ඔබේ කේන්දරය ඔබම බලාගන්න -02


සඳු හෙවත් චන්ද්‍රයාට හැමෝම ලෙන්ගතුයි. හඳ පායපු අහස ලස්සනයි. හඳ ගැන ගීත ලියවෙනවා.හඳට පෙම් බඳින අය ඉන්නවා.ඒත්, මේ කියන්න හදන්නෙ හඳේ ලස්සන ගැන නෙමෙයි. සඳු අපේ ජීවිත වලට එල්ල කරන බලපෑම ගැනයි.
ජ්‍යොතිෂය තුළ චන්ද්‍රයා ස්ත්‍රී ග්‍රහයෙක් ලෙස හඳුන්වනවා.සූර්යයා ස්ථිරත්වයට අධිපති වන්නා සේ චන්ද්‍රයා චංචලත්වයට අධිපතිත්වය දරනවා.ශරීරයේ තෙත් ගතිය හෙවත් සෙම් ධාතුව මෙන්ම මනුෂ්‍යයාගේ සිත නියෝජනය කරන්නෙත් සඳු හෙවත් චන්ද්‍රයා යි.පසළොස්වක පොහොය ආසන්න වන විට සෙම, ඇදුම වැනි අසනීප උත්සන්න වන බව බොහෝ දෙනෙක් දන්නවා.උමතු රෝගීන්ගේ උමතුව ද සඳු නැඟගෙන එන කාලයේදී වර්ධනය වෙනවා.පසළොස්වක පොහොය දාට චන්ද්‍රයාගේ ඇති බලය හේතුවෙන් භූගත ජල මට්ටම වැඩි වෙනවා. හුඹස් වල ඉහළ කොටස තෙත් වෙනවා." පුරට ගස් කපන්න එපා " යැයි කියමනක් තියෙනවා.පුර පක්ෂයේ හෙවත් සඳ නැඟගෙන එන කාලයේදී කපන ගස් වලට ඉක්මණින් ගුල්ලෝ විදින බව එදා ගැමියා දැනගෙන හිටියා.පුර පක්ෂයේ සිටුවන කිතුල් ශාකයේ තෙලිජ්ජ මෘදු බව පැරැන්නෝ අත්දැකීමෙන් දැනගත්තා. වඩ දිය බා දිය ඇතිවන්නේ චන්ද්‍රයාගේ බලපෑම හේතුවෙන් බව පාසල් යන දරුවන් පවා දන්නා කාරණයක්.
ජ්‍යොතිෂය තුළ චන්ද්‍රයාට සුවිශේෂ තැනක් හිමිවෙනවා.පුර සඳු සුබ ග්‍රහයෙක් ලෙසත්, අව සඳු පාප ග්‍රහයෙක් ලෙසත් සැළකෙනවා.සඳු ස්ත්‍රීන් කෙරෙහි විශේෂයෙන් බලපානවා.සඳු උච්ච වීම ස්ත්‍රී කේන්දරයක උසස්ම ගුණයක් ලෙසට පිළිගැනෙනවා. සඳු බලවත් වීමෙන් උසස් රූප සම්පත්තියක් හිමිවෙනවා.පිළිසිඳ ගැනීම්, දරු උපත්, වැඩිවිය පත්වීම්, ඔසප් වීම් ආදී ස්ත්‍රියකගේ ජීවිතයේ සියලු වැදගත් සිදුවීම් කෙරෙහි චන්ද්‍රයාගේ බලය දැඩිව බලපානවා.
කේන්දරයේ චන්ද්‍රයා සුබදායක ලෙස පිහිටීමෙන් කාරුණික බව, සංවේදී ගතිය, පරාර්ථකාමී බව ආදී යහපත් ගති පැවතුම් ඇතිවෙනවා. චන්ද්‍රයා දුර්වල වීමෙන් චපල බව,අකාරුණික ගති, ආත්මාර්ථකාමී බව ආදී ගති ලක්ෂණ ඇතිවෙනවා.
චන්ද්‍රයා රාහුගේ ග්‍රහණයෙන් මුදවාලනු පිණිස බුදුන් වහන්සේ චන්ද පිරිත දේශනා කළ බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. රාහු අපලයෙන් මිදීම සඳහා බොහෝ දෙනා චන්ද පිරිත භාවිතා කරනවා.
මෙම සුවිශේෂී ග්‍රහයා ඔබේ කේන්දරයේ සටහන්ව ඇති ස්ථානය අනුව හෙළි වන තොරතුරු මොනවාදැයි බලමු.

සඳු 01 වෙනි කොටුවේ නම්.
 සඳු කියන්නේ බොහොම සෞම්‍ය ග්‍රහයෙක්. මේ හින්දා සඳු පළමු භාවයේ සිටින අය කාරුණිකයි. ප්‍රිය උපදවන පෙනුමක් හිමියි. ඉතාමත් සංවේදියි. පොඩි දෙයක් ගැන පවා දිගින් දිගට හිතනවා.සිතුවිළි වැඩියි. කරදර වලට දුර තියාම බිය ගතියක් දක්වනවා. සිතේ චංචල ගති ඇතිවෙනවා. මේ අය කාරුණිකයි. කෙනෙකුගේ සිත රිද්දන්න කැමති නෑ. හිත හොඳ හින්දා අමාරුවෙ වැටෙන අවස්ථාත් තියෙනවා. ඇඟ වෙහෙසලා කරන වැඩ කටයුතු වලට එච්චර කැමති නෑ. සැප පහසුවට කැමතියි. ජීවිතය ස්ථාවර තත්වයක පවත්වාගන්න අමාරුයි. විටෙක නැඟීමත් විටෙක බැසීමත් දැක ගන්න ලැබෙනවා. සෙම් අසනීප පහසුවෙන් වැළඳෙනවා. මේ අය පළතුරු කන්න ආසයි.
වෘශ්චික ලග්න හිමියන්ගේ සඳු පළමු භාවයේ සිටීමෙන් ලැබෙන ප්‍රතිපල මීට වඩා තරමක් වෙනස්. මොකද, වෘශ්චික ලග්නයේදී සඳු නීච වෙනවා. ඒ හින්දා සඳු පළමු භාවයේ සිටින වෘශ්චික ලග්න හිමියන් එතරම් සංවේදී නෑ. කාරුණික ගතියත් ටිකක් අඩුයි.

සඳු 02 වෙනි කොටුවේ නම්.
 සඳු දෙවෙනි භාවයේ සිටීමෙන් යහපත්, ආකර්ශනීය කතාවක් හිමි වෙනවා.අන්‍යයන්ගේ සිත නොරිදෙන ලෙස කතා කරන නිසාම කතාවෙන් බොහෝ වාසි අත්වෙනවා.තමන්ගේ සහකරු හෝ සහකාරිය සමග සාමයෙන් සමගියෙන් කටයුතු කරන නිසාම යුග දිවිය සුරක්ෂිත වෙනවා.ධනය ලැබීම අතින් සුබදායක වුණත් ස්ථාවර ආර්ථිකයක් පවත්වාගන්න අමාරු වෙනවා.ආර්ථිකය නිතර උස් පාත් වන ස්වභාවයක් ඇතිවෙනවා. නිතර සෙම් ගෙඩි මතුවීමටත් ඉඩ තිබෙනවා. ප්‍රියමනාප, පිරුණු  මුහුණක් හිමිවෙනවා.කොයි කවුරුන් සමග වූවත් සාමයෙන් කටයතු කරන නිසා හිතමිත්‍රාදීන් සමග යහපත් සම්බන්ධයක් පවත්වාගන්න ලැබෙනවා.

සඳු 03 වෙනි කොටුවේ නම්.
සහෝදරස්ථානය වූ තුන් වෙනි භාවයේ සඳු සිටීමෙන් යහපත් සහෝදරාදීන් හිමිවෙනවා.සහෝදරයින්ට වඩා සහෝදරියන් වැඩි වෙන්න පුළුවන්.සහෝදරාදීන් සමග සමීප සම්බන්ධයක් පවත්වාගන්න ලැබෙනවා. ගමන් බිමන් බහුල වෙනවා.නිතර අදහස් වෙනස් වන ස්වභාවයක් පවතිනවා.වැඩි කළබලයකින් තොරව අවස්ථානුකූලව කටයුතු කිරීමේ හැකියාව හිමියි. යහපත් අධ්‍යාපනයක් උරුම වෙනවා.සැප විඳීමේ වාසනාව හිමියි. සඳු තුන් වෙනි භාවයේ පිහිටීම කාමාශාව අධික වීමටත් හේතු වෙනවා. සෙම් අසනීප බහුල වෙන්නත් පුළුවන්. ඥාතීන් අතර කැපී පෙනෙන තත්වයක් ඇතිවෙනවා.

