Sunday, January 20, 2019

ජේ.ආර් ජයවර්ධන මහතාගේ ග්‍රහ බලය.


ස්ටාර් එක හොඳ වෙලාවට බඹරෙ වැල්ලෙ ගැහුවත් කැරකෙනවා. ඒ වෙලාවට තමන්ගෙ වාසියට පිටිය සකස් වෙනවා. ලැබිය යුතු තැන ලැබෙනවා. ළං වෙන්න ඕනැ අය ළං වෙනවා. සතුරු බලවේග අඩපන වෙනවා. අරමුණු මුදුන්පත් වෙනවා. වයස් අවුරුදු 72 දි වාසනාව සුපිරියටම උදා වුණු ජන නායකයෙක්ගේ ග්‍රහ බලය ගැනයි මේ කතා කරන්න හදන්නේ.

ඔහු මේ රටේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ය. පූර්ණ බලතල සහිත විධායක ජනාධිපති ධූරයේ නිර්මාතෘවරයා ය.  ඉංග්‍රීසි පුවත්පත්වල මාද්‍යවේදීන් ඔහු හැඳින්වූයේ Old Fox යනුවෙනි. එහි තේරුම 'මහළු හිවලා' යන්න යි. තීක්ෂණ උපායශීලී ඥානය අතින් ඔහුට සම කළ හැකි අයෙක් ලංකා දේශපාලනය තුළ මෙතෙක් බිහි වී නැතැයි ඇතැමුන් පවසයි. මොන තරම් උපායශීලී ඥානයක් තිබුණ ද රටේ නායකත්වයට පත්වීමට වයස අවුරුදු 72 වන තුරු බලා සිටීමට සිදුවිය. එනම්, ඔහු රටේ නායකත්වයට පත් වූයේ  රාජ යෝග බලය නිසි පරිදි මතු වී පලදෙන්නට ගත් විට ය.

ජේ ආර් ජයවර්ධන මහතා උපත ලැබුවේ 1906 සැප්තැම්බර් මස 17 වෙනි සඳුදා කොළඹදී ය. ඒ, ශ්‍රී ලංකා භූමිය හොඳින්ම පලදෙන කන්‍යා ලග්නයෙනි. ලග්නාධිපති බුධ දොළොස්වැනි භාවයේ ය. දොළොස්වැනි භාවාධිපති රවි ලග්නයේ ය. එනම්,එකත් දොළහත් අතර පරිවර්තන යෝගය කි. පරිවර්තන යෝග තුන් ආකාරයකට වර්ග කොට තිබේ.

1. මහා පරිවර්තන යෝග
2. මධ්‍යම පරිවර්තන යෝග
3 දෛන්‍ය යෝග යනුවෙනි.

ජේ ආර් ජයවර්ධන මහතාගේ පරිවර්තන යෝගය අයත් වන්නේ දෛන්‍ය යෝග ගණයට ය. එහි ප්‍රතිපල නම් දිළිඳු වීම, ලැබෙන දෙය පල නොදීම, අග හිඟතා ඇතිවීම,ණය තුරුස් වීම  බව ජ්‍යොතිෂ පොත පතේ සඳහන්ව තිබේ. ඒත් ජේ ආර් ජයවර්ධන මහතාට මේ කියන කිසිම අසුබතාවයක් බලපෑවේ නැත. රහස නම් අසුබදායක පරිවර්තන යෝගයේ බලපෑම යටපත් කරමින් ක්‍රියාත්මක වූ බලවත් යෝග ගණනාවක් කේන්දරයේ සටහන් වීම යි. ඒ මොනවාදැයි පිළිවෙලට සොයා බලමු.

උභයචාරී යෝගය පිළිබඳව ජ්‍යොතිෂය යම් තරමින් හෝ දන්නා අයට අමුතුවෙන් කියා දිය යුතු නැත. රවිගෙන් දෙපස සඳු හැර වෙනත් ග්‍රහයින් දෙදෙනෙකු හෝ ඇත්නම් උභයචාරී යෝගයයි. රවිගෙන් දෙවැන්නේ සිකුරු සිටින්නේ නිකම් නොව ස්වක්‍ෂේත්‍රව ය. රවිගෙන් දොළොස්වැන්නේ කුජ හා බුධ ය. සමෘද්ධිමත් බව, වියත් කථිකත්වය, මනා සේ වැඩුණු දේහය, ප්‍රසිද්ධිය උභයචාරී යෝගයේ ප්‍රතිපල ය.

සිකුරු දෙවැන්නාධිපති වී දෙවැනි භාවයේ තැන්පත්ව සිටීම දේශපාලන නායකයෙකුට ඉතාමත් වැදගත් පිහිටීමකි. තම කතාවෙන් ඉමහත් ප්‍රයෝජන ලබාගැනීමට මෙම පිහිටීම හේතු වේ. 1951 වසරේදී සැන්ප්‍රැන්සිස්කෝ නුවර පැවැත්වුණු ජපන් සාම ගිවිසුම් සම්මේලනය ඇමැතූ ජේ ආර් ජයවර්ධන මහතා පිලිබඳව ඇමෙරිකාවේ ටයිම්ස් සඟරාවේ මෙසේ සඳහන් වී තිබුණි.
" කේඩෑරි සිරුරක් ඇති, හෙමින් කතා කරන, දැලි පිහියක මුවහත් දිවක් ඇති, ශ්‍රී ලංකාවේ නියෝජිතයා සම්මේලනය ඇමැතූ දක්ෂ ආසියානු කථිකයා විය"
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යටත් විජිත රටවලට නිදහස ලබාදීම සඳහා පැවති එම සම්මේලනයේදී 'නහී වේරේණ වේරාණි' ගාථාව ඉදිරිපත් කරමින් ජපානයට නිදහස ලබා දිය යුතු බවට ජයවර්ධන මහතා කළ කතාව නිසා, තුනට කැඩී යාමට ගිය ජපානයට තනි රටක් ලෙස නිදහස ලැබුණි. ඒ, දෙවැන්නේ බලවත් වූ සිකුරු විසින් ප්‍රදානය කරන ලද කතා විලාශයේ ප්‍රතිපල යි. සිකුරු ග්‍රහයා නවාංශකයේ උච්ච බලයෙන් සිටින බවද සඳහන් කළ යුතුය. 

අමලා නම් යෝගයක් පිළිබඳව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ලග්නයෙන් හෝ සඳුගෙන් දසවැන්නේ සුබ ග්‍රහයෙක් තැන්පත්ව ඇත්නම් ඒ අමලා යෝගය යි. කල් පවත්නා නාමයක් හිමිකර දෙන , කීර්තිය අත්කර දෙන, සැපවත් ජීවිතයකට වාසනාව උදා කරන යෝගය කි. කන්‍යා ලග්නය හිමි මෙම කේන්දරයේ දස වැනි භාවයේ ගුරු තැන්පත්ව අමලා යෝගය උදාවී තිබේ. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වූයේ ද, අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා රටේ ප්‍රථම විධායක ජනාධිපති ධූරයට පත්වූයේ ද අමලා යෝගය උදා කරමින් දස වැනි භාවයේ තැන්පත්ව සිටි ගුරු ගේ මහ දශා කාලය තුළ දී ය.

සයවැන්නාධිපති 6,8,12 යන ස්ථානයක තැන්පත්ව ඇත්නම් ඒ හර්ෂා යෝගය යි. මෙම කේන්දරයේ සයවැන්නාධිපති සෙනසුරු සයවැන්නේම තැන්පත්ව හර්ෂා යෝගය යෙදී තිබේ. මෙය සතුරු බලවේග දුර්වල කරවන යෝගයකි. කායික වශයෙන් නිරෝගී ශක්ති සම්පන්න බව ඇති කරයි. ධනය, කීර්තිය හිමිකර දෙයි.

සරලා යනුවෙන් තවත් යෝගයකි. අටවැන්නාධිපති 8,12,6 යන තැනක තැන්පත්ව ඇත්නම් ඒ සරලා යෝගය යි. මෙම කේන්දරයේ අටවැන්නාධිපති කුජ දොළොස් වැනි භාවයේ තැන්පත්ව සරලා යෝගය යෙදී තිබේ. මෙය දීර්ඝායු ලබාදෙන යෝගයකි. සතුරන් පරාජයට පත් කරවන, සමෘද්ධිය උදාකරන, උගත්කම හිමිකර දෙන, කීර්තිය හා ප්‍රසිද්ධිය උරුමකර දෙන යෝගයකි.

සියලුම සුබ ග්‍රහයින් 10,11,12,1,2,3 යන භාවයන් ගෙන් එකකට හෝ කිහිපයකට සීමා වී පිහිටා ඇත්නම් එය රාජ යෝගයකි. මෙම කේන්දරයේ ගුරු, බුධ, සඳු, සිකුරු යන ග්‍රහයින් 10,12,2 යන භාවවල තැන්පත්ව එම රාජ යෝගය යෙදී තිබේ.

ලග්නාධිපති හා පස්වැන්නාධිපති සම සප්තමව යෙදීම ද බලවත් ග්‍රහ යෙදුමකි. මෙම කේන්දරයේ ලග්නාධිපති බුධ දොළොස්වැන්නේ ද පස් වැන්නාධිපති සෙනසුරු සය වැන්නේ ද තැන්පත්ව සිටියි. තමන් යෙදී සිටින ක්‍ෂේත්‍රය තුළ ඉහළම සාර්ථකත්වයක් අත්කර දෙන වටිනා ග්‍රහ පිහිටීමකි.

ගුරු මහ දශා කාලය තුළ රටේ ඉහළම තනතුරට පත්වූ ජයවර්ධන මහතා සෙනසුරු මහ දශාවේ බුධ අන්තර් දශා කාලය තුළ දේශපාලනයෙන් සමුගත් අතර, සෙනසුරු මහ දශාවේ සඳු අන්තර් දශා කාලය තුළ ජීවිතයෙන් සමුගත්තේ ය.

මෙම කේන්දරය ඇසුරින් ඉදිරිපත් කළ හැකි තවත් කාරණා බොහෝය. ආධුනික ජ්‍යොතිෂවේදීන් මෙවැනි කේන්දර වැඩි දුර අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත්ය. ජීවිතයේ සුවිශේෂ සිදුවීම් හා බැඳුණු ග්‍රහ බලපෑම් එමගින් වඩාත් පැහැදිලිව සොයා දැනගැනීමට හැකි වනු ඇත.

සංජීව කුළුපන බණ්ඩාර.