හොරණ ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකි. ස්ථානය පිහිටා තිබුණේ ප්‍රධාන පාරක් අද්දර වූවද එහි ව්‍යාපාරික කටයුතු කලක පටන් අඩාල වී තිබුණු බැවින් ව්‍යාපාරය පෙර පැවති දියුණු තත්වයට පත් කර ගැනීමට එහි හිමිකරුවන්ට අවශ්‍ය විය. භූමියේ පැවති දෝෂ ඉවත් කළ යුතු වූ බැවින් ඒ සඳහා ශාන්තිකර්මයක් කළ යුතු විය.
වටින් ගොඩින් අඳුර වැටෙමින් පැවතුණි.මමත් මගේ සහයකයාත් ශාන්තිකර්මයේ මූලික කටයුතු කරමින් සිටි අවස්ථාවයි.ශාන්තිකර්මය සඳහා ගෙනැවිත් තිබුණු පුහුල් ගෙඩිය එතරම් යෝග්‍ය තත්වයක නොතිබුණු බැවින් හැකි නම් වෙනත් පුහුල් ගෙඩියක් රැගෙන එන ලෙස මම එතැන සිටි අයෙකුට පැවසුවෙමි.දෙදෙනෙක් යතුරුපැදියකින් පිටත්ව ගියේ පුහුල් ගෙඩියක් සොයාගෙන ඒමටය.පුහුල් ගෙඩියක් රැගෙන ඒමට පිටත් වූ දෙදෙනා ටික වේලාවකින් ආපසු පැමිණි නමුත් පුහුල් ගෙඩියක් සොයා ගැනීමට හැකිව තිබුණේ නැත.ඔවුන් මුහුණ දී තිබුණේ පුදුම සහගත සිදුවිමකටය.
හන්දියෙ සිංහල බෙහෙත් බඩු කඩේ ඇරලා තිබුණා. අපි ගිහින් අහලා බැලුවම එතන පුහුල් තිබුණෙ නෑ.කඩේට ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ඇවිත් හිටියා.ඒ ගෑණු කෙනා කිව්වා ඒගොල්ලන්ගෙ පුහුල් වැලක පුහුල් තියෙනවා ගෙඩියක් දෙන්නම් කියලා.ඒගොල්ලොත් බයික් එකක ඇවිත් තිබුණෙ.ඒගොල්ලන්ගෙ පිටිපස්සෙන් අපිට එන්න කිව්වා.ඒගොල්ලො පාරට ඇවිත් ඒගොල්ලන්ගෙ බයික් එකට නැග්ගා.අපි අපේ බයික් එකට නැගලා බයික් එක ස්ටාර්ට් කළා.අපේ බයික් එක තිබුණෙ ටිකක් ඉස්සරහින්.අපි බයික් එක ස්ටාර්ට් කරලා පිටිපස්ස බැලුවා. ඒ දෙන්නා පේන්න නෑ.ඒ හරියෙ හැම තැනම බැලුවා.ගිය තැනක් හොයාගන්න බැරි වුණා.
ඔවුන් පැවසූ දෙයින් සියලු දෙනා තුල ඇති වූයේ පුදුමයකි.රාත්‍රිය වන තෙක් ඔවුන් කතාබහ කරමින් සිටියේ එම සිදුවීම ගැනය.පුහුල් ගෙඩියක් සොයාගෙන ඒමට ගිය දෙදෙනාගෙන් එක් තරුණයෙක් ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ සොහොයුරාය.අනෙක් තරුණයා ඔහුගේ ඥාති සහෝදරයෙකි.හැඩිදැඩි පෙනුමෙන් යුතු ක්‍රියාශීලී අයෙකි.මෙය කියවන ඔබ ඔහු ගැන මතක තබා ගත යුතුය.ඔබට ඉදිරිපත් කරන මෙම සත්‍ය සිදුවීමෙහි ප්‍රධාන චරිතය ඔහු බැවිනි.
