Sunday, March 12, 2017

දුරදිග නොබලා නම් තැබීම සුබ නෑ.



   " ඩයලොග් " කියන්නේ සන්නිවේදන ක්ෂේත්‍රයේ අති බලවත් වෙළඳ සමාගමක්. ලොව පුරා ව්‍යාප්ත ඩයලොග් නාමය නොඇසූ කෙනෙක් නෑ. මේ වෙළඳ නාමය මේ තරමට බලවත් වුණේ කොහොමද? නාමයක් ප්‍රසිද්ධ වෙන්න මොකක් හරි බලයක් තියෙන්න ඕනැ ද?
   ශබ්ද විද්‍යාව කියන්නේ ඉතාමත් ගැඹුරු ශාස්ත්‍රයක්. සියලු මන්ත්‍ර සකස් කර තිබෙන්නෙත් අක්ෂර විද්‍යාත්මකව යි. පිරිත් සකස් කර තිබෙන්නෙත් ඒ ආකාරයටම යි. ලෝකයේ පවතින සියලු දේ වගේම අක්ෂරත් පංච භූතාත්මක යි. සෙත් කවි, වස් කවි, මන්ත්‍ර, පිරිත් මේ හැම දෙයකම තිබෙන්නේ ශබ්දයේ බලය යි. ශබ්දයේ බලය ඇතිවන්නේ අක්ෂර ගැළපීම අනුව යි. වැරදි අක්ෂර ගැළපීමකින් සිදුවන්නේ බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබීම යි. ශබ්ද විද්‍යාව තුළ ගණ අටක් භාවිතා වෙනවා. ඒ භූමි, දේව, චන්ද්‍ර, ජල, සූර්ය, අග්නි, වායු, ආකාශ යන ගණ අටයි. මෙයින් මුල් ගණ හතර සුබ ගණ ලෙසත් සෙසු ගණ හතර අසුබ ගණ ලෙසත් සැළකෙනවා. එහෙම නම් වායු ගණය කියන්නේ අසුබ ගණයක්. ඩයලොග් වෙළඳ නාමය අයත් වන්නේත් වායු ගණයට යි. අසුබ ගණයකින් යොදපු ඩයලොග් නාමය මෙතරම් ජනප්‍රිය වුණේ කොහොමද?
  ක්‍රියාත්මක ශක්තිය වැඩි කරගැනීම සඳහා සෙත් කවියක අතරමැදට පවා ඇතැම් අවස්ථාවල අසුබ ගණ යොදනවා. වායු ගණයෙන් කෙරෙන්නේ පැතිරවීම යි. කෙනෙක් සිටින තැනින් පලවා හැරීම සඳහා වස් කවියක් රචනා කිරීමේදී වායු ගණය යොදා ගැනෙනවා. එවිට ඉක්මනින්ම ඉවත්ව යනවා.සන්නිවේදන කාර්යයටත් වායු ගණය ගැළපෙනවා.
 වායු ගණය සෑදෙන්නේ මුල ලඝු අක්ෂර දෙකකින් හා අග ගුරු අක්ෂරයකින්. මුල් අක්ෂර දෙක නොඇදී අග අක්ෂරය ඇදෙනවා. ඩයලොග් නාමයේ මුල් අක්ෂරය වන  "ඩ" යන්න අයත් වන්නේ සෙනසුරුට අයත් පුෂ නැකතට යි. වායු ගණයේ අයිතිකාරයත් සෙනසුරු යි. එහෙමනම් ඩයලොග් නාමය පොදු ජනතාව අතර ප්‍රචලිත වීමට මේ කාරණයත් බලපානවා.
