Sunday, December 17, 2023

කේන්දරයේ පස්වැන්න.

  



ආදර සම්බන්ධතා ගැන කියැවෙන්නෙ කේන්දරයේ කුමන භාවයෙන්ද ? සිහියෙන් යුතු ඕනෑම ජ්‍යොතිෂවේදියෙක් කියයි පස්වැන්නෙන් කියල. ආදරය උපදින්නෙ හදවතේ නම්, හදවත ගැන කියැවෙන්නෙ සිව්වැන්නෙන් නම් සම්බන්ධතා ගැන ඇයි පස්වැන්නෙන් කියැවෙන්නෙ ? 

මාඕ සේතුං කුඩා කාලයේ මතකයක් ගැන මෙන්න මේ විදියට ලියල තියෙනවා. මාඕගෙ මවට ලස්සන මල් වත්තක් තිබුණා.  මාඕගෙ මහලු මව බොහොම ආදරෙන් මේ මල් වත්ත බලාගත්තා. මේ මල් වත්ත මොන තරම් ලස්සනද කියනවා නම් දුර පළාත්වලින් පවා ජනයා මල් වත්ත බලන්න පැමිණියා. අනපේක්ෂිත විදියට මාඕගෙ මව අසනීප වුණා. ඇය මල් වත්ත ගැන ගොඩක් කණගාටු වුණා.තමන් ආදරෙන් රැක බලාගත්තු මල් වත්තට මොනවා වෙයිද...?

 මාඕ කිව්වා "අම්මා දුක් වෙන්න එපා. මම මල් වත්ත හොඳට බලාගන්නම්..."

මාඕ උදේ සිට රෑ වෙනකල් මල් වත්ත බලාගත්තා. මාසයකින් පමණ මවට තරමක සුවයක්  ලැබුණා. ඇය මල් වත්ත බලන්න ආවා. මල් වත්තෙ තත්වය දැකලා ඇය කම්පාවට පත් වුණා. සියලු ගස් වේලිලා. මල් මැලවිලා. මල් වත්ත විනාශ වෙලා ගිහින්. ඇය බොහොම දුකෙන් මාඕගෙන් ඇහුවා " මෝඩයෝ...දවස තිස්සෙම මේකේ නේද හිටියෙ...? උඹ මොනවද මේකට වෙලා කළේ ? මල් වත්ත විනාශ වෙලා...ගස් වේලිලා ගිහින්...ඔක්කොම මැරෙන්නනෙ යන්නෙ..."


මාඕ අඬන්න පටන් ගත්තා. ඔහුටත් ගොඩක් දුකයි. ඔහු දවස තිස්සෙම මහන්සි වුණා. ඒත් මොකක් හරි හේතුවකට ගස් වේලිලා. මාඕ අඬ අඬා උත්තර දෙනවා. " මම ගස්වලට හොඳට සාත්තු කළා...ආදරය කළා. ඒවා සිපගත්තා. හැම කොලයකම තිබුණු දූවිලි පිහදැම්මා. මම දන්නෙ නෑ මොකක්ද වුණේ කියලා..."  මව හිනාවෙන්න පටන් ගත්තා. "උඹ නම් හරිම මෝඩයෙක් තමයි. උඹ තවම දන්නෙ නෑ මල්වල ජීවිතය තියෙන්නෙ මල්වල නෙමෙයි කියලා...කොළවල ජීවිතය තියෙන්නෙ කොළවල නෙමෙයි කියලා...මල් සිපගත්තට ඒවා පවතින්නෙ නෑ. කොළවල දූවිලි පිහදැම්මට ඒවට ජීවය ලැබෙන්නෙ නෑ. මුල්වලට සාත්තු සාත්තු කරන්න ඕනෑ"


 අපිටත් තියෙනවා ප්‍රශ්නයක්. කොහෙද අපේ මුල් තියෙන්නෙ ? අපි කොහෙන්ද මුල් ඇද්දෙ ? ආදර සම්බන්ධතා ගැන පහෙන් කියැවන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට හිමි ආධ්‍යාත්මික උත්තරය දෙන්න කලින් අපිත් අපේ මුල් ගැන දැනගන්න ඕනැ.


අපි කාගෙන් හෝ ඇහුවොත් ශරිරයෙ වැදගත්ම තැන, වැදගත්ම කොටස මොකක්ද කියල එයා කියයි හිස කියලා. කාන්තවක් නම් බොහෝ විට කියයි හදවත කියලා. හිස, හදවත දෙකම වැදගත්. ඒකෙ වරදක් නෑ. ඒත් අපේ මුල් ඇදපු තැන ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි. ගසක් තම ජීවන ශක්තිය පොළවෙ ඇති මුල්වලින් ලබාගන්නවා වගේ ජීවන ශක්තිය උරාගන්නා විශේෂ ස්ථාන අපේ ශරීරයෙත් තියෙනවා. ශරීරය ජීවමානව,සජීවීව පවතින්නෙ අන්න ඒ හින්දයි. යම් කිසි දවසක මේ මූලයන් බෙලහීන තත්වයට පත් වෙන කොට ශරීරය මියැදෙන්න පටන් ගන්නවා.


දරුවෙක් මව් කුසේ ඉපැදී කාලයක් ඒ තුළම වැඩෙනවා. දරුවා මවට සම්බන්ධ වෙන්නෙ හිසින්වත් හදවතින්වත් නෙමෙයි. දරුවා සම්බන්ධ වෙන්නෙ නාභියෙන්. දරුවා නාභිය තුළින් ජීවන ශක්තිය උරාගන්නවා. මිනිස් ශරීරයේ වැදගත්ම ස්ථානය නාභිය යි. ඊට පසුව හදවතත් එතැනින් පසුව මනසත් වර්ධනය වෙනවා. ආදරය නමැති මල් හදවතේ පිපෙනවා. දැනුම නමැති මල් මනසෙ පිපෙනවා. සියල්ල සිද්ද වෙන්නෙ ඒවා මත තමයි කියල අපි හිතනවා. නමුත් අපේ මුල් පද්ධතිය, එහෙමත් නැත්නම් ජීව ශක්තිය තියෙන්නෙ නාභියෙ. එතන මල් පිපෙන්නෙ නෑ. ශරීරයේ ශක්ති මධ්‍යස්ථානය, ගුරුත්ව කේන්ද්‍රය නාභියයි


කුණ්ඩලිනි යෝග භාවනාව තුළ නාහි මණ්ඩලය සූර්ය ජාල චක්‍රය (Solar plexus chakra) විදියට හඳුන්වනවා. නාභිය නියෝජනය වෙන්නෙ කේන්දරයෙ පස්වන්නෙන්. පස් වැන්න කියන්නෙ විශ්ව කේන්දරයෙ රවි හිමි සිංහ රාශිය. මේ පස්වැන්න තමයි සම්බන්ධතා ඇති කරන තැන. ආදරයේ මල් විකසිත වෙන්නෙ හදවතේ වුණාට සම්බන්ධකම් ඇති වෙන්නෙ නාභියෙන්. 


සෘෂිවරු මොන තරම් ආධ්‍යාත්මිකද...? ඔවුන් ආධ්‍යාත්මිකව අවබෝධ කරගත් සියලු දේ අපි භාහිර මෙවලම් විදියට භාවිතා කරනවා. අපි ආධ්‍යාත්මික නෑ. අපිට ඕනැ කරන්නෙ සෘෂිවරු සොයාගත් දේවල් විතරයි. හැකි තරම් පොත්, හැකි තරම් දැනුම. 


බලන්න. නියමිත කාලය ආවම, ඒ කියන්නෙ දරුවා මවගෙන් වෙන් විය යුතු කාලය පැමිණි පසුව නාභිය හරහා තිබූ සම්බන්ධය කපා දමනවා. තමන්ටම කියල ජීවිතයක් ගත කරන්න දරුවා මවගෙ ශරීරයෙන් වෙන් වෙනවා. නාභිය තුළින් ලෑබූ ජීවන ශක්තිය නතර වුණාම දරුවාගේ ශරීරයම කම්පනය වෙන්න පටන් ගන්නවා. මෙතෙක් ගලා විත් එක් වරම නතර වුණු ජීවන ශක්තිය දරුවාගේ සමස්ත පැවැත්ම විසින්ම ඉල්ලා සිටිනවා. ජීවිතය සඳහා පොර බදන දරුවා තදින් හඬන්න පටන් ගන්නවා. හැඬුවෙ නැත්නම් ප්‍රශ්නයක්. වෛද්‍යවරු කලබල වෙනවා. මොකද, ජීවන ශක්තියෙන් වෙන්වීම දරුවට දැනෙන්න ඕනැ.


නාභිය හරහා ජීවන ශක්තිය උරාගත් දරුවා නැවත මව සමඟ සම්බන්ධ වෙන්නෙ කොහොමද ? දරුවා නැවත ජීවන ශක්තිය ලබාගන්නවා මවගේ කිරිවලින්. එහෙම නම් දරුවාගේ දෙවන සම්බන්ධය හදවත සමඟ සිද්ද වෙනවා.හදවතේ උපන් මහ මෙරක් තරම් ආදරය කිරි කරලා දරුවට පොවන කොට දරුවා මවගෙ හදවතේ උණුසුම විඳගෙන, හදවතේ රිද්මයට කන් දීගෙන වැඩෙනවා. තවත් පරිපථයක් නිර්මාණය වෙලා තියෙන අපූරුව බලන්න. දරුවෙක් මවගේ කිරිවලින් පෝෂණය නොවන්නේ නම් ඒ දරුවා සදාකල් දුර්වල වෙනවා. බොහොමයක් බටහිර රටවල දරුවන් ඉතාමත් ඉක්මණින් මව් කිරිවලින් වෙන් කිරීමේ ප්‍රතිඵල විදියට විරෝධාකල්පවලින් යුතු ළමයින් සමාජයට එකතු වෙනවා..තුවක්කුව අතට අරගෙන දෙමාපියන්ටත් වෙඩි තබා පාසලට ගොස් ගුරුවරුන්ට, සහෝදර සිසු සිසුවියන්ට පවා වෙඩි තබන අවස්ථා ගැන වරින් වර අපට අසන්නට ලැබෙනවා.  පෙරදිග රටවලත් මේ අවාසනාවන්ත තත්වය සිදු වෙමින් පවතිනවා. පසළොස්වක පොහොය දවසෙ පවා වයසක අම්මව තාත්තව මහමගට ගෙනිහින් අතරමං කරන උගත් පොහොසත් දරුවො ගැන අපට අහන්නට ලැබෙනවා. මිනිස්සු බනිනවා " මුන් දරුවොද...?" ඒ දරුවන්ගේ හදවත වර්ධනය කිරීමෙහිලා දෙමාපියන්ගේ දායකත්වය ලැබුණාද නැද්ද අපි දන්නෙ නෑ. කිරි බොන වයසෙ දරුවො පවා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ගාල් කරන කොට, යන්තම් වචන උච්චාරණය කරන කොට පෙර පාසලට යොමු කරලා මනස පුරවන කොට ඔය වගේ දේවල් සිදුවීම අරුමයක් නෙමෙයි.


හිතන තරම් වේලාසනින් නෙමෙයි. ඇති තරම් මව් කිරි බීමෙන් අනතුරුව  දරුවාට මවගේ කිරිවලිනුත් වෙන් වෙන්න සිද්ද වෙනවා. එතනින් පස්සෙ මොකද වෙන්නෙ ? නාභියට සම්පූර්ණ කරගන්න නොහැකි වුණු කාර්යයන්, හදවතට සම්පූර්ණ කරගන්න නොහැකි වුණු කාර්යයන් මනසෙන් සම්පූර්ණ කර ගැනීම ආරම්භ වෙනවා.මෙන්න මේ අවස්ථාවෙ තමයි බොහෝ ගැටළු නිර්මාණය වෙන්නෙ. සියලු බර, සියලු කාර්යයන් මනසට පටවන ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. මනසෙන් ආදරය කරන කෙනෙකුගේ ආදරය ව්‍යාජයි. ආදරය හදවතේ කාර්යයක් මිසක් මනසේ කාර්යයක් නෙමෙයි. ශ්‍රේෂ්ඨතම ජීවන ශක්තිය තමයි ලිංගිකත්වය කියන්නෙ. ලිංගිකත්වය මනසෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකෙ මධ්‍යස්ථානය තමයි නාභිය. අද ලෝකය පුරා මනස්වලට  ලිංගිකත්වය ඇතුල් වෙලා. දවසේ පැය විසිහතර පුරාම ලිංගිකත්වය ගැන සිතන තත්වයක් ඇති වෙලා. ලිංගිකත්වයේ සැබෑ අපූර්වත්වය, ප්‍රීතිය මිනිසාගෙන් දුරස් වී යමින් පවතිනවා. 


 ජීවිතයේ ඉතාමත් වැදගත් මධ්‍යස්ථාන තුනක කාර්යය තනි මනස වෙත පවරන ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. සමාජයේ බහුතරයක් අඩ සිහියෙන් ක්‍රියාත්මක වෙනවා. 


ජීවනයේ මධ්‍යස්ථානය නාභියයි. හැඟීම් දැනීමේ මධ්‍යස්ථානය හදවතයි. සිතීමේ මධ්‍යස්ථානය මනසයි. මේ එක් එක් මධ්‍යස්ථානය නියමිත රිද්මයට සුසර කිරීමේ මාර්ගය භාවනාවයි. 


එක්තරා ජ්‍යොතිෂ සමූහයකට කෙනෙක් යොමු කරනවා තමන් දුටු සිහිනයක් ගැන ප්‍රශ්නයක්. ජ්‍යොතිෂවේදියෙක් පිළිතුරු දෙනවා. "අහවල් පොතේ අහවල් පරිච්ඡේදයෙ අහවල් පිටුවෙ ඔය සම්බන්ධයෙන් විස්තර කරලා තියෙනවා..." මොන ලැජ්ජා නැති උත්තරයක්ද...  මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට පොත බලලා උත්තර දෙන මිනිස්සු. කෙනෙක්ගෙ ප්‍රශ්නයකට අනුන්ගෙ උත්තර සපයන මිනිස්සු. මෙන්න මේ අය තමයි දක්ෂයො විදියට සැළකන්නෙ. මනස වැඩියෙන් පුරවා ගත්තු ඒත් තමන්ගෙම කියල උත්තරයක් නැති මිනිස්සු. අපිට තියෙන්නෙ අනුන්ගෙ දැනුම වුණාට, තියෙන්නෙ අනුන්ගෙ උත්තර වුණාට මමත්වයේ අඩුවක් නෑ. ලොකුකමේ අඩුවක් නෑ.  සමහරුන්ගෙ චන්ඩිකමේ අඩුවකුත් නෑ. 


කේන්දරය තුළ හදවතේ මධ්‍යස්ථානය සහ ජීවනයේ මධ්‍යස්ථානය එහෙමත් නැත්නම් නාභි මධ්‍යස්ථානය එක ළඟ පිහිටලා තියෙනවා. ඊළඟට අභියෝගාත්මක එහෙමත් නැත්නම් බාධක ස්ථානයක් පසු කර විවාහ ස්ථානය පිහිටලා තියෙනව. බොහොම අපූරු, එමෙන්ම හේතු යුක්ති සහගත පෙළගැස්මක්. ඒ පෙළගැස්ම බොහෝ දේවල් අවබෝධ කරලා දෙනවා. 

සංජීව කුළුපන බණ්ඩාර 









Tuesday, December 5, 2023

වැම්පයර්ස්ලා

 


ලෝකය මිනිසුන්ගෙන් පිරී ඇත. බිලියන ගණනක් වූ මෙම මිනිසුන් විවිධාකාර ගති පැවතුම්, අදහස්, සිතුම් පැතුම්, අභිලාෂයන්ගෙන් යුතු වූවන්ය. අපට සමාජය තුළ විවිධාකාර වූ මිනිසුන් සමඟ ගණුදෙනු කිරීමට සිදුව ඇත. පවුල තුළ, සේවා ස්ථානය තුළ, මඟතොට, සමාජ මාධ්‍ය තුළ මෙන්ම තවත් බොහෝ තැන්වල අපට ගණුදෙනු කිරීමට සිදුව ඇත්තේ විවිධ චරිත සමඟ ය. සමහරෙක්  සමඟ කෙරෙන කතාබහ අපට සුව පහසුවක්, සැනසීමක් ගෙන දෙන අතර ඇතැමෙක් සමඟ වන සම්බන්ධය අපට දැඩි විඩාවක්, අසහනයක් ගෙන දෙයි.

මේ ගැන තවත් සරලව කතා කරමු. සමහරු එක්ක කතා බහ කරන කොට අපට ලොකු සුවයක්, සැනසීමක් දැනෙනවා. ඔවුන් ගෙන් අපට ලොකු ශක්තියක් ලැබෙනවා. ඔවුන් අපව දිරි ගන්වනවා. ඔවුන්ගෙ කතා බහ, ඇසුර හින්දා අපට ජීවිතය ගැන ලොකු ආශාවක් ඇති වෙනවා. අපට වඩ වඩාත් වර්ධනය වෙන්න හිතෙනවා. අනාගතය ගැන බලාපොරොත්තු ඇති වෙනවා. ඔවුන් අපට මානසික ශක්තිය කාන්දු කරවනවා.

සමහරු එක්ක කතා බහ කරන කොට ඔලුවට ලොකු විඩාබර ගතියක් දැනෙනවා. එපා වෙනවා. ඔවුන් අපව අවුල් කරනවා. පටලනවා. මහා අවිනිශ්චිත තත්වයකට පත් කරනවා. කිසිම කාරණයක් සම්බන්ධයෙන් නිගමනයකට, ස්ථිර තීන්දුවකට එළඹෙන්න අපහසු වෙනවා. බලාපොරොත්තු, අභිලාෂයන් ගැන වුණත් ඉටු වෙයිද නොවෙයිද යන අවිනිශ්චිත තත්වයක හිර වෙනවා. ඔවුන් අපේ මානසික ශක්තිය අවුල් කරනවා.

තවත් පිරිසක් ඉන්නවා. ඒ අය එක්ක කතා බහ කරන කොට අපි කලකිරීමට පත් වෙනවා. ඒ අය කියන්නෙ ඒගොල්ලන්ගෙ දුක, අසරණ බව ගැන විතරයි. කරන හැම දෙයක්ම අසාර්ථක වෙන හැටි, දවසින් දවස පරිහානියට පත් වෙන හැටි, දවසින් දවස ප්‍රශ්නවල පැටලෙන හැටි කියනවා. කාගෙන්වත් පිළිසරණක්, විසඳුමක් නැති බව කියනවා. විටෙක උපකාර ඉල්ලනවා. උපදෙස් පතනවා. ඔවුන් අපේ මානසික ශක්තිය දිය කර හරිනවා. දුර්වල කරනවා.

ඔය විදියෙ අය අපට හඳුනාගන්න පුළුවන්. ඒ අයගෙ කතාබහ, කියන කරන දේවල් එක්ක හඳුනාගන්න පුළුවන්කමක් තියෙනවා.  හඳුනාගන්න අපහසු තවත් අය ඉන්නවා. මතුපිටින් හොඳයි. දිරිගන්වනවා. යහපත වෙනුවෙන් යමක් කියන බව පේනවා. අවුල් කරන්නෙ නෑ. සුබවාදී අදහස් පල කරන, දුක්ගැනවිලි ඉදිරිපත් නොකරන අය ඉන්නවා. ඒත්  ඒ අය එක්ක නිතර ගැවසෙන කොට අපි අවුල් වෙනවා. අපේ වැඩ කටයුතු අවුල් වෙනවා. ලැබීම් අඩු වෙනවා. අනපේක්ෂිත පාඩු අලාභවලට මුහුණ දෙන්න වෙනවා. මේ අය භාහිරින් හඳුනාගන්න ලේසි නෑ. මතුපිටින් මොනවා කිව්වා කළත් ඇතුලාන්තය මුළුමනින්ම වෙනස්. මේ අයගෙ සිතුවිලි තරංග සංක්‍යාතය සුබදායක නෑ. කියන දේට වඩා හිතන දේ හාත්පසින්ම වෙනස්. 


තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි,සමහරු දන්නවා තමන් අහුවෙලා ඉන්න බව.යම් කිසි පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් හින්දා ගොඩ යාමක් නැති බව දන්නවා. මානසිකව වැටෙනවා, ශක්තිය හීන වෙනවා,ගමන අඩාල වෙනවා, ඔලුව අවුල් වෙනවා ඔක්කොම හරි. ඒත්  ඒකෙන් මිදෙන්න බෑ. ඒ හින්දා දැන දැනම ගොදුරක් බවට පත් වෙලා ඉන්නවා. වැම්පයර්ස්ලා ඉන්නෙ පවුලෙන් බාහිරව පමණක් නෙමෙයි. පවුල තුළත් ඉන්න පුළුවන්. නිතරම මානසිකත්වය අවුල් කරන, මානසිකව වට්ටන, මානසික ශක්තිය බිංදුවට  බස්සන කෙනෙක් පවුල තුළ ඉන්න බැරිකමක් නෑ. 
තව සමහරු ගොදුරු බවට පත් වෙලා ඉන්නවා. ඒත් ඒ අය ඒ බව දන්නෙ නෑ. මිදෙන්න නම්  තමන් ගොදුරු වෙලා ඉන්න බව  දැන ගන්න ඕනැ..

භාවනාවක් තුළින් ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීම ඔවුන්ගෙන් ආරක්ෂා වීමට තිබෙන හොඳම ක්‍රමයයි. නිතර පවත්වාගන්නා චිත්ත සමාධිය මඟින් ශරීර කිරණ ශක්තිය වැඩි වෙනවා. සිතේ චංචල ගතිය, පහසුවෙන් දුර්වල වන ස්වභාවය, .අශුද්ධ එහෙමත් නැත්නම් සෘණ මානසික ශක්තීන්ගේ බලපෑමට හසු වන තත්වය නැති වෙනවා. නිතර සමාධිය වඩන කොට සූක්ෂම ශරීරය විදියට හඳුන්වන ශරීර ආලෝක කිරණ ශරීරයෙන් පිටතට විහිදෙන දුර ප්‍රමාණය වැඩි වෙනවා. සංක්‍යාත තරංග බලවත් වෙනවා.අශුද්ධ මානසික බලවේගවලින් ඉබේටම ආරක්ෂාව සැලසෙනවා.
 
දියුණුවේ හා සාර්ථකත්වයේ ස්ථාවරත්වය පවත්වාගැනීමට උපාය කෞශල්‍ය අත්‍යවශ්‍ය වෙනවා. උපාය කෞශල්‍ය කියන්නෙ බුදු දහමේ සඳහන් වන තෙවැදෑරුම් ඥානයෙන් එකක්. පුද්ගලයෙක් මොන තරම් දියුණුවට සාර්ථකත්වයට පත් වුණත් උපාය කෞශල්‍ය නොමැති තැන තම දියුණුව සාර්ථකත්වය පවත්වාගැනීමට අපහසු වෙනවා. වර්තමාන ලෝකයට උපාය කෞශල්‍ය අවශ්‍යමයි. අතීතයේ මෙන් නොවෙයි වර්තමානයේ ගැහැණු පිරිමි භේදයකින් තොරව සියලු දෙනා වඩ වඩාත් සමාජයට විවර විය යුතු වෙනවා. දවසෙන් වැඩි කාලයක් අන්‍යයන් සමඟ කටයතු කිරීමට සිදු වෙනවා.සෑම තැනකම ජීවමාන පිශාචයින් ගැවසෙනවා. ආගමික ලෝගු තුළ පවා වැම්පයර්ස්ලා(පිශාචයින්) සැඟව සිටිනවා නම් සෙසු තැන් ගැන කවර කතාද...  පුද්ගලයින් හඳුනා ගැනීම, තේරුම් ගැනීම දුෂ්කරයි. ගොදුරු බවට පත් වීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩියි.   


එවන් තත්වයක් තුළ ජන්ම පත්‍රයෙන් ලබා ගත හැකි ශුභසිද්ධිය ඉතාමත් ඉහළයි. අවාසනාවට බොහොමයක් ජ්‍යොතිෂවේදීන් බොළඳ කාරණා තුළම කැරකෙනවා මිස ජීවිතවල පවතින සැබෑ හිදැස් අවබෝධ කරගෙන ඒවා ආවරණය කරගැනීම සඳහා නිවැරදි මඟ පෙන්වීමක් සිදු කරන්නේ නෑ. වසර දහස් ගණනක් පැරණි ජ්‍යොතිෂ ශාස්ත්‍රය වර්තමාන ලෝකයට  පරිවර්තනය කර ගැනීම තුළ බොහොමයක් දෙනා දුර්වල තත්වයක පසු වෙනවා.  ආධ්‍යාත්මික වශයෙන් වර්ධනය නොවී බොහෝ දෙනෙක් අතීත සටහන් මතම යැපෙන බවක් ඔවුන්ගේ අදහස් හා ප්‍රකාශන තුළ පෙනෙන්නට තිබෙනවා.

සංජීව කුළුපන බණ්ඩාර 

Sunday, December 3, 2023

රාහු මහ දශාවෙදි මොකද වෙන්නෙ?

 


කන්‍යා ලග්නයේ රාහු දහවැන්නෙ හිටපු හිට්ලර් ඒ රාහු මහ දශාවෙදි ජීවිතයේ නොසුදුසුම තීරණය අරගෙන ජීවිතයෙනුත් වන්දි ගෙවන්න වුණා. කන්‍යා ලග්නයේ රාහු දහවැන්නෙ හිටි දකුණු ආසියාවෙ දේශපාලඥයෙක් ඒ රාහු දශාවෙදි  අගමැතිකමටත් පත් වෙලා දෙවතාවක් ජනාධිපති ධූරයටත් පත් වුණා.
 

මිනිස්සු අහනවා "රාහු මහ දශාවෙදි මොකද වෙන්නෙ?" කියලා. රාහු මහ දශාව මෙහෙමයි ගතවෙන්නෙ කියල ජ්‍යොතිෂවේදීන් විස්තර කරනවා. 
"රාහු දශාවෙදි ඉගෙනීම කඩාකප්පල් වෙනවා කියන්නෙ ඇත්තද ?"  මිනිස්සු අහනවා. 

උසස් පෙළ විභාගය ඉහළින් සමත්ව විශ්ව විද්‍යාල වෙත පිවිසෙන ළමුන් අතරේ රාහු මහ දශාව ගත කරන ළමුන් කොතෙක් නම් ඉන්නවද... ඒවගෙම, පාප මිතුරු ඇසුරට, මත් ද්‍රව්‍ය භාවිතයට යොමුව ජීවිතය අඳුරු කරගන්නා අයත් ඉන්නවා. රාහු දශාව ගතවෙන්නෙ මෙන්න මෙහෙමයි කියල කාටවත් කියන්න බෑ.  එක විදියෙ කේන්දර දෙකක් ලෝකෙ කොහෙවත් නෑ. ඇතැම් කේන්දර එකම විදියට පේන්න පුළුවන්. ඒක හඳුනාගැනීමේ දුෂ්කරතාවයක් මිස කේන්දර දෙකේ සමානතාවයක් නෙමෙයි.

රාහු දශාව ගත කරන ඇතැමෙක් අත ගහන සියලු දේ ඉහළින්ම සාර්ථක තත්වයට පත් කරගන්නා අතරෙ ඇතැමෙක් කිසිවක් කර කියා ගත නොහැකි තරමේ අසරණ තත්වයට පත් වෙනවා.

කෙනෙකුගේ මාපට ඇඟිලි සලකුණ ලෝකයේ මීට පෙර විසූවෙකුට හෝ හිමිව නොතිබීම මොන තරම් විශ්මයජනක කාරණයක්ද...එය අනාගතයේ උපදින කිසිවෙකුට හිමි වන්නේ ද නෑ. එය තමන්ගෙ පමණයි. කේන්දරය කියන්නෙත් එතරම් සියුම් පෞද්ගලික ගිණුමක්. එකම එක අයිතිකරුවෙක් පමණයි.

රාහු දශාව පමණක් නෙමෙයි කිසිම ග්‍රහයෙකුගෙ දශාවක් දෙන්නෙකුට එක සමාන වෙන්නෙ නෑ. ඒත් පොත්වල තියෙනවා. ඒ ඒ මහ දශාව තුළ, ඒ තුළ ලබන අතුරු දශා තුළ ලැබෙන්නෙ මෙන්න මේ ප්‍රතිඵල කියල. පොතට එහා නොගිය මිනිස්සු, ඉන් එහා අවබෝධයක් නැති අය කෙනෙකුගෙ මහ දශාවට, අතුරු දශාවට පොතේ සඳහන් ඵලාඵල කියනවා. 

දැනුම,ප්‍රඥාව පොත්වලින්ම ගත යුතු බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. තමන්ට ලැබුණු, තමන් පරිශීලනය කරන පොත් ගැන නිතර කතා කරන අය, පොත් සහ ඒවායේ අන්තර්ගතය නිතර ප්‍රදර්ශනය කරන අය ප්‍රඥාවෙන් ඉහළ තත්වයෙහි තබා සළකන අයත් ඉන්නවා. ජ්‍යොතිෂ සමූහ තුළ පමණක් නෙමෙයි කීප දෙනෙක් එකතු වෙලා පවත්වාගෙන යන චැට් ගෲප් ඇතුළෙත් පොතේ ගුරුන්නාන්සේලාට ඉහළ තැනක් හිමි වෙනවා. 

ප්‍රඥාව වඩවා ගත හැකි විධි තුනක් තියෙනවා.

1.චින්තාමය ප්‍රඥාව 
2 සුතමය ප්‍රඥාව 
3 භාවනාමය ප්‍රඥාව 

.
✱ අනුන්ගේ උපදෙස් නොලබා තමන් විසින්ම කල්පනා කොට ඇති කරගන්නා දැනීම         චින්තාමය ප්‍රඥාව යි.
✱ අනුන්ගෙන් අසා, අනුන්ගේ උපදෙස් අනුව ඇති කරගන්නා දැනීම සුතමය ප්‍රඥාව යි.
✱ භාවනාවෙන් ඇති කරගන්නා දැනීම භාවනාමය ප්‍රඥාව යි.

ඒ අනුව, පොතපත කියවා ලබාගන්නා දැනුම එකක් පමණයි. විශේෂයෙන්ම ආධ්‍යාත්මික විෂය ක්ෂේත්‍ර තුළ තමන් විසින්ම අවබෝධ කර ගත යුතු ප්‍රමාණය බොහොමයි. ඒ සඳහා කැප වීමෙන් යුතුව සිදු කරන නිසි ගවේෂණය මහත් සේ වැදගත් වෙනවා. එසේ නොවුණ හොත් අනුන්ගේ දේ පමණක් ගෙන එයම කියවන "ගිරවෙක්" බවට පත් වෙනවා.

සංජීව කුලුපන බණ්ඩාර 

Thursday, November 9, 2023

භූත ආත්ම සමඟ සන්නිවේදනය ට භාෂාවක් උවමනා ද?

 


භූත ආත්ම සමඟ සන්නිවේදනය ට භාෂාවක් උවමනා ද?


මේ කාන්තාව කාලයක් වරමක් හිමිව සිටි අයෙක්. සාස්තර කීම, අසනීප වුණු අයට ප්‍රතිකාර කිරීම වගේ දේවල් කරගෙන ගිහින් තිබුණා. හදිසියේ මතු වුණු ගැටලුවකදී එය තමන්ට විසඳාගැනීමට නොහැකිව ඇය වෙනත් ඇදුරෙක් හමුවට ගිහින් තියෙනවා. එතැනදි ඇදුරා මේ කාන්තාවගෙ ඥාතියා හිර කරලා. එතැන් පටන් මේ කාන්තාව රෝගී තත්වයට පත් වුණා. ඥාතියා ශරීරයට ආවත් ඇදුරාගේ බන්ධනය හින්දා හරියට යමක් කියාගන්න බෑ. එක්තරා අවස්ථාවකදි මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මගෙන් ඉල්ලීමක් කළා මේ ගැටළුව විසඳලා බිරිඳ සුවපත් කරලා දෙන්න කියල. 


ශාන්තිකර්මය කරන දවස. හවස් යාමයේ සියල්ල ලෑස්ති කරගෙන මල් ආසනය සකස් කරගෙන වැඩ කටයුතු කරගෙන යනවා.ඒ අතරතුර රාත්‍රියේ එක්වරම මේ කාන්තාව දණ ගාගෙන වැඳගෙන මල් ආසනය දිහාවට එනවා.  ඇවිත් බොහොම ආයාචනාත්මකව  නමුත් බොහොම සද්දෙන් කතා කරන්න පටන්ගත්තා. 

"මාව එලවන්න එපා...බන්ධනය කපලා නිදහස් කරන්න..මම යන්න කැමති නෑ. මම කලින් හිටියා වගේම මේ අයත් එක්ක ඉන්නවා. මාව එලවන්න හදන්න එපා..."

"මට පුලුවන්ද ඔය බන්ධනේ කපන්න ?" මම එහෙම ඇහුවෙ මොකද කියන්නෙ කියල බලන්න.

"ඔබවහන්සෙට පුළුවන්" 

"මොකෙන්ද මම ඕක කපන්න ඕනැ ?"

"කාලි මන්තරෙකින් කපන්න ඕනැ"

"හරි...කාලිගෙන්ද කාගෙන්ද කියන එක අදාල නෑ. මම සුදුසු විදියට වැඩේ කරන්නම්...එතකල් සද්ද නැතුව ඉන්න." (මොකද, බන්ධනය කපන්න මට මන්තරයක් අවශ්‍ය නෑ)


හොඳමයි කියල ඥාතියා ශරීරයෙන් පිට වුණා. කාන්තාවගේ පවුලේ අයගෙ අදහස වුණේ කරදරයක් නැතුව ඉන්නවා නම් බන්ධනෙන් නිදහස් කරලා ඥාතියාට ඉන්න හරින්න කියන එකයි. ඒ මොහොතේ ඥාතියා කාන්තාව හරහා කළ ප්‍රකාශය එතරම් සංවේදියි. නමුත් හොඳම සුදුසුම පිළිවෙත ඥාතියා බන්ධනයෙන් නිදහස් කරනවා මෙන්ම මේ කාන්තාවගෙන්ද ඉවත් කිරීම බව මම අවබෝධ කරගෙන හිටියා.


සන්නිවේදනය හා සම්බන්ධ වැදගත්ම අවස්ථාව තමයි මේ.  පසුදා අලුයම. ප්‍රේත තටුව කැප කරන්න සූදානම් වෙන අවස්ථාව.  කාන්තාව සහ පවුලේ සියලු දෙනා මා අසළට වෙලා බලාගෙන ඉන්නව. මේ වෙලාවෙ මම වචන භාවිතා කරන්නෙ නෑ. සිතුවිලි සන්නිවේදනය පමණයි සිද්ද වෙන්නෙ. වෙන්න ඕනැ සියලු දේ සිතුවිලි හරහා මම ඥාතියාට දැනුම් දුන්නා. වඩාත් හොඳම දේ නිදහස් වෙලා යන එක මිසක් තව දුරටත් ඔය තත්වයෙන් ඉන්න එක නෙමෙයි. ඔහොම ඉන්න ගියොත් කල්ප කාලාන්තරයක් ඔය විදියට ඉන්න වෙයි. කාවවත් අල්ලාගෙන ඉන්න එපා. අල්ලාගැනීම කියන්නෙ දුකක්. ඒ හින්දා අතඅරින්න. 

"චූටෝ මට ඔය සුරුට්ටුව පත්තු කරලා ගනින්..." කාන්තාව කිව්වා. 

කාන්තාවගේ ස්වාමිපුරුෂයා ප්‍රේත තටුවෙ තිබුණු සුරුට්ටුව පත්තු කරලා කාන්තාව අතට දුන්නා. ඇය සුරුට්ටුව දෙතුන් පාරක් තදින් උරලා විසිකළා. අනතුරුව බොහොම හැඟීම්බරව, දීර්ඝ කතාවක් ආරම්භ කරන ආකාරයට ඥාතියා කතා කරන්න පටන් ගත්තා. තමන් මෙපමණ වර්ෂ මාස දින ගණනක් මේ කාන්තාව ඇසුරේ ඇගේ පවුලේ උදවියට උපකාර කරමින් සිටි බවත්, අනපේක්ෂිතව සිර වුණු බන්ධනයෙන් නිදහස් වුණු බවත් පැවසුවා. එමෙන්ම, තව දුරටත් කිසිවකට බැඳී කටයුතු කිරීමට අදහසක් නොමැති බවත්, ඥාති කාන්තාව අතහැර කුසල් වැඩිය හැකි ස්ථානයකට(ප්‍රසිද්ධ සිද්ධස්ථානයක නම සඳහන් කරමින්) යන බවත්, නැවත කිසිදා නොපැමිණෙන බවත් සඳහන් කළා. මා සිතුවිලි හරහා සන්නිවේදනය කළ සියලු දේ ඉතාමත් හොඳින් පිළිගත් ආකාරය බලන්න. ඒ අමනුස්ස ආත්මය තුළ පෙර දින රාත්‍රියේ පැවතී තෘෂ්ණාව අලුයම වන විට තුරන්ව ගිය ආකාරය බලන්න. කාන්තාවගේ සැමියා ඇතුළු පවුලේ සාමාජිකයින් කඳුළු සලමින් කතාවට සවන් දෙමින් ඉන්නවා. කතාව අවසන් කර මොහොතක් නිහඬව සිටි ඥාතියා මාගේ විදානයට අනුව කාන්තාවගේ ශරීරයෙන් ඉවත් වුණා. ඇද වැටුණු කාන්තාව අසල සිටි අය අල්වා ගත්තා. ඥාතියා සිර වුණු දා පටන් ඇගේ ශරීරයේ තිබුණු දැඩි අපහසුතාවන්, පීඩාවන් ඒ මොහොතේම නැති වෙලා ගියා.

මේ  අමනුස්සයා එහෙමත් නැත්නම් ඥාතියා වුණේ  කාන්තාවගෙ සැමියාගේ පියා. ඔහු බාල පුතාට සුරතලයට කතා කරලා තියෙන්නෙ චූටා කියල. මේ ඥාතියා අංශභාගය හේතුවෙන් කාලයක් එක්තැන් වී ඉඳලා තියෙනවා. ඒ කාලෙ පවුලෙ කවුරුවත් ඔහුට බුලත්විට,සුරුට්ටු වගේ දේවල් දීලා නෑ. චූටා තමයි  අනිත් අයට හොරෙන් සුරුට්ටුවක් දල්වලා දීලා තියෙන්නෙ. ඒ කාලෙත් සුරුට්ටුවක් ඕනැ වුණාම "චූටෝ සුරුට්ටුවක් පත්තු කරලා දීපන්" කියල ඔය විදියටම කියනවලු.


ඉතින් මේ සිදුවීමත් එක්ක විශේෂයෙන් කිව යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි  ආධ්‍යාත්මික ලෝකය තුළ භාෂවකින් වැඩක් නෑ කියන කාරණය. භාෂාවක් අවශ්‍ය වෙන්නෙ භෞතික ලෝකයට විතරයි. ආධ්‍යාත්මික තලයේදී සන්නිවේදනය සිද්ද වෙන්නෙ සිතුවිලි හරහා පමණයි.


මේ වැඩේ ඇදුරෙක් කරන්නෙ ඔය විදියට නෙමෙයි. ඇදුරෙකුට, එහෙමත් නැත්නම් කවුරුත් දන්නා පරිදි කට්ටඬි මහත්තයෙකුට යාදිනි,කන්නලව්,කවි, බෙර, කුකුල්ලු, නැටුම් ආදී නොයෙක් අංග එක්ක ලොකු තොවිලයක් කරන්න සිද්ද වෙන්න පුළුවන්. නමුත් අධ්‍යාත්මික තලයේ කෙනෙකුට පිරිපහදු කරගත් සිතෙන් ඒ කියන්නෙ සමාධියෙන් සියල්ල නිවැරදිව කරන්න පුළුවන්  ප්‍රේත තටුව වුවත් නොදී අමනුස්සයෙක් ඉවත් කරන්න පුළුවන්. නමුත් අපේ සංස්කෘතියට අනුව වගේම මනුෂ්‍යත්වය අනුවත්   කිසිවෙකුට නොසළකා ඉවත් කිරීම සදාචාරසම්පන්න නෑ. ඔවුන්ට දෙන දානයක්, සංග්‍රහයක් විදියට ප්‍රේත තටුවක් පිරිනමනවා.


යක්ෂ,ප්‍රේත,බහිරව බලවේග සමග පමණක් නෙමෙයි දෙවි දේවතාවුන් සමඟ සන්නිවේදනයටත් ස්තෝත්‍ර,කවච,කවි,යාදිනි අවශ්‍ය නෑ. අවශ්‍ය වෙන්නෙ සමාධිය පමණයි.


සංජීව කුළුපන බණ්ඩාර.

Friday, October 13, 2023

කය, සූක්ෂම කය සහ නිවන.



 කය, සූක්ෂම කය සහ නිවන.


විශ්වයේ සියලු දේ නිර්මාණය වී ඇත්තේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මූල ධාතු හතරෙන්. මේ මූල ධාතු ආකාශ ධාතුව තුළ ඉතාමත් වේගයෙන් භ්‍රමණය වෙනවා. කෙතරම් වේගයෙන් භ්‍රමණය වෙනවද කියනවා නම් සෑම සියලු දෙයක්ම අඛණ්ඩව පවතින බවක් පෙනෙනවා. ඒත්, අප මෙන්ම අපට පෙනෙන කිසිවක් පෙනෙන ලෙසටම පවතින්නේ නෑ. සියල්ල ඇති වෙමින් නැති වෙමින් පවතිනවා. එනම් මූල ධාතු ඉතාමත් වේගයෙන් චලනය වෙනවා. එය දැකිය හැක්කේ විදර්ශනා වැඩූ අයෙකුට පමණයි. ලොව සියලු දේ මෙන්ම මිනිස් ශරීරයේත්  මේ මූල ධාතු ඉතාමත් වේගයෙන් භ්‍රමණය වෙනවා. අප දකින සෑම සියලු දේකම එහි පෙනෙන මායිමෙන් ඔබ්බෙන් වූ තවත් සියුම් ස්ථරයක් පවතිනවා. එය අපට දර්ශනය වන්නේ නෑ. අපට දැකිය හැකි පරශයක් තියෙනවා. එම පරාශයට හසු නොවන කිසිවක් අපට දැකිය නොහැකියි. සියලු වස්තූන් වටා පිහිටි සියුම් ස්ථරය දැකීමට නම් අපේ දෘෂ්ටි පරාශය වඩාත් සුසර කර ගත යුතුයි. මිනිස් කය වටා පිහිටි මේ සියුම් ස්ථරය බොහෝ විට මනෝ කාය ලෙස හැඳින්වෙනවා. එය සූක්ෂම කය නැතිනම් සියුම් කය ලෙස හැඳින්වීම වඩාත් යුක්ති සහගතයි.  ශරීරය වටා පවතින මෙම සියුම් ස්ථරය තුළ අඩංගු වෙන්නෙත් පෙර පැවසූ මූල ධාතු සතරම යි. ලොව සෙසු සියලු දේ වටා පවතින සියුම් ස්ථරය සෑදී තිබෙන්නෙත් මෙම මූල ධාතුවලින්ම යි. අපගේ පෙනෙන ශරීරය දළ ශරීරය ලෙසත් නොපෙනෙන සියුම් ස්ථරය සූක්ෂම ශරීරය ලෙසත් හඳුන්වනවා. සූක්ෂම ස්ථරය ශරීරයේ පටන් අඟලක පමණ ප්‍රමාණයක් පිටතට විහිදී පවතිනවා.


සත්වයෙක් මව් කුස පිළිසිඳ ගත මොහොතේ පටන් මරණය අත් විඳිනවා. එනම් ඇති වෙමින් නැති වෙමින් පවතිනවා. ලෝක සම්මත මරණය නම් කය අතහැර යාම යි. කය අත හැර යන සත්වයා සූක්ෂම ශරීරය සමඟ ගොස් තවත් ජීවිතයක් ආරම්භ කරනවා. මව් කුසකට වැදී නැවත සැකිල්ලක් නිර්මාණය කරගැනීමට ද නැති නම් තිරිසන් කුසකට වැදීමට ද, ප්‍රේතයෙක් ලෙස සූක්ෂම කය පවත්වා ගැනීමට ද ඉඩ තිබෙනවා. 

භාවනාවෙහි යෙදෙන පුද්ගලයින්ගේ ශරීරය කාන්තිමත් වීමේ රහස නම් ඔවුන්ගේ සූක්ෂම ශරීරය වඩ වඩාත් අවකාශයට විහිදී යාමයි. මමය මාගේය යනුවෙන් මමත්වය තදින් අල්වාගෙන සිටීම (සක්කාය දිට්ටිය) සූක්ෂම ශරීරය පැවතීමට හේතුව බැවින් මමත්වය දුරු කිරීමත් සමඟ සූක්ෂම ශරීරය අවකාශයට වඩාත් විසිරී යන තත්වයක් ඇති වෙනවා. සත්වයා භවයට බැඳ තබන දස සංයෝජන අවබෝධයෙන්  ප්‍රහීන කළ විට සූක්ෂම ශරීරයට තව දුරටත් පැවැත්මක් නෑ. එවිට නැවත ඉපදීමක් නෑ. 

සංජීව කුළුපන බණ්ඩාර.









Wednesday, September 27, 2023

අග්නි මාරුත යෝගය.

 



ග්‍රහ යෝග ගණනින් මෙපමණයැ යි කිව නොහැක. මේ, අනන්ත යෝග අතරින් එකක් වූ "අග්නි මාරුත" යෝගය හෙවත් ශනි මංගල යෝගය ගැන යි. කුජ හා ශනි එක්ව උදා කරනු ලබන අග්නි මාරුත යෝගය බහුලව හැඳින්වෙන්නේ ශනි මංගල යෝගය ලෙස යි. නැති නම් කුජ ශනි යෝගය ලෙස යි. නම කෙසේ වෙතත් යෝගය උදා වන්නේ කුජ හා ශනි ග්‍රහයින් දෙදෙනා ගෙනි.  ගින්න හා සුළඟ එක් වීම මොන තරම්  අනතුරුදායකදැ යි කෙනෙකු සිතන්නට ඉඩ තිබේ. ජ්‍යොතිෂය තුළ මෙම යෝගය සැළකෙන්නේ මහත් ශක්තියක් උත්පාදනය කෙරෙන ග්‍රහ සංයෝගයක් ලෙස යි. ඒ ගින්න හා සුළඟ එක් වූවා මෙනි. යෝගයේ ශක්තිය ඉෂ්ට ඵල ලබා දෙන්නේද, අනිෂ්ට ඵල ලබා දෙන්නේද යන්න තීරණය වන්නේ එය යෙදුණු ස්ථානය අනුව ය. අග්නි මාරුත යෝගය උදා වන්නේ කුජ හා ශනි එකම භාවයක තැන්පත් වීමෙන් හෝ අනොන්‍ය දෘෂ්ටියට ලක් වීමෙනි. 


මෙහිදී විග්‍රහ කෙරෙන්නේ කුජ ශනි එකම භාවයක සිටීමෙන් යෙදෙන අග්නි මාරුත යෝගයේ බලපෑම ගැන යි.


කුමන යෝගයක් වූව ද එය යෙදුණු පමණින් ඉෂ්ට හෝ අනිෂ්ට ඵල උදා කරනවායැ යි පැවසීම යුක්ති සහගත නොවේ. එය තවත් බොහෝ සාධක මත රැඳී පවතියි.


අග්නි මාරුත යෝගය කේන්දරයේ ඒ ඒ ස්ථානවල සටහන් වීම ජන්මියාට බලපාන ආකාරය මෙසේ ය.


1. පළමු භාවය : පළමු භාවය හෙවත් ලග්න භාවය කේන්දරයක ඉතාමත් වැදගත් ස්ථානයකි. මෙම භාවයේ ශක්තිය තමන්ට මෙන්ම විවාහ ස්ථානය වූ හත් වැන්නට ද බලපාන බැවින් ලග්න භාවය තුළ සටහන්ව පවතින කවර යෝගයක් වූව ද අති විශේෂ වෙයි.

පළමු භාවයේ අග්නි මාරුත යෝගය යෙදීම ජන්මියා පසුබට නොවන, ධෛර්යවන්ත තත්වයට පත් කරන යෝගයකි. උත්සාහය අත නොහැර තම ඉලක්ක වෙත ගමන් කිරීමේ හැකියාව ලබා දෙයි. පාලන කටයුතුවලට විශේෂයෙන් හමුදා, බන්ධනාගාර, බුද්ධි අංශ, අපරාධ මර්දන අංශ ආදී ක්‍ෂේත්‍රවලට ඉහළ දක්ෂතාවය ඇති කරවන පිහිටීම කි. කෙසේ වෙතත් පළමු භාවයේ යෙදෙන මෙම යෝගය හේතුවෙන් ජන්මියා ඉක්මනින් කෝපයට පත් කරවන බව ද මතක තබා ගත යුතුය.  එමෙන්ම මෙහි බලපෑම විවාහයට  ඉතාමත් අහිතකර ආකාරයට බලපෑම් එල්ල කළ හැකියි. විවාහ ජීවිතයේ සතුට සමගිය කඩා බිඳ දැමිය හැකි යෝගයකි.


2.දෙවැනි භාවය: දෙවැනි භාවය සම්බන්ධයෙන් බොහෝ විට අසන්නට ලැබෙන්නෙ එකම ආකාරයේ කරුණු ය. මෙය ධනය වස්තුව ගැන ප්‍රකාශවත් වන ස්ථානය වූව ද එම ලැබෙන සියලු දේ සමඟ ජන්මියාගේ හැඟීම් ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගත හැකි ස්ථානය යි. ජන්මියෙකුගේ කතාව මතුපිටින් පැමිණෙන්නක් නොව ඇතුළාන්තයෙන් පැමිණෙන්නකි. දෙවැන්නෙන් තම පවුලේ සුරක්ෂිතතාවය ප්‍රකාශවත් වන්නේ ද මෙය ඇතුළාන්තය සමඟ සමීප ස්ථානයක් බැවිනි.

අග්නි මාරුත යෝගය දෙවැන්නේ යෙදීමෙන් ජන්මියා තමන්ට ලැබෙන දේවල්වලින් පහසුවෙන් තෘප්තිමත් භාවයට පත් නොවන තත්වයට පත් වෙයි. මොවුන්ගේ ආශාවන් අන්‍යයන්ට තේරුම් ගැනීම පහසු නොවේ. තම සමීපතමයන් සමඟ කටයුතු කිරීමේදී සිත් පෑරෙන ආකාරයේ ගොරෝසු ස්වභාවයක් ඇති වෙයි. විවාහ පාර්ශවයේ ඥාතීන් සමඟ ගැටුම් ඝට්ටන ඇති විය හැකි තත්වයකි. ද්‍රව්‍යමය දේවල් මනාව ආරක්ෂා කර ගත හැකි වන නමුත් පවුලේ සතුට සමාදානය රැක ගැනීම දුෂ්කර විය හැක.


3. තුන්වැනි භාවය: අග්නි මාරුත යෝගයට ගැළපෙන ස්ථානයකි. නොපසුබටව ඉදිරියට යාමේ ශක්තිය හිමි වෙයි. යම් උත්සාහයක් වරක් දෙවරක් අසාර්ථක වූවද අත නොහැර ඉදිරියට යාමේ ශක්තිය හිමි කර දෙන යෝගය කි. ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විශේෂ බලකා, කමාන්ඩෝ සෙබළුන්, අණ දෙන නිලධාරීන් සටන් කරුවන්, සටන් නළුවන්, රහස් පරීක්ෂකයින් ආදීන්ට අගනා ඵල ලබා දෙන කදිම පිහිටීම කි. මෙය සහජ ස්ථානය බැවින් කුමන වාතාවරණයක් යටතේ වූව ද ඉදිරියට හඹා යාමේ හැකියාව උපතින්ම හිමි වේ. ක්‍රීඩා කටයුතුවලදී ඉහළ දක්ෂතා පෙන්නුම් කිරීමට අවස්ථා උදා කරයි.  

සහෝදර සම්බන්ධතාවලදී ගැටළු මතු වීමට ඉඩ කඩ පවතී.

පාතාල ක්‍රියාවල නියැලෙන්නෙකු නම් අති ශූර පාතාලයෙක් බවට පත් වෙයි.


4. සිව්වැනි භාවය: සිව්වැනි භාවයෙන් ප්‍රකාශවත් වන්නේ ජන්මියාගේ ඇතුළාන්තය යි. හදවතේ ස්වභාවය යි. සිසිලස මෘදු බව පැවතිය යුතු තැනක අග්නි මාරුත යෝගයෙන් යහපත් ඵලයක් අත් නොවේ. මෙමගින් පමණට වඩා දැඩි ස්වභාවයත්  අනුකම්පා විරහිත බවත් ඇති වෙයි. ජීවිතයේ යම් කාල සීමාවක් ලෞකික අතින් සාර්ථකව ගත කිරීමට හැකියාව ලැබුණ ද එය කල් පවත්වා ගැනීමට අපහසු වෙයි. ගෙදරදොර සැනසිලිදායක තත්වය වරින් වර බිඳ වැටෙයි. ජීවිතයේ අවසාන කාලය දුකක් කරදරයක් නොමැතිව නිදහසේ සුවසේ ගත කළ යුතු වූවද මෙම යෝගය හේතුවෙන් එම තත්වය මඟ හැරේ. අවසන් කාලය තුළ දුක් කරදර මානසික පීඩා ඇති වෙයි. තමන් ආශාවෙන් රැකගත් දේපළ ගේදොර ආදී වටිනා දේ අන්‍යයන් අතට පත් වීමට ඉඩ කඩ ඇති කරන පිහිටීමකි. 

පපුව ආශ්‍රිත සංකීර්ණ අසනීප විශේෂයෙන් හෘද රෝග පිලිබඳ අවදානමක් ද මෙමගින් ඇති වෙයි.


5. පස්වැනි භාවය: මෙය අශ්වාදයේ නිවහන යි. සතුට ඇති කරන තැන යි. කරන කියන කටයුතුවලින් ජන්මියා ලබන ආත්ම තෘප්තිය කෙබඳුදැ යි හෙළි කරන භාවය යි. සතුට ආත්ම තෘප්තිය වෙනුවෙන් ජන්මියාගේ ක්‍රියා කලාපය මොන වගේද යන්න ප්‍රකාශවත් වන ස්ථානය යි.  අග්නි මාරුත යෝගය පස්වැන්නේ පිහිටි ජන්මීන්ට ක්‍රීඩාවලින් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වෙයි. ත්‍රාසජනක ක්‍රීඩා, කඳු නැගීම්, මල්ලව පොර, සටන් ක්‍රම, අසුන් පිට යාම, ගුවන් ක්‍රීඩා විශේෂයෙන් යෝග්‍ය වෙයි. හදිසි දුෂ්කර අවස්ථාවන්හිදී කඩිසරව කටයුතු කිරීමේ හැකියාව ලබා දෙයි. ගංවතුර, නාය යාම් වැනි ආපදා අවස්ථාවලදී නොබියව ඉදිරියට යාමේ ශක්තිය මොවුන් සතු වෙයි.

දුෂ්කර අවදානම් කටයුතුවලට නොපැකිළිව ඉදිරිපත් වීම මොවුන්ගේ සහජ සිරිතක් වූව ද එය පොදු සමාජය වෙනුවෙන් ද තම පෞද්ගලික ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් ද යන්න තීරණය වන්නේ සෙසු ග්‍රහ පිහිටීම් අනුව ය.


6. හයවැනි භාවය: මෙම භාවය බන්ධන ස්ථානය කි. ජන්මියා මුහුණ දෙන බාධක අභියෝග, සතුරු බලපෑම්  හා ඒවා ජයගන්නා ආකාරය හයවැනි භාවය හෙළිදරවු කරයි. තමන් තමා කෙරෙහි දක්වන සැළකිල්ල කෙබඳුදැ යි ප්‍රකාශවත් වන්නේ ද හයවැනි භාවයෙනි.  හයවැනි භාවය තුළින් ප්‍රකාශවත් වන තවත් වැදගත් කාරණයක් නම් සාංසාරික ණය ගෙවන ආකාරය යි. අග්නි මාරුත යෝගය ඉතාමත් හොඳින් ගැළපෙන ස්ථානයකි. බාධක අභියෝග සතුරු බලපෑම් සියල්ලට ඔරොත්තු දීමේ ශක්තිය ජන්මියාට සහජයෙන් හිමි කර දෙයි. දුෂ්කරතා මධ්‍යයේ වූව ද දැඩි කැපවීමෙන් කටුතු කිරීමේ හැකියාව මෙන්ම තම මානසික, ශාරීරික  සෞක්‍යය රැක ගනිමින් නිරෝගී සම්පන්න ජීවිතයක්‌ ගත කිරීමේ භාග්‍යය ද උදා වෙයි.


7. හත්වැනි භාවය: අග්නි මාරුත යෝගයේ අනිෂ්ට, අහිතකර බලපෑම් ඉතාමත් දැඩිව බලපාන ස්ථානයකි. පළමු භාවය තමන් නියෝජනය කරන අතර හත්වැන්න නියෝජනය කරන්නේ අනෙකා ය. අනෙකා කවුරුන්ද, අනෙකා ජීවීතයට එල්ල කරන බලපෑම් කෙබඳුද ආදී වශයෙන් හත් වැනි භාවය ඉතාමත් වැදගත් තොරතුරු රාශියක් හෙළිදරව් කරයි. යුග දිවිය, ජීවන සම්බන්ධතා, සහයෝගීතාවයන් සියල්ලට අනුකම්පා විරහිතව වින කටින පිහිටීමකි.  විවාහය ප්‍රමාද වීම, නොගැළපීම් සහිත විවාහයක් උරුම වීම, යුග දිවියේ සතුට සැනසීම බිඳ වැටීම, විවාහය හේතුවෙන් දැඩි මානසික පීඩාවන් ඇතිවීම ආදී වාතාවරණයන් උදා විය හැකිය. අනපේක්ෂිත දුෂ්කරතා ඇති කරවන ආකාරයේ බැඳීම් ඇති වීමටත්, සමීප වන ඇතැම් චරිත හේතුවෙන් ගැටළු කරදරවලට මුහුණ දීමටත් සිදු විය හැකිය. 


8.අටවැනි භාවය: කේන්දරයේ අභිරහස් නිවස අටවැනි භාවයයි. එය බොහෝ විට හැඳින්වෙන්නේ මාරක ස්ථානය ලෙස ය. මිනිසා උපදින්නේ අතරමගදී ය. ඉපදුනාය මැරුණාය කියා ගමන අවසන් නොවේ. එක් අතකින් අවසානයක් ගැන කියැවෙන අතරම  ආරම්භයක් ගැන ද කියයි. මරණය යනු අවසානයක් නොවේ. එය ආරම්භයක් ද වෙයි. ඒ අනුව අටවැන්න පරිවර්තනීය ස්ථානයකි. පරිවර්තනය සඳහා ධෛර්ය හා ඔරොත්තු දීමේ ශක්තිය අවශ්‍ය වෙයි. අටවැන්නේ වූ අග්නි මාරුත යෝගය ජන්මියා ධෛර්යවන්ත, ඔරොත්තු දීමේ ශක්තියෙන් යුතු තත්වයට පත් කරයි.  මරණය පෙනි පෙනී වූවද නොබියව ක්‍රියාත්මක වීමේ හැකියාව මෙයින් ලැබෙයි. මොවුන් එඩිතරය. 

කාන්තා කේන්දරයක අටවැන්නේ යෙදෙන අග්නි මාරුත යෝගය ස්වාමි පුරුෂයාට අපල විපත් එල්ල කිරීමට ඉඩ කඩ තිබේ.


9.නවවැනි භාවය: මෙය කේන්දරයේ පුණ්‍ය භූමිය යි. දිව්‍ය භවන යි. දෙවියන් සෙවිය යුත්තේ පිටත නොව ඇතුළාන්තය තුළ ය. ඒ සඳහා වූ අධ්‍යාත්මික ශක්තිය කෙබඳුදැ යි පැවසෙන්නේ නවවැනි භාවය තුළින් ය. නවවැන්නේ යෙදෙන අග්නි මාරුත යෝගය ජන්මියාගේ අධ්‍යාත්මික නැඹුරුව හීන කරවන අතර මතුපිටින් වූ ආගමික භක්තිය පමණක් විදහා දක්වයි. පන්සලට ගොඩ වැදුණු පාතාලයා මෙනි. ඇතුළාන්තයේ වූ උපායශීලී අශුද්ධ අරමුණු, සැලසුම් සියල්ල මතුපිටින්  වූ ආගමික භක්තියෙන් වැසී පවතී. ගුරුවර වැඩිහිටි ආදීන් කෙරෙහි ඇති විය යුතු භක්තිය හා ගරුත්වය හීන වෙයි. ඇතැම් විට එය ද මතුපිටින් පමණක් පෙනෙන්නට ඉඩ තිබේ. උරුම හිමිකම් සම්බන්ධයෙන් ගැටළු කරදර ඇති වුණ ද කුමනාකාරයෙන් හෝ යමක් තමන් සතු කර ගැනීමට හැකි වෙයි.


10. දසවැනි භාවය:  සිව්වැන්නෙන් ඇතුළාන්තය ගැන කියැවෙන අතර ඊට මුහුණලා පිහිටි දසවැන්නෙන් භාහිර ජීවිතය ගැන කියැවෙයි. භාහිර ජීවිතය තනිකරම ක්‍රියාන්විතයකි. අරගලයකි. කප්පරක් වැඩ කටයුතුවල යෙදෙන්නට සිදු වෙයි. රැකියාවක යෙදිය යුතුය. නැති නම් ව්‍යාපාරයක් කළ යුතුය. ජයග්‍රහණය සඳහා ද,  දියුණුව හා සාර්ථකත්වය සඳහාද, අන්‍යයන් වෙනුවෙන් ද වෙහෙසිය යුතු ය. මෙම අරගලය තුළ කැප වීමෙන් කටයුතු කිරීමේ ශක්තිය අග්නි මාරුත යෝගය ජන්මියා වෙත ලබා දෙයි. තමන් නියැලෙන ක්‍ෂේත්‍රය තුළ වෙහෙස නොබලා කටයුතු කිරීමේ හැකියාව ලබා දෙයි. යෙදෙන කාර්යය තුළ තම භූමිකාවට ඉහළ සාධාරණයක් ඉටු කරලීම සඳහා අගනා දායකත්වයක් ජන්මියාට හිමි කර දෙයි.


11.එකොළොස්වැනි භාවය: මෙය ලාභස්ථානය හෙවත්  අයස්ථානය යි. ලැබෙන තැන යි. පස්වැනි භාවයෙන් ආශ්වාදය, ආත්ම තෘප්තිය හෙළි කරන අතර ඊට ඉදිරියෙන් පිහිටි එකොළොස්වැනි භාවයෙන් පෙන්වන්නේ ආශ්වාදනය සඳහා වන ලැබීම් ය. ඒ සඳහා වන අවස්ථාවන්ගේ ලැබීම ද එකොළොස්වැන්නෙන් හෙළි වෙයි (අවස්ථාව යනු ද ලැබීමකි). එකොළොස්වැන්නේ යෙදුණු අග්නි මාරුත යෝගය ජන්මියාගේ ලැබීම් විකෘති කරවයි.  කැමති දේ, රුචි දේ මඟ හරවමින් විඳිය නොහැකි, ආශ්වාදනය කළ නොහැකි දේ ලබා දෙයි. රුචිකත්වයට අදාල ලැබීමේ  අවස්ථා මඟ හරවයි. පිරිස සීමා කරයි. නොගැළපෙන සමාජ සම්බන්ධතා ගොඩනංවයි. 


12.දොළොස්වැනි භාවය: මෙය හැඳින්වෙන්නේ වැයස්ථානය ලෙසයි.  බන්ධන මුදාහරින තැනයි. ගැඹුරු විඥානයට සම්බන්ධ ස්ථානය යි. පෙනෙන පුද්ගලයා නොව නොපෙනෙන පුද්ගලයා පිළිබඳව හෙළි කරන භාවය යි. බොහෝ දෙනෙකුගේ වැරදි අර්ථකථනයන්ට ලක් වුණු භාවයකි. 

දොළොස්වැනි භාවයට අග්නි මාරුත යෝගය අයහපත් වෙයි. අරමුණක් ඉටු කරගැනීමේදී අනපේක්ෂිත බාධා හේතුවෙන් අතරමඟ නතර කිරීමට හෝ වෙනස් කිරීමට සිදු වෙයි. රැකියා කටයුතු ආදිය ද බලාපොරොත්තු නොවූ පරිදි වෙනස් කිරීමට සිදු විය හැකියි. මානසික ශාන්තභාවය අසමතුලිත වෙයි.   මානුෂික පරිත්‍යාග සසර ගමනේදී අතිශයින් වැදගත් වන නමුත් මෙමගින් ඒ සඳහා වන පෙළඹීම හීන වෙයි. එසේ නැතහොත් එය පූර්ණ පරිත්‍යාගයක් ලෙස අවසන් කර ගැනීමට නොහැකි වෙයි. මානසික සෞක්‍යයට අසුබදායක තත්වයකි. වැරදි කල්පනාවන් ඇති විය හැකියි.


සංජීව කුළුපන බණ්ඩාර 

Friday, July 14, 2023

 


හරෝ හරා...   හරෝ හරා...   හරෝ හරා... 


ඒ සූර්යයා වෙනුවෙන් හඬ නගා කෙරෙන ප්‍රීති ඝෝෂාවකි. හරෝ හරා යැයි කියූ සැනින් අපගේ මතකයට නැඟෙන්නේ කතරගම ය. පතර තෙද ඇති කතරගම දෙවියන්ය. එහෙත් හරෝ හරා යැයි හඬ නගන්නේ සූර්යයා වෙනුවෙන්ය. ඒ කතාව මෙසේය.

හෙළයේ දෙවිවරු ප්‍රබන්ධිත දෙවිවරු නොවේ. ඔවුන් යම් කලෙක මහා බලපරාක්‍රමයෙන් යුතු රජවරු ය. වීරෝධාර සෙන්පතියන්ය. ජනහිතකාමී යුක්තිගරුක මිනිසුන්ය. කතරගම දෙවියන්ද එක් සමයක හෙළයේ නරපතියෙකි. කතරගම කන්දේ රාජ මාළිගයක උපන් රජ දරුවෙකි. මහා සේනාවන්ගෙන් යුතු එඩිතර නරපතියෙකි. වැව් අමුණු තනා කුඹුරු අස්වද්දා හෙළය ස්වයංපෝෂිත කළ පාලකයෙකි. හෙළ රාජධානියට අමතරව භාරතයේද රාජධානි පහක බලය සතු කරගෙන විජය කොඩි ලෙලවූ රජෙකි. අංගම් ශිල්පයේ කෙලපැමිණියෙකි. එතුමන් නමින් මහාසේන හෙවත් මහසෙන් ය. පසු කාලයේ කන්දේ කුමාර හෙවත් කතරගම දෙවියන් බවට පත් වන්නේ ඒ හෙළ නරපතියා ය. මහසෙන් දෙවියන් ලෙස හැඳින්වෙන්නේද කතරගම දෙවියන්ම ය. මේ කියැවෙන්නේ මින්නේරිය වැව ඉදි කළ මහසෙන් රජු ගැන නොවන බව අවබෝධ කර ගත යුතුය.  රාවන රජු පාලනය කළ රාජ්‍යයන් දහය මුහුණු දහයකින් නිරූපණය වනවා මෙන්ම කතරගම දෙවියන්ගේ මුහුණු හයෙන් නිරූපණය වන්නේ මහසෙන් රජු පාලනය කළ රාජධානි හය යි. 

මහසෙන් රජු  ද රාවන රජු මෙන් හිරු දෙවියන් පිදූ රජෙකි. ඔවුහු සමකාලීන රජවරු ය. ඔවුන්ගේ කිරීට, සිංහාසන, කුඩ කොඩි සේසත්වල  පවා මූලික සංකේතයක් වූයේ හිරු ය. හරෝ හරා යනු හිරු දෙවියන්ට ද, හිරු දෙවියන් පිදූ හෙළ රජවරුන්ට ද  ජය ඝෝෂා නැඟීම සඳහා භාවිතා කරන ලද ප්‍රීති වාක්‍යයකි. 

ඇතැමුන් සිතන පරිදි කතරගම දෙවියන් වූ කලී ද්‍රවිඩ දෙවියෙකි. ඒ ස්කන්ද නම ව්‍යවහාර කෙරෙන බැවිනි. කාලයාගේ ඇවෑමෙන් හෙළ දේවතාවන්, දේවතාවියන් බොහොමයක් ද්‍රවිඩ දෙවි දේවතාවියන් බවට පත්ව තිබීම කණගාටුදායකය.


සංජීව කුළුපන බණ්ඩාර 




Monday, May 15, 2023

ෂඩ් විධ බලය


කැලය මාරු වූවාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව සැබෑය. එහෙත් කොටියාට හරියන්නේ කැලෑවක්මය. කාන්තාරයට ගැළපෙන්නේ ඔටුවාය. කිඹුලා වීරයෙකු වන්නේ ජලයේදීය. වෛද්‍යවරයාට ගැළපෙන්නේ රෝහල මිස උසාවිය නොවේ. නීතීඥයාට ගැළපෙන්නේ උසාවිය මිස රෝහල නොවේ. ග්‍රහයින්ටත් ගැළපෙන නොගැළපෙන තැන් තිබේ. ගුරු නොම්බර එකේ සුබ ග්‍රහයා යැයි කිව්වාට ගුරුටත් කටඋත්තර නැති තැන් තිබේ. සෙනසුරු යාචකයා යැයි කිව්වාට සුපිරි දස්කම් පෙන්විය හැකි තැන් සෙනසුරුට තිබේ. මේ කතාව කේන්දරය ඇතුලෙ ග්‍රහයො සුපිරි වැඩකාරයො වෙන තැන් ගැනය. 


ග්‍රහයින් බලවත් වන ආකාර 6 කි. ඊට "ෂඩ් විධ බලය" යැයි කියනු ලැබේ. ඒ ආකාර හය මෙසේය.


01 ස්ථාන බලය

02 දිග් බලය  (දිශා බලය)

03 වේෂ්ටා බලය

04 කාල බලය

05 දෘෂ්ටි බලය

06 නෛසර්ගික බලය.

මෙහි විස්තර කෙරෙන්නේ දිග් බලය හෙවත් දිශා බලය ගැනයි. 


කේන්දරයේ සතර දිග්භාගය හෙවත් දිශා හතර මුළින්ම දැන ගත යුතුය. 

ලග්නය හෙවත් පළමු භාවය නැගෙනහිර දිශාවයි.

සිව්වැනි භාවය උතුරු දිශාවයි.

දසවැනි භාවය දකුණු දිශාවයි.

හත්වැනි භාවය බටහිර දිශාවයි.


පළමු භාවයට හෙවත් නැගෙනහිර දිශාවට ගැළපෙන්නේ බුධ සහ ගුරුය. මේ ඔළුව ගැන ඔළුවේ ක්‍රියාකාරිත්වය ගැන කියන තැනයි.  ඔළුව යැයි කිව්වාට මින් අදහස් කරන්නේ මුහුණ හිසකෙස් ආදී පිටට පෙනෙන දේවල් පමණක් නොවේ. පළමු භාවයෙන් මනසේ ස්වභාවය එළිදරවු කෙරේ. මනස තුල ස්නායු මිලියන ගණනකි. වෛද්‍ය විශේෂඥයින්ගේ මතය අනුව රෝගවලින් සියයට අසූවක් ශරීරයේ නොව මනසේය. බටහිර ඇතැම් රටවල මිනිසුන් මිලියන ගණනක් දිනකට මනෝ විශ්ලේෂකන්ගේ පිහිට පතයි. මනසේ වැදගත්කම වටිනාකම මෙපමණ යැයි වචනයෙන් දැක්විය හැකි නොවේ. දකින්නට තිබෙන සියල්ල අතර සරු දේ සරු ලෙසටත් නිසරු දේ නිසරු ලෙසටත් දැකීමේ ශක්තිය පළමු භාවයේ සිටින බුධ ලබා දෙයි. ඕනෑම අවස්ථාවකට මුහුණ දිය යුතු නිවැරදිම ක්‍රමය, අදාල තැන කටයුතු කළ යුතු හොඳම විදිය, කෙනෙක් සමඟ සන්නිවේදනය කළ යුතු හරිම විදිය නූලට තිතට කියාදෙන්නේ  බුධ ය. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නටය කිව්වා වගේ මෙයා මේ එන්නේ හොඳටද නරකටදැයි අවබෝධ කරගැනීම බුධ ලග්නයේ සිටින පුද්ගලයාට එතරම් අපහසු නොවේ. 

බොහෝ දෙනා මනස වෙත පනවා ඇති සීමා කිරීම්, තහනම් කිරීම් හේතුවෙන් මනසට හිමි නිරායාස බවට, සහජතාවයට අනුකූලව මනස තුළ වූ දේ මනස විසින්ම ප්‍රකාශවත් වීමට ඉඩ නොදෙයි. සෑම දෙයක්ම අස්වාභාවික ව්‍යාජ බවට පත් කරයි. සියලු දේ තිරපටවලින් වසා තැබුවා මෙනි. මනසින් විශාල කොටසක් අඳුර තුළ තෙරපා තබයි. ඒ දෙසට පහනක් රැගෙන යා හැකි වීමට නම් පළමු භාවය බුධ විසින් ශක්තිමත් කළ යුතුය. සාම්ප්‍රදායන්, සමාජ මතයන්, විශ්වාසයන් තුළ හිර වී, කොටු වී  නොසිට මනසේ සහජභාවය සමඟ කටයුතු කිරීමට ඉඩ කඩ ලබාදෙන්නේ බුධ ය.


මිනිසා යනු කැප්සූලයක හිර කර තබා සිටින සත්වයෙකි. ස්වභාවධර්මය විසින් මිනිසාගේ දැනීම,ඇසීම, පෙනීම සීමා කර තිබේ. දැනෙන පරාසයක්, පෙනෙන පරාසයක්, ඇසෙන පරාසයක් තිබේ. පවත්නා සියලු ගන්ධයන් සුගන්ධයන් දැනෙන්නට වූවා නම්, සියලු ශබ්දයන් ඇසෙන්නට වූවා නම්, විශ්වයේ තිබෙන සියලු දේ පෙනෙන්නට වූවා නම් කුමකින් කුමක් වේ දැයි සිතාගැනීමට නොහැක. එසේ වන්නේ නම් ඇතැමෙක් උමතු වන්නටද, ඇතැමෙක් මැරී වැටෙන්නද ඉඩ තිබේ. ප්‍රශ්නය නම් නොදැනෙන ගඳ සුවඳ හෝ, නොඇසෙන ශබ්ද හෝ නොපෙනෙන දේවල් නොවේ. ප්‍රශ්නය නම් දැනිය යුතු දේවල්වත් නොදැනීම ය. කෙනෙක්ගෙන් හමන්නේ මනුෂ්‍යත්වයේ සුවඳද තිරිසන් ගඳදැයි හඳුනා ගැනීමට අපොහොසත් වන්නෝ ජීවීත කාලකන්නි තත්වයට පත් කර ගනිති. තමන්ව මේ කැඳවාගෙන යන්නේ මොන දීපන්කරයකට දැයි නිනව්වක් ඔවුන්ට නැත.  අද කාලයේ පමණටත් වැඩියෙන් උදාහරණ දකින්නට තිබේ. කෙනෙක් සාවදානකාමී මානසික ස්වභාවයක, නිවැරදි සිහියෙන් පසු වන විට හාත්පස සිදුවන බොහෝ දේ අවබෝධ කරගැනීමට හැකි වෙයි. ආත්ම දමනය පුද්ගලයෙකුට ආරක්ෂකයෙක් බඳුය. මධ්‍යස්ත ස්වභාවය, යුක්තිගරුක බව, ආත්ම දමනය, සදාචාරාත්මක බව හිමි කර දෙන ගුරු නැගෙනහිරට හෙවත් ලග්න භාවයට හොඳටම හොඳය. 



උතුරු දිශාව නම් කේන්දරයේ සිව්වැන්න ය. හදවත ය.හදවතේ ස්ථානය මාතෘ ස්ථානය ද වෙයි. එතනට ගැළපෙන්නෙ සඳු සහ සිකුරුය. සඳු සිකුරු යනු සිසිලස නියෝජනය කරන ග්‍රහයින් දෙදෙනාය. දෙදෙනාම කාන්තාවෝය. බාඳුරා මල් වැනි නපුරු භයානක කාන්තාවන් ද සිටින බව සැබෑවකි. එසේ  වූවත් කාන්තාවකට ආවේනික මුදු මොළොක් බව ස්ත්‍රී පුරුෂ සෑම හදවතක තිබිය යුතුය. මෙතැනට ප්‍රශස්ථ ග්‍රහයින් ලෙස නියම කර තිබෙන්නේ සඳු සහ සිකුරුය. ආදරය ඇති විය යුත්තේ හදවත තුළ මිසක මනස තුළ නොවේ. මනස තුළින් ආදරය කරන මිනිසුන්ගේ ආදරය ව්‍යාජ ආදරයකි. ආදරය සම්බන්ධයෙන් යමක් කිරීමට මනසට නොහැක. එය තනිකරම හදවතේ කාර්යභාරයකි. හදවතේ තත් සම්පූර්ණයෙන්ම ලිහිල් වූවොත් එයින් ආදරයේ සංගීතය පැන නොනගී. හදවතේ තත් පමණට වඩා ඇදී ඇත්නම් ආදරය කෙසේ වෙතත් උමතුව පැන නගින්නට ඉඩ තිබේ. හදවතේ තත් ආදරයේ රිද්මයට පැවතිය යුතුය. මනසේ තත් සහ හදවතේ තත් නිවැරදිව සමබර වූ විට ජීවිතයේ සංගීතය මදුර මනෝහර තත්වයට පත් වෙයි. මේ කාරණා නිරවුල්ව අවබෝධ කරගැනීමට "වචනාර්ථ" ජ්‍යොතිෂයෙන් ඔබ්බට යා යුතුය. සිව්වැන්නෙන් කියැවෙන දේපළ, ගේදොර, යානවාහන ගැන කතා කිරීමට අදහස් නොකරමි. ඒ සම්බන්ධයෙන් විස්තර ඕනැවටත් වඩා දකින්නට තිබෙන බැවිනි.  හදවත සතුටු කරවන සියලු දේ ලබාදෙන්නේ සඳු සහ සිකුරුය.

 

බටහිර දිශාව හිරු බැස යන දිශාවයි. හිරු බැස යාමත් සමඟ එබිකම් කරන්නේ අඳුරයි. සෙනසුරු බටහිරට මෙන්ම අඳුරට ද අධිපතියාය. කේන්දරයේ බටහිර දිශාව යනු හත් වැනි භාවය යි. හත් වැනි භාවය යනු විවාහය ගැන කියැවෙන ස්ථානයයි. දරාගැනීමේ හා ඔරොත්තුදීමේ ශක්තිය ඇතිකරන්නේ සෙනසුරුය. ඔරොත්තුදීම සහ දරාගැනීම විවාහ ජීවිතයේදී අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි. විවාහයක් මධුසමයෙන් නිමා වන අතර එතැන් පටන් මුහුණ දිය යුතු වන්නේ සැබෑවට හෙවත් යථාර්තයට යි. යථාර්ථයට මුහුණ දීමේ ශක්තිය ඇති කිරීම සෙනසුරුට මහ ලොකු දෙයක් නොවේ. පෙම්වතුන් අතර වචන අඩුය. දෑත් පටලාගෙන එකම තරංග ආයාමයක සිටින ඔවුන්ට දෙනෝදාහක් යන එන වැව් ඉස්මත්තේ වාඩිවී නොසොල්මනේ වැව දෙස බල සිටිය හැකිය. නිසොල්මනේ සිටිය සිටිනවා යනු ඔවුන් සන්නිවේදනය නොකරනවා නොවේ. සන්නිවේදනය වචනවලින් නොවේ. සිතුවිලිවලිනි. භාවිතා කරන වචන ස්වල්පයද පිටතට නෑසෙන තරම් සිහින්ය. විවාහය තුළ මේ තත්වය උඩු යටිකුරු වී කතාබස්, තර්ක විතර්ක, හැලහැප්පීම් වැඩි වෙයි. හදවතේ සිටිනවා යැයි කියමින් ආදරය පෑ අනෙකාට කතා කරන්නේ හදවතේ සිටින කෙනාට නොව අහල පහලට ද ඇසෙන තරම් හඬිනි. ඒ යථාර්තය යි. ඒ සැබෑව තුළ සෙනසුරුගේ වටිනාකම අති මහත්ය.


දසවැන්න වූ දකුණු දිශාවට ගැළපෙන ග්‍රහයෝ නම් කුජ සහ රවි ය. දසවැන්න ක්‍රියාත්මක තැනයි.  පීතෘ ස්ථානයයි. ජන්මියාගේ ක්‍රියාකාරිත්වය නිවේදනය කරන භාවයයි. භාව නිර්වචනයේදී  හඳුන්වන්නේ රැකියා ස්ථානය ලෙසයි. ග්‍රහ මණ්ඩලයේ හොඳම ක්‍රියාකාරීන් දෙදෙනා කුජ සහ රවි ය.  මොවුන් ගැළපෙන්නේ මනසටවත් හදවතටවත් නොව ක්‍රියාන්විතයට ය.  ක්‍රියාකාරීත්වය තුළ පසු බැසීම, මන්දගාමී වීම ජීවිතයේ දියුණුව සාර්ථකත්වය අඩාල වීමට හේතු වෙයි. රවි කුජ දෙදෙනාගේ පසු නොබැසීමේ ගුණය මෙතැනට ඉතාමත් වැදගත් ය.වර්තමානයේ මිනිසා ක්‍රියාකාරීත්වයෙන් ටිකෙන් ටික ඈත් වෙමින් සිටිය ද අතීතයේ පුද්ගල ක්‍රියාකාරීත්වය අතිශයින් වැදගත් විය. සමාජය ජන්මියා පිලිබඳව ඇති කරගන්නා පොදු හැඟීම පෙන්වන්නේ දසවැන්නෙනි. කෙනෙකුගේ මනස හෝ හදවත පිටතට නොපෙනේ. සමාජය දකින්නේ ක්‍රියා කරන ආකාරය යි.  පුද්ගලයෙකුගේ සෘජු ක්‍රියාකලාපය සමාජ ගෞරවයට පාත්‍ර වීමට හේතු වෙයි. දසවැන්න ලෞකික ජීවිතය හා තදින් බැඳුණු ස්ථානයකි.


