Thursday, February 23, 2023

පෘථිවියට දැඩි බලපෑම්.

 


සූර්යයාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන්වී ගොස් ටොනාඩෝවක් ආකාරයට  උත්තරධ්‍රැවයේ භ්‍රමණය වන බව මහාචාර්ය ටමිතා ස්කොව්  2023.02.03 වෙනිදා ට්විටර් ඔස්සේ සටහනක් තබමින් පැවසුවා. මිලර්විල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් වන ටමිතා ස්කොව් "අභ්‍යවකාශ කාළගුණ කාන්තාව" ලෙස සමාජ මාධ්‍ය තුළ හඳුන්වනවා. ඇයගේ ප්‍රකාශයෙන් පසුව  මෙම සිද්ධිය ලොව පුර බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා. ඉන් සති දෙකකට පමණ පසු තවත් විද්‍යාඥයෙක් එය සත්‍යයක් නොවන බව ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් සූර්යයාගෙන් නැඟෙන සුවිසල් ගිනි දැල් හැර වෙන යමක් සිදුවී නැති බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා. විද්‍යාඥයින් නොයෙක් මත පලකරනවා. එය අපට ගැටළුවක් නෙමෙයි. සූර්යයා මත විශේෂ යමක් සිදුවී ඇති බව අසත්‍යයක් විය නොහැකියි. ඒකාන්ත වශයෙන්ම යම් විශේෂ සිදුවීමක් සිදුව තිබෙනවා. එහි ආරම්භය වසර තුනක් පමණ දුරකට ගමන් කරනවා.

ටමිතා ස්කොව්ගේ ප්‍රකාශයෙන් දින කීපයකට පසුව 2023.02.06 දින තුර්කි සිරියා දේශ සීමා ආසන්නයේ රික්ටර් මාපකයේ 6.4 ක භූමි කම්පාවක් සිදුවුණා. හතලිස් දහසකට අධික ජීවිත විනාශ වුණා. මේ වන විට ලෝකයේ බොහෝ තැන්වලින් භූමිකම්පන පිළිබඳ පුවත් වාර්තා වෙනවා. බලපෑම භූමිකම්පාවලින් නිමා වීමේ හැකියාවක් නෑ. වෙනත් ආකාරයේ විපත් බොහොමයක් ඇති වීමේ පැහැදිලි අවදානමක් පවතිනවා. 

විශ්වයේ සෑම ක්‍රියාවලියක්ම අනාවරණය කරගැනීමේ හැකියාව විද්‍යාඥයින්ට නැති බව වගේම ඔවුන් අනාවරණය කරගන්නා සෑම දෙයක්ම ප්‍රකාශයට පත් නොකරන බවද දැන සිටීම වැදගත් වෙනවා.

සූර්යයා මත ඇතිවෙමින් පවතින සිදුවීම් හේතුවෙන් පෘථිවිය තුළ භූමිකම්පා මෙන්ම වසංගත, දුර්භික්ෂ, අනපේක්ෂිත දැඩි වර්ෂා  මෙන්ම මහා පරිමාණයේ ජලගැලීම් වැනි විපත් ඇති වීමේ අවදානමක් පවතිනවා.  සූර්යයා මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ තත්වය වඩාත් අයහපත් අතට හැරෙනවා.

