Friday, October 18, 2019


  වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරඟ වදින ජනාධිපතිවරණය ලෙස මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගතව ඇතැයි කියැවේ. ඒ අතරින් වැඩි ජනතා අවදානයක් යොමුව ඇත්තේ ප්‍රධන දේශපාලන පෙරමුණු නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් වෙතට ය. ඒ අනුව, සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක යන මහත්වරු තම නාමයෝජනා පත්‍ර භාරදුන් මොහොත ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණයි.

මුහුර්ථය යනු මොහොතයි. ශුභ මුහුර්ථය යනු ශුභ මොහොතයි. යම් කිසි විශේෂ කාර්යයකට අතගසනු ලබන මොහොත ශුභ මොහොතක් වන්නට නම් ඒ මොහොතේ විශ්ව ගුණාංග වැඩි ප්‍රමාණයක් එක් රැස්ව, තමන්ටත් තමන් විසින් සිදුකරන කාර්යයටත් හිතකර විශ්ව ශක්තිය ක්‍රියාත්මකව පවතින මොහොතක් විය යුතුය.

ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව ශුභ මුහුර්ථයක් පිළියෙළ කරගැනීමේදී විමසිලිමත් විය යුතු කරුණු රාශියකි. මඟහැරිය යුතු දෝෂ ගණනාවකි. සියලු ගුණාංගවලින් සමන්විත හෙවත් සර්වතෝභද්‍ර මුහුර්ථයක් සෑදීම දෙවියන්ටවත් කළ නොහැකි බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. ශුභ මුහුර්ථ පිළියෙළ කිරීම හෙවත් ශුභ නැකත් සෑදීම ඉතාමත් දුෂ්ඛර, ගැඹුරු කටයුත්තක් බව එයින් පැහැදිලි වේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට නියමිතව තිබුණේ 2019 ඔක්තෝබර් මස 7 වෙනි සඳුදා ය. පළමුව මෙම දිනයේ ගුණ දොස් විමසා බලමු. 2019 ඔක්තෝබර් මස 7 වෙනි සඳුදා දින ප.ව. 05. 29 තෙක් පැවතියේ රවිට අයත් උතුරුසල නැකතයි. උතුරුසල නැකත යනු සුබ කටයුතු සඳහා යොදා ගැනෙන ඉතාමත් යහපත් නැකතකි. උතුරුසල වනාහි රක්ත වර්ණ, ස්ත්‍රී ලිංග, ඌර්ධව මුඛ, වායෝ භූත නැකතක් බවත්, සියලු සුබ කටයුතු ආරම්භ කිරීම සඳහා යෝග්‍ය නැකතක් බවත් ජ්‍යොතිෂයේ සඳහන් වේ. මෙදින ප.ව. 12. 42 තෙක් පැවතියේ පුර නවවක තිථිය යි. සුකර්ම යෝගයද, කෞලව කරණය ද උදාව පැවති අතර පොදුවේ ගත් කළ මෙම දිනය යහපත් දිනයක් බව පැවසිය හැකිය. මෙදින පැවති උතුරුසල නැකත සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම නැකතට අනුව පරම මෛත්‍රී කාණ්ඩයේ නැකතකි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම නැකතට අනුව ක්‍ෂේම නැකත් කාණ්ඩයට ඇතුළත් නැකතකි. අනුර කුමාර දිසානායක මහතාගේ ජන්ම නැකතට අනුව ජන්ම නැකත් කාණ්ඩයට අයත් නැකතකි. මේ අනුව ඔක්තෝබර් 7 වෙනි සඳුදා දිනය පොදුවේ අපේක්ෂකයින් තිදෙනාටම යහපත්ය.

යම් සුබ කටයුත්තක් ආරම්භ කරන අවස්ථාවේ උදාවන ලග්නය කේන්ද්‍ර කරගත් ග්‍රහ බලය අතිශයින් වැදගත්වේ. තත්කාල කේන්දරය යනු මෙම මොහොතේ උදාවන ලග්නය කේන්ද්‍ර කරගත් ග්‍රහ බලයයි. එය තමන්ගේ ජන්ම ග්‍රහ බලයට අනුව යහපත්, වාසනාවන්ත, ජයග්‍රාහී ග්‍රහ බලයක් විය යුතුය.

සජිත් ප්‍රේමදාස මහතා තම නාමයෝජනා පත්‍රය භාරදුන්නේ පෙ.ව 10. 04 ටයි.මේ මොහොත වන විට වෘශ්චික ලග්නයත්, ධනු නවාංශකයත්, උතුරුසල නැකතේ 3 වෙනි පාදයත් සටහන්ව පැවතුණි. තත්කාල කේන්දර සටහනේ ගුරු පළමු භාවයේය. ශනි, කේතු දෙවැනි භාවයේය. සඳු තෙවැනි භාවයේය. රාහු අටවැනි භාවයේය. කුජ,රවි එකොළොස්වැනි භාවයේය. බුධ, සිකුරු දොළොස්වැනි භාවයේය.  අදාල මොහොතේ ගුරු ලග්නගතවීම දෝෂ භංග කරවන පිහිටීමකි. එමෙන්ම රාජ්‍ය කාරක රවි ලග්නාධිපති සමඟ එකොළොස්වැනි භාවයේ තැන්පත් වීමද යහපත්ය. අටවැන්නාධිපති බුධ දොළොස්වැනි භාවයේ තැන්පත් වීම විපරිත රාජ යෝගයකි. භාග්‍යස්ථානාධිපති සඳු තෙවැනි භාවයේ තැන්පත්ව  භාග්‍යස්ථානාය දැකීමද ඉතාමත් යහපත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා තම නාමයෝජනා පත්‍රය භාරදෙන ලද්දේ පෙ.ව 10. 16 ට ය.මේ මොහොත වන විට උදාවී පැවතියේද වෘශ්චික ලග්නය යි. එබැවින් තත්කාල කේන්ද්‍රය පෙර විග්‍රහ කළ අයුරින්ම පැවති බැවින් නැවත විග්‍රහ කිරීම අවශ්‍ය නොවේ.

අනුර කුමාර දිසානායක මහතා තම නාමයෝජනා පත්‍රය භාරදෙන ලද්දේ පෙ. ව 09. 37 ට ය. ඒ මොහොතේදීද තත්කාල ලග්නය වෘශ්චික වූ අතර ග්‍රහ තත්වය පෙර විග්‍රහ කළ ආකාරයටම සටහන්ව පැවතුණි.

සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා පත්‍රය භාරදෙන ලද්දේ රවි කාල හෝරාවේ, රවි පංචම කාල හෝරාවේ, සිකුරු සූක්ෂම කාල හෝරාවේදී ය. රජ්‍යකාරක රවිගේ කාල හෝරාව හා පංචම කාල හෝරාව යොදාගැනීම ඉතාමත් යහපත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා තම නාමයෝජනා පත්‍රය භාරදෙන ලද්දේ රවි කාල හෝරාවේ, සඳු පංචම කාල හෝරාවේ, ශනි සූක්ෂම කාල හෝරාවේදී ය. රවි කාල හෝරාවේ, සඳු පංචම කාල හෝරාව යොදාගැනීම යහපත්ය. සෙනසුරුගේ සූක්ෂම කාල හෝරාව යොදාගැනීම සුබදායක නොවුණත් රවි කාල හෝරාවේ, සඳු පංචම කාල හෝරාව යොදාගැනීම හේතුවෙන් ශනි සූක්ෂම කාල හෝරාවේ අසුබතාවය දුරුවේ.

අනුර කුමාර දිසානායක මහතා තම නාමයෝජනා පත්‍රය භාරදෙන ලද්දේ කුජ කාල හෝරාවේ, සිකුරුගේ පංචම කාල හෝරාවේ, සිකුරු සූක්ෂම කාල හෝරාවේදී ය. තරඟ සඳහා ඉදිරිපත් වීමට කුජ හෝරාව යහපත් බැවින් කුජ කාල හෝරාව යෙදී තිබීම යහපත්ය. එහි සිකුරු පංචම කාල හෝරාවේ සිකුරු සූක්ෂම කාල හෝරාව යෙදී තිබීම ද යහපත්ය.

ශුභ මුහුර්ථ සැදීමේ ක්‍රම දෙකක් පිළිබඳව ජ්‍යොතිෂයේ සඳහන් වේ. ඒ, මහා නක්ෂත්‍රය හා චූල නක්ෂත්‍රය යනුවෙනි. ඉහත කරුණු දක්වන ලද්දේ මහා නක්ෂත්‍රය අනුවය. චූල නක්ෂත්‍රය අනුව, අපේක්ෂක මහත්වරුන්ගේ නමට, නැකතට හිමි පක්ෂීන්ගේ බල දුබලතාවය ද විග්‍රහ කිරීම වැදගත් වේ.

නාමයෝජනා පත්‍රය භාරදෙන ලද අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම නැකතට හිමි කුක්කුට පක්ෂියාගේ නිදි අවස්ථාව උදාවී පැවතුණි. පක්ෂියාගේ නිද්‍රා අවස්ථාව අසුබ වූවද එහි සූක්ෂම රජ අවස්ථාවේ ඇති සූක්ෂම රජ අවස්ථාව දී තිබීම යහපත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා පත්‍රය භාරදෙන ලද අවස්ථාවේ ජන්ම නක්ෂත්‍රයට හිමි මයුර පක්ෂියාගේ මර අවස්ථාවේ සූක්ෂම රජ අවස්ථාවේ අති සූක්ෂම රජ අවස්ථාව යෙදී තිබුණි. පක්ෂියාගේ මර අවස්ථාව අසුබ වූවද සූක්ෂම රජ අවස්ථාවේ ඇති සූක්ෂම රජ අවස්ථාව දී තිබීම යහපත්ය.

අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා පත්‍රය භාරදුන් අවස්ථාවේ ජන්ම නැකත හිමි කුක්කුට පක්ෂියාගේ රජ අවස්ථාවේ සූක්ෂම මර අවස්ථාවේ අති සූක්ෂම රජ අවස්ථාව යෙදී තිබුණි. පක්ෂියාගේ රජ අවස්ථාවත්, අති සුක්ෂම රජ අවස්ථාවත් දී තිබීම යහපත්ය.

චූල නක්ෂත්‍රයේ සිවලිත මුහුර්ථයන්ට අනුව සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා පත්‍රය භාරදෙන ලද්දේ අභිජිත් නම් වූ මුහුර්ථය දී තිබුණු අවස්ථාවේදීය. අභිජිත් මුහුර්ථය සියලු සුබ කටයුතු සඳහා යෝග්‍ය, ඉතාමත් යහපත් මුහුර්ථයකි.

ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා පත්‍රය භාරදෙන ලද අවස්ථාවේදී ද දී තිබුණේ අභිජිත් මුහුර්ථය යි.

අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා පත්‍රය භාරදෙන ලද අවස්ථාවේ දී තිබුණේ තුරදේව මුහුර්ථය යි. අභිජිත් මුහුර්ථය තරමට බලවත් නොවූවද එය යහපත් මුහුර්ථයක් ලෙස සැළකේ.

මේ අනුව බලන විට ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා තම නාමයෝජනා පත්‍ර භාරදුන් අවස්ථාවන් තුනම ජ්‍යොතිෂයට අනුව යහපත්ය. නියම කරන ලද දිනයකදී, නියමිත සීමාවක් තුළදී ශුභ මුහුර්ථ තෝරාගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ.

ජනාධිපතිවරණයට මාසයකට අසන්න කාලයක්‌ ඉතිරිව තිබේ. මෙම කාලසීමාව තුළ දේශපාලන පිටියේ බොහෝ වෙනස්කම්, නොයෙක් පෙරැළි සිදුවිය හැකිය. අවසානයේ මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා තේරී පත්වනු ඇත. ඒ ජනතා ඡන්දයෙනි. ජනතා ඡන්දයෙන් රටේ නායකත්වයට පත්වීමට නම් වාසනා බලයත්, රාජයෝග බලයත් තිබිය යුතුය. ඒ සම්බන්ධයෙන් නුදුරු දිනෙක කතා කරමු.