දිග් බලය එයයි. නිතර විස්තර කෙරෙන කරුණු කාරණාවලට වඩා තරමක් වෙනස් කරුණු සටහන් කළේ "වචනාර්ථ" ජ්‍යොතිෂ රාමුවෙන් තරමක් හෝ ඔබ්බට ආධුනිකයින් රැගෙන යාමේ අරමුණෙනි. ග්‍රහයින් බලවත් වන තවත් ආකාරයක් පිළිබඳව නැවත කතා කරමු.


සංජීව කුළුපන බණ්ඩාර.




Monday, April 24, 2023

ආරක්ෂාව "ආධ්‍යාත්මය" තුළ ය.

 



සමහර දේවල් ලියැවෙන්නෙ කුමන හෝ තැනකින් කෙරෙන බලපෑමකින්. ඒ දේවල් නොලියා සිටිය නොහැකි තරමට දැඩි බලපෑමක් ඇති කරනවා. මෙය ද නොලියා සිටීමට නොහැකි නිසා ලියූ සටහනක්. 



සම්බුදු දහම බටහිර ලෝකය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. බටහිර ජනතාව බුදු දහම කෙරෙහි නැඹුරු වෙද්දී පෙරදිග ජනතාව හාස්කම් සහිත ආගම්වලට මාරු වෙමින් සිටිනවා. හාස්කම් විදහා දැක්වූ ආගම්වල ජන්ම භූමිය බටහිර ලෝකය වූවත් දැන් බටහිර වැසියන්ට අවශ්‍ය හාස්කම් නොවෙයි. ඒ අය සමාධිමත් වෙනසක්, ඇතුළාන්ත පරිවර්තනයක් අපේක්ෂා කරනවා.  ඔවුන් භාවනාව වෙත දැඩිව ආකර්ෂණය වෙමින් සිටිනවා.  යුරෝපීයන් ඔවුන්ගේ හාස්කම් මූලික ආගම් පෙරදිග ලෝකය තුළ ව්‍යාප්ත කරන අවදියේ පෙරදිග වැසියන් බුදු දහම මැනවින් තේරුම් ගෙන සිටියා. බුදු දහමේ හරය  රැකගෙන සිටියා. අද එහි අනෙක් පැත්ත සිදුවෙමින් පවතිනවා. 



බුදු දහම තුළ හාස්කම් නෑ. බෞද්ධාගම කොරුන් ඇවිද්දවන, අන්ධයන්ට පෙනීම දෙන, විභාගය සමත් කරවන, ඉල්ලන දේ ලබාදෙන ආගමක් නෙමෙයි.  නමුත් පෙරදිග බෞද්ධාගම තුළට බොහෝ හාස්කම් පැමිණෙමින් තිබෙනවා. එහි සැබෑ අරුත බොහොමයක් දෙනා බුද්ධාගම හැර යමින් සිටින බවයි. 



බලාපොරොත්තු ඉටු කරගැනීම මූලික කරගත් නොයෙක් පුද පූජාවන් බුදුදහම තුළට ඇතුල්වෙමින් තිබෙනවා. පැතුම් ඉටු කරන පුද පූජා හෝ මුදල් අය කර සිදු කරන ආශිර්වාද පූජා බුදු දහම සමඟ කෙසේවත් පෑහෙන්නෙ නෑ. ඒවා ආර්ථික ප්‍රතිලාභ ඉලක්ක කරගත් ව්‍යාපාර මිස බුදු දහමට සම්බන්ධ දේ නොවෙයි.



විශ්වයේ බලවත්ම ස්ථානය මෙයයි...සාධුකාරයක් දෙන්න. බොහෝ දෙනෙක් විසින් සිදු කරන එවැනි පල කිරීම් නිතර දකින්න ලැබෙනවා. ඔවුන් සිතන පරිදි විශ්වයේ බලවත්ම ස්ථානය පිහිටා තිබීම හොඳටම ප්‍රමාණවත්. ඔය ස්ථානය  කකුසඳ, කෝනාගමන, කාශ්‍යප, ගෞතම යන සිව් බුදු බුදුරජාණන් වහන්සේලා විසින්ම සේවනය කරන ලද, සමාපත්ති සුවයෙන් වැඩ සිටිමින් පූජනීයතත්වයට පත් කරන ලද පුණ්‍ය භූමියක් විදියට සැළකෙනවා. මිනිස්සු උදෑසන සිට නින්දට යන තෙක් සිතින් කයින් වචනයෙන් සිදු කරන දේවල්  රටේ උතුම් පූජනීය වස්තූන්ට නොගැළපෙන කොට ඒ රටට කොයින්ද සෙතක්.... කුණු කඳු කඩා වැටිලා මැරෙනවා, බෝම්බ පිපිරිලා මැරෙනවා, වසංගත පැතිරිලා මැරෙනවා, ඇන කොටගෙන මැරෙනවා, තමන් විසින්ම මැරෙනවා, දහ අතේ ණය වෙනවා, රට පරිහානියට යනවා. පේන තෙක් මානයක තියෙනවද හොඳක් ? 


ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මහනුවර දළදා මාළිගාවෙ වැඩ සිටිනවා. දළදා වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සළකමින්, එදා ආනන්ද මහ තෙරුන් වහන්සේ ඉටු කළා වූ සියලු චිරාගත සාම්ප්‍රදායික බුද්ධෝපස්ථාන,බුදු පුද,තේවා කටයුතු දිනපතා සිදු කෙරෙනවා. ඊට අමතරව වාර්ෂිකව හා සතිපතා ද දළදා පුද පූජාවන් සිදු කෙරෙනවා. 


සිදුහත් බෝසතාණන් බුද්ධගයාවේ දී බුද්ධත්වයට පත් වන විට සෙවණ ලබා දුන් බෝධි වෘක්ෂයේ දකුණු ශාඛාව සඟමිත් තෙරණිය ලංකාවට වැඩමවූ පසුව දෙවනපෑතිස් රජු එය අනුරාධපුර මහමෙව්නා උයනෙහි රෝපණය කළා. ලෝකයේ දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් ඇති වෘක්ෂය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලෙසට සැළකෙනවා. මේ අසිරිමත් සිද්ධස්ථාන පේන මානය පටන්  රට පුරාම මොන තරම් පාපකාරී, අසාධාරණ දේවල් සිද්ද වෙනවද...  


බටහිර දේශපාලන බලවතුන් තමන් අතින් සුළු වැරදීමක් සිදු වූණත් දෙවරක් නොසිතා ධූරය අත් හරිනවා. ඔවුන්ට අතහැරීම  එතරම් දෙයක් නෙමෙයි.  බරපතළ වරදක් සිදු වුණත් අපේ අය බලය අතහරියිද ? ජනතාව විසින් එලවා දැමුවොත් හැර ඔවුන් කිසිදා තමන්ගේ වරදක් පිළිගෙන බලය අතහරින්නේ නෑ. නමුත් ඇසුරු කරන්නෙ හිමිවරු, දේශපාලනය කරන්නෙ සිද්ධස්ථානයෙ.


බුදුදහම සෙසු සියලු ආගම්වලට වඩා විශේෂයි, ශ්‍රේෂ්ඨයි.  සියලු ආගම් අතර ගුණාත්මක බවින් වැඩිම ආගම බුදුදහමයි. බුදුදහම දර්ශනයක් නෙමෙයි.මිනිසෙකුගේ ඇතුළාන්තය වෙනස් කිරීමේ හැකියාව හෝ මිනිසෙකු පරිවර්තනය කිරීමේ හැකියාව දර්ශනයකට නෑ.   දර්ශනයක් කියන්නෙ මතවාදයක් මිස ආධ්‍යාත්මික පෝෂණයක් ලබා දෙන යමක් නෙමෙයි. බුදුදහම ආධ්‍යාත්මික ප්‍රකාශනයක්. බුදුදහම මර්දනකාරී පිළිවෙත්වලින් තොර, මතවාදවලින් බැහැර වූ ආධ්‍යාත්මික මාර්ගයක්. 


මිනිසෙක් වෙනස් කිරීමේ හැකියාව, අධ්‍යාත්මික පරිවර්තනයකට ලක්කිරීමේ හැකියාව  ධර්ම දේශනයකට තියෙන්න ඕනැ. ඒ හැකියාව සිද්ධස්ථානයක් සතුව තියෙන්න ඕනැ. සිද්ධස්ථාන වැඩි වැඩියෙන් ඉදිවීම, ධර්ම දේශනා වැඩි වැඩියෙන් පැවැත්වීම ඉතාමත් සතුටුදායක කාරණාවක්. නමුත් දිනපතා සිදුවන මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ, සියදිවි නසාගැනීම්, හොර මැරකම්වල වැඩි වීමක් මිස අඩු වීමක්  දකින්නට නොලැබීම ඉතාමත් කණගාටුදායකයි. දහම ගැන දැනුම වැඩි කරනවා වෙනුවට දහම් අවබෝධය ඇතිකිරීම සාර්ථකව සිදු වෙනවාද යන්න ගැටළුවක්. 

ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, දැඩි ලෝභය, තෘෂ්ණාව සහිතව සිද්ධස්ථානයකට ගොඩවදින ඔබ නැවත ඉන් පිටත්ව යන්නේ ඒ සියල්ල රැගෙන නම් ඔබ සිද්ධස්ථානයකට යාමේ කිසිදු ප්‍රයෝජනයක් නෑ. 


මතක තබාගන්න. අප සිටින්නේ ඉතාමත් ඛේදජනක කාල පරිච්ඡේයක් අබිමුව.  විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වන තරමේ අන්තරාදායක සමයක් උදාවීමට නියමිතයි. ආරක්ෂාව ඇත්තේ "ආධ්‍යාත්මය" තුළ පමණයි. 


සංජීව කුළුපන බණ්ඩාර 

Thursday, April 13, 2023

සිද්ධාන්ත.

 



සිද්ධාන්තයක් යනු අත්දැකීමකි.  ප්‍රත්‍යක්ෂ කරගැනීමකි.  එය සම්පූර්ණයෙන් වෙනස් වූ පුද්ගලයෙකු විසින් දැකගත් දෙයකි. සිද්ධාන්ත යන වචනයේ අර්ථය වන්නේ යමෙකුට එය 'සිද්ද' වූ විට ඔහු එය තරයේ පවසා සිටීමයි. එය සාක්ෂාත් කරගත් අයෙකුගේ ප්‍රකාශයකි.



සිද්ධාන්තයක් යනු මතවාදයක් නොවේ..   ඔබට ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වී බුද්ධියෙන් බොහෝ දේ තේරුම් කිරීමට, තෝරා බේරාදීමට හැකියාව ඇත.. ඔබේ නිගමන විධිමත් ලෙස සකස් කළ හැක.. සත්‍ය මෙන් පෙනෙන තාර්කික න්‍යායන් නිපදවිය හැක.  එහෙත් එය සත්‍යය නොවේ.  ඒවා මතවාදයන් වේ.



මතවාදයක් යනු මිනිසාගේ නිර්මාණයකි.  මිනිසා සහ ඔහුගේ පරිශ්‍රමයන් සමඟ සිද්ධාන්තයකට කිසිදු කටයුත්තක් නැත. සිද්ධාන්තය යනු ප්‍රාග් ඥානයකි.  එයට එළඹිය යුතුය.  එය සාක්ෂාත් කරගත යුතුය.  එය ඔබට දැකගන්නට ලැබුණු, අනාවරණය වූ, ඔබේම අත්දැකීමක් බවට පත් විය යුතු දෙයකි.



සිද්ධාන්තයක් නැවුම් ය. එය සැබෑවකි. එය යථාර්තයකි. එහි පිටපත් නැත. මතවාදයක් යනු ණයට ගත් දෙයකි. මනඃකල්පිත දෙයකි. සිද්ධාන්තය නොඉඳුල් කන්‍යාවක් නම් මතවාදය යනු වෛශ්‍යාවකි.



බුදුන්ට සිදුවුණේ සිද්ධාන්තයකි. ක්‍රිස්තුන්ට, මහාවීරට, මොහොමඩ්ට, ලාඕ ට්ෂුට, ඕෂෝට වගේම තවත් බොහෝ දෙනෙකුට එය සිද්ද විය. ඔවුන් අත්දුටු සිද්ධාන්තය වෙනත් කිසිම අයෙකුට සිද්ධාන්තයක් වන්නේ නැත.  එය යමෙක් නැවත කියන්නේ නම් එය මතවාදයක් පමණි. 



සෘෂිවරු පවසන ආකාරයට ජ්‍යොතිෂය, දේහ ලක්ෂණ විද්‍යාව, හස්තරේඛා ශාස්ත්‍රය යනාදිය ඔවුන් වෙත පිරිනමනු ලැබුවේ දෙවියන් විසිනි. ඔවුන් එසේ පැවසීම යුක්ති සහගතය. අත්දැකීමක්, ප්‍රත්‍යක්‍ෂ කරගැනීමක් වචනයට නැඟීම අපහසුය. අත්දැකීම් පවතින්නේ භාෂාවට බොහෝ දුරිනි. ඒවා ඔවුන්ට "සිද්ද වුණු" දේවල් මිස තවකෙකුට  අනාවරණය කළ හැකි දේවල් නොවේ.



සෘෂිවරු නමින් වසර දහස් ගණනකට පෙර පළ කොට, විවිධ භාෂාවන්ට පරිවර්තනය වුණු පොත් පත් අදද භාවිතයේ පවතී.. ඒවායේ සඳහන් සියල්ල සිද්ධාන්ත නොවේ.  ඒවා වෙනස් වන සුළුය. මක් නිසාද යත්, ඔවුන් අත්දකිනු ලැබුවේ සිද්ධාන්ත වූවද  ඒවා වචන බවට පත් වී, විවිධ භාෂාවන්ට නැඟී, අතින් අත ගොස් මතවාද බවට පත් වී තිබේ.. එම කාරණා කාලයට,අවස්ථාවට, පුද්ගලයාට අදාල කරගැනීමට තරම් සෑහෙන බුද්ධියක් පුද්ගලයෙකුට තිබිය යුතුය.



අප ජීවත් වන්නේ මතකය ප්‍රමුඛ කරගත් සමාජයක ය. සමස්ථ අධ්‍යාපන පද්ධතියම පවතින්නේ බුද්ධිමත් බව කෙරෙන් මතකය දෙසට හරවා යැවීමටය.. පුද්ගලයෙක් යාන්ත්‍රික කිරීමටය. ජීව පරිඝණකයක් බවට පත් කිරීමටය. විභාග වග බලාගන්නේ මතකය ගැන පමණි. එයින් සිදු කෙරෙන්නේ කාර්යක්‍ෂමතාවයෙන් යුතු වෘත්තිකයින් බිහි කිරීම විනා බුද්ධිමතුන් බිහි කිරීම නොවේ. එය ජ්‍යොතිෂය වැනි ආධ්‍යාත්මික විෂය ක්‍ෂේත්‍රයකදී වඩාත් අසාර්ථකය. වසර දහස් ගණනක් පැරණි යැයි සම්මත පොත් පත් වැඩි ප්‍රමාණයක් පාඩම් කර මතකයේ තබාගෙන සිටින පුද්ගලයා දක්ෂතම ජ්‍යොතිෂවේදියා ලෙස සැලකීම මොන තරම් බොළඳ තකතීරු ක්‍රමවේදයක්ද.... බෝතල් පත්තර කඩයකටවත් විකිණිය නොහැකි තරමේ කඩමාලු වූ පොත් පත්වල සඳහන් කරුණු ගිරවෙකු මෙන් පුනරුච්චාරණය කරන තැනැත්තා සමස්ථ ජීවිතයම අතැඹුලක් සේ අවබෝධ කරගත් ශාස්තෘවරයෙක් සේ සැළකීම තරම් තකතීරුකමක් තවත් ඇත්ද...



ඔබට ඕනෑ තරම් පොත් පත් කියවීමට හැකියාව තිබේ. විවිධ ක්‍රමවේද ඔස්සේ ජ්‍යොතිෂය ඉගෙනීමට හැකි ආකාරයට අපමණ පාඨමාලාවන් තිබේ. ඒ අනුව බලන විට හෙට දවසේ හිරු නැඟුණු මොහොතේ පටන් දවස ගෙවී යන තෙක් කාලය තුළ සිදුවන සියලු සිදුවීම් පුරෝකථනය කළ හැකි තරමේ විෂ්ම කර්මයින් බිහි වී සිටිය යුතුය. සැබෑ ලෙසම පෙනී යන කාරණය නම් ශාස්තෘවරුන් මෙන් පෙනී සිටින ගුරුවරුද සිටිනුයේ ගිරවුන්ගේ තත්වයේම මිස වෙනස් තත්වයක නොවන බවය.


ෆේස්බුක්  සමූහයක අයෙක් ප්‍රශ්නයක් නඟනවා "විවාහයක් අසාර්ථකත්වයට පත් කෙරෙන  හේතු මොනවද...?"
එයට සම්බන්ධ වන පුද්ගලයින් තමන් දන්නා තරම් ග්‍රහ පිහිටීම්, ග්‍රහ යෝග, ග්‍රහ දෘෂ්ටි එක පෙළට කොටාගෙන යනවා. ඒ ඔවුන්ගේ ජ්‍යොතිෂයයි. ඒ ඔවුන් පාඩම් කළ සිද්ධාන්තයි. විවාහයක් මධුසමයෙන් අවසන් වන ආකාරය, එතැන් පටන් ඔවුන් සැබෑවට යථාර්තයට මුහුණ දිය යුතු විදිය, ගැහැණියක හා පිරිමියෙකු අතර වන වෙනස, ඔවුන් තම හැඟීම් දැනීම්, ආවේග පිට කරන ආකාරය, ඔවුනොවුන් අතර ලෙන්ගතුකම්, නොරිස්සුම් අඩු වැඩි වෙමින් ගමන් කරන විදිය....ඔබ මේ ආදී කාරණා ගොනු කර ලිපියක් පල කළහොත් එයට එතරම් ප්‍රතිචාරයක් ලැබේ යැයි සිතිය නොහැක. ඔවුන්ට අවශ්‍ය වන්නේ තාක්ෂණය පමණි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඕනෑම තැනකට ආලේප කළ හැකි තෙල් වර්ග පමණි. ඉන් එහා ඔවුන් දන්නා ජ්‍යොතිෂය නමින් වූ "ආධ්‍යාත්මික විද්‍යාවක්" නැත.


සිද්ධාන්ත ප්‍රකාශයට පත් කළ සියලු දෙනා මෙන්ම  සෘෂිවරු සිදු කළේද තමන් ප්‍රත්‍යක්‍ෂ කරගත් දේ වචනයට හරවා පැවසීමට උත්සාහ කිරීම පමණි. මන්ද යත් ප්‍රත්‍යක්‍ෂ කරගත් කිසිවක් පැවසිය හැකි දිව්‍යමය භාෂාවක් නොමැති බැවිනි. ඔවුන් ප්‍රකාශ කළේ  යැයි පොත් පත්වල සඳහන් කාරණා ප්‍රහේලිකා විසඳන්නාක් මෙන් අවබෝධ කර ගැනීමට සිදුව ඇත්තේ එබැවිනි. එකම කාරණය සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස්, මත පලවන්නේ ඒවා එක් එක් පුද්ගලයා අවබෝධ කරගන්නා ආකාරය වෙනස් වන බැවිනි. එසේ වන්නේ ඒවා සිද්ධාන්ත බවට පත් වූයේ සෘෂිවරුන්ට පමණක් බැවිනි. එය අත්දැකීමක් වූයේ ඔවුන්ට පමණක් බැවිනි. ආගමික ශාස්තෘවරුන්ගේ යැයි සම්මත සූත්‍ර දේශනා සම්බන්ධයෙන් කිව යුත්තේද එයමය. එය ඔවුන් විසින් අවබෝධ කරගන්නා ලද ඔවුන්ගේ "සත්‍යය" යි.



පාඩම් කරන ලද දේ පුනරුච්චාරණය කරන ගිරවුන් වෙනුවට අවබෝධය සමඟ කටයුතු කරන ආධ්‍යාත්මික චරිත අවශ්‍යව තිබේ. ජ්‍යොතිෂය අතික්‍රමණය කළ හැකි පුද්ගලයින් අවශ්‍යව තිබේ. එකිනෙකාට දෝෂාරෝපණය කරගනිමින්, නින්දා අපහාස කරගනිමින් හැසිරෙන ආධ්‍යාත්මය කඩා වැටුණවුන් වෙනුවට නිවුණු සැනහුණු ශිෂ්ඨ චරිත අවශ්‍යව තිබේ. 



සංජීව කුළුපන බණ්ඩාර 

Thursday, February 23, 2023

පෘථිවියට දැඩි බලපෑම්.

 


සූර්යයාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන්වී ගොස් ටොනාඩෝවක් ආකාරයට  උත්තරධ්‍රැවයේ භ්‍රමණය වන බව මහාචාර්ය ටමිතා ස්කොව්  2023.02.03 වෙනිදා ට්විටර් ඔස්සේ සටහනක් තබමින් පැවසුවා. මිලර්විල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් වන ටමිතා ස්කොව් "අභ්‍යවකාශ කාළගුණ කාන්තාව" ලෙස සමාජ මාධ්‍ය තුළ හඳුන්වනවා. ඇයගේ ප්‍රකාශයෙන් පසුව  මෙම සිද්ධිය ලොව පුර බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා. ඉන් සති දෙකකට පමණ පසු තවත් විද්‍යාඥයෙක් එය සත්‍යයක් නොවන බව ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් සූර්යයාගෙන් නැඟෙන සුවිසල් ගිනි දැල් හැර වෙන යමක් සිදුවී නැති බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා. විද්‍යාඥයින් නොයෙක් මත පලකරනවා. එය අපට ගැටළුවක් නෙමෙයි. සූර්යයා මත විශේෂ යමක් සිදුවී ඇති බව අසත්‍යයක් විය නොහැකියි. ඒකාන්ත වශයෙන්ම යම් විශේෂ සිදුවීමක් සිදුව තිබෙනවා. එහි ආරම්භය වසර තුනක් පමණ දුරකට ගමන් කරනවා.

ටමිතා ස්කොව්ගේ ප්‍රකාශයෙන් දින කීපයකට පසුව 2023.02.06 දින තුර්කි සිරියා දේශ සීමා ආසන්නයේ රික්ටර් මාපකයේ 6.4 ක භූමි කම්පාවක් සිදුවුණා. හතලිස් දහසකට අධික ජීවිත විනාශ වුණා. මේ වන විට ලෝකයේ බොහෝ තැන්වලින් භූමිකම්පන පිළිබඳ පුවත් වාර්තා වෙනවා. බලපෑම භූමිකම්පාවලින් නිමා වීමේ හැකියාවක් නෑ. වෙනත් ආකාරයේ විපත් බොහොමයක් ඇති වීමේ පැහැදිලි අවදානමක් පවතිනවා. 

විශ්වයේ සෑම ක්‍රියාවලියක්ම අනාවරණය කරගැනීමේ හැකියාව විද්‍යාඥයින්ට නැති බව වගේම ඔවුන් අනාවරණය කරගන්නා සෑම දෙයක්ම ප්‍රකාශයට පත් නොකරන බවද දැන සිටීම වැදගත් වෙනවා.

සූර්යයා මත ඇතිවෙමින් පවතින සිදුවීම් හේතුවෙන් පෘථිවිය තුළ භූමිකම්පා මෙන්ම වසංගත, දුර්භික්ෂ, අනපේක්ෂිත දැඩි වර්ෂා  මෙන්ම මහා පරිමාණයේ ජලගැලීම් වැනි විපත් ඇති වීමේ අවදානමක් පවතිනවා.  සූර්යයා මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ තත්වය වඩාත් අයහපත් අතට හැරෙනවා.

සූර්ය චක්‍රය, සූර්ය චුම්බක ක්‍රියාකාරකම් චක්‍රය, සූර්ය ලප චක්‍රය ආදී ලෙස හඳුන්වන සූර්යයාගේ පරිවර්තනයක් සෑම වසර එකොළහකට වරක් සිදුවෙනවා. විද්‍යාඥයින් සූර්යයා මතුපිට ඇතිවන ලප, ගිනිදැල්, යෝධ පිපිරීම්, සූර්ය කුණාටු ආදිය නිරීක්ෂණය කිරීමෙන් එම චක්‍රීය කාලසීමාවන් ගැන නිගමනයට එළඹෙනවා. දැනට වසර තුනක පමණ කාලයක් තුළ එවැනි සිදුවීම් ගණනාවක් විද්‍යාඥයින් නිරීක්ෂණය කළා.  එමෙන්ම වසර 90 ක් වූ සූර්ය චක්‍රයක්ද පුරාතනයේ විසු ගවේශකයින් සොයාගෙන තිබෙනවා. වසර 45 ක් පුරා සූර්යයා සක්‍රීය, තරුණ අවධියක පසුවන බවත් එතැන් සිට වසර 45 ක් පුරා ඉන් වෙනස්ව යම් මන්දගාමී තත්වයක පවතින බවත් ඔවුන් සොයාගත්තා. මන්දගාමී තත්වයේ අවසන් කාලය එනම් 90 වෙනි වසර වන විට සූර්යයා මත සිදුවන නොයෙක් කැළඹිලි හේතුවෙන් පෘථිවියට අහිතකර බලපෑම් එල්ල වන බවත් දැනගත්තා. ඊජිප්තුවේ පාරාවෝ රජවරු නයිල් නදියේ ජලමට්ටම වෙනස් වන ආකාරය නිරීක්ෂණය කර මේ සමබන්ධයෙන්  වැදගත් තොරතුරු රැසක් සොයාගත්තා. 

පසුගිය වසර කීපයක් තුළ පෘථිවිය මත සිදුවුණු බොහෝ සිදුවීම් සියුම්ව නිරීක්ෂණය කරන විට සූර්ය චක්‍රයේ යම් විශේෂ සන්ධිස්ථානයක් එළඹ ඇති බව පැහැදිලි වෙනවා. ඉන් ඇතිවන විවිධාකාරයේ බලපෑම් හේතුවෙන් ලෝවැසියන් විශාල පිරිසකට දැඩි පීඩා විඳින්නටද සිදුවෙනවා. 


සංජීව කුළුපන බණ්ඩාර 



Monday, February 13, 2023

තුන්වැනි ලෝක යුද්ධය අත ළඟද ?



 සෙනසුරු සහ නෙප්චූන් අතර පිහිටි ලා නිල් පැහැති ග්‍රහ ලෝකය. "යුරේනස්". මේ යෝධ ග්‍රහ ලෝකය ජ්‍යොතිෂය තුළ විශාල මෙහෙවරක් ඉටුකරනවා. විශේෂයෙන්ම ලෝකායත ජ්‍යොතිෂය තුළ යුරේනස්ගේ භූමිකාව අති සුවිශේෂයි.  වසර 7 ක පමණ කාලයක් රාශියක රැඳී සිටින යුරේනස් ඉතාමත් විප්ලවකාරී ග්‍රහයෙක් විදියට සැළකෙනවා. ඒවගේම ඉහළ බුද්ධිය නියෝජනය කරන ග්‍රහයා ලෙසට ද සැළකෙනවා. චිරස්ථාපිත, සාම්ප්‍රදායික ව්‍යුහයන් කඩා බිඳ දමමින් රැඩිකල් වෙනසක් ඇති කිරීම යුරේනස්ගේ කාර්ය භාරයයි. සමාජ විපර්යාශ ඇතිකිරීම, ස්වාධීනත්වය සඳහා ජවසම්පන්න පෙළඹවීමක් ඇති කිරීම, විමුක්තිදායක සටන් ඇවිලවීම යුරේනස්ගේ ක්‍රියාදාමයන් අතරට අයත් වෙනවා. 

කිසිම ග්‍රහලෝකයක් හුදකලාවෙ නෑ. විශ්වයේ සියල්ල එකට සම්බන්ධයි. යම් සිදුවීමක් කෙරෙහි වන බලපෑම ඉරු ප්‍රමුඛ සියලු ග්‍රහ වස්තූන්ගේ සුසංයෝගයෙන් සිදුවන්නක් වූවත්, ලෝක සංග්‍රාමයන් සමඟ යුරේනස්ගේ සබැඳියාව ගැන කතා කිරීම ලිපියේ අරමුණ වෙනවා.

1914 ජූලි 28 පළමු ලෝක යුද්ධය ආරම්භ වන විට යුරේනස් සෙනසුරු හිමි මකර රාශියේ ගුරු සමඟ රැඳී සිටියා. සෙනසුරු ප්ලූටෝ සහ බුධ සමඟ මිථුන රාශියේ රැඳී සිටියා. ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා රවි ගමන් කළේ යුරේනස්ට සප්තමව කටක රාශියේ. රුධිර කාරක කුජ රවිට අයත්  සිංහ රාශියේ. ඒ කේතු සහ සිකුරු සමඟ.

මකර රාශිය රාශි චක්‍රයේ දස වෙනි රාශියයි. විශ්ව කේන්දරයේ ක්‍රියාත්මක ස්ථානයයි. මකරයේ හිමිකරුවා සෙනසුරා යි. සෙනසුරුට අයත් මකර රාශියේ යුරේනස් ගමන් කරන කාල සීමාවන් අනතුරුදායකයි, බිහිසුණුයි. 1827 ඔක්තෝබරයේ රුසියානු,ප්‍රංශ,ඉංග්‍රීසි හමුදා තුර්කිය සමඟ යුධ වදින අවස්ථාවේදී ද යුරේනස් මකර රාශියේ රැඳී සිටියා. තවත් අතීතයට ගියොත් යුරේනස් මකරයේ රැඳී සිටි සෑම අවස්ථාවකදීම ලෝකයේ මහා යුධ ගැටුම් ඇති වුණු බවට පැහැදිලි සාක්ෂි හමුවෙනවා.යුරෝපයේ ගමන් මඟ වෙනස් කළ මහා සංග්‍රාමය 1746 දී  බ්‍රිතාන්‍ය භූමිය තුළ සිදුවන අවස්ථාවේදී ද යුරේනස් මකර රාශියේ රැඳී සිටියා.

1939 සැප්තැම්බරයේ, දෙවන ලෝක සංග්‍රාමය සිදුවන අවස්ථාවේදී සෙනසුරු හා කේතු සමඟ යුරේනස් කුජ හිමි මේෂ රාශියේ රැඳී සිටියා. කුජ තම උච්ච භවනය වූ මකරයේ රැඳී සිටියදී ප්ලූටෝ රැඳී සිටියේ කුජට සප්තමව කටක රාශියේ යි. යුද්ධයේදී ජර්මන් නාසි හමුදාව රුසියාව ආක්‍රමණය කළා. නාසි හමුදාවෙන් මව්බිම බේරාගැනීමේ රුසියානු ජයග්‍රාහී මෙහෙයුම නම් කළේ "ඔපරේෂන් යුරේනස්" නමින්. 

යුරේනස් මකර රාශියේ ගමන් කරන කාල පරිච්ඡේදයන් මෙන්ම යුරේනස් මේෂ රාශියේ ගමන් කරන කාල පරිච්ඡේදයන් ද සුබදායක නෑ. 

2016.06.26 දින යුරේනස් මේෂ රාශියට ගමන් කළා. මේ වන විට මේෂ රාශියේ රැඳී සිටින යුරේනස් 2025.03.18 දින වෘෂභ රාශියට ගමන් කරනවා. 2022.02.24 දින රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඇරඹි යුද්ධය තවමත් ඉදිරියට ඇදෙමින් පවතිනවා.

තෙවන ලෝක යුද්ධය මේ වන විට ආරම්භ වී අළු යට ගිනි මෙන් තිබෙනවා විය හැකිද ? එසේත් නැතිනම් 2025.03.19 තෙක් කාලය තුළ කිනම් මොහොතක හෝ සංග්‍රාමය ආරම්භ වෙයිද ? මොනම ආකාරයක හෝ යුද්ධයක් මේ මිහිපිට ඇති නොවේවායි ප්‍රාර්ථනා කරමු. එසේ වූවත් ලෝක නායකයින් (උමතු දේශපාලඥයින්) නොයෙක් ආකාරයේ විනාශකාරී අවි ආයුධ නිපදවමින් ගොඩ ගසාගන්නේ   කුමන අරමුණකින්ද ?  ඒ වෙනත් ග්‍රහලෝක සමඟ යුධවැදීමට නොවෙයි.

සංජීව කුළුපන බණ්ඩාර 


Sunday, January 15, 2023

ජ්‍යොතිෂය.

 


ජ්‍යොතිෂය ගැන ලියන්නෙ බොහොම කාලෙකින්. ජ්‍යොතිෂයෙන් එපිට අධ්‍යාත්මික බොහෝ දේ ගැන ලිව්වත් ජ්‍යොතිෂය සම්බන්ධයෙන් යමක් ලියන්න හිතුණෙ නෑ. වර්තමානයේ බොහෝ ජ්‍යොතිෂවේදීන්ගේ ජ්‍යොතිෂය භාවිතාව තරමක් අමුතු හින්දා ජ්‍යොතිෂය ගැන ලියන්න හිතුවා.


ජ්‍යොතිෂවේදීන් හැටියට අපි කටයුතු කරන්නෙ ලෝකයේ පැරණිම විද්‍යාවක් සමඟ. අපි පවත්වාගෙන යන්නෙ ලෝකයේ පැරණිම වටිනාම අධ්‍යාත්මික විද්‍යාවක්. ඒ වගේම වැඩියෙන් හෙලා දැකීම්, නොසළකා හැරීම්වලට ලක් වුණු විද්‍යාවක්. ජ්‍යොතිෂ විද්‍යාව ආධ්‍යාත්මික විද්‍යාවක්. ඉන්දියානු,ලංකා භූමිවල ආරම්භ වෙලා, සුමේරියානු ශිෂ්ටාචාරය තුළ වඩාත් දියුණුවට පත්වෙලා එතනින් බටහිර ලෝකයට ඇතුල් වුණු අනර්ඝ විද්‍යාවක් තමයි ජ්‍යොතිෂය කියන්නෙ. විශේෂයෙන්ම සුමේරියානුවන් මේ ආධ්‍යාත්මික විෂයේ දියුණුව වෙනුවෙන් ඉමහත් කැප කිරීම් කළා. අඩි හත්සියයක් උසට ඉදිකළ කුළුණක සිට දවසේ පැය විසිහතර පුරා අහස නිරීක්ෂණය කළා. මනුෂ්‍ය වර්ගයාට සිදුවන ඕනෑම දෙයක් සමඟ තාරකාවන්ගේ සම්බන්ධයක් ඇති බව ඒ අය සොයාගත්තා. ජ්‍යොතිෂ ශාස්ත්‍රීය ගණනය කිරීම් සඳහා ගණිතය අවශ්‍ය වුණා. ජ්‍යොතිෂය නිසාම ගණිතය බිහි වුණා. 


මෑත ඉතිහාසය ගත්තොත්, 1920 දි, රුසියානු විද්‍යාඥක් වුණු ඇලෙක්සැන්ඩර් චිහෙව්ස්කි තාරකා හා මනුෂ්‍යයින් අතර සම්බන්ධය ගැඹුරින් අධ්‍යයනය කළා. නිශ්චිත කාලයකට වරක් සූර්යයා මත දැවැන්ත න්‍යෂ්ටික පිපිරීම් සිදුවන බවත්, ඒ පිපිරීම් සිදුවන අවස්ථාවලදි පෘථීවියේ විප්ලව, යුද්ධ ආදිය සිදුවන බවත් ඔහු සොයාගත්තා. පසුගිය වසර හත්සියයක කාලය තුළ සූර්යයා මත එවැනි සංසිද්ධි ඇතිවූ සෑම විටම පෘථීවියේ නොයෙක් පෙරළි ඇති වුණු බව සොයාගත්තා. ඔහුගේ විශ්ලේෂණය නිවැරදි වුණත් එය මාක්ස්වාදී දෘෂ්ටිකෝණයට පටහැනි බැවින් ස්ටාලින් ඔහුව අත්අඩංගුවට අරගෙන සිරගත කළා. ස්ටාලින් මියයන තෙක්ම ඔහුට නිදහස ලැබුණෙ නෑ. පෘථීවියේ කුමන විප්ලවයක් සිද්ද වුණත් මාක්ස්වාදී හා කොමියුනිස්ට්වාදී චින්තනයට අනුව එය සිදුවන්නෙ මිනිසුන් අතර වන ආර්ථික වෙනස්කම් හින්දා මිසක් වෙන කිසිවක් හින්දා නෙමෙයි. නමුත් චිහෙව්ස්කි පැවසුවේ විප්ලවයට හේතුව සූර්යයා මත සිදුවන පිපිරීම් බවයි. චිහෙව්ස්කිගේ ප්‍රකාශය නිවැරදි නම් මාක්ස්ගේ සමස්ථ පද්ධතියම දූවිලි බවට පත්වෙනවා. චිහෙව්ස්කි වැරදිකරු බව ඔප්පු කරන්න පුළුවන් වුණේ නෑ. වසර හත්සියයක් ආවරණය වන පරිදි ඔහුගේ ගණනය කිරීම කෙතරම් විද්‍යාත්මකද කියනවා නම්, සූර්යයාගේ පිපිරීම් හා පෘථීවියේ සංසිද්ධි අතර ඔහු සොයාගත්  සම්බන්ධය මොන තරම් සමීපද කියනවා නම් ඔහු වැරදි බව ඔප්පු කරන්න කොහොමටවත්ම හැකි වුණේ නෑ. ස්ටාලින්ගෙ මරණයෙන් පස්සෙ කෘෂෙව් ඔහුව නිදහස් කළා. ඒ වෙන කොට ජීවිතයේ වටිනාම කාලය ඔහුට අහිමි වෙලා තිබුණා. නිදහස් වෙලා මාස කීපයකින් ඔහු මියගියා. ඒ මාස කීපය තුළ ඔහුගේ නිබන්ධනය සඳහා තවත් සාක්ෂි එකතු කළා. එහිදී, පෘථීවියේ සිදුවන වසංගත පැතිරීම කෙරෙහි සූර්යයාගේ සම්බන්ධය සොයාගත්තා.


බොහෝ ශ්‍රේෂ්ඨ මිනිසුන් එවන් විසල් කැපකරීම් සිදුකොට ගොඩනඟන ලද විද්‍යාවක් අපි භාවිතා කළ යුත්තේ කොහොමද ?

අද ජ්‍යොතිෂවේදීන් බොහොමයක් දෙනා ඉතාමත් බොළඳයි. ඔවුන් ජ්‍යොතිෂයේ සැබෑ සාරය, ගැඹුර ගැන අවබෝධයෙන් තොරව ජ්‍යොතිෂය  ළඳ බොළඳ ආකාරයට පවත්වාගෙන යන අයුරු පෙනෙන්නට තිබෙනවා. එයින් ජ්‍යොතිෂයේ ව්‍යුහය බරපතළ ලෙස විනාශ වෙමින් පවතිනවා. කිසිදු අරමුණක් ඉටු නොවන, පරිවර්තනයකට ඉඩ නොතබන, විශ්වාසයක් තැබීමට පවා නොහැකි බොරු දොඩමින් මහමග පේන කියන තත්වයට ජ්‍යොතිෂය පත් කරමින් සිටිනවා.

ජ්‍යොතිෂය මට්ටම් තුනකට වෙන් කරන්න පුළුවන්.
1. භාහිර කොටස (පරිධිය)
2. දෙවැනි අර්ධය 
3. ඇතුළාන්තය (මධ්‍යය)

භාහිර කොටස 
කිසිදු අරමුණක් ඉටු නොකරන, පරිවර්තනයකට හේතු නොවෙන, පූර්ව ආරක්ෂාව සඳහා වැදගත් නොවෙන කාරණා මේ යටතට ඇතුළත් වෙනවා. දරුවා ගෑණුද පිරිමිද ? සහෝදර සහෝදරියො කීදෙනෙක් ඉන්නවද ? රක්ෂාව මොකක්ද ? ලොතරැයියක් ඇදෙයිද ? කෝටිපතියෙක් වෙයිද ? මැරෙන්නෙ කවදද ? ඔන්න ඔය වගේ දේවල්, අත්‍යවශ්‍ය නොවන, දැනගත්තත් වැඩක් නැති දේවල් භාහිර කොටසට අයිති වෙනවා. 
සාමාන්‍යයෙන් නාඩි වාක්‍ය විමසීමේදී මුල් පරිච්ඡේදයෙහි මෙවැනි කාරණා සඳහන් කරනවා. ඒ ඇත්තටම අදාල පත්ඉරුව තහවුරු කරගැනීමටද, නැත්නම් ඉදිරි පරිච්ඡේද ගැන උනන්දුව ඇති කිරීමට කෙරෙන විශ්වාසය ජනිත කිරීමක්ද කියන එක සැක සහිතයි. ඔවුන් පවසන පරිදි සියල්ල නොවෙනස්ව අඛණ්ඩව  සිදු වෙනවා නම් ආගම් මිත්‍යාවක් බවට පත්වෙනවා. එසේ නම් අපට කිසිවක් වෙනස් කළ නොහැකියි. එවිට ජ්‍යොතිෂය මෙවලමක් බවට පත්වන්නෙ නෑ.

දෙවැනි අර්ධය.

තීරණ ගැනීම සඳහා උපකාරී වන කොටස, පරිවර්තනය සඳහා අවශ්‍ය වන කොටස විදියට හඳුන්වන්න පුළුවන්. පූර්ව ආරක්ෂාව සලසා ගැනීම අතින්ද මෙම කොටස වැදගත් වෙනවා.

✼ රැකියාවට අමතරව, එහෙමත් නැත්නම් රැකියාවෙන් ඉවත්ව  ව්‍යාපාරයක් පටන්ගැනීම සුබද ? මේ වෙලාව ආයෝජනයකට යහපත්ද ?
✼ මේ රටේම මේ විදියට රැකියාව කරගෙන ඉන්න එකද හොඳ ? විදේශ රැකියාවකට යොමු වීමද හොඳ ?
✼ හවුල් ව්‍යාපාරයකට අතගහන එක හොඳද ? තනියම යමක් කරගෙන යන එක හොඳද ?
✼ අවදානම් සහිත කාලයක්ද ? ආරක්ෂිතව කටුතු කරන්න ගත යුතු තීන්දු තීරණ මොනවද ?
 
මේවා අරමුණක් ඉටු කරන ප්‍රශ්න විදියට සළකන්න පුළුවන්.මේ ආදී කාරණා  ප්‍රයෝජනවත් වෙනවා. "මිත්‍යා විශ්වාස අන්ධ ඇදහීම් වෙනුවට අත්‍යවශ්‍ය දේ සඳහා දොරටුවක්" ලෙස ජ්‍යොතිෂය අර්ථ දැක්වීමේදී මෙම කොටස බොහෝ දුරට වැදගත් වෙනවා.

ඇතුළාන්තය (මධ්‍යය)

මෙන්න මේ කොටස තමයි ජ්‍යොතිෂයේ සැබෑ සාරය. එහෙමත් නැත්නම් ජ්‍යොතිෂයේ ආධ්‍යාත්ම කලාපය. සියවස් ගණනාවක් තිස්සෙ භාවිතයට නොගෙන අතහැර දමා තිබෙන අරටුව. වෙනස් කළ නොහැකි සහ කලින් තීරණය කර ඇති සියල්ල අන්තර්ගත කොටස මෙයයි. එය තනිකරම අයත් වෙන්නෙ අභ්‍යන්තරයට. යමෙකුගේ කේන්ද්‍රය තුළ වඩාත් ගැඹුරට ගමන් කරන කොට කලින් තීරණය කරන ලද ඒකාන්ත කාරණා වෙත සමීප වෙන්න පුළුවන් වෙනවා.


සමහරු ජ්‍යොතිෂවේදියාගෙන් අහනවා 'මම කොපමණ කලක් ජීවත් වෙනවද ?' කියල. ඔවුන්ට ජීවත් වීම ප්‍රමාණවත්. ජීවත් වෙන්නෙ මොකටද...කුමක් සඳහාද ? එයයි දන ගත යුතු සැබෑව.


හෙට කුමක් සිදු වුණත් අදටත් එය සූක්ෂම ආකාරයෙන් පවතිනවා. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවෙ හිටපු ජනාධිපතිවරයා ඝාතනය වෙන්න දින තුනකට කළින් තමන් ඝාතනය වන ආකාරය සිහිනෙන් දුටුවා. තමන්ගෙ දේහය ධවල මන්දිරයෙ විශේෂ කාමරයක තැන්පත් කර තිබෙන ආකාරය, අවසන් ගෞරවය දැක්වීමට ජනතාව රැස්ව සිටින ආකාරය බොහොම පුදුමාකාර විදියට දින තුනකට කලින් සිහිනෙන් දැක්කා. සිදුවීම ඒ විදියටම වුණා. ලින්කන් පමණක් නෙමෙයි, අනාගත විශේෂ සිදුවීම් කල් තියා විඳගත් බොහෝ අය ඉන්නවා. දින කීපයකින් සිදුවීමට නියමිත දෙයක්, තවමත් සිදුව නැති දෙයක් සිහිනෙන් හෝ වෙනත් විදියකින් කල් ඇතුව දකින්නට ලැබෙන්නෙ කොහොමද ?   එම සිදුවීම ඒ මොහොතේ ද සිදුවෙමින් නොපවතින්නේ නම් එය සිහිනෙන් හෝ දැක ගත නොහැකියි.


කේන්දරයෙන් දකින්න ලැබෙන සුවිශේෂම කාරණය තමයි කිසිවක් වෙන්ව නැති බව. සියල්ල සම්බන්ධයි. හුදකලාවෙ කිසිවක් නෑ. සියල්ල එකිනෙකට සම්බන්ධයි. සියල්ල විශ්වයයි. ජ්‍යොතිෂය මමත්වයට විරුද්ධයි. ජ්‍යොතිෂවේදියාට මමත්වය තියෙන්න බෑ. ජ්‍යොතිෂය අපිට කියන්නෙ "ඔබ නෙමෙයි. විශ්වයයි" කියලයි.ජීවිතය අන්තර් සම්බන්ධිතයි. ලොකු කුඩා කියා කිසිවක් නෑ. සියල්ල කාබනික එකමුතුවක් පමණයි.  අන්තර් සම්බන්ධිත විශ්ව සම්බන්ධතාවයේ නම තමයි "ජ්‍යොතිෂය" කියන්නෙ. අපි වෙන්ව හෝ හුදකලා නොවී ඓන්ද්‍රීයව එකට එකතු වී සිටින බව තේරුම්ගත් පසු ජ්‍යොතිෂය අවබෝධ කරගැනීම පහසු වෙනවා.


කේන්දරය තුළ සටහන් වන්නේ සංසාරය නම් ජන්මියාට අතීත ග්‍රහණයෙන් මිදීම සඳහා අවශ්‍ය මඟ පෙන්වාදීම ජ්‍යොතිෂවේදියාගේ වගකීමක් වෙනවා. ඇතැම් ජ්‍යොතිෂවේදීන් සාංසාරික සාප ගැන නිතර සඳහන් කරන අයුරු මෙන්ම සාපය දුරු වීම සඳහා කුමක් කළ යුතු දැයි අසන විට දේව පූජා, යන්ත්‍ර පැළඳීම් ආදී හුදු භාහිර ක්‍රියාකාරකම් වෙත යොමු කරන ආකාරයත් සමාජ මාධ්‍ය තුළ දකින්නට ලැබෙනවා. සාපයක් යනු සාංසාරික එසේත් නැතිනම් ඇතුළාන්තයෙන් මතුවන අවහිරයක් නම් ඊට තමන් විසින්ම අනුගමනය කළ යුතු අධ්‍යාත්මික පිළිවෙත් සම්බන්ධයෙන් අවබෝධයක් ජ්‍යොතිෂවේදීන් තුළ තිබිය යුතුයි. 


ස්වභාවධර්මය සෑම පුද්ගලයෙකුටම තමන්ටම අනන්‍ය වූ මාපට ඇඟිල්ලක් ලබාදෙනවා. ස්වභාව ධර්මය මොන තරම් සියුම් ගිණුමක් තබාගනීද යත් සෑම අයෙකුටම වර්තමානයේ හෝ අනාගතයේ වෙනත් කිසිවෙකුට අයිති නොවිය හැකි මාපට ඇඟිල්ලක් ලබාදෙනවා.මෙතෙක් මිනිසුන් කෙතරම් ප්‍රමාණයක් මිහිපිට ජීවත් වුණද, අනාගතයේ මිනිසුන් මොන තරම් ප්‍රමාණයක් මිහිපිට බිහි වූවද ඔබේ හෝ මගේ මාපට ඇඟිල්ල ඒ කිසිවෙකුට අයිති නොවූ සුවිශේෂී ඇඟිල්ලක්. නිවුන් දරුවන්ගේ පවා මාපට ඇඟිලි සලකුණු එකිනෙකාගෙන් වෙනස්. ඇඟිල්ලක් වැනි දේකට මෙතරම් පෞද්ගලිකත්වයක් ලබා දීමට ස්වභාවධර්මයට හැකි නම්, ඇඟිල්ලකට පවා මහත් අපූර්වත්වයක් ලබාදීමට හැකි නම් එය සෑම කෙනෙකුටම අද්විතීය ජීවිතයක් ලබාදිය නොහැකිද ?  

ජ්‍යොතිෂයේ ජීවගුණය රැකගැනීම සඳහා ජ්‍යොතිෂ හිතකාමී සෑම සියලු දෙනාම සැබෑ අවබෝධයෙන් කටයුතු කරත්වා!

සංජීව කුළුපන බණ්ඩාර.