Friday, February 13, 2015

(2008 ඔක්තෝබර් මස 12 ඉරිදා ලංකාදීප පුවත් පතේ පලවූ මාගේ ලිපියකි.)

              සෙත් කවිය ශාන්ති කර්මයකි. මානසික හා කායික වශයෙන් එල්ල වන්නාවූ අනේක විධ පීඩාවලින් සහනය සලසා ගැනීමට උපයෝගී කරගත හැකි උසස් ශාන්ති කර්මයකි. බොහෝ දෙනා ඈත අතීතයේ පටන්ම නොයෙක් කටයුතු සඳහා සෙත් කවි හා වස් කවි භාවිත කර තිබේ.
            උලකුඩයේ දේවියට පුත් රුවනක් ලබා ගැනීමට විභීෂණ දෙවියන්ගේ පිහිට ඉල්ලා සිරි රහල් හිමියන් විසින් රචනා කරන ලද සැළලිහිණි සංදේශය මෙරට සාහිත්‍යයට එක්වූ ශ්‍රේෂ්ඨතම සෙත් කවිය ලෙස හැඳින්විය හැකියි.කවියෙන් ඉල්ලූ පරිදිම උලකුඩයේ  දේවියට පුත් රුවනක් ලැබුණු බව පැවසේ.
            තවත් අතීතයට සිත යොමු කිරීමේදී බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පිරිත් සුත්‍ර ද ඉතාමත් බලසම්පන්න සෙත් කවි බව තේරුම් ගත හැකිය. නිවැරදි ගණ සංකලනයකට අනුව ශාස්ත්‍රීය ලෙස සකසා ඇති බැවින් පිරිත් වලින්ද මහත් වූ සෙතක් ශාන්තියක් සැලසේ.
              සෙත් කවි අයත් වන්නේ ශබ්ද ශාස්ත්‍රයට ය. ලොව පවත්නා සියලු දේ මෙන්ම ශබ්දය ද, අක්ෂර ද පංච භුතාත්මක ය. සත්ව ශරීරය ද පංච භුතාත්මක වන අතර බුදු දහමින්ද එය සනාථ කර තිබේ. මන්ත්‍ර නිර්මාණය කර තිබෙන්නේද පංච භුතාත්මක වූ අක්ෂර ශාස්ත්‍රීය ලෙස සංයෝග කරමිනි. සෙත් කවි ද මන්ත්‍ර විශේෂයකි. 
              සෙත් කවි කලාව ගැඹුරු ය සංකීර්ණ ය. ආවට ගියාට සෙත් කවි නිර්මාණය කළ නොහැක. කවිකම උපතින් ගෙනා අයෙකුට වුවත් සෙත් කවි තැනීමේ හැකියාව නොලැබේ. හෝරා ශාස්ත්‍රය,ඉන්ද්‍රගුරුළුව, යමකාලය, ජ්‍යොතිෂය, දඬුමරණය, පංච පක්ෂි, ස්වර ශාස්ත්‍රය, පූජා විධි ආදී විෂයයන් පිළිඹදව දැනුමින් තොර පුද්ගලයෙකු විසින් සාදනු ලබන කවියක් ශාස්ත්‍රීය නොවේ.
   වීදාගම මහා මෛත්‍රී හිමියන්, තොටගමුවේ සිරි රහල් හිමියන්, කුංකුනාවේ හිමියන්, භරණ ගණිතඥ වැනි ගිහි පැවිදි පඬිවරුන් සෙත් කවියෙන් හා වස් කවියෙන් දස්කම් දැක්වූවෝ ලෙස ඉතිහාසගතව සිටිති.කාව්‍ය ශාස්ත්‍රයේ සියුම් තැන් මගහැරී යාමෙන් විපතට පත්වූ දක්ෂයින් පිළිඹදවද ඉතිහාසය තොරතුරු සපයයි. ගුත්තිල කාව්‍යය රචනා කළ වෑත්තෑවේ හිමියන්ද එබඳු වියතෙකි.
   නිවැරදි ගණ සංකලනය සෙත් කවියක ප්‍රධාන අංගයකි. ගණ වැරදුණු කළ සෙත් කවිය වස් කවියක් විය හැකිය. එයින් සෙත් කවි රචකයාටද තද බල විපත් එල්ල වේ. වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍යය ආරම්භ කරන්නේ 'සිය පින් සිරින්  සරු' යනුවෙන් වායු ගණයෙන් පසුව සූර්ය ගණය යෙදීමෙනි. මෙයින් එල්ලවූ අසුබ විපාක උන්වහන්සේට විඳින්නට සිදුවිය.
