Sunday, December 17, 2023

කේන්දරයේ පස්වැන්න.

  



ආදර සම්බන්ධතා ගැන කියැවෙන්නෙ කේන්දරයේ කුමන භාවයෙන්ද ? සිහියෙන් යුතු ඕනෑම ජ්‍යොතිෂවේදියෙක් කියයි පස්වැන්නෙන් කියල. ආදරය උපදින්නෙ හදවතේ නම්, හදවත ගැන කියැවෙන්නෙ සිව්වැන්නෙන් නම් සම්බන්ධතා ගැන ඇයි පස්වැන්නෙන් කියැවෙන්නෙ ? 

මාඕ සේතුං කුඩා කාලයේ මතකයක් ගැන මෙන්න මේ විදියට ලියල තියෙනවා. මාඕගෙ මවට ලස්සන මල් වත්තක් තිබුණා.  මාඕගෙ මහලු මව බොහොම ආදරෙන් මේ මල් වත්ත බලාගත්තා. මේ මල් වත්ත මොන තරම් ලස්සනද කියනවා නම් දුර පළාත්වලින් පවා ජනයා මල් වත්ත බලන්න පැමිණියා. අනපේක්ෂිත විදියට මාඕගෙ මව අසනීප වුණා. ඇය මල් වත්ත ගැන ගොඩක් කණගාටු වුණා.තමන් ආදරෙන් රැක බලාගත්තු මල් වත්තට මොනවා වෙයිද...?

 මාඕ කිව්වා "අම්මා දුක් වෙන්න එපා. මම මල් වත්ත හොඳට බලාගන්නම්..."

මාඕ උදේ සිට රෑ වෙනකල් මල් වත්ත බලාගත්තා. මාසයකින් පමණ මවට තරමක සුවයක්  ලැබුණා. ඇය මල් වත්ත බලන්න ආවා. මල් වත්තෙ තත්වය දැකලා ඇය කම්පාවට පත් වුණා. සියලු ගස් වේලිලා. මල් මැලවිලා. මල් වත්ත විනාශ වෙලා ගිහින්. ඇය බොහොම දුකෙන් මාඕගෙන් ඇහුවා " මෝඩයෝ...දවස තිස්සෙම මේකේ නේද හිටියෙ...? උඹ මොනවද මේකට වෙලා කළේ ? මල් වත්ත විනාශ වෙලා...ගස් වේලිලා ගිහින්...ඔක්කොම මැරෙන්නනෙ යන්නෙ..."


මාඕ අඬන්න පටන් ගත්තා. ඔහුටත් ගොඩක් දුකයි. ඔහු දවස තිස්සෙම මහන්සි වුණා. ඒත් මොකක් හරි හේතුවකට ගස් වේලිලා. මාඕ අඬ අඬා උත්තර දෙනවා. " මම ගස්වලට හොඳට සාත්තු කළා...ආදරය කළා. ඒවා සිපගත්තා. හැම කොලයකම තිබුණු දූවිලි පිහදැම්මා. මම දන්නෙ නෑ මොකක්ද වුණේ කියලා..."  මව හිනාවෙන්න පටන් ගත්තා. "උඹ නම් හරිම මෝඩයෙක් තමයි. උඹ තවම දන්නෙ නෑ මල්වල ජීවිතය තියෙන්නෙ මල්වල නෙමෙයි කියලා...කොළවල ජීවිතය තියෙන්නෙ කොළවල නෙමෙයි කියලා...මල් සිපගත්තට ඒවා පවතින්නෙ නෑ. කොළවල දූවිලි පිහදැම්මට ඒවට ජීවය ලැබෙන්නෙ නෑ. මුල්වලට සාත්තු සාත්තු කරන්න ඕනෑ"


 අපිටත් තියෙනවා ප්‍රශ්නයක්. කොහෙද අපේ මුල් තියෙන්නෙ ? අපි කොහෙන්ද මුල් ඇද්දෙ ? ආදර සම්බන්ධතා ගැන පහෙන් කියැවන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට හිමි ආධ්‍යාත්මික උත්තරය දෙන්න කලින් අපිත් අපේ මුල් ගැන දැනගන්න ඕනැ.


අපි කාගෙන් හෝ ඇහුවොත් ශරිරයෙ වැදගත්ම තැන, වැදගත්ම කොටස මොකක්ද කියල එයා කියයි හිස කියලා. කාන්තවක් නම් බොහෝ විට කියයි හදවත කියලා. හිස, හදවත දෙකම වැදගත්. ඒකෙ වරදක් නෑ. ඒත් අපේ මුල් ඇදපු තැන ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි. ගසක් තම ජීවන ශක්තිය පොළවෙ ඇති මුල්වලින් ලබාගන්නවා වගේ ජීවන ශක්තිය උරාගන්නා විශේෂ ස්ථාන අපේ ශරීරයෙත් තියෙනවා. ශරීරය ජීවමානව,සජීවීව පවතින්නෙ අන්න ඒ හින්දයි. යම් කිසි දවසක මේ මූලයන් බෙලහීන තත්වයට පත් වෙන කොට ශරීරය මියැදෙන්න පටන් ගන්නවා.


දරුවෙක් මව් කුසේ ඉපැදී කාලයක් ඒ තුළම වැඩෙනවා. දරුවා මවට සම්බන්ධ වෙන්නෙ හිසින්වත් හදවතින්වත් නෙමෙයි. දරුවා සම්බන්ධ වෙන්නෙ නාභියෙන්. දරුවා නාභිය තුළින් ජීවන ශක්තිය උරාගන්නවා. මිනිස් ශරීරයේ වැදගත්ම ස්ථානය නාභිය යි. ඊට පසුව හදවතත් එතැනින් පසුව මනසත් වර්ධනය වෙනවා. ආදරය නමැති මල් හදවතේ පිපෙනවා. දැනුම නමැති මල් මනසෙ පිපෙනවා. සියල්ල සිද්ද වෙන්නෙ ඒවා මත තමයි කියල අපි හිතනවා. නමුත් අපේ මුල් පද්ධතිය, එහෙමත් නැත්නම් ජීව ශක්තිය තියෙන්නෙ නාභියෙ. එතන මල් පිපෙන්නෙ නෑ. ශරීරයේ ශක්ති මධ්‍යස්ථානය, ගුරුත්ව කේන්ද්‍රය නාභියයි


කුණ්ඩලිනි යෝග භාවනාව තුළ නාහි මණ්ඩලය සූර්ය ජාල චක්‍රය (Solar plexus chakra) විදියට හඳුන්වනවා. නාභිය නියෝජනය වෙන්නෙ කේන්දරයෙ පස්වන්නෙන්. පස් වැන්න කියන්නෙ විශ්ව කේන්දරයෙ රවි හිමි සිංහ රාශිය. මේ පස්වැන්න තමයි සම්බන්ධතා ඇති කරන තැන. ආදරයේ මල් විකසිත වෙන්නෙ හදවතේ වුණාට සම්බන්ධකම් ඇති වෙන්නෙ නාභියෙන්. 


සෘෂිවරු මොන තරම් ආධ්‍යාත්මිකද...? ඔවුන් ආධ්‍යාත්මිකව අවබෝධ කරගත් සියලු දේ අපි භාහිර මෙවලම් විදියට භාවිතා කරනවා. අපි ආධ්‍යාත්මික නෑ. අපිට ඕනැ කරන්නෙ සෘෂිවරු සොයාගත් දේවල් විතරයි. හැකි තරම් පොත්, හැකි තරම් දැනුම. 


බලන්න. නියමිත කාලය ආවම, ඒ කියන්නෙ දරුවා මවගෙන් වෙන් විය යුතු කාලය පැමිණි පසුව නාභිය හරහා තිබූ සම්බන්ධය කපා දමනවා. තමන්ටම කියල ජීවිතයක් ගත කරන්න දරුවා මවගෙ ශරීරයෙන් වෙන් වෙනවා. නාභිය තුළින් ලෑබූ ජීවන ශක්තිය නතර වුණාම දරුවාගේ ශරීරයම කම්පනය වෙන්න පටන් ගන්නවා. මෙතෙක් ගලා විත් එක් වරම නතර වුණු ජීවන ශක්තිය දරුවාගේ සමස්ත පැවැත්ම විසින්ම ඉල්ලා සිටිනවා. ජීවිතය සඳහා පොර බදන දරුවා තදින් හඬන්න පටන් ගන්නවා. හැඬුවෙ නැත්නම් ප්‍රශ්නයක්. වෛද්‍යවරු කලබල වෙනවා. මොකද, ජීවන ශක්තියෙන් වෙන්වීම දරුවට දැනෙන්න ඕනැ.


නාභිය හරහා ජීවන ශක්තිය උරාගත් දරුවා නැවත මව සමඟ සම්බන්ධ වෙන්නෙ කොහොමද ? දරුවා නැවත ජීවන ශක්තිය ලබාගන්නවා මවගේ කිරිවලින්. එහෙම නම් දරුවාගේ දෙවන සම්බන්ධය හදවත සමඟ සිද්ද වෙනවා.හදවතේ උපන් මහ මෙරක් තරම් ආදරය කිරි කරලා දරුවට පොවන කොට දරුවා මවගෙ හදවතේ උණුසුම විඳගෙන, හදවතේ රිද්මයට කන් දීගෙන වැඩෙනවා. තවත් පරිපථයක් නිර්මාණය වෙලා තියෙන අපූරුව බලන්න. දරුවෙක් මවගේ කිරිවලින් පෝෂණය නොවන්නේ නම් ඒ දරුවා සදාකල් දුර්වල වෙනවා. බොහොමයක් බටහිර රටවල දරුවන් ඉතාමත් ඉක්මණින් මව් කිරිවලින් වෙන් කිරීමේ ප්‍රතිඵල විදියට විරෝධාකල්පවලින් යුතු ළමයින් සමාජයට එකතු වෙනවා..තුවක්කුව අතට අරගෙන දෙමාපියන්ටත් වෙඩි තබා පාසලට ගොස් ගුරුවරුන්ට, සහෝදර සිසු සිසුවියන්ට පවා වෙඩි තබන අවස්ථා ගැන වරින් වර අපට අසන්නට ලැබෙනවා.  පෙරදිග රටවලත් මේ අවාසනාවන්ත තත්වය සිදු වෙමින් පවතිනවා. පසළොස්වක පොහොය දවසෙ පවා වයසක අම්මව තාත්තව මහමගට ගෙනිහින් අතරමං කරන උගත් පොහොසත් දරුවො ගැන අපට අහන්නට ලැබෙනවා. මිනිස්සු බනිනවා " මුන් දරුවොද...?" ඒ දරුවන්ගේ හදවත වර්ධනය කිරීමෙහිලා දෙමාපියන්ගේ දායකත්වය ලැබුණාද නැද්ද අපි දන්නෙ නෑ. කිරි බොන වයසෙ දරුවො පවා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ගාල් කරන කොට, යන්තම් වචන උච්චාරණය කරන කොට පෙර පාසලට යොමු කරලා මනස පුරවන කොට ඔය වගේ දේවල් සිදුවීම අරුමයක් නෙමෙයි.


හිතන තරම් වේලාසනින් නෙමෙයි. ඇති තරම් මව් කිරි බීමෙන් අනතුරුව  දරුවාට මවගේ කිරිවලිනුත් වෙන් වෙන්න සිද්ද වෙනවා. එතනින් පස්සෙ මොකද වෙන්නෙ ? නාභියට සම්පූර්ණ කරගන්න නොහැකි වුණු කාර්යයන්, හදවතට සම්පූර්ණ කරගන්න නොහැකි වුණු කාර්යයන් මනසෙන් සම්පූර්ණ කර ගැනීම ආරම්භ වෙනවා.මෙන්න මේ අවස්ථාවෙ තමයි බොහෝ ගැටළු නිර්මාණය වෙන්නෙ. සියලු බර, සියලු කාර්යයන් මනසට පටවන ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. මනසෙන් ආදරය කරන කෙනෙකුගේ ආදරය ව්‍යාජයි. ආදරය හදවතේ කාර්යයක් මිසක් මනසේ කාර්යයක් නෙමෙයි. ශ්‍රේෂ්ඨතම ජීවන ශක්තිය තමයි ලිංගිකත්වය කියන්නෙ. ලිංගිකත්වය මනසෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකෙ මධ්‍යස්ථානය තමයි නාභිය. අද ලෝකය පුරා මනස්වලට  ලිංගිකත්වය ඇතුල් වෙලා. දවසේ පැය විසිහතර පුරාම ලිංගිකත්වය ගැන සිතන තත්වයක් ඇති වෙලා. ලිංගිකත්වයේ සැබෑ අපූර්වත්වය, ප්‍රීතිය මිනිසාගෙන් දුරස් වී යමින් පවතිනවා. 


 ජීවිතයේ ඉතාමත් වැදගත් මධ්‍යස්ථාන තුනක කාර්යය තනි මනස වෙත පවරන ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. සමාජයේ බහුතරයක් අඩ සිහියෙන් ක්‍රියාත්මක වෙනවා. 


ජීවනයේ මධ්‍යස්ථානය නාභියයි. හැඟීම් දැනීමේ මධ්‍යස්ථානය හදවතයි. සිතීමේ මධ්‍යස්ථානය මනසයි. මේ එක් එක් මධ්‍යස්ථානය නියමිත රිද්මයට සුසර කිරීමේ මාර්ගය භාවනාවයි. 


එක්තරා ජ්‍යොතිෂ සමූහයකට කෙනෙක් යොමු කරනවා තමන් දුටු සිහිනයක් ගැන ප්‍රශ්නයක්. ජ්‍යොතිෂවේදියෙක් පිළිතුරු දෙනවා. "අහවල් පොතේ අහවල් පරිච්ඡේදයෙ අහවල් පිටුවෙ ඔය සම්බන්ධයෙන් විස්තර කරලා තියෙනවා..." මොන ලැජ්ජා නැති උත්තරයක්ද...  මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට පොත බලලා උත්තර දෙන මිනිස්සු. කෙනෙක්ගෙ ප්‍රශ්නයකට අනුන්ගෙ උත්තර සපයන මිනිස්සු. මෙන්න මේ අය තමයි දක්ෂයො විදියට සැළකන්නෙ. මනස වැඩියෙන් පුරවා ගත්තු ඒත් තමන්ගෙම කියල උත්තරයක් නැති මිනිස්සු. අපිට තියෙන්නෙ අනුන්ගෙ දැනුම වුණාට, තියෙන්නෙ අනුන්ගෙ උත්තර වුණාට මමත්වයේ අඩුවක් නෑ. ලොකුකමේ අඩුවක් නෑ.  සමහරුන්ගෙ චන්ඩිකමේ අඩුවකුත් නෑ. 


කේන්දරය තුළ හදවතේ මධ්‍යස්ථානය සහ ජීවනයේ මධ්‍යස්ථානය එහෙමත් නැත්නම් නාභි මධ්‍යස්ථානය එක ළඟ පිහිටලා තියෙනවා. ඊළඟට අභියෝගාත්මක එහෙමත් නැත්නම් බාධක ස්ථානයක් පසු කර විවාහ ස්ථානය පිහිටලා තියෙනව. බොහොම අපූරු, එමෙන්ම හේතු යුක්ති සහගත පෙළගැස්මක්. ඒ පෙළගැස්ම බොහෝ දේවල් අවබෝධ කරලා දෙනවා. 

සංජීව කුළුපන බණ්ඩාර 









Tuesday, December 5, 2023

වැම්පයර්ස්ලා

 


ලෝකය මිනිසුන්ගෙන් පිරී ඇත. බිලියන ගණනක් වූ මෙම මිනිසුන් විවිධාකාර ගති පැවතුම්, අදහස්, සිතුම් පැතුම්, අභිලාෂයන්ගෙන් යුතු වූවන්ය. අපට සමාජය තුළ විවිධාකාර වූ මිනිසුන් සමඟ ගණුදෙනු කිරීමට සිදුව ඇත. පවුල තුළ, සේවා ස්ථානය තුළ, මඟතොට, සමාජ මාධ්‍ය තුළ මෙන්ම තවත් බොහෝ තැන්වල අපට ගණුදෙනු කිරීමට සිදුව ඇත්තේ විවිධ චරිත සමඟ ය. සමහරෙක්  සමඟ කෙරෙන කතාබහ අපට සුව පහසුවක්, සැනසීමක් ගෙන දෙන අතර ඇතැමෙක් සමඟ වන සම්බන්ධය අපට දැඩි විඩාවක්, අසහනයක් ගෙන දෙයි.

මේ ගැන තවත් සරලව කතා කරමු. සමහරු එක්ක කතා බහ කරන කොට අපට ලොකු සුවයක්, සැනසීමක් දැනෙනවා. ඔවුන් ගෙන් අපට ලොකු ශක්තියක් ලැබෙනවා. ඔවුන් අපව දිරි ගන්වනවා. ඔවුන්ගෙ කතා බහ, ඇසුර හින්දා අපට ජීවිතය ගැන ලොකු ආශාවක් ඇති වෙනවා. අපට වඩ වඩාත් වර්ධනය වෙන්න හිතෙනවා. අනාගතය ගැන බලාපොරොත්තු ඇති වෙනවා. ඔවුන් අපට මානසික ශක්තිය කාන්දු කරවනවා.

සමහරු එක්ක කතා බහ කරන කොට ඔලුවට ලොකු විඩාබර ගතියක් දැනෙනවා. එපා වෙනවා. ඔවුන් අපව අවුල් කරනවා. පටලනවා. මහා අවිනිශ්චිත තත්වයකට පත් කරනවා. කිසිම කාරණයක් සම්බන්ධයෙන් නිගමනයකට, ස්ථිර තීන්දුවකට එළඹෙන්න අපහසු වෙනවා. බලාපොරොත්තු, අභිලාෂයන් ගැන වුණත් ඉටු වෙයිද නොවෙයිද යන අවිනිශ්චිත තත්වයක හිර වෙනවා. ඔවුන් අපේ මානසික ශක්තිය අවුල් කරනවා.

තවත් පිරිසක් ඉන්නවා. ඒ අය එක්ක කතා බහ කරන කොට අපි කලකිරීමට පත් වෙනවා. ඒ අය කියන්නෙ ඒගොල්ලන්ගෙ දුක, අසරණ බව ගැන විතරයි. කරන හැම දෙයක්ම අසාර්ථක වෙන හැටි, දවසින් දවස පරිහානියට පත් වෙන හැටි, දවසින් දවස ප්‍රශ්නවල පැටලෙන හැටි කියනවා. කාගෙන්වත් පිළිසරණක්, විසඳුමක් නැති බව කියනවා. විටෙක උපකාර ඉල්ලනවා. උපදෙස් පතනවා. ඔවුන් අපේ මානසික ශක්තිය දිය කර හරිනවා. දුර්වල කරනවා.

ඔය විදියෙ අය අපට හඳුනාගන්න පුළුවන්. ඒ අයගෙ කතාබහ, කියන කරන දේවල් එක්ක හඳුනාගන්න පුළුවන්කමක් තියෙනවා.  හඳුනාගන්න අපහසු තවත් අය ඉන්නවා. මතුපිටින් හොඳයි. දිරිගන්වනවා. යහපත වෙනුවෙන් යමක් කියන බව පේනවා. අවුල් කරන්නෙ නෑ. සුබවාදී අදහස් පල කරන, දුක්ගැනවිලි ඉදිරිපත් නොකරන අය ඉන්නවා. ඒත්  ඒ අය එක්ක නිතර ගැවසෙන කොට අපි අවුල් වෙනවා. අපේ වැඩ කටයුතු අවුල් වෙනවා. ලැබීම් අඩු වෙනවා. අනපේක්ෂිත පාඩු අලාභවලට මුහුණ දෙන්න වෙනවා. මේ අය භාහිරින් හඳුනාගන්න ලේසි නෑ. මතුපිටින් මොනවා කිව්වා කළත් ඇතුලාන්තය මුළුමනින්ම වෙනස්. මේ අයගෙ සිතුවිලි තරංග සංක්‍යාතය සුබදායක නෑ. කියන දේට වඩා හිතන දේ හාත්පසින්ම වෙනස්. 


තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි,සමහරු දන්නවා තමන් අහුවෙලා ඉන්න බව.යම් කිසි පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් හින්දා ගොඩ යාමක් නැති බව දන්නවා. මානසිකව වැටෙනවා, ශක්තිය හීන වෙනවා,ගමන අඩාල වෙනවා, ඔලුව අවුල් වෙනවා ඔක්කොම හරි. ඒත්  ඒකෙන් මිදෙන්න බෑ. ඒ හින්දා දැන දැනම ගොදුරක් බවට පත් වෙලා ඉන්නවා. වැම්පයර්ස්ලා ඉන්නෙ පවුලෙන් බාහිරව පමණක් නෙමෙයි. පවුල තුළත් ඉන්න පුළුවන්. නිතරම මානසිකත්වය අවුල් කරන, මානසිකව වට්ටන, මානසික ශක්තිය බිංදුවට  බස්සන කෙනෙක් පවුල තුළ ඉන්න බැරිකමක් නෑ. 
තව සමහරු ගොදුරු බවට පත් වෙලා ඉන්නවා. ඒත් ඒ අය ඒ බව දන්නෙ නෑ. මිදෙන්න නම්  තමන් ගොදුරු වෙලා ඉන්න බව  දැන ගන්න ඕනැ..

භාවනාවක් තුළින් ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීම ඔවුන්ගෙන් ආරක්ෂා වීමට තිබෙන හොඳම ක්‍රමයයි. නිතර පවත්වාගන්නා චිත්ත සමාධිය මඟින් ශරීර කිරණ ශක්තිය වැඩි වෙනවා. සිතේ චංචල ගතිය, පහසුවෙන් දුර්වල වන ස්වභාවය, .අශුද්ධ එහෙමත් නැත්නම් සෘණ මානසික ශක්තීන්ගේ බලපෑමට හසු වන තත්වය නැති වෙනවා. නිතර සමාධිය වඩන කොට සූක්ෂම ශරීරය විදියට හඳුන්වන ශරීර ආලෝක කිරණ ශරීරයෙන් පිටතට විහිදෙන දුර ප්‍රමාණය වැඩි වෙනවා. සංක්‍යාත තරංග බලවත් වෙනවා.අශුද්ධ මානසික බලවේගවලින් ඉබේටම ආරක්ෂාව සැලසෙනවා.
 
දියුණුවේ හා සාර්ථකත්වයේ ස්ථාවරත්වය පවත්වාගැනීමට උපාය කෞශල්‍ය අත්‍යවශ්‍ය වෙනවා. උපාය කෞශල්‍ය කියන්නෙ බුදු දහමේ සඳහන් වන තෙවැදෑරුම් ඥානයෙන් එකක්. පුද්ගලයෙක් මොන තරම් දියුණුවට සාර්ථකත්වයට පත් වුණත් උපාය කෞශල්‍ය නොමැති තැන තම දියුණුව සාර්ථකත්වය පවත්වාගැනීමට අපහසු වෙනවා. වර්තමාන ලෝකයට උපාය කෞශල්‍ය අවශ්‍යමයි. අතීතයේ මෙන් නොවෙයි වර්තමානයේ ගැහැණු පිරිමි භේදයකින් තොරව සියලු දෙනා වඩ වඩාත් සමාජයට විවර විය යුතු වෙනවා. දවසෙන් වැඩි කාලයක් අන්‍යයන් සමඟ කටයතු කිරීමට සිදු වෙනවා.සෑම තැනකම ජීවමාන පිශාචයින් ගැවසෙනවා. ආගමික ලෝගු තුළ පවා වැම්පයර්ස්ලා(පිශාචයින්) සැඟව සිටිනවා නම් සෙසු තැන් ගැන කවර කතාද...  පුද්ගලයින් හඳුනා ගැනීම, තේරුම් ගැනීම දුෂ්කරයි. ගොදුරු බවට පත් වීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩියි.   


එවන් තත්වයක් තුළ ජන්ම පත්‍රයෙන් ලබා ගත හැකි ශුභසිද්ධිය ඉතාමත් ඉහළයි. අවාසනාවට බොහොමයක් ජ්‍යොතිෂවේදීන් බොළඳ කාරණා තුළම කැරකෙනවා මිස ජීවිතවල පවතින සැබෑ හිදැස් අවබෝධ කරගෙන ඒවා ආවරණය කරගැනීම සඳහා නිවැරදි මඟ පෙන්වීමක් සිදු කරන්නේ නෑ. වසර දහස් ගණනක් පැරණි ජ්‍යොතිෂ ශාස්ත්‍රය වර්තමාන ලෝකයට  පරිවර්තනය කර ගැනීම තුළ බොහොමයක් දෙනා දුර්වල තත්වයක පසු වෙනවා.  ආධ්‍යාත්මික වශයෙන් වර්ධනය නොවී බොහෝ දෙනෙක් අතීත සටහන් මතම යැපෙන බවක් ඔවුන්ගේ අදහස් හා ප්‍රකාශන තුළ පෙනෙන්නට තිබෙනවා.

සංජීව කුළුපන බණ්ඩාර 

Sunday, December 3, 2023

රාහු මහ දශාවෙදි මොකද වෙන්නෙ?

 


කන්‍යා ලග්නයේ රාහු දහවැන්නෙ හිටපු හිට්ලර් ඒ රාහු මහ දශාවෙදි ජීවිතයේ නොසුදුසුම තීරණය අරගෙන ජීවිතයෙනුත් වන්දි ගෙවන්න වුණා. කන්‍යා ලග්නයේ රාහු දහවැන්නෙ හිටි දකුණු ආසියාවෙ දේශපාලඥයෙක් ඒ රාහු දශාවෙදි  අගමැතිකමටත් පත් වෙලා දෙවතාවක් ජනාධිපති ධූරයටත් පත් වුණා.
 

මිනිස්සු අහනවා "රාහු මහ දශාවෙදි මොකද වෙන්නෙ?" කියලා. රාහු මහ දශාව මෙහෙමයි ගතවෙන්නෙ කියල ජ්‍යොතිෂවේදීන් විස්තර කරනවා. 
"රාහු දශාවෙදි ඉගෙනීම කඩාකප්පල් වෙනවා කියන්නෙ ඇත්තද ?"  මිනිස්සු අහනවා. 

උසස් පෙළ විභාගය ඉහළින් සමත්ව විශ්ව විද්‍යාල වෙත පිවිසෙන ළමුන් අතරේ රාහු මහ දශාව ගත කරන ළමුන් කොතෙක් නම් ඉන්නවද... ඒවගෙම, පාප මිතුරු ඇසුරට, මත් ද්‍රව්‍ය භාවිතයට යොමුව ජීවිතය අඳුරු කරගන්නා අයත් ඉන්නවා. රාහු දශාව ගතවෙන්නෙ මෙන්න මෙහෙමයි කියල කාටවත් කියන්න බෑ.  එක විදියෙ කේන්දර දෙකක් ලෝකෙ කොහෙවත් නෑ. ඇතැම් කේන්දර එකම විදියට පේන්න පුළුවන්. ඒක හඳුනාගැනීමේ දුෂ්කරතාවයක් මිස කේන්දර දෙකේ සමානතාවයක් නෙමෙයි.

රාහු දශාව ගත කරන ඇතැමෙක් අත ගහන සියලු දේ ඉහළින්ම සාර්ථක තත්වයට පත් කරගන්නා අතරෙ ඇතැමෙක් කිසිවක් කර කියා ගත නොහැකි තරමේ අසරණ තත්වයට පත් වෙනවා.

කෙනෙකුගේ මාපට ඇඟිලි සලකුණ ලෝකයේ මීට පෙර විසූවෙකුට හෝ හිමිව නොතිබීම මොන තරම් විශ්මයජනක කාරණයක්ද...එය අනාගතයේ උපදින කිසිවෙකුට හිමි වන්නේ ද නෑ. එය තමන්ගෙ පමණයි. කේන්දරය කියන්නෙත් එතරම් සියුම් පෞද්ගලික ගිණුමක්. එකම එක අයිතිකරුවෙක් පමණයි.

රාහු දශාව පමණක් නෙමෙයි කිසිම ග්‍රහයෙකුගෙ දශාවක් දෙන්නෙකුට එක සමාන වෙන්නෙ නෑ. ඒත් පොත්වල තියෙනවා. ඒ ඒ මහ දශාව තුළ, ඒ තුළ ලබන අතුරු දශා තුළ ලැබෙන්නෙ මෙන්න මේ ප්‍රතිඵල කියල. පොතට එහා නොගිය මිනිස්සු, ඉන් එහා අවබෝධයක් නැති අය කෙනෙකුගෙ මහ දශාවට, අතුරු දශාවට පොතේ සඳහන් ඵලාඵල කියනවා. 

දැනුම,ප්‍රඥාව පොත්වලින්ම ගත යුතු බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. තමන්ට ලැබුණු, තමන් පරිශීලනය කරන පොත් ගැන නිතර කතා කරන අය, පොත් සහ ඒවායේ අන්තර්ගතය නිතර ප්‍රදර්ශනය කරන අය ප්‍රඥාවෙන් ඉහළ තත්වයෙහි තබා සළකන අයත් ඉන්නවා. ජ්‍යොතිෂ සමූහ තුළ පමණක් නෙමෙයි කීප දෙනෙක් එකතු වෙලා පවත්වාගෙන යන චැට් ගෲප් ඇතුළෙත් පොතේ ගුරුන්නාන්සේලාට ඉහළ තැනක් හිමි වෙනවා. 

ප්‍රඥාව වඩවා ගත හැකි විධි තුනක් තියෙනවා.

1.චින්තාමය ප්‍රඥාව 
2 සුතමය ප්‍රඥාව 
3 භාවනාමය ප්‍රඥාව 

.
✱ අනුන්ගේ උපදෙස් නොලබා තමන් විසින්ම කල්පනා කොට ඇති කරගන්නා දැනීම         චින්තාමය ප්‍රඥාව යි.
✱ අනුන්ගෙන් අසා, අනුන්ගේ උපදෙස් අනුව ඇති කරගන්නා දැනීම සුතමය ප්‍රඥාව යි.
✱ භාවනාවෙන් ඇති කරගන්නා දැනීම භාවනාමය ප්‍රඥාව යි.

ඒ අනුව, පොතපත කියවා ලබාගන්නා දැනුම එකක් පමණයි. විශේෂයෙන්ම ආධ්‍යාත්මික විෂය ක්ෂේත්‍ර තුළ තමන් විසින්ම අවබෝධ කර ගත යුතු ප්‍රමාණය බොහොමයි. ඒ සඳහා කැප වීමෙන් යුතුව සිදු කරන නිසි ගවේෂණය මහත් සේ වැදගත් වෙනවා. එසේ නොවුණ හොත් අනුන්ගේ දේ පමණක් ගෙන එයම කියවන "ගිරවෙක්" බවට පත් වෙනවා.

සංජීව කුලුපන බණ්ඩාර