සූර්ය චක්‍රය, සූර්ය චුම්බක ක්‍රියාකාරකම් චක්‍රය, සූර්ය ලප චක්‍රය ආදී ලෙස හඳුන්වන සූර්යයාගේ පරිවර්තනයක් සෑම වසර එකොළහකට වරක් සිදුවෙනවා. විද්‍යාඥයින් සූර්යයා මතුපිට ඇතිවන ලප, ගිනිදැල්, යෝධ පිපිරීම්, සූර්ය කුණාටු ආදිය නිරීක්ෂණය කිරීමෙන් එම චක්‍රීය කාලසීමාවන් ගැන නිගමනයට එළඹෙනවා. දැනට වසර තුනක පමණ කාලයක් තුළ එවැනි සිදුවීම් ගණනාවක් විද්‍යාඥයින් නිරීක්ෂණය කළා.  එමෙන්ම වසර 90 ක් වූ සූර්ය චක්‍රයක්ද පුරාතනයේ විසු ගවේශකයින් සොයාගෙන තිබෙනවා. වසර 45 ක් පුරා සූර්යයා සක්‍රීය, තරුණ අවධියක පසුවන බවත් එතැන් සිට වසර 45 ක් පුරා ඉන් වෙනස්ව යම් මන්දගාමී තත්වයක පවතින බවත් ඔවුන් සොයාගත්තා. මන්දගාමී තත්වයේ අවසන් කාලය එනම් 90 වෙනි වසර වන විට සූර්යයා මත සිදුවන නොයෙක් කැළඹිලි හේතුවෙන් පෘථිවියට අහිතකර බලපෑම් එල්ල වන බවත් දැනගත්තා. ඊජිප්තුවේ පාරාවෝ රජවරු නයිල් නදියේ ජලමට්ටම වෙනස් වන ආකාරය නිරීක්ෂණය කර මේ සමබන්ධයෙන්  වැදගත් තොරතුරු රැසක් සොයාගත්තා. 

පසුගිය වසර කීපයක් තුළ පෘථිවිය මත සිදුවුණු බොහෝ සිදුවීම් සියුම්ව නිරීක්ෂණය කරන විට සූර්ය චක්‍රයේ යම් විශේෂ සන්ධිස්ථානයක් එළඹ ඇති බව පැහැදිලි වෙනවා. ඉන් ඇතිවන විවිධාකාරයේ බලපෑම් හේතුවෙන් ලෝවැසියන් විශාල පිරිසකට දැඩි පීඩා විඳින්නටද සිදුවෙනවා. 


සංජීව කුළුපන බණ්ඩාර 



Monday, February 13, 2023

තුන්වැනි ලෝක යුද්ධය අත ළඟද ?



 සෙනසුරු සහ නෙප්චූන් අතර පිහිටි ලා නිල් පැහැති ග්‍රහ ලෝකය. "යුරේනස්". මේ යෝධ ග්‍රහ ලෝකය ජ්‍යොතිෂය තුළ විශාල මෙහෙවරක් ඉටුකරනවා. විශේෂයෙන්ම ලෝකායත ජ්‍යොතිෂය තුළ යුරේනස්ගේ භූමිකාව අති සුවිශේෂයි.  වසර 7 ක පමණ කාලයක් රාශියක රැඳී සිටින යුරේනස් ඉතාමත් විප්ලවකාරී ග්‍රහයෙක් විදියට සැළකෙනවා. ඒවගේම ඉහළ බුද්ධිය නියෝජනය කරන ග්‍රහයා ලෙසට ද සැළකෙනවා. චිරස්ථාපිත, සාම්ප්‍රදායික ව්‍යුහයන් කඩා බිඳ දමමින් රැඩිකල් වෙනසක් ඇති කිරීම යුරේනස්ගේ කාර්ය භාරයයි. සමාජ විපර්යාශ ඇතිකිරීම, ස්වාධීනත්වය සඳහා ජවසම්පන්න පෙළඹවීමක් ඇති කිරීම, විමුක්තිදායක සටන් ඇවිලවීම යුරේනස්ගේ ක්‍රියාදාමයන් අතරට අයත් වෙනවා. 

කිසිම ග්‍රහලෝකයක් හුදකලාවෙ නෑ. විශ්වයේ සියල්ල එකට සම්බන්ධයි. යම් සිදුවීමක් කෙරෙහි වන බලපෑම ඉරු ප්‍රමුඛ සියලු ග්‍රහ වස්තූන්ගේ සුසංයෝගයෙන් සිදුවන්නක් වූවත්, ලෝක සංග්‍රාමයන් සමඟ යුරේනස්ගේ සබැඳියාව ගැන කතා කිරීම ලිපියේ අරමුණ වෙනවා.