සඳු 04 වෙනි කොටුවේ නම්.
කේන්දරයේ සුවිශේෂ ස්ථානයක් වූ සිව් වෙනි භාවයට සඳු ඉතාමත් සුබදායකයි. සැප විඳීමේ වාසනාව හිමියි. ඥාතීන් අතර විශේෂ තැනක් ලැබෙනවා. දේපල, ගේදොර උරුම වෙනවා.මව් පාර්ශවයෙන් වැඩි වාසි අත්වෙනවා.යාන වාහන ලැබෙනවා.ජීවිතයේ අවසාන කාලය දුකක් කරදරයක් නැතුව, අන්‍යයන්ගේ ඇප උපකාර ඇතුව සැපවත්ව ගතකරන්න ලැබෙනවා. කාරුණික හදවතක් උරුමයි.සතුරෙකුට වූවත් සමාව දෙන තරමේ උණුවන හිතක් හිමියි. අලංකාර නිවසක වාසය කරන්න ලැබෙනවා. පපුව ආශ්‍රිතව සෙම් අසනීප මතුවෙන්න පුළුවන්. වැඩි වෙහෙස මහන්සියකින් තොරව ජීවිතය ගෙනයාමට හැකි වෙනවා.
සිංහ ලග්න හිමියන්ට මෙම සුබ පල ඒ අයුරින්ම නොලැබෙන බව මතක තබා ගත යුතුයි.

සඳු 05 වෙනි කොටුවේ නම්.
සඳු සිටින්නේ පස් වෙනි භාවයේ නම් කඩිසර,ක්‍රියාශීලී ගති ලක්ෂණ ඇතිවෙනවා.විනෝදය, භාහිර අලංකාරය කෙරෙහි වැඩි උනන්දුවක් ඇතිවෙනවා.ක්‍රීඩා කටයුතු, කලා කටයුතු කෙරෙහි ඇල්ම උනන්දුව ඇතිවෙනවා. නිතර විනෝදයෙන් කල්ගෙවීමට පෙළඹෙනවා.යහපත් අධ්‍යාපනයක්ද හිමි කර ගැනීමට හැකිවෙනවා.තරමක හිතුවක්කාර ගති ඇතිවෙන්නත් ඉඩ තිබෙනවා.අන්‍යයන් ගේ අවවාද අදහස් හිතට ගන්නා සේ පෙන්වූවත් තම මතයට අනුව කටයුතු කිරීමට පෙළඹෙනවා. සඳු පස් වෙනි භාවයේ පිහිටීම කාමාශා වැඩි වීමට හේතු වෙනවා.කොහොම වුණත් තම තත්වය රැකගෙන අරමුණු කරා නොපසුබටව ගමන් කිරීමේ ශක්තිය හිමියි.

සඳු 06 වෙනි භාවයේ නම්.
සඳු හය වෙනි භාවයට එතරම් සුබදායක ග්‍රහයෙක් නෙමෙයි. ලඳ බොළඳ ග්‍රහයින් හය වැන්නට ගැළපෙන්නේ නෑ.සඳු හය වැන්නේ සිටීමෙන් ශරීර ශක්තිය අඩු වෙනවා.ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ ශක්තිය හීන වෙනවා.ස්ත්‍රී පක්ෂයෙන් සතුරු බලපෑම් එල්ල වෙන්නත් ඉඩ තිබෙනවා.උදරාශ්‍රිත රෝග වලට වගේම පෙනහළු, පපුව ආශ්‍රිත අසනීප වලටත් ඉඩ තිබෙනවා.ආහාර කෙරෙහි ප්‍රියතාවය වරින් වර අඩුවෙනවා.බැදුම් හා පැණිරස කෙරෙහි වැඩි ප්‍රියතාවයක් ඇති වෙනවා.සතුරන් ඇතිවේ යැයි සිතට වරින් වර බියක් ඇති වෙනවා.කොහොම වුණත් තමන්ගෙන් අන්‍යයන්ට කරදරයක් හිරිහැරයක් නොවන විදියට කටයුතු කරන්න මේ අය වග බලාගන්නවා.

සඳු 07 වෙනි කොටුවේ නම්.
සඳු හත් වෙනි භාවයේ පිහිටීම අන්‍යයන්ගේ අවදානයට ලක්වීමට හේතු වෙනවා.සිතේ තරමක චංචල ගතියක් පවතිනවා.විවාහය තරමක් ප්‍රමාද විය හැකියි. කෙසේ වෙතත් පිරුණු අඟ පසඟින් යුතු, පැහැපත්, කාරුණික, ලෙන්ගතු සහකරුවෙක් හෝ සහකාරියක් හිමි වෙනවා.ලෞකික සැප සම්පත් භුක්ති විඳින්න ලැබෙනවා.අන්‍යයන් සමග සමයෙන්, සමගියෙන් කටයුතු කිරීමේ හැකියාව හිමියි.අන්‍යයන්ගෙන් උදව් උපකාර හිමිවෙනවා.විවාහයෙන් පසුව දියුණුව,සාර්ථකත්වය වර්ධනය වෙනවා.ප්‍රීතිමත් ජිවිතයක් ගතකිරීමට හැකිවෙනවා.වෘෂභ හා කටක ලග්න හිමියන්ගේ හත් වෙනි භාවයේ සඳු සිටීමෙන් මෙම සුබ පල බොහෝ දුරට අඩු වෙනවා.යුග දිවිය තුළ අනපේක්ෂිත කරදර මතුවෙනවා.

සඳු 08 වෙනි කොටුවේ නම්.
 සඳු අටට සුබ නැති බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.අකාලයේ ජීවිත හානි කරන යෝග බොහොමයක් සඳු අටේ සිටීමෙන් යෙදෙන බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් සඳු අටේ සිටීමෙන් වැඩි වශයෙන් අපල බලපෑම් එල්ල වන්නේ ලාබාල අවදියේ දී පමණයි.වයස අවුරුදු නමයේ පමණ පටන් සැළකිය යුතු තරමේ කරදරයක් ඇතිවන්නේ නෑ.සඳු අට වැන්නේ සිටින අය ඉතාමත් සංවේදියි. දුක වුණත් සතුට වුණත් ඉක්මණින්ම දැනෙනවා.සුළු දෙයක් ගැන පවා දිගින් දිගට සිතනවා.විටෙක පිටතින් සැර ගතියක් පෙනුණත් සිත උණුවෙන සුළුයි.සෙම් අසනීප නිතර මතුවෙන්න පුළුවන්.ජලයෙන් අපල එල්ල වෙනවා.අවදානම් සහිත ගංගා ආදියට බැසීමෙන් වැළකී සිටීම වැදගත් වෙනවා.මව් වැඩි කලක් ජීවත් නොවෙන්න පුළුවන්. විවාහයෙන් දායාද හිමිවෙනවා. මරණය බොහෝ දෙනෙක් ඉදිරියේදී සිදුවෙන්න පුළුවන්. ප්‍රසිද්ධ මරණයක් වෙන්නත් ඉඩ තිබෙනවා.

සඳු 09 වෙනි කොටුවේ නම්.
භාග්‍යස්ථානය වූ නම වෙනි භාවයට සඳු සුබදායකයි.ආගමට දහමට මෙන්ම දෙමාපිය වැඩිහිටි ආදීන්ට නිසි භක්තිය ඇතිවෙනවා.හික්මීමෙන් යුතු ජීවිතයක් ගත කිරීමට හැකිවෙනවා.මෙය විදේශ යෝගයක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. යහපත්,ප්‍රියමනාප පෙනුමක් හිමි වෙනවා.නිරෝගී බව ලැබෙනවා.පින් දහම් වල යෙදීමටත්, වන්දනා ගමන් යාමටත් කැමැත්ත ඇතිවෙනවා.නිරහංකාර ගති ලක්ෂණ උරුමයි.අන්‍යයන්ගෙන් උදව් උපකාර මෙන්ම ගරු බුහුමන් ලබන තත්වයකට පත්වෙනවා. යහපත් අධ්‍යාපන තත්වයක්ද උරුම වෙනවා.පාපකාරී කටයුතු වලින් වැළකී යහපත්, සමෘද්ධිමත් ජිවිතයක් ගතකිරීමට හැකි වෙනවා.

