රාහු කේතු මාරුව 2017


2017. 08. 18 වෙනි සිකුරාදා රාහුට අයත් අද නැකතත්, සඳුට අයත් කටක රාශියත් උදා වී පවතින, පෙ:ව: 05. 44 ට රාහු කටක රාශියටත්, කේතු මකර රාශියටත් ගමන් කරනවා.මෙලෙස කටක හා මකර රාශි වෙත ගමන් කරන රාහු හා කේතු 2019. 03. 07 තෙක් එම රාශි තුළ කල් ගෙවනවා. ජල රාශියක් වූ කටක රාශිය තුළ රාහු ග්‍රහයා වඩාත් දරුණු ලෙස ක්‍රියාත්මක නොවන අතර පඨවි රාශියක් වූ මකර රාශිය තුළ කේතු ග්‍රහයාද එතරම් අනර්ථකාරී ලෙස කටයුතු නොකරයි.
  බොහෝ ජ්‍යොතිෂවේදීන් රාහු කේතු මාරුව සම්බන්ධයෙන් පලාපල පැවසීමේදී ඉදිරියේදී සිදුවන සෙසු ග්‍රහ මාරු පිළිබඳව නොසළකා හරිමින් කරුණු දක්වන බව පෙනී යනවා. මෙම පලාපල විස්තරය සකස් කොට ඇත්තේ ඉදිරි මාස වල සිදුවන ග්‍රහ මාරු වල බලපෑම්ද සැළකිල්ලට ගෙන බව සළකන්න.
රාහු කේතු මාරුව ඒ ඒ ලග්න වලට එල්ල කරන්නේ මොනවගේ බලපෑමක් දැයි විමසා බලමු.

මේෂ ලග්නය.
මේෂ ලග්නය හිමි ඔබේ කේන්දරයේ සුවිශේෂ ස්ථාන දෙකක් වූ සිව් වෙනි භාවයට හා දස වෙනි භාවයට රාහු සහ කේතු ගමන් කරනවා. රාහු කේතු මාරුව හේතුවෙන් ගෘහ ජීවිතයේ සතුට සැනසුම තරමක් අඩුවෙනවා.නිවසේ සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙන බැවින් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.
  ගේදොර, දේපළ මිලදී ගැනීම් හා විකිණීම් ආදියේදී සැළකිලිමත් විය යුතුයි. දේපළ සම්බන්ධයෙන් ගැටළු මතුවීමට ඉඩ තිබෙනවා. දේපළ සම්බන්ධයෙන් දැනට ගැටළු, ආරවුල් පවතින්නේ නම් ඒවා දුරදිග යාමට ඉඩ තිබෙන බැවින් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.
   රැකියා කටයුතු වලදී උද්යෝගය උනන්දුව අඩුවෙනවා.2019. 03. 07 තෙක් කාලය තුළ රැකියා කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී විය යුතුයි.
 සොර සතුරු උවදුරු වලට ඉඩ තිබෙන බැවින් ආරක්ෂාව පිළිබඳව නිතර සැළකිලිමත් විය යුතුයි. නිතර සිත තුළ සැක සංකා මතුවෙනවා.දුෂ්කර ගමන් බිමන් වල යෙදීමට සිදුවෙනවා. නින්දා අපහාස එල්ල විය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.

වෘෂභ ලග්නය.
වෘෂභ ලග්නය හිමි ඔබේ කේන්දරයේ තුන් වෙනි භාවයට රාහු ග්‍රහයාත්, නම වෙනි භාවයට කේතු ග්‍රහයාත් ගමන් කරනවා. රාහු කේතු මාරුව ඔබට  සුබදායක වූවත් 2017. 10. 27 පටන් සෙනසුරුගේ අෂ්ඨම ඒරාෂ්ඨකය බලපාන බැවින්, එතැන් පටන් සුබ ඵල බලාපොරොත්තු වීමට අපහසුයි.
  2017. 08. 18 පටන් 2017. 10. 27 තෙක් කාලය තුළ උද්යෝගය උනන්දුව ඇතිවෙනවා. රැකියා කටයුතු වල විශේෂ ප්‍රගතියක් ඇතිවෙනවා. ප්‍රතිපලදායක ගමන් බිමන් වල යෙදීමට හැකි වෙනවා. මෙම කාලසීමාව විදේශ රැකියා කෙරෙහි යොමුවීමටද සුබදායකයි. අලුත් හිත මිත්‍රාදීන් හඳුනා ගැනීමට ලැබෙනවා මෙන්ම ඔවුන්ගෙන් උදව් උපකාරද හිමිවෙනවා.තරඟ විභාග ආදියෙන් ජය අත්කර ගැනීමට හැකිවෙනවා. අවහිර බාධක මැඩගෙන ඉදිරියට යා හැකි කාලයක් බව සඳහන් කළ හැකියි.
   2017. 10. 27 පටන් සෙනසුරුගේ අෂ්ඨම ඒරාෂ්ඨකය බලපාන බැවින්, එතැන් පටන් ඉදිරි කාලය තුළ අපල බලපෑම් එල්ල වෙනවා. රාහු කේතු මාරුව හේතුවෙන් 2019. 03. 07 තෙක්ම වෘෂභ ලග්න හිමියන්ට  සුබ ඵල උදා වනවා යැයි යමෙක් පවසන්නේ නම් එය සාවද්‍ය ප්‍රකාශයක් බව සඳහන් කළ යුතුයි.

මිථුන ලග්නය.
මිතුන ලග්න හිමියන්ගේ කේන්දරයේ ධනස්ථානය වූ දෙවැන්නට රාහු ග්‍රහයා ගමන් කරන අතර කේතු අට වෙනි භාවයට ගමන් කරනවා.
රාහු දෙවෙනි භාවයේ කල් ගෙවන 2019. 03. 07 තෙක් කාලය තුළ ආර්ථිකය ප්‍රවේශමෙන් මෙහෙයවීම වැදගත් වෙනවා. ධන හානි, නිෂ්ඵල වියදම්, අධික වියදම් වලට ඉඩ තිබෙනවා. අවදානම් සහිත ආයෝජන වලින් වැළකිය යුතුයි. මෙම කාලය තුළ ණය ගණුදෙනු වලින් වැළකී සිටීමද සුබදායකයි. කතාව හේතුවෙන් පාඩු, සිත් අමනාපකම් සිදුවීමට ඉඩ තිබෙනවා. කතා කිරීමේදී සැළකිලිමත් විය යුතුයි.
 මෙම කාලය තුළ ශරීර සෞක්‍යය සම්බන්ධයෙන්ද නිසි අවධානය යොමු කළ යුතුයි. රුධිරය දුෂ්‍ය වීම හේතුවෙන් ඇතිවන අසනීප වලට මෙන්ම සුළු හදිසි අනතුරු වලටද ඉඩ තිබෙනවා.
  සතුරු බලපෑම් එල්ල විය හැකි කාලයක් බැවින් අන්‍යයන් සමග කටයුතු කිරීමේදී හා අන්‍යයන් විශ්වාස කිරීමේදී කල්පනාකාරී විය යුතුයි.
   කෙසේ වෙතත් සැප්තැම්බර් 12 වෙනිදා ගුරු තුලා රාශියට ගමන් කිරීම ඔබට ඉතාමත් සුබදායක බැවින් රාහු කේතු මාරුව සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගතයුතු නෑ.

කටක ලග්නය.
කටක ලග්න හිමියන්ගේ පළමු වෙනි භාවයට රාහු ගමන් කරන අතර කේතු හත් වෙනි භාවයට ගමන් කරනවා. මේ අනුව ලග්න භාවයත්, විවාහස්ථානයත් රාහු සහ කේතු විසින් අත්පත් කරගන්නවා.
 2019. 03. 07 තෙක් කාලය තුළ ඔබ ගන්නා නොසුදුසු, නොගැළපෙන තීන්දු තීරණ හේතුවෙන් ගැටළු කරදර මතුවීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන් ක්ෂණික තීරණ ගැනීමෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. ආවේගශීලී ගති ලක්ෂණද ඇතිවෙනවා. ආවේගය පාලනය කරගැනීමට උත්සාහ කළ යුතුයි.
 2019. 03. 07 තෙක් කාලය විදේශ රැකියා කෙරෙහි යොමු වීමට සුබදායකයි. මෙම කාලය තුළ ස්ථාන වෙනස් වීමකටද ඉඩ තිබෙනවා. මානසික නිරවුල්තාවය අඩු වන කාලයක් බැවින් නිතර සන්සුන්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.
2019. 03. 07 තෙක් කාලය විදේශ රැකියා කෙරෙහි යොමු වීමට සුබදායකයි. මෙම කාලය තුළ ස්ථාන වෙනස් වීමකටද ඉඩ තිබෙනවා. මානසික නිරවුල්තාවය අඩු වන කාලයක් බැවින් නිතර සන්සුන්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.
  යුග ජීවිත ගතකරන කටක ලග්න හිමියන් ඉතාමත් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. යුග ජීවිතයේ අසමගිකම් ඇතිවීමට ඉඩ තිබෙනවා.විවාහ වීමේ බලාපොරොත්තුවෙන් සිටින කටක ලග්න හිමියන්ගේ විවාහය තව දුරටත් ප්‍රමාද විය හැකියි.

සිංහ ලග්නය.
සිංහ ලග්නය හිමි ඔබගේ දොළොස් වැන්නට රාහු ගමන් කරන අතර හය වෙනි භාවයට කේතු ගමන් කරනවා.
මෙතෙක් කලක් රාහු ලග්න භාවයේ රැඳී සිටිමින් මානසික සහනයට තරමක බලපෑම් එල්ල කළ අතර තරමක බාධක අවහිරද එල්ල කළා. මෙවර රාහු ලග්න භාවයෙන් ඉවත්ව දොළොස් වෙනි භාවයට ගමන් කිරීම තරමක් සුබදායකයි. පැවති බාධක අවහිර බොහෝ දුරට දුරුව යනවා. ස්ථිර අරමුණු වලට එළඹීමට මෙන්ම නිවැරදි තීරණ වලට එළඹීමටද හැකි වෙනවා.
  යුග ජීවිතය තුළ අසමගිකම්, ආරවුල් පැවතුණා නම් ඒවා දුරු කරගැනීමට හැකිවෙනවා. විවාහයට බාධක අවහිර එල්ලවෙමින් තිබුණා නම් එම බාධාවන්ද දුරුව යනවා.
කෙසේ වෙතත් රාහු දොළොස් වෙනි භාවයේ කල්ගෙවන 2019. 03. 07 තෙක් කාලය තුළ ආර්ථිකය සම්බන්ධයෙන් සැළකිලිමත් වීම වැදගත් වෙනවා. ධන හානි, නිෂ්ඵල වියදම්, අධික වියදම් වලට ඉඩ තිබෙනවා. තම මුදල් හා වෙනත් වටිනා දේ අස්ථාන ගතවීමට, සොර සතුරන් අතට පත් වීමට ඉඩ තිබෙන බැවින් ආරක්ෂාව ගැන සැළකිලිමත් විය යුතුයි.
  2019. 03. 07 තෙක් කාලය විදේශ රැකියා කෙරෙහි යොමු වීමට සුබදායකයි. මෙම කාලය තුළ ස්ථාන වෙනස් වීමකටද ඉඩ තිබෙනවා.

කන්‍යා ලග්නය.
කන්‍යා හිමියන්ගේ එකොළොස් වෙනි භාවයට රාහු ගමන් කරන අතර, පස් වෙනි භාවයට කේතු ගමන් කරනවා. රාහු මෙතෙක් රැඳී සිටි දොළොස් වෙනි භාවයෙන් ඉවත් වීම සුබදායකයි. ආර්ථිකයේ ප්‍රගතියක් ඇතිවෙන අතර අනපේක්ෂිත ධන ලාභ ලැබීමටද ඉඩ තිබෙනවා.අඩාල වී තිබුණු වැඩ කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට හැකිවෙනවා.
  නොසුදුසු සම්බන්ධකම් ඇතිවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි. ඇසුරට එක්වන අය අයගේ අදහස් යෝජනා සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුයි.
 ගේදොර දේපළ ආදියේ දියුණුවක් ඇතිවෙනවා. සැප්තැම්බර් 12 වෙනිදා පටන් සුබ ඵල වඩාත් වර්ධනය වෙනවා. වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට තම බලාපොරොත්තු ඉටු කරගැනීමට හැකිවෙනවා.
   සැප්තැම්බර් 12 වෙනිදා පටන් රැකියා කටයුතු වල කැපී පෙනෙන දියුණුවක් ඇතිවෙනවා. තමන්ට ලැබිය යුතු නිසි තැන හිමි වෙනවා. තම අගය, වටිනාකම අන්‍යයන්ට දැනෙන පසුබිමක් උදාවෙනවා.

තුලා ලග්නය.
තුලා ලග්නය හිමි ඔබේ කේන්දරයේ දස වෙනි භාවයට රාහු ගමන් කරන අතර කේතු සිව් වෙනි භාවයට ගමන් කරනවා. කේන්දරයේ ප්‍රධාන ස්ථාන දෙකක් වූ රැකියා ස්ථානයට හා ගෘහ ස්ථානයට රාහු සහ කේතු ගමන් කිරීම එතරම් සුබදායක නෑ.
 උත්සාහයේ හා මහන්සියේ තරමට බලාපොරොත්තු වන තරමේ ප්‍රතිඵල නොලැබෙන අතර ගෘහ ජීවිතය තුළ සතුට සහනයද අඩු වෙනවා. දේපළ ගේදොර සම්බන්ධයෙන් ගැටළු මතුවීමට ඉඩ තිබෙනවා. දේපළ සම්බන්ධයෙන් නීති ප්‍රශ්න මතුවිමටද ඉඩ තිබෙනවා.2019. 03. 07 තෙක් කාලය තුළ ගේදොර, දේපළ විකිණීම් හා මිලදී ගැනීම් වලදී දැඩිව සැළකිලිමත් විය යුතුයි.
  නිතර සිතට භය ගතියක් ඇතිවීමටද ඉඩ තිබෙනවා. මානසික ප්‍රබෝධය මෙන්ම සැප පහසුවද අඩු වෙනවා. ඥාතීන් සමග විරසකතා ඇතිවීමට ඉඩ තිබෙනවා. 
   රැකියාව සම්බන්ධයෙන් ඉක්මන් තීන්දු තීරණ වලට එළඹීමෙන් වැළකිය යුතුයි. මෙම කාලය රැකියා වෙනස් කිරීමට නුසුදුසු කාලයක් බව මතක තබා ගත යුතුයි . රැකියා කටයුතු වලට වරින් වර බාධක අවහිර එල්ල වෙනවා.
  සැප්තැම්බර් මස 12 දින ගුරු ලග්න ගතවීමත් සමග අසුබ බලපෑම් වර්ධනය වෙනවා. කෙසේ වෙතත් 2017. 10. 27 දින සෙනසුරු තෙවැනි භාවයට ගමන් කිරීම තරමක අස්වැසිල්ලකට හේතු වෙනවා.
   
වෘශ්චික ලග්නය.
වෘශ්චික ලග්නය හිමි ඔබේ කේන්දරයේ නම වෙනි භාවයට රාහු ගමන් කරන අතර තුන් වෙනි භාවයට කේතු ගමන් කරනවා. රාහු කේතු මාරුව ඔබට මිශ්‍ර ඵල උදා කරනවා.
 ලැබීම අතින් යහපත් වන අතර බලාපොරොත්තු රහිත ලාභ ද හිමිවෙනවා. කෙසේ වෙතත් වියදම් සම්බන්ධයෙන් සැළකිලිමත් වීම වැදගත් වෙනවා. අධික වියදම්, නිෂ්ඵල වියදම්, ධන හානි වලට ඉඩ තිබෙනවා. ඔක්තෝබර් මස 27 දින පටන් වියදම් සම්බන්ධයෙන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි.
  ආගම දහම කෙරෙහි භක්තිය, ගෞරවය අඩු වීමට ඉඩ තිබෙනවා.පාපකාරී ක්‍රියා කෙරෙහි යම් නැඹුරුවක් ඇතිවීමටද ඉඩ තිබෙනවා. 2019. 03. 07 තෙක් කාලය තුළ ස්ථාන වෙනස් වීමක් සිදුවිය හැකියි. මෙම කාලය තුළ දුර බැහැර ගමන් අධික වෙනවා. විවේකය අඩු වෙනවා.
    උද්යෝගය, උනන්දුව වර්ධනය වූවත් උනන්දුවේ තරමට හිතට ගැළපෙන තරමේ ප්‍රතිඵල ලබාගැනීම දුෂ්කර වෙනවා. පසුගිය කාලය තුළ ගෘහ ජීවිතය සම්බන්ධයෙන් ගැටළු කරදර පැවතුණා නම් ඒවා බොහෝ දුරට දුරුව යනවා.
 ගමන් බිමන් වලදී හදිසි අනතුරු වලට ලක්විය හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි.

ධනු ලග්නය.
ධනු ලග්නය හිමි ඔබේ කේන්දරයේ අට වෙනි භාවයට රාහු ගමන් කරනවා. කේතු දෙවෙනි භාවයට ගමන් කරනවා. මාරකස්ථානයට හා ධනස්ථානයට රාහු කේතු ගමන් කිරීම එතරම් සුබදායක නෑ.
  ආර්ථිකය සම්බන්ධයෙන් දැඩිව සැළකිලිමත් විය යුතුයි. කරන ව්‍යාපාර ආදියෙන් අපේක්ෂිත ලාභ උපයාගැනීම අසීරු වෙනවා. ධන හානි, අධික වියදම්, නිෂ්ඵල වියදම් වලට ඉඩ තිබෙනවා. අනපේක්ෂිත කරදර, බාධක, අවහිර එල්ල විය හැකියි. දුරදිග නොබලා ගනු ලබන තීන්දු තීරණ හේතුවෙන් ගැටළු මතුවෙනවා. 2017. 10. 27 පටන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි. එතැන් පටන් අසුබ බලපෑම් වර්ධනය වෙනවා.
   හදිසි අනතුරු වලට ඉඩ තිබෙන බැවින් අවදානම් සහිත කටයුතු වලදී කල්පනාකාරී විය යුතුයි. සුළු අසනීපයක් වැළඳුනද ලබාගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා.උෂ්ණ අසනීප පහසුවෙන් මතුවෙනවා.
  දැඩි ආවේගශීලී ගති ලක්ෂණ ඇතිවෙනවා. ආවේගශීලී බව හේතුවෙන් ගෘහ ජීවිතයේ සාමය බිඳ වැටීමට ඉඩ තිබෙනවා. 2019. 03. 07 තෙක් කාලය තුළ හැකි තරම් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා. කතාවෙන් පාඩු සිදුවිය හැකි බැවින් කතා කිරීමේදී සැළකිලිමත් විය යුතුයි. නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් අන්‍යයන් වෙනුවෙන් ඇපවීම් ආදියෙන් වැළකිය යුතුයි.

මකර ලග්නය.
මකර ලග්නය හිමි ඔබේ කේන්දරයේ විවාහස්ථානය වූ හත් වෙනි භාවයට රාහු ගමන් කරනවා. කේතු ලග්න භාවයට ගමන් කරනවා. රාහු කේතු මාරුව හේතුවෙන් ඔබට තරමක අපල බලපෑම් එල්ල වෙනවා.
  සිතට පාළු හුදකලා හැඟීම් ඇතිවන අතර අන්‍යයන්ට ඔබව තේරුම් ගැනීමට අපහසු වෙනවා. අන්‍යයන්ට නොපෙනෙන ආකාරයේ දුක්, කනස්සලු ගති ඇතිවෙනවා. තම ගැටළු අන්‍යයන්ට නොපවසා රහසේ තබා ගැනීමට පෙළඹෙනවා. සිතට නිතර භය ගතියක් ඇතිවෙනවා. ශරීර සෞක්‍යය සම්බන්දයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. හදිසි අනතුරු වලට ඉඩ තිබෙනවා. පහසුවෙන් නිශ්චය කරගැනීමට අපහසු හෝ ලබාගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබෙන ආකාරයේ අසනීප මතුවීමට ඉඩ තිබෙනවා. මුහුණ ආශ්‍රිතව ලප කැළැල් ඇතිවන ආකාරයේ අසනීප මතුවිය හැකියි.
    තම අගය වටිනාකම අන්‍යයන්ට නොදැනෙන නොපෙනෙන කාලයක් බැවින්  අන්‍යයන්ට උදව් උපකාර කරන තරමට අන්‍යයන්ගෙන් ප්‍රති උපකාර නොලැබී යනවා. යුග ජීවිතය තුළ සතුට සැනසුම අඩුවෙනවා. විවාහ කටයුතු වලට බාධක අවහිර එල්ල වෙනවා.ප්‍රේම සම්බන්ධතා දුරස් වීමටද ඉඩ තිබෙනවා.
    අභූත චෝදනා එල්ල විය හැකි කාලයක් බැවින් අන්‍යයන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී වීම වැදගත් වෙනවා.

    කුම්භ ලග්නය.
කුම්භ ලග්නය හිමි ඔබේ කේන්දරයේ හය වෙනි භාවයට රාහු ගමන් කරන අතර කේතු දොළොස් වෙනි භාවයට ගමන් කරනවා. රාහු කේතු මාරුව ඔබ ට සුබ ඵල උදා කරනවා.
  උද්යෝගය උනන්දුව වර්ධනය වන අතර බාධක අවහිර මැඩගෙන ඉදිරියට යාමට හැකි වෙනවා. තරඟ විභාග, සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය අත්වෙනවා. බලාපොරොත්තු බොහොමයක් ඉටු කරගැනීමට හැකිවෙනවා. පැවති අවහිර බාධා දුරුව යනවා.සතුරු බලපෑම් තිබුණා නම් ඒවාද දුරු වෙනවා. රැකියා කටයුතු වල කැපී පෙනෙන ප්‍රගතියක් ඇතිවෙනවා. උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවෙනවා.
  ප්‍රේම සම්බන්ධතා, විවාහ කටයුතු ආදිය ට බාධක අවහිර එල්ල වෙමින් තිබුණා නම් එම බාධාවන් දුරු වී යනවා.
    තැන්පත් ධනය වර්ධනය කරගැනීමට හැකිවෙනවා. අනපේක්ෂිත ධන ලාභ වලටද ඉඩ තිබෙනවා. සිතට සතුට සැනසුම ඇතිවෙනවා. 2017. 10. 27 පටන් සුබ ඵල වඩාත් වර්ධනය වෙනවා.

මීන ලග්නය.
මීන ලග්නය හිමි ඔබගේ කේන්දරයේ පස් වෙනි භාවයට රාහු ගමන් කරන අතර එකොළොස් වෙනි භාවයට කේතු ගමන් කරනවා. රාහු කේතු මාරුව හේතුවෙන් ඔබට සුබ අසුබ මිශ්‍ර ඵල උදා වෙනවා.
  මුදල් ලැබීම අතින් සුබදායක වූවත් ධන හානි, නිෂ්ඵල වියදම්, අධික වියදම් වලට ඉඩ තිබෙන බැවින් ආර්ථිකය ප්‍රවේශමෙන් මෙහෙයවීම ඉතා වැදගත් වෙනවා. 
   රැකියා කටයුතු වල ප්‍රගතියක් ඇතිවෙනවා. උද්යෝගය වර්ධනය වෙනවා.තම තත්වය උසස් කර ගැනීමටඋපකාරී වන වටිනා හිත මිත්‍රාදීන් හඳුනා ගැනීමට හැකිවෙනවා.
  ප්‍රේම සම්බන්ධතා වලට බාධක අවහිර එල්ල වෙනවා. නොසුදුසු සම්බන්ධතා ඇතිවීමටත් ඒ හේතුවෙන් ආත්ම ගරුත්වයට හානි සිදුවීමටත් ඉඩ තිබෙනවා. විවාහක මීන ලග්න හිමියන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
  අධ්‍යාපනය ලබන මීන ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයතු සාර්ථක වන අතර තරඟ විභාග ආදියෙන් ජය අත් කරගැනීමට හැකි වෙනවා.
  උදරාශ්‍රිත අසනීප පීඩාවන්ට මෙන්ම උෂ්ණ අසනීප වලටද ඉඩ තිබෙනවා.