පංච මහා පුරුෂ යෝග.

කුජ, බුධ, ගුරු,සිකුරු, ශනි ග්‍රහයින්ගෙන් යෙදෙන 
බලසම්පන්න යෝග සතර 
"පංච මහා පුරුෂ යෝග" 
ඔබේ කෙන්දරයේත් තිබෙනවාදැයි බලන්න. 

     කුජ, බුධ, ගුරු, සිකුරු හා ශනි යන ග්‍රහයින් බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක පිහිටීමෙන් උදාවන මහා පුරුෂ යෝග පහක් ගැන ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. කේන්ද්‍රස්ථාන යනුවෙන් සැළකෙන්නේ කේන්දරයක එක, හතර, හත හා දහය යන ස්ථාන යි. මෙම ස්ථානයක ඉහත සඳහන් කළ ග්‍රහයෙක් බලවත්ව සිටීමෙන් මහා පුරුෂ යෝගයක් හිමිවෙනවා. කුජ ග්‍රහයා කේන්ද්‍රස්ථානයක බලවත් වීමෙන් "රුචක" යෝගයත්, බුධ ග්‍රහයා බලවත් වීමෙන් " භද්‍ර" යෝගයත්, ගුරු ග්‍රහයා බලවත් වීමෙන් " හංස " යෝගයත්, සිකුරු ග්‍රහයා බලවත් වීමෙන් "මාලවි " යෝගයත්, ශනි ග්‍රහයා බලවත් වීමෙන් " සස " යෝගයත් හිමිවෙනවා. ග්‍රහයෙක් ගේ බලවත්වීම යනු ස්වක්ෂේත්‍ර බලයෙන් හෝ උච්ච බලයෙන් යුක්ත වීමයි. ස්වක්ෂේත්‍ර බලය නම් ග්‍රහයෙක් තමන්ට අයත් රාශියක සිටීම යි. උච්ච බලය නම් ග්‍රහයෙක් තම උච්ච රාශියක සිටීම යි.

           කුජ ග්‍රහයා ට අයත් රාශි දෙක වන්නේ මේෂ රාශිය සහ වෘශ්චික රාශිය යි. බුධ ග්‍රහයා ට මිථුන, කන්‍යා රාශි දෙකත්, ගුරු ග්‍රහයා ට ධනු, මීන රාශි දෙකත්, සිකුරු ග්‍රහයා ට වෘර්ෂභ, තුලා රාශි දෙකත්, ශනි ග්‍රහයා ට මකර,කුම්භ රාශි දෙකත් අයත් වෙනවා. ග්‍රහයෙක් තමන්ට අයත් රාශියක සිටිනවා නම් ස්වක්ෂේත්‍ර බලයෙන් යුක්ත වෙනවා.
            කුජ ග්‍රහයා මකර රාශියේදී ත්, බුධ ග්‍රහයා කන්‍යා රාශියේදී ත්, ගුරු ග්‍රහයා කටක රශියේදී ත්, සිකුරු ග්‍රහයා මීන රාශියේදී ත්, ශනි ග්‍රහයා තුලා රශියේදී ත් උච්ච බලයට පත් වෙනවා. 
       ඉහත ආකාරයට කුජ, බුධ, ගුරු, සිකුරු,ශනි යන ග්‍රහයෙක් කේන්ද්‍රස්ථානයක බලවත් වීමෙන් හිමිවන පංච මහා යෝග තුළින් පුද්ගලයෙකුට ලැබෙන ප්‍රතිපල මොනවාදැයි විමසා බලමු.
     
    රුචක යෝගය.


    කුජ ග්‍රහයා උච්ච නැතහොත් ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක සිටින්නේ නම් රුචක යෝගය යි.

මෙම යෝගය ඇතුව උපන් අය එඩිතරයි.නිර්භීතයි. ආරක්ෂක ක්ෂේත්‍රය හෝ ඉංජිනේරු ක්ෂේත්‍රය වඩාත් යෝග්‍ය වෙනවා. මෙම යෝගය ඇතුව උපන් බොහෝ දෙනා ත්‍රිවිධ හමුදාවේ උසස් නිලතල හොබවනවා. දේශපාලන ක්ෂේත්‍රයේද ඉහළ තත්වයකට පත්වීමේ හැකියාව මෙම යෝගය තුළින් හිමි කර දෙනවා. මනා සංවිධාන හැකියාව, පසු නොබැසීම, අවහිර බාධක බිඳගෙන ඉදිරියට යාම, අන්‍යයන්ට යටත්වීමට දෙවැනිවීමට අකමැතිකම, ක්‍රියාශීලී ගතිය මොවුන් තුළ කැපී පෙනෙනවා.
  පහත දැක්වෙන්නේ හිටපු කීර්තිමත් හමුදාපතිවරයෙකු ගේ කේන්දරයයි. අදටද බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වී සිටින අයෙකි. මෙම කේන්දරයේ සිව් වැනි භාවයේ කුජ උච්ච වී රුචක යෝගය යෙදී තිබෙන අයුරු බලන්න.
 පහතින් දැක්වෙන්නේ රුචක යෝගය සටහන්ව පවතින තවත් කේන්දරයකි. මෙය ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිනිය ගේ කේන්දරය යි. කුජ ග්‍රහයා දහ වැන්නේ ස්වක්ෂේත්‍ර වී රුචක යෝගය යෙදී තිබෙන අයුරු බලන්න. සියලු බාධක අවහිර දුරු වී ජනපති පදවියට පත්වීමට රුචක යෝගයෙන් ලද සහය සුළු පටු නැත.
රුචක යෝගය සහිත තවත් විශේෂ කේන්දරයක් පහතින් දැක්වෙනවා. මෙම කේන්දරයේ හිමිකරුවා ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඉහළින්ම වැජඹුණු අයෙකි. ක්‍රීඩාවෙන් සමුගෙන දේශපානයට ද පිවිසුණු ඔහු අමාත්‍යවරයෙක් ලෙසටද කටයුතු කළේය.
භද්‍ර යෝගය. 
බුධ ග්‍රහයා සතර කේන්දරයෙන් තැනෙක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටින්නේනම් භද්‍ර නම් වූ මහා පුරුෂ යෝගය යි. භද්‍ර යෝගය හිමිව උපන් අය හස්තියෙකුගේ බඳු උදාර ගමන් විලාශයකින් ද , මනා බුද්ධි ප්‍රභාවයකින් ද, පතළ කිර්තියකින් ද යුක්ත වනවා.  තරමක මාන්නයකින්ද යුක්ත වන මොවුන් මහා ධනයකට හිමිකම් කියමින් දීර්ඝායුෂ භුක්ති විඳිනවා. මෙම යෝග හිමියෝ සිතින් කිසිදා වියපත් නොවන අතර ගත වැහැරී යාමද වයසට අනුව බලන විට සිදුවන්නේ මඳ වශයෙන්ය.
    භාෂා ශාස්ත්‍ර, චතුර කථිකත්වය, ලේඛන කුසලතාවය, ජ්‍යොතිර් විද්‍යාව, කාව්‍යකරණය ආදී අංශයන්ගෙන් ඉහළ තලයකට පත්වීමට මෙම යෝගය බෙහෙවින් උපකාරී වෙනවා. මුද්‍රණ, ප්‍රචාරණ, ජනමාධ්‍ය, උපදේශන ආදී ක්ෂේත්‍ර තුළද භද්‍ර යෝගය හිමියන් කැපී පෙනෙනවා. කෝටිපතියෙකු බිහි කරවන ප්‍රධාන ග්‍රහ යෝග තුළ ඊට ඇතුළත් කර තිබෙන එකම මහා පුරුෂ යෝගය මෙයයි. 
   පහත දැක්වෙන මිථුන ලග්නය හිමි කේන්දරය ශ්‍රීලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතාගේ යි. කේන්දරයේ සිව් වැනි භාවයේ බුධ ග්‍රහයා උච්ච වී භද්‍ර යෝගය යෙදී තිබෙන ආකාරය බලන්න.
  පහත දැක්වෙන කේන්දරයේ හිමිකරුවා ජනප්‍රිය රංගන ශිල්පියෙකි. දේශපාලනයට ද පිවිසි මොහු කලක් ඉහලම උපදේශන තනතුරක් ද දැරුවේය. නම කිව් පමණින් රටම හඳුණන අයෙකි. කන්‍යා ලග්නය හිමි මෙම කේන්දරයේ පළමු භාවයේ බුධ උච්ච වී භද්‍ර යෝගය යෙදී තිබෙන අයුරු බලන්න.
                                 
හංස යෝගය.

  සතර කේන්දරයෙන් තැනක හෙවත් එක, හතර, හත, දහය යන ස්ථාන වලින් එකක ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ස්වක්ෂේත්‍රව හෝ උච්චව සිටින්නේ නම් හංස යෝගය යි.
        ප්‍රිය ජනක පෙනුම, යහපත් කතා විලාශය, පැහැපත් අවයව, පෙර පින් බලය, සැප විඳීමේ වාසනාව  හංස යෝගය තුළින් හිමිවෙනවා. අන්‍යයන්ගේ ගරු සැළකිලි ලබමින් දීර්ඝායුෂ භුක්ති විඳීමට හැකිවෙනවා. මොවුන් පුණ්‍ය කටයුතු, වෙනත් අධ්‍යාත්මික කටයුතු කෙරෙහි බොහෝ විට නැඹුරු වෙනවා. ශ්‍රේෂ්ඨ ගුරුවරුන්, උපදේශකයින්, නායකයින් බවට පත්වීමට අවශ්‍ය වාසනා බලය හංස යෝගය තුළින් හිමිවෙනවා. හදවතට එකඟව, ප්‍රතිපත්තිගරුකව හා යුක්තිගරුකව කටයුතු කරන ගුණය මොවුන් වෙතින් දැක ගැනීමට හැකිවෙනවා.  නියම බලැති හංස යෝගය පුද්ගලයෙකු ඉහළ තලයකට පත් කරවනවා. භව භෝග සම්පත් වලින් යුක්තව සමාජයට වැඩදායක ජිවිතයක් ගත කිරීමට හංස යෝගය තුලින් ඉමහත් සහයක් සැලසෙනවා.
         හංස යෝගය බලවත්ව යෙදුනු පහත කේන්දරය අති පුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් ගේ කේන්දරය යි. මෑත කාලයේ ලක්බිමෙහි පහළ වුණු ශ්‍රේෂ්ඨ සංඝ නායක හිමිනමක් වූ උන්වහන්සේගේ කේන්දරයේ හංස යෝගය යෙදී තිබෙන්නේ සිව් වැන්නේ යි. ඒ සිව් වැන්නේ ගුරු ස්වක්ෂේත්‍ර වීමෙනුයි.
                           
පහත දැක්වෙන්නේ හිටපු ජනාධිපති දිවංගත ඩී. බී විජේතුංග මහතා ගේ කේන්දරය යි. ඉතාමත් සරළ දිවියක් ගත කළ පින්වන්ත පුද්ගලයෙකි. එතුමන්ට සුළු හෝ දොසක් පවසන්නෙකු නැති තරම් ය. එතුමන් ගේ කේන්දරයේ දස වැනි භාවයේ ගුරු ස්වක්ශේත්‍රව තැන්පත්වී හංස යෝගය උදාවී තිබේ.
  මාලවි  යෝගය ( මාලව්‍ය යෝගය ) 
  සිකුරු ග්‍රහයා කේන්ද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් මාලවි යෝගය උදාවෙනවා.
     ආකර්ශනීය නෙත් යුගළකින් හා පියකරු පෙනුමකින් යුක්ත මාලවි යෝග හිමියන්ට මනා පෙර පින් බලයක්ද හිමියි. ගේදොර, යාන වාහන, සැප සම්පත්  යුතුව සැපවත් ජීවිතයක් ගත කිරීමට හැකිවෙනවා.නිදහස් මතධාරී මොවුන් විනෝදයෙන් කල් ගෙවීමටප්‍රිය කරනවා. විරුද්ධ ලිංගිකයින්ගේ ඇසුර ප්‍රිය කරන මොවුන් නිර්මාණශීලී කටයුතු කෙරෙහිද කැමැත්තක් දක්වනවා.භාහිර අලංකාරය ගැන නිතර සැළකිලිමත් වෙනවා. දීර්ඝායුෂ භුක්තිවිඳීමට හැකිවෙනවා. 
    රංගනය, ගායනය ආදී කලා කටයුතු මෙන්ම රූපලාවන්‍ය, ගෘහ අලංකරණ, විලාසිතා, ඇඟළුම් නිර්මාණ. උද්‍යාන අලංකරණ ආදී කටයුතු තුලින් ඉහළ සාර්ථකත්වයක් අත් කරගැනීමේ හැකියාව මුවුන් සතුවනවා.
    පහත කේන්දරයේ හිමිකාරිණිය ජනකාන්ත කලාකාරියකි.සිංහල සිනමාවේ නිළි රැජිනකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්රිවරියකි. නම කිව් සැණින් රටම හඳුනන ඇය ගේ කේන්දරයේ දස වැනි භාවයේ සිකුරු උච්චවී මාලවි යෝගය සටහන්ව තිබේ.
   

ශශ යෝගය 

  එක, හතර, හත, දහය යන කේන්ද්‍රස්ථාන වලින් එකක සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටින්නේ නම් ශශ යෝගය යි. රජෙකු, අමාත්‍යයෙකු, ප්‍රධානියෙකු වීමේ භාග්‍යය හිමි කරදෙන යෝගයක් ලෙස පුරාණ ජ්‍යොතිෂ ග්‍රන්ථ තුළ සඳහන් වෙනවා.
   එඩිතර, ධෛර්යවන්ත, අධිෂ්ඨානශීලී ගති ලක්ෂණ ශශ යෝගය තුලින් හිමිවෙනවා. මොවුන් කිසිවකින් පසුබට නොවන අතර තම බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකර ගැනීමට උත්සාහ දරණවා. සෙනසුරු පොදුජනකාරක ග්‍රහයා බැවින් සෙනසුරු වෙතින් උදාවන ශශ යෝගයේ බලය පොදු ජන කටයුතු වලට ඉතා හොඳින් ගැළපෙනවා. නියම බලයෙන් යුතුව යෙදුණු ශශ යෝගය පුද්ගලයෙකු දේශපාලනයේ ඉහළම තලයකට රැගෙන යනවා.
    දුක් විඳින, තැලෙන පෑගෙන පීඩිත ජනතාව කෙරෙහි මහත් ඇල්මක් මොවුන් තුළ ඇතිවෙනවා.
      පහත සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ සිටි සුවිශේෂ ජන නායකයෙකු ගේ කේන්දරය යි. එතුමෝ ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති ධූරය හෙබවූ ආර්. ප්‍රේමදාස මහතා යි. පහළම තැනක සිට ඉහළම තැනට ගමන් කිරීම සඳහා එතුමන්ට ශශ යෝගයෙන් ලැබුණු බලය සහයෝගය ඉමහත්ය.මේෂ ලග්නය හිමි එතුමන් ගේ කේන්දරයේ හත් වැනි භාවයේ සෙනසුරු උච්ච වී ශශ යෝගය යෙදී තිබෙන අයුරු බලන්න.
   
පහත දැක්වෙන්නේ ශශ යෝගයට නිදසුන් වූ තවත් කේන්දරයකි. මෙහි හිමිකරුවා හිටපු දේශපාලඥයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා යි. සිංහ ලග්නයෙන් උපන් එතුමන්ගේ කේන්දරයේ හත් වැනි භාවයේ සෙනසුරු ස්වක්ෂේත්‍ර වී ශශ යෝගය සටහන් වී තිබේ.
   
 ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 

දේශමාන්‍ය, ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර.