ජීවිතය ආරම්භ වන්නේ හුස්මකිනි. ජීවිතය අවසන් වන්නේද හුස්මකිනි. ජීවිතය යනු ප්‍රවාහයකි. ගලා යාමකි. මරණයද ජීවිතය මෙන්ම වූ ප්‍රවාහයකි. උපන් දා පටන් මරණය ජීවිතය සමග ගලා ගොස් මැරුණා යැයි කියන භෞතික මරණය අත්විඳීමට සිදු වෙයි. එකම ගඟට දෙවරක් බැසිය නොහැක. ගංගාවක් යනු ප්‍රවාහයකි. වරක් බැස පැමිණ නැවත බසින විට පවතින්නේ කලින් පැවති ජලය නොවේ. අපි එයට ගංගාව යැයි පවසන නමුත් එය මොහොතක් පාසා වෙනස් වෙයි. නැවුම් වෙයි. ජීවිතය හා මරණයද ඒ හා සමානව සිදු වන ගලා යාමකි. මරණය සිදු වන තෙක් ඉවසා සිටිය නොහැකිව ආයාසයෙන් මරණය අත් කරගන්නෝ ද වෙති. ජීවත් වීමට ආසාව ඇති කර ගන්නවා වෙනුවට ඔවුන් ජීවිතය අතහැරීමට පෙළඹෙති. මේ ඔබට ඉදිරිපත් කරන්නේ ජීවිතය අලුත් කර ගැනීමට, ජීවිතය වඩාත් ජීවමාන කර ගැනීමට, ජීවිතය ප්‍රබෝධමත් කර ගැනීමට "හුස්ම" භාවිතා කරන ආකාරයයි. මෙහි අතුරු ප්‍රතිඵල ලෙස දියුණුව, සාර්ථකත්වය හා ජයග්‍රහණය ඔබට හිමි වනු ඇත.
හුස්ම හෙවත් ප්‍රාණ යනු ජීවිතයයි. ජීවිතය විඥානයට සම්බන්ධ කරන පාලමයි. ඔබේ ශරීරය ඔබේ සිතුවිලිවලට සම්බන්ධ කරන පාලමයි. සවිඥානකත්වය හා අවිඥානකත්වය අතර පාලමයි. එපමණක් නොව, ඔබ සහ විශ්වය අතර පාලමයි. ඔබේ මනස විසිරි යන සෑම අවස්ථාවකදීම මනස නැවත අල්ලාගැනීමට හුස්ම මාධ්‍යයක් ලෙස භාවිතා කළ හැකිය.
බුදුන්වහන්සේ දේශනා කළේ සිහියෙන් හුස්ම ගත යුතු බවය.ඇතුලාන්ත සිහිය, දැනුවත්භාවය බලගන්වන සෛල ප්‍රාණවත් කර සමස්ථ පැවැත්ම විනිවිද යා හැකි තරමේ බලයක් ගොඩනැගිය හැකි ආනාපානසති භාවනා ක්‍රමය ලොවට හඳුන්වා දුන්නේ බුදුන්වහන්සේය. හුස්මෙහි බලය කොතෙක්දැයි එයින් අවබෝධ කර ගත හැකිය.
හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීමේ ක්‍රියාවලිය සෑම විටම නාස් පුඩු දෙකෙන්ම සිදු නොවේ.විනාඩි හතළිහක් පමණ එක් නාස් පුඩුවකින් හුස්ම ගැනීමේ හා පිට කිරීමේ ක්‍රියාවලිය සිදු වන අතර විනාඩි හතළිහකින් පමණ පසුව එම ක්‍රියාවලිය අනෙක් නාස් පුඩුව වෙත පැවරේ. මේ ආකාරයෙන් විනාඩි හතළිහෙන් හතළිහට වමට සහ දකුණට මාරු වෙමින් හුස්ම ගැනීමේ හා පිට කිරීමේ ක්‍රියාවලිය සිදුවේ.වම් නාස් පුඩුව ක්‍රියාත්මකව පවතින විට දකුණු මොලය වැඩිපුර ක්‍රියාත්මක වන අතර දකුණු නාස් පුඩුව ක්‍රියාත්මකව පවතින විට වම් මොළය වැඩිපුර ක්‍රියාත්මක වේ. ඒ අනුව මොළයේ එක් පැත්තක් විනාඩි හතළිහක් පමණ ක්‍රියාත්මකව පවතින අතර ඊළඟ විනාඩි හතළිහේදී එම පැත්ත විවේක ගන්වා අනෙක් පැත්ත ක්‍රියාත්මක වේ.
අධ්‍යාපන ආයතනවල එක් විෂයක් සඳහා කාලය විනාඩි හතළිහකට සීමා කර තිබීමේ සැබෑ හේතුව මෙයයි. විනාඩි හතළිහක් එකම කාර්යයක නියැලීමේදී මොළයේ එක් පැත්තක් වෙහෙසට පත්වේ. විනාඩි හතළිහක් ගණිතය ඉගෙන ගත්තේ නම් ඊළඟ විනාඩි හතළිහේදී වෙනත් විෂයකට මාරු විය යුතුය. එවිට විෂාදය ඇති නොවේ. අද වන විට අධ්‍යාපනය ලබන වයසේ පසුවන බොහෝ දරුවන් විෂාදයෙන් පෙළෙන්නේ මේ පිලිබඳ අවබෝධය නොමැති බැවිනි. දෙමාපිය ගුරුවරාදීන්ටද මේ පිළිබඳව අවබෝධයක් නොමැති බව පෙනෙන්නට තිබේ.උසස් අධ්‍යාපනය ලබන ඇතැම් දරුවන් වැඩි වශයෙන් ප්‍රතිකාරවලට යොමු වන්නේද, ඇතැමුන් සියදිවි හානි කරගන්නේද සීමාව ඉක්මවා මනස වෙහෙසට පත් කිරීම හේතුවෙනි.
