Saturday, December 18, 2021

2021.12.17 දේශනය.



 ආයුබෝවන්.

සමස්ථ ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමය හා සම්බන්ධ ආදරණීය ඔබට සුබ සන්ධ්‍යාවක් වේවා.

පසු ගිය මාසයේදී දේශන පැවැත්වීමට කීප වරක් ආරාධනා ලැබුණත් කාර්ය බහුත්වය හින්දා ඒ අවස්ථාවන් මඟ හැරුණා. වසරේ අවසාන මාසයේදී මේ විදියට යමක් කතා කරන්න ලැබීම ගැන අවංකවම සතුටු වෙනවා.


අලුත් ලෝකය තුළ ජ්‍යොතිෂවේදියාගේ කාර්යභාරය කෙසේ විය යුතුද ? මෙන්න මේ කාරණය මුල් කරගෙන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.


මගේ ආකෘතිය තුළ ජ්‍යොතිෂවේදියෙක් කියන්නෙ අනාවැකි කරුවෙක්, ඵලාඵල පවසන්නෙක්, පත්තරයක ජ්‍යොතිෂ ලිපියක් පලකරන්නෙක් විතරක් නෙමෙයි. මම අදහස් කරන ජ්‍යොතිෂවේදියා ඊට එහා ගිය මහා අධ්‍යාත්මික චරිතයක්. සතර දිග්භාගයෙන් තමන්ව හොයාගෙන එන සේවාදායකයින්ගේ ආධ්‍යාත්මය හඳුනාගෙන, ඒ ඒ පුද්ගලයින්ට සුදුසු, සරිලන ආකාරයට ආධ්‍යාත්මික සහනයක් ලබාදෙන බොහොම සංවර පින්වත් චරිතයක්. ඒ ආකෘතිය ඇතුළෙ ඉඳගෙන තමයි ජ්‍යොතිෂය ගැනත් ජ්‍යොතිෂවේදියා ගැනත් කතා කරන්නෙ.


අලුත් ලෝකය තුළ ජ්‍යොතිෂවේදියාගේ කාර්යභාරය කිව්වම කෙනෙකුට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් මොකක්ද අලුත් ලෝකය කියන්නෙ කියල. මීට අවුරුදු දෙකකට පමණ එහා තිබුණු ලෝකය නෙමෙයි දැන් තියෙන්නෙ. දරුණු වසංගතයක් හේතුවෙන් බොහෝ දේ වෙනස් වුණු, තව දුරටත් වෙනස් වෙමින් පවතින ලෝකයක තමයි අපි දැන් ජීවත් වෙන්නෙ. අලුත් ප්‍රශ්න, අලුත් බලාපොරොත්තු, අලුත් සිතුවිලි, අලුත් අසනීප පීඩා එක්ක අද ජනතාව කල් ගෙවනවා.සමාජයේ සිදුවන සියලු වෙනස්කම් ගැන තියුණු ඉවක්, දැඩි විමසිලිමත් බවක් ජ්‍යොතිෂවේදියෙකුට තියෙන්න ඕනෑ. ඒ වෙනස්කම් එක්ක තමයි මනුස්සයින්ට අලුත් ප්‍රශ්න මතු වෙන්නෙ. අලුත් බලාපොරොත්තු ඇති වෙන්නෙ. අලුත් අරමුණුවලට එළඹෙන්නෙ. තිබුණු අරමුණු බලාපොරොත්තු වෙනස් වෙන්නෙ.


අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැඩි පිරිසක් ඇතුළුව දහස් ගණනක් දෙනා වසංගතය හේතුවෙන් මියගියා. තවමත් දිනකට දහයත් තිහත් අතර සංඛ්‍යාවක් මිය යනවා.  මිය ගිය සහ මිය යන අය අතරින් බොහොමයක් වයසක උදවිය හැටියට තමයි වාර්තා වෙන්නෙ. අපේ රටේ දරුවො බොහොමයක් දෙනා ආච්චිලාට සීයලාට තමයි වැඩි පුර සමීප. ආච්චිලා සීයලා එක්ක දවසින් වැඩි කාලයක් ගත කරන දරුවො ඉන්නවා. දෙමාපියො රැකියා කටයුතුවල යෙදෙන අතරෙ ආච්චිලා සීයලා එක්ක දවස ගත කරන දරුවො විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ ආච්චිලා සීයලා අනපේක්ෂිත විදියට මිය යන කොට පවුල් ඇතුළෙ නොයෙක් ගැටළු මතු වෙනව. දෙමාපියො අනපේක්ෂිත දුෂ්කරතාවලට මුහුණ දෙනවා. ඇතැම් විට දරුවො අනාරක්ෂිත වෙනවා. ඒ වගේම තමයි, ඉඩකඩම් දේපළවල නීතිමය අයිතිය  තියෙන්නෙත් බොහෝ විට වැඩිහිටි පුරවැසියන්ටයි. ඒ අය අනපේක්ෂිත විදියට මිය යන කොට ජීවත්ව ඉන්න අය අතරෙ නොයෙක් ආරවුල් මත ගැටුම් ඇති වෙනවා.නීති ප්‍රශ්න මතු වෙනවා. උසාවිවලට පොලීසිවලට දුවන ගමන් මිනිස්සු මේ ප්‍රශ්නවලට අධ්‍යාත්මික පිළිසරණක් හොයන්න පෙළඹෙනවා. එතනදී මිනිස්සු ජ්‍යොතිෂවේදියො හොයාගෙන යනවා. දේවාල හොයාගෙන යනවා. මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මික ප්‍රශ්නවලට උත්තර වෛද්‍යවරු ගාව නෑ. විද්‍යාඥයො ගාව නෑ. දේශපාලඥයො ගාව කොහොමත් නෑ. මිනිස්සු සහනය බලාපොරොත්තුවෙන් විසඳුම් හොයාගෙන යන්නෙ ආධ්‍යාත්මික තැන්වලට. 


මම මුලින් කිව්වා ජ්‍යොතිෂවේදියා තමන්ව හොයාගෙන එන අයගේ ආධ්‍යාත්මය හඳුනාගෙන ඒ ඒ අයට සුදුසු සරිලන ආකාරයට උපදේශනය ලබාදෙන්න ඕනැ කියලා. ඒ කාරණය මෙතනදි නැවතත් මතු කරන්න වෙනවා. නොයෙක් ගැටළු ගැහැටවලින් පීඩාවට පත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙ අවබෝධ ශක්තිය, දැනුම, තේරුම් ගැනීමේ හැකියාව එකම මට්ටමක නෑ. නොයෙක් ධාරිතාවෙන් යුතු අය ඉන්නෙ. වසංගතයත් එක්ක ඒ තත්වය තවත් වෙනස් වෙලා තියෙනව.  හැමෝටම එකම විදියට, එකම ප්‍රමාණයට කතා කෙරුවට වැඩක් නෑ. සමහරුන්ට යමක් ඉක්මනට අවබෝධ කරගන්න බෑ. සමහරුන්ට යමක් ඉක්මනට අමතක වෙනවා. 'මෙච්චර වෙලා මොනවද කිව්වෙ...මොනවත් තේරුණේ නෑ' කියල කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඒ හින්දා පුද්ගලයා අවබෝධ කරගෙන ඒ අයට සරිලන විදියට ගැළපෙන විදියට ඕනැ කතා බහ කරන්න.


අද කාලෙ ජ්‍යොතිෂවේදියෙකුට විශාල සේවාදායකයින් පිරිසක් ගෙන්වාගැනීම එච්චර ගැටළුවක් නෙමෙයි. අවශ්‍ය වෙන්නෙ ප්‍රචාරය විතරයි. සමාජ මාධ්‍ය, පත්තර, රූපවාහිනිය භාවිතා කරලා හොඳ ප්‍රසිද්ධියක් ලබාගන්න පුළුවන්. එහෙම කරන අයත් ඉන්නවා. හයිලෙවල් පාරෙ ඉඳලා මගෙ ගෙදරට තියෙන කිලෝමීටරයක දුර ප්‍රමාණය පිරෙන්න සෙනග ගෙන්වාගන්න එක මට අමාරු වැඩක් නෙමෙයි. ඒත් පිරිස ඕනැවට වඩා වැඩි වෙන කොට සේවයේ ගුණාත්මක බව පහළ වැටෙනවා. ඇඟලුම් කර්මාන්තශාලාවල වැඩ කරන සේවිකාවන්ට ඉලක්කයක් දෙනවා. දවසකට මෙච්චර කෑලි ප්‍රමාණයක් මහන්න ඕනැ කියල. කෑලි 100 ක් වෙන්න පුළුවන්, 200 ක් වෙන්න පුළුවන්, 300 ක් වෙන්න පුළුවන්. හැබැයි කීයක් මැහුවත් මහන්නෙ එකම කෑල්ල. කොලර් එක නම් කොලර් එක, පොකට් එක නම් පොකට් එක. එකම විදියට මහගෙන යන්න තමයි තියෙන්නෙ. කේන්දර බලනවා කියන එක එහෙම එකක් නෙමෙයි. එක කේන්දරයක් බලලා තව කේන්දරයකට යන කොට මනස වෙනස් වෙන්න ඕනැ. දහ දෙනෙකුගෙ දෛවය දහ විදියක්. කේන්දර සටහන් දහයක්.ඒ හින්දා කේන්දර බැලිල්ල කලබලේට කරන්න බෑ. එක කේන්දරයක් බලලා අනෙක් කේන්දරය බලන්න කලින් මනසට සුළු විවේකයක් ඕනැ වෙනවා. එතකොට තමයි ඊළඟ කේන්දර සටහනේ සියලු දේ මනස හරියට අඳුරගන්නේ. විවේකයක් කියල කියන්නෙ සේවාදායකයින්ගෙන් ඉවත් වෙලා පැත්තකට ගිහින් ගන්න විවේකයක් නෙමෙයි. සේවාදායකයො එක්කම සුහදව කතා බහ කරලා ගන්න විවේකය ප්‍රමාණවත්. එහෙම සුහදව කතා බහ කරන්න ජ්‍යොතිෂවේදියෙකුට ප්‍රියමනාප සන්නිවේදන හැකියාවක් තියෙන්න ඕනැ.


තව දෙයක් තමයි, ජ්‍යොතිෂය තුළ නියැලෙන අය කේන්දරය හඳුන්වන්නෙ කර්ම සටහන විදියට. සසරේ කරපු කියපු හොඳ නරක දේවල්වලට අනුව ආනිසංස සහ විපාක ලැබෙන ආකාරය කේන්දරය තුළ සටහන් වෙනවාය කියල තමයි ජ්‍යොතිෂවේදියො බොහොමයක් දෙනා විශ්වාස කරන්නෙ. මගේ දෘෂ්ටිය ඊට තරමක් වෙනස් වුණත් බහුතරයක් දෙනා විශ්වාස කරන්නෙ ඒ විදියට. මේ වෙන කොට විශාල පිරිසක් විදේශ රටවලට යන්න පටන් අරගෙන තියෙනවා. කර්මය වෙනස් කිරීම රට වෙනස් කිරීමෙන් කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. විදේශයක කරන රැකියා ව්‍යාපාරවලින් දියුණුවට පත් වීමට යම් උරුම හිමිකමක් තියෙනවද කියන එක ජ්‍යොතිෂවේදියෙකුට කේන්දරයෙන් දැනගන්න පුළුවන්. හැමෝම නොවුණත් බොහෝ දෙනෙක් විදේශ රැකියා සඳහා යොමු වෙන්න පෙර, ඒ වගේම විදේශ පදිංචියකට යොමු වෙන්න පෙර ජ්‍යොතිෂවේදියෙක් මුණගැහිලා ඒ සම්බන්ධයෙන් කරුණු විමසලා බලනවා. මේ වගේ අවස්ථාවලදි ජ්‍යොතිෂවේදියාට ලොකු වගකීමක් පැවරෙනවා ' මේ හදන්නෙ ගොඩ යන්නද නැති වෙන්නද' කියන කාරණය හරියට හොයල බලන්න. රට ගිහින් ගොඩ ගිය අය අනන්ත ඉන්නවා. ඒත් රට යන හැමෝම ගොඩ යන්නෙ නෑ. රට ගිහින් නැති වුණු අයත් ඉන්නවා. රට ගිහින් ජීවිතය නැති කරගත්තු අයත් ඉන්නවා. රට ගිහින් දරු පවුල් නැති කරගත්තු අයත් ඉන්නවා. මේවා ගැන හොඳටම දන්නෙ ජ්‍යොතිෂවේදියො තමයි. අම්මට තාත්තට, බිරිඳට ස්වාමිපුරුෂයාට නොකියන දේවල් ජ්‍යොතිෂවේදීන් හමුවේ කියන අය ඉන්නවා. උසාවියට පොලීසියට අරගෙන නොගිය ගැටළු ජ්‍යොතිෂවේදීන්ට කියන අය ඉන්නවා. කිසි දාක  පත්තරයක නොලියවුණු, ප්‍රවෘත්තිවලට නොකියවුණු මහා දුක්ඛදායක කතන්දර ජ්‍යොතිෂවේදීන් හිත්වල දරාගෙන ඉන්නවා. ඒක තමයි ඇත්ත. ඉතින් මේ රට ගමන් සම්බන්ධ කාරණයෙදි ජ්‍යොතිෂවේදීන් බොහොම වගකීමෙන් යුතුව කටයුතු කරන්න ඕනැ.


ජ්‍යොතිෂවේදියෙක් මොනම හෝ පොතකට, මතයකට කොටු විය යුතු කෙනෙක් නෙමෙයි. කොටු වෙනව, හිර වෙනව කියන්නෙ අසාර්ථකයි කියන එක. පොත්වල මොනවා තිබුණත් තමන්ට දැනෙන දේ තමයි හොඳම දේ. 


අද සමාජමාධ්‍ය තුළ නිදහසේ කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. විශාල පිරිසක් සමඟ සමබන්ධ වෙන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. බොහෝ දේ ලියන්න පුළුවන්කම තියෙනවා.අපේ ජ්‍යොතිෂ මහත්තුරු ජ්‍යොතිෂ නෝනලා ලියන තරමක් ලියන්නෙ ජ්‍යොතිෂය දන්න අයට විතරයි. බැරෑරුම් ජ්‍යොතිෂ කාරණා ගැන ජ්‍යොතිෂය නොදන්නා අයට අවබෝධයක් නෑ. ජ්‍යොතිෂය නොදන්නා සමාජය ඉලක්ක කරගෙනත් කතා කරන්න ඕනැ. ලියන්න ඕනැ. හැබැයි මෙන්න මෙහෙම දේකුත් තියෙනවා. ' කුජ දෙවැනි භාවයේ නම් මෙන්න මෙහෙමයි' කියල ලියපු ගමන් සමහර පණ්ඩිත ජ්‍යොතිෂ මහත්තුරු අදහස් දක්වන්න පටන් ගන්නවා. කුජ දෙකේ හිටියට එහෙම වෙන්නෙ නෑ, දෙවැන්නාධිපති බලන්න ඕනැ, නවාංශකය බලන්න ඕනැ, දෘෂ්ටි බලන්න ඕනැ කියල ලොකු විග්‍රහයක් කරනව. සමහරු හිතනව ලියන හැම දේම ලියන්න ඕනැ ජ්‍යොතිෂවේදීන්ට විතරයි කියල. ඒක මාර ප්‍රශ්නයක්නෙ. ලියන හැම එකක්ම ජ්‍යොතිෂ පාඩමක් වෙන්න ඕනැ කියල තමයි කියන්නෙ. ජනතාව ජ්‍යොතිෂය ප්‍රිය කරන තත්වයට ගේන ක්‍රමය ඒ අය දන්නෙ නෑ. ලග්නයෙ හැටි, ඒ ඒ ග්‍රහයො ඒ ඒ තැන්වල හිටියම වෙන දේ වගේ සරළ කාරණා එක්ක තමයි ජනතාව ජ්‍යොතිෂය අඳුරගන්නෙ. එතකොට තමයි ඒ අය ජ්‍යොතිෂය ප්‍රිය කරන තැනට එන්නෙ. ඒ හින්දා ජ්‍යොතිෂය නොදන්නා අය ජ්‍යොතිෂය ගැන උනන්දු වන අය බවට පත් කරගැනීම සඳහා ඒ අයට ලියන්න. මම මේ වන තෙක් ලියපු සියලු දේ ලිව්වෙ ජ්‍යොතිෂය නොදත් අයට මිසක් ජ්‍යොතිෂවේදීන්ට නෙමෙයි. 2001 අවුරුද්දෙ සුබසෙත පුවත්පතේ කතෘ ජයතිලක අඹුවන්ගල මහත්මා මට ලිපියක් එව්වා 'ඔබේ ලිපි පාඨක ජනතාව අතර මහත් සේ ජනප්‍රියයි අඛණ්ඩව ලියන්න' කියල. මම එදා දැනගත්තා ඒ විදියට ලියන එක සාර්ථකයි කියන එක. 


අද වෙන කොට ජනතාව ඉන්නෙ ප්‍රශ්න කන්දරාවකට මුහුණ දීල. ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. යම් කිසි සහනයක් උදා කරගැනීමේ අදහසින්  බොහෝ දෙනෙක් ජ්‍යොතිෂවේදීන්ගෙ සහය ලබාගන්නවා. ඔය අතරෙ ජ්‍යොතිෂය හෙළා දකින අයත් සමාජයේ ඉන්නවා. ජනතාවගෙ ආධ්‍යාත්මික දුක් කරදරවලට විසඳුම් ඒ අය ළඟ නැති වුණත් ජ්‍යොතිෂයට පහර ගහනවා.ඒ බොහෝ දෙනෙක් අනුන්ගෙන් අරගත්තු කුමන හෝ දැනුමක් ඇතුළට දාගත්තු අය. තමන්ටම අවබෝධ වුණු, දැනුණු කිසි දෙයක් ඒ අය තුළ නෑ. අනුන්ගෙන් අරන් දාගත්තු දේවල් අයින් කළොත් නිකම්ම නිකම් හිස් චරිත.

තමන් තුළින් එන දැනුම, තමන් තුළින් එන අවබෝධය ඒ වගේ නෙමෙයි. ඒවා පිටින් පුරවාගත්තු දේවල් නෙමෙයි. ඒ හින්දා මොනවටවත් කොටු වෙන්නෙ නැතුව නිදහසේ හිතලා අවබෝධ කරගන්න. පරාසර අඳුරගත්තු කුජ ඇත්තටම වටිනවා. වරහාමිහිර අඳුරගත්තු කුජත් වටිනවා. අනිත් අය අඳුරගත්තු කුජත් වටිනවා. ඒවායින් අපි ප්‍රයෝජන ගන්නවනෙ. ඒ වගෙම අපි අඳුරගන්න කුජ, අපි අඳුරගන්න රවි, අපි අඳුරගන්න රාහු කේතු ආදීන් ඊටත් වඩා වටිනවා. නිදහසේ අවබෝධ කරගන්න. කේන්දරය අතට ගත්තම තමන්ගෙ හිතත් තමන්ට උදව් කරන විදියට සමාධිය ඇති කරගන්න.

අහන්න තියෙන ඕනෑම දෙයක් අහන්න. අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.

සියලු දෙනාට තෙරුවන් සරණයි.

සංජීව කුළුපන බණ්ඩාර 


Friday, November 19, 2021

හතේ ඉන්න කුජ හතෙන් අයින් කරමු.



හතේ ඉන්න කුජ හතෙන් අයින් කරමු.

කේන්දරයෙ කුජ හතේ කියන්නෙ ගොඩක් දෙනෙකුට ලොකු ප්‍රශ්නයක්නෙ. හතේ කුජ ආදරයට,විවාහයට අකුල් හෙලනවා, කරදර කරනවා කියල ගොඩක් දෙනෙක් නහයෙන් අඬනවා. 'කුජ හතේ නම් මොකද වෙන්නෙ' කියල අපේ ජ්‍යොතිෂ මහත්තුරුත් දන්න තරම් කරුණු ගොනු කරලා ලිපි ලියනවා. මේක හරිම ජනසම්මත කාරණයක් බවට පත් වෙලා. කුජ හතේ සිද්දිය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. මූණු පොතේ තියෙන ජ්‍යොතිෂ ගෲප්වලට ඉදිරිපත් කරන ගැටළුවල වැඩිපුරම තියෙන්නෙත් කුජ හතේ ප්‍රශ්නය තමයි. මහා අලකලංචියක් බවට පත් වෙලා තියෙන මේ ප්‍රශ්නෙට වෛවාරන්න විසඳුම් ඉදිරිපත් කරන අයත් හරියට ඉන්නවා. නොයෙකුත් පුද පූජ පැවැත්වීම්, යන්තර සහ මැණික් පැළඳීම් වගේ පිළිවෙත් ඔය විසඳුම් අතර තියෙනවා. 

 බොහෝ අවස්ථාවලදි කුජ හතේ කියන්නෙ ප්‍රශ්නයක් තමයි. කුජ විතරක් නෙමෙයි, රාහු,කේතු, සෙනසුරු, රවි වගේම අනෙක් ග්‍රහයොත් අරියාදුකාර විදියට හතේ ඉන්න අවස්ථා නැතුවා නෙමෙයි. ඉතින් හතේ ඉන්න කුජ විතරක්  අයින් කරලා දාන එක ගැන කතා කළාට ඔය කොයි ප්‍රශ්නෙටත් විසඳුම් මේ ලියමනේ තියෙනවා. ඒක හොඳින් විශ්වාස කරන්න.

කේන්දරයෙ ග්‍රහයො කොහොම කොයි විදියට සටහන් වුණත් ඒ අපි සටහන් කරගත්තු විදිය මිසක් වෙන කවුරුවත් කරපු සටහනක් නෙමෙයි. ඉමක් කොනක් නොපෙනෙන ගෙවපු සසරේ අපේ සිතුවිලි රටාව මඟින් සකස් වෙච්චි ග්‍රහ රටාවක් තමයි ඔය තියෙන්නෙ. විවාහයට, ආදරයට හරස් වෙන ප්‍රශ්න විතරක් නෙමෙයි, හැම ප්‍රශ්නයක්ම හැම කරදරයක්ම ඇතුළෙන් එන දේවල් මිසක් පිටින් එන දේවල් නෙමෙයි. අපි උත්තර හොයන්නෙ පිටින් වුණාට ගැටළු,කරදර,ගැහැට සියල්ලක්ම එන්නෙ ඇතුළෙන්. ඕක තමයි හොඳටම අවබෝධ කරගන්න ඕනැ කාරණය. දේවාලෙට, පොලීසියට, උසාවියට, ඉස්පිරිතාලෙට ඔය කොයි තැනකට ගිහින් විසඳුම් හෙව්වත් සියලු ගැටළු එන්නෙ ඇතුළෙන්. එහෙම නම් තියෙන්නෙ ඇතුළෙ ප්‍රශ්නයක්.

කුජ හතේ ඉන්නවා කියන්නෙ සාමයට, සහයෝගයට බලපෑම් එල්ල වෙන කාරණයක්.  විවාහය කියන්නෙ සහයෝගීතාවයන් අතර විශේෂම එකනෙ. සසර පුරා සහයෝගීතාවය හරියට රැකගෙන නැතිකම, ජීවිතයට ලැබුණු ආදරය පූජනීය විදියට රැකගෙන නැතිකම, යුග ජීවිතය තුළ වශ්වාසය ආරක්ෂා කර නොගැනීම, ඉවසීම, කරුණාව පවත්වා නොගැනීම වගේ කාරණා මෙන්න මේ හතේ ඉන්න කුජගෙන් පෙන්නුම් කරනවා.  කුජගෙන් විතරක් නෙමෙයි, කළින් කිව්වා වගේ වෙනත් ග්‍රහයෙක්ගෙන් හෝ වෙනත් ග්‍රහයින් කීප දෙනෙක්ගෙන් වුණත් ඒ විදියට පෙන්නුම් කරන්න පුළුවන්. ඒ වගේම හතම වෙන්න ඕනැත් නෑ ආදරයට, විවාහයට බලපාන වෙනත් තැනක වෙන්නත් පුළුවන්. ජනප්‍රිය වෙලා තියෙන්නෙ කුජ හතේ කතාව හින්දා තමයි හැමෝම දන්න ඒ කාරණය මුල් කරගෙන මේ වටිනා, වැදගත් කතාව කියන්න හදන්නෙ.

ගැටළු එන්නෙ ඇතුළෙන් නම් විවාහයට හරස් වෙන ගැටළුවලට ඇතුළෙ තියෙන විසඳුම් මොනවද ? විවාහය හා සම්බන්ධ ගැටළු කිව්වම ඉතින් එක එක විදියෙ ගැටළු තියෙනවා. විවාහය වෙන්න කලින් එන ගැටළු තමයි ඇති වෙන සම්බන්ධතා බිඳ වැටීම, යෝජනා දුරස් වීම, විවාහය කල් පසු වීම වගේ දේවල්. විවාහය කෙරුණට පස්සෙ එන ගැටළු තමයි සමගිය බිඳවැටීම, ලෙන්ගතුකම නැති වීම, අනියම් සම්බන්ධකම් හින්දා ඇති වෙන දරුණු වලි ගෝරි, පොලීසි යාම, දික්කසාද වෙන්න යාම, ළිඳට පැනීම,වහ බීම වගේ දේවල්.

කෝපය කියන්නෙ මැඩපවත්වන්න පුළුවන් දෙයක්ද ? කෝපය, ආවේගය මැඩපවත්වන්න, යටපත් කරන්න, දුරු කරන්න පුලුවන්ද ? කවදාවත් බෑ. කෝපය මැඩපවත්වන්න, යටපත් කරන්න කියලා කිසිම බුදුවරයෙක් දේශනා කරලත් නෑ. අපේ ගොඩක් දෙනෙක් නිතර පෝස්ට් දානවා කෝපය මැඩපැවැත්විය යුතුයි, යටපත් කළ යුතුයි, පාලනය කළ යුතුයි කියලා. සමහර දේශකයින් වහන්සේලත් නොදැණුවත්ව එහෙම දේශනා කරනවා. කෝපය, ආවේගය විතරක් නෙමෙයි ලිංගික ආශාව හෝ වෙනත් ඕනෑකම්, ආශාවන් වුණත් මැඩපවත්වන්න බෑ. මොකද..ඒ දේවල් එන්නෙත් ඇතුළෙන් මිසක් පිටින් නෙමෙයි. ඒ දේවල් මැඩපවත්වන්න ගියොත් තව තවත් ගැඹුරට ගමන් කරනවා. කඳුකරයකින් මතු වුණු උල්පතක මුඛය වහලා නවත්තන්න බෑ. එහෙම කළොත් එයා කඳුකරයෙන් පිට වෙන්න වෙනත් මාර්ග හොයාගන්නවා. සමහරවිට ඒ උල්පත උල්පත් කීපයක් බවට පත් වෙලා පිටවෙන්න හදයි. කෝපය වුණත් ඒ වගේ තමයි. කෝපය හෝ ආශාවක් මැඩපවත්වන්න ගියොත් ඒක පිටවෙන්න වෙනත් මාර්ග සොයාගන්න පුළුවන්. එතකොට තත්වය තවත් දරුණු වෙන්න පුළුවන්. කළ යුත්තේ මැඩපැවැත්වීම නෙමෙයි පරිවර්තනය කිරීමයි. කෝපය පරිවර්තනය කරන්න ඕනැ කරුණාව, මෛත්‍රිය වෙතටයි. මෙත් වඩන්න කියන්නෙ අන්න ඒ හින්දයි.

මෙත් වැඩීම පුරුද්දක් බවට පත් වුණාම කෝපය, ආවේගය මතුවෙන්නෙ නෑ. සසර පුරා පවත්වාගෙන ආපු ආවේගකාරී සිතුවිලි රටාව ටිකෙන් ටික මෛත්‍රිය වෙතට පරිවර්තනය වෙනවා. එතකොට හතේ කුජ හිටියට ඒ කුජගෙන් එල්ල වෙන බලපෑම් නැතුව යනවා. මෙතැනදි මතක තියාගන්න ඕනැ කාරණය තමයි ගැටලුවලට අනුකූල විදියට මෙත්වැඩීම පවත්වාගෙන යන්න ඕනැ කියන එක. ආදරය, විවාහය සම්බන්ධයෙන් එල්ල වෙන ගැටළු කරදර බාධක දුරු වෙලා යන විදියට මෙත් වඩන්න ඕනැ. විවාහපේක්ෂිත සියලු දෙනාට ඉක්මන් යහපත් සැනසිලිදායක විවාහයක් පතන්න ඕනැ. යුග ජීවිත ගත කරන සියලු දෙනාට තම යුග ජීවීතය තුළ උපරිම සතුට, සැනසුම, සමගිය ඇති වේවා කියල ප්‍රර්ථනා කරන්න ඕනැ. නිකම් මතුපිටින් නෙමෙයි.ඒක හදවතින්ම කරන්න ඕනැ. දිනපතා ඔය විදියට කරගෙන යනකොට ඒක ඉබේටම වෙන්න ගන්නවා. අඹු සැමි යුවළක්, පෙම්වතුන් දෙපළක් දුටු ගමන් ඉබේම ප්‍රාර්ථනාව නිකුත් වන තත්වයට පත්වෙනවා.  තමන් දන්නා කියන අය යුග ජීවිතය තුළ පීඩා විඳිනවා නම් අන්න ඒ අය හිතේ මවාගෙන යහපත පතන්න. මේක මහත්ඵල මහානිසංස පිළිවෙතක්. මෙයින් ලැබෙන ප්‍රතිඵල පුදුම සහගතයි. ඒවා තමන් අත්දකින්න ඕනැ.

ඔහොම කරගෙන යන ගමන් කේන්දරය අරගෙන බලන්න එපා හතේ කොටුවෙ ලියල තියෙන "කු" අකුර නැති වෙලාද කියල එහෙම. ඒක එහෙමම තියෙනවා. එච්චරයි ඉතුරුවෙන්නෙ. ඉන් එහා බලපෑමක් නම් ඇතිවෙන්නෙ නෑ.  කුජ ගැන, හත ගැන අමතකම කරලා දිගටම මෙත් වඩන්න. මගෙ බලාපොරත්තු ඉෂ්ට කරගන්න කොහොම හරි ඉතින් මේ වැඩේ කරන්න එපායැ කියල නෙමෙයි, හදවතින්ම නැඟෙන සැබෑ කරුණාව ඉස්මතු කරගෙන කරන්න. ශරීරයම සුවදායක තත්වයට පත් වෙන තරමට හදවත කරුණාවෙන් පුරවාගෙන මෙත් වඩන්න. උපදෙසක් ඕනැ වුණොත් අහලා දැනගන්න.

සංජීව කුළුපන බණ්ඩාර 


Sunday, September 26, 2021

දේශනය.





ආයුබෝවන් සියලු දෙනාටම.

මගෙන් ඉල්ලුවෙ යන්ත්‍ර මන්ත්‍ර ගැන කතා කරන්න කියලා. මම මාතෘකාවෙ පොඩි වෙනසක් කළා. 'යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර සහ ශාන්තිකර්ම' කියල. මොකද මම ශාන්තිකර්මවල වැඩි වශයෙන් නියැලෙනවා. යන්ත්‍ර මන්ත්රවලට වඩා තන්ත්‍ර භාවිතා කරනවා. නිවාස ඉඩම් ආශ්‍රිතව පවතින අමනුෂ්‍ය බලපෑම්, කොඩිවින ඉවත් කිරීම, අමනුෂ්‍ය බලපෑම් හෝ වෙනත් බලපෑම් හේතුවෙන් සෞක්‍යයට, රැකියාවට, පවුල් ජීවිතවලට එල්ල වන බාධක ගැටළු දුරු කිරීම වගේ දේවල් තමයි වැඩි වශයෙන් කරන්නෙ. මේ ශාන්තිකර්මවලදි තන්ත්‍ර කියන කොටස වැඩි වශයෙන් භාවිතා කරනවා. තන්ත්‍ර සමඟ කටයුතු කරන කොට අධ්‍යාත්මික ශක්තිය වර්ධනය වෙනවා.


මේ මාතෘකාව යටතේ තියෙන කරුණු කතා කරලා ඉවරයක් කරන්න බෑ. විශාල විෂය ක්‍ෂේත්‍රයක්. විවිධ ආගම්වලට, සංස්කෘතීන්ට ආවේනික යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම තියෙනවා. මලයාලි,රොඩී ගුරුකම් වගේම අරාබි,කතෝලික,බින්තන්නෙ ගුරුකම් වගේ දේවලුත් තියෙනවා. ඒ හින්දා වැඩි වශයෙන් කතා නොකෙරෙන පැත්ත, වැඩිය සාකච්ඡාවට බඳුන් නොවන සැඟවිලා තියෙන පැත්ත ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.


මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ මන්ත්‍ර ශාස්ත්‍රය ගැන විශාල වශයෙන් කතා කෙරෙනවා. අදහස් හුවමාරු වෙනවා. මන්තර වගේම මන්තර පොත් පවා හුවමාරු වෙනවා. ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි ඕනැම මන්තරයකින් ඕනෑම කෙනෙකුට වැඩගන්න පුළුවන් කියන එක. එහෙම බෑ. තමන්ට හරියන, පල දෙන මන්තර තෝරාගන්න ඕනෑ. දීර්ඝ කාලීන අත්දැකීම් තියෙන අය අත්දැකීමෙන් දන්නවා සාර්ථක ප්‍රතිපල ලැබෙන මන්ත්‍ර මොනවද කියලා. නිතර වැඩ කටයුතුවලදි  භාවිතා කරන මන්තර කීපයක් හැමෝටම තියෙනවා. ඒවා හොඳටම වැඩ කරනවා. හොඳටම විශ්වාසයි. ශබ්ද විද්‍යාවට අනුව මන්තර තෝරගන්නත් පුළුවන්. ඒත් අත්දැකීමෙන් තෝරාගන්න දේ වඩාත් සාර්ථකයි. 


පොත්පත්, දේශන, ඉගැන්වීම් මේ කොයි ආකාරයකින් ගන්න දේටත් වඩා තමන්ට අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ වන දේවල් වටිනවා. ඒවා පිළුණු වෙලා නෑ. ඒවා බොහොම විශ්වාසනීයයි. පොකුණු බවට පත් වෙන්නෙ නැතුව ළිං බවට පත් වෙන්න ඕනැ. ලෝකය පුරාම අවුල් වියවුල් වැඩි හරියක් ඇති වෙලා තියෙන්නෙ පොකුණු බවට පත් වෙච්චි මනස් හින්දයි. පොකුණුවලට ජලය දාල පුරවනවා. ළිංවලට ජලය උනනවා. පොඩි කතාවක් කියන්නම්. එතකොට තවත් පැහැදිලි වෙයි.


එක්තරා ආශ්‍රමයක මහලු බ්‍රාහ්මණයෙක් වාසය කළා. මේ බමුණා ගෙන් යමක් ඉගෙන ඉගෙනගන්න තව තරුණ බමුණෙක් ඇවිත් නතර වෙලා හිටියා. ටික දවසක් යන කොට මේ ඉගෙනගන්න ආපු බමුණට දැනුණා මේ වයසක බමුණා මොනවත් දන්නෙ නෑ කියල. වැඩි කතාබහක් නෑ. දවසකට කියාදෙන්නෙ ටික දෙයයි. තරුණ බමුණා හිතුවා මේ ආශ්‍රමයෙන් පිට වෙලා යන්න ඕනැ කියලා. මේකෙ ඉඳලා තේරුමක් නෑ කියලා. එයා යන්න හිතාගෙන හිටපු දවසෙම මේ ආශ්‍රමයට තව බමුණෙක් ආවා. ඒ අලුතින් ආපු බමුණා හිත් ඇදගන්න විදියට කතා කරනවා. ආශ්‍රමයෙ අයට පැය දෙකක දේශනයක් කළා. කතා කරලා හැමෝම වසඟයට ගත්තා. පිට වෙලා යන්න හිතාගෙන හිටපු බමුණත් හිතුවා මෙයාගෙන් නම් බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා. දේශනය අවසන් වෙලා මේ බමුණා අර මහළු බමුණා ගෙන් අහනවා " කොහොමද මගෙ දේශනය හොඳයිද නේද..." කියලා. මහළු බමුණා කියනවා " ඔබ දේශනයක් නම් කළා...ඒත් කියපු එක දෙයක්වත් ඔබේ ඒවා නම් නෙමෙයි...ඔබ මොනවත්ම කිව්වෙ නෑ" කියල. මම මොනවත් කිව්වෙ නැත්නම් ඒ පැය දෙකේ කතා කළේ කවුද ? දේශනය කරපු අලුත් බමුණා අහනවා. ඇත්තම කියනවා නම් පොත්පත්,ධර්ම ග්‍රන්ථ,වේද ග්‍රන්ථ කතා කළා. ඔබ නම් මොනවත් කිව්වෙ නෑ... ඔබ ගිලගත් සියල්ල එළියට දැම්මා විතරයි. ඒවායින් පිළුණු ගඳක් මිසක් කිසිම සුවඳක් ආවෙ නෑ." මහළු බමුණා කිව්වා. මේක ඇහුවට පස්සෙ අර පිට වෙලා යන්න හිටපු බමුණා තේරුම් ගත්තා විවිධාකාරයේ දැනුම් තියෙන බව. භාහිරින් එකතු කරගන්න දැනුම එකක්. ඇතුළතින් පැමිණෙන දැනුම තව එකක්.


හොඳට මතක තියාගන්න...මන්ත්‍ර ශාස්තරයෙදි හිත තමයි වැදගත්ම. තමන්ට සමාධිගත වෙන්න පුළුවන් තරමට තමන් කරන වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. මල් ආසනය නැත්නම් පූජාසනය හදන කොට සම්ප්‍රදායික විදියට, ගුරුවරු කියපු විදියට, පොතපතේ තියෙන විදියට හැදුවට කමක් නෑ. හැබැයි තමන්ට හරියට ඒකාත්මික වෙන්න පුළුවන් විදියට ඒ පූජාසනය තියෙන්න ඕනැ. මම පහන් ආලෝකය වැඩිපුර භාවිතා කරනවා. පහන් ආලෝකය එක්ක මට සමාධිගත වෙන්න පුළුවන්.  පහන් ආලෝකයත් එක්ක අමුතු ජීව බලයක් ලැබෙනවා. ඕගොල්ලො දන්නවා වරමින් සාස්තර කියන අය ගැන. ඒ අය තමන්ගෙ ඥාතියා ඇඟට ගන්න විදියක් තියෙනවා. සමහරු ස්තෝත්‍ර කියාගෙන යනකොට ඥාතියා ඇඟට එනවා. තව අයට බෙර සද්දෙ ඕනැ. තවත් අයට සීනු හොලවන්න ඕනෑ. තව සමහරු පහනක් හෝ පිළිමයක් දිහා එක එල්ලේ බලාගෙන ඉන්නකොට ඥාතියා ඇඟට එනවා. සියල්ල සිද්ද වෙන්නෙ අරමුණ සමඟ ඒකාත්මික වීමත් එක්කයි. ඒක හොඳින් තේරුම් ගන්න.


