Monday, July 30, 2018

චන්ද්‍රග්‍රහණයෙන් දින කීපයකට පසු සූර්යග්‍රහණයක්.


2018 අගෝස්තු මස 11 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 03. 17 ට අර්ධ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිතය. සූර්යග්‍රහණය සිදුවන්නේ සඳුට අයත් කටක රාශියේ ය. ඒ වන විට ගුරු හිමි ධනු ලග්නයත් අස්ලිස නැකතේ තෙවැනි පාදයත් උදා වී පවතියි.
මීට පෙර ජූලි මාසයේ 13 වෙනිදා අර්ධ සූර්යග්‍රහණයක් සිදුවුණු අතර එම මාසයේම 28 වෙනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවිය. ඉන් දින කීපයකට පසු සිදුවන මෙම අර්ධ සූර්යග්‍රහණය ජ්‍යොතිෂයට අනුව ඉතාමත් වැදගත් සිදුවීමකි. 
සූර්යග්‍රහණයක් යනු හිරු චන්ද්‍රයාගෙන් ආවරණය වීමයි. හිරු චන්ද්‍රයාගෙන් පූර්ණ වශයෙන් ආවරණය වීම පූර්ණ සූර්යග්‍රහණයක් ලෙසත්, අර්ධ වශයෙන් ආවරණය වීම අර්ධ සූර්යග්‍රහණයක් ලෙසත් හැඳින්වේ. සූර්යග්‍රහණ සිදුවන්නේ අමාවක දිනවලදී ය. අගෝස්තු 11වෙනිදාද අමාවක දිනයකි.
වසරේ අවසන් ග්‍රහණය වන මෙම අර්ධ සූර්යග්‍රණය හේතුවෙන් නොවැම්බර් මස මැද භාගය තෙක් කාලය තුළ භූමි කම්පා, මුහුදු අනතුරු, සුළි සුළං ආදී විපත් පිලිබඳව ලෝකයේ නොයෙක් දෙසින් වාර්තා වනු ඇත.
කුම්භ ලග්නය හිමි ලංකා කේන්දරයට අනුව මෙම සූර්යග්‍රහණය සිදුවන්නේ හය වෙනි භාවයේ ය. බොහෝ දෙනා රටේ ආරක්ෂාව පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කරනු ඇත.
වසංගත රෝග පීඩා පැතිරී යාම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතව පීඩාවට පත්වේ. ඒ අතර සෞක්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතුද වරින්වර අඩාල වේ.
වැසි රහිත කාලගුණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු අඩාල වන අතර ජලය නොමැතිකම හේතුවෙන් ජනතාවද පීඩාවට පත්වනු ඇත.
මුහුදු අනතුරු සිදුවීමේ ඉඩකඩ පවතින බැවින් ධීවර ප්‍රජාව හා නාවික කටයුතුවල නියැලෙන පිරිස් සැළකිලිමත් විය යුතුය.
ආගමික නායකයින්ට අපල බලපෑම් එල්ල වන අතර ආගමික ගැටුම් ඇතිවීමේ ඉඩකඩ ද පවතියි.
කාන්තාවන්ට කරදර බහුල වේ. ප්‍රබල කාන්තාවකට මාරක අපලයක් එල්ල වේ.
මෙවර සූර්යග්‍රහණය සිදුවන කටක රාශියට සප්තමව නොවැම්බර් මස 6 වෙනිදා තෙක් කුජ ග්‍රහයා මකර රාශියේ ගමන් කරන බැවින් ග්‍රහණයේ අසුබ බලපෑම් වඩාත් වර්ධනය වේ.
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
සංජීව කුළුපන බණ්ඩාර

Monday, July 16, 2018

සතට සෙත සලසන මතු බුදු වන නාථ දෙවියෝ.

නාථ දෙවියන් තුසිත නම් දෙව්ලොව වැඩ වසන බවත් මතු භවයක කේතුමතී නම් නුවර උපත ලබා, එම රාජධානියේ චක්‍රවර්ති රජුගේ අග්‍ර පුරෝහිත ලෙස බ්‍රාහ්මණයෙකුට දාව ඉපදී ලෞකික සැප සම්පත් හැර දමා බුද්ධත්වයට පත් වන බවත්, දස දහසක් සක්වල දෙව් බඹුන්ගේ සාධු නාදය මැද තුන් ලොව වෙව්ළවා ධර්මය දේශනා කර නිවන් දොරටු විවර කරන බවත් නාථ දේව කන්නලව්වේ සඳහන් වේ.
බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ උපශාන්ත දෙවිකෙනෙක් වන නාථ දෙවියන් උදෙසා කැප වූ දේවාල බොහොමයක් ලංකාවේ නොයෙක් ප්‍රදේශවල තිබුණු බව ඉතිහාසයේ සඳහන් වෙයි. තිසර, ගිරා, කොවුල් ආදී සංදේශ කාව්‍යයන්හි ද නාථ දෙවියන් පිළිබඳව සඳහන් වෙයි. ලංකා සම්බුද්ධ ශාසනයට හා රජුට නාථ දෙවියන්ගේ රැකවරණය හා ආශීර්වාදය ලබාදීම සඳහා තොටගමුවේ සිරි රාහුල හිමියන් වෙත ජයවර්ධනපුර කෝට්ටේ සිට යැවෙන හසුනක් ලෙස ගිරා සංදේශය සැළකේ.
පුරාණ රජවරුන් තම රාජ්‍යයන් සුරක්ෂිත කරගැනීම සඳහා නාථ දෙවියන්ගේ පිහිට අපේක්ෂා කළ බව කියැවේ. මහනුවර ප්‍රදේශයේ නාථ දේවාල කීපයක්ම පවතී. තොටගමුව, වේගිරිය, පස්ගම, උරුලෑවත්ත, මහනුවර, බෙල්ලන්විල ආදී සිද්ධස්ථානයන්හි ද නාථ දේවල ඇත. මහනුවර ශ්‍රී දළදා පෙරහැරට අනතුරුව ගමන් කරන්නේ නාථ දේවාල පෙරහැරයි.

ශ්‍රී නාථ දේව කන්නලව්ව

සාධු සාධු සාධු
දොහොත් මුදුන් තබා වඳිමින් දෙපා නමැද වඳිමින් හුරු අත් නුහුරු කර වඳිමින් නුහුරු අත් හුරු කර වඳිමින් සැලකර සිටින්නේ සුභ්‍ර වර්ණ කීර්ති ධාරාවෙන් බැබලි බැබලී මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයෙන් තුසිතපුර ශීල සමාධීව වැඩ සිටීම අනාථනාථ වූ නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ! ඔබ වහන්සේට මෛත්‍රියෙන් කරුණාවෙන් ආරාධනා කර කියා සිටින කන්නලව්ව කරුණාවට ගෙන බලා වදාරා මොවුන්ගේ සකලාරිෂ්ට නිවාරණය පිණිස සෙත් ශාන්ති කර ශුභ මංගල්‍යයකට වරන් දී වැඩවදාරණ සේක්වා.
තවද මතු මෛත්‍රී බුදු බවට පෙරුම් පුරාගෙන දස බෝධි සම්භාරයකින් පළමුවැනි වන්නා වූ දස පාරමී ධර්මයන් පුරන්නා වූ උතුම් වූ බුද්ධාංකුර නාථ දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස ! ශාන්ත ශ්‍රීයෙන් දස දිගත ඒකාලෝක කරමින් තුන් තල සත්වයින්ගේ දුක්ඛාන්ධකාර උත්තුංග දිව නෙතින් බලා මෛත්‍රී කරුණා ලෝකයෙන් විධ්වංශනය කරවා අනේක දිව්‍ය විලාස ශ්‍රීයෙන් තුසිතපුර එකලු කර වැඩ වසන ඔබ දෙවි හමුදුරුවාණන් වහන්සේට නමස්කාරයෙන් කියා සිටින කන්නලව්ව කරුණාවට ගෙන මෙවැනි මේ පංචස්කන්ධයන්ට වැද පැමිණියා වූ දෝෂාන්ධාකර දුරින්ම දුර හැර අභිමතාර්ථ සාධනයෙන් සන්තුෂ්ටියට පත්කර දෙන සේක්වා.
තවද එන මෙත්තේ මතු නාග ශ්‍රී බෝධියට පිටදී අසූඅට රියන් බුදු බඳකින් ලීලෝපේතව හිරු දහසකින් සඳු දහසකින් ඝනාන්ධාකර මැඩලන්නා සේ ත්‍රිවිධ ලෝකය ආලෝකමත් කර අවිද්‍යා ඝනාන්ධාකර මැඩ හරිමින් දස දහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මයින්ගේ ස්තුති පූජා සාධුකාර මධ්‍යයේ තුන්ලොව වෙව්ළවා ධර්ම දේශනා කර නිවන් පුර අගුලු හැර ලන්නාවූ ශ්‍රීමත් අනාථනාථ නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ! මෙසේ සැලකර සිටින කන්නලව්ව ඔබවහන්සේගේ දිව කනට ඇසී දිව නෙතට පෙනී මොවුන් වෙතින් සිතා සැලකර සිටින සකල කාර්යයන් සත්තයෙන්ම සඵල කර දී වදාරණ සේක්වා.
තවද අනාගතයේදී කේතුමතී නම් රාජධානියේ ප්‍රාදුර්භූතව අනේක බල වික්‍රමයෙන් බලයට පත් වන සංඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බ්‍රාහ්මණයාණන්ට ජාතකව අජීන කුමාර යන නමකින් ප්‍රසිද්ධව වැඩිවියට පැමිණ ලෞකික සම්පත් අලුයම කෙලපිඬක් සේ සලකා සසර අභිනව ලොව්තුරා බුද්ධත්වයට පැමිණ තුන්ලොවට මහා මංගල්‍යයක් කරන අසරණ සරණ උතුම් වූ නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ! මොවුන් වෙනුවෙන් සැලකර සිටින කන්නලව්ව දිව්‍ය කරුණාවට ගෙන මෙකී පංචස්කන්ධයන්ට වැදී වැළඳී
එන්නා වූ රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යැයි යන නවග්‍රහයින්ගෙන් පැමිණියා වූ ග්‍රහ දෝෂාන්ධාකරද හැන්දෑ මධ්‍යම අලුයම් කියන්නා වූ තුන් සමයන් අධිපතිව සිටින සර්ව යකුන් යක්ෂණියන්ගෙන් වැද පැමිණියා වූ දෝෂාන්ධකාරද මල ගෙවල භූත ප්‍රේත පිශාචාදීන්ගෙන් වැද පැමිණියා වූ දෝෂාන්ධකාරද ඇස්වහකින් කටවහකින් හිත්වහකින් වැද පැමිණියා වූ දෝෂාන්ධකාරද වාතෙන් පිතෙන් ශ්ලේෂ්මාවෙන් කියන්නා වූ තුන් දෝෂයන්ගෙන් පැමිණියා වූ දෝෂාන්ධකාරද මෙකී නොකී සකල දෝෂාන්ධකාරම ඔබ දෙවියන් වහන්සේගේ දිව්‍ය තේජානුභාවයෙන් අද මෙවේලේ පටන්ම දුරු කර දී බෝවා කාලයක් ආයුරක්ෂාකර දී වදාරණ සේක්වායි පිනට පිහිට වෙනවයි පින් ගන්නවයි ඔබ කීර්ති පස්වාන් දහසක් ආයු බොහෝ වේවා !


Tuesday, July 10, 2018

කුජ මකර රැසේ වක්‍ර වීම සුබ නෑ.


2018. 11. 06 තෙක් කාලය තුළ ප්‍රවේශම් වන්න.
අගෝස්තු 28 වෙනිදා තෙක් කාලය තුළ විශේෂයෙන් ප්‍රවේශම් වන්න.
කුජ හෙවත් අඟහරු 2018. 05. 02 වෙනිදා තම උච්ච භවන වූ මකර රාශියට ගමන් කළා. 2018. 11. 06 වෙනිදා තෙක් කුජ මකර රාශියේ කල් ගෙවනවා. පසුගිය ජූනි මස 28 වෙනිදා පටන් කුජ වක්‍ර ගමන ආරම්භ කළා. අගෝස්තු 28 වෙනිදා තෙක් කුජ වක්‍ර ගමනේ යෙදෙනවා. 
2018. 11. 06 තෙක් කාලය තුළ අනතුරු, ප්‍රචණ්ඩ ක්‍රියා බහුල වෙනවා. නොයෙක් ආකාරයේ ඛේදනීය පුවත් අසන්නට ලැබෙනවා. අගෝස්තු 28 වෙනිදා තෙක් කාලය තුළ අවදානම වඩාත් තදින් බලපැවැත්වෙනවා. මෙම කාලය තුළ ගමන් බිමන්වල යෙදෙන, රිය පදවන සියලු දෙනා ඉතාමත් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වෙනවා. ආවේගශීලී බව හේතුවෙන් ගැටුම්, කෝලාහල සිදු විය හැකි බැවින් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. දෙමාපියන් තම දියණියන් ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
මෙම කාලය තුළ මනුෂ්‍ය ඝාතන, මාර්ග අනතුරු, කපා කොටාගැනීම්, සිය දිවි නසාගැනීම්, ස්ත්‍රී දුෂණ බහුල බහුල වෙනවා.
මනුෂ්‍යයා වියරුවෙන් ක්‍රියා කරන, අනතුරු  බහුල මෙවන් කාලයක ආරක්ෂාව සඳහා ගත යුතු හොඳම ක්‍රියා මාර්ගය ධජග්ග පිරිත සංගායනා කිරීම හා සිහි කිරීමයි. අනතුරු විපත් ආදියෙන් ආරක්ෂාව උදා කරමින්, බිය තැතිගැන්ම පලවා හරින මහඟු බලයක් ධජග්ග පිරිතෙහි ගැබ්ව තිබේ. ඊට උදාහරණ ඕනෑ තරම් ඉදිරිපත් කරන්න පුළුවන්.
යුද්ධය දරුණු විධියට පැවතුණු කාලෙ නැගෙනහිර පළාතේ වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් ත්‍රස්තවාදීන් දෙදෙනෙක්ගෙ ග්‍රහණයට හසු වුණා. ත්‍රස්තවාදීන් දෙන්නා හාමුදුරුවන්ව පෙරටු කරගෙන මහා වනාන්තරය මැද්දෙන් යනවා. එක පාරටම මහා ගෙරවිලි සද්දයක් ඇහිලා හාමුදුරුවො පිටිපස්ස හැරිලා බැලුවා. විශාල වලසෙක් ත්‍රස්තවාදීන් දෙන්නා දිහාවට කඩා පැනලා. ඒ දෙන්නා මරු විකල්ලෙන් වලසා සමග පොරකන අතරෙ හාමුදුරුවො වනාන්තරය අතරින් ගම්මානෙකට වැඩියා. ඒ කාලෙ මේ ප්‍රවෘත්තිය පුවත්පත්වල පල වුණා. කිසිම බේරුමක් නැති බව තේරුම් ගත්තු හාමුදුරුවො ඒ මොහොතෙ කළේ ධජග්ග පිරිත සිහි කිරීම විතරයි කියල උන් වහන්සේ සඳහන් කරලා තිබුණා.
දීඝවාපී සෑයේ පිළිසකර කටයුතු කරන අවස්ථාවක ස්වාමීන් වහන්සේ නමක් සෑයෙ උඩ ඉඳලා පහළට වැටිල තියෙනවා. උන්වහන්සේ ඒ මොහොතේ දජග්ග පිරිත සිහි කරලා තියෙනවා. කිසිම අනතුරක් වෙලා නෑ. මේ විස්තරය අටුවා ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන බව ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනයකදි සඳහන් කළා.
ගැටළු කරදර වලින් පීඩාවට පත් වුණු බොහෝ පිරිසක් මා හමුවෙන්න එනවා. ධජග්ග පිරිත සංගායනා කරන්න කියලා මම ඒ අයටත් කියනවා. එයින් සෙතක් ශාන්තියක් අත් වුණු බව ඒ අයත් දැනුම් දෙනවා. ඒවා එකින් එක සඳහන් කරන්න ගියොත් ලිපිය දීර්ඝ කාලයක් පුරා කොටස් වශයෙන් ඉදිරිපත් කරන්න වෙනවා.
එක්තරා කාන්තාවක් සතුරු බලපෑමක් හින්දා ලොකු මානසික පීඩනයකට ලක් වෙලා හිටියා.අසල්වැසි සතුරෙක් දිනපතාම වගේ ගේ ඉස්සරහට ඇවිත් අසභ්‍ය වචනයෙන් බැනවදිනවා. මා හමුවෙලා ඇයගෙ කරදර ගැන කිව්වට පස්සෙ මම කිව්වා පොල් තෙල් බෝතලයකට අබ තෙල් ටිකක් දාලා ඒ තෙල් බෝතලය මේසයක් උඩ තියාගෙන ධජග්ග පිරිත 108 වාරයක් කියන්න කියලා. ඊට පස්සෙ ඒ තෙල් වලින් බුදු පහන දල්වන්න කිව්වා. මේ කාන්තාව මම කියපු විදියටම කළා. පහන දල්වන්න පටන් අරගෙන සති දෙකයි ගත වුණේ අර බැන බැන හිටපු මනුස්සයා ආගිය අතක් හොයාගන්න බැරි වුණා.
අද කාලයේ ගොඩක් දෙනෙකුට පිරිත්  කියන්න වෙලාවක් නෑ. ගොඩක් දෙනෙක් කරන්නෙ ගුවන්විදුලියෙන් ප්‍රචාරය කරන පිරිත දාගෙන නිදාගන්න එක. දිනපතා හවස් වරුවේ පිරිතක් සංගායනා කිරීමෙන් ලැබෙන ප්‍රතිපල ගුවන්විදුලි යන්ත්‍රයෙන් විකාශය කරන පිරිතෙන් ලබන්න බෑ. ඒක තාක්ෂණය හරහා කෙරෙන වැඩක්. ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ඉදිරියේදී ඉදිරිපත් කරනවා.
සෑම පිරිත් පොතකම ධජග්ග පිරිත සඳහන් වෙනවා. දිනපතා අපහසු නම් සතියකට දින දෙක තුනක් හෝ වෙන් කරගෙන හවස් වරුවේ හඳුන්කූරු කීපයක් දල්වලා වටපිටාව සුවඳවත් කරගෙන ධජග්ග පිරිත වරක්, තුන් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් සංගායනා කරන්න.  එළි වෙනව, රෑ වෙනව නොදැනෙන තරමට මිළ මුදල් පස්සේ දුවන අතරෙ පුංචි වෙලාවක් ඒ දේට කැප කරන්න. ප්‍රතිපල ඒකාන්ත වශයෙන්ම ලැබෙනවා.

Sunday, July 1, 2018

වෘශ්චික ලග්න හිමියෝ.



ආදරය හින්දා විඳවන, ආදරයම ජීවිතය කරගත්තු, ආදරය වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගන්නා වෘශ්චික ලග්න හිමියන් අනන්ත ඉන්නවා. ආදරය හින්දා වැඩි පුරම කඳුළු සලන්නේ වෘශ්චික ලග්න හිමියන් යැයි කීවොත් එහි වැරැද්දක් නැහැ. වසර විසි ගණනක ජ්‍යොතිෂ සේවාව තුළදී හමුවූ, විරහ වේදනාව උරුම කරගත් හා ආදරය හේතුවෙන් නොයෙක් ගැටළුවලට මුහුණ පෑ අය අතරින් වැඩිම පිරිස වෘශ්චික ලග්න හිමියන් බව පැවසිය යුතුයි.
වෘශ්චික ලග්න හිමියන් වඩාත් හැඟුම්බර වන්නේ ඇයි ?
වෘශ්චික රාශියට හිමිව තිබෙන්නේ විශ්ව කේන්දරයේ අට වෙනි භාවයයි. ජල හෙවත් ආපෝ ත්‍රිත්වයේ ස්ථිර රාශිය වන්නේ වෘශ්චික රාශිය යි.කුජ හෙවත් අඟහරුගේ රාත්‍රී රාශියයි. වෘශ්චික රාශිය සත්ව ශරීරයේ රහස් ප්‍රදේශය නියෝජනය කරනවා. රාශියේ සංකේතය ගෝනුස්සා යි. සිතුවිළි හා සම්බන්ධ රාශි තුනෙන් දෙවෙනි රාශිය වූ වෘශ්චිකය වැව්, පොකුණු වැනි වෙන් වූ ජලාශයන්ට සමාන කොට දක්වනවා. ඊට හේතුව වෘශ්චික රාශියේ උපදින සිතුවිළි හැම විටම කිසියම් එක් කාරණයක් අරභයා ක්‍රියාත්මක වීමයි. ආදරය කිරීමේදී අන් හැම දේටම වඩා ආදරය ගැන සිතමින් ආදරය ජීවිතය කරගැනීම වෘශ්චික ලග්න හිමියන්ගේ සිරිත වෙනවා. රෑ දහවල්, අව්ව වැස්ස, කෑම බීම ගැන නොබලා ආදරය කරනවා. මේ හින්දාම ආදරය වෙනුවෙන් කඳුළු සැලීමට සිදුවන අවස්ථාත් උදා වෙනවා.
තම සුපෙම්බර ආදරවන්තයා තවත් කාන්තාවකට පෙම් කරන බව දැනගත් ඇය තම අතේ මැණික් කටුව අසළ කපා ගත්තාය. ඒ වේල්සයේ රෝස කුසුම යි.  1961 ජූලි මස පළමු වෙනිදා වෘශ්චික රාශියෙන් එංගලන්තයේ උපන් ඩයනා කුමරිය යි. ආදරය වෙනුවෙන් ඉතාමත් දැඩි තීරණ ගන්නා කාන්තාවන් මෙන්ම පුරුෂයින් ද අපේ රටෙත් ඕනැ තරම් ඉන්නවා. එයින් බහුතරය වෘශ්චික ලග්න හිමියන් බව ජ්‍යොතිෂවේදීන් අත්දැකීමෙන් දන්නවා.
ආදරය වෙනුවෙන් පමණක් නොවෙයි තම සිතුවිළි ක්‍රියාත්මක වන්නේ කුමන කාර්යයක් අරභයාද එය තම ජීවිතය කරගැනීම වෘශ්චික ලග්න හිමියන්ගේ ස්වභාවය වෙනවා. ඊට කදිම උදාහරණ දෙකක් අපේ රටේ මෑත ඉතිහාසයෙන් ලබාගන්න පුළුවන්. ඒ, 1943 ජූලි මස 14 වෙනිදා මාතරදී  උපන් රෝහණ විජේවීර හා 1954 නොවැම්බර් මස 26 වෙනිදා වැල්වැටිතුරේදී උපන් වේලුපිල්ලේ ප්‍රභාකරන් යන දෙදෙනායි. වෘශ්චික ලග්නයෙන් උපන් මොවුන් විප්ලවය ජීවිතය කරගත්තා පමණක් නොවෙයි ඒ හේතුවෙන්ම ජීවිත ද අහිමි කරගත්තා. ලෝක ඉතිහාසය තුළ අපට හමුවන ව්ලැඩිමියර් ලෙනින්, බෙනිටෝ මුසොලිනි, තියඩෝර් රුස්‌වෙල්ට්‌ යන්නවුන් වෘශ්චික ලග්නයෙන් උපන් සුවිශේෂී චරිත ලෙස දක්වන්න පුළුවන්. මොවුන් එක් සුවිශේෂ අරමුණකට බැස ඒ ඔස්සේම ගමන් කළවුන් වෙනවා. මීට හේතුව වෘශ්චිකය සිතුවිළි හා සම්බන්ධ රාශියක් මෙන්ම ස්ථිර ගුණයෙන් යුතු රාශියක්ද වීමයි. තම සිතුවිළි එක් කාරණයක් උදෙසාම වෙන් කරගෙන ඒ ඔස්සේම නොවෙනස්ව ගමන් කිරීම එහි ස්වභාවය යි.