Wednesday, December 6, 2017

නව වසරේ සුබ අසුබ.


2018 ඔක්තෝබර් මස 10 වෙනි දින සිදුවන ගුරු මාරුව හා අප්‍රේල් මස 18 දින පටන් සැප්තැම්බර් මස 06 දින තෙක් සිදුවන සෙනසුරු ගේ වක්‍ර වීම නව වසර තුළ සිදුවන විශේෂ සිදුවීම් ලෙස දැක්විය හැකියි. මීට අමතරව චන්ද්‍රග්‍රහණ දෙකක්, සූර්යග්‍රහණ තුනක් හා ග්‍රහ යුද්ධ 14 ක් ද නව වසර තුළ සිදුවීමට නියමිතයි.
 මේ නව වසර තුළ ඔබේ ලග්නයට අනුව ඔබට ලැබෙන සුබ අසුබ බලපෑම් කෙසේදැයි විමසා බලමු.

මේෂ ලග්නය.
ධනය: පොදුවේ ගත් විට නව වසර ආර්ථිකය සම්බන්ධයෙන් බොහෝ දුරට සුබදායකයි. අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට හැකි වෙනවා.සිකුරු ගේ මහ දශා, අතුරු දශා ගතකරන මේෂ ලග්න හිමියන්ට ආර්ථිකය සම්බන්ධයෙන් වඩාත් සතුටු වීමට හැකි වෙනවා. මාර්තු 27 දින පටන් මැයි 15 දින තෙක් කාලය ආර්ථිකය අතින් වඩාත් සුබදායකයි.
රැකි රක්ෂා:
කේතු රැකියා ස්ථානයේ කල් ගෙවන බැවින් රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුට තෘප්තිය වරින් වර අඩු වෙනවා.එසේ වූවත් රැකියා කටයුතු සම්බන්ධයෙන් බරපතළ ගැටළු කරදර මතුවීමට ඉඩක් නෑ. අලුත් ව්‍යාපාර වලට අත ගැසීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් මාර්තු 27 දින පටන් අප්‍රේල් 20 දින තෙක් කාලයත්, සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලයත් සුබදායකයි.
ගෘහ ජීවිතය:
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් නව වසර තුළ මිශ්‍ර පල උදා වෙනවා.ගෘහ ජීවිතයේ සමගිය වරින් වර බිඳ වැටෙන තත්වයක් පවතිනවා.විවාහ කටයුතු වලට තරමක බාධක එල්ල වෙනවා.නොසුදුසු තීන්දු තීරණ හේතුවෙන් යුග දිවියේ සතුට, සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙන බැවින් විවාහක මේෂ ලග්න හිමියන් තම හැඟීම් පාලනය කරගෙන ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.ඔක්තෝබර් 10 දින පටන් ගෘහ ජීවිතය ආශ්‍රිතව සුබදායී වෙනස්කම් සිදුවෙනවා.විවාහ කටයුතු කෙරෙහි එල්ල වෙමින් තිබුණු බාධක අවහිර ඉවත්ව යනවා.සිකුරු මහ දශා, අතුරු දශා ගත කරන මේෂ ලග්න හිමියන්ට වසර පුරා සුබ පල අත් වෙනවා.
සෞක්‍යය:
පපුව ආශ්‍රිත අසනීප පීඩා මතුවීමට ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතුවල නිරත වන මේෂ ලග්න හිමියන්ට නව වසර සුබදායකයි. අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව, සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා.

වෘෂභ ලග්නය.
ධනය:
ආර්ථිකය සම්බන්ධයෙන් නව වසර තුළ විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි. ධන හානි, අධික වියදම්, නිෂ්පල වියදම් වලට ඉඩ තිබෙනවා.ලාභ බලාපොරොත්තුවෙන් විශාල ලෙස මුදල් වැය කිරීම් වලින් වැළකී සිටීම වැදගත් වෙනවා.ඔක්තෝබර් 10 දින පටන් ආර්ථිකයේ තරමක යහපත් තත්වයක් ඇතිවෙනවා.
රැකි රක්ෂා:
රැකියා ස්ථානයේ අධිපති සෙනසුරු අට වැන්නේ කල් ගෙවමින් ඒරාෂ්ඨක අපල උදා කරන බැවින් රැකියා සහ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ගැටළු මතුවීමට ඉඩ තිබෙනවා.රැකියා කටයුතු හෝ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ඉක්මන් තීන්දු තීරණ වලට එළඹීම සුබදායක නෑ.රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුට තෘප්තිය අඩු වෙනවා.නව ව්‍යාපාර ඇරඹීමට අදහස් කරගෙන සිටින වෘෂභ ලග්න හිමියන් අවදානම් සහිත මුදල් යෙදවීම් වලින් වැළකී සිටිය යුතුයි.
ගෘහ ජීවිතය:
සෙනසුරු ඒරාෂ්ඨකයේ බලපෑම ගෘහ ජිවිතයට ද එල්ල වන බැවින් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.සිත් අමනාපකම්,එකඟත්වයකට පැමිණීමේ දුෂ්කරතා ආදියට ඉඩ තිබෙනවා. යුග ජීවිත ගතකරන වෘෂභ ලග්න හිමියන් වඩාත් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.ගේදොර, දේපළ ආදිය සම්බන්ධයෙන්ද ගැටළු මතුවිය හැකියි.නීති ප්‍රශ්නයක් මතුවීමට ද ඉඩ තිබෙනවා.සෙනසුරුගේ මහ දශා, අන්තර් දශා ගතකරන වෘෂභ ලග්න හිමියන් වඩාත් සැළකිලිමත් විය යුතුයි.සිකුරු මහ දශා, අන්තර් දශා ගතකරන අයට අසුබ බලපෑම් අඩු වෙනවා.
සෞක්‍යය:.
ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතුයි.වැටීම්,අනතුරු,අස්ථි බිඳීම් වලට ඉඩ තිබෙනවා.සුළු අසනීපයක් වැළඳුනද ලබා ගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබී යා හැකියි.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා. මානසික නිරවුල්තාවය හොඳින් පවත්වා ගත යුතුයි.

මිථුන ලග්නය.
ධනය:
රාහු ධනස්ථානයේ කල් ගෙවන බැවින් ආර්ථිකය ප්‍රවේශමෙන් මෙහෙයවීම වැදගත් වෙනවා.මුදල් ලැබීම අතින් නව වසර සුබදායකයි. හදිසි ධන ලාභ වලට ද ඉඩ තිබෙනවා.ණයට දීමෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. 
රැකි රක්ෂා:
රැකියා කටයුතු බාධාවකින් තොරව සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා.රැකියා කටයුතු වල විශේෂ ප්‍රගතියක් ඇති වෙනවා.අලුත් ව්‍යාපාර වලට අත ගැසීමට වගේම නව රැකියා කෙරෙහි යොමු වීමටත් නව වසර සුබදායකයි.මැයි 15 දින පටන් ජුනි 26 දින තෙක් කාලය ව්‍යාපාර ඇරඹීමට විශේෂයෙන් සුබදායක වෙනවා.නව රැකියා කෙරෙහි යොමුවීමට ද මෙම කාලය සුබදායකයි.
ගෘහ ජීවිතය:
දුර දිග නොබලා කරන ප්‍රකාශ හේතුවෙන් පාඩු සිදුවීමට මෙන්ම මතභේද ඇතිවීමට ද ඉඩ තිබෙනවා.එබැවින් කතා කිරීමේදී සැළකිලිමත් විය යුතුයි.යුග ජීවිත ගත කරන මිථුන ලග්න හිමියන් සමගිය නිවැරදිව ආරක්ෂා කර ගත යුතුයි.දරු පල අපේක්ෂාවෙන් සිටින මිථුන ලග්න හිමියන්ට පින්වත් දරු සම්පත් හිමිවෙනවා.ගේදොර,දේපළ සම්බන්ධ කටයුතු වලට අත ගැසීමට නව වසර සුබයි.
විවාහ කටයුතු සම්බන්ධයෙන් සුබදායක ග්‍රහ තත්වයක් වසර පුරා පවතිනවා.
සෞක්‍යය:
දෙපා,තුනටිය ආශ්‍රිත වේදනා පීඩාවන්ට මෙන්ම මුත්‍රා ආබාධ වලට ද ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විශිෂ්ඨ ග්‍රහ තත්වයක් පවතිනවා. අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා. තරඟ විභාග ආදියෙන් ජය අත් වෙනවා.

කටක ලග්නය.
ධනය:
නව වසර තුළ සාමාන්‍ය ආර්ථිකයක් පවත්වා ගන්න හැකි වෙනවා.දුර දිග නොබලා කරන වියදම් හේතුවෙන් පාඩු සිදුවීමට ඉඩ තිබෙනවා.ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වැය කරනවා නම් අප්‍රේල් 20 දින පටන් මැයි 14 දින තෙක් කාලයත්, සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලයත් සුබදායකයි.
රැකි රක්ෂා:
රැකියා කටයුතු සම්බන්ධයෙන් බරපතළ ගැටළු මතුවීමට ඉඩකඩ නොමැති නමුත් මානසික නිරවුල්තාවය අඩු වීම හේතුවෙන් සුළු ගැටළු මතුවිය හැකියි.නව වසර තුළ රැකියා ස්ථාන වෙනස් වීමකට ද ඉඩ තිබෙනවා.විදේශ රැකියා සඳහා යොමු වීමට නව වසර සුබදායකයි.අලුත් ව්‍යාපාර වලට අත ගැසීමට සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලය සුබදායක යි.
ගෘහ ජීවිතය:
නව වසර තුළ ගෘහ ජීවිතය සම්බන්ධයෙන් තරමක අහිතකර ග්‍රහ තත්වයක් පවතිනවා.ගෘහ ජීවිතයේ සතුට සැනසීම වරින් වර බිඳ වැටීමට ඉඩ තිබෙනවා.ඉක්මන් හෝ නොසුදුසු තීරණ හේතුවෙන් ගැටළු මතුවිය හැකියි.ගමන් අධික වෙනවා.විවේකය අඩු වෙනවා.සතුරු බලපෑම් එල්ල වීමට ඉඩ තිබෙනවා.ස්ථාන වෙනසකට ද ඉඩ තිබෙනවා.විවාහ කටයුතු වලට ද තරමක බාධක එල්ල වෙනවා.අන්‍යයන් සමග කටයුතු කිරීමේදී ඉවසිලිමත් වීම වැදගත් වෙනවා.ගේදොර සැදීමේ කටයුතු වලට නව වසර සුබයි. හවුල් කටයුතු වලින් ඈත් වී කටයුතු කිරීම සුබදායක බව විශේෂයෙන් මතක තබා ගත යුතුයි.
සෞක්‍යය:
නින්ද නොයාම,මානසික ආතතිය,හිස කැක්කුම්,සෙම් පීඩා ආදියට ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු කෙරෙහි තද බල බාධක එල්ල නොවුණද මානසික නිරවුල්තාවය අඩු වීම හේතුවෙන් තරමක අඩාල වීමක් සිදුවිය හැකියි.

