Thursday, March 28, 2019

සඳක් සදිසි රුවක් ලබමු.


ලස්සන වෙන්න කවුද අකමැති... පෙති,කරල්,එන්නත්,ආලේපන මේ හැම දේකින්ම බලාපොරොත්තු වෙන්නෙ ලස්සන නෙ. සමහරු ලස්සන වෙන්න, පැහැපත් වෙන්න ලක්ෂ ගණන් වියදම් කරනවා. හැබැයි ඉතින් ලස්සන වෙනව කියන්නෙ පැහැය වෙනස් කරගන්න එකටමත් නෙමෙයි. දුටුවන් ගේ සිත් තුළ ප්‍රියතාවයක් ඇතිවෙන විදියේ සොඳුරු සිරියාවන්ත පෙනුමට තමයි ලස්සන කියල කියන්නේ. කිසිම ප්‍රියමනාප බවක්, සිරියාවක් නැති සුදු අය ඕනැ තරම් ඉන්නවා. හැබැයි මේ ඉදිරිපත් කරනන්නෙ පැහැපත් බව, ප්‍රියමනාප බව වගේම නියම හැඩය පවා ලැබෙන වටිනා භාවනාවක්.

ලස්සන වෙන්නෙ කොහොමද කියල ජ්‍යොතිෂවේදියෙක් ගෙන් ඇහුවොත් ...'ලස්සන උපතින්ම හිමිවෙන්න ඕනැ..සිකුරු බලවත් වෙන්න ඕනැ..පුර සඳු ලග්නයෙ ඉන්න ඕනැ..සඳු,සිකුරු ලග්නය දකින්න ඕනැ..සඳු,සිකුරු යෝග වෙන්න ඕනැ..' ඔය වගේ ග්‍රහ පිහිටීම් බොහොමයක් ගැන කියයි.

ජ්‍යොතිෂයයි සිතයි දෙකම සම්බන්ධ කරගෙන උපදෙස් දෙන ජ්‍යොතිෂවේදියෙක් හැටියට වගේම බොහෝ දේවල් අපිට අවශ්‍ය විදියට වෙනස් කරගන්න පුළුවන්ය කියන කාරණය විශ්වාස කරන ජ්‍යොතිෂවේදියෙක් විදියටයි මම මේ උපදෙස් ලබාදෙන්නේ.

හැමෝම ලස්සන වෙන්න ආසයි වගේම, හැමෝම හඳ දිහා බලන්නත් ආසයි. විශේෂ හේතුවකට නොවුණත් අඩුම තරමේ පසළොස්වක දවසටවත් හැමෝම හඳ දිහා බලනවා.

චන්ද්‍ර මාසයක් කොටස් දෙකකට බෙදෙනවා. පුර පෑලවිය තිථියේ පටන් පුර පසළොස්වක තිථිය තෙක් කාලය පුර පක්ෂය හෙවත් හඳ පිරෙන කාලය විදියටත්, අව පෑලවිය තිථියේ පටන් අමාවක තිථිය තෙක් කාලය අව පක්ෂය හෙවත් හඳ පිරිහෙන කාලය ලෙසත් හඳුන්වනවා. පුර අටවක තිථිය යෙදුණු දිනයේ පටන් හඳ පෙනෙන්න පටන් ගන්නවා. පසළොස්වක තිථිය යෙදුණු දාට හඳ බොහොම ලස්සනයි. පසළොස්වක ට පහුවදා පටන්, ඒ කියන්නෙ අව පෑලවිය තිථිය යෙදුණු දිනයේ පටන් හඳ පිරිහෙන්න පටන් ගන්නවා.

පුර පක්ෂයේ හඳ දර්ශනය වෙන දිනයේ තමයි මේ භාවනාව පටන් ගන්න තියෙන්නේ. හිත හොඳට නිරවුල් කරගෙන හඳ දිහා බලාගෙන හිතන්න ' මම මේ හඳ වගේ දවසින් දවස පැහැපත් වෙනවා ...ලස්සන වෙනවා.  හිත පිරිසිදු වෙනවා...නිරවුල් වෙනවා.  ශරීරය සැහැල්ලු වෙනවා...හැමෝටම ප්‍රියමනාප කෙනෙක් වෙනවා.'
දෙතුන් වතාවක් ඔය විදියට විශ්වාසයෙන් හිතන්න. නින්දට යද්දිත් ඒ සිතුවිල්ලත් එක්කම නින්දට යන්න.
පසළොස්වක පෝය දවසට ඔය භාවනාව ටිකක් වැඩිපුර වෙලාව අරගෙන කරන්න. පසළොස්වකට දවසට පහුවදා ඉඳලා හඳ දිහා බලාගෙන භාවනා කරන්න ඕනැ නෑ. එතැන් පටන් නින්දට යද්දි ඔය ටිකම හිතාගෙන නින්දට යන්න. ඊට පස්සෙ පසළොස්වක දවසට විතරක් හඳ දිහා බලාගෙන හිතුවම ඇති. දවසින් දවස ශරීරය පැහැපත් වෙන බව, ලස්සන වෙන බව විතරක් නෙමෙයි, දවසින් දවස මානසික නිරවුල්තාවය, සතුට, ප්‍රබෝධය, ඉහිල් බව (Relax) ඇති වෙන අපූරුවත් අත් දකින්න ලැබෙයි.

ඒ වගේම, අඹ කෑල්ලක්, ගස්ලබු කෑල්ලක්, අන්නාසි කෑල්ලක්, වැල මදුලක්, වරකා මදුලක් ආහාරයට ගන්න අතරෙදිත්, මේ පැහැය මටත් ලැබෙනවා...මගේ ශරීරය දවසින් දවස පැහැපත් වෙනවා...ලස්සන වෙනවා කියල හිතන්න. පිඟානෙ තියෙන වට්ටක්කා, කැරට්, අර්තාපල් අනුභව කරන කොටත් ඒ විදියටම  භාවනාවක් වගේ, බොහොම සංයමයෙන්, නිරවුල් සිතින් කරන්න.

මිදුලේ තියෙන මල් ගස්වල පිපෙන ලස්සන කහ පාට මල් දිහා බලන්න නිරවුල් මනසින්. ඒ ලස්සන පැහැය තමන්ටත් ලැබෙනවා කියන විශ්වාසය ඇති කරගන්න.

හැම දෙයක්ම භාවනාවක් කරගන්න. යහපත් සිහියෙන් කරන්න.

හිත තමන්ට මොන තරම් කීකරු වෙනවද... කීකරු වුණු හිතෙන් මොන තරම් දේවල් කරන්න පුලුවන්ද...හිතේ ශක්තිය මොන තරම්ද...කියල විතරක් නෙමෙයි,  හිතට වද දීපු ගැටළු කරදර පවා දවසින් දවස තමන් වෙතින් ඈතට යන හැටිත් දැනෙන්න ගනියි.

සංජීව කුළුපන බණ්ඩාර.