වෙනත් පුහුලක් නොමැති වූ බැවින් කලින් ගෙනවිත් තිබුණු පුහුල් ගෙඩිය යොදාගෙන ශාන්තිකර්මයේ කටයුතු කරගෙන ගියෙමි.වේලාව රාත්‍රී දහය පසුවූ වී තිබුණි. මම පූජාසනය ඉදිරියේ වාඩිවී මතුරමින් සිටියෙමි.ඒ සඳහා භාවිතා කළේ බුදුගුණ අඩංගු බලවත් ගාථාවකි.ඒ වන විට පූජාසනය අසල තිබුණු පුටුවක වාඩිවී සිටියේ මම ඉහත සඳහන් කළ තරුණයා ය. සෙසු සියල්ලෝ නොයෙකුත් වැඩ කටයුතුවල යෙදී සිටියහ.මගේ සහායකයා ගොඩනැගිල්ලෙන් පිටත ප්‍රේත තටුව සකසමින් සිටියේය.පූජාසනයට මඳක් සමීපව තිබුණු පුටුවක වාඩි වී සිටි තරුණයා තරමක් නොසන්සුන් බව පෙනෙන්නට තිබිණි. වරින් වර උගුර පාදන්නටත් කරන්නටත් විය.මම නොනවත්වා මතුරමින් සිටියෙමි.තරුණයා එක්වරම නැගිට්ටේය.නැගිට අසල තිබුණු දොර ළඟට ගොස් මවට කතා කළේය.ඔහු පැමිණ සිටියේ මව සමගය.
"අම්මේ...අපි යමු.මෙතන ඉන්න බෑ යමු.." එසේ පවසා හූවක්ද තිබ්බේය. හූ තියා මා දෙසට ඉතාමත් රෞද්‍ර බැල්මක් හෙළා රවා බැලුවේය.සියල්ලෝ එතනට පැමිණ තරුණයා අල්ලා මා ඉදිරියේ පුටුවක වාඩි කරවූහ.තරුණයාගේ මුහුණෙහි වූයේ රෞද්‍ර පෙනුමකි.ඔහු රවමින් ගොරවමින් කතා කරන්නට විය.
"මම යකෙක් . මට වෙසමුණි රජ්ජුරුවෝ වරම් දුන්නේ.මාව අයින් කරන්න කාටවත් බෑ.මම මේ කොල්ලා එක්කමයි ඉන්නෙ.මම බුදුහාමුදුරුවන්ට බය නෑ. මම ධර්මයට කැමති නෑ.මට ඕනැ පව් කරන්න.මම කැමති පව් වැඩවලට.මාව අයින් කරන්න එහෙම හිතන්න එපා.මම දරුණු යකෙක්..."
මම ඔහු දෙස බලා සිටියෙමි.මම පැමිණ සිටින්නේ එම ස්ථානයේ ශාන්තිකර්මයකට බැවින් ඒ අතරතුර වෙනත් කාර්යයකට අත ගැසීමට හැකියාවක් නැත.පටන්ගත් කාර්යය නිමා කර ඔවුන්ට සාර්ථකත්වයක් අත්කර දිය යුතුය.එබැවින් මම එතැන සිටි අයෙකුට කතා කොට එම තරුණයා නිවසට ඇරලවන්නැයි පැවසුවෙමි.තරුණයා මව සමග එතැනින් පිටත්ව ගිය පසු සෙසු අය මා සමග ඔහු පිළිබඳව කතා කරන්නට විය.
"මහත්තයෝ දාහතර වෙනි තොවිලය දවස් හතර පහකට කලින් කළා.ඒත් හරිගිහින් නෑනේ.අවුරුදු ගාණක් තිස්සේ ඔය කරදරය තියෙන්නෙ.ඔය කොල්ලට රස්සාවක් කරන්න නෑ.වරින් වර ලෙඩ වෙනවා.තුන් හතර වතාවක්ම දිවි නහගන්න ගිහින් කොහොම හරි බේරාගත්තා.අන්තිමට කරපු තොවිළයෙන්වත් හරි යයි කියලා අපි හිතුවෙ. ඒත් වැඩක් වෙලා නැහැනෙ..."
එම තරුණයා වෙනුවෙන් කළ තොවිල් සම්බන්ධයෙන් හා තරුණයා විඳින පීඩාව ගැන මා සමග පැවසුවේ එම තරුණයාගේ ඥාති සහෝදරියකි. තරුණයා වෙනුවෙන් බෝධි පූජාවක් පවත්වන ලෙසත් එම බෝධි පූජාව පැවැත්විය යුතු ආකාරයත්, එයට ඔහුද සම්බන්ධ කරගන්නා ලෙසත් මම ඔවුන්ට දැනුම් දුන්නෙමි.
ව්‍යාපාරික ස්ථානයේ ශාන්තිකර්මය නිම කර පැමිණ දින කීපයකට පසුව පෙර කී තරුණයා මා හට දුරකථනයෙන් කතා කළේය.තම ඥාති සහෝදරියක් මාගේ දුරකථන අංකය ඔහුට ලබා දුන් බවත් ඇය සමග බෝධි පූජාවකටද එක් වූ බවත් මා සමග පැවසුවේය.කතා කරමින් අතරතුරදී ඔහුගේ කටහඬ ටිකෙන් ටික වෙනස් වන බව දැනෙන්නට විය.තරුණයාගේ කටහඬ වෙනත් කටහඬකට මාරු විය.ඒ පෙර දිනක සිදු කළ ශාන්තිකර්මය අවස්ථාවේ ශරීරයට යක්ෂයා ආරූඩ වූ මොහොතේ පැවතී කටහඬයි. ඔහු ගොරවන්නටත් මහ හඬින් සිනසෙන්නටත් විය.තමන් යක්ෂයෙක් බවත් ධර්මයට යටත් නොවන බවත් පැවසුවේය.මම ඉතාමත් සන්සුන්ව කතා කළෙමි.කිසිවෙකුට වෛර නොකළ යුතු බවත්, ලෝක සත්වයාට මෙත් වැඩිය යුතු බවත් පැවසුවෙමි.වෛරය දුරු කළ යුත්තේ මෛත්‍රියෙන් මිස වෛරයෙන් නොවන බව පැවසුවෙමි.තමන්ට රාජකාරියක් පවරා ඇති බැවින් එය කිරීමට සිදුව ඇති බව ඔහු පැවසුවේය. මම මේසය මත ඇති වජ්‍රායුධය අතට ගෙන එය සෙමින් පිරිමැද්දෙමි."අනේ මහත්තයෝ ඕක නම් කරන්න එපා...පිච්චෙනවා..."කියමින් ඔහු කැගසන්නට විය.මම වජ්‍රායුධය මේසය මත තබා නැවත කරුණාවෙන් කතා කළෙමි.ඒ වන විට යක්ෂයා ශරීරයෙන් ඉවතට ගොසිනි.කතා කරන්නට වූයේ තරුණයාය.ඉක්මණින්ම ශාන්තිකර්මයක් කර තම දෝෂ තත්වය ඉවත් කර සුවපත් කර දෙන මෙන් ඔහු මගෙන් ඉල්ලා සිටියේය.ඒ සඳහා මඳක් ඉවසා සිටින ලෙසත්, දිගටම බෝධි පූජාවන්ට සම්බන්ධ වන ලෙසත් මම ඔහුට පැවසුවෙමි. බෝධි පූජා පවත්වන විට පසළොස්වක පොහොය දිනයට පෙර දිනයේ දින හත නිම වන ලෙස අඛණ්ඩව දින හතක් බෝධි පූජා පවත්වන්නැයි දැනුම් දුන්නෙමි.
එතැන් පටන් වරින් වර තරුණයා දුරකථනය ඔස්සේ සම්බන්ධ විය.ඇතැම් දිනවල යක්ෂයාගේ සම්බන්ධවීමක් සිදු නොවුණි.ඇතැම් දිනවල යක්ෂයා සම්බන්ධ විය.යක්ෂ බලවේගය තරුණයාගේ ශරීරයට ඇතුළු වුණු ආකාරය හා ඊට හේතුව මෙන්ම එම යක්ෂයාගේ දුර්වලතා සියල්ලද මම අවබෝධ කරගත්තෙමි.
තරුණයාට යක්ෂ බන්ධනය සිදු කර තිබුණේ අසල්වැසියෙකි. හේතුව ඉඩම් ආරවුලකි.අසල්වැසියෙක් මෙන්ම ඔහු තරුණයාගේ ඥාතියෙක්ද විය.කාලයක් පුරා දෙපිරිස අතර ඉඩමක් සම්බන්ධයෙන් ආරවුලක් පැවතුණි.ඒ හේතුවෙන් දෙපිරිස අතර නිතර රණ්ඩු කෝලාහලද ඇති වී තිබිණි.අසල්වැසි ඥාතියා තරුණයාට යක්ෂ බන්ධනයක් සිදු කර තිබුණේ ඔය අතරතුරදීය.යක්ෂ බන්ධනය හේතුවෙන් තරුණයා දැඩි පීඩනයකට ලක්ව සිටියේය.කිසිදු වෛද්‍ය පරීක්ෂණයකින් සොයා ගත නොහැකි අසනීප ගණනාවකින් පීඩා විඳිමින් සිටියේය.නොයෙක් ඇදුරන් ලවා තොවිල් දාහතරක් සිදු කර තිබිණි.කිසිදු තොවිලයකින් සාර්ථක ප්‍රතිඵලයක් අත්ව තිබුණේ නැත.වියදම් කිරීමට මුදලක්ද නැති තත්වයකට පත්ව සිටියේය.
තරුණයාට ලෙංගතු ඥාති සහෝදරියක් විය.තරුණයා වෙනුවෙන් කරන ශාන්තිකර්මය සඳහා සියලු වියදම් දැරීමට ඇය ඉදිරිපත් විය.නියම කරගත් දින ශාන්තිකර්මය සඳහා පිටත් වූයෙමි.ශාන්තිකර්මය සඳහා ඥාති හිතමිත්‍රාදීන් රැසක් සහභාගී විය.
ආතුර තරුණයා ඇතුළු පිරිස වාඩි කරවාගෙන මම සුපුරුදු පරිදි බුදුගුණ අඩංගු ගාථා භාවිතා කරන්නට පටන් ගත්තෙමි.තරුණයා දැඩි අපහසුවෙන් සෙම් සොටු පෙරමින් ඒ මේ අත ඇඹරෙමින් මා දෙස බලා ඔරවන්නට විය.
"මොකද අමාරුද... කවුද ඔය ඇවිත් ඉන්නේ..."මම ඇසුවෙමි.
"මහසෝනා..." තරුණයා කෑ ගසා පැවසුවේය.
"ආ...රිටිගල ජයසේනද...රිටිගල ජයසේන මගේ මිත්රයෙක්නේ..." මම එසේ පවසනවාත් සමග ඔහු නිහඬ විය.එතැන් පටන් ඔහු කිසිවක් පැවසුවේ නැත.මම අඛණ්ඩව මගේ කාර්යය කරගෙන ගියෙමි.තරුණයාගේ අපහසුතා ටිකෙන් ටික අඩු වන බව පෙනෙන්නට තිබිණි.
පසුදා අලුයම ප්‍රේත තටුව හා සම්බන්ධ කටයුතු සිදු කරන විටද තරුණයා ඊට සම්බන්ධ වූයේ කිසිදු වෙනසකින් තොරවය. ප්‍රේත තටුවේ කටයුතු නිමා වීමෙන් අනතුරුව තරුණයාට දෙහි කපා ආරක්ෂා සුරය පැළඳවීමේදීද ඔහු ඉතා සන්සුන්ව සිටියේය. තොවිල් දාහතරක් කළද ඉවත් කර ගැනීමට නොහැකි වූ යක්ෂයා කිසිදු බාධා කිරීමකින් තොරව ඉවත්ව ගොස් තිබිණි. ඔහුගේ සියලු රෝග පීඩා ක්‍රමයෙන් සුව විය. ඔහු මේ වන විට රැකියාවක් සඳහා විදේශයකට පිටත්ව ගොසිනි.
අධ්‍යාත්මික ජ්‍යොතිෂවේදී
සංජීව කුළුපන බණ්ඩාර