Friday, November 19, 2021

හතේ ඉන්න කුජ හතෙන් අයින් කරමු.



හතේ ඉන්න කුජ හතෙන් අයින් කරමු.

කේන්දරයෙ කුජ හතේ කියන්නෙ ගොඩක් දෙනෙකුට ලොකු ප්‍රශ්නයක්නෙ. හතේ කුජ ආදරයට,විවාහයට අකුල් හෙලනවා, කරදර කරනවා කියල ගොඩක් දෙනෙක් නහයෙන් අඬනවා. 'කුජ හතේ නම් මොකද වෙන්නෙ' කියල අපේ ජ්‍යොතිෂ මහත්තුරුත් දන්න තරම් කරුණු ගොනු කරලා ලිපි ලියනවා. මේක හරිම ජනසම්මත කාරණයක් බවට පත් වෙලා. කුජ හතේ සිද්දිය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. මූණු පොතේ තියෙන ජ්‍යොතිෂ ගෲප්වලට ඉදිරිපත් කරන ගැටළුවල වැඩිපුරම තියෙන්නෙත් කුජ හතේ ප්‍රශ්නය තමයි. මහා අලකලංචියක් බවට පත් වෙලා තියෙන මේ ප්‍රශ්නෙට වෛවාරන්න විසඳුම් ඉදිරිපත් කරන අයත් හරියට ඉන්නවා. නොයෙකුත් පුද පූජ පැවැත්වීම්, යන්තර සහ මැණික් පැළඳීම් වගේ පිළිවෙත් ඔය විසඳුම් අතර තියෙනවා. 

 බොහෝ අවස්ථාවලදි කුජ හතේ කියන්නෙ ප්‍රශ්නයක් තමයි. කුජ විතරක් නෙමෙයි, රාහු,කේතු, සෙනසුරු, රවි වගේම අනෙක් ග්‍රහයොත් අරියාදුකාර විදියට හතේ ඉන්න අවස්ථා නැතුවා නෙමෙයි. ඉතින් හතේ ඉන්න කුජ විතරක්  අයින් කරලා දාන එක ගැන කතා කළාට ඔය කොයි ප්‍රශ්නෙටත් විසඳුම් මේ ලියමනේ තියෙනවා. ඒක හොඳින් විශ්වාස කරන්න.

කේන්දරයෙ ග්‍රහයො කොහොම කොයි විදියට සටහන් වුණත් ඒ අපි සටහන් කරගත්තු විදිය මිසක් වෙන කවුරුවත් කරපු සටහනක් නෙමෙයි. ඉමක් කොනක් නොපෙනෙන ගෙවපු සසරේ අපේ සිතුවිලි රටාව මඟින් සකස් වෙච්චි ග්‍රහ රටාවක් තමයි ඔය තියෙන්නෙ. විවාහයට, ආදරයට හරස් වෙන ප්‍රශ්න විතරක් නෙමෙයි, හැම ප්‍රශ්නයක්ම හැම කරදරයක්ම ඇතුළෙන් එන දේවල් මිසක් පිටින් එන දේවල් නෙමෙයි. අපි උත්තර හොයන්නෙ පිටින් වුණාට ගැටළු,කරදර,ගැහැට සියල්ලක්ම එන්නෙ ඇතුළෙන්. ඕක තමයි හොඳටම අවබෝධ කරගන්න ඕනැ කාරණය. දේවාලෙට, පොලීසියට, උසාවියට, ඉස්පිරිතාලෙට ඔය කොයි තැනකට ගිහින් විසඳුම් හෙව්වත් සියලු ගැටළු එන්නෙ ඇතුළෙන්. එහෙම නම් තියෙන්නෙ ඇතුළෙ ප්‍රශ්නයක්.

