Sunday, February 7, 2016



ග්‍රහ ලොවේ සටන්කාමියා රතු ග්‍රහයා යි. රතු ග්‍රහයා නම් කුජ හෙවත් අඟහරු ය. යුද්ධයට අධිපතියාත් අඟහරු ය. රුධිරයට හා ප්‍රචණ්ඩත්වයට අධිපතියාද අඟහරු ම ය. මෙහෙව් අඟහරු 2016. 02. 20 වැනි සෙනසුරාදා වෘශ්චික රාශියට ගමන් කිරීමට නියමිත ය. කුජ වෘශ්චිකය  ට ගමන් කරන්නේ සෙනසුරාගේ සෙනසුරාදා දිනයේ සෙනසුරාගේම නැකතකත් වූ පුෂ නැකතින් ය. මේ විදියට වෘශ්චික රාශියට යන කුජ එහිදී සෙනසුරා සමග සංයෝග වීමට නියමිතය. මේ දෙන්නා වෘශ්චික රාශියේ එක්වන්නේ අවුරුදු 89 කට පසුව ය.  එහෙම නම් මෙය එසේ මෙසේ ග්‍රහ සංයෝගයක් නොවේය. සෙනසුරා දුකට අධිපතියා ය. අඟහරු යුද්ධයට අධිපතියා ය. එහෙව් ග්‍රහයො දෙන්නෙක් එක්වන්නේ ද මහා ගුප්ත රාශියක ය. ගුප්ත රාශියක් වූ වෘශ්චික රාශියද අඟහරුගේ ය. මේ දෙන්නා 2016. 09. 18 තෙක් වෘශ්චික රාශියේ රැඳී සිටීමට නියමිත ය.


      දැනට සෙනසුරුගේ ඒරාෂ්ඨක අපල ගතකරන අය ප්‍රවේශම් විය යුතුය. ඒරාෂ්ඨකය ට අඟහරු ද හවුල් වී අපල වැඩි කරන බැවිනි. ඒරාෂ්ඨක අපල ඇති අය අනතුරුවලට ලක්වීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරී විය යුතුය. සුළු අසනීපයක් වැළඳුනද නිශ්චය කරගැනීමට අපහසු විය හැකිය. වැළඳෙන අසනීප සම්බන්ධයෙන් වෛද්‍යවරු වැරදි නිගමනවලට එළඹීමට ද ඉඩ තිබෙන කාලයකි.


    දැනට ඒරාෂ්ඨක ගතකරන්නෝ නම් තුලා, වෘශ්චික, ධනු, මේෂ ලග්න හිමියන් ය. මෙයින් මේෂ ලග්න හිමියන් සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ඨකය ගත කරන අතර තුලා, වෘශ්චික, ධනු ලග්න හිමියන් ලග්න ඒරාෂ්ඨකය ගත කරයි. මින් වෘශ්චික ලග්න හිමියන්ගේ ඒරාෂ්ඨක අපලය තදබල ය. මීට අමතරව තවත් ඒරාෂ්ඨක ඇත. තමන් දැනට ඒරාෂ්ඨක අපලයක් ගතකරනවාදැයි දැන ගැනීමට ජන්මපත්‍රය හෝ උපන් වේලාව සමග තම ජ්‍යොතිෂවේදියා හමුවිය යුතුය. 
 යහපත් චේතනාවෙන් යුතුව යහපත් ලෙස ජීවිකාව ගෙන යන අය කුමන ආකාරයේ කාල වකවානුවක දී වුවද බිය විය යුතු නැත.
    

