2017 වසර ඔබට කොහොමද?


මේෂ ලග්නය.

සැනසිලිදායක වසරක්.
ධනය: ආර්ථිකයේ සුබදායක වෙනසක් ඇතිවෙනවා.ලැබීම් සම්බන්ධයෙන් නව වසර සුබදායකයි. නව ආයෝජන කෙරෙහි යොමුවීමට සුබදායක වසරක්.
රැකිරක්ෂා : පැවති අතෘප්තිමත් ගති,එපාවීම් සියල්ල ජනවාරි 27 වෙනිදා පටන් දුරුවෙනවා. ජනවාරි 27 වෙනිදා පටන් අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය තුළ රැකියා කටයුතුවල කැපී පෙනෙන සාර්ථකත්වයක් ඇතිවෙනවා. අගෝස්තු 18 වෙනිදා පටන් රැකියා කටයුතු සම්බන්ධයෙන් තරමක ගැටළු මතුවෙනවා. විදේශ රැකියා සඳහා යොමුවීමට සැප්තැම්බර් 12 වෙනිදායින් පසු කාලය සුබදායකයි.
ගෘහ ජීවිතය: ජනවාරි 27 වෙනිදා පටන් හිතට ගැළපෙන වටපිටාවක් සැකසෙනවා.මානසික සහනය ඇතිවෙනවා.ගෘහ ජීවිතය තුළ පැවති නොසතුටුකම්,මානසික අසහනකාරී තත්වයන් දුරුවෙනවා.බලාපොරොත්තු බොහොමයක් ඉටුකරගැනීමට හැකිවෙනවා.කෙසේ වෙතත් අගෝස්තු 18 වෙනිදා පටන් තරමක ගැටළු කරදර ඇතිවීමට ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය: අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමියන්ට නව වසර සුබදායකයි. තම ඉලක්ක සපුරාගැනීමට හැකිවෙනවා.
සෞක්‍යය : අසනීප පීඩා පැවතුනා නම් ජනවාරි 27 වෙනිදා පටන් සුව අතට හැරෙනවා.ජනවාරි 27 වෙනිදා පටන් ඉදිරි කාලය ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සුබදායකයි.

වෘෂභ ලග්නය.

ශරීර සෞක්‍යයට බලපෑම්.
ධනය: ජනවාරි 27 වෙනිදා පටන් සෙනසුරු ගේ අෂ්ටම ඒරාෂ්ඨකය ගතවන බැවින් එතැන් පටන් ආර්ථිකය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි.ධන හානි,නිෂ්පල වියදම්,අධික වියදම්වලට ඉඩ තිබෙනවා.නව වසර ණය ගණුදෙනුවලට සුබදායක නෑ.
රැකි රක්ෂා: අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය රැකියා කටයුතු සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. මෙම කාලය තුළ රැකියාවේ සුබදායක වෙනසක් බලාපොරොත්තුවීමට අපහසුයි. අගෝස්තු 18 වෙනිදා පටන් රැකියාවේ විශේෂ දියුණුවක් ඇතිවෙනවා. උසස්වීම්,තනතුරු හිමි වෙනවා.අලුත් ව්‍යාපාර ඇරඹීමට අගෝස්තු 18 වෙනිදායින් පසු කාලය සුබදායකයි.
ගෘහ ජීවිතය : ගෘහ ජීවිතය සම්බන්ධයෙන් නව වසර තුළ විශේෂ සුබ පල බලාපොරොත්තු විය නොහැකියි. ජනවාරි 27 වෙනිදා පටන් ඉදිරියට පවතින සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ඨකය හේතුවෙන් මානසික සහනය බොහෝ දුරට අඩුවෙනවා.කරන කියන කටයුතුවලින් බලාපොරොත්තුවන තරමේ ප්‍රතිපල නොලැබී යා හැකියි.බලාපොරොත්තු ඉටුවීම ප්‍රමාදවන අතර අනපේක්ෂිත බාධක අවහිරද එල්ලවනවා.කෙසේ වෙතත් අගෝස්තු 18 වෙනිදා පටන් ඉදිරි කාලය බොහෝ දුරට සුබදායකයි. අගෝස්තු 18 වෙනිදායින් පසුව ස්ථාන වෙනසකට ඉඩ තිබෙනවා.විවාහ කටයුතුවලට බාධක එල්ලවෙමින් තිබුණා නම් එම බාධක අගෝස්තු 18 න් පසුව දුරුවෙනවා.
අධ්‍යාපනය: අධ්‍යාපන කටයුතුවල නියැලෙන වෘෂභ ලග්න හිමියන්ට නව වසර ඉතා සුබදායකයි. තරඟ විභාග ආදියෙන් ජය අත්කරගැනීමට හැකිවෙනවා.

සෞක්‍යය: ජනවාරි 27 වෙනිදා පටන් ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. වැටීම්,අනතුරු,අස්ථි බිඳීම්වලට ඉඩ තිබෙනවා.කල් අල්ලන හෝ නිශ්චය කරගැනීමට අපහසු අසනීප පීඩා මතුවිය හැකියි.

මිථුන ලග්නය.

සමපලදායක වසරක්.
ධනය: ජනවාරි 27 වෙනිදා පටන් අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය ආර්ථිකය සම්බන්ධයෙන් සුබදායකයි.ලැබීම් වර්ධනය වනවා.යහපත් ආර්ථිකයක් පවත්වාගන්න ලැබෙනවා.අගෝස්තු 18 වෙනිදා පටන් වියදම් වැඩිවෙනවා.
රැකිරක්ෂා : ජනවාරි 27 පටන් රැකියා කටයුතුවල ප්‍රගතියක් ඇතිවෙනවා.ප්‍රචාරණ,ලිපිලේඛණ,ජනමාධ්‍ය,මුද්‍රණ,දුරකථන ආදී ක්ෂේත්‍ර තුළ නියැලෙන අයට වසර ඉතාමත් වාසිදායකයි.අගෝස්තු 18 තෙක් කාලය ව්‍යාපාර ඇරඹීමට සුබදායකයි. සැප්තැම්බර් 12 වෙනිදා පටන් රැකියා කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවෙනවා.
ගෘහ ජීවිතය : ජනවාරි 27 වෙනිදා සෙනසුරු විවාහස්ථානයට පැමිණීම යුග ජීවිත ගතකරන මිථුන ලග්න හිමියන්ට එතරම් සුබදායක නෑ. බුද්ධිමත්ව,දුරදිග බලා කටයුතු කළ යුතුයි. ගෘහ ජීවිතයේ සැනසිලිදායක තත්වය අඩුවී යාමට ඉඩ තිබෙනවා.කෙසේ වෙතත් සැප්තැම්බර් 12 වෙනිදා ගුරු පස් වෙනි භාවයට ගමන් කිරීමත් සමග යම් සැනසිලිදායක වාතාවරණයක් ඇතිවෙනවා.සැප්තැම්බර් 12 වෙනිදා පටන් ඉදිරි කාලය අලුත් වැඩකටයුතුවලට අත ගැසීමට, විශේෂ හා වැදගත් තීන්දු තීරණවලට එළඹීමට සුබදායකයි. එතෙක් කාලය තුළ විරුද්ධ ලිංගිකයින් සමග කටයුතු කිරීමේදී සැළකිලිමත් විය යුතුයි.නොසුදුසු සම්බන්ධතා ඇතිවීමටත්,ඒ හේතුවෙන් නොයෙක් ගැටළු කරදර මතුවීමටත් ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය: අධ්‍යාපන කටයතු සම්බන්ධයෙන් නව වසර සුබදායකයි. සැප්තැම්බර් 12 වෙනිදා විද්‍යාකාරක ගුරු ශිල්ප ස්ථානයට පැමිණීම ඉතාමත් සුබදායකයි.

සෞක්‍යය: ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. ලේ විෂවීමෙන් ඇතිවන අසනීප, සන්ධි ආශ්‍රිත වේදනා, මුත්‍රා අබාධ ආදී අසනීප පීඩාවන්ට ඉඩ තිබෙනවා.

කටක ලග්නය.

යහපත් වසරක්.
ධනය: අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය ආර්ථිකය සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. ධන හානි,නිෂ්පල වියදම්,අධික වියදම්වලට ඉඩ තිබෙනවා.ආර්ථිකය ප්‍රවේශමෙන් කළමනාකරණය කරගත යුතුයි. අගෝස්තු 18 වෙනිදා පටන් ආර්ථිකයේ විශේෂ දියුණුවක් ඇතිවෙනවා.
රැකිරක්ෂා: ජනවාරි 27 වෙනිදා පටන් අගෝස්තු 18 වෙනිදා තෙක් රැකියා කටයුතුවල ප්‍රගතියක් ඇතිවෙනවා. රැකියා කටයුතු, ව්‍යාපාර සම්බන්ධයෙන් පැවති අතෘප්තිමත් ගති, අසාර්ථකතා දුරුවී යනවා.හිතට ගැළපෙන සාර්ථකත්වයක් ඇතිවෙනවා. අගෝස්තු 18 වෙනිදා පටන් තරමක ගැටළු මතුවෙනවා. ව්‍යාපාරවලට අත ගැසීමට,නව රැකියා කෙරෙහි යොමුවීමට ජනවාරී 27 පටන් අගෝස්තු 18 තෙක් කාලය සුබදායකයි.
ගෘහ ජීවිතය: ජනවාරි 27 පටන් අගෝස්තු 18 තෙක් කාලය ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සුබදායකයි. පැවති අසහනකාරී තත්වයන් සමනය වෙනවා.අලුත් වැඩකටයුතුවලට අත ගැසීමට මෙම කාලසීමාව සුබදායකයි. ප්‍රේම සම්බන්ධතා කෙරෙහි බාධක අවහිර එල්ලවෙමින් තිබුණා නම් එම බාධක අවහිර දුරු වෙනවා.විවාහ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට සුබදායක කාලයක්.අගෝස්තු 18 වෙනිදා පටන් මානසික සහනය තරමක් අඩුවෙනවා. ඉක්මන්,නොසුදුසු තීන්දු තීරණ හේතුවෙන් ගැටළු කරදර මතුවෙන්න පුළුවන්.ස්ථාන වෙනස් වීමකට ඉඩ තිබෙනවා.ආවේගශීලී ගති ලක්ෂණ ඇතිවෙනවා.
අධ්‍යාපනය:ජනවාරි 27 වෙනිදා පටන් අධ්‍යාපන කටයුතු කෙරෙහි ඇල්ම උනන්දුව වර්ධනය වෙනවා. ජනවාරී 27 - අගෝස්තු 18 අතර කාලය අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඉතා සුබදායකයි.
සෞක්‍යය: ජනවාරි 27 වෙනිදා පටන් උදරාශ්‍රිත අසනීප පීඩා වරින් වර මතුවිය හැකියි. අගෝස්තු 18 පටන් ස්නායු සම්බන්ධ අසනීප, හිස සම්බන්ධ අසනීප ආදියට ඉඩ තිබෙනවා.

සිංහ ලග්නය.

සහනය සැලසෙන වසරක්.
ධනය: ආර්ථිකය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි.අගෝස්තු 18 වෙනිදා පටන් වියදම් වැඩිවීමට ඉඩ තිබෙනවා.එතැන් පටන් ඉදිරි කාලය තුළ  ගණුදෙනු වලදී ප්‍රවේශම් විය යුතුයි.අවදානම් සහිත ආයෝජන වලින්ද වැළකිය යුතුයි.
රැකිරක්ෂා: අගෝස්තු 18 තෙක් කාලය තුළ රැකියා කටයුතු සම්බන්ධයෙන් එතරම් සුබදායක වාතාවරණයක් නෑ. නිතර දෙවේලේ රැකියා කටයුතු සම්බන්ධයෙන් අතෘප්තිමත් ගති, එපවීම් ඇතිවෙනවා.මෙම කාලය රැකියා වෙනස් කිරීම්වලට සුබදායක නෑ. අලුත් ව්‍යාපාරවලට අත ගැසීමටද අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය සුබ නෑ. අගෝස්තු 18 වෙනිදා පටන් රැකියා,ව්‍යාපාර සම්බන්ධයෙන් සුබදායක වාතාවරණයක් සැකසෙනවා. විදේශ රැකියා සඳහා යොමුවීමටද අගෝස්තු 18 වෙනිදායින් පසු කාලය ඉතා සුබයි.
ගෘහ ජීවිතය: ජනවාරි 27 වෙනිදා පටන් ගෘහ ජීවිතය තුළ සැනසිලිදායක වාතාවරණයක් ඇතිවෙනවා. අසමගිකම්,නොරුස්සන ගති පැවතුණා නම් ඒවා බොහෝ දුරට දුරුවී යනවා. ගේදොර සැදීමේ කටයුතු අතරමග අඩාලවී පැවතුණා නම් එම වැඩකටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවෙනවා. කෙසේ වෙතත් අගෝස්තු 18 වෙනිදා තෙක් රාහු ලග්න භාවයේ කල්ගෙවන බැවින් තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී විය යුතුයි. අඥාන තීරණ හේතුවෙන් අවුල් ඇතිවීමට ඉඩ තිබෙනවා. අගෝස්තු 18 පටන් ඉදිරි කාලය ඉතාමත් සුබදායකයි. විවාහ කටයුතුවලට බාධක එල්ලවෙමින් තිබුණා නම් එම බාධක දුරුවී විවාහ කටයුතු සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළඹීමට හැකිවෙනවා. මානසික ඒකාග්‍රතාවය ඇතිවෙනවා.
අධ්‍යාපනය: අධ්‍යාපන කටයුතු  සම්බන්ධයෙන් නව වසර සුබදායකයි. අගෝස්තු 18 වෙනිදා පටන් වඩාත් සුබදායකයි.

සෞක්‍යය: උෂ්ණ අසනීප, උදරාශ්‍රිත වේදනා,ලේ විෂ වීමෙන් ඇතිවන පීඩා ආදියට ඉඩ තිබෙනවා.

කන්‍යා ලග්නය.

සමපලදායක වසරක්.
ධනය: අගෝස්තු 18 තෙක් කාලය ආර්ථිකය සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. වැය පක්ෂය ඉහළ යනවා.නිෂ්පල වියදම්වලට හා ධන හානිවලට ඉඩ තිබෙනවා.මෙම කාලසීමාව ලාභ බලාපොරොත්තුවෙන් මුදල් යෙදවීමට සුබදායක නෑ. අගෝස්තු 18 පටන් ආර්ථිකයේ දියුණුවක් ඇතිවෙනවා.යහපත් ආර්ථිකයක් පවත්වාගන්න ලැබෙනවා.
රැකිරක්ෂා: සැප්තැම්බර් 12 වෙනිදා තෙක් කාලය තුළ රැකියා කටයුතු සම්බන්ධයෙන් විශේෂ සුබ පල බලාපොරොත්තු වීමට අපහසුයි.මෙම කාලය තුළ ඉවසිලිමත්ව, ඉක්මන් තීරණවලින් වැළකී රැකියා කටයුතුවල නියැලිය යුතුයි. සැප්තැම්බර් 12 වෙනිදා පටන් රැකියා කටයුතුවල විශේෂ ප්‍රගතියක් ඇතිවෙනවා.නව රැකියා කෙරෙහි යොමුවීමටද මෙම කාලසීමාව සුබදායකයි. විදේශ රැකියා සඳහා යොමුවීමට අගෝස්තු 18 තෙක් කාලය සුබදායකයි.
ගෘහ ජීවිතය: ජනවාරි 27 පටන් සෙනසුරු ගෘහ ස්ථානයේ කල්ගෙවීම ගෘහ ජීවිතය සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. ගෘහ ජීවිතයේ සතුට,සැනසීම වරින් වර අඩුවෙනවා.ඥාතීන් සමග විරසකතා ඇතිවීමටද ඉඩ තිබෙනවා.ගේදොර,දේපළ සම්බන්ධයෙන්ද ගැටළු මතුවිය හැකියි.ගේදොර ඉදිකිරීම් කටයුතුවලට නව වසර සුබදායකයි.විවාහ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණවලට එළඹීමට සැප්තැම්බර් 12වෙනිදායින් පසු කාලය සුබදායකයි.සැප්තැම්බර් 12 වෙනිදායින් පසුව මානසික සහනය ඇතිවෙනවා.බාධක අවහිර දුරුවෙනවා.
අධ්‍යාපනය : අධ්‍යාපන කටයුතුවලට නව වසර සුබදායකයි.අගෝස්තු 18 වෙනිදා පටන් අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් ඇතිවෙනවා.තරංග විභාග අදින් ඉහළ ජයග්‍රහණ හිමිකරගැනීමට හැකිවෙනවා.

සෞක්‍යය: සෙම් අසනීප,උදරාශ්‍රිත පීඩා, සන්ධි ආශ්‍රිත වේදනා ආදී අසනීප පීඩාවන් වරින් වර මතුවිය හැකියි.

තුලා ලග්නය.

ආර්ථිකයේ දියුණුවක්.
ධනය: ජනවාරි 27 වෙනිදා සෙනසුරු ධනස්ථානයෙන් ඉවත්වීමත් සමග වසර ගණනක් පුරා පැවති ලග්න ඒරාෂ්ඨකය නිමවෙනවා. මේ අනුව ජනවාරි 27 වෙනිදා පටන් ආර්ථිකයේ දියුණුවක් ඇතිවෙනවා. අලුත් ව්‍යාපාරවලට අතගැසීමට නව වසර සුබදායකයි.යහපත් ආර්ථිකයක් ගොඩනගාගැනීමට හැකිවෙනවා.
රැකිරක්ෂා: ජනවාරි 27 වෙනිදා පටන් අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය රැකියා කටයුතු සම්බන්ධයෙන් සුබදායකයි. බලාපොරොත්තුවෙන් සිටි උසස්වීම්,නව තනතුරු ආදිය මෙම කාලය තුළ ලැබීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.සැප්තැම්බර් 12 වෙනිදා තෙක් කාලය විදේශ රැකියා සඳහා යොමුවීමට සුබදායකයි.
ගෘහ ජීවිතය : අගෝස්තු 18 තෙක් කාලය ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සුබදායකයි. ජනවාරි 27 වෙනිදා සෙනසුරුගේ ඒරාෂ්ඨක අපලය නිමවීමෙන් පසු විශේෂ මානසික සහනයක් ඇතිවෙනවා.අඩාලවී පැවති බොහෝ වැඩකටයතු සාර්ථක කරගැනීමට හැකිවෙනවා.විවාහ කටයුතුවලට බාධක එල්ලවෙමින් තිබුණා නම් එම බාධක තුරන්වෙනවා. අගෝස්තු 18 වෙනිදා කේතු ගෘහස්ථානයට ගමන්කිරීම එතරම් සුබදායක නෑ. ගෘහ ජීවිතයේ සතුට,සැනසීම තරමක් අඩුවී යාහැකියි.ඥාතීන් සමග විරසකතා ඇතිවීමට ඉඩ තිබෙනවා.ගේදොර.දේපළ සම්බන්ධයෙන් ගැටළු මතුවීමටද ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය : අගෝස්තු 18 තෙක් කාලය අධ්‍යාපනය සම්බන්ධයෙන් වඩාත් සුබදායකයි. පොදුවේ ගත්කළ නව වසර තුළ අධ්‍යාපන කටයතු සම්බන්ධයෙන් යහපත් වාතාවරණයක් පවතිනවා.

සෞක්‍යය: ජනවාරි 27 වෙනිදා ඒරාෂ්ඨක අපල නිමවීමත් සමග යහපත් සෞක්‍යය තත්වයක් ඇතිවෙනවා.අසනීප පීඩා පැවතුණා නම් ඒවායින් සුවය ලැබෙනවා.

වෘශ්චික ලග්නය.

ආර්ථිකයට බලපෑම්.
ධනය: ජනවාරි 27 වෙනිදා සෙනසුරු ධනස්ථානයට ගමන්කිරීම ආර්ථිකය සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. ආර්ථිකය ප්‍රවේශමෙන් කළමනාකරණය කරගැනීම වැදගත් වෙනවා.අධික වියදම්, නිෂ්පල වියදම්, ධන හානිවලට ඉඩ තිබෙනවා.අවදානම් සහිත ආයෝජන වලින් වැළකිය යුතුයි.
රැකිරක්ෂා: සෙනසුරු ලග්නභාවයෙන් දෙවැන්නට පැමිණීම තරමක සහනයක් වූවත් අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය තුළ රැකියා කටයුතු සම්බන්ධයෙන් විශේෂ ප්‍රගතියක් අපේක්ෂාකිරීමට අපහසුයි.වරින් වර රැකියා කටයුතු සම්බන්ධයෙන් අතෘප්තිමත් ගති, එපවීම් ඇතිවෙනවා.අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉක්මන් තීන්දු,තීරණවලට එළඹීමට සුබදායක නෑ.අගෝස්තු 18 වෙනිදා පටන් රැකියා කටයුතුවල විශේෂ ප්‍රගතියක් ඇතිවෙනවා.
ගෘහ ජීවිතය:සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකයේ බලපෑම තරමක් අඩුවන නමුත් අගෝස්තු 18 වෙනිදා තෙක් කේතු ගෘහස්ථානයේ රැඳී සිටින බැවින් එතෙක් කාලය තුළ විශේෂ සුබ පල අපේක්ෂාකිරීමට අපහසුයි. කෙසේ වෙතත් ජනවාරි 27 වෙනිදා සෙනසුරු මාරුවීමත් සමග දැනට වඩා යම් තරමක සහනශීලී තත්වයක් ඇතිවෙනවා.අගෝස්තු 18 වෙනිදා පටන් විශේෂ සුබ පල ලැබෙනවා.නැවතී තිබුණු වැඩකටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවෙනවා. ඥාති සම්බන්ධතා අලුත් වෙනවා.ගෙදරදොරේ දියුණුවක් කලඑළියක් ඇතිවෙනවා.අගෝස්තු 18 වෙනිදායින් පසු කාලය ගේදොර සැදීමේ කටයුතුවලට ඉතා සුබදායකයි.
අධ්‍යාපනය:අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වසර පුරාම සුබදායක වාතාවරණයක් පවතිනවා.

සෞක්‍යය:සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය වසර පුරාම බලපැවැත්වෙන බැවින් ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. වැටීම්,අනතරු,අස්ථි බිඳීම්වලට ඉඩ තිබෙනවා. සුළු අසනීපයක් වැළඳුනද නිශ්චය කරගැනීමට අපහසු වීමට හෝ ලබාගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබී යා හැකියි.

ධනු ලග්නය.

මානසික පීඩා ගෙනදෙන වසරක්.
ධනය: සෙනසුරු වැයස්ථානයෙන් ඉවත්වීම ආර්ථිකය සම්බන්ධයෙන් සුබදායකයි.ජනවාරි 27 වෙනිදා පටන් අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය තුළ ආර්ථිකයේ දියුණුවක් ඇතිවෙනවා. නව ආයෝජන කෙරෙහි යොමුවීමට මෙම කාලය සුබදායකයි. අගෝස්තු 18 වෙනිදා කේතු ධනස්ථානයට ගමන්කිරීම ආර්ථිකය සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. අනපේක්ෂිත වියදම් වැඩිවෙනවා.
රැකිරක්ෂා: ජනවාරි 27 වෙනිදා සෙනසුරු ල්ග්න භාවයට පැමිණීම හේතුවෙන් රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුට තෘප්තිය අඩුවී යා හැකියි. රැකියා කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී ප්‍රවෙශම්වීම වැදගත් වෙනවා. නීති,මුල්‍ය,ගුරු,පරිපාලන ආදී ක්ෂේත්‍ර තුළ නියැලෙන ධනු ලග්න හිමියන්ට නව වසර බොහෝ දුරට සුබදායකයි.නව රැකියා කෙරෙහි යොමුවීමට බලාපොරොත්තුවන ධනු ලග්න හිමියන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
ගෘහ ජීවිතය: සෙනසුරුගේ ඒරාෂ්ඨකය හේතුවෙන් වරින් වර මානසික සහනය අඩුවෙනවා.කනස්සලු ගති,කළකිරීම් ඇතිවිය හැකියි.යුග ජීවිත ගතකරන ධනු ලග්න හිමියන් ඉවසිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.කතාකිරීමේදී විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි. ඉක්මන් තීන්දු තීරණ හේතුවෙන් ගැටළු කරදර මතුවීමට ඉඩ තිබෙනවා.ගේදොර සැදීමේ කටයුතුවලට නව වසර සුබදායකයි.
අධ්‍යාපනය : මානසික ඒකාග්‍රතාවය නිසි ලෙස පවත්වාගත යුතුයි. මානසික නොසන්සුන්තාවය හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට බාධක එල්ලවිය හැකියි.

සෞක්‍යය: ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. වසර පුරා ඒරාෂ්ඨක අපල පවතින බැවින් ශරීර සෞක්‍යයට බලපෑම් එල්ලවිය හැකියි. වැටීම්,අනතුරු,අස්ථි බිඳීම් වලට ඉඩ තිබෙනවා.දණිස්,සන්ධි,දෙපා,තුනටිය ආශ්‍රිත වේදනා පීඩා ද මතුවිය හැකියි.

මකර ලග්නය.

ආර්ථිකයට සෙනසුරුගෙන් බලපෑම්.
ධනය: ජනවාරි 27 වෙනිදා සෙනසුරු වැයස්ථානයට ගමන්කිරීම ආර්ථිකය සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. වැය පක්ෂය ඉහළ යනවා. ධන හානි, නිෂ්පල වියදම් වලට ඉඩ තිබෙනවා.ණයට දුන්නොත් ආපසු නොලැබී යා හැකියි. අවදානම් සහිත ආයෝජන වලින් වැළකිය යුතුයි. 
රැකිරක්ෂා: අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය රැකියා කටයුතු සම්බන්ධයෙන් සුබදායකයි. රැකියා කටයුතු කෙරෙහි සැළකියයුතු තරමේ බාධාවක් අවහිරයක් එල්ල වන්නේ නෑ. අගෝස්තු 18 වෙනිදා පටන් රැකියා කටයුතු සම්බන්ධයෙන් තරමක ගැටළු කරදර මතුවිය හැකියි. විශේෂයෙන් වරින්වර උදාසීන ගති ඇතිවෙනවා.උද්යෝගය,උනන්දුව අඩුවෙනවා.අන්‍යයන්ට පැහැදිලිව නොපෙනෙන ආකාරයේ ව්‍යාපාර කටයුතුවල නියැලෙන මකර ලග්න හිමියන්ට නව වසර සුබදායකයි.
ගෘහ ජීවිතය: අන්‍යයන් සමග කටයුතු කිරීමේදී හා ගණුදෙනු කිරීමේදී කල්පනාකාරී විය යුතුයි. නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙනවා. ගේදොර, දේපළ සම්බන්ධයෙන් ගැටළු පැටලිලි පවතිනවා නම් ඒවා දුරදිග යා නොදී ඉවසිලිමත්ව බේරුම් කරගැනීම සුබදායක වෙනවා. අන්‍යයන්ට උදව් පදව් කිරීමට යාමේදීද සැළකිලිමත් විය යුතුයි. වඳින්නට යන දේවාල හිස මත කඩාවැටීමට ඉඩ තිබෙන වසරක් බව මතකයේ තබා ගත යුතුයි. අගෝස්තු 18 වෙනිදා කේතු ලග්න භාවයට පැමිණීමෙන් පසු වඩාත් සැළකිලිමත් විය යුතුයි.අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය විවාහ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට සුබදායකයි.අගෝස්තු 18 වෙනිදා පටන් විවාහ කටයුතුවලට බාධක අවහිර එල්ලවෙනවා.විවාහක මකර ලග්න හිමියන් නොසුදුසු සම්බන්ධතාවල පැටලීමටද ඉඩ තිබෙනවා.නව වසර තුළ අධ්‍යාත්මික කටයුතුවලින් විශේෂ පිහිටක් අත්වෙනවා.
අධ්‍යාපනය: අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නව වසර බොහෝදුරට සුබදායකයි. ගණිත,විද්‍යා අංශ වලින් උසස් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ට විශේෂයෙන් සුබදායකයි.
සෞක්‍යය: ජනවාරි 27 වෙනිදා පටන් සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ක්‍රියාත්මකවන බැවින් ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි.වැටීම්,අනතුරු,අස්ථි බිඳීම් වලට ඉඩ තිබෙනවා.නිශ්චය කරගැනීමට අපහසු ආකාරයේ අසනීප පීඩාවන්ද මතුවිය හැකියි.

කුම්භ ලග්නය.

අවහිර බාධා ඉවත්ව යන වසරක්.
ධනය: අගෝස්තු 18 තෙක් කාලය ආර්ථිකය සම්බන්ධයෙන් සුබදායකයි.යහපත් ආර්ථිකයක් පවත්වාගන්න ලැබෙනවා.මෙම කාලය නව ආයෝජන කෙරෙහි යොමුවීමට සුබදායකයි.අගෝස්තු 18 වෙනිදා පටන් ආර්ථිකය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි.අනපේක්ෂිත වියදම්, ධන හානි, නිෂ්පල වියදම් වලට ඉඩ තිබෙනවා.අගෝස්තු 18 වෙනිදායින් පසු කාලය තුළ ණය ගණුදෙනුවලට ඉතා අසුබයි.
රැකිරක්ෂා: ජනවාරි 27 වෙනිදා සෙනසුරු කර්මස්ථානයෙන් ඉවත්වීම රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉතාමත් සුබදායකයි. රැකියා කටයුතු සම්බන්ධයෙන් ගැටළු කරදර තිබුණා නම් ඒවා දුරු වී යනවා.නව රැකියා පිළිබඳව බලපොරොතුවෙන් සිටි කුම්භ ලග්න හිමියන්ට තම පැතුම් ඉටුකරගැනීමට හැකිවෙනවා.අගෝස්තු 18 වෙනිදායින් පසුව සුබ පල වඩාත් වර්ධනය වෙනවා.උසස්වීම්.තනතුරු අපේක්ෂාවෙන් සිටි අයගේ අපේක්ෂාවන් ඉටුවෙනවා.
ගෘහ ජීවිතය : අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය ගෘහ ජීවිතය සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. බලාපොරොත්තුවන සතුට සැනසීම තරමක් අඩුවෙනවා.විවාහ කටයුතුවලට බාධක අවහිර එල්ල වෙනවා. සහකාර පාර්ශවයට තරමක අපල බලපෑම් එල්ල වෙනවා.අගෝස්තු 18 වෙනිදායින් පසුව විශේෂ සුබ පල හිමිවෙනවා. මානසික සහනය,සතුට,ප්‍රබෝධය ඇතිවෙනවා.කරන කියන කටයුතු හිතට ගැළපෙන පරිදි සාර්ථක වෙනවා.විවාහ කටයුතු සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළඹීමට හැකිවෙනවා.හිත මිතුරු සම්බන්ධතා වර්ධනය වෙනවා.දුරස්ව සිටි හිත මිත්‍රාදීන් සමීප වෙනවා.අන්‍යයන්ගෙන් උදව් උපකාර හිමිවෙනවා.
අධ්‍යාපනය: අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නව වසර සුබදායකයි. අගෝස්තු 18 වෙනිදා පටන් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් උද්‍යෝගය, උනන්දුව වඩාත් වර්ධනය වෙනවා.

සෞක්‍යය: අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය තුළ උෂ්ණ අසනීප, මුත්‍රා අබාධ, අම්ලපිත්තය වැනි පීඩාවන්ට ඉඩ තිබෙනවා.


මීන ලග්නය.

රැකියා කටයුතුවලට සෙනසුරුගෙන් බලපෑම්.
ධනය : අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය ආර්ථිකය අතින් බොහෝ දුරට සුබදායකයි. යහපත් ආර්ථිකයක් පවත්වාගන්න ලැබෙනවා.ලැබීම යහපත් තත්වයක පවතිනවා.අගෝස්තු 18 වෙනිදා පටන් ආර්ථිකයට තරමක අසුබ බලපෑම් එල්ල වෙනවා. අය මාර්ගවලට බාධක අවහිර එල්ල වෙනවා.
රැකිරක්ෂා: ජනවාරි 27 වෙනිදා සෙනසුරු කර්මස්ථානයට ගමන්කිරීම රැකියා කටයුතු සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. රැකියා කටයුතුවලට බාධක අවහිර එල්ලවෙනවා. උද්යෝගය උනන්දුව අඩුවෙනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුට තෘප්තිය අඩුවෙනවා.ඉවසිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉක්මන් තීන්දු තීරණ ගැනීමෙන් වැළකිය යුතුයි.
ගෘහ ජීවිතය : ගෘහ ජීවිතය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි.සැලකියයුතු තරමේ ගැටළු කරදර මතුවන තත්වයක් නෑ. සැප්තැම්බර් 12 වෙනිදා පටන් වඩාත් සුබදායකයි. විවාහ කටයුතුවලට බාධක අවහිර එල්ලවෙමින් තිබුණා නම් සැප්තැම්බර් 12 වෙනිදායින් පසුව සුබදායක වටපිටාවක් සැකසෙනවා.විවාහ කටයුතු සම්බන්ධයෙන් ස්ථිර තීන්දු තීරණවලට එළඹීමට හැකිවෙනවා.කෙසේ වෙතත් මිතුරු සම්බන්ධතා තරමක් දුරස් වීමට ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය : අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වඩාත් සුබදායකයි.අගෝස්තු 18 වෙනිදා පටන් භාහිර කටයුතු කෙරෙහි ඇල්ම උනන්දුව වැඩිවීමට ඉඩ තිබෙනවා.
සෞක්‍යය : දණිස්, සන්ධි,දෙපා,තුනටිය ආශ්‍රිත වේදනා පීඩා මතුවිය හැකියි. උදරාශ්‍රිත දැවිලි ගති මතුවිමටද ඉඩ තිබෙනවා.

        ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
   දේශමාන්‍ය සංජීව කුළුපන බණ්ඩාර