Thursday, March 24, 2016

පුංචි පුංචි ග්‍රහ මාරු 
ජිවිත තුළ
ලොකු ලොකු වෙනස්කම් ඇති කරනවද ?
  සිකුරා එක් රාශියක රැඳී සිටින්නේ දින විසි හතරකි. මෙම කාලය මාස හතරක් දක්වා වැඩි විය හැකියි. බුධ එක් රාශියක කල් ගෙවන්නේ දින දාහතරකි. මෙම කාලය මාස දෙක හමාරක් දක්වා වැඩි වීමට ඉඩ තිබේ. කුජ එක් රාශියක දින තිස්පහක පමණ කාලයක් ගත කරන අතර මෙම කාලයද මාස හතක් දක්වා වැඩි වන අවස්ථාද තිබේ.රාශියක ගතකරන කාලය දීර්ඝ වන්නේ වක්‍ර වන අවස්ථාවලදී යි. රවි රාශියක කල් ගෙවන්නේ හරියටම මාසයකි. රවි ගේ වක්‍ර වීමක් නැත.
      බුධ, සිකුරු වැනි ග්‍රහයින්ගේ මාරු වීම් ඉතාමත් තීරණාත්මක සිදුවීම් ලෙස හුවා දක්වමින් පලාපල විස්තර ඉදිරිපත් කිරීමට ඇතැම් ජ්‍යෝතිර්වේදීන් පෙළඹී සිටියි. ජ්‍යෝතිෂය නොදන්නා ජනතාව සිතන්නේ මේවා ඉතාමත් බරපතළ, තීරණාත්මක ග්‍රහ මාරු කියා ය. ඇතැමුන් දුරකථනයෙන් අමතා ග්‍රහ මාරු පිළිබඳව විස්තර විමසන අවස්ථාද ඇත. 
   සුළු ග්‍රහ මාරු තීරණාත්මක සිදුවීම් ලෙස ජනතාව වෙත ඉදිරිපත් කිරීම බොහෝ විට සිදුවන්නේ රුපවාහිනී නාලිකා හරහා ය. ඇතැම් ජ්‍යෝතිර්වේදීන් රුපවාහිනී වැඩසටහන් වෙනුවෙන් විශාල ලෙස මුදල් වැය කරන බැවින් ඔවුන් වෙත විශාල පිරිසක් ගෙන්වා ගැනීමේ උවමනාවක් පවතී. ඒ සඳහා පෙළඹවීමක් ඇතිකිරීම පිණිස  බොහෝ කරුණු අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීමට ඇතැමුන් පෙළඹී සිටියි.
  පලාපල කථනයේදී ගෝචර ගමන් ගැන සැළකිලිමත් විය යුතු වූවත් පොදුවේ පලාපල ඉදිරිපත් කිරීමේදී බුධ, සිකුරු මාරු ගැන විස්තර ඉදිරිපත් කිරීම පලදායක නොවේ. එවන් ග්‍රහ මාරු පුද්ගල ජීවිතයක සුවිශේෂ වෙනස්කම් ඇතිකිරීමට සමත් නොවේ. කුජ මාරුව වූවද පලාපල කථනයේදී අදාල කර ගත යුත්තේ මාස ගණනක් එක් රාශියක රැඳී සිටින්නේ නම් පමණි.
   සෙනසුරු වසර දෙක හමාරක පමණ කාලයක් එක් රාශියක කල් ගෙවන බැවින් සෙනසුරු ගේ ගමන පලාපල කථනයේදී විශේෂයෙන්ම අදාල කර ගත යුතුය. මීට අමතරව රාහු, කේතු, ගුරු ආදීන්ගේ ගමනද වැදගත් වේ. ඒරාෂ්ඨක අපල එල්ල වන්නේ සෙනසුරු ගේ ගමන අනුවම බැවින් සෙනසුරු ගේ ගමන් පලාපල කථනයේදී වඩාත් වැදගත් වේ. කෙනෙකුගේ ජන්ම කේන්දරය පරීක්ෂා කිරීමේදී වූවද බුධ, සිකුරු ගමන් ගැන සැළකිලිමත් වීම එතරම් පලදායක නොවේ.
   ඇතැමුන් ජ්‍යෝතිෂ පර්යේෂණවල නියැලෙන බව පවසමින්, පොත පතේ සඳහන් කරුණු නොව අත්දැකීම් ඇසුරින් හෙළිකරගත් දේ අනුව පලාපල විස්තර ඉදිරිපත් කරන බවක් ද පවසයි. ජ්‍යෝතිෂයේදී අත්දැකීම් භාවිතා කිරීම වැදගත් වූවද ජ්‍යෝතිෂ පර්යේෂණ සිදුකිරීම යනු මුසාවකි. ජ්‍යෝතිෂය බිහිකළ ඉසිවරු තම උසස් චිත්ත බලය උපයෝගී කරගෙන ආකාශ වස්තූන් ගේ රුව ගුණත්, ඒවායින් එල්ල වන බලපෑමත් නිවැරදිව සොයා දැනගෙන ඉදිරිපත් කොට තිබේ. අපගේ වගකීම වන්නේ එම ඉදිරිපත් කළ දේ භාවිතයට ගැනීමයි. කේන්දරයේ කොටු දොළහට තවත් එක් කොටුවක් හෝ එකතු කිරීමට කිසිම පර්යේෂකයෙකුට නොහැක. වෙන දෙයක් තබා අද ඇතැමුන් ආකාශ වස්තූන් වෙත පය තැබුවද, එදා ඉසිවරු මහ පොළවේ සිට සොයා දැනගත් දේට අමතරව මෙතෙක්  සොයාගත් දෙයක් නැත.
  සෙනසුරු මාරුව, රාහු මාරුව, කේතු මාරුව, ගුරු මාරුව පොදුවේ රටට ලෝකයට මෙන්ම ජිවිත වලටද බලපෑම් එල්ල කරන බව සැබෑවකි. එමෙන්ම මාස කීපයක් එකම රැසක රැඳී සිටින හෝ ශනි, රාහු, කේතු, ගුරු ආදී ග්‍රහයෙක් සමග සංයෝග වන කුජද බලපෑම් එල්ල කරයි. බුධ මාරු සිකුරු මාරු ඇසුරින් පවසන  කරුණු කාරණා ඔළුවට ගත යුතු නැත.

Tuesday, March 22, 2016

රවි ගෙන් යෙදෙන බලගතු යෝග.

තාරකා මණ්ඩලයේ රජුගෙන් යෙදෙන බලගතු යෝග තුන,
වෙශි, වොශි, උභයචාරී යෝග.
ඔබේ කේන්දරයේත් තිබෙනවාදැයි බලන්න.

    රවි හෙවත් සූර්යයා තාරකා මණ්ඩලයේ රජතුමා යි. තාරකා ශාස්ත්‍රය හා සම්බන්ධ සෑම සියලු කටයුත්තකදී ම හිරු ට මූලික තැන හිමිවෙනවා. හිරු ගෙන් තොරව ලොවක් පවතින්නේ නෑ. පුරාණයේ පටන්ම ජනයා හිරු ට විශේෂ සැළකිල්ලක් දක්වලා තියෙනවා. හිරු ගෙන් ලොවට එල්ල වන බලපෑම සුළු පටු නෑ. හිරු රාහු ගේ ග්‍රහණයෙන් මුදවාලීම සඳහා බුදුන් වහන්සේ සූර්ය පිරිත දේශනා කළ බව බෞද්ධ සාහිතයේ සඳහන් වෙනවා. 
   කේන්දරයේ හිරු බලවත්වීම යහපත් පෞරෂයක් ලැබීමට හේතුවෙනවා.  එඩිතරකම, ගෞරවය, ස්ථිර ගතිය, ඉදිරියට යන ගතිය, යහපත් ශරීර සුවතාවය වැනි සුබ ඵල හිරු ගෙන් උරුම වෙනවා.හිරු දුර්වල වීමෙන් මෙම යහපත් ඵල නොලැබී යනවා. රෝග නාශක බලය මූලිකවම ලැබෙන්නේ හිරු ගෙන් බැවින් හිරු යහපත් ලෙස පිහිටා තිබීම වැදගත් වෙනවා.කොහොම වුණත් සෙසු තාරකාවන් මෙන්ම රවි ද කේන්දරයක සටහන් වන්නේ පෙර පින් පව්, කුසල් අකුසල් බලය ට අනුකූලව යි. අපට ඇවැසි තැනෙක කිසිදු තාරකාවක් සටහන් කරගන්න බෑ. රවි ගෙන් යෙදෙන යෝග ගණනාවක් තිබෙනවා. වෙශි, වොශි, උභයචාරී යන යෝග තුන පිළිබඳවයි මේ කතා කරන්න හදන්නේ. මෙම යෝග එකක්, දෙකක් හෝ තුනම වූවත් කේන්දරයක පිහිටන්න පුළුවන්.
    වෙශි යෝගය.
  රවි ගෙන් දෙවැනි භාවයේ සඳු, රාහු, කේතු හැර වෙනත් ග්‍රහයෙක් සිටිනවා නම් වෙශි යෝගය යෙදෙනවා. යෝගයෙන් ලැබෙන සුබ ඵල කොපමණ දැයි තීරණය වන්නේ රවි ගෙන් දෙවැනි භාවයේ සිටින ග්‍රහයා අනුව හා රවිගේත් එම ග්‍රහයාගේත් බල දුබලතා අනුව යි. රවි සිටින්නේත් යහපත් තත්වයක නම්,රවි ගෙන් දෙවැනි භාවයේ සිටින ග්‍රහයා සුබ ග්‍රහයෙක් නම්, එම සුබ ග්‍රහයා යහපත් අන්දමින් සිටින්නේ නම් යෝගයෙන් ලැබිය යුතු සුබ ඵල නොඅඩුව ලැබෙනවා.
  මෙම යෝගය හේතුවෙන් මහත් වාසනා බලයක් හිමිවෙනවා. නිතර සතුටින් කල් ගෙවීමට හැකි වෙනවා. යහපත් ආර්ථිකයක් ගොඩනගාගැනීමට හැකි වෙනවා.
  පහත කේන්දරයේ වෙශි යෝගය සටහන්ව තිබෙන ආකාරය බලන්න. රවි ගෙන් දෙවැනි භාවයේ ගුරු තැන්පත්ව වෙශි යෝගය උදාවී තිබෙනවා. මෙය ජනකාන්ත ඉන්දීය නිළි මධුරි ඩික්සිත් ගේ කේන්දරය යි.

 වොශි  යෝගය.
  රවි ගෙන් දොළොස්වැන්නේ රාහු, කේතු, සඳු හැර වෙනත් ග්‍රහයෙක් සිටීමෙන් වොශි යෝගය උදා වෙනවා. වොශි යෝගය හේතුවෙන් සතුටින් නිදහසේ කල් ගෙවීමට හැකි වන අතර සසිරිමත් ජිවිතයක් ගත කිරීමට හැකිවෙනවා. දෙවැන්නේ සිටින්නේ පාපී ග්‍රහයෙක් නම් ලැබිය යුතු සුබ ඵල ඒ අයුරින්ම බලාපොරොත්තු විය නොහැකියි. දෙවැන්නේ සිටින්නේ සිකුරු හෝ බුධ හෝ ගුරු නම් යෝගයේ ඵල නිවැරදිව හිමි වෙනවා.
  පහත දැක්වෙන කේන්දරය දෙස බලන්න. රවි ට දොළොස්වැන්නේ බුධ තැන්පත්ව වොශි යෝගය උදා වී තිබෙනවා. මේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ගේ කේන්දරය යි.

 උභයචාරී යෝගය 
   උභයචාරී යෝගය නම් සඳු, රාහු, කේතු හැර වෙනත් ග්‍රහයින් දෙදෙනෙක් රවි ට දෙපසින් සිටීම යි. මෙමගින් මනා කථන ශක්තියක් ඇතිවෙනවා.සෑම කාර්යයකින්ම, සෑම කටයුත්තකින්ම සොම්නසක් ලබන මොවුන් ධනය හා ප්‍රසිද්ධියද ලබනවා. බොහෝ දෙනෙකු ගේ ගෞරවයට ආදරයට ලක් වෙනවා. යහපත් ශරීරයකින් යුක්ත වෙනවා.  රවි ට දෙපසින් අසුබ ග්‍රහයින් තැන්පත් වීමෙන් නියම ඵල නොලැබී යන බවද මතක තබා ගත යුතුයි.
 පහත දැක්වෙන කේන්දරයේ උභයචාරී යෝගය උදා වී තිබෙන අයුරු බලන්න. අට වැන්නේ සිටින රවි ගෙන් දෙවැනි භාවයේ සිකුරු තැන්පත්ව සිටින අතර රවි ගෙන් දොළොස්වැනි භාවයේ ගුරු සහ බුධ තැන්පත්ව සිටිනවා. මෙම කේන්දරයේ හිමිකරුවා ලංකාවේ ජන නායකයෙකුගේ පුතෙකු වන අතර දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කරනවා. මෙම කේන්දරයේ රවි අට වැන්නේ තැන්පත් නොවී සුබ ස්ථානයක තැන්පත්ව සිටියදී උභයචාරී යෝගය යෙදුණා නම් වඩාත් විශිෂ්ඨ සුබ ඵල අත් වෙනවා.

යෝගයට සම්බන්ධ ග්‍රහයින් බලවත්ව සිටින තරමට යෝගයෙන් ලැබිය යුතු සුබ ඵල මනාව හිමිවෙනවා. ග්‍රහයින් දුර්වලව පිහිටා ඇති කල්හි යෝගයෙන් ලැබිය යුතු සුබ ඵල අවම වෙනවා.