1914 ජූලි 28 පළමු ලෝක යුද්ධය ආරම්භ වන විට යුරේනස් සෙනසුරු හිමි මකර රාශියේ ගුරු සමඟ රැඳී සිටියා. සෙනසුරු ප්ලූටෝ සහ බුධ සමඟ මිථුන රාශියේ රැඳී සිටියා. ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා රවි ගමන් කළේ යුරේනස්ට සප්තමව කටක රාශියේ. රුධිර කාරක කුජ රවිට අයත්  සිංහ රාශියේ. ඒ කේතු සහ සිකුරු සමඟ.

මකර රාශිය රාශි චක්‍රයේ දස වෙනි රාශියයි. විශ්ව කේන්දරයේ ක්‍රියාත්මක ස්ථානයයි. මකරයේ හිමිකරුවා සෙනසුරා යි. සෙනසුරුට අයත් මකර රාශියේ යුරේනස් ගමන් කරන කාල සීමාවන් අනතුරුදායකයි, බිහිසුණුයි. 1827 ඔක්තෝබරයේ රුසියානු,ප්‍රංශ,ඉංග්‍රීසි හමුදා තුර්කිය සමඟ යුධ වදින අවස්ථාවේදී ද යුරේනස් මකර රාශියේ රැඳී සිටියා. තවත් අතීතයට ගියොත් යුරේනස් මකරයේ රැඳී සිටි සෑම අවස්ථාවකදීම ලෝකයේ මහා යුධ ගැටුම් ඇති වුණු බවට පැහැදිලි සාක්ෂි හමුවෙනවා.යුරෝපයේ ගමන් මඟ වෙනස් කළ මහා සංග්‍රාමය 1746 දී  බ්‍රිතාන්‍ය භූමිය තුළ සිදුවන අවස්ථාවේදී ද යුරේනස් මකර රාශියේ රැඳී සිටියා.

1939 සැප්තැම්බරයේ, දෙවන ලෝක සංග්‍රාමය සිදුවන අවස්ථාවේදී සෙනසුරු හා කේතු සමඟ යුරේනස් කුජ හිමි මේෂ රාශියේ රැඳී සිටියා. කුජ තම උච්ච භවනය වූ මකරයේ රැඳී සිටියදී ප්ලූටෝ රැඳී සිටියේ කුජට සප්තමව කටක රාශියේ යි. යුද්ධයේදී ජර්මන් නාසි හමුදාව රුසියාව ආක්‍රමණය කළා. නාසි හමුදාවෙන් මව්බිම බේරාගැනීමේ රුසියානු ජයග්‍රාහී මෙහෙයුම නම් කළේ "ඔපරේෂන් යුරේනස්" නමින්. 

යුරේනස් මකර රාශියේ ගමන් කරන කාල පරිච්ඡේදයන් මෙන්ම යුරේනස් මේෂ රාශියේ ගමන් කරන කාල පරිච්ඡේදයන් ද සුබදායක නෑ. 

2016.06.26 දින යුරේනස් මේෂ රාශියට ගමන් කළා. මේ වන විට මේෂ රාශියේ රැඳී සිටින යුරේනස් 2025.03.18 දින වෘෂභ රාශියට ගමන් කරනවා. 2022.02.24 දින රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඇරඹි යුද්ධය තවමත් ඉදිරියට ඇදෙමින් පවතිනවා.

තෙවන ලෝක යුද්ධය මේ වන විට ආරම්භ වී අළු යට ගිනි මෙන් තිබෙනවා විය හැකිද ? එසේත් නැතිනම් 2025.03.19 තෙක් කාලය තුළ කිනම් මොහොතක හෝ සංග්‍රාමය ආරම්භ වෙයිද ? මොනම ආකාරයක හෝ යුද්ධයක් මේ මිහිපිට ඇති නොවේවායි ප්‍රාර්ථනා කරමු. එසේ වූවත් ලෝක නායකයින් (උමතු දේශපාලඥයින්) නොයෙක් ආකාරයේ විනාශකාරී අවි ආයුධ නිපදවමින් ගොඩ ගසාගන්නේ   කුමන අරමුණකින්ද ?  ඒ වෙනත් ග්‍රහලෝක සමඟ යුධවැදීමට නොවෙයි.

සංජීව කුළුපන බණ්ඩාර