      ශබ්ද විද්‍යාවෙහි ගණ අටක් භාවිතා වේ. භූමි, දේව,චන්ද්‍ර,ජල, සූර්ය, අග්නි, වායු හා ආකාශ යනුවෙනි. මෙහි මුල් ගණ හතර සුබ ගණ ලෙසත් සෙසු ගණ හතර අසුබ ගණ ලෙසත් පිළිගැනේ. මුල් ගණ හතර සෙත් කවි සඳහාත් සෙසු ගණ හතර වස් කවි සඳහාත් භාවිතා වෙයි. භූමි ගණය ගුරු අක්ෂර තුනකින්ද, දේව ගණය ලඝු අක්ෂර තුනකින්ද, චන්ද්‍ර ගණය මුල ගුරු අක්ෂරයකින් හා ලඝු අක්ෂර දෙකකින්ද, ජල ගණය මුල ලඝු අක්ෂරයකින් හා ගුරු අක්ෂර දෙකකින්ද වශයෙන් සමන්විත ය. මේ අනුව ගණයක් යනු අක්ෂර තුනක් බව පැහැදිලි ය.
        ආනන්ද සමරකෝන් මහතා පළමුවෙන් රචනා කළ ජාතික ගීයෙහි මුල් වචන කීපය සටහන් කර තිබුණේ 'නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා' යනුවෙනි. මෙය ගණ වශයෙන් වෙන් කළ විට මෙසේය. 'නමෝන/ මෝමාතා/ අපශ්‍රී' මෙහි මුල් ගණය සූර්ය ගණයයි. දෙවැන්න භූමි ගණය වේ. පසුව වායු ගණය යි. වායු ගණයේ විපාකය මරණය යි. කවියේ තුන් වෙනුව යොදන ගණය ප්‍රධාන වශයෙන්ම කාව්‍ය රචකයාට බලපාන බව ශාස්ත්‍රීය පිළිගනිම යි. වායු ගණයේ බරපතල විපාක අත්විඳින්නට කාව්‍ය රචකයාට සිදුවිය.
    හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා කැළණිය ආසනය වෙනුවෙන් තරඟ කරන සමයෙහි එතුමාගේ ජයග්‍රහණය පතා මලවැන්නේ ශ්‍රී කවිද්වජ හිමියන් විසින් රචනා කරන ලද සෙත් කවිය මෙසේය.
පිරුණියේ ඔබ බලය විභිසණ හිමිඳ හතුරෙක් කසා වතකට
දැකිණියේ තතු නොදැන නින්දා සලස්වයි ඌ දමා   පහතට
කැළණියේ ආසනය දිනවා දෙවා ජේ ආර් ජයවඩන      හට
පැමිණියේ නම් ඉතා යහපති යස කිරණ පීනමිනි      නානට
      නිවැරදි ගණ සංකලනයෙන් යුතුව අක්ෂර, යෝනි ශාස්ත්‍රීය ලෙස යොදා රචනා කළ බලවත් කවියකි. කාව්‍ය ශාස්ත්‍රය නොදන්නා අයෙක් මෙවැනි අවශ්‍යතාවයක් වෙනුවෙන් කවියක් රචනා කළහොත් ජයග්‍රහණය කෙසේ වෙතත් බලවත් විපත් බාධක නම් එල්ල විය හැකියි.
   සෙත් කවියක් ලිවීම ආරම්භ කළ යුත්තේ අදාළ පුද්ගලයාට සීහෙන නැකතක් පවතින සුබ දිනෙක, සුබ හෝරාවක, යහපත් ග්‍රහ පිහිටීම් පවතින අවස්ථාවක ය. කවිය කියැවීම ඇරඹිය යුත්තේද එවන් බලවත් අවස්ථාවක ය. කවිය කියවන සුබ මොහොත එළඹෙන තෙක් එය ශබ්ද නගා නොකියවිය යුතුය.
    මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කාරණය නම් සෙත් කවියක් කියැවීමේදී කවියේ වචන නොකඩා ගායනා කිරීමට වග බලා ගැනීමය. වචන අතරමග කැඩීමෙන් ගණ ඡේදනය වේ. එවිට නියමිත ප්‍රතිපල නොලැබේ. සෑම පදයක්ම අවසානය තෙක් වචන නොකඩා ගායනා කළ යුතුය.
