සක්විති ගෙ කේන්දරය.

( 2009.06.09 ඉරිදා වාසනා පුවත්පතේ පල කරන ලද මාගේ ලිපියකි.  මා පැවසූ ලෙසම 2010 ඔක්තෝබර් මාසයේදී සක්විති රණසිංහ අත්අඩංගුවට පත්විය. මෙම ලිපිය පල වන කාලය වන විට සක්විති කොහේ සිටිනවාදැයි යන්න මෙන්ම කවදා හෝ හසු වේදැයි යන්නද බොහෝ දෙනෙකුට මහත් ප්‍රශ්නයක් වී තිබුණි )

දහස් ගණනක් නැත්තටම නැතිකළ
සක්විති රණසිංහ ගේ කේන්දරය මෙන්න. 
   
 අපේ අයට යමක් මතක තියෙන්නෙ බොහොම ටික කාලයයි. සක්විති රණසිංහ කියන නමත් දැන් කාටවත් මතක නැති පාටයි. සක්විතිට රැවටුණු අය  සමහර විට මේ දවස් වල තවත් කාට හරි රැවටෙනවා වෙන්නත් පුළුවන්. යමක් ඉක්මනට අමතක කරන්න වගේම රැවටෙන්නත් අපේ අය හරි දක්ෂයි. 
      සක්විති රණසිංහ කියන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. දේශමාන්‍ය, අධ්‍යාපන හා දර්ශන විශාරද සම්මානයෙන් පිදුම් ලැබූ අයෙක්. සම්මානයෙන් පිදුම් ලැබුවෙත් එසේ මෙසේ තැනකදි නෙමෙයි. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා මාළිගාව අභියස දී යි. එහෙව් සක්විති රණසිංහ ගේ කේන්දරය සටහන් වෙලා තියෙන්නේ මෙන්න මේ විදියටයි.
   1972.12.24 ඉරිදා දවල් කොළඹ දී උපන් සක්විති රණසිංහ හෙවත් චන්දන වීරකුමාර ගෙ ලග්නය මේෂ ලග්නය යි. ලග්නාධිපති කුජ ඉන්නේ අට වැනි භාවයේ යි. කුජ අට වැන්නේ ඉන්නේ තනියම නෙමෙයි. ඥානයට උපායට අධිපති බුධත්, කලාවට නිර්මාණශීලිත්වයට අධිපති සිකුරුත් කුජ සමග අට වැන්නේ ඉන්නවා. අට වැනි භාවය කියන්නේ බොහොම රහස්‍ය ගුප්ත ස්ථානයක්. නිර්මාණශීලිත්වයයි උපායයි දෙකම භාවිතා කරලා කාටවත් නොදැනෙන්න දහස් ගණනක් දෙනා රවට්ටන්න පුළුවන් වුණේ මේ හින්දයි.
     දළදා මාළිගාව අභියස දි ලැබුණු සම්මානය පවා භාවිතා කර ජනතාව රැවටීම බරපතළ පාප කර්මයක්. එහෙමනම් සක්විති රණසිංහට වැඩි කාලයක් යන්න පෙර බරපතළ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. 
  මේෂ ලග්න හිමියො ඉලකයක් අරගත්තොත් ගොදුර ඩැහැගෙනම තමයි පස්ස බලන්නේ. තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න අවශ්‍ය කරන සියලු ක්‍රම උපායන් අනුගමනය කරන්න මේ අය පෙළඹෙනවා. සක්විති රණසිංහ ගේ චරිතය දිහා බැලුවමත් මේ බව පැහැදිලි වෙනවා. ගන්න ඉලක්කය සාධාරණ එකක්ද, ඒ සඳහා අනුගමනය කරන ක්‍රම සහ විධි මොනවාද, ඉලක්කය සාර්ථක වෙයිද, අසාර්ථක වෙයිද යන සියලු කාරණා තීරණය වෙන්නෙ කේන්දරයෙහි ග්‍රහයන් විසිරිලා පැතිරිලා ඉන්න විදියෙනුයි.
      කේන්දරයක දෙවැනි භාවයෙන් කෙනෙකුගේ කතා බහ ගැන කියැවෙනවා. දස වැන්නෙන් රැකියාව ගැන කියැවෙනවා. රැකියාව ගැන කියන දස වැන්නාධිපති කතා බහ ගැන කියන දෙවැන්නේ ඉන්න කොට කතාව මුල් කරගෙන කරන රැකියාවක් උරුම වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.සක්විති රණසිංහ කරළියට ආවේ ටියුෂන් ගුරුවරයෙක් විදියටයි. එහෙමනම් කතාව උපයෝගී කරගෙන කරන රැකියාවක් තමයි සක්විතිට උරුම වුණේ. තමන්ට උරුම නැති ක්ෂේත්‍ර වලට අත ගහන්නේ නැතුව ගුරුවරයෙක් විදියට කටයුතු කරගෙන ගියානම් උපන් රටට ආයුබෝවන් කියලා නන්නාඳුනන රටක හැංගිලා ඉන්න සක්විතිට සිද්ද වෙන්නෙ නෑ. 
     තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් මුදල සක්විතිට පූජා කරපු දහස් ගණනක් දෙනා ශක්විතිට ශාප කළාට කිසිම සැකයක් නෑ. විශාල පිරිසකගේ ශාපයට ලක් වුණු කෙනෙකුට වැඩි කලක් යහතින් ඉන්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම සක්විති දැනට ගත කරන්නේ ජන්ම ඒරාෂ්ටක අපලයක්. එහෙමනම් දැනට සක්විති කොහේ හිටියත් ඉන්නෙ දැඩි මානසික පිඩනයකින්. අපලයයි, ශාපයයි, පාපයයි තුනම බලපානවා. 2010.10.15 වැනිදා තෙක් කාලය වඩාත් අපල දායකයි. මේ කාලය තුල සක්විති ට තමන් කළ පව් පල දෙනවා. ඒක ස්ථිරයි.
   සක්විති ගෙ කේන්දරය ගැන කියන්න තියෙන විශේෂම කාරණය තමයි මේ.. සක්විති ගෙ හතර කේන්දරය පාළුයි. හතර කේන්දරය පාළු වීම අවාසනාවන්ත යෝගයක් නොවුණත් ජීවිතයේ කුමන හෝ අඳුරක් අඩුවක් ඉතුරු වෙනවා.
    නොයෙක් විදියේ ගෞරව නාම වලින්, සම්මාන වලින් පිදුම් ලැබූ හොරු තක්කඩි ලංකාවේ තවත් ඉන්න පුළුවන්. " බලවත්ම කිල්ල නොසැලකිල්ල" කියන්නේ නිකම් නෙමෙයි. හරියට සැලකිලිමත්ව කටයුතු කරනවා නම් හොරුන්ට තක්කඩියන්ට නොරැවටී යහතින් ඉන්න පුළුවන්. දැනට ගත කරන කාලය, ඉදිරි කාලය  කාට හරි රැවටෙන්න අහුවෙන්න ඉඩ තියෙන කාලයක්ද කියලා කේන්දරය තුලින් කියන්න පුළුවන්. ජ්‍යොතිෂය බිහි කරලා තියෙන්නේ අවධානම් වලින් බේරිලා ජීවිතය සාර්ථක කරගන්නයි. අවාසනාවට ගොඩක් දෙනෙකුට කේන්දරය විතරක් නෙමෙයි දෙවියන් බුදුන් පවා මතක් වෙන්නේ යමක් වුණාට පස්සෙයි. 
    ජ්‍යොතිෂවේදී, සාමවිනිසුරු 
දේශමාන්‍ය,ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර.