බලවත් තාරකා යෝග.

ගුරු සඳු එක්ව උදා කරන බලගතු යෝගය 
ගජකේශරී  යෝගය.
බලන්න ඔබේ කේන්දරයේත් තියෙනවද කියලා....

    ගජ නම් හස්තියා යි.  කේශර නම් සිංහයා යි. මේ දෙදෙනා ම වනයේ කෙරුම් කාරයෝ යි.  ඒ වගේම තාරකා මණ්ඩලය තුළ ගුරු සහ සඳු බලසම්පන්නයි. ගුරු සහ සඳු එකතුවීම හස්තියයි සිංහයයි එකට එකතු වුණු තරමට බලගතුයි.  අන්න ඒ හින්දා තමයි ගුරු සඳු එක්ව සෑදෙන යෝගයට "ගජකේශරී යෝගය" කියන්නේ.
    ගජකේශරී යෝගය සටහන් වන  විධි කීපයක් තියෙනවා. සඳු සහ ගුරු එකම භාවයක සිටිනවා නම් ගජකේශරී යෝගය උදා වෙනවා. ඒ වගේම සඳු සිටින තැන ඉඳලා හතර, හත, දහය යන ස්ථානයක ගුරු සිටිනවා නම් ඒත් ගජකේශරී යෝගය හිමිවෙනවා. මෙම යෝගය එක, හතර, හත, දහය යන සතර කේන්දරස්ථාන ඇසුරු කරගෙන සටහන් වෙලා තිබෙනවා නම් එවිට යෝගය වඩාත් බලගතුයි. ඒ වගේම ගුරු සඳු දෙදෙනා නීච, සතුරු රාශි ගතව නොසිට යහපත් රාශි තුළ සිටියදී උදා වන ගජකේශරී යෝගය වඩාත් ඵලදායක වෙනවා.
    ගජකේශරී යෝගය හේතුවෙන් ජන්මියා උපන් තත්වයට වඩා උසස් තත්වයකට පත්වෙනවා. ආචාරසම්පන්න බව, නිරවුල් බුද්ධිය, මූලිකත්වය, ගෞරවය වගේ දේවල් මෙම යෝගය හේතුවෙන් හිමි වෙනවා. 
    ලොව පළමු අගමැතිනිය වීමේ වාසනාව හිමි කර ගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගේ කේන්දර සටහන දෙස බලන්න. මෙම කේන්දරයේ පළමු භාවයේ සඳු තැන්පත් වී සිටිනවා. හත් වැන්නේ ගුරු තැන්පත් වී සිටිනවා.ගුරු සිටින්නේ තමන්ගේ ම රාශියක් වූ මීන රාශියේ යි. පළමු භාවය හා හත් වැනි භාවය බලවත් ස්ථාන දෙකක්.  මේ හේතුවෙන් ගජකේශරී යෝගයේ බලය එතුමියට උපරිම වශයෙන් හිමි වුණා. තම ආත්ම ගරුත්වය ඉතාමත් හොඳින් ආරක්ෂා කර ගත් නායිකාවක් ලෙස අදටත් ජනතා ගෞරවයට ලක් වෙනවා.
 දුගී දුප්පත් ජනතාවට ඉමහත් සේවයක් සැලසූ දිවංගත ජනාධිපති ආර්. ප්රේමදාස මැතිතුමාගේ කේන්ද්‍රය දෙස බලන්න. එතුමන් ගේ කේන්දරයේ එකොළොස් වැන්නේ සිටින සඳු ගෙන් දස වැන්නේ ගුරු පිහිටීමෙන් ගජකේශරී යෝගය හිමි වී තිබෙනවා. ඉතාමත් පහළ ස්ථානයක සිට රටේ ඉහළම ස්ථානය වෙත පියනැගීමට ගජකේශරි යෝගයද නොමඳ සහයෝගයක් ලබා දී තිබෙනවා.
ගජකේශරී යෝගය යනු දේශපාලන භූමිය තුළ පමණක් ඉහළ තැනක් ලබා දෙන යෝගයක් නොවෙයි. තමන් නැඹුරු වන, නියැලෙන විෂය කුමක් වූවත් එම ක්ෂේත්රය තුළ බැබළෙන, කැපිපෙනෙන, මූලික තත්වයකට පත් වීමට මෙම යෝගයෙන් ඉතා විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස මෙම කේන්දරය දැක්විය හැකියි. ව්‍යාපාරික පවුලක උපත ලැබූ මෙම කේන්දරයේ හිමිකාරිය රටම හඳුනන රංගන ශිල්පිණියක්. රංගනයට පිවිසීමට පෙර පියා ගේ ව්‍යාපාර කටයුතුවලට උපරිම සහයෝගය ලබා දුන් ඇය, මේ වනවිට තම ස්වාමි පුරුෂයා ගේ ව්‍යාපාරික කටයුතුවලට දායක වෙමින් සැපවත් ජිවිතයක් ගත කරනවා.  මෙම කේන්දරයේ සඳු සිටින තුන් වැනි භාවයෙන් හත් වැනි භාවය වූ නම වැන්නේ ගුරු සිටීමෙන් ගජකේශරී යෝගය උදාවී ඇති ආකාරය බලන්න.