ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්දරය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ග්‍රහ බලය පිළිඹදව
2009.03.15 ඉරිදා වාසනා පුවත්පතේ පලකරන ලද ලිපිය.


රුපු බල බිඳ තුන් සිංහලය එක් සේසත් කළ අපේ ජනපති 
මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ 
කේන්දරය බලමු.

     කන්‍යා ලග්නයෙන් උපන් මෙතුමාගේ ලග්නාධිපති බුධ ඉන්නේ වික්‍රමස්තානයේ යි. මුහුදු බඩ සීඝ්‍රගාමී දුම්රිය පැමිණෙන විට එය ඉදිරියෙන් ඒ පැත්තට මේ පැත්තට පනින එක මෙතුමාගේ ළමා වියේ විනෝදාංශයක් වෙලා තිබුණ කියලා කතාවක් තියෙනවා. එහෙමනම් ලග්නාධිපති බුධ වික්‍රමස්ථාන ගතවීමේ ප්‍රතිපල පෙනෙන්න අරන් තියෙන්නේ ළමා වියේදීම යි.
      බ්‍රහස්පති ලග්න ගතවීමේ හේතුවෙන් ඉතා යහපත් අධ්‍යාපනයක් උරුම කරගැනීමට හැකි වුණා. පිළිගැනීමට ලක්වූ යහපත් පවුලක උප්පත්තිය ලැබීමටත් බ්‍රහස්පති ලග්න ගතවීම ප්‍රධාන වශයෙන් හේතු වුණා.
  වසර විස්සක් පුරා පැවති සිකුරු මහ දශා කාලය තුළ තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යෑමට හැකියාව ලැබුණා. සිකුරු දෙවැන්නේ ඉතා බලවත් ලෙස තැන්පත්ව සිටීම හේතුවෙන් කලා කටයුතු පිළිඹඳව ද විශාල ඇල්මක් උනන්දුවක් ඇති වුණා. බොහෝ කලා කටයුතු වලට දායක වීමේ අවස්ථාව හිමි කරදුන්නේ ද දෙවැන්නේ බලවත්ව සිටි සිකුරු යි.
     ලග්නයේ තැන්පත්ව සිටින බ්‍රහස්පති, දෙවැන්නේ බලවත් සිකුරු, දහ වැන්නේ බලවත් රාහු මෙතුමාට විශාල සහයෝගයක් ලබා දෙනවා. පෙනුම, කතාබහ අධ්‍යාපනය, කඩිසරකම වගේ බොහෝ ගුණාංග මෙතුමාට ලබා දුන්නේ මෙම ග්‍රහයො තුන් දෙනා සහ තුන් වැනි භාවයේ සිටින ලග්නාධිපති බුධ යි.
       කේන්දරයක අට වැනි භාවය හඳුන්වන්නේ මාරකස්ථානය ලෙස යි. මෙම ස්ථානය අසුබ ස්ථානයක්. මෙතුමා ගේ කේන්දරයේ අට වැන්නේ සිටින්නේ සඳු ග්‍රහයා යි. 1975 වසරේ මෙතුමා ට ලබපු සඳු මහ දශාව අවසන් වුණේ 1985 වසරේ මැද භාගයේ දියි. මෙම කාල පරිච්ඡේදය මෙතුමා ට එතරම් සුබදායක වුණේ  නෑ.  1977 වසරේදී එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීමෙන් පසු මෙතුමාට බන්ධනාගාර ගතවීමටත් සිදු වුණා. නම ගිය මැරයින් සමග හැප්පෙන්නටත් සිදු වුණා. 1977 පටන් 1985 තෙක් කාලය තුළ තම මන්ත්‍රී ධූරය පවා අහිමි වුණා.
      මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ග්‍රහ බලය එතුමාව ලාබාලම මන්ත්‍රී වරයා ලෙස පාර්ලිමේන්තුවට යැව්වේ 1970 වසරේදී යි. ඒ වන විට එතුමා ගත කරමින් සිටියේ රවි මහ දශාව යි. රවි තැන්පත්ව සිටින්නේ ලග්නාධිපති බුධ සමග වික්‍රමස්ථානයේ යි.
      1988 - 1989 කාල වකවානුව ශ්‍රී ලංකාවේ ඉතාමත් අඳුරු කාල පරිච්ඡේදයක්.  තරුණ තරුණියන් ටයර් සෑ මත පිලිස්සුණා. ගංගා වල මිනී පාවෙන්න ගත්තා . කෙළින් කතා කරන්න ඉදිරිපත් වුණේ ඉතාමත් සීමිත පිරිසක් පමණයි. ඒ කාලයේ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීමට විරුද්ධව විශාල මෙහෙවරක් සිදු කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බව බොහෝ දෙනා දන්නා කාරණයක්. මේ වන විට එතුමා ගත කළේ අඟහරු මහ දශාව යි.
       ප්‍රේමදාස මැතිතුමා භිෂණය හමාර කර එක්සත් ජාතික පක්ෂ රජය ශක්තිමත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් දුර්වල තත්වයකට පත්වෙලා තිබුණා. කැපී පෙනෙන වැඩක් කරන්න ඉදිරිපත්වෙන්න කෙනෙක් හිටියෙ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ගෙ යුතුකම හරියට ඉෂ්ඨ කළා. රිය පෙළපාලි, මිනිස් දම්වැල්, ජන ඝෝෂා වැනි විවිධ වැඩසටහන් දියත් කරමින් ජනතාව ඒකරාශී කර ගත්තා. 1992 දි ලබපු රාහු මහ දශාව එතුමාව පියවරෙන් පියවර ඉදිරියට අරගෙන ගියා. බොහෝ දෙනෙක් රාහු ග්‍රහයා හඳුන්වන්නේ ඉතාමත් අසුබ ග්‍රහයෙක් විදියට යි. ඒත් රාහු බලවත් වූ විට විශ්මය ජනක ආකාරයට සුබ පල හිමි වෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවිතයේ ලබපු හොඳම සුබදයාකම දශාව රාහු මහ දශාව යි. කම්කරු අමාත්‍ය ධුරය, ධීවර අමාත්‍ය ධුරය පමණක් නෙමෙයි අග්‍රාමාත්‍ය ධුරය හා ජනාධිපති ධූරය පවා හිමි වූයේ රාහු මහ දශා කාලය තුළ යි.
    මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග කෙනෙක් කතා බහ කළොත් ඒ පුද්ගලයා ආකර්ෂණය වෙනවා. ඒ සිකුරු ග්‍රහයා දෙවැන්නේ බලවත් හින්ද යි. දෙවැනි භාවයෙන් කියවෙන්නේ කෙනෙකුගේ කතා විලාශය යි.
     2005 නොවැම්බර් 17 වැනි දිනය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවිතයේ වැදගත්ම දිනය යි.එතුමාට ජනාධිපති ධූරය හිමී වූ ජනාධිපතිවරණය පැවැත්වුණේ එදින යි. එදින පැවතුණු ග්‍රහ තත්වය එතුමාගේ උපන් ග්‍රහ තත්වයට බොහෝ දුරට සමානයි. උපතේදී වික්‍රමස්ථානයේ සිටි රවි, බුධ  එදිනත් හිටියේ වික්‍රමස්ථානයේම යි. සෙනසුරුත් එදින හිටියේ උපතේදී වගේම එකොළොස් වැන්නේ යි. එතුමාට අතීතයේදී සතුරුකම් කළ සඳු එදින භාග්‍යස්ථානයේ බලවත්ව හිටියා.
    හැම දෙනාටම වාගේ එතුමාටත් හොඳ නරක කාල සීමාවන් දෙකටම මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉවසීමෙන් හා කැප වීමෙන් දීර්ඝ ගමනක යෙදුණු එතුමා ශ්‍රී ලංකාවේ පස් වැනි විධායක ජනාධිපතිවරයා බවට පත් වුණා. දැනට ගත කරන රාහු මහ දශාව 2010 දි නිමා වෙනවා.  හැබැයි රාහු නිම වෙලා ලබන්නේ බ්‍රහස්පති මහ දශාව යි. බ්‍රහස්පති මහ දශවෙ දි ජීවිතය තව තවත් බැබළෙනවා. බ්‍රහස්පති මහ දශාවෙ දි නරකක් වෙන්න කිසිම ඉඩක් නෑ.