Monday, April 12, 2021

 


විවිධ ගැටලු කරදරවලින් පීඩා විඳින අය, නොයෙක් බලාපොරොත්තු ඉටු කරගන්න උත්සාහ දරමින් සිටින අය නිතර දෙවේලෙ කතා කරනවා. මුහුණු පොත ඔස්සේ සම්බන්ධ වන, අදහස් හුවමාරු කරගන්නා අයත් ඉන්නවා. ඔහොම කතා බහ කරන කොට මම ගොඩක් දෙනෙකුට කියන දෙයක් තමයි දවසේ පුංචි වෙලාවක් වෙන් කරගෙන පොඩි භාවනාවක් කරන්න කියන එක. ඔහොම කිව්වම සමහරු අහනවා මොන භාවනාවද කරන්න ඕනැ කියලා. ආනාපානසති භාවනාවද.. විපස්සනා භාවනාවද.. මෛත්රී භාවනාවද.. කරන්න හොඳ කියල අහනවා. භාවනා කරන්න කිව්වම ගොඩක් දෙනෙක් දන්නෙ, ගොඩක් දෙනෙකුට මතක් වෙන්නෙ මේ භාවනා විධි විතරයි.

බලන්න පාරෙ යන වාහන දිහා. සමහරු බොහොම සුඛෝපභෝගී වටිනා වාහන පදවගෙන යනවා. රියැදුරු අසුනෙ පිළිවෙලට ඉඳගෙන, ඉදිරිය බලාගෙන, බොහොම සංයමයෙන් වාහනය පදවාගෙන යනවා. හරියට භාවනාවක් වගේ. අපේ සමහර ත්රීවීල් සහෝදරවරු, ලොරි ටිපර් පදවන සමහර සහෝදරවරු එහෙම නෑ. ගෑණු ළමයෙක් දැක්කම හෝන් කරනවා. දිව දික්කරනවා. ගෑණු ළමයා අතුරු පාරකින් යනවා නම් ඒ දිහා බල බලා හෝන් කර කර වහනය පදවනවා. ඔහොම ගිහින් අමාරුවෙ වැටෙන අවස්ථාත් තියෙනවා. ඔන්න ඔය දෙවර්ගය ගැන අවදානය යොමු කරන්න. තමන්ගෙ අරමුණේ ඉඳගෙන, වටපිට දේවල් වැඩිය ඔලුවට ගන්නෙ නැතුව බොහොම ඒකාත්මිකව වාහනය පදවාගෙන යන බහුතරයක් මොන වගේ අයද... වටපිට දේවල් ගැනම අවදානය යොමු කරගෙන, කිසිම සංයමයක් නැතුව යන අය මොන වගේ, මොන තරාතිරමෙ අයද...සාර්ථකත්වය අතින් මේ දෙගොල්ලො ඉන්නෙ මොන වගේ තැනකද...
කරදරයකින් නිදහස් වෙන්න ඕනැ නම් හිතන්න ඕනැ කරදරය ගැන නෙමෙයි නිදහස ගැනයි. සුවය බලාපොරොත්තු වෙන කෙනා හිතන්න ඕනැ සුවය ගැන මිසක් අසනීපය ගැන නෙමෙයි. බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න තියෙනවා නම් මුළින්ම ඒක සිත තුළ ඉෂ්ට කරගන්න ඕනැ. රජෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා රජෙක් වගේ හිතන්න ඕනැනෙ. මේක භාවනාවක්. තමන්ගෙ අරමුණත් එක්ක ඒකාත්මික වීම භාවනාවක්. ඔනෑම දෙයක් සැබෑ ලෝකය තුළ ඉෂ්ට කරගන්න කලින් සිත තුළ ඉෂ්ට කරගෙන සතුටට පත් වෙන්න ඕනැ. ඒ සතුට භුක්තිවිඳින්න ඕනැ. ඒ සතුටත් එක්ක මොහොතක් හෝ ගතකරන්න ඕනෑ. ඒකට විශේෂ තැනක්, විශේෂ ඉරියව්වක්, විශේෂ ඇඳුමක් ඕනැ නෑ. හැබැයි සන්සුන් මනසක් තියෙන්න ඕනැ. ඕක තමයි මම කරන්න කියන භාවනාව.

සංජීව කුළුපන බණ්ඩාර

ඔබ සැමට කඩවර දෙවියන්ගේ පිහිට ලැබේවා.

 යෝධ කළුගලක් සිත සනසාලන බුදු රුවක් බවට පත් කළ, වසර දහස් ගණනක් පුරා කෙත් වතු අස්වද්දන්නට සුවිසල් කලාවැව නිර්මාණය කළ පින්වත් බරණ නම් වූ විශ්ව කර්මයාටත්, අදටත් අපේ කුස පුරවන පින්බර කලාවැව දිවි හිමියෙන් රැකගත් සෙනෙවිරත්න මුල් කඩවර දෙවි හාමුදුරුවන්ටත් පින් දීමට,

ඔවුන් දස්කම් විස්කම් පෑ භූමියට අපි නැවතත් ගියෙමු.
කලාවැව ගමන වෙනුවෙන් කවදත් අනුග්රහය දක්වන, ආධ්යාත්මික කටයුතුවලට හදවතින්ම දායකත්වය සපයන වෙනුර මහත්මාටත්, ලලිත් සහ රුක්ෂාන් මහත්වරුන්ටත්, මුහුණු පොත ඔස්සේ සම්බන්ධ වන ඔබටත් සෙනෙවිරත්න කඩවර දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.