Friday, December 7, 2018

ආවට ගියාට උළුවහු තියන්න එපා.


 කොයි දීපංකරේ ගියත් හිතට බලාපොරත්තු වන සතුට සැනසුම හරියට දැනෙන්නේ තමන්ගේ ගෙදරට ආවම යි. කොහේ හරි ගිහින් ගෙදරට ආවට පස්සෙ 'නිවන් ගියා වගේ ...' කියල කියවෙන්නේ අන්න ඒ හින්දයි. තමන්ගේ නිවස හැමෝටම බකිංහැම් මාළිගාවටත් වඩා වටිනවා. හිතේ සතුටින් නිදහසේ ඉන්න තියෙන තමන්ගේ අදරණීයම නිවහනේ දුකින් කනස්සල්ලෙන් විඳවන අයත් මොන තරම් ඉන්නවද... දහසක් බලාපොරොත්තු තියාගෙන දුක් මහන්සියෙන් හදාගත්තු සෙවන යට හිතේ සතුටින් කල් ගෙවන්න බැරි වෙන විදියට හරස් වෙන දේවල් බොහොමයක් තියෙනවා. නොසැලකිලිමත්ව ස්ථාන ගතකරන දේවල්, දුරදිග නොබලා කරන ඉදිකිරීම් ආදී බොහෝ දේවල් ගෙදරට අහිතකර විදියට බලපානවා. ඉන් එක් සුවිශේෂ වැදගත් අංගයක් ගැනයි මේ කතා කරන්න හදන්නෙ. ඒ තමයි නිවසේ ප්‍රධාන දොරටුව.

නිවසක ප්‍රධාන දොරටුව තියන කොට මඟ හැරිය යුතු 'ද්වාර වේධ දෝෂ' 18 ක් ගැන වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. මේ ද්වාර වේධ දෝෂ එකකට හෝ ප්‍රධාන දොරටුව හසු වෙනවා නම් නිවසට අහිතකර බලපෑම් එල්ල වෙනවා. ඒ වේධ දෝෂ මෙන්න මේව යි.

01. මාර්ග දෝෂය
02. තරු දෝෂය
03. කෝණ දෝෂය
04. කූප දෝෂය
05. ස්ථම්භ දෝෂය
06. භ්‍රම දෝෂය
07. වර්චස් කුටි දෝෂය
08. තිරස්චීන දෝෂය
09. පංක දෝෂය
10. ම්ලේජ්ජ දෝෂය
11. අභිමුඛද්වාර දෝෂය
12. සුසාන දෝෂය
13. රජක දෝෂය
14. රාජ දෝෂය
15. කුම්භකාර දෝෂය
16. දේවතා දෝෂය
17. ගණිකා දෝෂය
18. බ්‍රහ්ම දෝෂය

දැන් මේ වේධ දෝෂ ගැන වෙන වෙනම පැහැදිලි කර ගනිමු.

මාර්ග දෝෂය.
නිවසක ප්‍රධාන දොරටුවට මුහුණ ලා නිවස දිශාවට විහිදෙන මාර්ගයක් දොර ඉදිරියේදී වම් පැත්තට හෝ දකුණු පැත්තට හැරිලා යනව නම් මාර්ග වේධ දෝෂය යෙදෙනවා. හැබැයි ප්‍රධාන දොරටුවේ ඉඳලා අඩි 15 කට වඩා දුරින් ඒ විදියේ වංගුවක් යෙදුණට දෝෂයක් ඇතිවෙන්නෙ නෑ.මේ වේධ දෝෂය හේතුවෙන් නිවැසියන්ගේ මානසික නිරවුල්තාවය බිඳ වැටෙනවා. පවුලේ සාමය සමගිය අඩු වෙනවා. අද කාලෙ නම් මේ විදියේ මාර්ග දෝෂයක් තියෙන එක ගොඩක්ම භයානකයි. ගේ ඇතුළටම ඉගිල්ලිලා එන එක අද කාලයේ රියැදුරන්ට එච්චර දෙයක් නෙමෙයි.

තරු දෝෂය.
ප්‍රධාන දොරටුවට කෙළින් අතු පතර විහිදුනු විශාල ගසක් තියෙනවා නම් තරු වේධ දෝෂය යෙදෙනවා.හැබැයි දොරටුවට අඩි 15 කට වඩා ඈතින් ගහක් තිබුණට දෝෂයක් ඇතිවෙන්නෙ නෑ. දොර ඉදිරියෙ කුඩා මල් ගස්, පඳුරු තිබුණත් වේධ දෝෂයක් ඇතිවෙන්නෙ නෑ. තරු වේධ දෝෂය යෙදිලා තියෙනවා නම් නිවසේ වාසනා බලය අවහිර වෙනවා. ලැබීම් දුර්වල වෙනවා.

කෝණ දෝෂය.
ප්‍රධාන දොරටුව ඉදිරියෙන් තවත් නිවසක මුල්ලක්, ඉඩමක කොනක් පිහිටලා තියෙනවා නම් කෝණ දෝෂය යෙදෙනවා. කරන කියන කටයුතුවල සාර්ථකත්වය අඩු වීමට, මානසික සතුට ප්‍රබෝධය හීන වීමට වගේම දියුණුව අඩු වීමට මේ දෝෂය හේතු වෙනවා.

කූප දෝෂය.
ප්‍රධාන දොරටුවට කෙළින් ළිඳක්, පොකුණක්, බෑවුමක් හෝ වලක් තියෙනවා නම් මේ දෝෂය යෙදෙනවා. ප්‍රධාන දොරටුවේ පටන් අඩි 15 කට වඩා දුරින් එවැනි දෙයක් තිබුණට දෝෂයක් ඇතිවෙන්නෙ නෑ. කූප දෝෂය යෙදිල තියෙනවා නම් නිවැසියන්ට මානසික හා ශාරීරික වශයෙන් පීඩා එල්ල වෙනවා. දියුණුව හීන වෙනවා. ධනය හානි වෙනවා.

ස්ථම්භ දෝෂය.
නිවසේ ප්‍රධාන දොරට ඉදිරියෙන් කණුවක් හෝ කුළුණක්  තියෙනවා නම් ස්ථම්භ දෝෂය යෙදෙනවා. ඇතැම් නිවාසවල ප්‍රධාන දොරට පිටතින් කරන ඉදිකිරීම් වලදි ප්‍රධාන දොරට ඉලක්ක වන විදියට කණු යොදල තියෙනවා. මේ දෝෂය හේතුවෙන් වාසනා බලය හීන වෙනවා. දියුණුව අඩාල වෙනවා. කරන කටයුතුවලට බාධක එල්ල වෙනවා.

භ්‍රම දෝෂය.
ප්‍රධාන දොරට ඉදිරියෙන් රෝදයක්, සුළං පෙත්තක්, සකපෝරුවක් හෝ වෙනත් කැරකෙන දෙයක් තියෙනවා නම් භ්‍රම දෝෂය යෙදෙනවා. මේ දෝෂය හේතුවෙන් නිවැසියන්ගේ මානසික නිරවුල්තාවය බිඳ වැටෙනවා. ධනය හානි වෙනවා. සමගිය බිඳ වැටෙනවා.

වර්චස් කුටි දෝෂය.
ප්‍රධාන දොර ඉදිරියෙන් වැසිකිළියක් තියෙනවා නම් මේ දෝෂය යෙදෙනවා. මේ හේතුවෙන් නිවසේ ශ්‍රියාව නැති වෙනවා. ආර්ථික පීඩා, රෝග පීඩා ඇතිවෙනවා. නින්දා අපහාස එල්ල වෙන්නත් ඉඩ තියෙනවා. ගෞරවය විනාශ වෙනවා.

තිරස්චීන දෝෂය.
ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් ගව ගාලක්, එළු ගාලක්, කුකුළු කොටුවක්, ඌරු කොටුවක් හෝ  බලු කූඩුවක් තියෙනවා නම් මේ දෝෂය යෙදෙනවා. මේ දෝෂය හේතුවෙන් නිවැසියන්ට නොයෙක් රෝග පීඩා ඇතිවෙනවා. මානසික සහනය තදබල විදියට බිඳ වැටෙනවා. පවුලේ සමගිය අඩු වෙනවා.

