඉද්දි සිකුරු ස්වක්‍ෂේත්‍රව ත්‍රිකෝණස්ථානයක් වූ පස්වැන්නේ ඉන්නවා. මුළින් දැක්වූ ආකාරයට පාරිජාත යෝගය උදාවෙලා තියෙනවා. 



වාසනාව උදාවෙන වෙලාවට සියලු බාධා අවහිර බිඳගෙන ඒ වාසනාව එනවාමයි. 

සංජීව කුළුපන බණ්ඩාර.