Friday, October 13, 2023

කය, සූක්ෂම කය සහ නිවන.



 කය, සූක්ෂම කය සහ නිවන.


විශ්වයේ සියලු දේ නිර්මාණය වී ඇත්තේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මූල ධාතු හතරෙන්. මේ මූල ධාතු ආකාශ ධාතුව තුළ ඉතාමත් වේගයෙන් භ්‍රමණය වෙනවා. කෙතරම් වේගයෙන් භ්‍රමණය වෙනවද කියනවා නම් සෑම සියලු දෙයක්ම අඛණ්ඩව පවතින බවක් පෙනෙනවා. ඒත්, අප මෙන්ම අපට පෙනෙන කිසිවක් පෙනෙන ලෙසටම පවතින්නේ නෑ. සියල්ල ඇති වෙමින් නැති වෙමින් පවතිනවා. එනම් මූල ධාතු ඉතාමත් වේගයෙන් චලනය වෙනවා. එය දැකිය හැක්කේ විදර්ශනා වැඩූ අයෙකුට පමණයි. ලොව සියලු දේ මෙන්ම මිනිස් ශරීරයේත්  මේ මූල ධාතු ඉතාමත් වේගයෙන් භ්‍රමණය වෙනවා. අප දකින සෑම සියලු දේකම එහි පෙනෙන මායිමෙන් ඔබ්බෙන් වූ තවත් සියුම් ස්ථරයක් පවතිනවා. එය අපට දර්ශනය වන්නේ නෑ. අපට දැකිය හැකි පරශයක් තියෙනවා. එම පරාශයට හසු නොවන කිසිවක් අපට දැකිය නොහැකියි. සියලු වස්තූන් වටා පිහිටි සියුම් ස්ථරය දැකීමට නම් අපේ දෘෂ්ටි පරාශය වඩාත් සුසර කර ගත යුතුයි. මිනිස් කය වටා පිහිටි මේ සියුම් ස්ථරය බොහෝ විට මනෝ කාය ලෙස හැඳින්වෙනවා. එය සූක්ෂම කය නැතිනම් සියුම් කය ලෙස හැඳින්වීම වඩාත් යුක්ති සහගතයි.  ශරීරය වටා පවතින මෙම සියුම් ස්ථරය තුළ අඩංගු වෙන්නෙත් පෙර පැවසූ මූල ධාතු සතරම යි. ලොව සෙසු සියලු දේ වටා පවතින සියුම් ස්ථරය සෑදී තිබෙන්නෙත් මෙම මූල ධාතුවලින්ම යි. අපගේ පෙනෙන ශරීරය දළ ශරීරය ලෙසත් නොපෙනෙන සියුම් ස්ථරය සූක්ෂම ශරීරය ලෙසත් හඳුන්වනවා. සූක්ෂම ස්ථරය ශරීරයේ පටන් අඟලක පමණ ප්‍රමාණයක් පිටතට විහිදී පවතිනවා.


සත්වයෙක් මව් කුස පිළිසිඳ ගත මොහොතේ පටන් මරණය අත් විඳිනවා. එනම් ඇති වෙමින් නැති වෙමින් පවතිනවා. ලෝක සම්මත මරණය නම් කය අතහැර යාම යි. කය අත හැර යන සත්වයා සූක්ෂම ශරීරය සමඟ ගොස් තවත් ජීවිතයක් ආරම්භ කරනවා. මව් කුසකට වැදී නැවත සැකිල්ලක් නිර්මාණය කරගැනීමට ද නැති නම් තිරිසන් කුසකට වැදීමට ද, ප්‍රේතයෙක් ලෙස සූක්ෂම කය පවත්වා ගැනීමට ද ඉඩ තිබෙනවා. 

භාවනාවෙහි යෙදෙන පුද්ගලයින්ගේ ශරීරය කාන්තිමත් වීමේ රහස නම් ඔවුන්ගේ සූක්ෂම ශරීරය වඩ වඩාත් අවකාශයට විහිදී යාමයි. මමය මාගේය යනුවෙන් මමත්වය තදින් අල්වාගෙන සිටීම (සක්කාය දිට්ටිය) සූක්ෂම ශරීරය පැවතීමට හේතුව බැවින් මමත්වය දුරු කිරීමත් සමඟ සූක්ෂම ශරීරය අවකාශයට වඩාත් විසිරී යන තත්වයක් ඇති වෙනවා. සත්වයා භවයට බැඳ තබන දස සංයෝජන අවබෝධයෙන්  ප්‍රහීන කළ විට සූක්ෂම ශරීරයට තව දුරටත් පැවැත්මක් නෑ. එවිට නැවත ඉපදීමක් නෑ. 

සංජීව කුළුපන බණ්ඩාර.