Monday, October 26, 2026

 


අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමයක දිවි ගෙවන පවුලකි. මව,පියා සහ දියණියන් දෙදෙනෙකි. පියා කාර්මිකයෙකි. රැකියාව කළේ නගරයට ආසන්නයේ පිහිටි ගරාජයකය.වැඩිමල් දියණිය නිවසට වී ගමේ කාන්තාවන්ගේ හා ළමුන්ගේ ඇඳුම් මසා දී මුදලක් ඉපැයූවාය. බාල දියණිය පෞද්ගලික ආයතනයක රැකියාව කළාය. මව නිවසේ වැඩ කටයුතුවල යෙදුණාය.ඔවුන්ගේ ආර්ථිකය එතරම් සතුටුදායක තත්වයක නොතිබුණි.


ඉඩමේ පාරට ආසන්නයේ වැඩී තිබුණු ගස් කීපයක් කපා දැමීමට සිදු වූයේ විදුලි රැහැන්වලට බාධා වන බැවිනි. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ එම ගස් කිහිපය විකුණා පවුලේ ආර්ථිකය තරමක් හෝ ශක්තිමත් කර ගැනීමය. ඔවුන් බලාපොරොත්තු වූ පරිදි ගස් විකුණා ගැනීමට හැකිවූයේ නැත. ඉඩම නොබෙදූ ඉඩමක් බැවින් ඥාතීන් පිරිසක් ඉදිරිපත් වී ගස්වලට අයිතිවාසිකම් කියන්නට විය. ගස් විකුණා ගැනීමට කිහිප වාරයක් උත්සාහ දැරුවද සිදුවූයේ ආරවුල් වැඩි වී නිතර කෝලාහල ඇතිවීම පමණි.


වසර තුනක් පමණ ගත විය.ගස් දිරා යමින් තිබුණි.ආරවුල් හේතුවෙන් පවුලේ සමගියද අඩු වෙමින් තිබුණි.නිසි කාලයේ ඉඩම් බෙදා නිරවුල් කර නොගැනීම සම්බන්ධයෙන් දියණියන් දෙදෙනා දෙමාපියන්ට දොස් පවරන්නට විය.


දිනක් අලුයම මව යම් වේදනාවක් හේතුවෙන් කෙඳිරි ගන්නට විය.දියණියන් දෙදෙනාත් පියාත් ඇඳ අසලට දිව ආවේ කුමක් සිදුවී ඇත්දැයි බැලීමටය. මවගේ ශරීරයේ එක් පාර්ශවයක අත සහ පාදය පණ නැතුව ගොස් තිබුණි. කට පැත්තකට ගොසිනි. ඇය ඉතා අපහසුවෙන් කතා කරන්නට විය.


"රෑ දොර ඇරන් එළියට ගිය වෙලාවෙ භූතයෙකුටත් බය වුණා..."


ඇය පැවසූ දේ පිළිබඳව සිතීමට කිසිවෙකුටත් වෙලාවක් නොතිබුණි. ඇය හැකි ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යා යුතු විය.


දින කීපයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගියාය. ඇයගේ වියෝවෙන් සැමියාත්, දියණියන් දෙදෙනාත් දැඩි කම්පනයකට පත් විය. නිවස අන්ධකාර වූවා සේ විය.


මවගේ වියෝවෙන් මාස කීපයක් ගත වන විට පියාද නොයෙක් අසනීපවලින් පෙළෙන්නට විය. රැකියාව පිළිවෙලකට කරගෙන යාමටද නොහැකි විය. රැකියාව කරන දින ගණනට වඩා නිවසේ රැඳෙන දින ගණන වැඩි විය. ඔහු වෙතින් දිස් වූයේ මළානික පෙනුමකි.


ගස් කැපූ තැන් පටන් සිදුවූ සියලු කරදර ගැහැට පිළිබඳව පියාත්, දියණියන් දෙදෙනාත් එක්ව කතාබස් කරන අවස්ථාවකදී මව අසනීප වූ මොහොතේ පැවසූ කාරණයද දියණියක් මතු කළාය. කුමන හෝ නොපෙනෙන බලපෑමක් ක්‍රියාත්මක වෙනවා විය හැකි බවත්, ඒ සම්බන්ධයෙන් සුදුසු තැනකින් විමසා දැනගෙන පිළියමක් යොදා ගැනීම ගුණදායක බවත් ඔවුන්ට හැඟී යන්නට විය.  කෙසේ වෙතත් ඒ සඳහා වටපිටාවේ කිසිදු තැනක් තෝරා නොගත යුතු බවද තීරණය විය. ඒ, සියලු දේ සතුරු ඥාතීන්ට නොදැනෙන්නට කළ යුතු වූ බැවිනි. ඒ අනුව දුර බැහැර වෙසෙන සමීප හිතවතෙකුගේ මගපෙන්වීමෙන් ඔවුන් පැමිණියේ මා හමුවීමටය.


ජ්‍යොතිෂය යනු විශ්වයයි. විශ්වය යනු සමස්තයයි. සමස්තය සමග එක්වීමට අවශ්‍ය වන්නේ සමාධියයි. ජන්ම සටහන, තත්කාල ග්‍රහ සටහන සමග සමාධිය එක් වූ විට සියල්ල අධ්‍යාත්මය තුලින් දැකිය හැකි වෙයි. ඔවුන්ට සතුරන් විසින් බන්ධනයක් කර තිබුණි. එය "නීච කුල බන්ධනය" යනුවෙන් ව්‍යවහාරයේ පවතින දරුණු මෙන්ම පහත්  පෙළේ බන්ධනයකි.


බන්ධනය නම් බැඳීමයි. බන්ධන දෙවර්ගයකි. යහපත සඳහා කරන බන්ධන සහ අයහපත සඳහා කරන බන්ධන යනුවෙනි. ආරක්ෂාව සඳහා නූලක් බඳින්නේ යහපතටය. යක්ෂයෙක්,ප්‍රේතයෙක් යම් භූමියකට බඳිනු ලබන්නේ එහි වෙසෙන්නන්ට කරදර පැමිණවීමටය. නීච කුල බන්ධනය යනු ඉතා පාපී, පහත් අමනුෂ්‍ය බලවේගයක් යම් තැනක බැඳීමය. මෙය දරුණු කොඩිවිනයකි. එය පහසුවෙන් ඉවත් කළ නොහැකි කොඩිවිනයකි.


යම් භූමියක මෙවන් බන්ධනයක් පවතින විට භූමියේ ජීවත් වන්නන්ට නොයෙක් ආකාරයේ ගැටළු,කරදර ඇතිවේ. ශරීර සෞඛ්‍යය දුර්වල වෙයි. කරන කියන කටයුතුවලට බාධා අවහිර මතු වෙයි.අන්‍යයන් අතර පිළිගනිම අඩු වෙයි. බාහිර ස්වරූපය පවා බොහෝ දුරට වෙනස් වන අතර, ග්‍රහ තත්වය දුර්වල වූවන්ට මාරකවලට පවා මුහුණ දීමට සිදුවෙයි. ලෙන්ගතුව සිනාසී කතාබහ කළවුන් මුහුණට මුණගැසුනද ගණන් නොගෙන යන අවස්ථාද වෙයි. මෙය නීච වූ තත්වයකි.


මෙවන් බන්ධනයක් යම් තැනක ක්‍රියාත්මක වන විට නිවැසියන්ට කරදර ගැහැට ඇතිවීම සඳහා වන හේතු නිර්මාණය වන්නේ පුදුමාකාර ලෙසටය. ගස් කීපයක් කපා දැමීමට සිදුවූයේ මහත් ගැටළු කරදර රැසක් ආරම්භ වීම සඳහාය.ඔවුන් සිතා සිටියේ වටිනා ගස් කීපය විකුණා සැළකිය යුතු මුදලක් තම ආර්ථිකයට එක්කර ගැනීමට හැකි වනු ඇතැයි කියාය. එය ගැටළු රැසක ආරම්භයක් වනු ඇතැයි ඔවුන් සිහිනෙන්වත් නොසිතූහ.


සියලු කරුණු කාරණා අවබෝධ කර දීමෙන් අනතුරුව බන්ධනය කපා ඉවත් කිරීම සඳහා දිනයක්ද යොදා ගැනිණි.


බන්ධනය කැපීමට දින දින කීපයක් තිබියදී නිවසේ ප්‍රධානියා අනතුරකට ලක් විය.රැකියාව කර ආපසු පැමිණෙන අතරතුරදී බසයෙන් බැසීමේදී වැටී පාදයක අස්ථියක් බිඳී ගියේය. දරුණු වින බන්ධන ඉවත් කිරීමට සූදානම් වීමේදී මෙවන් සිදුවීම් ද ඇතැම් විට අත්දකින්නට ලැබේ. එය බන්ධනයක ස්වභාවයයි. එවන් බන්ධන ඉවත් කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය බඩුබාහිරාදිය සපයා ගැනීමට යන එන ගමන්බිමන්වලදී ද ප්‍රවේශම් වීම වැදගත් වේ.සැම විටම නොවුණද එවන් අවස්ථාවලදී ඇතැමුන් නොයෙක් කරදරවලට ලක් වූ අවස්ථා කොතෙකුත් සිදුව ඇති බවද සඳහන් කළ යුතුය.


ගුප්ත විද්‍යාවට අනුව අහිතකර ලෙස කර ඇති බන්ධන ඉවත් කිරීම හඳුන්වන්නේ "කැපුම්" ලෙසය.දෙහි කැපීම, එක නැට්ටේ දෙහි තුන කැපීම, නියඟලා,කැහිපිත්තන් ආදී වැල් කැපීම,හොඬල,කළු හබරල ආදී අල වර්ග කැපීම මෙවන් කටයුතුවලදී භාවිතා වේ. සම්ප්‍රදාය අනුව නීච කුල බන්ධනයක් කැපීම සඳහා යොදා ගනු ලබන්නේ ගෙරි ඔළුවකි. එනම්, මියගිය හරකෙකුගේ හිසකි. එය මියගිය හරකෙකුගේ මිසක මරණයට පත් කළ හරකෙකුගේ හිසක් නොවිය යුතුය.


එය සම්ප්‍රදාය බැවිනුත්,ඔවුන් ජීවත් වූ ප්‍රදේශය තුළ ගෙරි ඔළුවක් සොයා ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවූ බැවිනුත් බන්ධනය කැපීම සඳහා ගෙරි ඔළුවක් යොදා ගැනිණි.


ගුප්ත විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුව භූමියකට හෝ ශරීරයකට බැඳ තිබෙන අමනුෂ්‍ය ශක්තිය වෙනත් වස්තුවකට ආකර්ෂණය කර ගත යුතුය. බන්ධනයේ ස්වභාවය අනුව කැපීමට යොදාගන්නා ද්‍රව්‍ය වෙනස් වේ. බන්ධනය කැපීම සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කුමක් දැයි ඇදුරෙක් දැන සිටිය යුතුය. නීච කුල බන්ධනයකට ඇතුල් කර සිටින අමනුෂ්‍ය ශක්තියක් දෙහි,පුහුල්,හොඬල ආදී කිසිවකට ආකර්ෂණය කර ගත නොහැක. එවන් අමනුෂ්‍ය ශක්තියක් ගෙරි ඔළුවකට ආකර්ෂණය කර ගත හැකිය. ගෙරි ඔළුව හැරුණු කොට ඊට යෝග්‍ය වෙනත් දේ නැතුවාද නොවේ. ඒ පිළිබඳව ඉදිරියේදී විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.


සන්ධ්‍යා යාමයේ ආරම්භ කරන ලද ශාන්තිකර්මය රාත්‍රිය පුරා සිදු කෙරිණි. ගෙරි ඔළුව කැපීමේ කාර්යය කරන ලද්දේ අලුයම් කාලයේය. එය ගුප්ත විද්‍යාත්මක සම්ප්‍රදායයි. ගෙරි ඔළුව කැපීම සිදු කරන්නේ පොරවක් ආධාරයෙනි. භූමියට ඇතුළු වන ස්ථානයේ ගෙරි ඔළුව තබා ඒ මත කපුරු පෙත්තක් දල්වා එල්ල කරන ලද පොරෝ පහරින් ගෙරි ඔළුව දෙපළු විය. නිවැසියන්ට දෙහි කපා ආරක්ෂක තෙල් සුර පැළඳුවෙමි. භූමිය අට කොණ ආරක්ෂක මංජුසා තැන්පත් කර කැපුම් ශාන්තිකර්මය නිමා කළෙමි.


ශාන්තිකර්මය නිම වී ගත වූයේ මාසයකුත් දින තුනකි. නිවැසියන් දන්වා සිටියේ සතුරු බලපෑම් එල්ල කළ ඥාති නිවසේ ප්‍රධාන පුරුෂයා පොළඟෙකු දෂ්ට කිරීමෙන් රෝහල්ගත කරන ලද බවය. තවත් දින කීපයක් ගත වෙද්දී, එම පුරුෂයා මියගිය බවද නිවැසියෝ දැන්වූහ. ඔහුගේ මරණයෙන් මාස කීපයකට පසුව ඥාතීන් හා එක්ව ඉඩම බෙදා නිරවුල් කරගෙන තිබුණි.


නීච කුල බන්ධන හෝ වෙනත් කිසිදු කොඩිවිනයක් කිසිවෙකුටත් නොකළ යුතුය. කොඩිවින කිරීම සසර පුරා විපාක විඳින්නට සිදුවන බලවත් පාපකර්මයකි.

අධ්‍යාත්මික ජ්‍යොතිෂවේදී 
සංජීව කුළුපන බණ්ඩාර.