ඔබ තුළ යමෙක් කෙරහි කෝපයක් හටගෙන ඇත. එම තැනැත්තාට යම් හානියක් කිරීමට ඔබට අවශ්‍යව ඇත. ටික වෙලාවකට පසුව කෝපය අතුරුදන් වෙයි. තත්වය සන්සුන්ය. ඇතැම් විට එම පුද්ගලයා කෙරෙහි කරුණාවක් පහල වන්නටද ඉඩ තිබේ.
බිරිඳගේ අත අල්ලාගෙන ආදරයෙන් පසුවන ඔබ හදිසියේම වෙනස් වී වෙනත් මානයකට ගමන් කරනු ඇත.අත දිගේ ගලාගෙන ගිය ආදරය හා ශක්තිය තව දුරටත් ගලා නොයයි. ඔබ වෙනත් කල්පනාවකය. බලන්න ගියරය ඒ මේ අත මාරු වෙමින් ජීවිතය ගලාගෙන යන ආකාරය.
මොළයේ දකුණු පැත්ත ස්ත්‍රී ලිංගිකය. වම් පැත්ත පුරුෂ ලිංගිකය. මොළයේ වම් පැත්ත විග්‍රහාත්මකය. තාර්කිකය. දකුණු පැත්ත ප්‍රතිභාත්මකය. ඒ ඒ මොහොතට අනුව, ඒ ඒ කාර්යයට අනුව අපට අවැසි පරිදි වම් මොළය හා දකුණු මොළය භාවිතයට ගන්නා ආකාරය ඔබ දැන ගත යුතුය. එය කළ යුත්තේ හුස්ම මගිනි.
දැඩි දුකක් කණස්සලක් පවතින විටදී, මානසික ආතතියෙන් පෙලෙන විටදී මොළයේ දකුණු පැත්තට මාරු විය යුතුය. ඒ සඳහා වම් නාස් පුඩුව ක්‍රියාත්මක කර ගත යුතුය. ඔබ කළ යුත්තේ ලේන්සුවක් හෝ මහපට ඇඟිල්ල භාවිතා කර දකුණු නාස් පුඩුව මඳ වේලාවක් අවහිර කරගෙන සිටීමය. එවිට හුස්ම ගැනීමේ ක්‍රියාවලිය වම් නාස් පුඩුවට මාරු වී දකුණු මොළය ක්‍රියාත්මක වේ. ආතතිය, කනස්සල්ල, දුක ආදී නිශේධාත්මක හැඟීම් දුරුවේ.මනසට මහත් සැහැල්ලුවක් ඇතිවේ. කෝපය තුරන් වේ.
ජීවිතය පිළිබඳව දැඩි කළකිරීමෙන් පසුවන අවස්ථාවලදී ඔබ වැඩි වශයෙන් දකුණු මොළයේ ක්‍රියාකාරිත්වය තුළ සිටිය යුතුය. එවිට කලකිරීම දුරුවී මහත් ප්‍රබෝධයක් ඇතිවේ. ජීවිතය අතහරිනවා වෙනුවට ජීවත් වීමේ ආසාව ඇතිවේ. සුබ කටයුතු ආරම්භ කරන අවස්ථාවලදී ද මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම වඩාත් ප්‍රතිපලදායක වේ.යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් යමෙක් සමග කතා කරන විටදී, යහපත් පිළිතුරක් අපේක්ෂාවෙන් යමෙකුට දුරකත ඇමතුමක් ලබාදීමේදී වම් නාස් පුඩුවට මාරු වී සිටීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. අධ්‍යාත්මික කටුතුවලදී අනුගමනය කළ යුත්තේද මෙම ක්‍රමවේදයයි.
නඩුවලට මුහුණ දීම, ක්‍රීඩා තරඟ, විවාද, සතුරන්ට මුහුණ දීම ආදියේදී දකුණු නාස් පුඩුවෙන් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සිදු කළ යුතුය. කය වෙහෙසා සිදු කරන සියලු කටයුතුවලදී දකුණු නාස් පුඩුවෙන් හුස්ම ගැනීම වඩාත් ප්‍රතිපහලදායක වේ.
අතීතයේ විසූවෝ "නළ ශාස්ත්‍රය" ලෙස විවිධ අවස්ථාවලදී භාවිතයට ගන්නා ලද අගනා ක්‍රමවේදය මෙයයි. හුස්ම හා සම්බන්ධ භාවනා සහ ක්‍රමවේද අතරින් ඔබට වඩාත් පහසුවෙන් අනුගමනය කළ හැකි ප්‍රත්‍යක්ෂ ක්‍රමයකි. භාවිතය සමග ලැබෙන අවබෝධය තුලින් මෙහි දැක්වූවාට වඩා වැඩි ප්‍රයෝජන ලබා ගත හැකි වනු ඇත.
අධ්‍යාත්මවේදී සංජීව කුළුපන බණ්ඩාර

.jpg)


