Tuesday, May 28, 2019

ජනාධිපතිවරණය


සංජීව කුළුපන බණ්ඩාර.
(මව්රට- 2019.05.26)

ලබන නොවැම්බර් 15 වැනිදාත් දෙසැම්බර් 07 වැනිදාත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්, ඒ සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් 20 වැනි දින හෝ ඊට පෙර සිදු කළ යුතු බවත්, නව ජනාධිපතිවරයා 2020 ජනවාරි මස 08 වැනි දින හෝ ඊට පෙර දිව්රුම් දිය යුතු බවත් කියැවෙයි. බොහෝ දෙනා විශ්වාස කරන්නේ ද මේ වසර අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

රටේ දේශපාලනය සම්බන්ධයෙන් අනාවැකි පැවසීමේදී සෙනසුරු ග්‍රහයාගේ හැසිරීම ඉතාමත් තීරණාත්මක වෙයි. කුම්භ ලග්නය හිමි ලංකා කේන්දරයේ ලග්නාධිපති සෙනසුරු ය. පොදුජන කාරක ග්‍රහයා ද සෙනසුරු ය. සෙනසුරුට අමතරව ගුරු සහ රාහුගේ හැසිරීම ද වැදගත් වෙයි. දීර්ඝකාලීන නොවූ කෙටි කාලීන වෙනස්වීම් සම්බන්ධයෙන් සෙසු ග්‍රහයින් වැදගත් වෙයි.

මේ වන විට සෙනසුරු ගමන් කරන්නේ තේජෝ රාශියක් වූ ධනු රාශියේ ය. සෙනසුරු ධනු රාශියට ගමන් කළේ 2017 වසරේ ජනවාරි මස 26 වැනිදා ය. සෙනසුරු ධනු රාශියෙන් සමුගන්නේ 2020 වසරේ ජනවාරි මස 24 වැනිදා ය. රට පුර භිෂණය පැතිරී තිබුණු ඉතාමත් අඳුරු කාලපරිච්ඡේදයක් වූ 1988 - 1989 කාලය තුළ ද සෙනසුරු ගමන් කළේ ධනු රාශියේ ය. හිටපු අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වන විට ද සෙනසුරු ගමන් කළේ ධනු රාශියේ ය. සෙනසුරු තේජෝ හෙවත් ගිනි රාශියක් වූ ධනු රාශියේ ගමන් කරන කාලසීමාවන් රටට සුබදායක නොවේ.

2020. 01. 24 තෙක් කාලය දේශපාලනය සම්බන්ධයෙන් ද ඉතාමත් අවිනිශ්චිත කාලයකි. මෙම කාලය තුළ කලට වෙලාවට මැතිවරණ,ජනාධිපතිවරණ පැවැත්වේ යැයි පැහැදිලි විශ්වාසයක් ඇතිකරගැනීමට නොහැකිය. සියල්ල වෙනස් විය හැකි කාලයකි. ධනු රාශියේ ගමන් කරන සෙනසුරු තදබල අර්බුද නිර්මාණය කිරීම හා නොසිතූ දේ සිදුකිරීම ඊට හේතුව යි. මෙම කාලය තුළ ජනතාවට වරින්වර පීඩා ඇතිවීම මිස ජනතා සිතුම් පැතුම් ඉටුවීමක් සිදු නොවේ. මෙම කාලය ආරක්ෂාව අතින්ද අවදානම් ය. නොසිතූ ආකාරයේ ගැටුම්, ප්‍රහාර හා ඝාතනවලට ඉඩකඩ පවතින කාලයකි. දේශපාලනය,ආර්ථිකය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිසේත්ම සුබදායක කාලයක් නොවේ.

ජනපතිවරණය පැවැත්විය යුතු යැයි කියැවෙන නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 අතර කාලසීමාව තුළ ගුරු ධනු රාශයේ ගමන් කිරීම එක් අතකින් යහපත් ය. ස්වකීය ධනු රාශියේ ගත කරන ගුරු, සෙනසුරුගේ අයහපත් හැසිරීම යම් තරමකින් පාලනය කරන බැවිනි.

කෙසේ වෙතත් ගුරු සෙනසුරු සමඟ ධනු රාශියේ එක්ව ගතකරන්නේ ඉතාමත් කෙටි කාලයකි. 2020 ජනවාරි මස 24 වැනි දින සෙනසුරු ධනු රාශියෙන් සමුගෙන මකර රාශියට ගමන් කිරීමට නියමිතය. මකර රාශිය ඉතාමත් ගුප්ත රහස්‍ය රාශියකි. සෙනසුරුට අයත් රාශියක් වූව ද මකර රාශියේදී සෙනසුරු කටයුතු කරන්නේ තේරුම් ගත නොහැකි ආකාරයට ය. සෙනසුරු මකර රාශියේ කල්ගෙවන කාලය සම්බන්ධයෙන් පසුව කතා කළ යුතු ය. වඩාත් වැදගත් වන්නේ 2020. 01. 24 තෙක් දැනට ගතවන කාලය යි.

ජනපතිවරණයේ මූලික කටයුතු ඇරඹෙන බව කියැවෙන අගෝස්තු මාසය ද ග්‍රහචාරය අතින් සුබදායක නැත. දැඩි අර්බුද, මතභේද ඇතිවන කාලයකි. අගෝස්තු මාසය පුරා සෙනසුරු ධනු රාශයේ වක්‍රව ගමන් කිරීම යහපත් ග්‍රහ තත්වයක් නොවේ.

පවතින ග්‍රහ රටාව අනුව පොදුවේ පැවසිය යුතු කාරණය නම් 2020 ජනවාරි මස 24 දින දක්වා කාලය ඉතාමත් අවිනිශ්චිත හා අර්බුදකාරී බව යි. ජනපතිවරණයක් පැවැත්වූව ද, නොපැවැත්වූව ද දේශපානය, ආර්ථිකය හා ආරක්ෂාව සම්බන්ධයෙන් සුබදායක කාලසීමාවක් නොවේ.

ජ්‍යොතිෂවේදී,ගුප්ත වෛද්‍ය 

  සංජීව කුළුපන බණ්ඩාර