    සෙත් කවියක් දෙවියන් ඉදිරියේ කියැවීමට පළමුවෙන් නියමිත වත් පිළිවෙත් ඉටු කිරීම වැදගත් වේ. බුදුන් වැඳ ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලබාගෙන අදාල දෙවියන්ට ද නියමිත පුද පූජා පැවැත්විය යුතුය. අනතුරුව සිත සමාධිගත කොට සෙත් කවිය ගායනා කළ යුතුය. සෙත් කවි කියැවිය යුත්තේ එළිමහන් නිස්කලංක ස්ථානයකදී ය. වෙනත් ශබ්ද ඝෝෂා සමග නොගැටී නිදහසේ විශ්වය වෙත ශබ්දය මුදා හැරීමට හැකි තැනක් විය යුතුය.
    මන්ත්‍රයක් ජප කළ යුතු වාර ගණනක් ඇත්තා සේම සෙත් කවියකින් නිවැරදි පිහිට ලැබෙන්නේද නිසි වාර ගණන සම්පුර්ණ වීමෙන් පසුව ය. තමන් විසින් රචනා කරන ලද සෙත් කවිය කොපමණ වාර ගණනක් කියැවිය යුතුද යන්න රචකයා දැනගෙන සිටිය යුතුය. අක්ෂර සීහුම් චක්‍රය, හිමි අහිමි චක්‍රය, සිද්ධි චක්‍රය හා මුල් අකුරු ගැළපීමේ චක්‍රය පිළිඹඳව නිවැරදි දැනුමක් ඇතුව රචනා කරන සෙත් කවියකින් ඉක්මන් ප්‍රතිපල ලැබේ. අසාධ්‍ය රෝගියෙකු වෙනුවෙන් රචනා කරන සෙත් කවිය ඉක්මන් ප්‍රතිපල ලැබෙන  කවියක් විය යුතුමය.
පහත සඳහන් වන්නේ ගෙල වැලලා ගත්  තරුණයෙකුගේ ජීවිතය ගලවා ගැනීම සඳහා මවිසින් රචනා කරන ලද සෙත් කවියකි.තරුණයාගේ පවුලේ උදවිය මා හමුවීමට පැමිණ ඉල්ලා සිටියේ කුමක් හෝ කර ජීවිතය බේරා දෙන ලෙසයි. ගෙල වැලලාගෙන තිබුණේ පෙර දින සවස ය. වෛද්‍යවරු පවසා තිබුණේ ජීවිතය බේරාගැනීමට හැකිවේද යන්න ස්ථිරව පැවසිය නොහැකි බවයි.ක්ෂණිකව කළ හැකි දෙයකට තිබුණේ සෙත් කවියක් රචනා කර දීමයි.ඒ අනුව සෙත් කවිය රචනා කර දී එය කියවීමට එදිනම සුබ වේලාවක්ද සාදා දුන්නෙමි.පසු දාම තරුණයා ට සිහිය ලැබුණි. මරණය අභියස සිටි තරුණයා මේ වන විට සුවසේ වෙසෙයි.
  සොඳිනි සම්බුදු සසුන සුරකින සතට සෙත පිළිසරණ    සලසන 
  පතල සිරි වෙණු සුරිඳ සිරි පද වඳිමි යොමු කළ මැනවි  දෙසවන 
   දිවැස ......  ......  ......    ගෙ  දෙසට   යොමු  කරලමිනි               විගසින
  අපල අවහිර බිඳල රැකගනු මැනවි ඔද තෙද කිරණ     හෙළමින  
    ග්‍රහ අපල දුරු කර ගැනීම, රෝගාබාධ සුව කර ගැනීම, රැකියා, තනතුරු ලබා ගැනීම, දියුණුව උදා කර ගැනීම, ව්‍යාපාර දියුණු කර ගැනීම, නඩුවලින් හා තරඟ විභාගවලින් ජයග්‍රහණය අත් කර ගැනීම, විවාහ කටයුතු ඉක්මන් කර ගැනීම හා දරු ඵල ලබා ගැනීම යනාදී කටයුතු සඳහා සෙත් කවියේ පිහිට ලබාගත හැකිය.
    වසර දහස් ගණනක් පුරා නොනැසී පවත්නා මෙම උතුම් ශාස්ත්‍රය ආරක්ෂාවීමට නම් සෙත් කවි රචකයින් නිවැරදි දැනුමින් යුතුව සෙත් කවි රචනා කළ යුතුය. සෙත් කවි ලියවා ගන්නා ජනතාව නිවැරදි දැනුමින් යුතු සෙත් කවි රචකයෙකු තෝරාගත යුතුය. 

    ජ්‍යොතිෂවේදී, මන්ත්‍රාචාර්ය,දිවයිනටම සාම විනිසුරු 
       දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර.