Saturday, February 5, 2022




සෙනසුරු කියන්නෙ දෙවියෙක්. නිකම් දෙවියෙක් නෙමෙයි, දෙවියන්ගෙත් දෙවියෙක්. මොකද,දෙවියන්ට වඩා සෙනසුරු බලගතුයි. මිනිස්සු දෙවියො ගැන කතා කරනවට වඩා සෙනසුරු ගැන කතා කරනවා. හැබැයි සෙනසුරු දෙවියෙක්ය කියල මම කිව්වෙ ඒ හින්දා නෙමෙයි. සෙනසුරු දෙවියෙක් විදියට හැඳින්වීම මොන තරම් සාධාරණද කියල ඕනෑම කෙනෙකුට හිතෙයි මේ සටහන අවසානය තෙක් කියෙව්වොත්. මේ, මම අවබෝධ කරගත්තු සෙනසුරු ගැන සටහනක්.


බොහෝ දෙනෙකුට සෙනසුරු කියන්නෙ මහා භයානක චරිතයක්. දුක් දෙන කෙනෙක්. ලෙඩ කරන, අමාරුවෙ දාන ග්‍රහයෙක්. මතක් කරන්නවත් හොඳ නැති නසරානි යකෙක්. සෙනසුරු එහෙමද ? ඒ ගැනත් මේ සටහන තුළ සඳහන් විය යුතුමයි.


ශබ්ද ඇසීමෙන් ඇතිවන දැනීම ( The Sense of Hearing) ලැබෙන්නේ සෙනසුරුගෙනි කියල ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ග්‍රහයෙකුගේ දැනීම (Sense) ගොඩක් වැදගත් වෙනවා. ඒකෙන් ලොකු කතාවක් කියැවෙනවා. ශබ්ද ඇසීමෙන් ඇතිවන සෙන්ස් එක තමයි සෙනසුරුගෙන් ලැබෙන්නෙ. සෙනසුරු සංකේතවත් කරලා තියෙන්නෙ මල්ලකුත් කරගහගෙන බොහොම අමාරුවෙන් ඇවිදගෙන යන වයසක මනුස්සයෙකුගේ රුවකින්. ඉතින් ඒ තරම් වයසක මනුස්සයෙක් කොහොමද ශබ්ද ඇසීමෙන් ඇතිවෙන සෙන්ස් එක දෙන්නෙ ? ඒ කොහෙන් මතුවෙන කුමන ශබ්දයක්ද...? ඔය කාරණය ගැන සාකච්ඡාවට ලක් වුණු තැනක් මම මෙතෙක් දැකල නෑ. ඔය කියන ශබ්දය තමන්ගෙ ඇතුලාන්තයේ හඬ මිසක් වෙන කාගෙවත් හඬක් නෙමෙයි. ඇතුලාන්තයට සවන් දෙන්න නම් හොඳ සන්සුන්කමක්, ඉවසීමක් තියෙන්න ඕනැ. ඇතුලාන්තයට සවන් දෙන්න කලබලේට බෑ. ඒකට සමාධිමත් මනසක් තියෙන්න ඕනැ. සෙනසුරුගෙ කාලෙදි ගොඩක් දෙනෙක් ඉවසීම නැති හින්දා, කලබලේ හින්දා අමාරුවෙ වැටෙනවා.


අපල එන්නෙ ඇතුලෙන් මිසක් පිටින් නෙමෙයි. අපලෙට බාහිර දේවල්වලින් පිහිට අපේක්ෂා කළත් අපලය හරියට සමනය කරගන්න ඕනැ ඇතුලතින්මයි. ඒකට හරියටම හරියන විසඳුම එළියෙ නෑ. සෙනසුරුගෙ අපලයටත් එහෙමම තමයි. සෙනසුරු යන්නෙ හරි හෙමින්. හෙමින් යන සෙනසුරුගෙ කාලෙදි කලබල  වුණොත් විනාශයි. ඒක ඉවසන්න ඕනැ කාලයක්. දරාගැනීමේ ශක්තිය, ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරගන්න ඕනැ කාලයක්. ඒවගේම ඇතුලාන්තය හොඳටම පිරිසුදු කරගෙන ආදරය, මෛත්‍රිය, කරුණාව වැඩි වැඩියෙන් ඇති කරගන්න ඕනැ කාලයක්. සියලු අනර්ථකාරී සිතුවිලි, අශුද්ධ චේතනා පුරවගෙන යන්තර, තෙල් සුර, මැණික් ගල් දාගත්තට වැඩක් නෑ. කරන්න තියෙන හැම දේම කළත් හරි ගියෙ නෑ කියන්නෙ අන්න එහෙම අය. 


සෙනසුරු කෙනෙක්ව සාර්ථකත්වය, දියුණුව කරා අරගෙන යන්නෙ හෙමිහිට. සෙනසුරු බලවත් වුණු දේශපාලඥයින්ගෙ, ව්‍යාපාරිකයින්ගෙ කේන්දර අධ්‍යයනය කරලා බලන්න. පුංචිම තැන ඉඳලා බොහොම ක්‍රමානුකූලව ඉහළට අරගෙන ගිහින් තියෙන හැටි දැකගන්න ලැබෙයි. ඒ ජීවිතවලට මොන තරම් වටිනා අත්දැකීම් සම්භාරයක් කරදර සහ අභියෝග විදියට පරිත්‍යාග කර තිබේ දැයි දැකගන්න ලැබෙයි.




සෙනසුරු කියන්නෙ මගෙ කේන්දරයෙ මහතැන අරක්ගත්තු ග්‍රහයා. ඉවසීම, ඔරොත්තු දීම, දරාගැනීම පැලකරපු  ග්‍රහයා. ඕනෑම කලබලකාරී අවස්ථාවක සන්සුන්ව කටයුතු කරන්න ශක්තිය ලබා දුන්නු ග්‍රහයා. බොහෝ දේ හිමි කරපු ග්‍රහයා. ඒ සෙනසුරු ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. 



සෙනසුරු කියන්නෙ ජීවිතවල වගේම ලෝකය තුළත් මහා පරිවර්තන සිදු කරන ග්‍රහයෙක්. ඒ පරිවර්තන මහා දුක්ඛදායක සිදුවීම විදියට මුණ ගැහෙන්න පුළුවන්. හිතන්න තිඹිරි ගෙය ගැන. මුලින්ම ඇහෙන්නෙ මවකගෙ වේදනාබර විලාපයක්. මොහොතකින් බිළිඳෙකුගේ හැඬීමත් සමඟ මවගේ විලාපය සිනහවක් බවට පත් වෙනවා. සෙනසුරු ජීවිතවල ඇති කරන පරිවර්තනත් අන්න ඒ වගේ තමයි. තව දුරටත් අවබෝධ වෙන්න මම කියන්නම් එක්තරා පිරිමි ළමයෙක් ගැන කතාවක්. මේ ළමයා උසස් පෙළ විභාගයෙන් සමත් වෙලා රැකියා සඳහා ඉල්ලුම් කරනවා. මේ වෙන කොට සෙනසුරුගේ ඒරාෂ්ටක දෙකක් ගත වෙනවා. ඒ තමයි ජන්ම ඒරාෂ්ටකය සහ අෂ්ටම ඒරාෂ්ටකය. තව කාරණයක් තියෙනවා. විශ්වාස කරන්න මේ දරුවා තවමත් පොඩි දරුවෙක් තරමට මවට හරි සමීපයි. අම්මා මෙයාට යාළුවො එක්ක කොහෙවත් යන්න දෙන්නෙ නෑ. ගෙදරින් පිට දවසක් ඉන්න දෙන්නෙ නෑ. නරක් වෙයි, නරක ඇසුරට වැටෙයි, නරක දේවල්වලට ඇබ්බැහි වෙයි කියල පුදුම විදියට ආරක්ෂා කරනවා. ඔය අතරෙදි අනපේක්ෂිත විදියට අම්මාට අංශභාගය හැදිලා එකතැන් වෙනවා. ප්‍රතිකාර ලබන අතරෙ දින කීපයකින් මියයනවා.  මේ දරුවා ජීවිතයේ වඩාත්ම දුක්බර අවස්ථාවට මුහුණ දෙනවා. ඉල්ලුම් කළ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ ලිපිය ලැබෙන කොට අම්මා ලෙඩ ඇඳේ. සම්මුඛ පරීක්ෂණය සඳහා යන්න තියෙන දවස වෙන කොට මවගේ දේහය නිවසේ. පැටලිලි ගොඩයි. කාරණය කියලවත් එනවා කියන අදහසින් දරුවා යනවා කැඳවීම කළ ආයතනයට. ගිහින් විස්තරය කියනවා. සම්මුඛ පරීක්ෂණය සඳහා නැවත දිනයක් ලැබෙනවා.  මවගේ අවසන් කටයුතුත් කරලා නැවත ආයතනයට යන දරුවට රැකියාව ලැබෙනවා. සමාජයට විවෘත වීමේ අවස්ථාව උදා වෙනවා. එතැන් පටන් ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. අද යම් සිවිල් බලයකින් යුතුව විශාල පිරිසකගේ ආදරයට ගෞරවයට පත්ව වැදගත් ජීවිතයක් ගත කරනවා. 



විශ්වයේ මඟ පෙන්වීම් අපිට දැනුම් දෙන්නෙ ඇතුලාන්තයෙන්.  ඇතුලාන්තයෙන් කරන මඟ පෙන්වීම් හරියට දැනෙන්න නම් සන්සුන් නිරවුල් මානසිකත්වයක් තියෙන්න ඕනැ. ඇතුලාන්තයෙන් එන බලය අපිට වටිනා අවස්ථා උදා කරනවා. හෘදයංගම මිනිසුන් මුණගස්සනවා. සාර්ථක විසඳුම් ඉදිරිපත් කරනවා. අන්ධයාගේ පය මැණික් ගලක වැදුණට ඒක මැණිකක් බව අන්ධයා දන්නෙ නෑ. බොහෝ දෙනෙක් විශ්වයේ මඟ පෙන්වීම්, විශ්වයේ පරිත්‍යාග ඉවතලනවා. අමාරුවෙ වැටෙන අවස්ථා තෝරාගන්නවා. විනාශකාරී පුද්ගලයින්ව වැලඳගන්නවා. අන්ධයාගේ පයේ ගැටෙන මැණික් ගල වගේ. සෙනසුරුට දොස් කියන, සෙනසුරුගෙ නරක දකින අයත් මම දකින්නෙ මැණික් ගල නොහඳුනන අන්ධයින් විදියට. 



"සෙනසුරු දුකට අධිපතියාය. නියම පාපියෙකි" කියලා පොතපතේ සඳහන් වෙනවා. සෙනසුරු සම්බන්ධයෙන් කියැවෙන ඔය කාරණය ගැන මගේ හිතේ පැහැදීමක් නෑ. දුකට අධිපතියා තමන්ම මිස වෙන කවුරුවත් නෙමෙයි. සාංසාරිකව අරගෙන යන පාපය මොනම විදියකින් හෝ දුරස් කරවන්න දායක වෙන  ග්‍රහයෙක් මිසක් සෙනසුරු දුක දෙන ග්‍රහයෙක් නෙමෙයි.  මනුස්සයාට සමාජයීය සහ විශ්වීය යන දෙආකාරයටම කටයුතු කරන විදිය උගන්වන ගුරුවරයා තමයි සෙනසුරු.  ගුරුවරයා වගේම ඒ කටයුතු දිහා අවධානයෙන් බලා සිටින පරීක්ෂකයාත් සෙනසුරුම තමයි.  පරීක්ෂකයාගේ කාර්යභාරයේදී  සෙනසුරු සාතන් ගේ භූමිකාවට පන පොවන අවස්ථාත් තියෙනවා. සෙනසුරු දොරටු දෙකක් අතර මැද ඉන්න ග්‍රහයෙක්. සාර්ථකත්වයේ සහ විනාශයේ දොරටු දෙකෙන් තමන් යා යුතු දොරටුව තීරණය කළ යුත්තේ තමන්මයි. ස්වර්ගයේ යතුරයි අපායේ යතුරයි දෙකම තියෙන්නෙ සෙනසුරුගෙ අතේය කියන්නෙ අන්න ඒ හින්දයි. යා යුතු දිශාව තෝරා ගත යුත්තේ තමන්මයි. විනාශයේ දොරටුව තෝරාගත්තවුන්ට සෙනසුරු සාතන් වගේ පෙනුණට, යහපත් චේතනාවෙන් සාර්ථකත්වය කරා ගමන් කරන්නවුන්ට සෙනසුරුගෙන් හානියක් නෑ.


මරණය නියත මිනිසුන්ට මරණය කියන්නෙ දඬුවමක් නෙමෙයි. එදාට වඩා අද මාරක අවස්ථා වැඩියි. එන්න එන්නම මාරක අවස්ථා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. සිය දහස් ගණන් එක පොදියට මියගියත් අද එච්චර ගාණකුත් නෑ. සෙනසුරුගෙ දශා කාල සීමාවන් සහ ඒරාෂ්ඨක කාල සීමාවන් යනු මාරක අවස්ථා බවට විශ්වාසයක් ඇතැමුන් තුළ පවතිනවා. මරණයට සෙනසුරු විතරක් නෙමෙයි ඕනෑම ග්‍රහයෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. සෙනසුරු යනු මරා දමන ග්‍රහයෙක් යැයි භීතියට පත්වීම තේරුමක් නැති වැඩක්. විශේෂයෙන්ම සෙනසුරුගෙ ඒරාෂ්ඨක කාලයෙදි ඊට නොබියව මුහුණ දෙන්න ඕනැ. ඒක ජීවිතයේ පරිවර්ථනීය කාලයක් බව සිතන්න. හැබැයි හිතයි හදවතයි ලස්සනට තියාගන්න.


සෙනසුරුගෙ දශාවෙදි කෙනෙක් දියුණු වුණොත් දශාව ඉවර වෙන්න කලින් නැත්තටම නැති කරනවාය  කියල විශ්වාසයක් ඇතැමුන් තුළ තියෙනවා. එහෙම සිද්ද වෙච්චි අවස්ථා නැත්තෙ නෑ. හැබැයි ඒක සෙනසුරුගෙ වැරැද්දක් නෙමෙයි. ක්‍රමානුකූලව ලබපු දියුණුවට කැළැල් වෙන විදියේ අමුතු ගේම් ගහන්න ගියාම එහෙම වෙනවා තමයි. මොන තරම් දේවල් ලැබුණත් සමහරුන්ට මදි. සල්ලි මදි, දේපළ මදි, බලය මදි. ඒ අඩුපාඩු සපුරගන්න අශුද්ධ මාර්ගවලට හැරුණට පස්සෙ සෙනසුරු සාතන්ගෙ භූමිකාවට පටන් ගන්නවා. කෙනෙක් අශුද්ධ මාර්ගයකට හැරෙන්නෙම ඇතුලාන්තය අපිරිසුදු කරගෙනයි. පපුව හොඳ නැති කෙනෙකුට යන්න පුළුවන් ගමනක් තියෙනවද...ඇතුලාන්තය අරාජික කරගැනීමේ ප්‍රතිඵලවලට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා.



මතක තියාගන්න, තම සවිඥානක මට්ටම ඉහළ නංවා ගැනීමට සහ යහපත් සිතුවිලි පෙරදැරිව තමන් හා අනුන් වෙනුවෙන් කැපවීමට උත්සාහ කරන අයට, සෙනසුරුගේ කිරණ මහත් ආශීර්වාදයක් වෙනවා.

සංජීව කුළුපන බණ්ඩාර.