Wednesday, January 7, 2015

සෙනසුරු වෘශ්චික රාශියේ පෙරළි කරයි ද?

          සෙනසුරු කියන්නේ පෙරළිකාර ග්‍රහයෙක්. ජ්‍යොතිෂය දන්නා නොදන්නා හැමෝම සෙනසුරු ගැන දන්නවා. ලෝකයට සෙනසුරුගෙන් එල්ලවෙන්නේ සුළුපටු බලපෑමක් නෙමෙයි. රටක සිද්දවෙන සුවිශේෂී සිදුවීම් බොහොමයකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ සෙනසුරු යි. ලෝකායත ජ්‍යොතිෂයේදී ( Mundane Astrology ) සෙනසුරු ප්‍රධාන කොට සලන්නේ ඒ හින්දයි. රටක සිදුවන මහජන නැගිටීම්, ආණ්ඩු පෙරළි, ස්වභාවික විපත්, සිවිල් යුද්ධ ආදිය ට සෙනසුරු විශේෂයෙන් බලපානවා.
          සෙනසුරා වෘශ්චික රාශියට ගමන් කළේ 2014. 11. 02 වැනිදා යි. සෙනසුරු වෘශ්චික රාශියෙන් සමුගන්නේ 2017.01.27 වැනිදායි. සෙනසුරු මාරුව රටට බලපාන්නේ මොන විදියටදැයි සොයා බැලීම ඉතාමත් වැදගත් වෙනවා. මේ කාලය තුල රට තුල සිදුවන්නේ මොනවගේ සිදුවීම්ද ? මීට පෙර සෙනසුරු වෘශ්චික රාශියේ ගතකරන විට සිදුවුයේ මොනවගේ සිදුවීම්ද ?  මේ කාරණා ගැන එතරම් දුරට සොයා බලා සිදුකල විග්‍රහයක් දකින්නට ලැබුණේ නෑ.
          ශ්‍රී ලංකාව සමග සෙනසුරු ගේ සම්බන්ධය වැඩියි.  ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ලංකාවෙ ලග්නය විදියට සැලකෙන්නේ කුම්භ ලග්නය යි. කුම්භ කියන්නේ සෙනසුරුගේ ලග්නයක්.   ලංකාවට ලග්නයක් ලැබුණේ කොහොමද කියල කෙනෙක් හිතන්න  පුළුවන්.  ලංකාවට නිදහස ලැබුණු මොහොත අනුව සකස් කරපු කේන්දරයේ ලග්නය තමයි කුම්භ. සෙනසුරු 2014. 11 .02 පටන් 2017 .01.27 තෙක් කාලය ගත කරන්නේ ශ්‍රී ලංකා කේන්දරයේ දහ වැනි  භාවයේ යි. දහ  වැනි භාවය කේන්දරයක ඉතාමත් වැදගත් සුවිශේෂ ස්ථානයක්.   පුද්ගලයෙකුගේ කේන්දරයේ දහ වැන්නෙන් ඒ පුද්ගලයාගේ රැකියාව ගැන ප්‍රධාන වශයෙන් කියැවෙනවා. ඊට අමතරව ගෞරවය, බලය, ක්‍රියාකලාපය, සාර්ථකත්වය ආදී දේවල් ගැනත් කියැවෙනවා. 
            සෙනසුරු ශ්‍රී ලංකා කේන්දරයේ දහ වැනි භාවයේ කල් ගත කරන කාලය තුල මොනවගේ දේවල් සිද්ද වෙයි ද ?  මීට පෙර සෙනසුරු වෘශ්චික රාශියේ හෙවත් රටේ කේන්දරයේ දහ වැනි භාවයේ ගත කළ අවස්ථා වලදී සිදු වුයේ මොනවාද ?
           1955. 11.12 දින සෙනසුරු වෘශ්චික රාශියට ගමන් කළා. 1955. 11. 12 පටන් 1958  11. 07 දින තෙක් සෙනසුරු වෘශ්චික රාශියේ ගත කළා. මෙම කාලය තුල, එනම් 1956 වර්ෂයේදී එස්.ඩබ්ලිව්.ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසය තුළ නොමැකෙන සන්දිස්ථානයක් සටහන් කළා. 56 පෙරළිය ගැන අදටත් බොහෝ දෙනා කතා කරනවා.


 (2015 ජනපතිවරණය සම්බන්ධයෙන් අනාවැකියක් ඉදිරිපත් කිරීමට බලවත් උවමනාවක් තිබුණු නමුත් එසේ කිරීමට නොහැකි විය. කිසිදු දේශපාලන අනාවැකියක් නොපවසන බවට රහස් පොලිස් ප්‍රධානියා ඉදිරියේ ප්‍රකාශ කොට අත්සන් තැබීමට මා හට සිදු විය. ඒ 2009 වසරේදී ය. එවන් වාතාවරණයක් යටතේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අනාවැකියක් පළකිරීම අතිශයෙන්ම අවදානම් බැවින් සෘජු අනාවැකියක් ඉදිරිපත් කිරීමෙන් වැළකීමට සිදුවිය.
සෙනසුරු ග්‍රහයා මෙවර මෙන්ම 1956 දී ද වෘශ්චික රාශියේ ගත කළ බවත් එවර බණ්ඩාරනායක මහතා දේශපාලන ඉතිහාසය තුළ නොමැකෙන සන්ධිස්ථානයක් සටහන් කළ බවත් පවසා ලිපිය හමාර කළෙමි. එවන් පෙරළියක් 2015.01.08 වැනිදා, එනම් බණ්ඩාරනායක මැතිතුමා ගේ උපන් දිනයදා සිදුවන බව පැවසීමට නොහැකි විය. මෙපමණක් හෝ පැවැසුවේ ජනපතිවරණයට පෙර දිනයේ ය. 
ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ගේ කාලය තුල වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ ජ්‍යොතිෂ අනාවැකි පැවසූවේ මා විසිනි. එතුමිය කොළඹ නගරසභා පිටියේදී කොටි බෝම්බයකට හසුවී ඇසක් අහිමිවීමට දින දහයකට පෙර " ජනපතිනියට මාරක අපලයි ප්‍රචාරක රැළි ප්‍රවේශමෙන් " යන ශීර්ෂය යටතේ අනාවැකියක් පල කලෙමි. සුනාමි සහන මණ්ඩලය කිසිදා ක්‍රියාත්මක කිරීමට නොහැකිවන බවද පැවසුවෙමි. එවකට කිසිදු රහස් පොලිස් නිලධාරියෙක් මා සොයා පැමිණියේ නැත. )