සිංහ ලග්නය.
ධනය:
ලැබීම අතින් නව වසර යහපත් වූවත්, ලැබෙන දේ මෙන්ම තමන් සතුව පවතින ධනය ද ප්‍රවේශමෙන් භාවිතා කිරීම වැදගත් වෙනවා.වියදම් අධික වන අතර ධන හානි වලට ද ඉඩ තිබෙනවා.ණයට දුන්නොත් ආපසු නොලැබී යා හැකියි.
රැකි රක්ෂා:
රැකියා කටයුතු සැළකිය යුතු තරමේ බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා.විදේශ රැකියා වල නියුතු සිංහ ලග්න හිමියන්ට වැඩි වාසි අත්වන බවක් පෙනෙනවා.විදේශ රැකියා කෙරෙහි යොමු වීමටද නව වසර සුබදායකයි.නව ව්‍යාපාර ඇරඹීමට බලාපොරොත්තු වන සිංහ ලග්න හිමියන් ජනවාරි 14තෙක් කාලයත්,අප්‍රේල් 20 දින පටන් ජුනි 08 දින තෙක් කාලයත් භාවිතයට ගැනීම වඩාත් සුබදායකයි.
ගෘහ ජීවිතය:
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් මිශ්‍ර පල උදා වෙනවා.ක්‍රියාශීලී බව, උද්යෝගය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකි වෙනවා.ගමන් බහුල වීම හේතුවෙන් විවේකය අඩු වෙනවා.විදේශ ගමන් වල යෙදීමට නව වසර සුබයි.ප්‍රේම සම්බන්ධතා, විවාහ කටයුතු වලට තරමක බාධක එල්ල වෙනවා.රහස් සතුරු බලපෑම් එල්ල විය හැකි බැවින් අන්‍යයන් විශ්වාස කිරීමේදී හා අන්‍යයන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී විය යුතුයි.
සෞක්‍යය:
උදරශ්‍රිත අසනීප,පිත කුපිත වීම හේතුවෙන් මතුවන අසනීප වලට මෙන්ම සෙම් අසනීප වලට ද ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විශිෂ්ඨ ග්‍රහ බලපෑම් නොපෙන්වන නමුත් සැළකිය යුතු තරමේ බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකි වෙනවා.

කන්‍යා ලග්නය.
ධනය:
මුදල් ලැබීම අතින් නව වසර යහපත් වූවද වියදම් අධික වන බවක් පෙනෙන්නට තිබෙනවා.වියදම් සම්බන්ධයෙන් සැළකිලිමත් වීම වැදගත් වෙනවා.ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වැය කරනවා නම් මැයි 14 දින පටන් ජූලි 04 දින තෙක් කාලයත්, සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලයත් වඩාත් සුබදායකයි.
රැකි රක්ෂා:
රැකියා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා.නව තනතුරු,උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින කන්‍යා ලග්න හිමියන්ගේ බලාපොරොත්තු ඉටුවීමට ඇති ඉඩකඩ අධිකයි.කලා,මාධ්‍ය,නීති,දේශපාලන ආදී ක්ෂේත්‍ර වල නියැලෙන කන්‍යා ලග්න හිමියන්ට වඩාත් සුබදායකයි.බුධ මහ දශා,අන්තර් දශා ගතකරන කන්‍යා ලග්න හිමියන්ට ඉහළ වාසි අත් වෙනවා.ව්‍යාපාර වලට අත ගැසීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් මැයි 14 දින පටන් ජූලි 04 දින තෙක් කාලයත්, සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලයත් වඩාත් සුබදායකයි.
ගෘහ ජීවිතය:
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි.ගේදොර,දේපළ සම්බන්ධයෙන් දියුණුවක් ඇතිවෙනවා.ඉඩකඩම් මිලදී ගැනීමට,ගේදොර සාදා ගැනීමට වසර සුබදායකයි.ප්‍රේම සම්බන්ධතා වලට තරමක බාධක එල්ල වෙනවා.ඇසුරු කරන හිත මිත්‍රාදීන් හේතුවෙන් පාඩු අලාභ සිදුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි.ඥාති සම්බන්ධතා ද තරමක් දුරස් වන බවක් පෙනෙනවා.දරුවන්ට තරමක අපල බලපෑම් එල්ල වෙනවා.
සෞක්‍යය:
උදරාශ්‍රිත අසනීප වලට හා පපුව ආශ්‍රිත අසනීප වලට ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු අවහිරයකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා.තරඟ විභාග ආදියෙන් ජය අත් කරගැනීමට හැකි වෙනවා.

තුලා ලග්නය.
ධනය:
නව වසර ආර්ථිකය සම්බන්ධයෙන් බොහෝ දුරට සුබදායකයි.අනවශ්‍ය වියදම් පාලන කරගැනීමට හැකි වෙනවා.මුදල් ලැබීම අතින් සුබයි.ලාභ බලාපොරොත්තුවෙන් මුදල් යොදවනවා නම් ජනවාරි 17 දින පටන් මාර්තු 07 දින තෙක් කාලයත්,සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලයත් සුබදායකයි.
රැකි රක්ෂා:
රැකියා කටයුතු සම්බන්ධයෙන් බරපතළ ගැටළු,කරදර මතු නොවුණද නොසුදුසු හෝ ඉක්මන් තීරණ හේතුවෙන් සුළු ගැටළු මතුවීමට ඉඩ තිබෙනවා.රාහු මහ දශා,අන්තර් දශා ගත කරන තුලා ලග්න හිමියන් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.විදේශ රැකියා සඳහා යොමුවීමට නව වසර සුබදායකයි.ව්‍යාපාර ඇරඹීමට බලාපොරොත්තු වෙනවා නම් සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලය වඩාත් සුබදායකයි.
ගෘහ ජීවිතය:
ගෘහ ජීවිතය තුළ ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.ඉක්මන් තීරණ හේතුවෙන් සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙනවා. අනපේක්ෂිත බාධක අවහිර එල්ල වන අතර මානසික සහනය ද වරින් වර බිඳ වැටෙනවා.නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් කරන කියන කටයුතු වලදී සැළකිලිමත් විය යුතුයි.ස්ථාන වෙනසකට ද ඉඩ තිබෙනවා.රාහු මහ දශා, අතුරු දශා ගත කරන තුලා ලග්න හිමියන් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.විදේශ ගමන් වල දීමට නව වසර සුබදායකයි.
සෞක්‍යය:
සෙම් පීඩා, දෙපා ආශ්‍රිත වේදනා, පපුව ආශ්‍රිත අසනීප ආදියට ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු වල යෙදෙන තුලා ලග්න හිමියන්ට නව වසර සුබදායකයි.තම ඉලක්ක සාර්ථකව සපුරා ගැනීමට හැකි වෙනවා.

වෘශ්චික ලග්නය.
ධනය:
නව වසර තුළ ආර්ථිකය සම්බන්ධයෙන් දැඩිව සැළකිලිමත් විය යුතුයි. අධික වියදම්,ධන හානි,නිෂ්ඵල වියදම් වලට ඉඩ තිබෙනවා.අන්‍යයන් වෙනුවෙන් ද වියදම් දැරීමට සිදුවෙනවා.අවදානම් සහිත ආයෝජන වලින් වැළකිය යුතුයි.
රැකි රක්ෂා:
රැකියා කටයුතු සම්බන්ධයෙන් සුළු ගැටළු මතුවීමට ඉඩ තිබෙනවා.සෙනසුරු මහ දශා,අතුරු දශා ගත කරන වෘශ්චික ලග්න හිමියන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි.විදේශ රැකියා කෙරෙහි යොමු වීමට නව වසර සුබදායකයි.ව්‍යාපාර ඇරඹීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ජනවාරි 17 දින සිට මාර්තු 26 දින තෙක් කාලය ඒ සඳහා සුබදායකයි.
ගෘහ ජීවිතය:
ගෘහ ජීවිතය තුළ තරමක ගැටළු මතුවීමේ අවදානමක් පවතිනවා.නොසුදුසු ප්‍රකාශ හේතුවෙන් පාඩු සිදුවීමටත්,සමගිය බිඳ වැටීමටත් ඉඩ තිබෙනවා.කතා කිරීමේදී සැළකිලිමත් විය යුතුයි.අන්‍යයන් වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කිරීමට සිදුවෙනවා.ප්‍රේම සම්බන්ධතා,විවාහ කටයුතු ආදියට බාධක එල්ල වන තත්වයක් පෙනෙන්නට නෑ. කෙසේ වෙතත් සෙනසුරු මහ දශා,අතුරු දශා ගත කරන වෘශ්චික ලග්න හිමියන්ට බාධක දැඩිව එල්ල වෙනවා.දුර ගමන් අධික වෙනවා.ගේදොර සැදීමේ කටයුතු වලට නව වසර සුබයි.දේපළ, ගේදොර මිලදී ගැනීමේදී නිරවුල්තාවය පිළිබඳව දැඩිව සැළකිලිමත් විය යුතුයි.
සෞක්‍යය:
සුළු අසනීපයක් වැළඳුනද නිශ්චය කර ගැනීමට අපහසු වීමට හෝ ලබා ගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා. අනතුරු වලට ඉඩ තිබෙන බැවින් අවදානම් සහිත කටයුතු වලදී සැළකිලිමත් විය යුතුයි.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නව වසර සුබදායකයි.

ධනු ලග්නය.
ධනය:
අනපේක්ෂිත වියදම් අධික වීම හේතුවෙන් ආර්ථිකය තරමක් අඩාල වීමට ඉඩ තිබෙනවා. නව වසර තුළ ආර්ථිකය ප්‍රවේශමෙන් මෙහෙයවීම වැදගත් වෙනවා.සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලය තුළ ආර්ථිකයේ යම් වර්ධනයක් සිදුවෙනවා.
රැකි රක්ෂා:
සෙනසුරුගේ ඒරාෂ්ඨක බලපෑම් හේතුවෙන් රැකියා කටයුතු වලට බාධක අවහිර එල්ල වීමට ඉඩ තිබෙනවා.මානසික නිරවුල්තාවය අඩු වීම හේතුවෙන් ද ගැටළු මතුවිය හැකියි. යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීම මෙන්ම රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉක්මන් තීරණ වලට එළඹීමෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ධනු ලග්න හිමියන් සැප්තැම්බර් 02 දින පටන් දෙසැම්බර් 31 දින තෙක් කාලය භාවිතයට ගැනීම සුබදායක වෙනවා.
ගෘහ ජීවිතය:
මානසික සහනය වරින් වර අඩු වන අතර උත්සාහයේ හා මහන්සියේ තරමට සිතට ගැළපෙන තරමේ ප්‍රතිඵල නොලැබී යාමට ද ඉඩ තිබෙනවා.සෙනසුරු මහ දශා,අතුරු දශා ගත කරන ධනු ලග්න හිමියන් ඉතාමත් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.ඉක්මන් හෝ නොසුදුසු තීරණ හේතුවෙන් මෙන්ම දුර දිග නොබලා කරන ප්‍රකාශ හේතුවෙන් ද ගැටළු මතුවිය හැකියි.ආවේගශීලී ගති පාලනය කරගෙන කටයුතු කිරීම වඩාත් යහපත් වෙනවා. යුග ජීවිත ගත කරන ධනු ලග්න හිමියන් සමගිය ආරක්ෂා කර ගත යුතුයි.මානසික නිස්කලංකතාවය රැකගෙන කටයුතු කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා.
සෞක්‍යය:
වැටීම්,අනතුරු,අස්ථි බිඳීම් වලට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි. සුළු අසනීපයක් වැලඳුනද ඉක්මන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි.සැළකිය යුතු තරමේ බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකි වෙනවා.

මකර ලග්නය.
ධනය:
මකර ලග්න හිමියන් නව වසර තුළ විශේෂයෙන්ම සැළකිලිමත් විය යුත්තේ ධනය සම්බන්ධයෙන් බව මතක තබා ගත යුතුයි. සෙනසුරු ඒරාෂ්ඨක අපල එල්ල කරමින් වැයස්ථානයේ කල් ගෙවන බැවින් වැය පක්ෂය ඉහළ යනවා. නිෂ්ඵල වියදම්, ධන හානි වලට ඉඩ තිබෙනවා. ආර්ථිකය ඉතාමත්ම ප්‍රවේශමෙන් මෙහෙයවිය යුතුයි.
රැකි රක්ෂා:
රැකියා කටයුතු සම්බන්ධයෙන් උද්යෝගය උනන්දුව අඩු වෙනවා. රැකියා වෙනසකට ද ඉඩ තිබෙනවා.හවුල් කටයුතු වලින් වැළකී කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.වැඩි ප්‍රසිද්ධියකින් විවෘත භාවයකින් තොරව කරන රැකියා වල නියුතු මකර ලග්න හිමියන්ට තරමක සුබ පල අත් වෙනවා.සෙනසුරු මහ දශා,අතුරු දශා ගත කරන මකර හිමියන් ඉතාමත් ඉවසිලිමත්ව,සැළකිලිමත්ව කටයුතු කළ යුතුයි.
ගෘහ ජීවිතය:
සතුට,ප්‍රබෝධය වරින් වර අඩු වෙනවා.නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් අන්‍යයන් වෙනුවෙන් ඇප වීම්, අන්‍යයන් ගේ ණය ගණුදෙනු වලට මැදිහත් වීම් ආදියෙන් වැළකිය යුතුයි.විවාහ කටයුතු, ප්‍රේම සම්බන්ධත ආදියට බාධක එල්ල වෙනවා.කැපවීමේ හා වෙහෙසීමේ තරමට තම අගය වටිනාකම අන්‍යයන්ට නොදැනීම හේතුවෙන් කළකිරීම් ඇතිවිය හැකියි.ඥාති හිතමිත්‍රාදීන් වෙතින් තරමක් දුරස් වන බවක් පෙනෙන්නට තිබෙනවා.අධ්‍යාත්මික ක්ෂේත්‍ර තුළ නියැලෙන මකර ලග්න හිමියන්ට උසස් ප්‍රතිඵල අත් වෙනවා.
සෞක්‍යය:
අනතුරු,අස්ථි බිඳීම් වලට මෙන්ම ශල්‍ය කර්මයකට ද ඉඩ තිබෙනවා.අසනීප වලදී වෛද්‍යවරු වැරදි විනිශ්චයන්ට එළඹිය හැකියි.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු වල යෙදෙන මකර ලග්න හිමියන්ට නව වසර සුබදායකයි.අධ්‍යාත්මික අංශ සම්බන්ධයෙන් හැදෑරීම් සිදුකරන අයට වඩාත් සුබදායකයි.

කුම්භ ලග්නය.
ධනය:
ආර්ථිකය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි.අනවශ්‍ය වියදම් අවම කර ගැනීමටත් යහපත් ආර්ථිකයක් පවත්වා ගැනීමටත් හැකි වෙනවා.මාර්තු 03 දින හා මාර්තු 27 දින අතර කාලය තුළ හදිසි ධන ලාභයක් හිමි වීමට ඉඩ තිබෙනවා.
රැකි රක්ෂා:
රැකියා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වෙනවා.ඔක්තෝබර් 12 දින සිට දෙසැම්බර් 31 දින තෙක් කාලය තුළ රැකියා වෙනසකට ඉඩ තිබෙනවා.අප්‍රේල් 20 දින සිට ජුනි 08 දින තෙක් කාලය ව්‍යාපාර ඇරඹීමට සුබදායකයි.ඔක්තෝබර් 12 දින තෙක් කාලය විදේශ රැකියා සඳහා යොමු වීමට සුබයි.
ගෘහ ජීවිතය:
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් බරපතළ ගැටළු කරදර මතු නොවන නමුත් ඊර්ශ්‍යාකාර සතුරු බලපෑම් එල්ල වීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි.අධ්‍යාත්මික කටයුතු කෙරෙහි ලැදියාවක් ඇති වෙනවා.ආගමික කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථා සැලසෙනවා.අප්‍රේල් 20 දින පටන් මැයි 14 දින තෙක් කාලය ගේදොර සැදීමේ කටයුතු වලට සුබදායකයි. ප්‍රේම සම්බන්ධතා, විවාහ කටයුතු සම්බන්ධයෙන් නව වසර සුබයි. ගෙදරදොරේ සමගිය යහපත් ලෙස පවත්වා ගැනීමට හැකි වෙනවා.
සෞක්‍යය:
උදරාශ්‍රිත අසනීප වලට මෙන්ම දෙපා,තුනටිය ආශ්‍රිත පීඩාවන්ට ද ඉඩ තිබෙනවා.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා.තරඟ විභාග ආදියෙන් ජය අත් වෙනවා.

මීන ලග්නය.
ධනය:
ධනෝපායන මාර්ග වලට තරමක බාධක එල්ල වීමට ඉඩ තිබෙනවා.ව්‍යාපාරික කටයුතු වල යෙදෙන මීන ලග්න හිමියන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි.අවදානම් සහිත මුදල් යෙදවීම් වලින් වැළකී කටයුතු කිරීම සුබදායක වෙනවා.
රැකි රක්ෂා:
රැකියා කටයුතු කෙරෙහි උද්යෝගය,උනන්දුව තරමක් අඩු වෙනවා.රැකියාව සම්බන්ධයෙන් සතුට තෘප්තිය ද අඩු වන බවක් පෙනෙන්නට තිබෙනවා.කෙසේ වෙතත් රැකියා වෙනස් කිරීමට නව වසර එතරම් සුබදායක නෑ.ඉක්මන් තීන්දු තීරණ වලින් වැළකී ඉවසිලිමත්ව වැඩ කටයුතු කරගෙන යාම කාලෝචිත වෙනවා.
ගෘහ ජීවිතය:
ගෘහ ජීවිතය සම්බන්ධයෙන් බරපතළ ගැටළු කරදර මතු වන බවක් පෙනෙන්නට නෑ.කෙසේ වෙතත් මානසික ප්‍රබෝධය වරින් වර අඩු වීමට ඉඩ තිබෙනවා.උත්සාහයේ හා මහන්සියේ තරමට හිතට ගැළපෙන තරමේ ප්‍රතිඵල ලබාගැනීමට අපහසු වෙනවා.හිත මිත්‍රාදීන් තරමක් දුරස් වෙනවා. ඉක්මන් හෝ නොසුදුසු තීරණ හේතුවෙන් ගැටළු මතු වීමට ඉඩ තිබෙන බැවින් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි.ගේදොර සෑදීමේ කටයුතු වලට නව වසර සුබදායකයි. ප්‍රේම සම්බන්ධතා වලට තරමක බාධක එල්ල වෙනවා.
සෞක්‍යය:
උදරාශ්‍රිත අසනීප,උෂ්ණ අසනීප,අර්ශස් වැනි දැවිලි රෝග මතු වීමට ඉඩ තිබෙනවා. සුළු අනතුරු වලට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි.
අධ්‍යාපනය:
අධ්‍යාපන කටයුතු වලට වඩා භාහිර කටයුතු කෙරෙහි ඇල්ම,උනන්දුව වැඩි වීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු මඳක් අඩාල වීමට ඉඩ තිබෙනවා. අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩිපුර උනන්දු විය යුතුයි.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය,වාස්තු උපදේශක,දිවයිනටම සාම විනිසුරු 
                දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර 
                      (JYOTISH  BHASKER -INDIA)
දුරකථන: 036 5670512, 077 7065760, 071 8875816
email: kulupanabandara@gmail.com 

Viber: 077 7065760