Saturday, August 23, 2014

නරක කාලෙදි පරිස්සම් වෙන්නෙ කොහොමද ?

                                    

   "හැමෝම කිව්වා එයා හොඳ කෙනෙක් නෙමෙයි කියලා...මම හිතුවෙ ඒ අය ඉරිසියාවට එහෙම කියනව කියලයි. අන්තිමේදි මමයි රැවටිලා තියෙන්නෙ. දැන් මට දෙමාපියොත් නෑ..."
    සල්ලාල ජීවිතයක් ගතකරන හිතුවක්කාර තරුණයෙක් සමග තනි මතයට විවාහ වුණු යෞවනියක් තමයි ඔහොම කියන්නේ. මේ යෞවනිය තවමත් ගත කරන්නේ වයස 14 දි ලබපු රාහු මහ දශාවයි. වෘෂභ ලග්නයෙන් උපන් මැයගේ කේන්දරයේ රාහු ඉන්නේ හත් වැනි භාවයේයි. තනිව නෙමෙයි සිකුරුත් සමගයි. රාහු මහ දශාවේ සිකුරු අන්තර් දශාවේදී ඇය මේ හිතුවක්කාර තීරණයට එළඹුණා. මේ යෞවනියගෙ දෙමව්පියෝ දරුවන්ගේ කේන්දර බලවලා නෑ. වැරද්දකදී දඬුවම් කරනවා හැර අපලයකට පිළියමක් යොදලා නෑ. ගත කරන කාලය අවදානම් කාලයක් බව පහදලා දීලා නෑ. දියණිය ගතකරන්නේ නොසුදුසු, නොගැළපෙන, හිතුවක්කාර තීන්දු තීරණ ගන්නා කාලයක් බව අවබෝධ කරගෙන නිසි පිළියම් යෙදුවානම් මේ දියණියගේ ජීවිතය මේ විදියට අඳුරු වෙන්නේ නෑ.  
    රාහු, කේතු, අඟහරු, සෙනසුරු විතරක් නෙමෙයි පාපී තත්වයට වැටුණු සිකුරු, බ්‍රහස්පති, සඳු වගේ ග්‍රහයොත් වැරදි පාරවල් වල යවන අවස්ථා තියෙනවා. 
   "ඒ කාලෙ මගේ මොළේට හෙන ගහල තිබුණා. දැන් ඉතින් මොනවා කරන්නද....ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න පුළුවන්යෑ..." ඔය විදියට කියන අය මොන තරම් හමුවෙනවද. රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා කියලා කියමනක් තිබුණට සමහරු රෑ දවල් දෙකේම කරන්නේ කාට හරි රැවටෙන එකමයි. නමුත් බොහෝ විට සිදුවන්නේ ග්‍රහයින් විසින් රැවටවීමයි. 
     එක්තරා තරුණයෙකුට විදේශ රටකට යාමේ තද බල ආශාවක් ඇති වෙලා තිබුනා. මෙයා ගතකළේ කේතු මහ දශාව.  සිංහ ලග්නය හිමි කේන්දරයේ කේතු ග්‍රහයා හිටියේ දෙවැනි භාවයේ යි.  කේතු මහ දශා කාලය නිම වන තෙක් විදේශ ගතවීමේ උත්සාහය අත හරින්නැයි පැවසුවත් මේ තරුණයා ඒක ගණනකට ගත්තේ නෑ. විශාල මුදලක් වැය කරගෙන රටකට ගියා. හැබැයි මෙයාට විදේශ ගතවෙලා ඉන්න ලැබුණේ මාස දෙකයි. ඒ මාස දෙක තුළ පවුලේ උදවියත්  හිටියේ ගිනි ගොඩක. කේතු මහ දශාව ඉවර වෙලා සිකුරු මහ දශාව ලැබුවට පස්සේ නැවත විදේශ ගතවෙන්න ලැබුණා. කේතු දශාවෙදි   වගේ ප්‍රශ්න කරදර නැතුව තවමත් සාර්ථකව රැකියාව කරගෙන ඉන්නවා.
        කේතු කියන්නේ හකුළවන ග්‍රහයෙක්.  හකුළවන ග්‍රහයෝ සහ පතුරවන ග්‍රහයෝ කියල කොටස් දෙකක් ඉන්නවා. කෙනෙකුගේ ධන තත්වය, ජනප්‍රියත්වය, පිළිගැනීම, ගෞරවය වැඩි වෙන කාල සීමාවල් තියෙනවා. ඒවගේම කෙනෙකුගේ බැබළීම, දියුණුව, බලය, ආර්ථිකය පිරිහෙන කාල වකවානුත් තියෙනවා. කලාව, දේශපාලනය, ක්‍රීඩාව ආදී සෑම ක්ෂේත්‍රයකම නියැලෙන බොහෝ  දෙනාට මේක පොදු කාරණයක්. හකුළවන ග්‍රහයෝ බලවත් වෙලා පතුරවන තත්වයේ වගේම පතුරවන ග්‍රහයෝ බලවත් වෙලා හකුලවන තත්වයේ ඉන්නත් පුළුවන්. සමහරු ඉතා දීර්ඝ කාලයක් බැබළෙමින් ඉන්න අවස්ථාත් දකින්න ලැබෙනවා. 
      එක්තරා ධනවත් මහත්මයෙක් හිටියා. රාහු දශාව ලබලා ඥානය හීන වෙලා තියෙන කාලයේ මෙයා තමන්ගේ බිරිඳ අයින් කරලා ලාබාල තරුණියක් විවාහ කරගත්තා. තරුණියගේ පෙනුමට, පහසට, හුරතලයට වශී වෙලා තමන්ගේ දේපළත් එයාට ලියල දුන්නා. ටික කාලයක් ගතවෙනකොට මහත්තයට තිබුණු ආදරය, ලෙන්ගතුකම අඩුවෙන්න පටන්ගත්තා. මහත්තයා හොයල බැලුව මොකද මේ බිරිඳ ටික ටික වෙනස් වෙන්නෙ කියලා. පස්සෙ තමයි දැනගත්තෙ බිරිඳ තව කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන කියලා. බිරිඳ සම්බන්ධය ඇති කරගෙන තිබුණෙ අලියට ප්‍රතිකාර කරන්න ආපු  වෛද්‍යවරයා එක්ක යි. අන්තිමේදී මහත්තයා සිය දිවි හානිකරගත්තා. ග්‍රහයො මිනිස්සුන්ව මංමුලා කරන්නේ ඔන්න ඔය විදියටයි. 
      සමහර කාල සීමාවල් වලදි වැරදි දේවල් හරි වගේ පේනවා. හරි දේවල් වැරදියට පේනවා. කරන්න යන වැඩේ අමාරුවෙ වැටෙන වැඩක් කියලා මොන තරම් දෙනෙක් කිව්වත් අහන්න හිතෙන්නෙ නෑ. හරි මාර්ගය පෙන්වලා දෙන අයටත් හිනහ වෙවී ඔළුව නැති වැඩ කරනවා. පස්සේ ජීවිත කාලයම විඳවනවා. 
       නරක කාලවල් වලදි සමහරුන්ට පුදුම දේවල් හිතෙනවා. නිකටෙ පැත්තක් වැඩියි වගේ ඒක අඩුකරගත්තොත් හොඳයි.. බඩේ රැල්ල නැති කරගන්න ඕනැ අප්පා....හිනහ වෙනකොට කම්බුලේ පොඩි වළක් හදාගත්තොත් ෂෝක්.... ඔන්න ඔය වගේ සිතුවිළි නරක කාල වලදි මතු වෙනවා. උපතින් තමන්ට ලැබෙන සංසාරික ලක්ෂණ තියෙනවා. කෙනෙක් කළු වෙලා, සුදු වෙලා, මිටි වෙලා, උස වෙලා උපදින්නෙ නිකම් නෙමෙයි. තමන්ගේ පින් පව්, කුසළ අකුසළ බලය අනුව ලැබෙන ශාරීරික ලක්ෂණ තියෙනවා.  මයිකල් ජැක්සන් කියන්නේ සල්ලි උඩ පීනපු කෙනෙක්. එයත් තමන්ගේ නහය ශල්‍ය කර්මයක් මගින් වෙනස් කරගත්තා. ඒත් ඒක පසු කාලයේදී විකෘති වෙන්න පටන් ගත්තා. ලොව පුරා කෝටි සංඛ්‍යාත රසික පිරිසකගේ ආදරයට පාත්‍ර වෙලා හිටපු මයිකල් ජැක්සන්  දින පතා වේදනා නාශක ඖෂධ භාවිතා කරමින් ගත කළ බව හෙළි වුණේ ඔහුගේ මරණයෙන් පසුවයි. 
         කේන්දරයක බුධ බලවත් නම් මංමුලා වන තත්වය ගොඩක් අඩු වෙනවා. බුධ  ලග්නයේ බලවත්ව ඉන්නවනම් කොහොමටත් මංමුලා වෙන්නේ නෑ. බුධ බලවත් වුණාම  උපාය සහගත නුවණ ලැබෙනවා. තැනට සුදුසු ප්‍රඥාව හිමි වෙනවා. දුර දිග හිතන්න පුළුවන් වෙනවා.  
        සෙනසුරු කියන්නේ දරාගැනීමේ හා ඔරොත්තුදීමේ ශක්තිය ඇති කරන ග්‍රහයායි. අපායේ යතුරයි දිව්‍ය ලෝකයේ යතුරයි දෙකම තියෙන්නේ සෙනසුරා අතේය කියලා කියමනක් තියෙනවා. සෙනසුරා නරකට හිටියොත් නැතිවෙන්නම මංමුලා කරනවා. කෙනෙක්ව ඉහළටම ඔසවා තබන්න වගේම මහ පාරටම ඇදලා දාන්නත් සෙනසුරා දන්නවා. සෙනසුරු අසුබ විදියට ඉඳලා සෙනසුරුගේ දශාව ලැබුවම තත්වය, තරාතිරම නැත්තටම නැතිවෙලා යන විදියට වැඩ කරන්න පෙළඹෙනවා. සෙනසුරුගේ දශාවේදී ගොඩක් දෙනෙක් අමරුවේ වැටෙනවා. අපල කරන්න එන සෙනසුරු ජයග්‍රහණය ලබා දෙන තත්වයට පත් කරගන්න එකයි ඒ වෙලාවට කරන්න තියෙන්නේ.  ඒ සඳහා කළයුතු දේවලුත් ජ්‍යොතිෂය තුළම තියෙනවා.
     ගත කරන්නෙ මොනවගේ කාලයක්ද කියලා අවදානයෙන් ඉන්න කෙනෙක් මංමුලා වෙන්නෙ නෑ. ගත කරන කාලය තුළ මතුවෙන්න පුළුවන් මොනවගේ අනතුරුද කියලා දැනගෙන  ඉන්න අය ප්‍රවේශම් සහගතව කටයුතු කරනවා. මංමුලා කරන්න එන ග්‍රහයාවත් හොඳ පැත්තට හරවාගෙන දියුණුව සාර්ථකත්වය උදා කරගන්න පුළුවන්. ලෝකයේ හොඳම ධනාත්මක විද්‍යාව ජ්‍යොතිෂය යි කියන්නේ නිකම් නෙමෙයි.  
             
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දේශමාන්‍ය
      ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර