Wednesday, January 6, 2016

කේන්දරයේ හිස් කොටු සමහරුන්ට ප්‍රශ්නයක්.
සැක සංකා දුරුවෙන්න මේ ලිපිය කියවන්න.

     "මගේ කේන්දරයේ හත් වැනි කොටුවෙ කිසිම ග්‍රහයෙක් නෑ. ඒ කියන්නෙ මට විවාහයක් හිමි නෑ කියන එකද...?"  
" කේන්දරයේ හිස් කොටු තියෙන්නෙ ඇයි...? ග්‍රහයො නැති කොටු වලින් මොනවද කියවෙන්නේ...? " 
" මගේ කේන්දරයෙ හිස් කොටු වැඩියි. ඒ ඇයි...."
        ඔන්න ඔය වගේ ප්‍රශ්නත් සමහරුන්ට තියෙනවා. ජ්‍යොතිෂය ගැන දැනුම අවබෝධය නැති අයට කේන්දරයේ හිස් කොටු ප්‍රශ්නයක්. කේන්දරයේ හිස් කොටු තියෙන්නේ ඇයි ? හිස් කොටු වලට ග්‍රහ බලපෑම් නැද්ද ? කේන්දරයේ කොටුවක් හිස් වෙලා තියෙන කොට ඒ කොටුවෙන් කියවෙන දේවල් අහිමි වෙනවද ? 
         කේන්දරයක භාව දොළහක් තියෙනවා. මේවා ස්ථාන විදියටත් හඳුන්වනවා. සමහරු මේවට කොටු කියලත් කියනවා. කේන්දරයක භාව හෙවත් කොටු දොළහක් තිබුණට ග්‍රහයො ඉන්නෙ නව දෙනයි. එක කොටුවක එක ග්‍රහයා බැගින් හිටියත් කොටු තුනක් හිස් වෙනවා. එක කොටුවක එක ග්‍රහයා බැගින් සිටින කෙන්දරක් හොයාගන්න එකත් ලේසි පහසු නෑ. ඒ වගේ කේන්දරත් ඉතාමත් දුර්ලභයි.
             එහෙමනම් කේන්දරයේ හිස් කොටු හෙවත් ග්‍රහයින්ගෙන් තොර වූ භාව ස්ථාන වල ශක්තිය, බලය මැන ගන්නේ කොහොමද ? හත් වැනි භාවය හිස් නම් විවාහය ගැන, විවාහයට ලැබෙන කෙනා ගැන, විවාහය සිදුවන කාලය ගැන විස්තර තොරතුරු දැනගන්නේ කොහොමද ? 
          සෑම කොටුවකටම හෙවත් භාවයකටම අධිපති ග්‍රහයෙක් හෙවත් අයිතිකාරයෙක් ඉන්නවා. මේෂ ලග්නයෙන් ඉපැදුනු අයගේ ලග්නාධිපති ග්‍රහයා හෙවත් පළමු කොටුවේ අයිතිකාරයා තමයි අඟහරු හෙවත් කුජ.  මේෂ ලග්නයෙන් දෙවැනි රාශිය වෘෂභ යි. එහෙනම් දෙවැනි භාවයේ අධිපති සිකුරු යි. මේෂ රාශියෙන් තුන් වැනි රාශිය මිථුන රාශිය යි. එහෙම නම් මේෂ ලග්න හිමියන් ගේ  තුන් වැනි භාවයේ අධිපති මිථුන රාශියට අධිපතිත්වය දරන බුධ යි.ඔය විදියට මේෂ රාශියේ පටන් දොළොස් වැනි රාශිය තෙක් පවතින රාශි වලට අධිපතිත්වය දරන ග්‍රහයින් ඒ ඒ භාව වල භාව වල අධිපතිත්වය හිමි කර ගන්නවා. තමන් ඉපදුනු ලග්නය අනුව ඉදිරි ලග්න ගැනලා බැලුවම ඒ ඒ කොටුවට අධිපති ග්‍රහයින් හොයාගන්න පුළුවන්. මෙහි දැක්වෙන වගුවෙන් තමන්ගේ කේන්දරයේ ඕනෑම භාවයක අධිපතියා පහසුවෙන් හොයාගන්න පුළුවන්.
   
  එහෙමනම් දැන් හැමෝම දන්නවා කොටුවක් හිස් වුණත් ඒ කොටුවට අධිපති ග්‍රහයෙක් ඉන්නවා කියන එක. ඒ අධිපති ග්‍රහයා ඉන්න තැන අනුව අදාල භාවයෙන් හෙවත් කොටුවෙන් කියැවෙන දේ ගැන විස්තර දැනගන්න පුළුවන්. අපි හිතමු ලග්නය මේෂ කියලා. පළමු කොටුවේ ග්‍රහයො නෑ. නමුත් මේෂ ලග්නයට අධිපති කුජ දෙවැනි කොටුවේ ඉන්නවා. එහෙමනම් පළමු කොටුවේ ග්‍රහයෙක් නැති වුණා කියල ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද ලග්නාධිපති ග්‍රහයා දෙවැනි භාවයේ ඉන්නවා.

        ග්‍රහයින් ගේ දෘෂ්ටි 


   යම් භාවයක ග්‍රහයින් නැති වුණද එම භාවයට යම් කිසි ග්‍රහයෙකුගේ දෘෂ්ටියක් එල්ල වන්නටද පුළුවන්. පලාපල කථනයේදී ග්‍රහ දෘෂ්ටි ගැනත් සැළකිලිමත් විය යුතුයි. කේතු ග්‍රහයා හැර සෙසු සියලු ග්‍රහයෝ තැන සිටින තැන සිට හත් වැනි කොටුව දකිනවා. කෙනෙකුගේ කේන්දරයේ පළමු භාවයේ කුජ හෙවත් අඟහරු ඉන්නවා නම් ඒ අඟහරු, හත් වැනි භාවය වූ විවාහස්ථානය දකිනවා.  
      අඟහරු හෙවත් කුජ තමන් සිටි තැනින් හත් වැන්න ට අමතරව හතර වැන්නට හා අට වැන්නට ද දෘෂ්ටිය හෙළනවා. සෙනසුරු තමන් සිටි තැනින් හත් වැන්නට අමතරව තුන් වැන්නට හා දහ වැන්නටත් දෘෂ්ටිය හෙළනවා. ගුරු තමන් ගෙන් හත් වැන්න වගේම පස් වැන්න හා නව වැන්නද දකිනවා.රාහු තමන් ගෙන් හත් වැනි භාවය වගේම පහ, හත, නවය , දොළහ යන ස්ථානත් දකිනවා.
  කේන්දරයේ කොටු හිස්ව තිබීම ගැටලුවක් නොවන බව දැන් ඔබට වැටහෙනවා.
      පහත සඳහන් කේන්දරය දෙස අවදානය යොමු කරන්න. කේන්දරයේ කොටු තුනක් හැර ඉතිරි කොටු නවයම පාලුයි. මේ කේන්දරයේ හිමිකරුවා ඉතාමත් ජනප්‍රිය කලා ශිල්පියෙක්. රංගනය, ගායනය, නිවේදන කලාව යන ක්‍ෂේත්‍ර තුළ ඉහළින්ම වැජඹෙනවා. වරෙක ඉතාමත් ආන්දෝලනාත්මක සිද්ධි වලටත් සම්බන්ධ වෙනවා. කලා කටයුතු වලට අමතරව ව්‍යාපාර කටයුතු වලද නියැලෙන මොහු වෙත රසික රසිකාවියන් ගේ ආදරය අදටත් නොඅඩුව හිමි වෙනවා.
       
   කේන්දරයක සටහන්ව පවතින ග්‍රහ සංයෝග, ප්‍රබල ග්‍රහ යෝග, ග්‍රහ දෘෂ්ටි, ග්‍රහයින්ගේ නැකත් බලය ආදී කාරනා මත පුද්ගලයෙකුගේ පැවැත්ම, සාර්ථකත්වය, දියුණුව, බැබළීම ආදිය තීරණය වෙනවා. කේන්දරයක කොටු හිස්ව පැවතීම සාමාන්‍ය දෙයක්. කොටුවකින් ප්‍රකාශවත් වන දෙයක් කොටුව හිස් වුණා කියා අහිමි වන්නේ නෑ.

         ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය

   දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර.