Sunday, February 9, 2020

දැහැමි ගොවිතැන



             
මඩ සෝදාගත් කළ ගොවියා රජකමට වුවද සුදුසු යැයි කීවේ එදාය. අද වන විට එම තත්වය වෙනස්ය. ගොවියා මහා පාප කර්ම කරන තත්වයට පත් වී හමාරය. වස විෂ භාවිතා කරමින් මිනිසුන් ලෙඩුන් බවට පත් කරනවා මදිවාට අලි,මොනරු,ඌරන්, ඉත්තෑවන් ආදී සතුන් සමඟ යුද්ධ කරන තත්වයට ද පත් වී සිටියි. ගොවිතැන් කිරීමට වස විෂ අවශ්‍ය නොවන්නා සේම සතුන් සමඟ යුද්ධ කිරීමට ද අවශ්‍ය නොවේ. අතීතයේ විසූ පරිසර හිතකාමී, ජෛව හිතකාමී ගොවියා ඒ බව ඔප්පු කර තිබේ. එදා ගොවියා රජකමට පවා සුදුසු වූයේ රටට බත සැපයූ නිසා පමණක්ම නොවේ. එදා ගොවියා සතුව පැවති අවිහිංසාකාරී මානුෂික ගුණාංග ද ඊට ප්‍රබල හේතුවක් විය. එකළ ශ්‍රී ලංකාව හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසිනි. අද සහල් මෙන්ම වෙනත් භෝග වර්ග පිටරටින් මෙරටට ගෙන්වා ගත්තද එදා මෙරටින් එතෙරට සහල් යැවූ බව අපි දනිමු. අදට ද ශේෂ වී ඇති මහා වාරි ශිෂ්ටාචාරය ඊට ශාක්ෂි සපයයි.

             අතීතයේ අප රටේ ගොවිතැන පියවර කීපයකින් සමන්විත විය. ඒ මෙසේය.
1 කල් යල් බැලීම
2 අන්තරීක්ෂ බලය භාවිතා කිරීම හෙවත් .නැකත් බැලීම.
3 අධ්‍යාත්මික බලය යොදාගැනීම
4 අවම බිම් සකස් කිරීම
5 භෞතික බලය යොදාගැනීම
6 දේශීය බීජ භාවිතය
7 කෙම්පහන් විධි අනුගමනය කිරීම

මෙහිදී මම වැඩිපුර කතා කිරීමට බලාපොරොත්තුවන්නේ නැකත් බැලීම, පුද පූජා පැවැත්වීම හා කෙම්පහන් විධි පිළිබඳවයි.  එසේ වූවද කල් යල් බැලීම සම්බන්ධයෙන් ද සුළු වශයෙන් හෝ යමක් පැවසීම වැදගත්ය. අතීතයේ විසූ හෙළ ගොවියා කාලගුණ වෙනස්වීම්,ස්වභාවික බාධාවන්, කෘමි උවදුරු පිළිබඳව නිතර අවධානයෙන් පසුවිය. වර්ෂා කාල සීමාවන්, ඉඩෝර කාල සීමාවන් පිළිබඳව නිවැරදිව තොරතුරු දැනගැනීම සඳහා හසල දැනුමක් එකළ ගොවියා සතු විය. ශාකවල වෙනස්වීම් හා සතුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම මෙහෙදී මූලික වශයෙන් සිදුවිය. වඩු කුරුල්ලා කූඩු සාදන්නේ වැව් ආශ්‍රිත ගස්වල ය. වඩු කුරුල්ලා ගසේ පහළම අතුවල කූඩු සාදා ඇත්නම් ඉඩෝර කාලයක් බවත්, ගසේ මැද හරියේ කූඩු සාදා ඇත්නම් මධ්‍යස්ත ඉඩෝරයක් බවත්,ගසේ ඉහළම අතුවල කූඩු සාදා ඇත්නම් අධික වර්ෂාවක් ලැබෙන බවත් එදා ගොවියා දැනගත්තේය. ඉඩෝරයක් පවතින සෑම මොහොතකම ජලය රැස් කරගැනීම සඳහා දලුක් ගසේ පත්‍රය දිගටි ස්වරූපයකින් වර්ධනය වෙයි. වර්ෂාව පතිත වන බව ගසට දැනෙන විට ගස මෙම ක්‍රියාවලිය නවත්වා දලුක් දල්ල තද අළු පාටකට හරවයි. මේ ආදී වශයෙන් එදා ගොවියා ශාක සහ සතුන් නිරීක්ෂණය කර ඉදිරි කාලගුණ තත්වයන් අවබෝධ කරගත් අයුරු තිලක් කන්දේගම මහතාගේ සොබාදහම් ගොවිතැන ග්‍රන්ථයේ මනාව විස්තර කර තිබේ.

අන්තරීක්ෂ බලය භාවිතා කිරීම.

අන්තරීක්ෂ බලය  භාවිතා කිරීම යනු ජ්‍යොතිෂ විද්‍යාව භාවිතා කිරීම ය. ජ්‍යොතිෂයේ ප්‍රධානම ග්‍රහයා සූර්යයාය. සූර්යයාගේ බලය දර්ශනය වන්නේ දැඩි ආලෝකයෙනි. නැතිනම් රශ්මියෙනි. මෙම ආලෝකය, රශ්මිය නැතිනම් දිලිසීම හඳුන්වන්නේ ජ්‍යොති යනුවෙනි. විද්‍යාව නම් වේදය යි. සූර්යයා මුල් කරගත් විද්‍යාව ජ්‍යොතිර් විද්‍යාව යි.  පෘථිවියේ ඇති සියලු ශාක සූර්යයාට අයත් ශාක හා චන්ද්‍රයාට අයත් ශාක ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. සූර්යයාට අයත් ශාකවල අරටුවක් තිබෙන අතර චන්ද්‍රයාට අයත් ශාකවල දැඩි අරටුවක් නැත. හිරුට අයත් කිතුල් ගස් හෙවත් පිරිමි කිතුල් ගස් හා සඳුට අයත් ගැහැණු කිතුල් ගස් යනුවෙන් කිතුල් ගස් වර්ග දෙකකි. සඳුට අයිති කිතුලේ තෙලිජ්ජ ප්‍රමාණය වැඩි නමුත් අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය අඩුය. හිරුට අයිති කිතුලේ තෙලිජ්ජ ප්‍රමාණය අඩු වූවද ඇල්කොහොල් ප්‍රමාණය වැඩිය.
මෙම කරුණු සඳහන් කරනු ලැබුවේ හිරුගේ සහ සඳුගේ බලපෑම අවබෝධ කරගෙන සිදු කළ ගොවිතැනේ විද්‍යාත්මක පදනම පිළිබඳව දැනුවත් කිරීම පිණිස ය.

ගොවි කරණ අනුව ගොවිතැන් කිරීම.
 සඳුගේ කි තිරණ අඩු වැඩි වන්නේථියෙනි. තිථියක් යනු චන්ද්‍ර දිනයකි.පුර පස තිථි 15 කි. අව පස තිථි 15 කි. මෙම තිථි අනුව නියම වූ ගොවි කරන 7 කි.ඒ සිංහ, ඌරු, ගජ, කුකුළු, දිවි, එළු, ගව යනුවෙනි. ඒ ඒ තිථියට මෙම කරණ බලපැවැත්වෙන්නේ පහත පරිදි ය.

පුර පක්ෂය      අව පක්ෂය
තිථිය               තිථිය
1 සිංහ           1 ඌරු
2 ඌරු          2 ගජ
3 ගජ            3  කුකුළු
4 කුකුළු        4 දිවි
5 දිවි             5  එළු
6 එළු            6 ගජ
7 ගව            7 සිංහ
8 සිංහ           8 ඌරු
9 ඌරු          9 ගජ
10 ගජ         10 කුකුළු
11කුකුළු       11 දිවි
12 එළු         12 එළු
13 ගජ         13 ගජ
14 ගව         14 ගව
15 සිංහ        15ඌරු

දිවි කරණය හෝ සිංහ කරණය යෙදුණු දිනවල සිටුවන භෝග වන සතුන්ගෙන් ආරක්ෂා වේ. භෝග සිටුවීමට මෙන්ම වැටවල් ගැසීමට ද දිවි කරණය සහ සිංහ කරණය යහපත්ය.

එළු කරණය,ගව කරණය,ඌරු කරණය,කුකුළු කරණය,ගජ කරණය යන කරණ යෙදුණු දිනවල සිටුවන භෝගවලට ඒ ඒ සතුන් ගෙන් හානි පැමිණේ. වී,මුං,මෑ ආදී ධාන්‍ය වර්ග කුකුළු කරණය යෙදුණු දිනවල සිටුවීමෙන් වැළකිය යුතුය. කුකුළු කරණයෙන් සිටුවන ධාන්‍ය වගාවන්ට මොනරුන් සහ ගිරවුන් ආදී කුරුල්ලන්ගෙන් හානි පැමිණේ.

ගජ කරණයෙන් සිටුවන ශාක කෙටි කළක් තුළ සරුවට වැඩෙන නමුත් ශාකයේ ජලය වැඩිවන බැවින් ආයු ප්‍රමාණය අඩුවේ. අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශවල ගොවීන් ගජ කරණය යෙදුණු දිනවල භෝග සිටුවීමෙන් වැළකී සිටීම වැදගත්වේ.

මා, මුල නැකත් හා රික්තාව යෙදුණු ඉරිදා සහ අඟහරුවාදා දිනවල සිංහ හෝ දිවි කරණයෙන් වැට බැඳීම අතිශයෙන් යහපත්ය. මා නැකත හා සිංහ කරණය යෙදුණු ඉරිදා දින දෙමට ලීයෙන් කිරි වැලෙන් වැට බැඳීම යහපත්ය. මා නැකත යෙදුණු අඟහරුවාදා දින ධනු ලග්නයෙන් බෝමි,දෙමට,ගුරුල්ල, සූරිය දෙමට යන ලී සතරක් ගෙන සිටුවා බාඳුරා වැලෙන් වැට පුරන්නැයි පුරනාචාර්යවරු පවසා තිබේ.
මෙහි මුළින් සඳහන් කර තිබෙන දිවි කරණය හා සිංහ කරණය ද සමඟ කුජ බලවත් වන පරිදි මේෂ හෝ මකර ලග්නය පවතින අවස්ථා භාවිතයට ගැනීම වඩාත් ප්‍රතිපලදායක වේ.

උතුරුසල නැකත පවතින සඳුදා දින පඹයින් සිටුවීමෙන් සතුන්ගෙන් මෙන්ම ඇස්වහ කටවහ ආදියෙන්ද ආරක්ෂාව සැලසේ. අද නැකත යෙදුණු අඟහරුවාදා දින කුජ පළමු භාවයේ සිටියදී රැකවල් කළ ගොවි බිමට සිව්පා සතුන් ඇතුළු නොවෙයි. පුෂ නැකත යෙදුණු සෙනසුරාදා දින ශනි පළමු භාවයේ සිටියදී ගොවි තැනට රැකවල් යෙදීමද යහපත්ය.

පොකුරු යෝග
පොකුරු යෝගයෙන් සිටුවන අල එකට තුන බැගින් බසින අතර, ගෙඩි ලබාගැනීම සඳහා සිටුවන ගස්වල කොළ තුනට එක පොකුර බැගින් හට ගනියි. ඉරිදා අපර භාගයේ ඉරු හෝරාව,මුල නැකතේ තුන් වැනි පාදය හා ධනු ලග්නයේ හරි මැද අංශකය උදා වූ කළ පොකුරු යෝගයකි. මා,පුවපල්, විසා,අනුර, මුල,පුවසල,සුවණ, සියාවස,රේවතී යන නැකතක් පවතින සඳුදා දින ශනිගේ හෝරාව උදා වූ විට ද පොකුරු යෝග වේ.

පුෂ්කර යෝගය.
ද්වි පුෂ්කර යෝගය හා ත්‍රි පුෂ්කර යෝගය යනුවෙන් දෙයාකාර වේ. පුෂ්කර යෝගයෙන් කරන හෝ සිදුවෙන දෙයක ප්‍රතිඵලය දෙගුණයකින් හෝ තෙගුණයකින් ලැබේ. සිටුවන භෝගවල ඵලදාව දෙගුණ,තෙගුණ කරගැනීමට පැරණි ගොවියෝ පුෂ්කර යෝග භාවිතා කළහ.
ඉරිදා,අඟහරුවාදා, සෙනසුරාදා දිනවල දියවක,සතවක,දොළොස්වක යන භද්‍ර තිථි තුන හා කැති, උතුරුපල්, උතුරුසල, පුනාවස, විසා, පුවපුටුප යන නැකත් සම්බන්ධ වීමෙන් ත්‍රි පුෂ්කර යෝගය යෙදේ.
ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා දිනවල දියවක, සතවක, දොළොස්වක යන තිථි සමඟ දෙනට, සිත, මුවසිරස නැකත් එක්වීමෙන් ද්වි පුෂ්කර යෝගය දේ.

රෝහිණී මුහුර්ථය
වගා කටයුතුවලට ඉතාමත් සුබදායක නැකතකි. පුර පක්ෂයේ සුබ චන්ද්‍රයා පුෂ නැකතට පැමිණි විට රෝහිණී මුහුර්ථය උදාවේ.

භෝග සිටුවීම සඳහා නැකත් තෝරාගැනීම.

නැකත් 27 කි. මෙම නැකත් 27 ඌර්ර්ධවමුඛ නැකත්, අධෝමුඛ නැකත් හා තීර්යක්මුඛ නැකත් යනුවෙන් තෙයාකාර වේ. පැරැන්නෝ මෙම නැකත් හැඳින්වූවේ උඩ බැලීම් නැකත්, හරස් බැලීම් නැකත් හා බිම බැලීම් නැකත් යනුවෙනි.
මුල, අස්ලිය, කැති, විසා, පුවල්, පුවසල, මා, බෙරණ යන නැකත් නවය අධෝමුඛ නැකත් වේ. අද, පුෂ, සුවණ, දෙනට, සියාවස, උත්‍රපුටුප, රෙහෙණ යන නැකත් නවය ඌර්ධව මුඛ නැකත් වේ. මුව සිරස, හත, සිත, සා, අනුර, දෙට, පුනාවස, අස්විද, රේවතී යන නැකත් නවය තීර්යක් මුඛ නැකත් වේ.
කොස්,දෙල්, අඹ වැනි උසට වැඩී ඵල දරන ගස් සිටුවීම සඳහා ඌර්ධවමුඛ නැකත් ද, අල වර්ග සිටුවීම සඳහා අධෝමුඛ නැකත් ද, වට්ටක්කා, වැටකොළු වැනි හරහට ඇදෙන වැල් වර්ග සිටුවීම සඳහා තීර්යක්මුඛ නැකත් ද භාවිතා කළ යුතුය.


            (මතු සම්බන්ධයි)