Friday, November 6, 2026

 


මිනිස් හදවතක ගැඹුරුම ආශාවන්, ආදරය සහ ජිවිතයේ සතුට පාලනය කරන අදෘශ්‍යමාන බලවේගය කුමක්ද ? බැලූ බැල්මට එය හුදෙක් හැඟීමක් සේ පෙනුණද විශ්ව විද්‍යාවට අනුව එය ඔබේ කේන්ද්‍ර සටහනේ "සිකුරුගේ" නිහඩ ආඥාවයි. කෙනෙකුගේ ජීවිතය ආදරයෙන් සහ අකර්ශනයෙන් ඔටුනු පළඳවන්නේත් තවත් කෙනෙකු ආදරය සහ සැනසීම සොයා සදාකාලිකවම ලතැවීමට සලස්වන්නේත් මේ මනරම් ග්‍රහයාගේ කිරණ රටාවයි.


අප බොහෝ දෙනෙකු සිතා සිටින්නේ සිකුරු යනු හුදෙක් මිලමුදල් සහ ලෞකික සැප සම්පත් ලබා දෙන ග්‍රහයෙකු කියාය. නමුත් ජ්‍යොතිෂයේ ගැඹුරුම මානයන්ට අනුව සිකුරු යනු ඔබ ඔබ තුළින්ම දකින ආත්මීය කැඩපතයි. කෙනෙකු කලාවට, සංගීතයට හෝ සොබාදහමට මුසු වී ආනන්දයක් ලබන විට ක්‍රියාත්මක වන්නේ මෙම සිකුරුගේ සියුම් කිරණයි. ඔබ ලෝකයට ආදරය කරන්නේ කෙසේද සහ ලෝකයෙන් ආදරය බලාපොරොත්තු වන්නේ කෙසේද යන්න තීරණය කරන, මනසේ ඉහළම රසවින්දනය සහ සංතෘප්තිය පාලනය කරන සිකුරුගේ නොලියවුණු ආත්මීය කතාව මෙන්න.


ස්පර්ශයෙන් ඇති වන දැනීම (The Sense of Touch) ලබාදෙන්නේ සිකුරුය. එය ඉතාමත් වටිනා කතාවකි. ස්පර්ශය යනු මහා බලයකි. හදවත කුළුගන්වන බලයකි. හදවතේ ස්පර්ශය සෑම ස්පර්ශයකටම වඩා බලවත්ය. පෙකණිවැල කපා මවගෙන් සිරුරෙන් වෙන් කරන දරුවා මව් කිරිවලින් වෙන් කරන තෙක් මවගේ හදවතේ ස්පර්ශය විඳියි. දරුවෙකුට වෙනත් ආකාරයකට මව් කිරි ලබා දිය හැකි වූවද මවගේ හදවතේ ස්පර්ශය වෙනත් ආකාරයකට ලබා දිය නොහැක. මවගේ හදවතේ ස්පර්ශය විඳි දරුවා සහ එය නොවිඳි දරුවා යනු දෙදෙනෙකි. දරුවෙකුගේ හදවත ආදරණීය ලෙස නිසි පරිදි වර්ධනය වීමට මවගේ හදවතේ ස්පර්ශය ලැබිය යුතුය. හදවත යනු හැඟීම් දැනීමේ මධ්‍යස්ථානයයි. එසේ නම් ස්පර්ශයෙන් දැනෙන හැඟීම යනු හදවතට දැනෙන ස්පර්ශය මිස වෙනත් ස්පර්ශයක් නොවේ. ජීවිතයේ අවසානය තෙක් හදවතට දැනෙන ස්පර්ශය, හදවත කුළුගන්වන ස්පර්ශය හරියට ලැබෙන්න නම් කේන්දරය තුළ සිකුරු පොහොසත් විය යුතුය.


ආදරය දැනෙන්නේ හදවතටය. ආදරය පිරෙන්නේ හදවතේය. ආදරය අයිති සිකුරුටය. එය බොහෝ දෙනෙක් දන්නා කාරණයකි. කාරණය දන්නා අයද ආදරය සොයති. ආදරය පිටත සෙව්වාට කිසිදාක ලැබෙන්නේ නැත. ආදරය සෙවිය යුත්තේ අතුලාන්තයේය . සියල්ල ගලා එන්නේ ඇතුලාන්තයෙනි. ඇතුලාන්තය තුළ ආදරය පිරි ඉතිරි යන්නේ ද කේන්දරය තුළ සිකුරු ආදරණීය වන තරමටය. එසේ නොවුණු විට සැමදා ආදරය යදින්නට සිදුවේ. එහෙත් ලැබෙන ආදරයක් නැත. සිකුරු කේන්දරය තුළ කෙසේ සිටියද ඇතුලාන්තය ආදරයෙන් පුරවා ගත හැකි නම් හිත පිරෙන්නට ආදරය ලබන්නට හැකිය. හදවත පමණක් නොව සියලු මධ්‍යස්ථාන නිවැරදිම රිද්මයට සුසර කර ගත හැකි නම් කේන්දරය අභිභවා ගොස් තමන්ට අවශ්‍ය වටපිටාව අවශ්‍ය පරිදි සකසා ගත හැකිය. ඒ සඳහා නිසි භාවනා ක්‍රම ප්‍රගුණ කළ යුතුය.


සිත පිරෙන්නට නම් හදවතට දැනෙන දේවල් නොඅඩුව ලැබිය යුතුය. ආදරය,සතුට,ලෙංගතුකම දැනෙන්නේ හදවතටය. හදවත අයිති කේන්දරයේ හතරවැන්නටය. සිකුරු හතරවැන්නට දිග්බලය. සිකුරු සහ හතරවැන්න අතර ඇත්තේ නොබිඳෙන සම්බන්ධයකි. සිකුරු යනු හදවතේ ග්‍රහයාය. ආදරය මෙන්ම වෛරය දැනෙන්නේ ද හදවතටය.ආදරය සහ වෛරය අතර ඇත්තේ ද සමීප සම්බන්ධයකි. හදවතේ වෛරය ක්‍රෝධය ඇති කරන්නේ සිකුරුට සහ හතරට සම්බන්ධ වන දුෂ්ට ග්‍රහයින්ය.දුෂ්ටයෙකුගේ ඇසුරක්, ඇල්මක් බැල්මක් නැති නම් එසේ සිදු නොවේ.හැරදා ගියද සතුටින් සිටිය හැකිය. සිකුරු පොහොසත් නම් අහේනියක්ද නැත.


මධුවිත අයිති සිකුරුටය. රාහුගේ බීම වෙනම එකකි. එය වැටෙන මට්ටමටය. ජ්‍යොතිෂවේදියා නිර්මාණශීලී විය යුතුය. බුද්ධිමත් විය යුතුය. බේබදුකම සහ උගුර මඳක් තෙමාගෙන ගීතයක් ගායනා කරමින් විනෝද වීම යනු දෙකකි. රාහුට අයිති බීමෙන් හදවතට දැනෙන දෙයක් නැත. සිකුරු කිසිවෙක්ව බේබදු තත්වයට පත් නොකරයි. එසේ වන්නේ නම් සිකුරුට සම්බන්ධ වුණු නොහොබිනා ග්‍රහ බලපෑමක ප්‍රතිඵලයක් මත මිස සිකුරුගේ වැරද්දකින් නොවේ.


රාගය අයිති සිකුරුටය. එය ආදරණීය, සාමකාමී රාගයකි. ප්‍රදර්ශන කාමුකත්වය, දර්ශන කාමුකත්වය, ස්වපීඩන කාමුකත්වය, පරපීඩක කාමුකත්වය ආදී වශයෙන් නොයෙක් විකෘති ලිංගික චර්යාවන්ගෙන් යුතු වූවෝ සමාජයේ වෙති. මේවයින් තමන්ට හෝ අනුන්ට ඇති වන්නේ වේදනාවක් හිරිහැරයක් මිස සතුටක් වින්දනයක් නොවේ. සංසර්ගය යනු සමාධිගත විය හැකි අවස්ථාවකි. සිරුරු දෙකක් නොව ආත්මයන් දෙකක් එකිනෙකා හමුවී සහජීවනය සහ අපිරිමිත ආදරය ගොඩනගන සමාධිමත් තැනක් වෙත ලිංගිකත්වය ගෙන යාමේ වගකීම සිකුරු සතුය. එකිනෙකාගේ ශක්තිය ආදරණීය ලෙස මුසු කෙරෙන, ඔවුනොවුන් එකම රිද්මයකට අනුගත කරවන භාවනාත්මක රැඟුමක් බවට එය පත් කරනු ලබන්නේ සිකුරු විසිනි. හදවතේ සම්බන්ධයෙන් තොර රාගය එනම්, ආදරය මුසු නොවූ ලිංගික ක්‍රියාවලිය යාන්ත්‍රිකය. නිස්සාරය. කාලය,සිත සහ මමත්වය යන ත්‍රිත්වයම ක්ෂණයකින් අතුරුදන් කරවන මොහොත නිවැරදිව උදා කර දෙන්නේ සිකුරු විසිනි. 


සිකුරු යනු සිර වීමට, කොටු වීමට අකමැති නිදහස්කාමී ග්‍රහයෙකි. මමත්වය පවතින්නේ මනසේ මිස හදවතේ නොවේ. හදවතේ ග්‍රහයා බැවින් සිකුරුට මමත්වය නැත. සිකුරු සමාජශීලීය.බොහෝ ආදර සම්බන්ධතා බිඳ වැටෙන්නේ මමත්වය නිසාය. සිකුරු අභිභවා මමත්වය ඉස්මතු කරවන ග්‍රහයින් බලවත් වීම, සිකුරු මමත්වයේ ග්‍රහයින්ගේ ඇසුරට ලක්වීම වැනි කාරණා මත නිදහසේ ගලා යා යුතු ආදර බැඳීම් පමණක් නොව විවාහ ජීවිත පවා බිඳ වැටෙන අවස්ථා තිබේ. වරද සිකුරුගේ නොවේ.


හදවතින් මතුවී මුහුණේ ඇඳෙන අව්‍යාජ ආදරණීය සිනහවක විඩාබර, වේදනාබර හදවතක් සුවපත් කිරීමේ ඉන්ද්‍රජාලික බලයක් පවතී. එවන් අව්‍යාජ ආදරණීය සිනහවක් මතුවන්නේ හදවතිනි. හදවතේ ලස්සන පතිත වන්නේ මුහුණටය.හදවතයි මුහුණයි දෙකම ලස්සන කරන්නේ සිකුරුය. 


සිකුරු යනු හුදෙක් අපගේ කේන්දර සටහනක කොටුවක සටහන් වූ ග්‍රහයෙක් පමණක් නොවේ. අප සතු සහජ ආකර්ශණයේ, ප්‍රේමයේ සහ ජීවිතය විඳීමේ කලාවේ ජීවමාන සංකේතයයි. ඔබේ ජීවිතයට සැබෑ සතුට සහ සෞභාග්‍යය ළඟා කර ගත හැක්කේ බාහිරින් කරන වත් පිළිවෙත්වලින් පමණක් නොවේ. ඔබ තුළ සිටින සිකුරු හඳුනාගෙන, ලෝකයට ආදරය සහ කරුණාව බෙදා දීමෙනි. මක් නිසාද යත්,විශ්වයේ ලස්සනම තරුව වන සිකුරු ඔබේ ජීවිතයද අලංකාර කිරීමට සැම විටම මග බලාගෙන සිටින බැවිනි. 


භෞතික සැප සම්පත් පසුපසම හඹා යන ලෝකයක, සිකුරු අපට කියාදෙන්නේ ජීවිතයේ සැබෑ රසවින්දනය පවතින්නේ කොතැනකද  යන්නයි. ඔබේ කේන්දරයේ සිකුරු කුමන ස්ථානයක සිටියද, ඔබ කලාවට සුන්දරත්වයට සහ මිනිස් සබඳතාවලට ගරු කරන තාක් කල් සිකුරුගේ දිව්‍යමය කිරණ ඔබට ආශීර්වාද කරනු ඇත. එබැවින්, දෛවයේ සීමාවන්ට කොටු නොවී ඔබේ ජීවිතය ආදරයෙන් සහ සතුටින් පුරවගන්න. එවිට සිකුරුගේ අසිරිය ඔබේ ජීවිතය තුළ සැබවින්ම දළුලා වැඩෙනු ඇත.


"සිකුරු බලවත් කරගැනීම යනු බාහිර ලෝකය ජය ගැනීම නොව ඔබේ හදවත තුළ ඇති ආදරය සහ සතුට අවදි කරගැනීමයි."


අධ්‍යාත්මික ජ්‍යොතිෂවේදී 

සංජීව කුළුපන බණ්ඩාර 

077 7065760