කුජ හතේ ඉන්නවා කියන්නෙ සාමයට, සහයෝගයට බලපෑම් එල්ල වෙන කාරණයක්.  විවාහය කියන්නෙ සහයෝගීතාවයන් අතර විශේෂම එකනෙ. සසර පුරා සහයෝගීතාවය හරියට රැකගෙන නැතිකම, ජීවිතයට ලැබුණු ආදරය පූජනීය විදියට රැකගෙන නැතිකම, යුග ජීවිතය තුළ වශ්වාසය ආරක්ෂා කර නොගැනීම, ඉවසීම, කරුණාව පවත්වා නොගැනීම වගේ කාරණා මෙන්න මේ හතේ ඉන්න කුජගෙන් පෙන්නුම් කරනවා.  කුජගෙන් විතරක් නෙමෙයි, කළින් කිව්වා වගේ වෙනත් ග්‍රහයෙක්ගෙන් හෝ වෙනත් ග්‍රහයින් කීප දෙනෙක්ගෙන් වුණත් ඒ විදියට පෙන්නුම් කරන්න පුළුවන්. ඒ වගේම හතම වෙන්න ඕනැත් නෑ ආදරයට, විවාහයට බලපාන වෙනත් තැනක වෙන්නත් පුළුවන්. ජනප්‍රිය වෙලා තියෙන්නෙ කුජ හතේ කතාව හින්දා තමයි හැමෝම දන්න ඒ කාරණය මුල් කරගෙන මේ වටිනා, වැදගත් කතාව කියන්න හදන්නෙ.

ගැටළු එන්නෙ ඇතුළෙන් නම් විවාහයට හරස් වෙන ගැටළුවලට ඇතුළෙ තියෙන විසඳුම් මොනවද ? විවාහය හා සම්බන්ධ ගැටළු කිව්වම ඉතින් එක එක විදියෙ ගැටළු තියෙනවා. විවාහය වෙන්න කලින් එන ගැටළු තමයි ඇති වෙන සම්බන්ධතා බිඳ වැටීම, යෝජනා දුරස් වීම, විවාහය කල් පසු වීම වගේ දේවල්. විවාහය කෙරුණට පස්සෙ එන ගැටළු තමයි සමගිය බිඳවැටීම, ලෙන්ගතුකම නැති වීම, අනියම් සම්බන්ධකම් හින්දා ඇති වෙන දරුණු වලි ගෝරි, පොලීසි යාම, දික්කසාද වෙන්න යාම, ළිඳට පැනීම,වහ බීම වගේ දේවල්.

කෝපය කියන්නෙ මැඩපවත්වන්න පුළුවන් දෙයක්ද ? කෝපය, ආවේගය මැඩපවත්වන්න, යටපත් කරන්න, දුරු කරන්න පුලුවන්ද ? කවදාවත් බෑ. කෝපය මැඩපවත්වන්න, යටපත් කරන්න කියලා කිසිම බුදුවරයෙක් දේශනා කරලත් නෑ. අපේ ගොඩක් දෙනෙක් නිතර පෝස්ට් දානවා කෝපය මැඩපැවැත්විය යුතුයි, යටපත් කළ යුතුයි, පාලනය කළ යුතුයි කියලා. සමහර දේශකයින් වහන්සේලත් නොදැණුවත්ව එහෙම දේශනා කරනවා. කෝපය, ආවේගය විතරක් නෙමෙයි ලිංගික ආශාව හෝ වෙනත් ඕනෑකම්, ආශාවන් වුණත් මැඩපවත්වන්න බෑ. මොකද..ඒ දේවල් එන්නෙත් ඇතුළෙන් මිසක් පිටින් නෙමෙයි. ඒ දේවල් මැඩපවත්වන්න ගියොත් තව තවත් ගැඹුරට ගමන් කරනවා. කඳුකරයකින් මතු වුණු උල්පතක මුඛය වහලා නවත්තන්න බෑ. එහෙම කළොත් එයා කඳුකරයෙන් පිට වෙන්න වෙනත් මාර්ග හොයාගන්නවා. සමහරවිට ඒ උල්පත උල්පත් කීපයක් බවට පත් වෙලා පිටවෙන්න හදයි. කෝපය වුණත් ඒ වගේ තමයි. කෝපය හෝ ආශාවක් මැඩපවත්වන්න ගියොත් ඒක පිටවෙන්න වෙනත් මාර්ග සොයාගන්න පුළුවන්. එතකොට තත්වය තවත් දරුණු වෙන්න පුළුවන්. කළ යුත්තේ මැඩපැවැත්වීම නෙමෙයි පරිවර්තනය කිරීමයි. කෝපය පරිවර්තනය කරන්න ඕනැ කරුණාව, මෛත්‍රිය වෙතටයි. මෙත් වඩන්න කියන්නෙ අන්න ඒ හින්දයි.

මෙත් වැඩීම පුරුද්දක් බවට පත් වුණාම කෝපය, ආවේගය මතුවෙන්නෙ නෑ. සසර පුරා පවත්වාගෙන ආපු ආවේගකාරී සිතුවිලි රටාව ටිකෙන් ටික මෛත්‍රිය වෙතට පරිවර්තනය වෙනවා. එතකොට හතේ කුජ හිටියට ඒ කුජගෙන් එල්ල වෙන බලපෑම් නැතුව යනවා. මෙතැනදි මතක තියාගන්න ඕනැ කාරණය තමයි ගැටලුවලට අනුකූල විදියට මෙත්වැඩීම පවත්වාගෙන යන්න ඕනැ කියන එක. ආදරය, විවාහය සම්බන්ධයෙන් එල්ල වෙන ගැටළු කරදර බාධක දුරු වෙලා යන විදියට මෙත් වඩන්න ඕනැ. විවාහපේක්ෂිත සියලු දෙනාට ඉක්මන් යහපත් සැනසිලිදායක විවාහයක් පතන්න ඕනැ. යුග ජීවිත ගත කරන සියලු දෙනාට තම යුග ජීවීතය තුළ උපරිම සතුට, සැනසුම, සමගිය ඇති වේවා කියල ප්‍රර්ථනා කරන්න ඕනැ. නිකම් මතුපිටින් නෙමෙයි.ඒක හදවතින්ම කරන්න ඕනැ. දිනපතා ඔය විදියට කරගෙන යනකොට ඒක ඉබේටම වෙන්න ගන්නවා. අඹු සැමි යුවළක්, පෙම්වතුන් දෙපළක් දුටු ගමන් ඉබේම ප්‍රාර්ථනාව නිකුත් වන තත්වයට පත්වෙනවා.  තමන් දන්නා කියන අය යුග ජීවිතය තුළ පීඩා විඳිනවා නම් අන්න ඒ අය හිතේ මවාගෙන යහපත පතන්න. මේක මහත්ඵල මහානිසංස පිළිවෙතක්. මෙයින් ලැබෙන ප්‍රතිඵල පුදුම සහගතයි. ඒවා තමන් අත්දකින්න ඕනැ.

ඔහොම කරගෙන යන ගමන් කේන්දරය අරගෙන බලන්න එපා හතේ කොටුවෙ ලියල තියෙන "කු" අකුර නැති වෙලාද කියල එහෙම. ඒක එහෙමම තියෙනවා. එච්චරයි ඉතුරුවෙන්නෙ. ඉන් එහා බලපෑමක් නම් ඇතිවෙන්නෙ නෑ.  කුජ ගැන, හත ගැන අමතකම කරලා දිගටම මෙත් වඩන්න. මගෙ බලාපොරත්තු ඉෂ්ට කරගන්න කොහොම හරි ඉතින් මේ වැඩේ කරන්න එපායැ කියල නෙමෙයි, හදවතින්ම නැඟෙන සැබෑ කරුණාව ඉස්මතු කරගෙන කරන්න. ශරීරයම සුවදායක තත්වයට පත් වෙන තරමට හදවත කරුණාවෙන් පුරවාගෙන මෙත් වඩන්න. උපදෙසක් ඕනැ වුණොත් අහලා දැනගන්න.

සංජීව කුළුපන බණ්ඩාර