Tuesday, January 10, 2017

මේ ප්‍රශ්නය ඔබටත් තිබෙනවා ද ?



         
එකම ජ්‍යොතිෂ ශාස්ත්‍රය භාවිතා කරනවා නම් ඇයි එක එක අය එක එක දේවල් කියන්නේ? එක සමාන පලාපල,එක සමාන අනාවැකි නේද කියවෙන්න ඕනෑ.. ඒත් දහ දෙනෙක් කියන්නේ දහ විදියකට නේ.මේක ලොකු ප්‍රශ්නයක්.
  ඔය තත්වය ජ්‍යොතිෂය තුළ පමණක් නෙමෙයි සෑම ක්ෂේත්‍රයකම තිබෙනවා. වෛද්‍යවරු ඉගෙන ගෙන ඇත්තේ එකම වෛද්‍ය විද්‍යාව වූවත් එක වෛද්‍යවරයෙකුට සොයාගැනීමට අපහසු රෝගය තව වෛද්‍යවරයෙක් සොගන්නා අවස්ථා තිබෙනවා. කෙනෙකුට සුවකිරීමට අපහසු රෝගයක් තවත් අයෙක් සුව කරන අවස්ථාත් තිබෙනවා.
   ජ්‍යොතිෂවේදියා ජනප්‍රිය අයෙක් වූ පමණින් දක්ෂයෙක් යැයි සිතීමත් සුබදායක නෑ.අස්ථියක් දරුණු ලෙස බිඳුණු අයෙක් මරදන්කඩවල වෙදමහත්තයා සොයා යන්නේ එය ඉක්මණින් වගේම නිවැරදිව සුවකර ගැනීමටයි. මරදන්කඩවල වෙදමහත්තයා සතිපතා රූපවාහිනී නාලිකාවල පෙනී නොසිටින බව සියලු දෙනා දන්නවා.නමුත් දුර ගෙවාගෙන මරදන්කඩවල යන්නේ වෙදමහත්තයා ගැන ඇති විශ්වාසය නිසායි. ඔහු රෝගීන් සුවකර ඇති බව දන්නා නිසායි.කෙනෙකුට පිළිකාවක් වැළඳුනහොත් කොළඹ තිබෙන සුප්‍රසිද්ධ රෝහල්වල සේවය කරන වෛද්‍යවරු පසෙකලා පිළිකා විශේෂඥ වෙදුන් සොයාගෙන දුර බැහැර ප්‍රදේශ කරා යන බව නොරහසක්.
     අත්දැකීම් හා පළපුරුද්ද අනුව සලසන සේවයේ ගුණාත්මක භාවය තීරණය වෙනවා. 
   අද කාලයේ රූපලාවන්‍ය ශිල්පීන්, කේක් සාදන්නන්, රෙදි පින්තාරුකරුවන්, වෙදුන්,මැහුම් උපදේශිකාවන්, ජ්‍යොතිෂවේදීන් ආදී මෙකී නොකී සියලු දෙනා රූපවාහිනී නාලිකාවල පෙනීසිටින්නේ අතින් මුදල් ගෙවාගෙන බව නොදන්නා අය තවමත් සිටිනවා. ඔවුන් සිතා සිටින්නේ රූපවාහිනී නාලිකා ප්‍රධානීන් නොයෙකුත් සමීක්ෂණ කොට සුපිරිතම් දක්ෂයින් කැඳවා ගන්නා බවයි.එසේ සිතා පෝලිමේ ගොස් විනාඩි කීපයක ක්ෂණික පලාපල විස්තරයක් අසාගන්නවා. එවැනි දෙතුන් දෙනෙක් හමුවී අසාගන්නා පලාපල පරස්පර විරෝධී වූ විට ජ්‍යොතිෂ ශාස්ත්‍රයට බැනවදිනවා. රූපවාහිනියේ පෙන්වන දස්කම් හමුවෙන්න ගිය විට දකින්නට නොලැබෙන බවද ඇතමුන් පවසනවා.
    ජ්‍යොතිෂය කියන්නේ විශාල පෝලිමක් හදාගෙන, ඇතුළට පැමිණි පුද්ගලයා ඉක්මනින් පිටත්කර ඊළඟ කෙනාව ඇතුළට ගන්න බලාගෙන කරන්න පුළුවන් ශාස්ත්‍රයක් නෙමෙයි. තමන් කරා පැමිණෙන පුද්ගලයාගේ නොසන්සුන් මානසිකත්වය, අනාගතය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවය, සිතේ පවතින ගැටළු ආදිය නිවැරදිව තේරුම්ගෙන යහපත් මානසික පසුබිමක් සකස් කිරීමේ හැකියාව, ඒ සඳහා කාලය වේලාව ජ්‍යොතිෂවේදියෙක් සතුව තිබිය යුතුයි.
   තවත් ජ්‍යොතිෂවේදීන් පිරිසක් සිටිනවා ඔවුන් පවසන්නේ දේශපාලන අනාවැකි පමණයි.අහවල් නායකයා මැරෙනවා, අහවල් නායකයා රජ වෙනවා,අහවල් නායකයා බුදු වෙනවා,අහවලා පැරදුණොත් මම ගිනි තියාගන්නවා, අහවලා දිනුවොත් මම වෙඩි තියාගන්නවා..ඔන්න ඔය ආකාරයට තමන් අදහන දේශපාලන පක්ෂය වෙනුවෙන් අනාවැකි ඉදිරිපත්කරනවා. දේශපාලන පක්ෂය වෙනුවෙන් අනාවැකි පැවසීම ජ්‍යොතිෂය යැයි විශ්වාසකරගෙන සිටින ප්‍රඥාව හීන පුද්ගලයින්  ඒ අනාවැකි අසාර්ථක වූ විට ජ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රතික්ෂේප කරනවා. දේශපාලනය වෙනුවෙන් බොරු අනාවැකි පලකළ ජ්‍යොතිෂවේදීන් කීප දෙනෙක් පසුගිය කාලයේදී සංකේතාත්මකව මියගියා. තව දින කීපයකින්  තවත් එවැනි  ජ්‍යොතිෂවේදියෙක් සංකේතාත්මකව මියයාමට නියමිතයි.
    ඔබ ජ්‍යොතිෂ උපදෙස් ලබාගත යුත්තේ ඔබේ පක්ෂයට බැලමෙහෙවරකම් කරන, ඔබ අදහන නායකයාගේ ළඟින් ගැවසෙන ජ්‍යොතිෂවේදියගෙන් නොවන බව මතක තබාගන්න.දේශපාලනයේ නියැලෙන කිසිම ජ්‍යොතිෂවේදියෙකුට මධ්‍යස්ථ අනාවැකි පැවසිය නොහැකි බවද මතක තබාගන්න. සභාපති ධූර, අධ්‍යක්ෂ ධූර, නිවාස,ඉඩම්, තනතුරු ආදී නොයෙක් වරදාන බලාපොරොත්තුවෙන් ජ්‍යොතිෂය විනාශ කරන එවැනි අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේශම් වන්න.
   ජ්‍යොතිෂ උපදෙස් ලබාගැනීම සඳහා ඔබට විශ්වාසවන්ත අයෙක් තෝරාගන්න.පවසන දේ ඔබට ගැළපෙනවා යැයි හැඟෙන, ඔබ ගැන සත්‍ය අනාවැකි පැවසූ ජ්‍යොතිෂවේදියාගෙන් ම උපදෙස් ලබාගන්න. එසේ නොමැතිව නොයෙක් මාධ්‍ය තුළ ජ්‍යොතිෂ සංදර්ශන පවත්වන විවිධාකාර ව්‍යාපාරිකයින් පසුපස ගියහොත් ඔබට සිදුවන්නේ බූරුවා කරේ තබාගෙන ගිය මිනිසාට සිදුවූ දෙයමයි.
         කේන්දර පරීක්ෂාව  නිශ්කලංකව, සමාධිගතව කළ යුතු කාර්යයක් විනා  කලබලයෙන්, කුලප්පුවී විනාඩියෙන් දෙකෙන් කළ හැකි කාර්යයක් නොවෙයි. ජ්‍යොතිෂය ඉගෙනගත් පමණින් පලාපල පැවසීමේ හැකියාව ලැබෙන්නෙත් නෑ.ඒ සඳහා අත්දැකීම් මෙන්ම සසර පුරුද්දක්ද තියෙන්න ඕනෑ.
   ඇතැමුන් බුදු දහම ආදේශ කරගනිමින් ජ්‍යොතිෂය මිත්‍යාවක් යැයි අවලාද නගන ආකාරය ද පෙනෙන්නට තිබෙනවා.ජ්‍යොතිෂය මිත්‍යාවක් බව බුදුන් වහන්සේ කිසිම තැනක දේශනා කර නෑ. විමුක්ති මාර්ගයට අවහිර වන සියලු ශිල්ප,ශාස්ත්‍ර ඵල රහිත විද්‍යාවන් ලෙස බුදුන් වහන්සේ දක්වා තිබෙනවා. ඒ අතර වෙදකම්,ශල්‍ය කර්ම,නැටුම්,ගැයුම්,වැයුම්,මුද්‍රා නාට්‍ය,කරණම්,පිනුම්,ඇඟ සුවඳ ගැල්වීම්, යුද්ධ කිරීම් ආදී බොහෝ දේ සඳහන්ව ඇති බව දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රය කියවා බැලීමෙන් වටහා ගත හැකියි.
    
                        ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දිවයිනටම සාම විනිසුරු 
                     දේශමාන්‍ය,ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර