Saturday, April 20, 2024

මිනිසා තවම ඉපදී නැත.

 


"සෙත් කවියක් හදාගන්න ඕනැ කරලා තියෙනවා. මහත්මයාට පුලුවන්ද මට ඒක කරලා දෙන්න ?"

"පුළුවන්...මොකක්ද කාරණය ?"

මහත්මයා,මගේ පුතා අසනීප වෙලා...එයාට ගොඩක් අමාරුයි. හඳහන බැලුවම කිව්වා ගොඩක් අපල තියෙනවා, විෂ්ණු දෙවියන්ට සෙත් කවියක් හදලා කියවන්න කියලා..."

" මට එයාගෙ නමයි, උපන් දිනයයි උපන් වෙලාවයි උපන් ස්ථානයයි සඳහන් කරලා එවන්න. කවිය ඉක්මනට හදලා දෙන්නම්"

" අනේ ලොකු පිනක් මහත්මයා...මහත්මයා මේ දවස්වල පුර අව ප්‍රශ්නයක් හින්දා සෙත් කවි හදන්න අපහසුකමක් තියෙනවද ?"

"පුර අව බලන්න පුළුවන් යැ ඔය වගේ වෙලාවක...හැකි ඉක්මනට කවිය හදලා කියවන එකනෙ කරන්න ඕනැ"

" ඒක තමයි මහත්මයා වෙන්න ඕනැ...මම මේ කිට්ටුව ඉන්න මහත්මයෙක් මුණගැහුණා. ඒ මහත්මයා කිව්වා මේ දවස්වල කීයටවත් සෙත් කවි නම් හදන්න බෑ, මේ අව පක්ෂය ගත වෙන්නෙ කියලා...සෙත් කවි පුර පක්ෂයේ හදන එකලු සම්ප්‍රදාය..."


 මේ ළඟදි සිද්ද වුණු සිදුවීමක් ඔය. සමහරු සම්ප්‍රදාය රකිනවා කිකිළි බිජු රකිනවා වගේ. ලෙඩා මැරෙන්න පුළුවන් ඒත් සම්ප්‍රදායට පිටින් මොනවත් කරන්න බෑ. මේ මිනිස්සුද ? අද මිනිසුන්ගේ හිඟයක් තියෙනවා. විශේෂයෙන්ම ජ්‍යොතිෂය වැනි ක්‍ෂේත්‍රවල වගේම ආගම් තුළත් මිනිසුන්ගේ හිඟයක් තියෙනවා. ස්වභාවික මිනිසුන් නෑ. පොත් කතා කරනවා, සෘෂිවරු කතා කරනවා,ගුරුවරු කතා කරනවා සැබෑ මිනිසුන් හැංගිලා.

පන අදින ලෙඩෙක් ඉන්නවා. ලෙඩා ඉතාමත් දුර්වලයි. සිහිකල්පනාවත් ටිකක් අඩුයි. ලෙඩාව සනීප කරගන්න වෙදමහත්තයෙක්ව ගෙන්වනවා. වෙදමහත්තයා කියනවා " මුළින්ම බඩ සුද්ද වෙන්න බෙහෙත් දෙන්න ඕනැ. ඒක තමයි අපේ වෙද පරම්පරාවෙ සම්ප්‍රදාය. බඩ සුද්ද කරන්නෙ නැතුව මොනවත් කරන්න බෑ..."

"අනේ මේ මනුස්සයා දැන් හරිම දුර්වලයිනෙ වෙදමහත්තයා...බඩ සුද්ද කරන්න ගිහින් ලෙඩා මළොත් එහෙම...?"

"ලෙඩා මැරුණට කරන්න දෙයක් නෑ මුළින්ම බඩ සුද්ද කරන එක අපිට උගන්වලා තියෙන විදිය නේ...ඒක අපේ සම්ප්‍රදාය..."


ලෙඩා මළත් බඩ සුද්දයි කියන්නෙ ඔන්න ඕවට තමයි. ඉගෙනගෙන තියෙන විදිය. අරගෙන යන සම්ප්‍රදාය. ඇතුළට දාගත්තු දැනුම මිසක් එතනින් එහා "ඇත්ත මනුස්සයෙක්" නෑ.

පරාශර කතා කරනවා. නාරද කතා කරනවා. ඈපා අප්පුහමි කතා කරනවා. ක්‍රිෂ්ණමූර්ති කතා කරනවා. කෝ ඇත්ත මිනිස්සු ? ඉන්න තරමක් ඉන්නෙ මළවුන්. ස්ලෝක කටපාඩම් කරලා ඇත්ත මනුස්සයෙක් වෙන්න බෑ.ඒවා අනුන් නිර්මාණය කළ ස්ලෝක මිසක් තමන්ගෙ ස්ලෝක නෙමෙයි. පාඩම් කරලා මතක තබාගැනීමේ හැකියාව ඇති ඕනැම කෙනෙකුට ස්ලෝක පාඩම් කරන්න පුළුවන්. වැඩිපුර පොත් කියවලා මතක තියාගත්තා කියල ඇත්ත මනුස්සයෙක් වෙන්න බෑ. අහවල් ගුරුවරයාගෙන් දැනුම ගත්තා කියල ඇත්ත මනුස්සයෙක් වෙන්න බෑ. ඇත්ත මනුස්සයෙක් වෙන්න පිරිසිදු  ආධ්‍යාත්මයක් තියෙන්න ඕනැ. ආධ්‍යාත්මය කඩා වැටිච්චි ව්‍යාජ මිනිස්සුන්ට පුලුවන්ද මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගැටලුවලට විසඳුම් දෙන්න ? කවදාවත් බෑ. ආරූඩ කරගෙන ඉන්න මළවුන්ට නෙමයි, ගොඩගහලා තියාගෙන ඉන්න පොත්වලට නෙමෙයි මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කරන මිනිස්සු ඉන්න ඕනැ.   " කොමඩි ස්ටාර්" වීමේ පුදුමාකාර උමතුවකින් කටයුතු කරන ලැජ්ජාව නැති මිනිසුන් වෙනුවට කප්පරක් ගැටළු කරදරවලට දිවා රෑ මුහුණ දෙන මිනිසුන්ට යහපත් අනාගතයක් උදෙසා සහය විය හැකි ශිෂ්ට මිනිසුන් ඉන්න ඕනැ.


දැනුම කියන්නෙ මෙවලමක්. දැනුම ආත්මය බවට පත් කරගත්තු මිනිසුන්ගේ ආධ්‍යාත්මය ඉතාමත් දුර්වලයි. ඔවුන්ට අවබෝධයක් නෑ. දැනුම විසින්, ගුරුවරයා විසින් නටවන රූකඩ වෙනුවට තමන්ගෙ ඇස් දෙකෙන් දකින්න පුළුවන් මිනිස්සු අද ඉතා විරළයි. 


ජ්‍යොතිෂය ඉගෙනගන්න ආධුනික පිරිස මතක තබාගත යුතු කාරණයක්. ඔබේ ගුරුවරයා තව කාගෙන් හෝ එකතු කරගත් දැනුමක් ඔබට ලබා දෙනවා. ඊට අමතරව නොයෙක් පොත් පත්වලින් ඔබ දැනුම එකතු කරගන්නවා. මේ කිසිවකින් ඔබට අවබෝධය ඇති වෙන්නෙ නෑ. දැනුම ලබාගන්න.  අවබෝධය තමන් විසින්ම ඇති කරගන්න. දැනුම භාවිතා කරන්න. අවබෝධයෙන් කටයුතු කරන්න.


සංජීව කුළුපන බණ්ඩාර  














Thursday, February 1, 2024

දේශනය.

ආයු බෝ වේවා.

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ආදරණිය සාමාජික මහත්මියනි, මහත්වරුනි. 2024 වසරේ පළමු මාසයෙ මේ විදියට ඔබ සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙනවා.

අපි සියලු දෙනා නියැලෙන්නෙ ඉතාමත් ගෞරවනීය අභිමානවත් සේවාවක. ජ්‍යොතිෂවේදියා යනු වසර සිය ගණනකට පෙර සිංහල භූමියේ සෑම ගමකම ඉහළම ජනතා ගෞරවයට පාත්‍ර වූ චරිතයක්ය කියන එක අපි මතක තියාගන්න ඕනැ. ජීවිතයේ සෑම සියලු විශේෂ අවස්ථාවකදීම ජනතාව උපදෙස් ලබාගත්තෙ පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් සහ ගමේ වෙද මහත්තයගෙන්. වෙද මහත්තයා කිව්වට ඒ කාලෙ නක්ෂත්‍ර කටයුතු සහ වෙදකම දෙකම කළේ මහත්තයා එහෙමත් නැත්නම් ගුරුන්නාන්සෙ විසින්. ඉපැරණි ජන සමාජය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය තුළ සජීවීකරණය වන අවස්ථාවලදී අපට ඒ බව දකින්නට ලැබෙනවා. කාලයාගේ ඇවෑමෙන් නිවේදක නිවේදිකාවන්, නළුනිළියන්, දේශපාලඥයින්  ජනතාවට උපදෙස් දෙන්න පටන් ගත්තා. ප්‍රතිඵල හොඳටම පෙනෙන්න තියෙනවා. ජ්‍යොතිෂවේදියාට උරුම නියම ගරුත්වය අභිමානය නැවත මේ පොළව මත හිමි කරගැනීමේ වගකීම ඔබ අප සියලු දෙනාගේම වගකීමක්. තත්වයට නොගැළපෙන දේවල්වලින් වැළකිලා, අනවශ්‍ය වාද විවාධ, ගැටුම් ඝට්ටන ආදියෙන් ඉවත් වෙලා තමන්ගෙ ගෞරවයත් සාස්ත්‍රයේ ගෞරවයත් රැකගැනීම අපේ වගකීමක් වෙනවා. ඒ වගේම අද වන විට ජ්‍යොතිෂය හා ජ්‍යොතිෂවේදියා වෙනුවෙන් ක්‍රියාත්මක පුරෝගාමී සංවිධානයක් වන සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමය සමඟ ඉතාමත් ආදරයෙන් සැමදාම රැඳී සිටින්න කියන ඉල්ලීමත් මේ වෙලාවෙ කරනවා.

විශේෂයෙන් දෙයක් සඳහන් කරන්න ඕනැ. අපි ජ්‍යොතිෂ පොත පත කියවනවා.ඒ හැමදේකම සඳහන් කරලා තියෙන්නෙ සෘෂිවරු ප්‍රකාශ කළාය කියන දේවල්. පරාසර,වරහාමිහිර, ජෛමිනි ආදී සෘෂිවරු තම ආධ්‍යාත්මික බලය තුලින් අත්දුටු දේවල් එහෙමත් නැත්නම් තමන්ගෙ අත්දැකීම් තමයි නොයෙක් භාෂාවන්ට පරිවර්තනය වෙලා තියෙන්නෙ. අත්දැකීමක් කිසිම විදියකින් භාෂාවට නඟන්න බෑ. පුළුවන් විදියට තමයි ඒ අය ඒ අත්දැකීම් ප්‍රකාශ කරලා තියෙන්නෙ. බුද්ධ දේශනයත් ඒ වගේ තමයි. ඉතින් මේ දේවල් නොයෙක් දෙනා තේරුම් ගන්නෙ නොයෙක් ආකාරයට. තම තමන්ගෙ නැණ පමණින් තමයි අවබෝධ කරගන්නෙ. ඉතින් නොයෙක් දෙනා අතරෙ ගැටුම් ඇති වෙනවා. කෙනෙක් හිතනවා මම අවබෝධ කරගෙන තියෙන විදිය හරි කියලා.වෙනත් අදහස් එක්ක ගැටුම් ඇති කරගන්නවා. කරන්න තියෙන හොඳම දේ තමයි දැනුම විදියට පොත පතින් ගන්න හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් ඇති කරගන්න එක. මගේ විග්‍රහයන් ආධ්‍යාත්මික පැත්තට බරයි. මම වැඩි වශයෙන් ඉන්නෙ ආධ්‍යාත්මික ජ්‍යොතිෂය තුළ. කෙනෙකුට මගේ අදහස් නොතේරෙන්න පුළුවන්.  

තවත් දෙයක් මතක තියාගන්න. ඕනෑම දෙයක් ඕනැවට වඩා සංකීර්ණ කර ගත්තොත් අමාරුවෙ වැටෙනවා. ඒ හින්දා අපි නිතර භාවිතා කරන ක්‍රමවේදයන් ගැන වඩාත් පුළුල් අවබෝධයක් ඇති කරගන්න එක වැදගත් වෙනවා. එහෙ මෙහෙ දකින, එක එක්කෙනා කියන නානාප්‍රකාර ක්‍රම අනුගමනය කරන්න ගිහින් අමාරුවෙ වැටෙනවට වඩා තම අනුගමනය කරන ක්‍රමවේදය ගැන හොඳම නිපුණත්වයක් ඇති කරගැනීම තමයි වැදගත් වෙන්නෙ.හැම දෙයක්ම කලවම් කරගත්තොත් ස්ථිර නිගමනයකට එළඹෙන්න අපහසු වෙනවා.

කේන්දරයක තියෙනවා ත්‍රිකෝණ හතරක්. කේන්ද්‍රස්ථාන හතරක් තියෙනවා. ත්‍රිකෝණ හතර තමයි,
ධර්ම ත්‍රිකෝණය -1,5,9
අර්ථ ත්‍රිකෝණය - 2,6,10
කාම ත්‍රිකෝණය - 3,7,10
මෝක්ෂ ත්‍රිකෝණය - 4,8,12

මෙතැනින් "ධර්ම ත්‍රිකෝණය" ප්‍රධාන ත්‍රිකෝණය විදියට සැලකෙනවා. පළමු භාවය,පස් වැනි භාවය සහ නව වැනි භාවය.මේ එක පහ නවය කියන ස්ථාන තුනෙන් පුද්ගලයෙකුගේ සමස්ථ ආකෘතිය තේරුම් ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. එක පහ නවය විතරක් නෙමෙයි, සෑම භාවයක් ගැනම සෑම තැනම සඳහන් වෙන්නෙ බොහොම සරල කාරණා ටිකක්. ඒ භාවයන්හි ඇතුළාන්තය සහමුළින්ම හංගලා මතුපිටින් කියැවෙන කාරණා කීපයක් තමයි බොහෝ තැන්වල දකින්න තියෙන්නෙ. සෘෂිවරු අවබෝධ කරගෙන ප්‍රකාශ කරපු ඇතුළාන්ත සාරය කාලයාගේ ඇවෑමෙන් නැති වෙලා ගිහින් තියෙනවා. ඒ හින්දා මේ භාවවල ඇතුළාන්ත කතාව හොඳින් අවබෝධ කරගන්න ඕනැ. බුදුන් වහන්සේ දේශනා කළා සමස්ථ විශ්වයම මනුෂ්‍යයා තුල තියෙනවාය කියලා. අව්ව,වැස්ස,සුළඟ ශරීරය තුළ තියෙනවා වා පිත් සෙම් විදියට. විශ්වයේ සියලු දේ වගේම ශරීරයත් පංච භූතාත්මකයි. රාශි සහ භාවවල රජස් තමස් සත්ව ස්වභාවය පවා හොඳින් අවබෝධ කරගන්න ඕනැ. රජස් තමස් සත්ව ස්වභාවය පරමාණුවෙ ඉඳලම ක්‍රියාත්මක වෙනවා. පරමාණුවක ස්වරූපය බොහෝ දුරට සෞරග්‍රහ මණ්ඩලයේ ස්වරුපයට සමානයි. පරමාණුවෙ න්‍යෂ්ටිය සූර්යයා වගේ. න්‍යෂ්ටිය වටේ කක්ෂ ගතවෙලා කැරකෙන ඉලෙක්ට්‍රෝන සූර්යයා වටේ කැරකෙන ග්‍රහ ලෝක වගේ. ප්‍රෝටෝන රජස් ගුණය නියෝජනය කරනවා. නියුට්‍රෝන සත්ව ගුණය නියෝජනය කරනවා. ඉලෙක්ට්‍රෝන තමස් ගුණය නියෝජනය කරනවා. සමස්ථ විශ්වයම මනුෂ්‍යයා තුළ තියෙනවා. ඉතින් අපි විශ්වයෙම ආකෘතියක් තමයි කේන්දරය තුලින් තේරුම් ගන්න හදන්නෙ. ඒ හින්දා සෑම භාවයකම සෑම රාශියකම සෑම දෘෂ්ටියකම ඇතුළාන්තය හොඳට හෝදිසි කරන්න වෙනවා.

සිව්වැන්න මාතෘ ස්ථානය එහෙමත් නැත්නම් දේපළ ගේදොර ගැන කියැවෙන ස්ථානය පමණක් නෙමෙයි.. එතැන හදවත ගැන, හදවතේ ස්වභාවය ගැන කියැවෙන තැන.පුද්ගලයාගේ හදවතේ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන එක සිව්වැන්නෙන් අවබෝධ කරගන්න ඕනැ. 

හත්වැන්න සියලු ආකාරයේ සහකරුවන් ගැන, සහයෝගීතාවය ගැන කියැවෙන තැන. සසර තුළ සහයෝගීතාවය පත්වාගෙන ගිය විදිය,ඊට අනුරූපව මේ භවයෙදි සහයෝගීතාවය ලැබෙන විදිය වගේම තවත් බොහෝ කාරණා කියවෙන තැනක්.

දසවැන්න කර්මස්ථානය. රැකියාව පමණක් නෙමෙයි. පුද්ගලයෙක් ක්‍රියාත්මක වන ආකාරය, කරන දේවල්, කරන්න සිද්ද වෙන දේවල් ගැන කියැවෙන තැන.

ඒවගේම මේ සෑම භාවයකම ආරූඩ ස්ථාන, ඒ ආරූඩ ස්ථානවල අධිපතීන් අපට කියන සැඟවුණු කතාවට අපි හොඳින් ඇහුම්කන් දෙන්න ඕනැ. 

 අපට පුළුවන් වෙයි දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහනක් සංවිධානය කරන්න. ඒක ප්‍රයෝජනවත් වෙයි.සභාපතිතුමා සහ නිලධාරී මණ්ඩලය සමඟ කතා බහ කරලා එවැනි වැඩසටහනක් සංවිධානය කරමු. 

පළමු දේශනය ප්‍රමාණවත් වෙයි කියල හිතනවා ආරම්භයක් විදියට. ඔබ සැමට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි. ජය වේවා.

සංජීව කුළුපන බණ්ඩාර