Saturday, September 17, 2016

සෙන්පති මාරු වෙයි.
කුජ  ග්‍රහයා ධනු රාශියට ගමන් කිරීම
ඔබට බලපාන්නේ මෙහෙමයි.

     ග්‍රහ ලොව සෙන්පති කුජ හෙවත් අඟහරු ග්‍රහයා 2016 සැප්තැම්බර් මස 18 වෙනි ඉරු දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ: ව: 07. 43 ගුරුට අයත් ධනු රාශියට ගමන් කරනවා. මෙසේ ධනු රාශිය වෙත ගමන් කරන කුජ ග්‍රහයා 2016 නොවැම්බර් මස පළමු වෙනිදා තෙක් ධනු රාශියේ කල් ගෙවනවා.
   2016 පෙබරවාරි මස 20 වෙනි දින කුජ ග්‍රහයා වෘශ්චික රාශියට ගමන් කර සෙනසුරු සමග එක්වූ අතර කුජ ශනි එක්වීමත් සමග ගිනි ගැනීම්, ඝාතන, අනතුරු විශාල ප්‍රමාණයක් නන් දෙසින් වාර්ථා වුණා.
   කුජ ග්‍රහයා ධනු රාශියේ කල් ගෙවන 2016. 09. 18 - 2016. 10. 01 අතර කාලය තුළ ඔබට එල්ල වන බලපෑම් කෙබඳු දැයි විමසා බලමු.
( මෙය ඔබගේ ජන්ම කේන්ද්‍රය පරික්ෂා කර බලා ඉදිරිපත් කරන පලාපල විස්තරයක් නොවන බැවින් දක්වා ඇති පලාපල, ඔබ ගත කරන මහ දශා, අන්තර් දශා අනුව මෙන්ම උප්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව වෙනස් විය හැකි බව සළකන්න)

   මේෂ ලග්නය.
        කුජ හෙවත් අඟහරු මේෂ ලග්න හිමියන් ගේ ලග්නාධිපති ග්‍රහයා යි. ලග්නාධිපති වූ කුජ ගමන් කරන්නේ මේෂ ලග්න හිමියන් ගේ නම වෙනි භාවයටයි. නම වැන්න වූ කලී පුණ්‍ය ස්ථානය යි. එමෙන්ම භාග්‍යස්ථානය යි. එතැනට ගමන් කරන කුජ ග්‍රහයා ඔබ තුළ මනා උද්යෝගයක්, ක්‍රියාශීලී බවක් ඇති කරනවා. අවහිර  මැඩගෙන ඉදිරියට යාමේ ශක්තිය ලබා දෙනවා. කුජ ධනු රාශියේ ගත කරන කෙටි කල සීමාව අලුත් වැඩ කටයුතු වලට අත ගැසීමට සුබයි.
කොහොම වුණත් ආගමික භක්තිය තරමක් අඩුවෙනවා.පින් පව් ගැන, යුක්තිය සාධාරණය ගැන හිතලා කටයුතු කරන ගතිය තරමක් අඩුවෙනවා. තමන්ගේ දියුණුව සාර්ථකත්වය අතින් කුජ මාරුව හොඳ වුණත් ඉක්මන් තීන්දු තීරණ, ආවේගශීලී ගති ලක්ෂණ අදියෙන් වැළකිලා කටයුතු නොකළොත් හොඳ නමට හානි සිද්ද වෙන්න පුළුවන්.

වෘෂභ ලග්නය.
   වෘෂභ ලග්න හිමියන්ගේ කේන්දරයේ අට වෙනි භාවයට කුජ ගමන් කරනවා. අට වෙනි භාවය එතරම් සුබදායක භාවයක් නොවෙයි. අට වෙනි භාවය අඟහරුටත් එතරම් සුබදායක නෑ. කුජ අට වෙනි භාවයේ රැඳී සිටින කාලය තුළ හදිසි අනතුරු, අස්ථි බිඳීම්, වැටීම් ආදියට ඉඩ තිබෙනවා. අවදානම් සහිත කටයුතු වලදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. මානසික ඒකාග්‍රතාවය අඩු වෙනවා. ඉක්මන් තීන්දු තීරණ හේතුවෙන් නොයෙක් ගැටළු කරදර මතුවෙන්න පුළුවන්. ගෘහ ජිවිතයේ සාමය සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙනවා. ඉතාමත් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. අධික වියදම්, නිෂ්පල වියදම්, ධන හානි වලට ඉඩ තිබෙන බැවින් මෙම කාලය තුළ ආර්ථිකය ප්‍රවේශමෙන් හැසිරවිය යුතුයි.

මිථුන ලග්නය.
 මිථුන ලග්න හිමියන්ගේ කේන්දරයේ විවාහස්ථානය වූ හත් වෙනි භාවයට කුජ ගමන් කරනවා. හත් වෙනි භාවය කුජ ට එතරම් සුබදායක තැනක් නෙමෙයි. කුජ හත් වෙනි භාවයේ ගමන් කරන කාලය තුළ යුග දිවියේ සාමය සමගිය බිඳ වැටෙන්නට  ඉඩ තිබෙනවා. හිත මිත්‍රාදීන්, හවුල් කරුවන් ආදීන් සමග ගැටුම්, හිත් අමනාපකම්  සිද්ද වෙන්න පුළුවන්. ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. කාමාශාවන් වැඩි වෙන කාලයක් බැවින් නොමනා සම්බන්ධකම් වල පැටලීමේ ඉඩ කඩ තිබෙනවා.මුත්‍රා අබාධ, උෂ්ණ අසනීප ආදිය මතුවෙන්න පුළුවන්. මානසික නිශ්කලංකතාවය අඩු වෙනවා. කතාව හේතුවෙන් පාඩු සිද්ද වෙන්න පුළුවන්. විවාහ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට මෙම කාලය සුබදායක නෑ.

කටක ලග්නය.
  කටක ලග්න හිමියන්ගේ කේන්දරයේ හය වෙනි භාවයට කුජ ගමන් කරනවා. කුජ හය වැන්නට සුබදායක බව සෘෂි මතයයි. මෙම කාලය තුළ අනපේක්ෂිත ලැබීම වලට ඉඩ තිබෙනවා. හිතට සතුට ඇතිවෙනවා. සතුරු බලපෑම් තිබුණේ නම් ඒවා දුරු වෙනවා.ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයක් බව පැවසිය හැකියි. වැඩ කටයුතු සාර්ථක වෙනවා. ක්‍රියාශීලි උද්යෝගිමත් ගති ඇතිවෙනවා. ප්‍රීතිදායක උත්සව අවස්ථාවන්ට සහභාගීවීමට ලැබෙනවා.අලුත් හිත මිත්‍රාදීන් හඳුනා ගැනීමට හැකිවෙනවා. වරින් වර උදරාශ්‍රිත දැවිලි ගති මතුවෙන්න පුළුවන්.කරන රැකියා කටයුතු, ව්‍යාපාර ආදියේ දියුණුවක් ඇතිවෙනවා.

සිංහ ලග්නය.
  කුජ ගමන් කරන්නේ සිංහ ලග්න හිමියන්ගේ කේන්දරයේ පස් වෙනි භාවයටයි. පස් වෙනි භාවයේ කුජ ගමන් කිරීම එතරම් සුබදායක නෑ. ශරීර සනීපයට බාධා එල්ල වෙනවා. උදරගත අසනීප, ලේ විෂවීම හේතුවෙන් ඇතිවන අසනීප, උෂ්ණ රෝග ආදියට අද තිබෙනවා. මෙම කාලය තුළ ආර්ථිකය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. ධන හානි වලට ඉඩ තිබෙනවා. නිෂ්පල දේට මුදල් වැය වෙන්න පුළුවන්. අභූත චෝදනා එල්ල වීමට ඉඩ තිබෙන කාලයක් බැවින් කල්පනාකාරී විය යුතුයි. ඉක්මන් තීන්දු තීරණ වලින් වැළකිය යුතුයි. මෙම කාලය තුළ නොසුදුසු, නොගැළපෙන බැඳීම් ඇතිවීමටත් ඒ හේතුවෙන් ගැටළු මතුවීමටත් ඉඩ තිබෙනවා.

කන්‍යා ලග්නය.
   කන්‍යා ලග්නය හිමි ඔබේ කේන්දරයේ සිව් වෙනි භාවයට කුජ ගමන් කරනවා. සිව් වෙනි භාවය කුජ ග්‍රහයාට එතරම් සුබදායක නෑ. ශරීර සනීපයට බාධා ඇති කරනවා. ගෘහ ජිවිතයේ සාමය සමගිය බිඳ වැටෙනවා. ඉතාමත් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. ඥාතීන් සමග විරසකතා ඇති විය හැකියි. ගේදොර දේපළ සම්බන්ධයෙන් ගැටළු පැටළිලි මතුවීමට ඉඩ තිබෙනවා. දේපළ සම්බන්ධ ගණුදෙනු කටයුතු වලට මෙම කාලය ඉතාමත් අසුබයි. මෙම කාලය තුළ සතුරු බිය ඇතිවෙනවා. තම හොඳ නමට හානි සිදුවීමටද ඉඩ තිබෙනවා. උෂ්ණ අසනීප, දැවිලි ගති, පපුව ආශ්‍රිත පීඩාවන් අඩියට ඉඩ තිබෙනවා.

තුලා ලග්නය.
  තුලා ලග්න හිමියන්ගේ කේන්දරයේ තුන් වෙනි භාවයට කුජ ගමන් කරනවා. තුන් වෙනි භාවය නම් වික්‍රමස්ථානය යි. වික්‍රමාන්විත ග්‍රහයෙක් වික්‍රමස්ථානයට හොඳින්ම ගැළපෙනවා. කුජ මාරුව තුලා ලග්නය හිමි ඔබට ඉතාමත් සුබදායකයි. රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු ආදියේ දියුණුවක් ඇතිවෙනවා. උද්යෝගිමත් ක්‍රියාශීලී ගති ඇතිවෙනවා. අනපේක්ෂිත ලැබීම් හිමිවෙන්නත් පුළුවන්. අලුත් වැඩ කටයුතු, ව්‍යාපාර ආදියට අත ගැසීමට මෙම කාලය ඉතා සුබදායකයි. ඇසුරු කරන හිත මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. කරන කියන කටයුතු හිතට හරියන විදියට සාර්ථක වෙනවා.

වෘශ්චික ලග්නය.
  වෘශ්චික ලග්නය හිමි ඔබේ කේන්දරයේ දෙවෙනි භාවය ට කුජ ගමන් කරනවා. දෙවෙනි භාවය නම් ධනස්ථානයයි. කුජ ධනස්ථානයේ ගත කරන කාලය තුළ ආර්ථිකය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. ධන හානි, නිෂ්පල වියදම්, අධික වියදම් වලට ඉඩ තිබෙනවා. අවදානම් සහිත ආයෝජන වලින් වැළකිය යුතු කාලයක් බව මතක තබාගත යුතුයි. ප්‍රේම සම්බන්ධතා වලට බාධක එල්ල වෙනවා.දුර දිග නොබලා කරන කතා හේතුවෙන් නොයෙක් ගැටළු මතුවෙන්න පුළුවන්. වටිනා කියන දේවල් සොර සතුරන් අතට පත් වීමට ඉඩ තිබෙනවා. මානසික සහනය අඩු වෙනවා. ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.

ධනු ලග්නය.
    කුජ ගමන් කරන්නේ ධනු ලග්න හිමියන් ගේ ලග්න භාවය හෙවත් පළමු භාවයටයි. කුජ පළමු භාවයට ගමන් කිරීමත් සමග ධනු ලග්න හිමියන් තුළ තරමක ආවේගශීලී ගති ලක්ෂණ ඇතිවෙනවා. ඉක්මන් තීන්දු තීරණ ගැනීමට පෙළඹෙනවා. ඉක්මන් තීරණ හේතුවෙන් ගැටළු මතුවීමටද ඉඩ තිබෙනවා. ඉක්මන් කෝපය හේතුවෙන් ගෘහ ජිවිතයේ සාමය සමගිය අඩුවෙන්න පුළුවන්. මෙම කාලය අලුත් වැඩ කටයුතු, ව්‍යාපාර ආදියට අත ගැසීමට මෙන්ම විශේෂ හා වැදගත් තීන්දු තීරණ වලට එළඹීමට සුබදායක නෑ. අනතුරු වලට ලක්වීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි. මෙම කාලය තුළ නොමනා සම්බන්ධකම් ඇතිවීමටද ඉඩ තිබෙනවා.

මකර ලග්නය.
  මකර ලග්න හිමියන් ගේ කේන්දරයේ දොළොස් වෙනි භාවය වෙත කුජ ගමන් කරනවා. දොළොස් වෙනි භාවය වූ කලී වැයස්ථානය යි. කුජ වැයස්ථානයේ ගත කරන කාලය තුළ විශේෂයෙන්ම සැළකිලිමත් විය යුත්තේ ආර්ථිකය සම්බන්ධව යි. ධන හානි වලට ඉඩ තිබෙනවා. ණයට දුන්නොත් ආපසු නොලැබී යා හැකියි. අන්‍යයන් වෙනුවෙන් ඇප වීම්, අන්‍යයන්ගේ ණය ගණුදෙනු වලට මැදිහත් වීම් ආදියෙන්ද වැළකිය යුතුයි. මෙම කාලය තුළ රහස් සතුරන් ඇතිවීමටද ඉඩ තිබෙනවා. ගමන් බිමන් වලදී බාධක අවහිර එල්ල විය හැකියි. දුර ගමන් වල යෙදීමට මෙම කාලය සුබදයක් නෑ.  නිකරුණේ දෝෂාරෝපන එල්ල වීමටද ඉඩ තිබෙනවා.

කුම්භ ලග්නය.
   කුජ ගමන් කරන්නේ කුම්භ ලග්න හිමියන් ගේ අයස්ථානය හා මිත්‍රස්ථානය වූ එකොළොස් වෙනි භාවයට යි. එකොළොස් වෙනි භාවය කුජට සුබ දායක බව පිළිගැනෙනවා. මෙම කාලය කුම්භ ලග්න හිමියන්ට සුබ දායකයි. අනපේක්ෂිත ධන ලාභ හිමිවෙන්න පුළුවන්. කරන කියන කටයුතු සාර්ථක වෙනවා. වාසනා බලය මතු වෙනවා. අන්‍යයන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. ගෙදර දොර දියුණුව ඇති වෙනවා. අලුත් වැඩ කටයුතු වලට අත ගැසීමට , ව්‍යාපාර ඇරඹීමට මෙම කාලය සුබ දායකයි. කායික ආශාවන් සපුරා ගැනීමට ඉඩ කඩ සැලසෙනවා. ප්‍රේම සම්බන්ධතා සාර්ථක වෙනවා. වාසනාවන්ත කාලයක්.

මීන ලග්නය.
  මීන ලග්න හිමියන්ගේ කේන්දරයේ දහ වැන්නට කුජ ගමන් කරනවා. දහ වැන්නට කුජ ගමන් කිරීමත් සමග මීන ලග්න හිමියන් තුළ උද්යෝගය, ක්‍රියාශීලී ගතිය වර්ධනය වෙනවා. උත්සාහය තුලින් වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කර ගැනීමට හැකි වෙනවා. රැකියා කටයුතු සාර්ථක වෙනවා. නොඉවසිලිමත් ගතිය හේතුවෙන් ගෘහ ජීවිතය තුළ තරමක ගැටළු මතුවීමට ඉඩ තිබෙනවා. කාර්මික, යන්ත්‍ර සුත්‍ර, ඉංජිනේරු, කෘෂිකාර්මික ක්ෂේත්‍ර තුළ නියැලෙන කුම්භ ලග්න හිමියන්ට වඩාත් සුබ දායකයි. මෙම කාලය තුළ වැඩිහිටි ඥාතියෙකුට විපතක් හෝ කරදරයක් සිදු විය හැකියි.