පංක දෝෂය.
ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් මඩ ගොහොරුවක්, අපිරිසිදු ජලය එකතු වෙන තැනක් තියෙනවා නම් පංක දෝෂය යෙදෙනවා. මේ දෝෂය හේතුවෙන් නිවැසියන්ගේ ශරීර සෞක්‍යය දුර්වල වෙනවා. වාසනා බලය අඩු වෙනවා. දියුණුවට බාධක එල්ල වෙනවා.

ම්ලේච්ජ දෝෂය.
ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් නීති විරෝධී ක්‍රියා,අපරාධ, පාපකාරී කටයුතු ආදිය සිදුවෙනවා නම්, එවැනි කටයුතුවල යෙදෙන පිරිස් නිතර රැස්වෙන, ගැවසෙන ස්ථානයක් තියෙනවා නම් ම්ලේච්ජ දෝෂය යෙදෙනවා.මෙයින් නිවසට බලවත් අසුබ බලපෑම් එල්ල වෙනවා. නිවැසියන්ගේ මානසික සහනය නිතර බිඳ වැටෙනවා. නිතර බිය දැනෙනවා. වැඩකටයුතු නිරවුල්ව, පිළිවෙලකට කරගෙන යන්න අපහසු වෙනවා. බාධක අවහිර එල්ල වෙනවා.

අභිමුඛද්වාර දෝෂය.
නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරියෙන් තවත් නිවසක ප්‍රධාන දොරටුව පිහිටලා තියෙනවා නම් මේ දෝෂය යෙදෙනවා. නිවසේ ගෘහ මූලිකයාට මෙයින් තදබල අසුබ බලපෑම් එල්ල වෙනවා.ඇස්වහ, කටවහ දෝෂ, සතුරු කරදර ඇතිවෙනවා.නිවැසියන්ගේ මානසික නිරවුල්තාවය බිඳ වැටෙනවා.

සුසාන දෝෂය.
ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් සොහොන් පිටියක්, සොහොන් කොතක් හෝ මියගිය අයෙක් වෙනුවෙන් ඉදි කළ සිහිවටනයක් තියෙනවා නම් සුසාන දෝෂය යෙදෙනවා. මේ දෝෂය ඉතාමත් අසුබයි. පවුලේ සාමාජිකයින් අතර සමගිය අඩු වෙනවා. නිතර කනස්සලු ගති ඇතිවෙනවා. දියුණුවට බාධක එල්ල වෙනවා. ගෘහ මූලිකයා නිවසින් පිට වීමට කරුණු යෙදෙන්නත් ඉඩ තියෙනවා.

රජක දෝෂය. 
ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් රෙදි සෝදන ස්ථානයක් තියෙනවා නම් රාජකා දෝෂය යෙදෙනවා. මේ දෝෂය හේතුවෙන් නිවැසියන්ට නින්දා අපහාස එල්ල වෙනවා. සතුරු කරදර ඇතිවෙනවා. ගෞරවය විනාශ වෙනවා. දියුණුව අඩු වෙනවා. නිවසේ ශ්‍රියාව නැති වෙනවා.

රාජ දෝෂය.
ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් රාජ්‍ය නායකයින්ගේ, අමාත්‍යවරුන්ගේ නිවසක් තිබෙනවා නම් රාජ දෝෂය යෙදෙනවා.වේධ දෝෂය හේතුවෙන් නිවැසියන් තුළ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඇතිවෙනවා. වැඩ කටයුතුවලට බාධක අවහිර එල්ල වෙනවා. නිවසේ සතුට, සමගිය අඩු වෙනවා. (මේ දෝෂයේ බලපෑම එදාට වඩා භයානක විදියට අද කාලයේ එල්ල වෙන්න පුළුවන්)

කුම්භකාර දෝෂය.
නිවසේ ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් උළු පෝරණුවක්, ගඩොල් පෝරණුවක් හෝ වළං පුළුස්සන ස්ථානයක් තියෙනවා නම් කුම්භකාර වේධ දෝෂය යෙදෙනවා. මේ හේතුවෙන් දේපළ ප්‍රශ්න, සතුරු කරදර, නීති ප්‍රශ්න ඇතිවෙනවා. දියුණුව අඩු වෙනවා.

දේවතා දෝෂය.
ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් දේවාලයක් හෝ දේව ප්‍රතිමාවක් තියෙනවා නම් දේවතා වේධ දෝෂය යෙදෙනවා. මේ හේතුවෙන් නිවැසියන් අනපේක්ෂිත කරදරවලට ලක්වෙනවා. ධනය විනාශ වෙනවා. නිවැසියන් තුළ උද්යෝගය උනන්දුව අඩු වෙනවා.

ගණිකා දෝෂය.
ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් ගණිකා නිවාසයක් හෝ ගණිකාවන් ගැවසෙන ස්ථානයක් තියෙනවා නම් ගණිකා දෝෂය යෙදෙනවා.මේ හේතුවෙන් පවුලේ සමගිය බිඳවැවෙනවා. ධනය හානිවීම, දරුවන් නොමඟ යාම වගේම මාරක විපත් එල්ල වෙන්නත් ඉඩ තියෙනවා.

බ්‍රහ්ම දෝෂය.
නිවසේ ඉදිරිපස බිත්තියේ හරි මැදින් ප්‍රධාන දොරටුව තැබීමෙන් බ්‍රහ්ම දෝෂය යෙදෙනවා. මෙය ඉතාමත් අසුබ දෝෂයක් ලෙස පිළිගැනෙනවා. ගෘහ මූලිකයාට බලවත් විපත් එල්ල වෙනවා. නිවසේ දියුණුව අඩු වෙනවා. පිළිගැනීම නැති වෙනවා. නොසිතූ කරදර විපත් ඇතිවෙනවා.

   ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
     සංජීව කුළුපන බණ්ඩාර.

Tuesday, December 4, 2018

රවි ධනුවට.




ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහයා වන රවි 2018 දෙසැම්බර් මස 16 වැනි ඉරිදා පෙ.ව 09.10 ට ගුරුට අයත් ධනු රාශියට ගමන් කරනවා. රවි 2019 ජනවාරි 14 වැනිදා තෙක් සෙනසුරු සමග ධනු රාශියේ රැඳී සිටිනවා. ධනු රාශිය තේජෝ හෙවත් උෂ්ණ රාශියක් වන අතර එහි අධිපති ගුරු ජල රාශියක් වූ වෘශ්චික රාශියේ ගමන් කරනවා. වෘශ්චික රාශියට අධිපති කුජ පොදු ජනකාරක සෙනසුරුට අයත් කුම්භ රාශියේ ගමන් කරනවා. කුම්භ රාශිය රටේ කේන්දරයේ ලග්නස්ථානය යි.
මේ අනුව දැනට රටට එල්ල වෙමින් පවතින ග්‍රහ බලපෑම් සුබදායක නොවන බව පෙනෙන්නට තිබෙනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළ පවතින අර්බුධ වඩාත් උග්‍ර තත්වයට පත් වෙනවා. දේශපාලනය හා නීතිය අතරද ගැටුම් ඇතිවිය හැකි තත්වයක් පවතිනවා. රජයට මෙන්ම විපක්ෂයටද දැඩි අභියෝග එල්ල වෙනවා. පාර්ලිමේන්තුව තුළ තව දුරටත් අර්බුධ, පෙරළි ඇතිවෙනවා.
පවතින ග්‍රහ තත්වය අනුව ලේ වැගිරීම්වලට ඉඩ තිබෙන බැවින් වගකිවයුතු සියලු දෙනා ඉවසිලිමත්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
2019 ජනවාරි මස 14 වැනිදා රවි මකර රාශියට ගමන් කිරීමද සුබදායක නෑ. අර්බුධ හා ගැටළු තව දුරටත් ඇදී යන ග්‍රහ තත්වයක් පවතිනවා. 
ඉදිරි කාලයේදී තාවකාලික සංහිඳියාවක් ඇතිවීමට ඉඩ කඩ පැවතුණද, සෙනසුරු ධනු රාශියේ කල් ගෙවන කාලය තුළ, එනම් 2020 ජනවාරි 25 තෙක් කාලය 
තුළ රට තුළ නිරවුල්,යහපත් වාතාවරණයක් අපේක්ෂා කිරීමට අපහසු වෙනවා. මෙම කාලය තුළ දැඩි අර්බුධ මතුවන අතර ජන ජීවිතයටද වරින් වර බලපෑම් එල්ල වෙනවා. ජන නායකයින්ට මාරක අපල එල්ල වෙනවා.

     ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 

        සංජීව කුළුපන බණ්ඩාර.