 "සලාකා" කියන්නේ ලංකාවේ ජනප්‍රියම නාමයක්. සලාකා සෙන්කඩ ලෙස වෙනස් වීමට පෙර ජනප්‍රියත්වයේ ඉහළම තලයේ වැජඹුණා. සලාකා ව්‍යාපාරය අසල බස් නැවතුම්පොළ හඳුන්වනු ලැබුවෙත් සලාකා නමිනුයි.සලාකා බහිනවා දැයි ඇසීමට ඒ අසලින් ගමන් ගත් බස් රථවල කොන්දොස්තරවරු අමතක කළේ නෑ. සලාකා නාමය ඉතාමත් සුබදායක වෙළඳ නාමයක්. මෙය අයත් වන්නේ ජල ගණයට යි. මුල ලඝු අක්ෂරයකින් හා අග ගුරු අක්ෂර දෙකකින් ජල ගණය සෑදෙනවා. මුල අක්ෂරය නොඇදී අග අක්ෂර දෙක ඇදෙනවා. ටොයෝටා නාමයත් ජල ගණයට උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. ජල ගණයේ විපාකය ලෙස සඳහන් වන්නේ දියුණුව යි. ජල ගණයට අධිපතිත්වය දරන්නේ සිකුරු ග්‍රහයා යි. ව්‍යාපාර නාමයන් සඳහා ඉතාමත් යෝග්‍ය ගණයක් ලෙස ජල ගණය හඳුන්වන්න පුළුවන්.
 ව්‍යාපාර නාමයක් භාවිතා කළ යුතු ගණය වගේම නාමයේ මුල් අක්ෂරයත් ඉතමත් වැදගත් වෙනවා. දිව්‍යක්ෂර, මනුෂ්‍යක්ෂර, අපායක්ෂර යනුවෙන් අක්ෂර තුන් වර්ගයක් දක්වා තිබෙනවා.
දිව්‍යක්ෂර : ඉ,ඔ,ත,ට,ද,ල,ස,ව,ඩ 
මනුෂ්‍යක්ෂර : උ,ප,බ,ග,හ 
අපායක්ෂර : එ,ක,ය,ම,ර,ජ,අ,ණ,ළ, අං 
  අපායක්ෂරයක් මුල් කරගත් නමක් වුවද සුබ ගණයකින් තැබූ විට අක්ෂර දෝෂය දුරු වෙනවා. අක්ෂර දෝෂයත් ගණ දෝෂයත් දෙකම යෙදුණු විට එම නාමයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබී යනවා. ඇතැම් විට නම හේතුවෙන් විනාශකාරී ප්‍රතිඵල ලැබෙන්නට ද ඉඩ තිබෙනවා.අක්ෂරය අපායක්ෂරයක් වූවද එම අක්ෂරය තම උපන් නැකතට සම්පත්, මෛත්‍රී, පරම මෛත්‍රී ආදී සුබ නැකතකට අයත් අක්ෂරයක් නම් එවිට ද අක්ෂර දෝෂය දුරුව යනවා.
  අක්ෂරයේ භූතාත්මක ස්වරූපයද වැදගත් වෙනවා.අස්විද, බෙරණ, කැති, රෙහෙණ,මුවසිරස යන නැකත් පඨවි භූත නැකත් වන අතර එම නැකත් හිමි අක්ෂර පඨවි භූත අක්ෂර ලෙස සැළකෙනවා. 
අද, පුනාවස, පුෂ, අස්ලිස, මා. පුවපල් යන නැකත් හිමි අක්ෂර ආපෝ භූත අක්ෂර ලෙස සැළකෙනවා.
උත්‍රපල්, හත,සිත, සා, විසා යන නැකත් හිමි අක්ෂර තේජෝ භූත අක්ෂර ලෙස සැළකෙනවා.
අනුර, දෙට, මුල, පුවසල, උතුරුසළ, සුවණ යන නැකත් හිමි අක්ෂර වායෝ භූත අක්ෂර ලෙස සැළකෙනවා.
දෙනාට, සියාවස, පුවපුටුප, උතුරුපුටුප, රේවතී යන නැකත් හිමි අක්ෂර ආකාශ භූත අක්ෂර ලෙස සැළකෙනවා.
ඒ ඒ නැකත් හිමි අක්ෂර පහත වගුවේ සඳහන් වෙනවා.
 ආර්. ප්‍රේමදාස යනු ලංකාවේ පහළ වූ සුවිශේෂ දේශපාලඥයෙක් වන අතර එතුමා රටේ ඉහළම තනතුරට පත් වූයේ පහළම තැනකින් පටන් ගෙන බව කොයි කවුරුත් දන්නා කාරණයක්. එතුමා අගමැති තනතුරෙහි කටයුතු කරන කාලය තෙක්ම භාවිතා කළේ ආර්.ප්‍රේමදාස නාමයයි. ජනපති තනතුරට පත්වූ මොහොතේ පටන් එතුමා ගේ නම රණසිංහ ප්‍රේමදාස යනුවෙන් වෙනස් වූ බව කොයි කවුරුත් දන්නා කාරණයක්. "ර" අක්ෂරය තේජෝ භූත හෙවත් ගිනි අක්ෂරයක් වන අතර රණසිංහ නාමය වායු ගණයට අයත් වෙනවා. වායු ගණයේ විපාකය " මර " ලෙස ශබ්ද විද්‍යාවේ සඳහන් වෙනවා. නිවසකට නමක් තැබීමේදී යමෙක් ජ්‍යොතිෂ උපදෙස් පතන්නේ නම් ර යන්න මුල් කොට නමක් නොතැබීමට උගත් ජ්‍යොතිෂවේදීන් වගබලා ගන්නවා. ගිනි අක්ෂරයක් වූ ර යන්න මුල් කර නම් තබන නිවෙස් ගිනි ගැනීමට තිබෙන ඉඩ කඩ අධික නිසා යි. රණසිංහ යන නාමයේ අක්ෂර දෝෂයත් ගණ දෝෂයත් දෙකම පැහැදිලිව යෙදී තිබෙනවා. රණසිංහ නාමය එතුමන්ට අහිතකර ලෙස බලපෑ බව සත්‍යයක්. 
   ව්‍යාපාරයකට, සංවිධානයකට, දරුවෙකුට, නිවසකට පමණක් නොවෙයි කලා කෘතියකට වූවද නමක් තැබීමේදී ශබ්ද ශාස්ත්‍රයට අනුකූලව සුබදායක, ප්‍රතිඵලදායක නමක් තැබීම ඉතාමත් වැදගත් වෙනවා.
  අද ඇතැමුන් දරුවන්ට නම් තැබීමේදී දරුවාගේ අනාගතය ගැන නොසිතා නම් තබන බව පෙනෙනවා. අද ළදරු වියේ සිටියත් හෙට දිනයේ උසස් තනතුරකට, වගකිවයුතු තත්වයකට පත් විය හැකි බව අවබෝධකරගෙන ඊට ගැළපෙන ලෙස අභිමානවත් නමක් තැබීම වැදගත් වෙනවා. දරුවා සුරතල් නිසා සුරතල් නමක් තැබුවාට එය ඉදිරි අනාගතයේ සමාජයට අවතීර්ණ වීමේදී මහත් බාධාවක් විය හැකියි. නමක් සරළ විය යුතුයි, මතක හිටින නමක් විය යුතුයි. ඇතැමුන් නොයෙක් පණ්ඩිතයින් ගේ උපදෙස් පරිදි ගැඹුරු අර්ථයන්ගෙන් යුතු නම් දරුවන්ට තබන නමුත් ඒවායේ තේරුම සෑම සියලු දෙනාටම නොතේරෙන අතර  නමේ තේරුම දෙමාපියන්ගෙන්ම අසා දැනගත යුතුයි. නමක් පහසුවෙන් උච්චාරණය කළ හැකි, සැමට වැටහෙන, දෙතුන් වතාවක් අසා දැනගැනීමට සිදු නොවන නමක්ම විය යුතුයි.
    නම් තැබීම සම්බන්ධයෙන් තවත් විස්තරාත්මකව ඉදිරියේදී කතා කරමු.