මම වැඩි වශයෙන් තන්ත්‍ර භාවිතා කරනවා. තන්ත්‍ර භාවිතයේදී ආධ්‍යාත්මික ශක්තිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. තන්ත්‍රවලදි අපට කියනවා පූසාගෙන් ඉගෙනගන්න කියලා. මොනවද පූසාගෙන් ඉගෙනගන්න තියෙන්නෙ ? පූසාගෙන් ඉගෙනගන්න කියන්නෙ ඉහිල් වීම. ඒ කියන්නෙ Relaxation. පූසා නිදාගන්න ගියාම හොඳින් ඉහිල් වෙනවා. ඕගොල්ලො දැකලා ඇති. අත පය හොඳට දිග හැරලා ඉහිල් වෙලා තමයි නිදාගන්නෙ. නැගිට්ටමත් ඒ වගේ. හිරි ඇරලා, මැදින් ඉස්සිලා හොඳට ඉහිල් වෙලා තමයි ඉතුරු වැඩවලට ලෑස්ති වෙන්නෙ. යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවලදි හොඳ ඉහිල් බවක් තියෙන්න ඕනැ. නැත්නම් තමන්ට මොනවත් දැනෙන්නෙ නැතුව යනවා. නිකම් ඔහේ මතුරන එක නෙමෙයි මන්ත්‍ර ශාස්ත්‍රය කියන්නෙ. වැඩේ කරගෙන යද්දි සිද්දවෙන වෙනස් කම් දැනෙන්න ඕනැ. වැඩේ හරියට වෙනවා කියල හිතට දැනෙන්න ඕනැ.


අමනුස්ස බලපෑම් එක්ක සම්බන්ධ වීමේදී චිත්ත සමාධිය ගොඩක් වැදගත් වෙනවා. අමනුස්සයින් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් එකම මාර්ගය තමයි සිතුවිලි.  නිවෙස්වල ඉඩම්වල රැඳිලා ඉන්න පහත් පෙළේ ප්‍රේතයින් ඒ තැන්වලින් ඉවත් කරද්දි අපිට සිද්ද වෙනවා ඒ අයට යමක් අවබෝධ කරලා දෙන්න. ඒ අය විඳින්නෙ දුකක් කියලා ඒ අය දන්නෙ නෑ. ඒ අවබෝධය ඒ අයට ලැබෙන්නෙ නෑ. ගෙදර බණක් කිව්වත් ඒ අතරෙදි පිරිසක් තැනක බොනවා. තව අය තව විදියට විනෝද වෙනවා. අමනුස්සයින්ගේ කෝපය තවත් වැඩි වෙනවා මිසක් හරි අවබෝධයක් ලැබෙන්නෙ නෑ. දැඩි තෘෂ්ණාව හින්දා මැරුණට පස්සෙත් දේපළ අල්ලගෙන ඉන්නවා. ඒ දේවල් අනිත් අය භුක්ති විඳිනවට කැමති නෑ. තමන්ගෙ දේපළ අනිත් අය භුක්ති විඳිනවා කියල තරහෙන් ඉන්නෙ.  ඒ අය නොයෙක් බලපෑම් කරනවා. මේ අය ඉවත් කරන්න නම් ඔවුන්ට පැහැදිලි කරලා දිය යුතු කාරණා තියෙනවා. සමහරු කුප්පිවල දානව කියනව, ගැටගහනවා කියනව, කොන්ක්‍රීට් දානව කියනවා. ඕවා විශ්ව ධර්මතාවයට එකඟ දේවල් නෙමෙයි. කිසිවෙක් හිර කරන්න අපිට අයිතියක් නෑ. ඕවා සාර්ථක දේවලුත් නෙමෙයි. යන්න ඕනැ අහවල් බෝධිය ළඟට කියලා අණ කරන්න අයිතියකුත් අපිට නෑ. සියල්ල හරියට අවබෝධ කරලා දුන්නම ඒ අය තෝරාගන්නවා යන්න ඕනැ තැන. ඕවා දැන්වත් අත හැරියේ නැත්නම් තව කල්ප කාලයක් ප්‍රේත භවයෙ දුක් විඳින්න වෙනව කියන එක අවබෝධ කරලා දෙන්න ඕනැ. ඔය කරන්නෙ සසර දික් වෙන වැරදි වැඩක් කියන එක පැහැදිලි කරලා දෙන්න ඕනෑ. ගැලවීමේ මාර්ගය කියල දෙන්න ඕනැ.ඒගොල්ලන්ට ඒ අවබෝධය කවුරුවත් දෙන්නෙ නෑ. ප්‍රේත තටුවට කතා කරලා ඔය අවබෝධය හරියට දෙන්න නම් චිත්ත සමාධිය තියෙන්න ඕනැ.


ආයුධ උස්සගෙන, පුටු උස්සගෙන එන අමනුස්සයො ඉන්නවා. කාගෙ හරි ඇඟකට වැහුණම හරි ප්‍රචණ්ඩයි. සමහර ඇදුරො වැඩේ නවත්තලා යන්න යනවා. ගෙදර අයත් දුවනවා. කොහොමද මේ අය නවත්වන්නෙ ? කොහොමද මේ අයව පාලනය කරන්නෙ ? ඔය ප්‍රශ්නය මගෙන් දවසක් එක මහත්මයෙක් ඇහුවා. ඒ අයගෙ පූජාවකට එක්තරා ස්ථානයකට ගිහින් ඉන්න අතරෙදි එක තරුණයෙක් මහා හයියෙන් කෑගහගෙන දඟලනවා. ළඟට එන අයව එලවනවා. හතර පස් දෙනෙක් එකතු වුණත් නවත්තගන්න බෑ. ඒ වෙලාවෙ මාත් එක්ක හිටපු මහත්මයා මගෙන් අහනවා ' ඔබතුමා යන තැනකදි ඔය විදියෙ ප්‍රචණ්ඩ කෙනෙක් හිටියොත් කොහොමද එයාව පාලනය කරන්නෙ' කියලා. මම ඒ මහත්මයට කිව්වා පාලනය කරන විදිය. ඒක තනිකරම සත්‍යක්‍රියාවක්. හිතේ ශක්තිය. " මම මේ කරන්න හදන්නෙ යහපත් දෙයක්. යහපත් චේතනාවෙන් කරන දෙයක්. කිසිම පාපී චේතනාවක් නෑ. මම ලෝක සත්වයාට මෙත් වඩන කෙනෙක්. මා ඉදිරියේ කිසිම අමනුස්සයෙකුට ප්‍රචණ්ඩ වෙන්න බෑ. පාලනය වෙන්න ඕනැ. සන්සුන් වෙන්න ඕනැ" ඒ සිතුවිලි නිකුත් වෙනවත් එක්කම පාලනය වෙනව. සන්සුන් වෙනව. කීකරු වෙනව. යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවල නියැලෙන කෙනෙකුට තියෙන්න ඕනැ සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් තරමේ සීලයක්. ලෝක සත්වයාට මෙත් වඩන කෙනෙක් කියල බොරුවට සත්‍යක්‍රියා කරන්න බෑ. මේවා නිකම් උඩින් මතුපිටින් නැගෙන සිතුවිලි වෙලා බෑ. ආධ්‍යාත්මයෙන්, සමාධි සිතින් එන්න ඕනැ. ශරීරය කුළු ගැන්විලා, බලවත් විශ්වාසයක් එක්ක මතුවෙන්න ඕනැ. සමහරු කියනවනෙ 'එක මන්තරයයි කිව්වෙ අඩියක් ඉස්සරහට ආවෙ නෑ' කියල.එහෙමත් පුළුවන් ඇති. මම කියන්නෙ මගේ ක්‍රමය. මම දන්න විදිය.


යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවල යෙදෙන සමහරු ප්‍රේත කොට්ඨාශ ආධාර කරගෙන වැඩ කරනවා. සමහරු දේව ශක්තීන් එක්ක වැඩ කරනවා. මම ආධ්‍යාත්මික ශක්තිය මුල් කරගෙන කටයුතු කරනවා. මුල් කාලයෙදි අධ්‍යාත්මික ශක්තිය ගැන දැනුමක් අවබෝධයක් තිබුණෙ නෑ. ඒ කාලෙ මමත් දිෂ්ටි මන්ත්‍ර භාවිතා කළා.  පසු කාලීනව ලැබුණු අවබෝධය එක්ක දැන් අධ්‍යාත්මික ශක්තිය මුල් කරගෙන කටයුතු කරනවා. පැය ගණන් මතුරන එකේ විනාඩි 25 ක් වත් භාවනාවක් කරන්න. දවසකට පොඩි වෙලාවක් මෛත්‍රී භාවනාවත් කරන්න. ඒවායින් ලැබෙන වෙනස අත්විඳින්න.


අනපේක්ෂිත බාධක එල්ල වන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවන්ට ශක්තිමත්ව මුහුණ දෙන්න ඕනැ. එක අවස්ථාවක ගෑණු ළමයෙකුට තිබුණු දෝෂයක් ඉවත් කරන්න ගියා. මේ ගෑණු ළමයා විදේශ රටක සේවය කරපු කෙනෙක්. ආච්චි කෙනෙක්ව බලාගත්තු එක තමයි ඒ රටේදි කරලා තියෙන්නෙ. එහෙ ආච්චිලා අපේ ආච්චිලා වගේ නෙමෙයි. හොඳට කන බොන අය. විස්කි බ්‍රැන්ඩි සිගරැට් හැම දෙයක්ම බොන ආච්චි කෙනෙක්. මේ ආච්චි මියගියාට පස්සෙ මේ ගෑණු ළමයගෙ ඇඟට වැහෙන්න පටන් ගත්තා. පස්සෙ මෙයාගෙ අම්මා මෙයාව ලංකාවට එක්කගෙන ආවා. නිකම් නෙමෙයි ආවෙ. අවශ්‍ය කරන බීම, සිගරැට් එහෙම අරගෙනමයි ආවෙ. ආපු දවසෙ ඉඳලා තමන්ගෙ පාඩුවෙ අර ගෙනාපු දේවල් පාවිච්චි කරනවා. හරි අමුතුයි. මම ඉතින් ගියා දෝෂය අයින් කරන්න. මම ගෙට ගෙට ගොඩ වුණා විතරයි මෙයා බොහොම ප්‍රචණ්ඩ විදියට හැසිරෙන්න ගත්තා. වීදුරු කැබිනට් එකකට හේත්තු වෙලා කෑගහනවා. ඔය අතරෙ කැබිනට් එකට බර වෙලා වීදුරුවත් කඩාගෙන වැටුණා. වීදුරුවට කැපිලා තුවාල වුණා. ගෙදර කට්ටිය එකතු වෙලා රෝහලකට එක්කගෙන ගියා. මැහුම් දාගෙන ආවට පස්සෙ තමයි වැඩේ පටන් ගන්න වුණේ. ඔය වගේ අවස්ථාවලදි ශක්තිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න ඕනැ. ඒ අය වෙනුවෙන් ඉටු වෙන්න ඕනැ දේ උපරිමයෙන් ඉෂ්ට කරන්න ඕනැ.


එකම දේ විශ්වාස කරගෙන එක රාමුවක් ඇතුළෙ හිරවෙන්න හොඳ නෑ. හිර වුණාම අවබෝධය ලැබෙන්නෙ නෑ. හිර වෙලා ඉන්න ෆ්‍රේම් ඇතුළෙන් එළියට ඇවිත් නිදහස් වෙන්න ඕනැ. යන්ත්‍ර මන්ත්‍රවලදි විතරක් නෙමෙයි ජ්‍යොතිෂයෙදි වුණත් ඒක වැදගත් වෙනවා. සමහර චැට් ග්රූප් තියෙනවා උදේට බැලුවත් යෝගයක් ගැන කතා කරනවා. දවල්ට ගිහින් බැලුවත් ඒත් කේන්දරයක් ගැන කතා වෙනවා. හවසට ගිහින් බැලුවත් 22 වෙනි දෙර්කනාධිපති ගැන කතා කරනවා. රෑට බැලුවත් 64 වෙනි නවාංශකාධිපති ගැන කතා කතාවක්. ඒ ජ්‍යොතිෂවේදීන් කේන්දරේ කොටු දොළහයි නැකත් විසිහතයි අස්සෙ හිර වෙලා. එහෙම බෑ. ඇඟලුම් කම්හලක වැඩට යන කෙනෙක් උදේ ඉඳලා කරුවල වැටෙනකල් වැඩ කරලා ගෙදරට ආවට පස්සෙ ඉතුරු වෙලාවෙදිත් ඇඳුම් මහන එක කරන්න ගියොත් මොනව වෙයිද... ඒක ඔලුවට අමාරුයි. ඉතුරු වෙලාවෙ වෙන මොනව හරි වෙනස් දෙයක් කරන්න ඕනැ.සමහරු කවුරු හරි ගුරුවරයෙකුට හෝ සෘෂිවරයෙකුට හිර වෙලා. එතනින් එහා දෙයක් මොකුත් නෑ.  යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කරන අය කොටු වෙන්න එපා. යන්තරේ ගැන මන්තරේ ගැන විතරක් නෙමෙයි තව බොහෝ දේවල් ගැන විමසිලිමත් වෙන්න. තමන් ළඟට එන මනුස්සයා කියන්නෙ මොනවද කියල ඇහුම්කන් දෙනවා වගේම එයාගෙ ඇස් දෙක, දේහ ලක්ෂණ, හැසිරීම, පැහැය මොනවද කියන්නෙ කියලත් බලන්න. පෙනුමෙ වෙනසක් තියෙනවද...ස්වභාවික මනුස්සයා යටපත් කරගෙන වෙන මොකක් හරි බලවේගයක් කතා කරනවද කියල බලන්න. පැහැදිලි සමාධිගත මනසකින් ඔය දේ කරන්න පුළුවන්.


ඔන්න ඔය දේවල් තමයි මම කියන්න බලාපොරොත්තු වුණේ. මොනව හරි පැහැදිලි කරගන්න, දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න.

ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.





Thursday, September 2, 2021

කේතු

 



කේතු කියන්නෙ මම කැමතිම ග්‍රහයෙක්. කේතු තරම් මට වාසි අත් කරලා දුන්නු වෙනත් ගරහ්යෙක් නෑ. මේ කියන්නෙ මගේ කේන්දරයේ ඉන්න කේතු මට උදා කරපු වාසි ගැන නෙමෙයි. අනුන්ගෙ කේන්දරවල ඉන්න කේතු මට සෑහෙන්න උදව් කරලා තියෙනවා. මට ඒ අය ගැන වගේම ඒ අය ජීවත් වන තැන් ගැනත් බොහෝ දේවල් හෙළිදරව් කරලා දීල තියෙනවා. විශේෂයෙන්ම තත්කාල සාස්තරයෙදි සෑහෙන්න උදව් කරනවා. ජ්‍යොතිෂය සම්බන්ධයෙන් ලියන එක හොඳටම අඩු වෙලා තිබුණත් කේතු ගැන නොලියා ඉන්න බැරි වුණේ ඒකයි. බොහෝ තැන්වල කේතු ගැන ලියැවෙන විස්තර දැක්කත් මට හමුවන කේතු ඊට වඩා වෙනස් කියල මට හිතෙනවා.


කේතු ගුප්තයි. රහස්‍යයි. ඒක ඕනැම කෙනෙක් දන්නවා. සමහර දේවල් පුදුම විදියට හංගන ග්‍රහයෙක්. ඒ හින්දම කේතු හරියට හඳුනා ගැනීම ඉතාමත් වාසිදායකයි. කේතු ලිංගිකත්වය ප්‍රතික්ෂේප කරන ග්‍රහයෙක් බව සමහරු සඳහන් කරනවා. පොත් පත්වලත් ඇති එහෙම. මම දන්න කේතු එහෙම කෙනෙක් නෙමෙයි.  ' නෑ නෑ එහෙම ග්‍රහයෙක් තමයි...සෘෂි තුමන්ලා කියල තියෙන්නෙත් එහෙම තමයි...' කියලා සමහරු කියයි. මට වැදගත් වෙන්නෙ මම දන්න කේතු මිසක් වෙන අය දන්න කේතු නෙමෙයි.


කේතු කෙනෙක්ව ලෞකික මාර්ගයේ ගෙනියන කොට අනිත් අයට හිතාගන්න බෑ කොහොම සල්ලි හම්බකරනවද කියල. අනිත් අයට නොදැනෙන විදියට නොපෙනෙන විදියට සල්ලි හොයන මාර්ග හදල දෙනවා. අල්ලපු ගෙදර මනුස්සයා දන්නෙ නෑ මෙහා ගෙදර ඉන්න මනුස්සයා මොනවා කරල සල්ලි හම්බකරනවද කියල. කේතුගෙන් බොහෝ දෙනෙක් දියුණුවට පත්වෙන එක හේතුවක් තමයි තමන්ගෙ අරමුණු බලාපොරොත්තු අනිත් අයට හෙළි නොකිරීම. ' මම කරන්න හිතාගෙන ඉන්නෙ මේකයි...මගේ ටාගට් එක මේකයි...' ඒවා නෑ. හැම දෙයක්ම හංගගෙන ඉන්න පුළුවන්.


කේතු ලිංගිකත්වය ප්‍රතික්ෂේප කරනවා කියන කතාව මම විශ්වාස කරන්නෙ නෑ. එතැනදි වෙන්නෙ ලිංගික ජීවිතය, ලිංගික ආශාවන් අමුතු වෙන එක මිසක් ලිංගික ජීවිතයෙන් වෙන් වීම නෙමෙයි. දැනට විවාහ තුනකින් අයින් වෙලා ඉන්න ජනප්‍රිය කලාකාරියක් ඉන්නවා. කේතු හතේ.එයාව ළඟින්ම ආස්සරේ කරන කෙනෙක් එක්ක ඔය ගැන කතා කරන කොට එයා කියනවා ' එයාගෙ රුචිකත්වයට ගැළපෙන කෙනෙක් ලැබුණෙ නැති එකනෙ වුණේ...' කියල. ඒ රුචිකත්වය මොකක්ද කියල මෙහෙම සඳහන් කරන්න බෑ. කොහොම වුණත් කේතු ලිංගික ජීවිතය ඉවතලන ග්‍රහයෙක් විදියට සළකන්න බෑ. එහෙම සිද්දවෙන වෙන හේතු තියෙන්න පුළුවන්. පොදුවේ "කේතු" ගැන කතා කරන කොට කේතු එහෙම කෙනෙක් කියල කියන්න බෑ.


කේතු උපායශීලීයි. අපි දන්නවනෙ බුධත් උපායශීලීයි කියල. කේතුගෙ උපායශීලී ගතිය බුධගෙ උපායශීලී ගතිය වගේ නෙමෙයි. කොහොමත් සමාන වෙන්න බෑ නෙ. ඔය වෙනස කොහොමද තේරුම්ගන්නෙ ? ඕක මුළුමනින්ම තේරුම් කරන්න බෑ. බුධගෙ උපායන් නිර්මාණශීලියි, තාත්විකයි. තැනට උචිත විදියට, පුද්ගලයාට උචිත විදියට නිර්මාණශීලී විදියට උපාය භාවිතා කරනවා. ඒ හින්දා උපායශීලී හැසිරීම සාර්ථක වෙනවා. කේතුගෙ උපාය තුළ එහෙම නිර්මාණශීලී ගතියක් නෑ. ජ්‍යොතිෂවේදියා නිර්මාණශීලී වෙන තරමට මෙන්න මේ වගේ වෙනස්කම් බොහොම හොඳට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. කියාදෙන්න බැරි දේවල් ඕනැ තරම් තියෙනවා. ඒවා දැනෙන්නම ඕනැ දේවල්. කොහෙන්වත් ගන්න බෑ. ඒවා පිටතින් නෙමෙයි ඇතුළතින් එන දේවල්. ඉඳිකටුවකින් ඇන්නත්, ඉරටු කෑල්ලකින් ඇන්නත්, මිටියෙන් ගැහුවත් කියන්නෙ රිදෙනවා කියල වුණාට ඔය වේදනාවන්වල වෙනස්කම් විස්තර කරන්න භාෂාව ප්‍රමාණවත් නෑ. ඒත් වේදනාව දැනෙන්නෙ වෙනස් විදියට. ග්‍රහයන්ගෙ වුණත් තමන්ට දැනෙන විලාශයන් තියෙනවා.


බොහොමයක් අමනුෂ්‍ය බලපෑම් එක්ක කේතු සමබන්ධ වෙනවා. ගුප්ත ලෝකයනෙ. ගුප්ත ග්‍රහයා ගුප්ත ලෝකය එක්ක සම්බන්ධයි. ඒ පැත්ත කේතු නියමෙට පෙන්නනවා. තව තව අය එක්ක හවුල් වෙලා එහෙම ඒ වැඩේ හරියට හොයාගන්න පාර හදල දෙනවා.


කේතු හදන ලෙඩ ලේසියෙන් නිශ්චය කරගන්න බෑ. තියෙන ලෙඩේට නෙමෙයි බෙහෙත් කරන්නෙ. වෛද්‍යවරුත් හොල්මන් වෙනවා. පරීක්ෂණ කරනවා කෙළවරක් නෑ. කේතුගෙ කාලවලදි ඒ වගේ ප්‍රශ්න බහුලයිනෙ. ඒ වගේ වෙලාවට හඳහන ගොඩක් වටිනවා. බඩේ තියෙන ප්‍රශ්නෙ හොයාගන්න බැරුව වෙන වෙන තැන්වල ලෙඩ හොයන කොට ජ්‍යොතිෂවේදියාට පුළුවන් අඩුම තරමේ ඉඟියක් හරි දෙන්න මෙන්න මෙතැනයි ලෙඩේ තියෙන්නෙ කියල. ඒකත් වටිනවනෙ වෙලාවෙ හැටියට.


කේතු මෝක්‍ෂකාරකයි කියනවා. අන්න හොඳ කතාවක්. මෝක්‍ෂය කියන්නෙ හින්දු දහමට අනුව නැවත ඉපදීමක් නෑ කියන එකනෙ. අපිට අනුව නම් නිවනනෙ. කේතුගෙ කාලවලදි සමහරු තනි වෙනවා නේද... අනිත් අයට වැඩිය මුහුණ දෙන්නෙ, කතා බහ කරන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ ඉන්න බලනවනෙ. සමහරු  කාමරයට වෙලා ඉන්නවා. ඇයි තනි වෙන්නෙ? තනි වුණාම තමයි තමන්ට තමන් හමුවෙන්නෙ. ගොඩක් දෙනෙක් තනි වෙන්න බය වෙන්නෙ තනි වුණාම තමන්ට තමන් මුණ ගැහෙන හින්දනෙ. කේතු තනිකම දෙනව. විවෘත ස්වභාවය අඩු කරනවා. කේතුගෙ කාලවලදි සමහරු තනියම ඉන්න හදනව වගේම  තදින් කෝපයට පත්වෙනවා. ඇයි කෝප වෙන්නෙ ? තමන් තමන් තුළට එබිලා බලන කොට මොන වගේ කෙනෙක්ද දකින්නෙ? ශාන්තුවරයෙක්ද ? නෑ. ගොඩක් දෙනෙක් තමන් තුළ ඉන්න තමන් දිහා බලන්න කැමති නැත්තෙ හොඳ කෙනෙක් දකින්න නොලැබෙන හින්දයි. තමන් දිහා බැලුවම දකින ඇත්ත මනුස්සයාට බය වෙනවා.කලකිරෙනවා. දුක හිතෙනවා. ඒ තරම් යක්ෂයොනෙ ගොඩක් දෙනෙක්ගෙ ඇතුළෙ ඉන්නෙ. කේතු අවස්ථාව උද කරලා දෙනවා තමන්ව මුණගැහෙන්න. තමන්ට තමන්ව හමු නොවී කොහොමද මොක්ෂයක් දකින්නෙ...  මෙහෙම වුණා කියලම කේතු මෝක්ෂය කරා අරගෙන යන්නෙ නෑ. ඒ කාලෙ මෝක්ෂය ගැන හිතන අය වැඩි වුණාට අද කාලෙ ලෞකික පැත්ත ගැන හිතන අය වැඩියි. ඔය අතරෙ දෙපැත්ත සමබර කරගෙන යන්න හදන අයත් ඉන්නවා. මේ ලක්ෂණ දීර්ඝ කාලීන නොවෙන්න පුළුවන්. තව ග්‍රහයො අට දෙනෙක් වෙනස් වෙවී බලපෑම් කරනවා. අන්තර් දශා වෙනස් වෙනවා. ඒත් මේ ගති ලක්ෂණ දැනගෙන ඉන්න එක වටිනවා.


මම දකින කේතු ඔන්න ඔය වගේ කෙනෙක්. 


සංජීව කුළුපන බණ්ඩාර 


Tuesday, June 22, 2021

බලවත් අයත් දුර්වල වෙනවා

 


"මොන තරම් බලවතෙකුගේ වුණත් දුර්වලම අවස්ථාවක් තියෙනවා. මොන තරම් දුර්වලයෙකුගේ වුණත් බලවත්ම අවස්ථාවක් තියෙනවා."  කැමරාකරණයේ යෙදෙන අය දන්නා තවත් කාරණයක් තියෙනවා. " මොන තරම් ලස්සන කෙනෙකුගේ වුණත් කැතම ඈන්ගල් එකක් තියෙනවා. මොන තරම් අවලස්සන කෙනෙකුගේ වුණත් ලස්සනම ඈන්ගල් එකක් තියෙනවා.


මුවාට දිවියා පරදින වෙලාවල්, නයාට මුගටියා පරදින වෙලාවල්, මීයාට බළලා පරදින වෙලාවල් ජ්‍යොතිෂයේ තියෙනවා. ඒවා බොහොම විශේෂ බලවත් මුහුර්ථ විදියට තමයි සඳහන් වෙන්නෙ.