සඳු 10 වෙනි කොටුවේ නම්.
කර්මස්ථානය වූ දස වැන්නට සඳු සුබදායකයි.කළබලයකින් තොරව, ක්‍රමානුකූලව වැඩකටයුතු කිරීමේ දක්ෂතාවය හිමියි.අමාරු වැඩක් වූවත් බය සැක නැතුව භාර ගෙන සාර්ථකව ඉටු කිරීමේ හැකියාව උරුමයි. කීප වරක් ස්ථාන වෙනස් කිරීමට සිදුවිය හැකියි. දෙමාපියන්ට සුබ පල අත්වෙනවා. දෙමාපිය උරුමයන් හිමිවෙනවා.දෙමාපියන් සමග සමීප බැඳීමක් පවත්වාගන්න ලැබෙනවා.පිළිගැනීමට ලක්වන ක්ෂේත්‍රයක වැදගත් රැකියාවක් කිරීමට හැකිවෙනවා.වැඩකටයුතු වරින් වර වෙනස් විය හැකි වූවත් යහපත් ආර්ථිකයක් ඇතුව සැපවත්ජීවිතයක් ගතකිරීමට හැකිවෙනවා.තම අරමුණු කෙසේ හෝ මුදුන්පත් කරගැනීමට හැකිවෙනවා.

සඳු 11 වෙනි භාවයේ නම්.
සඳු එකොළොස් වැන්නේ පිහිටීමෙන් බොහෝ හිත මිතුරන් ඇතිවෙනවා. කෙසේ වෙතත් බොහෝ මිතුරු සම්බන්ධතා කල් පවත්වා ගැනීමට අපහසු වෙනවා.ස්ත්‍රී පක්ෂයෙන් උදව් උපකාර වැඩිපුර හිමි වෙනවා.ආදායම් ලැබීමට වාසනාව තිබෙන නමුත් ලැබීම් වරින් වර අඩු වැඩි වෙනවා.විටෙක බලාපොරොත්තු නොවූ තරම් ලැබෙන නමුත් විටෙක බලාපොරොත්තු වන තරමට නොලැබී යනවා.යහපත් සහකරුවෙක් හෝ සහකාරියක් හිනිවෙනවා.යහපත් අයෙක් ලෙස අන්‍යයන් අතර ප්‍රකට වෙනවා.ගේදොර,යාන වාහන ඇතුව සැපවත් ජීවිතයක් ගතකිරීමට හැකි වෙනවා.කන් ආශ්‍රිත අසනීප පහසුවෙන් වැළඳෙන්න පුළුවන්.පොදු කටයුතු වලින් ඉහළ සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකියාව පවතිනවා.

සඳු 12 වෙනි කොටුවේ නම්.
සඳු දොළොස් වැන්නේ පිහිටීමෙන් සංග්‍රහශීලී ගති ලක්ෂණ හිමිවෙනවා.අන්‍යයන් වෙනුවෙන් උදව් කිරීමට සිත යොමු වෙනවා.සමාජ සේවා කටයුතු වල යෙදීමට ඉතාමත් සුබදායක පිහිටීමක් ලෙස දක්වන්න පුළුවන්.අධ්‍යාත්මික කටයුතු වලටද ඉතාමත් සුබදායකයි. භාවනා කටයුතු,ජ්‍යොතිෂ, ගුප්ත විද්‍යා කටයුතු ආදියෙන් ඉහළ සාර්ථකත්වයක් අත් කර ගැනීමේ හැකියාව හිමියි.වැය පක්ෂය අධික වෙන්න පුළුවන්. ලෞකික දියුණුව තරමක් අඩු වෙන්නත් ඉඩ තියෙනවා. කීප වරක් ස්ථාන වෙනස් කිරීමට සිදු වෙනවා.දීර්ඝ ගමන් වල යෙදෙන්නට සිදු වෙනවා.ඇස් ආශ්‍රිත අසනීප,පීනස, සෙම් පීඩා ආදියට ඉඩ තිබෙනවා.