ප්‍රභාකරන් ගැන පැවසූ අනාවැකිය ( 2009.03.08)

  ( 2009.03.08 වැනි දින " ඉරිදා වාසනා " පුවත්පතේ පලකරන ලද ඓතිහාසික අනාවැකිය )

ප්‍රභාකරන්ට ළඟදීම ගුප්ත මරණයක්.
මැරුවාද... මැරුණාද ...
කියා සොයා ගන්නට ලැබෙන්නේ නෑ.
   
     ක්‍රි.ව 1954 නොවැම්බර් 26 වැනි සිකුරාදා පෙ.ව. 05.30 ට වැල්වැටිතුරේ දී
     අනුර නැකත 04 වැනි පාදය

    මේ,දශක තුනක් පුරා ශ්‍රීලංකාවට ඉමහත් විනාශයක් සිදුකළ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ගේ ජන්ම පත්‍රයයි. ස්වකීය ඊලාම් සිහින රාජ්‍යය නටඹුන් බවට පත්වෙමින් තිබියදී ඔහුගේ ජන්ම පත්‍රය ආශ්‍රයෙන් විග්‍රහයක් ඉදිරිපත් කරන්නේ ඔහුගේ චරිත ලක්ෂණ, ගතිගුණ, ක්‍රියා කලාපයන් ජ්‍යොතිෂයට අනුකූල දැයි ඔබට අවබෝධ කර දීමටයි.
     ප්‍රභාකරන්ගේ වර්තමාන හා අනාගත ග්‍රහ තත්වය කොහොමද යන්න දැනගැනීමට පෙර ඔහුගේ ජන්ම ග්‍රහ තත්වයන්, එම ග්‍රහ තත්වයට අනුව ඔහුගේ ජීවිතය හැඩ ගැසුණු ආකාරයත් විමසා බැලිය යුතුය.
      ප්‍රභාකරන් ඉපදිලා තියෙන්නෙ වෘශ්චික ලග්නයෙන්. රාශි වළල්ලේ අට වැනි රාශිය වූ වෘශ්චික ලග්නයෙන් ඉපදෙන අයට හිමිවිය යුතු ගති ලක්ෂණ ප්‍රභාකරන් සතුව නොඅඩුව තිබෙනවා. පැරණි ජ්‍යොතිෂ පොත පතෙහි සඳහන් ආකාරයට වෘශ්චික ලග්න හිමියන් කඩිසරයි නිර්භීතයි. ඒවගේම උපක්‍රමශීලියි.  ගුප්තයි ධෛර්ය සම්පන්නයි. අවහිරයට පයින් ගසා ඉදිරියට යනවා. නොයෙක් ක්‍රියාවන්හි දක්ෂ බවක් උපතින්ම හිමිවෙනවා.වෘශ්චික ලග්නය "තිර" ලග්නයක් නිසා වෙනස් නොවන ස්ථිර අදහස් මෙන්ම නොනැමෙන ගතියක් හිමි වෙනවා.
     වෘශ්චික ලග්නයෙන් උපන් මොහු මේ තරම් දරුණු, සාහසික, භයානක තත්වයකට පත් වුනේ කොහොමද කියන ප්‍රශ්නය ඔබට ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම වෘශ්චික ලග්න හිමියන්ට මේ ප්‍රශ්නය ඇතිවෙනවා.
  මේ කේන්දරයේ සඳු පළමුවැනි කොටුවෙ නීචයි. නීච සඳුට රවී ග්‍රහයාත් එකතුවෙලා හිතේ දැඩි ගතිය වර්ධනය කරලා තියෙනව. සාහසික ගතිය ඉස්මතු කරන්න රාහු සහ අඟහරුත් දායක වෙලා තියෙනවා. සඳු නවාංශකයේත් නීචයි. සිතට අධිපති සඳු තද බල විදියට දැඩි වෙලා තියෙනව. මේ වගේ අය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් දරුණු ක්‍රියා වල නියැලෙනවා. බොහෝ දෙනෙක් වෙනුවෙන් කටයුතු කරන බව පෙන්නුවත් හිතන්නේ තමන් ගැන විතරයි.
  කෙනෙකුට යම් කිසි ආයතනයක, කණ්ඩායමක හෝ සංවිධානයක ප්‍රධානත්වයට පත්වෙන්න නම් යම් කිසි රාජයෝග බලයක් හිමි වෙන්න ඕනැ. ජ්‍යොතිෂය ගැන යමක් කමක් දන්නා කෙනෙකුට ප්‍රභාකරන් ගේ කේන්දරය දුටු ගමන් ඔහුගේ රාජයෝග බලය කුමක්දැයි තේරුම් ගැනීමට අපහසු වෙන්නේ නෑ. නීච චන්ද්‍රයාත් උච්ච ගුරුත් එකතුවෙලා මෙම යෝග බලය නිර්මාණය කරලා තියෙනව. මේක එක්තරා ආකාරයකට නීච භංග රජ යෝගයක්.
   බුද්ධ මහ දශාවේ අවසාන කාල සීමාවේදී ප්‍රභාකරන් තරුණ කණ්ඩායමකට එකතු වුණා. නමුත් තම සාහසික ගති ලක්ෂණ ඉස්මතුවෙන්න පටන්ගත්තේ 1974.01.17 දින කේතු මහ දශාව ලැබුවායින් පසුවයි. එතැන් පටන් 1981.01.17 තෙක් පැවති කේතු මහ දශා කාලය තුළ විටින් විට සාහසික ක්‍රියාවල නිරත වුණා. 1975 වසරේදී පළමු ප්‍රසිද්ධ මිනිස් ඝාතනය සිදු කළා. කොහොම උනත් කේතු මහ දශා කාලය කාට වුණත් එච්චර හොඳ කාලයක් නෙමෙයි. ඒක ප්‍රභාකරන් ගේ ජීවිතයටත් අදාල වුණා.
   ප්‍රභාකරන් ට සිකුරු ලැබුවේ 1981.01.18 දින යි. තමන්ගේ සංවිධානය හරියට කල එළි බස්සන්න අවශ්‍ය පසුබිම, බලය ලැබෙන්න පටන් ගත්තේ සිකුරු ලැබුවාට පස්සෙයි. සිකුරා ලබල වැඩි කාලයක් ගත වෙන්න පෙර 1984 ඔක්තෝබර් පළමු වැනිදා යුග දිවියට එළඹුණා. සිකුරු මහ දශාව නිමා වුණේ 2001 ජනවාරි 16 වැනිදා යි.
     ප්‍රභාකරන්ගේ ජිවිතයේ ස්වර්ණමය යුගය උදාවන්නේ 2001 වසරේ ජනවාරි 19 වැනිදා රවි මහ දශාව ලබනවත් සමග යි. තමන්ට නිදහසේ කටයුතු කිරීමට සුදුසු පසුබිමක් ඔහුට උදාවන්නේ ඉන් පසුවයි. මාධ්‍ය නාලිකා ඔස්සේ ලොවට පෙනෙන සේ නොයෙක් සාකච්ඡා පවත්වමින් මනා සන්නිවේදන ශක්තියක් ගොඩනගා ගනිමින් සංවිධානය මනා දියුණු තත්වයකට පත් කර ගැනීමට ඔහුට හැකි වුණා. උපදින අවස්ථාවේ ලග්න ගතව සිටි රවි ග්‍රහයා තම දශා කාලය තුළ දී උපරිම සහයෝගය ප්‍රභාකරන් වෙත ලබා දුන්නා.
   ප්‍රභාකරන්ගේ අභාග්‍යසම්පන්න කාලය උදාවන්නේ රවි මහ දශාව අවසන් වීමත් සමගයි. ප්‍රභාකරන්ගේ කේන්දරයේ අසුබතම ග්‍රහයා වන සඳු ග්‍රහයාගේ මහ දශාව 2007.01.20 දින ඇරඹෙනවාත් සමගම ත්‍රස්තවාදයට හා බෙදුම්වාදයට එරෙහි බලවේග එකට එක්වෙන්න පටන්ගත්තා. රජයේ ප්‍රතිප්‍රහාර හමුවේ ප්‍රධාන පෙළේ නායකයන් ඝාතනය වෙන්න පටන්ගත්තා.
     2007.01.20 දින ලබපු සඳු මහ දශාව වර්ෂ 2017.01.16 තෙක් පවතිනවා.මේ සඳු මහ දශාව තුළ ප්‍රභාකරන්ට ජිවිතයෙන් සමු ගන්න වෙනවා.ඒ සඳු දශාවේ අඩක්වත් ගත කිරීමට පෙරයි. හැබැයි ප්‍රභාකරන් මැරුවද මැරුණද මැරුණේ කොහොමද කියල නම් කවදාවත් හෙළි කරගන්න පුළුවන් වෙන එකක් නෑ.කේන්දරයේ අට වන්නේ ඉන්න කේතු ග්‍රහයා ප්‍රභාකරන්ට අත් කරලා දෙන්නේ ගුප්ත රහස් මරණයක්.ප්‍රභාකරන් ගේ මරණය අභිරහසක් වෙනවා.