මේෂ ලග්නය.
හැකි තරම් ඉවසන්න.
     කුජ ගමන් කරන්නේ අට වැන්නට යි. අට වැන්න නම් මාරකස්ථානය යි. කුජ අටවැන්නට ගමන් කිරීමත් සමග දැඩි අවේගශීලී ගති ලක්ෂණ ඇතිවෙනවා. ඉක්මන් තීන්දු තීරණ ගැනීමට පෙළඹෙනවා. අන්‍යයන් නොරුස්සන ගති ඇතිවෙනවා. සටනට බර වෙනවා. දුර දිග බලා කටයුතු කරන ගතිය නැති වෙනවා. හිතේ නොසන්සුන් ගති ඇතිවෙනවා. සතුට, තෘප්තිය, මානසික ප්‍රබෝධය අඩුවෙනවා. ඉක්මන්කාරීකම හේතුවෙන් ගැටලු කරදර ඇතිවෙන්න පුළුවන්. විවාහ සම්බන්ධතා වලට බාධක එල්ලවෙනවා. යුග ජිවිත ගතකරන මේෂ ලග්න හිමියන් ඉතාමත් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි.ආර්ථිකය සම්බන්ධයෙන් ද සැළකිලිමත් විය යුතුයි. ධන හානි, නිෂ්පල වියදම්, අධික වියදම් වලට ඉඩ තිබෙනවා. කතාවෙන් අන්‍යයන්ගේ සිත රිදෙන කාලයක් බැවින් කතා කිරීමේදී කල්පනාකාරී විය යුතුයි. රැකියා කටයුතුවල ගැටලු මතුවිය හැකියි. රැකියා කටයුතු වලදී ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.
    ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කළ යුතුයි. අනතුරු, අස්ථි බිඳීම්, ශල්‍යකර්ම ආදියට ඉඩ තිබෙනවා. ඒරාෂ්ඨක අපලයක් ද පවතින බැවින් නිශ්චය කර ගැනීමට අපහසු හෝ ලබාගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබෙන ආකාරයේ අසනීප මතුවිය හැකියි. අසනීප වලදී වෛද්‍යවරු වැරදි නිගමනවලට එළඹීමට ද ඉඩ තිබෙනවා.

       අට වැන්නේ කුජ ශනි සංයෝගය පවතින 2016. 02. 20 - 2016. 09. 18 අතර කාලය තුළ පින් දහම්, දාන මාන කටයුතු කෙරෙහි වැඩිපුර නැඹුරුවීම වැදගත් වෙනවා. දිනපතා සියලු සත්වයින් වෙත මෙත් වැඩීමද ඉතාමත් සුබදායකයි.

වෘෂභ ලග්නය.
ගෘහ ජීවිතයේ කරදර.
  කුජ ගමන් කරන්නේ හත් වැන්නටයි. හත් වැන්න විවාහස්ථානයයි.  විවාහස්ථානයේ කුජ ශනි එක්වීම සුබදායක නෑ. විවාහ කටයුතු සම්බන්ධයෙන් අවිනිශ්චිත වාතාවරණයක් ඇතිවෙනවා. ප්‍රේම සම්බන්ධතා, විවාහ කටයුතු ආදියට බාධක අවහිර එල්ල වෙනවා. යුග ජිවිත ගතකරන වෘෂභ ලග්න හිමියන් යුග දිවියේ සමගිය ආරක්ෂා කරගෙන ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි.මෙම කාලය තුළ සහකාරියට, සහකරුට අපල එල්ලවෙනවා.
   සසර තුළ සහයෝගීතාවය නිසි පරිදි ආරක්ෂා කර නොගැනීමේ අකුසළ කර්මයන් මෙම කාල සීමාව තුළ මතුවී විපාක දීමට ඉඩ තිබෙනවා. සමීප සහයෝගීතාවයන් දුරස් විය හැකියි. හවුල් කටයුතුවල යෙදෙන වෘෂභ ලග්න හිමියන් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. මානසික නිරවුල්තාවය සැම විටම යහපත් තත්වයක පවත්වා ගත යුතුයි.
     නොසුදුසු, නොගැළපෙන බැඳීම් ඇතිවීමටත්, ඒ හේතුවෙන් නොයෙක් ගැටලු මතුවීමටත් ඉඩ තිබෙනවා. 2016. 02. 20 - 2016. 09. 18 අතර කාලය තුළ විරුද්ධ ලිංගිකයින් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී කල්පනාකාරී විය යුතුයි.
     මුත්‍රා අබාධ, අර්ශස්, දැවිලි අසනීප, ලිංගික රෝග ආදියට ඉඩ තිබෙනවා. උෂ්ණ ආහාර පාන වලින් ඈත් විය යුතුයි. රහස් අසනීප වැළඳීමට ඉඩ තිබෙන බැවින් නොමනා හැසිරීම් වලින් වැළකිය යුතුයි.

 මිථුන ලග්නය.
සතුරන් ට පරාජය.

  කුජ ගමන් කරන්නේ හය වැන්නට යි.හය වැන්න ලෙඩ රෝග හා සතුරන් ගැන කියැවෙන ස්ථානය යි. සටන්කාමී කුජ ග්‍රහයා සතුරන් ගැන කියැවෙන ස්ථානයට ගමන් කිරීම සතුරු බලපෑම් මර්දනය වීමට හේතුවෙනවා.කුජ ශනි දෙදෙනාම හය වැන්නේ ගමන් කිරීම සුබදායක බව සෘෂි මතයයි. 2016. 02. 20 - 2016. 09. 18 අතර කාලය මිථුන ලග්න හිමියන්ට සුබදායක කාලයක් වෙනවා. දැඩි ආත්ම ශක්තියක් ඇතුව කටයුතු කිරීමට හැකිවෙනවා.උත්සාහය උනන්දුව වර්ධනය වෙනවා. සිතේ සතුට ඇතිවෙනවා. කරන කියන කටයුතු සිතට ගැළපෙන ආකාරයට සාර්ථක වෙනවා. ඇසුරු කරන අය අතර කැපී පෙනෙන තත්වයක් ඇතිවෙනවා. ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා. බාධක අවහිර දුරු වෙනවා. ලාභ ලැබෙනවා. අන්‍යයන්ගෙන් ඇප උපකාර හිමිවෙනවා. ඉදිරියට යන ගැම්ම ඇතිවෙනවා. නව හිත මිත්‍රාදීන් හඳුනා ගැනීමට හැකි වෙනවා. ශරීර සෞක්‍යය යහපත් වෙනවා. අසනීප තත්වයන් තිබුණා නම් සුවය ලැබෙනවා. ගේදොර දේපළ ආදියේ දියුණුවක් ඇතිවෙනවා. දියුණුව සාර්ථකත්වය වෙනුවෙන් උපරිම ආකාරයෙන් භාවිතයට ගත යුතු කාලයක් බව මතක තබා ගත යුතුයි.
    වරින් වර උදරාශ්‍රිත වේදනා පීඩා මතුවුණද නිතර ප්‍රබෝධමත් ගතියෙන් යුතුව කටයුතු කිරීමට හැකිවෙනවා.


කටක ලග්නය.
අස්ථාන චෝදනා.
   

කුජ ගමන් කරන්නේ පස් වැනි භාවයටයි. පස් වැන්න නම් විද්‍යා ස්ථානයයි. එමෙන්ම දරුවන් ගැන කියැවෙන ස්ථානයයි. පෙර ආත්ම භාවයන් තුළ පුරුදු පුහුණු කළා වූ දේවල් ගැන මෙන්ම සිත දමනය කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන්ද වැදගත් කරුණු හෙළිදරව් කරන ස්ථානයයි. දැනටමත් පස් වැන්නේ සිටින සෙනසුරු සමග කුජ එකතුවීම කටක ලග්න හිමියන්ට සුබදායක නෑ. තමන්ගේම වරදින් ගැටළු කරදර ඇතිකරගන්නා කාලයක්. නොකළ යුතු දේවල් කරන්නට යාමෙන් හා කළ යුතුම දේවල් මඟහැරී යාමෙන් ගැටලු පැටලිලි ඇතිවෙනවා. අස්ථාන චෝදනා, අපහාස එල්ලවීමට ඉඩ තිබෙනවා. ආත්ම ගෞරවයට හානි සිදුවියහැකි කාලයක් බැවින් සැළකිලිමත් විය යුතුයි, ඉක්මන් තීන්දු තීරණ වලින් වැළකිය යුතුයි. පළපුරුද්දෙන් යුතුව කරන කටයුතු පවා වැරදී යා හැකියි. නිෂ්පල ගමන් බිමන් වල යෙදීමට සිදුවෙනවා. රහස් සතුරු බලපෑම් ඇතිවිය හැකි කාලයක් බැවින් අන්‍යයන් සමග කටයුතු කිරීමේදී හා අන්‍යයන් විශ්වාස කිරීමේදී කල්පනාකාරී විය යුතුයි. නොගැළපෙන නොසුදුසු බැඳීම් ඇතිවීමටත් ඒ හේතුවෙන් නොයෙක් නොයෙක් ගැටලු මතුවීමටත් ඉඩ තිබෙනවා.
  යුග ජීවිත ගතකරන කටක ලග්න හිමියන් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. සිත පාලනය කරගෙන පවුලේ සමගිය රැකගෙන බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. 2016. 02. 20 - 2016. 09. 18 අතර කාලය තුළ උදරාශ්‍රිත අසනීප මතුවෙනවා.උදරාශ්‍රිත ශල්‍ය කර්මයකටද ඉඩකඩ තිබෙනවා.


සිංහ ලග්නය.
ගෘහ ජීවිතයේ ගැටලු.
  

කුජ ගමන් කරන්නේ ඔබ ගේ සිව් වැනි භාවයටයි. සිව් වැනි භාවය නම් බන්ධුස්ථානය යි. ප්‍රධාන වශයෙන් ගෘහය ගැන කියැවෙන ස්ථානයයි. ශරීර ස්ථාන වශයෙන් ගත්කළ පපුව හා හෘදය ගැන කියැවෙන ස්ථානයයි. කේන්ද්‍රස්ථානයක් වූ සිව් වැන්නේ කුජ ශනි එක්වීම සුබදායක නෑ. ගෘහ ජීවිතයේ සතුට සැනසුම බිඳ වැටෙනවා. සිතේ සතුට ප්‍රබෝධය අඩුවෙනවා. නිතර ශරීරයට විඩාබර ගතියක් ඇතිවෙනවා. උද්යෝගය උනන්දුව අඩුවෙනවා. ඥාතීන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී විය යුතුයි. ඥාතීන් සමග විරසකතා ඇතිවීමට ඉඩ තිබෙනවා. ගේදොර දේපළ සම්බන්ධයෙන් ගැටලු ආරවුල් ඇතිවිය හැකියි. නීති ප්‍රශ්න පවතින්නේ නම් තමන්ට අවාසිදායක තත්වයක් උද්ගත විය හැකියි. ගැටුම් ආරවුල් දුරදිග යා නොදී බේරුම් කරගත යුතු කාලයක් බව මතක තබා ගත යුතුයි. 2016. 02. 20 - 2016. 09. 18 අතර කාලය ගේදොර දේපළ සම්බන්ධ ගනු දෙණු වලට නොයා යුතු කාලයක් බව ද මතක තබා ගත යුතුයි.
  සමාජයේ පැවති හොඳ නාමය නරක්වීමටත් ආත්ම ගරුත්වයට හානි සිදුවීමටත් ඉඩ තිබෙන බැවින් දුරදිග බලා කටයුතු කළ යුතුයි. සැකයට භාජනය වන කාලයකි. අවස්ථාවාදී පුද්ගලයින් සමීප විය හැකි කාලයක් බැවින් අන්‍යයන් ඇසුරු කිරීමේදී සැළකිලිමත් විය යුතුයි. සිතට සතුටක් නොදැනෙන වෙහෙසකර ගමන් බිමන් යෙදෙනවා.
  පපුව ආශ්‍රිත අසනීප, හෘද රෝග ආදියට ඉඩ තිබෙනවා.


කන්‍යා ලග්නය.
ජයග්‍රාහී කාලයක්.

  කුජ ගමන් කරන්නේ තුන් වැනි භාවයටයි. තු වැනි භාවය නම් වික්‍රමස්ථානය යි. වික්‍රමස්ථානයට කුජ මෙන්ම ශනි ද යහපත් බව සෘෂි මතයයි. ලද අත්දැකීම් අනුව ද එය සනාථ වූ කාරණයක් බැවින් කුජ ශනි සංයෝගය කන්‍යා ලග්න හිමියන්ට සුබදායක වන බව පැවසිය යුතුයි. උද්යෝගය උනන්දුව වර්ධනය වෙනවා. කරන කියන කටයුතු සිතට ගැළපෙන පරිදි සාර්ථක වෙනවා.රැකියා කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවෙනවා. ව්‍යාපාර සාර්ථක වෙනවා. විශේෂ ධන ලාභ හිමිවෙනවා. මානසික නිරවුල්තාවය ඇතිවෙනවා. බාධක අවහිර දුරු වෙනවා. සමාජයේ කැපී පෙනෙන තත්වයක් ඇතිවෙනවා. සතුරු බලපෑම් දුරු වෙනවා. තම වාසියට කටයුතු සැළසෙනවා. අන්‍යයන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. අලුත් හිත මිත්‍රාදීන් හඳුනා ගැනීමට හැකිවෙනවා.ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදෙනවා.
  ගේදොර සැදීමේ කටයුතුවලට මෙම කාලය ඉතා සුබදායකයි. අඩාල වී පැවති වැඩ කටයුතුද සාර්ථකව ක්‍රියාත්මක කර ගැනීමට හැකිවෙනවා.
  විශේෂ වරප්‍රසාද, උසස්වීම්, නව තනතුරු ලැබෙන්නට ද ඉඩ තිබෙනවා. තම බලය වර්ධනය වෙනවා. ශරීර සෞක්‍යය යහපත් වෙනවා.හොඳ නම ප්‍රසිද්ධ වෙනවා. උසස් අය සමග ඇසුර ඇතිවෙනවා. සහෝදරාදීන්ට තරමක අපල එල්ලවෙනවා
.


තුලා ලග්නය.
ධන හානි, අධික වියදම්.
 

කුජ ගමන් කරන්නේ දෙවැනි භාවයටයි. දෙවැනි භාවය නම් ධනස්ථානයි. ධනස්ථානය ශනි කුජ දෙදෙනාට සුබදායක නෑ. දැනට තුලා ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ඨක අපලය පවතිනවා. මේ අනුව කුජ ශනි සංයෝගය තුළින් තුලා ලග්න හිමියන්ට අසුබ බලපෑම් එල්ල වෙනවා. ධන හානි, අධික වියදම්, නිෂ්පල වියදම් වලට ඉඩ තිබෙනවා. 2016. 02. 20 - 2016. 09. 18 අතර කාලය තුළ ආර්ථිකය ඉතාමත් ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතුයි. ණය ගනු දෙනු වලින් වැළකිය යුතුයි. රැවටිලි වංචා වලට අසු වීමට ඉඩ තිබෙනවා. අන්‍යයන් සමග කරන ගනු දෙනු වලදී ප්‍රවේශම් විය යුතුයි.
   මෙම කාලය ශරීර සෞක්‍යයට ද සුබදායක නෑ. හදිසි අනතුරු වලට ඉඩ තිබෙනවා. සුළු අසනීපයක් වැළඳුනද නිශ්චය කරගැනීමට අපහසු වීමට හෝ ලබාගන්නා ප්‍රතිකාර වලින් ඉමන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා.
   හිතවතුන් සමග අමනාපකම් ඇතිවීමටත්, හිත මිත්‍රාදීන් දුරස් වීමටත් ඉඩ තිබෙනවා.කතාවෙන් අන්‍යයන්ගේ සිත් රිදෙන කාලයක් බැවින් කතා කිරීමේදී කල්පනාකාරී විය යුතුයි.ගෙදර දොරේ සාමය සමගිය බිඳවැටීමටද ඉඩ තිබෙනවා. ඉතාමත් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි.
වෘශ්චික ලග්නය.
සිතට ගතට පීඩා.
 

 කුජ ගමන් කරන්නේ පළමු වැනි භාවයටයි. පළමු භාවය නම් ලග්න භාවයයි. වෘශ්චික ලග්න හිමියන් මේ වන විට සෙනසුරු ගේ සෙනසුරු ගේ ලග්න ඒරාෂ්ඨකය ගත කරනවා. කුජ ග්‍රහයා මෙන්ම ශනි ග්‍රහයා ද ලග්න භාවයේ ගමන් කිරීම සුබදායක නෑ. ඒරාෂ්ඨකය අතරතුර කුජ ශනි සංයෝග වීම හේතුවෙන් න්මනසික පීඩා ඇතිවෙනවා. සතුට ප්‍රබෝධය අඩුවෙනවා. කරන කියන කටයුතු වලින් බලාපොරොත්තු වන තරමේ තෘප්තියක් සතුටක් ලබා ගැනීමට අපහසු වෙනවා. නිතර සිතට කණස්සලු කළකිරීම් ඇතිවෙනවා. බලාපොරොත්තු ඉටුවීම ප්‍රමාද වෙනවා. උත්සාහයේ හා මහන්සියේ තරමට ප්‍රථිපල නොලැබී යනවා. කරන කියන කටයුතු වලට බාධක අවහිර එල්ල වෙනවා.
   2016. 02. 20 - 2016. 09. 18 අතර කාලය තුළ දැඩි ආවේගශීලී ගති ලක්ෂණ ඇතිවෙනවා. ගෘහ ජීවිතයේ සතුට සමගිය බිඳ වැටීමට ඉඩ තිබෙනවා. යුග ජීවිත ගතකරන වෘශ්චික ලග්න හිමියන් ඉතාමත් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. ප්‍රේම සම්බන්ධතා, විවාහ කටයුතු ආදියට තද බල බාධක එල්ල වෙනවා.
    ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි. වැටීම්, අනතුරු, අස්ථි බිඳීම් වලට ඉඩ තිබෙනවා. රුධිරය දූෂ්‍ය වීම හේතුවෙන් ඇතිවන අසනීප වලට මෙන්ම රුධිර ගමන අඩු වැඩි වීමේ පීඩාවන්ට ද ඉඩ තිබෙනවා.
ධනු ලග්නය.
සිත් තැවුල්, ධන හානි.
  

කුජ ගමන් කරන්නේ දොළොස්වැනි භාවයට යි. දොළොස් වැනි භාවය නම් වැයස්ථානය යි. දැනට දොළොස් වැනි භාවයේ සෙනසුරු ගමන් ගන්නා බැවින් ධනු ලග්න හිමියන්ට ඒරාෂ්ඨක අපලයක් පවතිනවා. ඒරාෂ්ඨක අපල එල්ලකරන සෙනසුරු සමග කුජ එක්වීම සුබදායක නෑ. මානසික සහනය තද බල ලෙස බිඳ වැටෙනවා. සිත් තැවුල්, කළකිරීම් ඇතිවෙනවා. බලාපොරොත්තු සහිතව කරන කටයුතු වලින් බලාපොරොත්තු වන ප්‍රථිපල නොලැබී යනවා. චෝදනා, අපහාස එල්ලවීමට ඉඩ තිබෙනවා. නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරී විය යුතුයි. අන්‍යයන් වෙනුවෙන් ඇපවීම්, අන්‍යයන්ගේ ණය ගනු දෙනු වලට මැදිහත්වීම් ආදියෙන් වැළකිය යුතුයි.රැවටිලි වංචා වලට ලක් වීමට ඉඩ තිබෙන බැවින් අන්‍යයන් විශ්වාස කිරීමේදී කල්පනාකාරී විය යුතුයි.උද්යෝගය උනන්දුව අඩුවෙනවා. නිතර උදාසීන ගති ඇතිවෙනවා. මෙම කාලය තුළ සිත තරමක් දූෂ්‍ය වෙනවා. ආත්ම ගරුත්වයට හානි සිදුවිය හැකි බැවින් දුර දිග බලා කටයුතු කළ යුතුයි. ප්‍රේම සම්බන්ධතා, විවාහ කටයුතු ආදියට බාධක එල්ලවෙනවා.
   ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. වැටීම්, අනතුරු, අස්ථි බිඳීම් වලට ඉඩ තිබෙනවා. අවදානම් සහිත කටයුතුවලදී කල්පනාකාරී විය යුතුයි. නිශ්චය කර ගැනීමට අපහසු හෝ ලබාගන්නා ප්‍රතිකාරවලින් ඉක්මන් සුවයක් නොලැබෙන ආකාරයේ අසනීප මතුවිය හැකියි.
මකර ලග්නය.
යහපත් කාලයක්.
කුජ ගමන් කරන්නේ එකොළොස් වැනි භාවයටයි. එකොළොස් වැනි භාවය නම් අයස්ථානය යි. මෙම ස්ථානය කුජට මෙන්ම ශනිට ද සුබදායකයි. කුජ ශනි එකොළොස් වැනි භාවයේ සංයෝගවීම හේතුවෙන් මකර ලග්න හිමියන්ට සුබ පල අත්වෙනවා. කරන කියන කටයුතු සාර්ථක වෙනවා.උත්සාහය, උනන්දුව, ධෛර්යය වර්ධනය වෙනවා. සතුටින් කල් ගෙවීමට ඉඩ කඩ සැලසෙනවා.හිත මිතුරු සම්බන්ධතා වර්ධනය වෙනවා. ජයග්‍රහණ හිමි වෙනවා. අන්‍යයන් ගෙන් සැළකිලි ලැබෙනවා.ගේදොර දේපළ ආදියේ දියුණුවක් කලඑළියක් ඇතිවෙනවා. උත්සාහයේ හා මහන්සියේ තරමට ප්‍රථිපල ලැබෙනවා. බලාපොරොත්තු බොහොමයක් ඉටුකර ගැනීමට හැකිවෙනවා. උරුම හිමිකම් නිරවුල් කර ගැනීමට හැකිවෙනවා. 
 රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු ආදියේ දියුණුව ඇතිවෙනවා. උසස්වීම්, තනතුරු, වරප්‍රසාද හිමිවීමටත් ඉඩ තිබෙනවා. අදායම් වර්ධනය වෙනවා. විශේෂ ධන ලාභ ලැබෙන්නට ද ඉඩ තිබෙනවා. සතුරු බලපෑම් මර්දනය වෙනවා.
  අලුත් වැඩ කටයුතු වලට අත ගැසීමට, නව ව්‍යාපාර ඇරඹීමට සුබදායකයි. ප්‍රේම සම්බන්ධතා සාර්ථක වෙනවා.විවාහ කටයුතු සම්බන්ධයෙන් ද මෙම කාලසීමාව සුබදායකයි.
කුම්භ ලග්නය.
බාධක අවහිර.
 
 

කුජ ගමන් කරන්නේ දස වැනි භාවයට යි. දස වැනි භාවය නම් කර්මස්ථානය යි. කුජ ශනි දස වැන්නේ සංයෝගවීම එතරම් සුබදායක නෑ. මෙම ග්‍රහ සංයෝගය හේතුවෙන් කුම්භ ලග්න හිමියන්ට අසුබ බලපෑම් එල්ලවෙනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් ගැටලු කරදර මතුවීමට ඉඩ තිබෙනවා.රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුට තෘප්තිය අඩු වෙනවා. කරන කියන කටයුතුවලට බාධක අවහිර එල්ලවෙනවා. උත්සාහයේ හා මහන්සියේ තරමට ප්‍රථිපල නොලැබී යනවා.වෙහෙසකර කටයුතුවල යෙදෙන්නට සිදුවෙනවා.විවේකය අඩුවෙනවා. තම අගය වටිනාකම අන්‍යයන්ට නොපෙනෙන නොදැනෙන කාලයක්. අන්‍යයන් වෙනුවෙන් වෙහෙස වී උපකාර කළ ද ප්‍රති උපකාර නොලැබී ය හැකියි.
  තම හොඳ නම කැළැල් වීමටත්, ගෞරවයට හානි සිදුවීමටත් ඉඩ තිබෙන බැවින් ඉක්මන් තීන්දු තීරණවලින් වැළකිය යුතුයි.ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
  2016. 02. 20 - 2016. 09. 18 අතර කාලය තුළ පියාට අපල එල්ල වෙනවා.
  දණිස්, සන්ධි, දෙපා, තුනටිය ආශ්‍රිත වේදනා පීඩා ඇතිවෙනවා.


මීන ලග්නය.
විවේකය අඩුයි.
කුජ ගමන් කරන්නේ නම වැනි භාවයට යි. නම වැනි භාවය නම් භාග්‍යස්ථානය යි. එමෙන්ම ආගමික භක්තිය, උරුම හිමිකම්, පෙර පින් බලය ගැන කියැවෙන ස්ථානය යි. මෙතැන සිදුවන කුජ ශනි සංයෝගය එතරම් සුබදායක නෑ. ආගමික භක්තිය අඩුවෙනවා. ආත්මාර්ථකාමී හැඟීම් ඇතිවෙනවා. පෙරපින් බලය යටපත් වෙනවා.උරුම හිමිකම් සම්බන්ධයෙන් ගැටලු පැටලිලි මතුවෙන්නත් ඉඩ තිබෙනවා. ස්ථාන වෙනස් වීමකටද ඉඩ තිබෙනවා.හිත මිත්‍රාදීන් සමග ගැටුම් ආරවුල් ඇතිවීමට ද ඉඩ තිබෙනවා.පාපකාරී අදහස් ඇතිවිය හැකි කාලයක් බැවින් දුර දිග බලා කටයුතු කිරීමට වග බලා ගත යුතුයි. විවේකය තද බල ලෙස අඩුවෙනවා.වෙහෙසකර කටයුතු බහුල වෙනවා.මානසික සහනය යහපත් තත්වයක පවත්වා ගැනීමට අපහසු වෙනවා.සතුරු බලපෑම් ඇතිවීමට ඉඩ තිබෙන බැවින් අන්‍යයන් විශ්වාස කිරීමේදී හා අන්‍යයන් සමග කටයුතු කිරීමේදී සැළකිලිමත් විය යුතුයි.
   වැඩිහිටියන් සමග මතභේද ඇතිවිය හැකියි. වැඩිහිටි ඥාතියෙකුට තද බල අපල එල්ලවෙනවා. 

    දීර්ඝ ගමන් බිමන් වල යෙදෙන්නට සිදුවෙනවා. නිෂ්ප්‍රයෝජන වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසට පත්වීමට සිදුවෙනවා. නඩුහබ ආදියෙන් අවාසි අත්වන කාලයක් බැවින් නීති ප්‍රශ්න වලින් වැළකී කටයුතු කිරීමට උත්සාහ කළ යුතුයි.