ඒ කොයි හැටි වෙතත් තමන්ගේ දුර්වල අවස්ථාවන් කිසිවෙකුටත් අල්ලගන්න දෙන්න හොඳ නෑ. තමන්ගේ දුර්වලතා තව කෙනෙක් දැනගැනීම හරි භයානකයි. මිතුරු වෙසින් ඉන්නෙ හතුරො වෙන්න පුළුවන් වගේම මිතුරො විදියට ඉන්න අය පස්සෙ හතුරො බවට පත් වෙන්නත් පුළුවන්. ඒ හින්දා හොඳම මිතුරාටවත් තමන්ගෙ දුර්වලතා දැනගන්න ඉඩ තියන්න හොඳ නෑ.


කේන්දරය, හඳහන, ජන්ම පත්‍රය එහෙමත් නැත්නම් වේලාපත්කඩය විතරක් නෙමෙයි උපන් වෙලාව වුණත් හරිම පෞද්ගලික දෙයක්. ඉස්සර අපේ අම්මලා ඕක ආවට ගියාට එළියට ගත්තෙ නෑ. අවශ්‍යම මොහොතක අරගෙන තමන්ට විශ්වාසවන්ත දෛවඥ මහත්තයෙක් මුණගැහිලා සුබ අසුබ විමසුවා. හඳහන කාගෙවත් අතේ යැව්වෙත් නෑ. අපලයක් තිබුණා නම් පිළියමක් කළා. ඒ කිසි දෙයක් ප්‍රසිද්ධියෙ කළේ නෑ. හඳහන විතරක්යැ, පෞද්ගලිකව රැක ගත යුතු, ආරක්ෂා කළ යුතු කිසි දෙයක් අනුන්ට දැනගන්න ඉඩක් තිබ්බෙ නෑ. ගෙදර හැමෝම ගෙයින් බැහැර වුණා නම් කළින් එන කෙනාට දොර ඇරගන්න යතුර සඟවලා තිබ්බෙත් බොහොම පරිස්සමෙන්.


 අද කාලයේ ගොඩක් දෙනෙකුට හඳහන කියන්නෙ පෞද්ගලික දෙයක් නෙමෙයි. ඕනෑම තැනක ඕක දෙපාරක් නොසිතා පලකරනවා. ජ්‍යොතිෂය දන්න නොදන්න ඕනැ කෙනෙකුට යවනවා. ඉල්ලන කෙනාට දෙනවා. කෙනෙක්ගෙ දුර්වලතා හරි අපූරුවට කේන්දරයෙන් අල්ලගන්න පුළුවන්. කේන්දරයෙන් දුර්වලම අවස්ථාව හොයාගෙන මන්තර සාස්තරෙන් මොනවත් කරන්න පුළුවන් අය නම් මුහුණු පොතේ ඇති කියල හිතන්න අමාරුයි. ඒත් යම් දුර්වලතාවයක් හෝ ගැටළුවක් අවස්ථාවාදී විදියට භාවිතා කරන්න ඉඩ කඩ නැත්තෙ නෑ. පවුල් ජීවිතයේ ගැටළු, ආදර බැඳීම් සම්බන්ධ ගැටළු විතරක් නෙමෙයි මුදල් හෝ දේපළ සම්බන්ධ ගැටළු පවා කෙනෙක් උපායශීලී ලෙස භාවිතා කරන්න පුළුවන්. ස්ත්‍රී පක්ෂය තමයි විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනැ. කෙනෙක් කේන්දරය යොමු කරලා පවුල් ජීවිතය ගැනම අහන කොට එයාගේ පවුල් ජීවිතයේ ගැටළුවක් තියෙනවාය කියන එක ජ්‍යොතිෂය නොදන්නා කෙනෙකුට වුණත් අවබෝධ කරගන්න පුළුවන්. මොකද සමහරු වරින් වර එකම දේ අහනවා. ගෲප් කීපයකට එකම ගැටලුව යොමු කරනවා. අවදානයෙන් ඉන්න කෙනාට වැඩේ අහු වෙනවා. ඊට පස්සෙ ඒ ගැන අවදානයෙන් ඉන්න අවස්ථාවාදී පුද්ගලයා කොහොම හරි අර කාන්තාවට සමීප වෙන්න මාර්ග හොයනවා. 


අනාවැකි කියනවා, හඳහන් බලනවා කියන සමහර ගෲප්වල මෙලෝ ජ්‍යොතිෂ දැනුමක් නැති අයත් අනාවැකි කියනවා. ජ්‍යොතිෂ විරෝධී ගෲප් පවත්වාගෙන යන අයත් සමහර ජ්‍යොතිෂ ගෲප්වල හඳහන් බලනවා. මේසන් බාස්ලා, වේටර්ලා, සේල්ස්මන්ලා, රියැදුරෝ හැමෝම හඳහන්වලට අනාවැකි කියනවා. මේ හැමෝම කියන විවිධාකාර අනාවැකි, උපදෙස් අහගන්න කෙනාට වෙන්නෙ බූරුවා කරේ තියාගෙන ගිය කෙනාට වෙච්චි දේම තමයි. සමහරු ෆේක් අකවුන්ට් හදාගෙන විනෝදෙට හඳහන් යොමු කරනවා. ෆේක් අයට පිළිගැනීම අඩුයි. වැඩි දෙනෙක් ෆේක් අයට අනාවැකි කියන්නෙ නෑ. අනිත් එක තමයි ජ්‍යොතිෂය කරන සමහරුත් ෆේක් විදියට හඳහන් යොමු කරනවා. ඔය වගේ කාරණා හින්දා සමහර ගෲප්වල ෆේක් අයට අනාවැකි කියන්නෙ නෑ. ඒ හින්දා ඇත්ත ෆොටෝ එකෙන් යන්න වෙනවා. ඒකෙන් තමයි අවදානම වැඩි වශයෙන් මතු වෙන්නෙ. 


හඳහන කියන්නෙ පෞද්ගලික දෙයක්. ඒ වගේම තමයි, තමන්ට විශ්වාසවන්ත එක ජ්‍යොතිෂවේදියෙක් හෝ දෙන්නෙක් තියාගන්න. තමන්ගෙ ජ්‍යොතිෂ උපදේශකවරයා තමන්ට හොඳටම විශ්වාසවන්ත අයෙක් විය යුතුමයි. ඔබේ පෞද්ගලිකත්වය අනාවරණය කරන්නෙ කාටද ඔහු හෝ ඇය විශ්වාසය තැබිය හැකි අයෙක් විය යුතුයි. එහෙම නොවුණොත් වෙන්නෙ දැනට තියෙන ගැටලු දෙගුණ තෙගුණ වීම පමණයි. 


අධම, අශිෂ්ට පුද්ගලයින් හැම ක්‍ෂේත්‍රයකම ඉන්නවා. ජ්‍යොතිෂ ක්‍ෂේත්‍රයේත් එහෙම අය ඉන්නවා. ඕනෑම වර්ගයක කෙනෙකුට ජනතාව සමඟ පහසුවෙන් සම්බන්ධ වීමේ ඉඩ කඩ අන්තර්ජාලය තුළ හැදිලා තියෙනව. මෙයින් මුහුණු පොත විශේෂයි. බොහෝ දෙනෙක් රැවටෙනවා. නොයෙක් ගැටළුවලට මුහුණ දෙනවා. ඒවායින් යම් ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් වුණත් බොහෝ දෙනෙක් ලැජ්ජාව හේතුවෙන් සියල්ල රහසේ විඳ දරාගන්නවා. නොරැවටී ඉන්න නම්, අමාරුවෙ නොවැටී ඉන්න නම් තමන්ගෙ පෞද්ගලිකත්වය රැකගන්න ඕනැ. තමන්ගෙ දුර්වලතා, ගැටළු ප්‍රසිද්ධියට පත් කරන්න හොඳ නෑ.


සංජීව කුළුපන බණ්ඩාර 



Monday, June 14, 2021

කාලය කියන්නෙ මායාවක්.

 



කාලය කියන්නෙ මායාවක්. වයසට යනව කියන්නෙ බොරුවක්. වසරක් කියල කියන්නෙ චින්තනයක්.  ආධ්‍යාත්මය කවදාවත් වියපත් වෙන්නෙ නෑ. එයට කාලයක් නෑ. වයසක් නෑ. අවසානයක් නෑ.


ඉවසීම, කරුණාව, සත්‍යවාදී බව,නිහතමානීකම, හොඳ හිත, සාමය, ආදරය කිසි දවසක වයසට යන්නෙ නෑ.අපි අපේ ජීවිත තුළ මේ ගුණාංග නොනවත්වා පවත්වාගෙන යනවා නම් ආධ්‍යාත්මික වශයෙන් අපි හැමදාමත් තරුණයි.


හැම මොහොතක්ම සතුටින් ගත කරන්න ඕනැ. සතුටු වීම පුරුද්දක් කරගන්න ඕනැ.සන්සුන් මනසක අස්වැන්න තමයි සතුට කියන්නෙ. සතුටු වෙන්න පුළුවන් ඕනෑම විදියකට සතුටු වෙන්න ඕනැ. ඒත් ඒ සතුට තුළ කාටවත් කරදරයක්, හානියක්, බාධාවක්, සිත් තැවුලක් ඇතිවෙන්න දෙන්න හොඳ නෑ. සතුට ලබන සෑම ක්‍රමයක්ම සර්ව සාධාරණ වෙන්න ඕනැ. 


මම වසර විසි ගණනක් ජ්‍යොතිෂය තුළ කටයුතු කළා. ජ්‍යොතිෂය ගැන ලිව්වා. ජ්‍යොතිෂය ගැන ලියපු හැම දෙයක්ම වගේ ලිව්වෙ ජ්‍යොතිෂය දන්නා අයට නෙමෙයි නොදන්නා අයට. කාලෙක ඉඳලා ජ්‍යොතිෂය ගැන ලියන එක ටිකක් අඩු වුණා. තවමත් ජ්‍යොතිෂවේදී භූමිකාව තුළ ඉන්නවා. ඒත්, ටික කාලයක ඉඳලා අධ්‍යාත්මික පැත්තට වැඩිපුර නැඹුරු වෙන්න පටන්ගත්තා. ඒක හරිම අපූරු පරිවර්තනයක්. භාවනා කරන්න පටන් ගත්තා කියල කියන්න කැමති නෑ. විශේෂ ඉරියව්වක ඉඳල කවදාවත් මම භාවනා කරලා නෑ. ජීවීතය භාවනාවක් කරගත්තා. දවසට කීප වතාවක් ලෝක සත්වයාට මෙත් වඩන්න පුරුදු වුණා. ආධ්‍යාත්මය එක්ක ගණුදෙනු කරන්න පටන් ගත්තා.  ජ්‍යොතිෂය ගැන ලියනවට වඩා හිත ගැන, මෛත්‍රිය ගැන ලියන්න පෙළඹුණා. 


මගේ ජ්‍යොතිෂයට, ගුප්ත ශාස්ත්‍රීය කටයුතුවලට ගුරුවරයෙක් නෑ. මම කාටවත් උගන්වලත් නෑ. මට උගන්වන්නත් බෑ. මේක මට ලොකු ප්‍රශ්නයක්. මේ ඇයි කියන එකත් මම ඇහුවෙ මගේ ආධ්‍යාත්මයෙන්. නින්ද නොනින්ද අතර කාලයේ මට බොහොම පැහැදිලිව පිළිතුර ලැබුණා. පන්සලකට යාබදව පිහිටි පැරණි පන්නයේ නිවසක්. මම ඒ නිවසට යනවා. නිවසෙ  මැද සාලයේ තියෙනවා වියන් ඇඳක්. ඔය ඇඳේ වාඩි වෙලා ඉන්න මගේ ගුරුතුමා මට ශාස්ත්‍රය කියල දෙනවා. ගුරුවරයා මුහුණ පුරා රැවුල වවාගත්තු වයස අවුරුදු පනහ හැට අතර පෙනුමක් තියෙන සන්සුන් කෙනෙක්. ඉගෙනගෙන ඉවර වෙලා ආපහු එනකොට වම් අත පැත්තෙ තියෙනවා විවෘත කාමරයක්. ඔය කාමරයෙත් තියෙනවා වියන් ඇඳක්. ඒ ඇඳේ වාඩි වෙලා ඉන්නවා ගුරුතුමාගෙ බිරිඳ. බොහොම ලාබාල පෙනුමක් තියෙන කෙනෙක්. ගුරුවරයගෙන් සමු අරන් ආපසු එන අතරෙදි ඇයගෙ ඇරයුමින් මම ඒ කාමරයට යනවා. දැඩි සමීප සම්බන්ධයක් ඇතිවෙන බව පෙන්වන සුළු සිදුවීමක් තමයි එතැනදි වෙන්නෙ. මම කාමරයෙන් ආපහු එළියට එන කොට ගුරුවරයා මුහුණට මුහුණ හමුවෙනවා. අඳුරු වාතාවරණයක් තිබුණෙ. ඒ අඳුරත් එක්ක ගුරුවරයා කිසිවක් නොදකින්න ඇති කියල මම හිතනවා. සිතුවිල්ල වැරදියි. ගුරුවරයා මගේ මුහුණ දිහා එක එල්ලේ බලාගෙන රවාගෙන ඉන්නවා. කෝපාන්විත පෙනුමක් තිබුණත් මට කිසිම දඬුවමක් කළේ නෑ. ප්‍රතික්ෂේප කළෙත් නෑ. යාබද සිද්ධස්ථානයේ මිදුලෙ ස්වාමින්වහන්සේ නමක් හා තවත් කීප දෙනෙක් සමඟ කෙරෙන සාකච්ඡාවකටත් ගුරුතුමා මාව සම්බන්ධ කරගන්නවා.  


හිතේ තිබුණු ගොඩක් ගැටලුවලට පිළිතුරු ඔන්න ඔය විදියට ලැබුණා. ගුරුවරයෙක් නොලැබෙන්න හේතුව, ගුරුවරයෙක් වෙන්න බැරි වුණු හේතුව විතරක් නෙමෙයි තවත් බොහෝ දේ දැකගත්තා.


හිත සන්සුන් කරගන්න. නිරවුල් කරගන්න. හිත එක්ක කතා කරන්න. ලෝක සත්වයාට මෙත් වඩන්න. හිතේ සමාධිය පවත්වාගන්න. තමන්ගෙ අධ්‍යාත්මය කෙරෙහි විශ්වාසය තියන්න. ප්‍රතිඵල අත්දැකීමෙන් අවබෝධ කරගත්තට පස්සෙ තමයි මේ විදියට කරන්න කියල කාලෙක ඉඳල කියන්න පටන්ගත්තෙ. මගේ ආශීර්වාදය ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ ආශීර්වාදය සෑම අවස්ථාවකදිම ඵල දරලා තියෙනව. මම ශාන්තිකර්ම කියලා කරන හැම දේකදිම අවසන් ප්‍රතිඵලය ලැබෙන්නෙ ආධ්‍යාත්මය තුළින් එන ආශීර්වාදයෙන්මයි. ඒක සත්‍යක්‍රියාවක්. 


මේ උදා වෙලා තියෙන්නෙ කාල විපත්ති සමයක්. වසංගත පැතිරෙනවා.ස්වභාවික විපත් ඇතිවෙනවා. ඔය අතරෙ නොයෙක් දෙනා පිල් බෙදිලා, කල්ලි කණ්ඩායම් හදාගෙන ගැටුම් කෝලාහල කරගන්න පෙළඹෙනවා. අනවශ්‍ය සංවාද ඇතිවෙලා ඒවා දුරදිග යනවා. හතුරො හදාගන්නවා. ඉදිරිය හරිම භයානකයි. හැමෝම කතාවට කියනවා පරිස්සම් වෙන්න කියලා. ඒ කියන්නෙ මේ වසංගතය හින්දා එහෙ මෙහෙ නොයා ගෙදරට වෙලා ඉන්න කියන එක. එහෙම පරිස්සම් වෙන්න ඕනැ. ඒ වගේම හිත පරිස්සම් කරගන්න ඕනැ. සිතුවිලි යහපත් වෙන්න ඕනැ. ස්වභාවික විපත්වලදී සත්තු බේරෙනවා. සුනාමිය වෙලාවෙ සත්තු ඉවත් වුණා. මහපොළව ඇසුරු කරගෙන ඉන්න හින්දා සත්තුන්ට දැනෙනවා වැඩියි. මිනිස්සුන්ටත් ඉස්සර දැනීම (Sense) තිබුණා.කරදර විපත් ගැන කලින් දැනුණා. ඒ අයත් ඒ කාලෙ හිටියෙ ස්වභාවධර්මය එක්ක. හිතේ ප්‍රශ්න තිබුණෙ නෑ. ජීවිත සංකීර්ණ වෙලා තිබුණෙ නෑ. ජීවිතය භාවනාවක් වගේ ගහකොළ එක්ක ගත කළා. වෙන්න  තියෙන දේවල් ස්වභාවධර්මය හෝ තමන්ගෙ හිත තමන්ට පෙන්නුවා. පෙර නිමිති විදියට සමහර දේවල් දැක්කා. සිහින මඟින් බොහෝ දේවල් පෙන්නුවා. ඒ දේවල් අද වෙන කොට මිථ්‍යාවන් බවට පත් වෙලා තියෙනව. හේතුව තමයි අද හිත්වල සාමයක්, සමාධියක්, නිරවුල් බවක්, විවේකයක් නෑ. ස්වභාවධර්මයෙනුත් ඈත් වෙලා. වෙන්න තියෙන දේ හිත හෝ ස්වභාවධර්මය පෙන්නලා දෙන්නෙ නෑ. ඉස්සර මිනිස්සුන්ට සිහිනෙන් පෙන්නන දේ හරි ගියාට දැන් අයට පේන්නෙ විකාර හීන. ඉස්සරහින් එන වාහනේ තමන්ව යට කරගෙන ගියත් දන්නෙ නෑ. ඒ තරමට හිතන්න දේවල් වැඩියි. වසංගතය නොතිබුණා නම් මේ පාර සාමාන්‍ය පෙළ ලියන ළමයි රෑ එකොළහට දොළහටත් එක්කෝ පන්තියක, එක්කෝ පාරෙ, එක්‌කෝ ටවුමෙ නැත්නම් බස් නැවතුම්පළේ.  පාසල් ළමයි ඕනෑම වෙලාවක දකින්න ලැබෙන තත්වයට පත් වුණා.  මහ රෑක ගමනක් ගියත් නිල ඇඳුමෙන් ඉන්න එක පාසල් ළමයෙක් හරි දකින්න ලැබෙන තත්වයක් ඇති වුණා. දරුවන්ටවත් ස්වභාවධර්මය සමඟ ඒකාත්මික වෙන්න අවස්ථාවක් දුන්නෙ නෑ. හොඳම හරිය එන්නෙ තව ඉස්සරහට. දීර්ඝ කාලීන දුර්භාග්‍යසම්පන්න කාලයක මුල් අදියරේ අපි තවම ඉන්නෙ. ඔය අතරෙ එතරම් භයානක නොවූ කාල සීමාවන් නැත්තෙ නෑ. නමුත් වඩාත් දරුණු, භයානක විපත්ති කාල සීමාවන්ට ඉදිරියෙදි මුහුණ දෙන්න වෙනවා.


හිත බොහොම ප්‍රභාශ්වරයි. පැහැදිලියි. පාරිශුද්ධයි. මේ හිත අවුල් වෙන්නෙ, කිළුටු වෙන්නෙ අපි ඇතුළට දාගන්න දේවල් හින්දයි. හිත කියන්නෙ පෞද්ගලික වස්තුවක් නෙමෙයි. නොයෙක් චින්තනයන් හදාගෙන අපි හිත පෞද්ගලික කරගෙන තියෙන්නෙ. "මම" කියන සංකල්පයෙන් මිදුණම මම සහ විශ්වය කියන්නෙ දෙකක් නෙමෙයි එකක්. හිත කිළුටු කරගන්න එපා. හිත ප්‍රභාශ්වරව තියාගන්න.


ජ්‍යොතිෂය කියන්නෙ වටිනා සාස්තරයක්. Sense නැති මේ කාලෙ ජ්‍යොතිෂය එදාටත් වඩා අද වටිනවා. ඒකෙන් ලැබෙන මඟ පෙන්වීම ජීවිතයට වැදගත් වෙනවා. නොයෙක් දෙනාගෙ භාවිතය විවිධයි. මගේ භාවිතය වෙනස්. තව අයගෙ තව විදියක්. ඒක ස්වාභාවිකයි. සාගරය තරම් ගැඹුරු විෂයක් එක එක්කෙනා අල්ලාගන්නා විදිය වෙනස් වෙනවා. වෙනස්කම් තිබුණත් එයින් ලැබෙන මඟ පෙන්වීම සුළු පටු නෑ.තමන්ට විශ්වාසවන්ත, හරි කෙනෙක්ගෙන් ඒ මඟ පෙන්වීම ලබාගන්න. ඒ වගේම විපත් කරදර, වාසි අවාසි, සිදුවීම් තමන්ටම දැනෙන, තමන්ගෙ හිත හෝ ස්වභාවධර්මය ඒ දේවල් තමන්ට කියන,පෙන්වන තත්වයට පත් වෙන්න. සන්සුන් වෙන්න. හිත නිරවුල් කරගන්න. විශ්වයට එකතුවෙන්න. 


සංජීව කුළුපන බණ්ඩාර 


Saturday, May 15, 2021

බෝධි පූජාවෙන් ලෙඩ සුව කළ හැකිද ?




සකල විධ ගහකොළ අතර ඇසතු වෘක්ෂය හෙවත් බෝ ගසට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. සුවහසක් බෞද්ධයෝ බෝධි පූජා පවත්වති. බෝධිය වටා පහන් දල්වමින්, බෝ මලුව සුවඳවත් කරමින්, බෝධිය පැනින් නහවමින් පිහිට අපේක්ෂා කරති. බෝධිය යනු බෞද්ධයාගේ සුවිශේෂ, පූජනීය ශාකයකි. සිද්ධාර්ථ  බෝධිසත්වයින්ට බුදු වීමේදී සෙවන සැලසූ බැවින් බෝධිය,බෝ ගස යනාදී වශයෙන් හැඳින්වූවද මෙය 'ඇසතු වෘක්ෂය' යි. බුදුන්ට සෙවන දුන් නිසාම බෝ ගස බෞද්ධයන්ට පූජනීය වස්තුවකි. මහත් ගුප්ත බලයක් ඇතැයි විශ්වාස කරමින් බෝධියෙහි කොඩි, පඬුරු ආදිය ගැටගසමින් පිහිට අපේක්ෂා කරන්නෝද බොහෝ ය. විශේෂයෙන් ලෙඩ දුක්වලදී බෝධි පූජා පවත්වමින් සුවය අපේක්ෂා කරන්නෝ බහුල ය.


ලෝකයේ පළමු බෝධි පූජාව ලෙස බුදුරජාණෙන් වහන්සේ කළ අනිමිස ලෝචන පූජාව සැලකිය හැකිය. බෝධි සත්ත්වයන් වහන්සේ ඇසතු බෝධි මූලයේ දී සියලු කෙළෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූහ. බුදු බව ලැබ දෙවන සතියේ දී බුද්ධත්වය සඳහා සෙවණ ලබාදී උපකාර කළ බෝධීන් වහන්සේට අනිමිස ලෝචන පුද පූජා පැවැත්වූහ. කළගුණ සැලකීම මෙන්ම බෝධි වන්දනාවට මුල් අඩිතාලම වැටෙන්නේද මෙයිනි. පසුව සැවැත්නුවර ආනන්ද බෝධිය රෝපණය කිරීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ වෙනුවට බෝධීන් වහන්සේට පූජා පැවැත්වීම ආරම්භ විය.


බෝධියෙන් පිහිට පැතීම වූ කලී හුදු භක්තිය මතම සිදු කරන්නා වූ චිත්තවේගී ක්‍රියාවලියක්ද ?


බුදු දහම වූ කලී එහි ආරම්භයේ සිටම තෝරාගත් සුවිශේෂ ගසකට ශුද්ධ බවක් ආරෝපණය කළ ආගමකි. බෝධිසත්වයන්  වහන්සේ හතළිස් තුන් වරක් වෘක්ෂ දේවතාවෙකු ලෙස ඉපදී ඇති බවක් ද සඳහන් වේ. සිද්ධාර්ථ කුමරු උපන්නේ ලුම්බිණි සල් උයනේය.සම්බුධත්වයට පත් වූයේ ඇසතු බෝ රුක මුලෙහිය. පරිනිර්වාණය උපවන්තන සල් උයනේය. බෝසතාණන් වහන්සේලා සියලු කල්හිම බුද්ධත්වය ලැබීම සඳහා තෝරාගත්තේ වෘක්ෂයකි. ඒ, වෘක්ෂ යනු ජීව ලෝකයේ මිනිසා හා සමීප මහත් සම්පතක් වූ බැවිනි. එමෙන්ම මිනිස් අවශ්‍යතා මනාව වටහාගන්නා සියුම් සංවේදීතාවයක් ඇති ජීව පද්ධතතියක් වූ නිසාය.


වෘක්ෂ වන්දනාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතී. ක්‍රිස්තු වර්ෂයට පෙර වසර හාරදහසේදීත් බැබිලෝනියාව හා මෙසපොටේමියාව (වර්තමාන ඉරාකය,ඉරානය) තුළ වෘක්ෂ වන්දනාව සිදු කර ඇති බව  සර් ජේම්ස් ෆ්‍රෙසර් (Sir James Frazer) නම් මානව විද්‍යාඥයා හෙළි කර ඇත. ඇතැම් මිසර හා ග්‍රීක දෙවිවරු වෘක්ෂ දේවතාවන් වූ බව ඔහු තම "ස්වර්ණ ශාකය" (The Golden Bough) කෘතියෙහි සඳහන් කර තිබේ. තවත් බොහෝ රටවල පුරාතනයේ වෘක්ෂ වන්දනාව සිදු කර ඇති බවට සාක්ෂි හමු වෙයි.


භෞතික ලෝකයේ පෙනෙන්නට තිබෙන සියලු ද්‍රව්‍යයන්හි මූලය වන්නේ පදාර්ථය නොව ශක්තියයි. අප සියල්ලෝද, ලොව ඇති සියලු දේද මහා ශක්ති ජාලයක කොටස් ය.එම ශක්තින් විවධ වේගයන්ට අනුව කම්පනය වීම හා විවධ ආකාරයෙන් සංයෝග වීම හේතුවන් විවධ හැඩරුව ගනියි. ගලක් සෑදී ඇත්තේ දැඩි පදාර්ථවලිනි. ජලය තුළ ඇත්තේ දැඩි නොවන ශක්තියකි. මෙම සියලු ශක්ති ආකාරවල අනොන්‍ය සම්බන්ධතවයක් පවතී. කිසියම් නිශ්චිත ගුණයකින් හා කම්පනයෙන් යුතු ශක්තියක් ඊට සමාන ගුණයෙන් හා කම්පනයෙන් යුතු ශක්තියක් ආකර්ෂණය කර ගැනීමට නැඹුරු වේ. සිතුවිලි හා හැඟීමද එසේය. වෘක්ෂයෝද යම් ශක්ති දාරාවක් දරා සිටිති. එම ශක්ති දාරාවට කිරණ ද ඇතුළත් ය. වෘක්ෂ මඟින්  විශ්ව ශක්තිය සහිත විශේෂ කිරණ නිකුත් කරන බවත්, මිනිස් සිතුවිලි වලට ප්‍රතිචාර දක්වන බවත් ලෝකය පුරා  කළ විවිධ පරීක්ෂණ හමුවේ සනාථ වී ඇත.  පත්‍ර වලින් ගහන වෘක්ෂයක් අවට මනා වාතාශ්‍රයක් පවතින බව වෘක්ෂ වන්දනාවට විරුද්ධ අය පවා පිළිගන්නා සත්‍යයකි.


මහත් ආදරයෙන් ගෞරවයෙන් පහන් දල්වමින්, සුගන්ධවත් කරමින්, පැන් වත්කරමින්, මල් පුදමින්,  පුද සත්කාර කරමින් අපේක්ෂා මතු කරන විට බෝධිය අප වෙත යහපත් ශක්ති කිරණ නිකුත් කරයි. සාමාන්‍යයෙන් බෝධිපූජාවක් පවත්වන දින ගණනක් පවතී. එනම් දින හතක්, දාහතරක්, විසි එකක් ආදී වශයෙනි. ඒ අනුව නිතර බෝධිය අසළට ගොස් පුද සත්කාර කරන විට බෝධිය බෝධිය හා අප අතර හඳුනාගැනීමක් සිදුවේ. ඒ අනුව යහපත් ශක්ති කිරණ නිකුත් කිරීම ක්‍රියාත්මක වේ. මිනිසා වටා රශ්මි කිරණක් (Aura) පවතින බව බොහෝ දෙනා දන්නා,පිළිගන්නා කාරණයකි. බෝධිය වටාද එවන් රශ්මි කිරණක් පවතී. වෙනත් වෘක්ෂ වටාද එසේය. බෝධිය අසළට නිතර ගොස් ආදර ගෞරවයෙන් යුතුව පුද සත්කාර කරන විට බෝධියේ රශ්මි මාලාව අපගේ ශරීර රශ්මි මාලාව හා මුසු වේ. රශ්මි මාලාව යනු ශක්ති පද්ධතියකි. දුරක සිටින රෝගියෙකු වෙනුවෙන් බෝධිය ඉදිරියේ සෙත් පැතීමේදී සිදුවන්නේ අපගේ සිතුවිලි කිරණ හා ශබ්ද තරංග බෝධියේ ශක්ති කිරණ හා මුසුව එම රෝගියා වෙත ගමන් කිරීමයි. බෝධිය සතු බලවත් ශක්ති කිරණ අප කරා ගෙන්වාගෙන රෝගී බව හේතුවෙන් මිය යමින් පවතින ශක්ති කිරණ පුබුදුවාලීමට බෝධිය අසල සිදු කරන පුද පිළිවෙත් මහත් රුකුලක් ලබා දෙයි.


ජනයාගේ පුද සත්කාර ලබන විට බෝධියක් ශක්තීන්ගෙන් පිරී යයි. දහස් ගණන් ලක්ෂ ගණන් ජන සත්කාරවලින් පුද ලබන බෝධීන් වෙත යොමු වන්නාවූ කිරණ තරංග ප්‍රමාණය අති විශාල ය. මහත් හාස්කම් ඇතැයි පවසමින් ඇතැම් ප්‍රසිද්ධ බෝධීන් වහන්සේලා වෙත බොහෝ දෙනා යොමු වන්නේ එබැවිනි. 


වැඳුම් පිදුම්වලට භාජනය වූ බුදු පිළිමයක් වූවද හුදු මැටි,බදාම ආදියෙන් සැදුනක්ම නොවේ. නොයෙක් ශක්ති කිරණ කැටි වූ වස්තුවකි. සුනාමි ව්‍යසනය අවස්ථාවේදී පමණක් නොව  නාය යාම්, ගංවතුර ගැලීම්, සුළි සුළං ආදී අවස්ථාවලදී පවා බුදු පිළිම සුරක්ෂිත වූ බව සියලු දෙනා දන්නා කරණයකි. සාලාව අවි ගබඩාව පුපුරා යාමෙන් අවට ගොඩනැගිලි සුන්බුන් වූ නමුත් කඳවුර භූමියේ පිහිටි බුදු පිළිම වහන්සේ අති විශ්මිත අයුරින් ආරක්ෂා විය.


ජෝන් පියරාකෝස් ( Jhon Pierrakos) විසින් රචිත The Energy Field in man and nature ග්‍රන්ථයෙහි සඳහන්ව ඇති ආකාරයට ඇතැම් වෘක්ෂ වටා ඇති ශක්ති පද්ධතිය විනාඩියට දහඅට වාරයක් විසි දෙවාරයක් අතර ස්පන්දන සංඛ්‍යාතයක් පෙන්වයි. මිනිස් ශරීරය වටා ඇති ශක්ති පද්ධතිය විනාඩියකට පහළොස් වරක් හා විසිපස් වරක් අතර වාර ගණනක් ස්පන්දනය වෙයි. සිතකින් තවත් සිතකට පණිවිඩ ගමන් කිරීමේදී එම පණිවිඩය යවන හා ලබන දෙදෙනාගේ ශක්ති පද්ධති එකම සංඛ්‍යාත ආයාමයකට ස්පන්දනය වීමට පටන්ගෙන දෙදෙනාම එක් අයෙක් වන ආකාරයට ක්‍රියාකරයි. එසේ නම් ගහකොළ හා අප අතර සංඛ්‍යාත ආයාමය සමාන වීම ඔවුනොවුන් අතර අධ්‍යාත්මික බැඳීමකට හේතු වෙයි. 


පියවි ඇසට නොපෙනෙන බලවේග ලෙඩ රෝග නිර්මාණය කරන අතර එම බලවේගවල පලායාම සිදුවන්නේ බෝධිපූජාව වැනි ආධ්‍යාත්මික ගණුදෙනුවලිනි. සමාධිගත සිතින් යුතුව, යහපත් වූ චේතනාවෙන් කරනු ලබන බෝධිපූජාවකින් ලැබෙන ගුණය, සෙත,ශාන්තිය මෙතැකැයි කිව නොහැක. බෝධිපූජාව පවත්වනු ලබන පුද්ගලයාගේ සිත සහ සිතුවිලි අනුව බෝධිපූජාවෙන් අපේක්ෂා කරන පිහිට,සෙත ලැබීමේ වේගය හා ප්‍රමාණය තීරණය වෙයි. බෝධිපූජාව යනු ලෙඩ රෝග සුව කරගැනීම සඳහා මෙන්ම මානසික පීඩා, අපල බලපෑම් දුරු කර ගැනීම සඳහා උපකාරී වන්නාවූ මහා ශාන්තිකර්මයකි.


සංජීව කුළුපන බණ්ඩාර

 077 7065760, 071 8875816




Monday, April 12, 2021

 


විවිධ ගැටලු කරදරවලින් පීඩා විඳින අය, නොයෙක් බලාපොරොත්තු ඉටු කරගන්න උත්සාහ දරමින් සිටින අය නිතර දෙවේලෙ කතා කරනවා. මුහුණු පොත ඔස්සේ සම්බන්ධ වන, අදහස් හුවමාරු කරගන්නා අයත් ඉන්නවා. ඔහොම කතා බහ කරන කොට මම ගොඩක් දෙනෙකුට කියන දෙයක් තමයි දවසේ පුංචි වෙලාවක් වෙන් කරගෙන පොඩි භාවනාවක් කරන්න කියන එක. ඔහොම කිව්වම සමහරු අහනවා මොන භාවනාවද කරන්න ඕනැ කියලා. ආනාපානසති භාවනාවද.. විපස්සනා භාවනාවද.. මෛත්රී භාවනාවද.. කරන්න හොඳ කියල අහනවා. භාවනා කරන්න කිව්වම ගොඩක් දෙනෙක් දන්නෙ, ගොඩක් දෙනෙකුට මතක් වෙන්නෙ මේ භාවනා විධි විතරයි.

බලන්න පාරෙ යන වාහන දිහා. සමහරු බොහොම සුඛෝපභෝගී වටිනා වාහන පදවගෙන යනවා. රියැදුරු අසුනෙ පිළිවෙලට ඉඳගෙන, ඉදිරිය බලාගෙන, බොහොම සංයමයෙන් වාහනය පදවාගෙන යනවා. හරියට භාවනාවක් වගේ. අපේ සමහර ත්රීවීල් සහෝදරවරු, ලොරි ටිපර් පදවන සමහර සහෝදරවරු එහෙම නෑ. ගෑණු ළමයෙක් දැක්කම හෝන් කරනවා. දිව දික්කරනවා. ගෑණු ළමයා අතුරු පාරකින් යනවා නම් ඒ දිහා බල බලා හෝන් කර කර වහනය පදවනවා. ඔහොම ගිහින් අමාරුවෙ වැටෙන අවස්ථාත් තියෙනවා. ඔන්න ඔය දෙවර්ගය ගැන අවදානය යොමු කරන්න. තමන්ගෙ අරමුණේ ඉඳගෙන, වටපිට දේවල් වැඩිය ඔලුවට ගන්නෙ නැතුව බොහොම ඒකාත්මිකව වාහනය පදවාගෙන යන බහුතරයක් මොන වගේ අයද... වටපිට දේවල් ගැනම අවදානය යොමු කරගෙන, කිසිම සංයමයක් නැතුව යන අය මොන වගේ, මොන තරාතිරමෙ අයද...සාර්ථකත්වය අතින් මේ දෙගොල්ලො ඉන්නෙ මොන වගේ තැනකද...
කරදරයකින් නිදහස් වෙන්න ඕනැ නම් හිතන්න ඕනැ කරදරය ගැන නෙමෙයි නිදහස ගැනයි. සුවය බලාපොරොත්තු වෙන කෙනා හිතන්න ඕනැ සුවය ගැන මිසක් අසනීපය ගැන නෙමෙයි. බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න තියෙනවා නම් මුළින්ම ඒක සිත තුළ ඉෂ්ට කරගන්න ඕනැ. රජෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා රජෙක් වගේ හිතන්න ඕනැනෙ. මේක භාවනාවක්. තමන්ගෙ අරමුණත් එක්ක ඒකාත්මික වීම භාවනාවක්. ඔනෑම දෙයක් සැබෑ ලෝකය තුළ ඉෂ්ට කරගන්න කලින් සිත තුළ ඉෂ්ට කරගෙන සතුටට පත් වෙන්න ඕනැ. ඒ සතුට භුක්තිවිඳින්න ඕනැ. ඒ සතුටත් එක්ක මොහොතක් හෝ ගතකරන්න ඕනෑ. ඒකට විශේෂ තැනක්, විශේෂ ඉරියව්වක්, විශේෂ ඇඳුමක් ඕනැ නෑ. හැබැයි සන්සුන් මනසක් තියෙන්න ඕනැ. ඕක තමයි මම කරන්න කියන භාවනාව.

සංජීව කුළුපන බණ්ඩාර

ඔබ සැමට කඩවර දෙවියන්ගේ පිහිට ලැබේවා.

 යෝධ කළුගලක් සිත සනසාලන බුදු රුවක් බවට පත් කළ, වසර දහස් ගණනක් පුරා කෙත් වතු අස්වද්දන්නට සුවිසල් කලාවැව නිර්මාණය කළ පින්වත් බරණ නම් වූ විශ්ව කර්මයාටත්, අදටත් අපේ කුස පුරවන පින්බර කලාවැව දිවි හිමියෙන් රැකගත් සෙනෙවිරත්න මුල් කඩවර දෙවි හාමුදුරුවන්ටත් පින් දීමට,

ඔවුන් දස්කම් විස්කම් පෑ භූමියට අපි නැවතත් ගියෙමු.
කලාවැව ගමන වෙනුවෙන් කවදත් අනුග්රහය දක්වන, ආධ්යාත්මික කටයුතුවලට හදවතින්ම දායකත්වය සපයන වෙනුර මහත්මාටත්, ලලිත් සහ රුක්ෂාන් මහත්වරුන්ටත්, මුහුණු පොත ඔස්සේ සම්බන්ධ වන ඔබටත් සෙනෙවිරත්න කඩවර දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.