Tuesday, October 20, 2020

ගැහැණු පිරිමි ගළපන්න පුළුවන්ද ?

 


        ගැහැණු පිරිමි කියන්නෙ ආත්මෙකට ගළපන්න බැරි දෙගොල්ලක්. හරියට දෙලොවකින් ආපු අය වගේ. අහස-පොළව, කළු-සුදු, ජලය-ගින්දර, උෂ්ණය-සිසිලස, දුක-සතුට වගේ තමයි ගැහැණු-පිරිමි කියන්නෙත්. මේ දෙගොල්ලන්ගෙ භාහිර පෙනුම, කතා බහ, සිතු පැතුම්,හැසිරීම, රුචි අරුචිකම්, භාෂාව ඔය හැම දෙයක්ම වෙනස්. එහෙම නොගැළපීමක්, නොපෑහීමක් තියාගෙන තමයි එකිනෙකාට ආකර්ෂණය වීම,ආදරය කිරීම,විවාහ වීම, කායිකව එක්වීම හැම දෙයක්ම වෙන්නෙ. නොගැළපෙන දෙන්නෙක් කිරියි පැණියි වගේ ගළපන්න ක්‍රමයක් නෑ. කවදාවත් එහෙම වෙන්නෙ නෑ. එහෙම වෙන්න විදියක් නෑ. එහෙම නම් ඇයි විවාහයෙදි දෙන්නෙක්ගෙ ගැළපීම බලන්නෙ ? ඒකත් එක්තරා ප්‍රශ්නයක්. එතනට යන්න කලින් කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඒ හැම දෙයක්ම මෙය කියවන ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි.


       'පිරිමින් සහ ගැහැණුන් තම වෙනස්කම් පිළිගනිමින් ඊට ගෞරවයෙන් යුතු වන විට ආදරයේ මල් පිපීමට අවස්ථාව උදා වේ' යැයි කියමනක් තිබේ. නොගැළපීම් ගළපා ගනිමින් වෙනස්කම් අවබෝධ කරගනිමින් එක්ව දිවි ගෙවන්නට උත්සාහ කරන ගැහැණු පිරිමි අනන්තවත් සිටිති. බැඳුම් බිඳ වැටී අවාසනාවන්ත ලෙස වෙන් වන, තනි වන,දිවි තොර කරගන්නා ගැහැණු පිරිමි ද බොහෝ ය. දික්කසාද නඩු, නඩත්තු නඩු දිනෙන් දින වැඩි වනවා මිස අඩු වීමක් නැත.


    ජ්‍යොතිෂවේදියෙකු යනු උපදේශකවරයෙකි. ජ්‍යොතිෂවේදියෙකු ජ්‍යොතිෂ විෂය පිලිබඳ ප්‍රවීනයෙකු විය යුතු බවට විවාදයක් නැත.සමාජ විද්‍යාව හා මනෝ විද්‍යාව පිලිබඳ දැනුමින් තොර ජ්‍යොතිෂවේදියාට කීර්තිමත් ජ්‍යොතිෂ උපදේශකවරයෙකු වීමට අපහසු ය. සේවාදායකයාගේ මානසික ස්වභාවය, සිතුවිලි රටාව හා දැනුම අවබෝධය තේරුම් නොගෙන ඵලදායක උපදේශනයක් සිදු කළ නොහැක.


    ගැහුණු කවුරුද ? පිරිමි කවුරුද ? දෙගොල්ලොම පැමිණ සිටින්නේ කැලෑවේ සිට ය. ගැහැණු පරිණාමය වූයේ දරුවන් බිහි කරන්නියන්, දරුවන් රැක බලාගන්නියන් ලෙස ය. තවද,පවුලේ උදවිය වෙනුවෙන් ආහාර පාන සකස් කර දීම හා ඔවුන් ට නොපිරිහෙලා ආදරය දැක්වීම ද ඇගේ කාර්ය භාරය විය. ගැහැණු මොළය සකස් වී ඇත්තේ එම වගකීම් හා කාර්ය භාරයන්ට සරිලන අයුරිනි. පුරුෂයා දඩයක්කාරයෙකි. සතුන් පසුපස හඹාගෙන ගොස් දඩයම් කිරීමට අමතරව සියලු උපද්‍රවයන්ගෙන් තම අඹු දරුවන් රැකගැනීමේ වගකීම පුරුෂයාට පැවරුණි. පිරිමින්ගේ මොළය සහ ගැහැණුන්ගේ මොළය නිර්මාණය වී ඇත්තේ එකිනෙකට වෙනස් වූ ප්‍රමුඛතාවන් අනුව ය.


   ගැහැණුන්ගේ සූසැට මායම්  හෙවත් හැටහතර මායම් පිළිබඳව බොහෝ තැන්හි කතාබහට ලක් වූව ද එහි සත්‍ය අර්ථය කිසිවෙකුත් විසින් අවබෝධ කරගෙන නොමැති බව පෙනෙන්නට තිබේ.  හැටහතර මායම් යනු අන්‍යයන් තමන් වෙත නතු කරගැනීම සඳහා ගැහැණු ඕනෑකමින් භාවිතා කරන උපායන් බව බොහෝ දෙනා අදහස් කරති. එය එසේ නොවේ. ඒ අවිඥානිකව සිදුවන පාලනය කිරීමේ යාන්ත්‍රණයකි.  ස්වයංක්‍රියව සිදුවන ක්‍රියාවලියකි. ආරක්ෂාව හා පැවැත්ම උදෙසා ස්වභාව ධර්මයෙන් ලැබුණු දායාදයකි. ගැහැණිය සටන්කාරියක් නොවේ. සටන්කරුවා පිරිමියාය.නොයෙක් අරමුණින් ළඟා වන පිටස්තරයින්ගෙන් සහ සතුරන්ගෙන් ආරක්ෂා වීමටත්, අන්‍යයන්ගේ අනුකම්පාව දිනා ගැනීමටත්, තම අවශ්‍යතා සපුරා ගැනීමටත් සූසැට මායම් උපකාරී වේ. සූසැට මායම් හා සම්බන්ධ නොකළ ද ස්වභාව ධර්මය වෙතින් ගැහැණිය ලද වටිනාම දායාදය නම් ඉකිබිඳීම ය. ගැහැණුන්ගේ කඳුළු ග්‍රන්ථි පිරිමින්ගේ කඳුළු ග්‍රන්ථිවලට වඩා ක්‍රියාශීලී ය. ගැහැණු අන්‍යයන් තම අත්අඩංගුවට ගැනීම පිණිස හා අන්‍යයන් යටත් කර ගනු පිණිස හඬති. ඇතැම් විට ඔවුන් එය හිතාමතා සිදු කරනවාදැයි ඔවුන්ටද  අවබෝධයක් නැත. බොහෝ විට එය අවිඥානිකව සිදුවන්නකි.


   ගැහැණුන්ට එක වර බොහෝ වැඩ කටයුතුවල නියැලීමට හැකියාව පවතී. ගැහැණු මොළය සකස් වී ඇත්තේ එක වර වැඩ රාශියක් කළ හැකි පරිදි ය. පිරිමි එසේ නොවේ. පිරිමින්ට එක් වරකදී කළ හැක්කේ එක වැඩක් පමණි. පිරිමින්ගේ මොළයේ වම් අර්ධ ගෝලය හා දකුණු අර්ධ ගෝලය සම්බන්ධ කරන රැහැන ගැහැණියකගේ එම රැහැනට වඩා සිහින්ය. එමගින් වම් හා දකුණු මොළය අතර ගෙන යන සම්බන්ධතා ප්‍රමාණය ද ගැහැණියකගේ එම ප්‍රමාණයට වඩා අඩුය. මේ අනුව පිරිමියෙක් වරකට එක් දෙයක් පමණක් සිදු කරයි. මිනිසා එක් දෙයකට සිත යොමු කළ විට ඔහුට තම ප්‍රශ්න ගැටළු අමතක කොට සුවදායී තත්වයක් සලසා ගැනීමට හැකි වේ. ගැහැණියක් යම් කිසිවකින් පීඩාවට පත්ව සිටියදී කුමන දෙයකට සිත යොමු කළද ඇයට ඉන් සහනයක් ලබා ගැනීම අපහසුය.

     

    වනවාසී ගුහාගත ජීවිතය තුළ ආහාර සපයන්නා,ආරක්ෂකයා මෙන්ම ගැටළු විසඳන්නා වූයේ ද පිරිමියා ය. ගැහැණියට අවශ්‍ය කතා කිරීමෙන් අදහස් හුවමාරු කරගැනීම වූවද එයින් පිරිමියා අදහස් කරන්නේ ඇය තමන්ට ගැටළු ඉදිරිපත් කරන බවයි. ඇගේ කතාවට සවන් යොමු කරනවා වෙනුවට පිරිමියා ගැටළු විසඳීමට යන අතර, ඇගේ කතාවට සවන් නොදීම හේතුවෙන් ගැහැණිය කෝපයට පත් වෙයි. පිරිමියා සිතන පරිදි ඇයට ආදරය කළා වන්නේ ඇගේ ගැටළු විසඳා දීමෙනි. ගැහැණිය සිතන පරිදි ඔහු තම හැඟීම්වලට ඇහුම්කන් නොදෙන්නේ තමන්ව නොසළකා හරින බැවිනි.  ප්‍රමාණය නොසළකා ක්‍රියාව හෝ පරිත්‍යාගය අගය කිරීම ගැහැණියගේ සිරිතය. පිරිමි අගය කරනු ලබන්නේ ක්‍රියාවේ හෝ පරිත්‍යාගයේ විශාලත්වය යි. ගැහැණුන්ට අවශ්‍ය වන්නේ විශාලත්වය නොව වැඩි වාර ගණනකි. ආදරෙයි යනුවෙන් වරක් පැවසීම ප්‍රමාණවත් යැයි පිරිමියා සිතුවා ද ගැහැණියට එය වැඩි වාර ගණනක් අසන්නට උවමනාය.


   පිරිමි සෘජුව කතා කළද ගැහැණු බොහෝ විට වක්‍රොක්ති බසින් කතා කරති. සෘජු බස වෙනුවට ගැහැණියට වක්‍රොක්ති කතා විලාශයක් හිමිව ඇත්තේ ද ගැටුම්, මතභේද  වළක්වා ගනිමින් දිවි ගෙවීමට ය. ගැහැණුන්ගේ වක්‍රොක්ති භාෂාව පිරිමින් විසින් කොතෙක් දුරට අවබෝධ කරගන්නවාදැයි යන්න ගැටළුවකි. 


   ගැහැණු සිකුරු ලොව වැසියෝ බවත් පිරිමි අඟහරු ලොව වැසියෝ බවත් කියැවේ. ඒ ගැහැණු සිකුරු ලොවින් පැමිණි නිසා හෝ පිරිමි අඟහරු ලොවින් පැමිණි නිසා නොවේ. ජ්‍යොතිෂයෙදී ගැහැණු පිරිමි දෙපාර්ශවයේ ප්‍රධන බලපැවත්වීම් අඟහරුට සහ සිකුරුට හිමිව ඇති බැවිනි.


    ගැහැණු පිරිමි දෙපාර්ශවය කිසි ලෙසකින් හෝ ගැළපිය නොහැකි බව මම ආරම්භයේදීම පැවසුවෙමි. ගැහැණු ගැහැණුමය. පිරිමි පිරිමිමය. ගැහැණියට අවශ්‍ය පිරිමියෙකි.පිරිමියාට අවශ්‍ය ගැහැණියකි. ගැහැණියට ගැහැනියක් ලෙස පිරිමියා සමඟ එක්ව වාසය කළ හැකිද, පිරිමියාට පිරිමියෙක් ලෙස ගැහැණිය සමඟ එක්ව වාසය කළ හැකිද යන්න තේරුම් කරගැනීම වැදගත් වේ. ප්‍රේම සම්බන්ධයකදී හඳහන් නොගැළපෙනවා යැයි වෙන් වීමට ආදරවන්තයින් තුළ කැමැත්තක් නැත. ඇතැම් විට යුග දිවිය තුළ ගැහැණියට පිරිමියාගේ භූමිකාව රඟපෑමට සිදුවන අතර පිරිමියාට ගැහැණියගේ භූමිකාව රඟපෑමට සිදුවන අවස්ථාද ඇත. ස්වභාව ධර්මයෙන් ලද ගති ලක්ෂණ,ඇවතුම් පැවතුම් ඉක්මවා යමින් කටයුතු කිරීම සෑම ගැහැණියකටම කළ නොහැක. හැකි අයද වෙති. ගැහැණුකම ඉක්මවා පිරිමියාගේ කාර්යභාරය උර මත පටවාගැනීමට සිදුවන අවස්ථාවකදී දුර්වල ගැහැණියක් බරපතළ තත්වයකට මුහුණ පානු ඇත. තම දරුවන්ට මවකගෙන් ඉටු විය යුතු යුතුකම් මෙන්ම ගෘහනියකගෙන් ගෙදරදොරට ඉටු විය යුතු කාර්ය භාරය බිරිඳගෙන් ඉටු නොවන කල්හි පුරුෂයෙක් බරපතළ තත්වයකට මුහුණ දෙනු ඇත.  බලාපොරොත්තු වන විවාහය තුළ ගැහැණියට පැවරෙන භූමිකාව කුමක්ද, ඇය ඊට සුදුසුද යන්නත් එහිදී පිරිමියාට පැවරෙන භූමිකාව කුමක්ද, ඔහු ඊට ගැළපෙන්නේද යන්නත් ඔවුන්ගේ ජන්මපත්‍ර ආශ්‍රයෙන් විභාග කළ යුතුය.

     

    එක්තරා ස්වාමින් වහන්සේ නමක් බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය සමඟ දනකට වඩින අවස්ථාවක වැසි දිය පිරුණු වලවල් උඩින් පනිමින් වැඩම කළ බවත්, ඒ පිළිබඳව යමෙක් බුදුන් වහන්සේගෙන් විමසූ අවස්ථාවේදී එම හිමි නම පෙර භවයක වානරයෙක්ව උපත ලබා සිටි බැවින් එසේ පනිමින් ගමන් කරන බව බුදුන් වහන්සේ දේශනා කළ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. සසර පුරුදු කෙතරම් ප්‍රබලද යන්න එයින් මනාව පැහැදිලි වේ. ඇතැමුන්ගේ සසර පුරුදු ජන්මපත්‍රය තුළ සැඟව තිබෙන අතර ශාස්ත්‍රයේ නිපුණ ජ්‍යොතිෂවේදියෙකුට ඒවා හෙළි කරගැනීම පහසු කාර්යයකි. දැඩි ස්ත්‍රී ලෝලීත්වය හා දැඩි පුරුෂ ලෝලීත්වය, විකෘති කාම හැසිරීම්, පරපීඩක කාමුකත්වය වැනි සසර පුරුදු හේතුවෙන් බිඳ වැටෙන විවාහ ජීවිත ප්‍රමාණය අති මහත්ය. නොනවතින අනියම් සම්බන්ධතා හේතුවෙන් වෙන් වන සහ දිවි නසාගන්නා බිරින්දෑවරු හා ස්වාමිපුරුෂයින් ගැන කොතෙකුත් අසන්නට ලැබේ. ඝාතකයින්ද, සල්ලාලයින්ද,රැවටිලිකාරයින්ද විවාහයේදී සිල්වතුන්ය.


   මානසික රෝගීන් සුලභය. මග තොටේ පිස්සු නටන්නෝ නොවුණද සුළු මානසික ආබාධ සහිත ස්ත්‍රී පුරුෂයෝ සුලභව සිටිති. හමු වී කතා බහ කළද, සේවා ස්ථානයේ එකට කටයුතු කළද, නිතර දුරකතනයෙන් කතා බහ කළද, මුහුණු පොත හරහා සම්බන්ධ වූවද ඔවුන් මානසික රෝගීන් බව හඳුනා ගත නොහැක. එය පහසුවෙන් දැනගැනීමට හැකි වන්නේ එක්ව එක වහළක් යට දිවි ගෙවන විටදී ය. සඳු හෙවත් චන්ද්‍රයා හා සම්බන්ධ දුර්වල ග්‍රහ රටා අනුව සිදුවන මානසික විකෘතිතාවන් හඳුනාගැනීම දක්ෂ ජ්‍යොතිෂවේදියෙකුට අපහසු නැත.


    සයනයේ සැපය විවාහයක අත්තිවාරම යැයි පැවසුවද වරදක් නැත."යම් ස්ත්‍රියක තොමෝ කටයුතු කිරීමෙහි පුරුෂයාට ඇමතියෙක් මෙන්ද, ප්‍රීති වීමෙහි මිත්‍රයෙක් මෙන්ද, විපත්තියේදී මවක් මෙන්ද, සයනයේදී වෛශ්‍යාවක් මෙන්ද වන්නී නම් ඕතොමෝ යහපත් වන්නී වෙයි" යනුවෙන් පැරණි පත පොතේ සඳහන් වෙයි. ස්ත්‍රිය සයනයේදී වෛශ්‍යාවක් මෙන් කටයුතු කිරීමට නම් ඊට සරිලන කාම ශක්තියෙන් යුතු පුරුෂයෙක්ද සිටිය යුතුය. දෙදෙනාගේ කාම ශක්තියේ තරම හරි හැටියට අවබෝධ කර නොගෙන බැසගත් විවාහය තුළ කලකිරීම් ඇතිවේ. කාම ශක්තියේ අසමතුලිත බව දෙදෙනාගෙන් අයෙක් අනියම් සම්බන්ධතාවල පැටලීමටද හේතු විය හැක. ගැහැණියගේ කාම ශක්තියේ තරම කොපමණද, පිරිමියාගේ කාම ශක්තියේ තරම කොපමණද යන්න පමණක් නොව ඔවුන්ගේ ලිංගික අවයවවල හැඩරුව, දිග පළල පවා ජන්ම පත්‍ර තුලින් පැහැදිලිව දැක ගත හැකිය. කොතෙක් ගැටළු පැවතුණද ලිංගික බැඳීමේ ශක්තිය මත ඉදිරියට ගමන් කරන යුග ජීවිත ද තිබේ.


    බොහෝ දෙනා අපේක්ෂා කරන්නේ ආත්ම ගරුත්වයෙන් යුතු ජීවිතයකි. උපහාසයට හා අපහාසයට ලක් වීම ප්‍රිය කරන අයෙක් වේ නම් ඒ යහපත් මානසිකත්වයකින් යුතු අයෙක් විය නොහැක. ආත්ම ගරුත්වයෙන් යුතු ජීවිතයක් අපේක්ෂා කරන පුරුෂයා තම ජීවිතයට එක් කරගන්නා ගැහැණියගේ හැදියාව ගැන සැළකිලිමත් විය යුතුය. එවන් යහපත් දිවියක් ගත කරන ගැහැණියද තම ජීවිතයට එක් කරගන්නා පුරුෂයාගේ චරිතය ගැන සැළකිලිමත් විය යුතුය. තම ජීවිතයට එක්‌ කරගන්නා පුද්ගලයා හේතුවෙන් පවුලම විනාශ වී යාමට වූවද බැරි කමක් නැත. නිතර උසාවි, පොලීසි වැනි ස්ථාන වෙත යමින්, ණය වෙමින් කටුක ජීවිත ගත කරන බිරින්දෑවරු අපමණ සිටිති. එවන් පාපී පියවරු හේතුවෙන් පාසලට පවා යා ගත නොහැකිව අසරණ වන දරුවන්ද අපමණ සිටිති. ඇතැමුන් යහපත් ජීවිත ගත කරමින් සිට නොමනා තත්වයට පත් වන අතර දුසිරිතයෙන් සුචරිතයට පැමිණෙන පුද්ගලයින්ද නැතුවා නොවේ. පුද්ගලයා ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන අයෙක්ද, ආලෝකයෙන් අඳුරට ගමන් කරන අයෙක්ද, අඳුරින් ආලෝකයට ගමන් කරන අයෙක්ද, අඳුරින් අඳුරට ගමන් කරන අයෙක්ද යන්න සොයා බැලීම ජන්ම පත්‍රය පරීක්ෂා කරන ජ්‍යොතිෂවේදියා සතු වගකීමකි.


     දරාගැනීමේ හා ඉවසීමේ හැකියාව මත ගැහැණියගේ සියලු නොමනාකම් ඉවසමින් ඇය හා එක්ව ගමන්කරන පිරිමි මෙන්ම පුරුෂයාගේ සියලු නොමනාකම් ඉවසමින් දරාගැනීමේ ශක්තිය ඇතුව අත නොහැර ගමන් කරන ගැහැණුද වෙති. ඉවසීම, දරාගැනීමේ හා ඔරොත්තු දීමේ ශක්තිය, දැඩි කටුක තත්වයන් හමුවේ වූවද අත් නොහරින ගතිය ගැහැණියගේ හෝ පුරුෂයාගේ ජන්ම පත්‍රය තුළ සටහන්ව තිබිය හැක.


   ගැහැණු පිරිමි නොගැළපේ. ඔවුන් කිසිදා ගැළපිය නොහැක. කළ හැකි වන්නේ මෙම ගැහැණිය මෙම පුරුෂයාට සුදුසුද, මෙම පුරුෂයා මෙම ගැහැණියට සුදුසුද යන්න සොයා බැලීම පමණි. පිරිමින් සහ ගැහැණුන් තම වෙනස්කම් පිළිගනිමින් ඊට ගෞරවයෙන් යුතු වන විට ආදරයේ මල් පිපීමට අවස්ථාව උදා වේ.


                           ජ්‍යොතිෂවේදී සංජීව කුළුපන බණ්ඩාර