Monday, March 23, 2020

කුජ මකරයට.



කුජ හෙවත් අඟහරු 2020 මාර්තු 22 වෙනිදා සෙනසුරුට අයත් මකර රාශියට ගමන් කළේය. මකර රාශිය කුජගේ උච්ච රාශියයි. කුජ 2020 මැයි 04 වෙනිදා තෙක් උච්ච බලයෙන් යුතුව රවිට අයත් උතුරුසළ නැකතේ ගමන් කරයි. මේ වන විට මකර රාශිගතව සිටින සෙනසුරුද ගමන් කරන්නේ රවිට අයත් උතුරුසළ න්කතේය.

 කුජ උච්ච බලයට පත් වූවද මකර රාශිගතව සිටින සෙනසුරු සමඟ යෝග්‍ය වීම සුබදායක නැත. කුජ ලේ ධාතුවට අධිපති ග්‍රහයාය. සත්වයාගේ ප්‍රතිශක්තිය මෙන්ම ජීවය රැක දෙන්නේ රවි හෙවත් සූර්යයා විසිනි. මේ වන විට රවි මීන රාශිගතව සෙනසුරුට අයත් උතුරුපුටුප නැකතේ ගමන් ගනියි. මේ අනුව කුජ මකර රාශියට ගමන් ගැනීමත් සමඟ ඇතිව තිබෙන ග්‍රහ තත්වය සුබදායක නැත. ප්‍රතිශක්තිය හා ජීවය රැක දෙන ග්‍රහයාත්, ලේ ධාතුවට අධිපති ග්‍රහයාත් පීඩාවට පත් වීම ලෝක සත්වයාගේ ශරීර සෞක්‍යයට හිතකර නොවේ.

මේ වන විට ලොව පුරා පවතින කණගාටුදායක තත්වයට මෙම ග්‍රහ රටාව කුමන ආකාරයේ බලපෑමක් එල්ල කරනු ඇතිද යන්න සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අනාවැකි පැවසීම යෝග්‍ය නොවේ. ශ්‍රී ලංකා වාසීන් තුළ ද යම් බියජනක හැඟීමක් ඇතිව තිබෙන මොහොතක ප්‍රවේශම් සහිතව අනාවැකි පැවසිය යුතුව තිබේ. ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකව විමසා සිටින ඕනෑම අයෙකුට කරුණු විස්තර කරදීමට සූදානම් ය.

කුජ මකර රාශිගතව රවිට අයත් නැකතක ගමන් කරන මැයි 04 වෙනිදා තෙක් කාලය තුළ ගිනි අනතුරු ඇතිවීමේ අවදානමක් පවතී. එමෙන්ම මෙම කාලයෙහි  මනුෂ්‍යයා තුළ දැඩි ආවේගශීලී ගති මතු වේ.  ගැටුම්,කෝලාහල, විරෝධතා, වෙඩි තැබීම්, මහජන කැළඹීම් ආදියට ඉඩ තිබේ. පොදුවේ ගත් කළ මෙම කාල සීමාව ලේ සෙලවීම්වලට ඉඩ තිබෙන කාලයක් ලෙස දැක්විය හැකිය.

කුම්භ ලග්නය හිමි ලංකා කේන්දරයේ ලග්නාධිපති සෙනසුරු සමඟ කුජ සංයෝග වන්නේ දොළොස් වෙනි භාවයේය. ලංකා කේන්දරයේ දෙවෙනි සහ එකොළොස් වෙනි භාවාධිපති ගුරුද මාර්තු මස 30 වෙනිදා මකර රාශියට ගමන් කර නීච වීමට නියමිතය. මේ අනුව ඉදිරි කාලය ආර්ථිකය හා දේශපාලනය සම්බන්ධයෙන් සතුටුදායක විය නොහැක. නිසි දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවීමට ඉඩක් නැත.

 ඉදිරි කාලය රජයට ඉතාමත් අභියෝගාත්මක කාලයකි. රාජ්‍ය නායකයින් ආරක්ෂා විය යුතුය. විශේෂයෙන්ම ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුය. ආර්ථික හා දේශපාලන අර්බුධවලට බුද්ධිමත්ව හා ඉවසිලිමත්ව මුහුණ දිය යුතුය.

කෙසේ වෙතත් ඇතිව තිබෙන වසංගත තත්වය හේතුවෙන් නිතර ඇඳිරි නීතිය පැනවීම තුළ ඉහත විග්‍රහ කළ ආකාරයේ ගැටුම්,විරෝධතා, මහජන  කැළඹීම්වලට ඉඩකඩ ඇහිරී යාමට ද ඉඩ තිබේ. කෙසේ වෙතත් මෙම කාලය තුළ වඩාත් සන්සුන්ව කටයුතු කිරීම හැම අතින්ම වැදගත් වේ.

සංජීව කුළුපන බණ්ඩාර 

Sunday, March 22, 2020



ඔවුන් යුග දිවියට පිවිසුණේ 2012 වසරේදී ය. ඒ,යෝජනාවකිනි. පොරොන්දම් හොඳින් ගැළපී තිබුණි. ජ්‍යෝතිර්වේදියා පවසා තිබුණේ දෙදෙනාගේ විවාහය සිදුවීම යහපත් බවය. මේ වන විට දෙන්නා දෙපැත්තක ය. උසාවියේ නඩුවක් විභාග වෙමින් පවතී. දරුවා මව භාරයේය.

විවාහයෙන් මාස කීපයකට පසුව බිරිඳ සැමියාද කැටුව ඇගේ නිවසේ පදිංචියට ගියාය. බිරිඳගේ නිවසේ එතරම් කාලයක් සතුටින් විසීමට සැමියාට හැකි වුණේ නැත. දෙදෙනා අතර ගැටුම් ඇතිවන්නට විය. අඹු සැමියන්ගේ අමනාපකම් බත් මුට්ටිය ඉදෙනකල් පමණක් යැයි කීවද මොවුන්ගේ අඬදබර කෙළවර වූයේ නැත. දෙන්නා දෙමාපියන් බවට පත් වුණද ඔවුනොවුන් අතර ලෙන්ගතුකමක් නොපැවතුණි.

මේ නොනිමි අඬදබරවලට හේතුවක් තිබුණේය. ඒ,බිරිඳගේ නොමනා හැසිරීමකි. ඇය තම මස්සිනා කෙනෙකු සමඟ සම්බන්ධයක් පවත්වාගෙන ගියාය. එය විවාහයට පෙර පටන් පැවති සම්බන්ධයකි. ඇය සැමියාද කැටුව නිවසට පැමිණ තිබුණේ සම්බන්ධය රිසි සේ පවත්වාගෙන යාමටය. සම්බන්ධය සැමියාට හසු විය. අඬදබර ආරම්භ වූයේ එතැන් පටන්ය.

'පොරොන්දම් ගැළපේ විවාහයට සුබදායකය.' ඒ ජ්‍යෝතිර්වේදියා පොරොන්දම් පත්‍රයේ පහළින් ලියා තැබූ වැකියයි.

මේ විවාහය බිඳ වැටුණේ ඇයි ? වැදගත් වන්නේ එයයි.
දෙදෙනාගේ කේන්දර සටහන් දෙක මෙහි පැහැදිලිව දක්වා තිබේ. ඇය උතුරුපුටුප නැකතේ සිව්වැනි පාදයෙන් උපන් තැනැත්තියකි. 22 වැනි දෙර්කානාධිපති කුජ විවාහස්ථානාධිපතියාය. කුජ කර්මස්ථානාධිපති වූ ශනි සමඟ පස්වැන්නේය. ඒ සඳුට සප්ථමවය. ස්ත්‍රී කේන්දරයේ සඳු සුවිශේෂ ග්‍රහයෙකි. මෙම කේන්දරයේ සඳු වඩාත් සුවිශේෂය. මෙම කේන්දරයේ දාර පදය හෙවත් විවාහස්ථානයේ ආරූඩ ලග්නය තුන්වැන්නය. සඳු එහි අධිපති ග්‍රහයාය. සඳු සිටින්නේ එකොළොස්වැන්නේය. එකොළොස්වැන්න කේන්දරයේ ආරූඩ ලග්නයයි.

විවාහස්ථානයේ අධිපති කුජ 22 වැනි දෙර්කානාධිපති වී ශනි සමඟ යෝගව සඳුට දෘෂ්ටිය හෙළීම ඉතාමත් අසුබදයකය. කර්මස්ථානය යනු ක්‍රියාත්මක ස්ථානයයි. එහි අධිපතියා එක්ව සිටින්නේ හත්වැන්නාධිපති කුජ සමඟය. දෙදෙනාගේ දෘෂ්ටියට ලක්වන්නේ සඳුය. ලග්නාධිපති සිකුරු කුජගේ රාශියක් වූ මේෂයේය. මේ අනුව මෙම කාන්තාව ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීම පහසුය.  ඇය තම අභිලාෂයන් කෙසේ හෝ ඉටු කරගැනීමට පෙළෙඹෙයි. අන්‍යයන්ගේ අවවාද අදහස් පිළිගැනීමට සූදානම් නැත. තමන් කරගෙන යන කටයුතු කුමන හේතුවක් මත හෝ වෙනස් නොකරයි. අන්‍යයන් යටතේ පාලනය වීමට කිසිදු සූදානමක් නැත. නම්‍යශීලි ගතිය ඉතාමත් අඩුය.  අනියම් සම්බන්ධතා කෙරෙහි යොමු වන අතර ඒවා කුමන හේතුවක් මත හෝ නවතා නොදමයි. 

විවාහය සම්බන්ධයෙන් කරුණු විමසීමේදී නවාංශකය විශේෂයෙන් පරීක්ෂා කළ යුතුය. මැයගේ මිථුන නවාංශකයෙහි සඳු නීචව හයවැන්නේ සිටියි. ඒ සිකුරු සමඟය. නවාංශකයේ හයවැන්න 22 වැනි දෙර්කානාධිපති වූ කුජට අයත් වෘශ්චිකයයි.

පුරුෂ කේන්දරයේ ග්‍රහ තත්වය විමසා බලමු. තුලා ලග්නය හිමි කේන්දරයේ විවාහස්ථානාධිපති කුජ රවි,කේතු සමඟ සිව්වන්නේ ය. සිව්වැන්න ශනිට අයත් මකරයයි. ශනි 22 වැනි දෙර්කානාධිපති ය. දාර පදය හෙවත් හත්වැන්නේ ආරූඩ ලග්නය පතිතව ඇත්තේ දහවැන්නේය. එහි රාහු සිටියි. දහවැන්න අධිපති සඳු දෙවැන්නේ නීචව සිටියි. මේ අනුව මෙවන් විවාහයක් උරුම වීම ගැන පුදුම විය යුතු නැත.

වෘෂභ රාශිය තුලා ලග්නයෙන් අට වෙනි රාශියයි. තුලා රාශිය වෘෂභ රාශියෙන් හය වෙනි රාශියයි. ඒ අනුව වෘෂභ ලග්නයත් තුලා ලග්නයත් අතර අනොන්‍ය  ආකර්ෂණය, ලෙන්ගතු බව අඩුය. 

මෙම කේන්දර යුගළයේ ගැළපීම පරීක්ෂා කළ ජ්‍යෝතිර්වේදියා පොරොන්දම් පරීක්ෂා කර ඇති නමුත් ග්‍රහ තත්වය පරීක්ෂා කර නැත. ඒ සම්බන්ධයෙන් අල්ප දැනුමක් ඇති අයෙක් විය යුතුය. පොරොන්දම් ගැළපුණු පමණින් විවාහයට යහපත් යැයි නිර්දේශ කිරීම බරපතල වරදකි. පොරොන්දම් ගැළපීම ඉහළ මට්ටමක පැවතුණද කේන්දර හිමියන්ගේ සිතෙහි ස්වභාවය, ආත්ම දමනය, ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතුය.

සංජීව කුළුපන බණ්ඩාර