Wednesday, September 27, 2023

අග්නි මාරුත යෝගය.

 



ග්‍රහ යෝග ගණනින් මෙපමණයැ යි කිව නොහැක. මේ, අනන්ත යෝග අතරින් එකක් වූ "අග්නි මාරුත" යෝගය හෙවත් ශනි මංගල යෝගය ගැන යි. කුජ හා ශනි එක්ව උදා කරනු ලබන අග්නි මාරුත යෝගය බහුලව හැඳින්වෙන්නේ ශනි මංගල යෝගය ලෙස යි. නැති නම් කුජ ශනි යෝගය ලෙස යි. නම කෙසේ වෙතත් යෝගය උදා වන්නේ කුජ හා ශනි ග්‍රහයින් දෙදෙනා ගෙනි.  ගින්න හා සුළඟ එක් වීම මොන තරම්  අනතුරුදායකදැ යි කෙනෙකු සිතන්නට ඉඩ තිබේ. ජ්‍යොතිෂය තුළ මෙම යෝගය සැළකෙන්නේ මහත් ශක්තියක් උත්පාදනය කෙරෙන ග්‍රහ සංයෝගයක් ලෙස යි. ඒ ගින්න හා සුළඟ එක් වූවා මෙනි. යෝගයේ ශක්තිය ඉෂ්ට ඵල ලබා දෙන්නේද, අනිෂ්ට ඵල ලබා දෙන්නේද යන්න තීරණය වන්නේ එය යෙදුණු ස්ථානය අනුව ය. අග්නි මාරුත යෝගය උදා වන්නේ කුජ හා ශනි එකම භාවයක තැන්පත් වීමෙන් හෝ අනොන්‍ය දෘෂ්ටියට ලක් වීමෙනි. 


මෙහිදී විග්‍රහ කෙරෙන්නේ කුජ ශනි එකම භාවයක සිටීමෙන් යෙදෙන අග්නි මාරුත යෝගයේ බලපෑම ගැන යි.


කුමන යෝගයක් වූව ද එය යෙදුණු පමණින් ඉෂ්ට හෝ අනිෂ්ට ඵල උදා කරනවායැ යි පැවසීම යුක්ති සහගත නොවේ. එය තවත් බොහෝ සාධක මත රැඳී පවතියි.


අග්නි මාරුත යෝගය කේන්දරයේ ඒ ඒ ස්ථානවල සටහන් වීම ජන්මියාට බලපාන ආකාරය මෙසේ ය.


1. පළමු භාවය : පළමු භාවය හෙවත් ලග්න භාවය කේන්දරයක ඉතාමත් වැදගත් ස්ථානයකි. මෙම භාවයේ ශක්තිය තමන්ට මෙන්ම විවාහ ස්ථානය වූ හත් වැන්නට ද බලපාන බැවින් ලග්න භාවය තුළ සටහන්ව පවතින කවර යෝගයක් වූව ද අති විශේෂ වෙයි.

පළමු භාවයේ අග්නි මාරුත යෝගය යෙදීම ජන්මියා පසුබට නොවන, ධෛර්යවන්ත තත්වයට පත් කරන යෝගයකි. උත්සාහය අත නොහැර තම ඉලක්ක වෙත ගමන් කිරීමේ හැකියාව ලබා දෙයි. පාලන කටයුතුවලට විශේෂයෙන් හමුදා, බන්ධනාගාර, බුද්ධි අංශ, අපරාධ මර්දන අංශ ආදී ක්‍ෂේත්‍රවලට ඉහළ දක්ෂතාවය ඇති කරවන පිහිටීම කි. කෙසේ වෙතත් පළමු භාවයේ යෙදෙන මෙම යෝගය හේතුවෙන් ජන්මියා ඉක්මනින් කෝපයට පත් කරවන බව ද මතක තබා ගත යුතුය.  එමෙන්ම මෙහි බලපෑම විවාහයට  ඉතාමත් අහිතකර ආකාරයට බලපෑම් එල්ල කළ හැකියි. විවාහ ජීවිතයේ සතුට සමගිය කඩා බිඳ දැමිය හැකි යෝගයකි.


2.දෙවැනි භාවය: දෙවැනි භාවය සම්බන්ධයෙන් බොහෝ විට අසන්නට ලැබෙන්නෙ එකම ආකාරයේ කරුණු ය. මෙය ධනය වස්තුව ගැන ප්‍රකාශවත් වන ස්ථානය වූව ද එම ලැබෙන සියලු දේ සමඟ ජන්මියාගේ හැඟීම් ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගත හැකි ස්ථානය යි. ජන්මියෙකුගේ කතාව මතුපිටින් පැමිණෙන්නක් නොව ඇතුළාන්තයෙන් පැමිණෙන්නකි. දෙවැන්නෙන් තම පවුලේ සුරක්ෂිතතාවය ප්‍රකාශවත් වන්නේ ද මෙය ඇතුළාන්තය සමඟ සමීප ස්ථානයක් බැවිනි.

අග්නි මාරුත යෝගය දෙවැන්නේ යෙදීමෙන් ජන්මියා තමන්ට ලැබෙන දේවල්වලින් පහසුවෙන් තෘප්තිමත් භාවයට පත් නොවන තත්වයට පත් වෙයි. මොවුන්ගේ ආශාවන් අන්‍යයන්ට තේරුම් ගැනීම පහසු නොවේ. තම සමීපතමයන් සමඟ කටයුතු කිරීමේදී සිත් පෑරෙන ආකාරයේ ගොරෝසු ස්වභාවයක් ඇති වෙයි. විවාහ පාර්ශවයේ ඥාතීන් සමඟ ගැටුම් ඝට්ටන ඇති විය හැකි තත්වයකි. ද්‍රව්‍යමය දේවල් මනාව ආරක්ෂා කර ගත හැකි වන නමුත් පවුලේ සතුට සමාදානය රැක ගැනීම දුෂ්කර විය හැක.


3. තුන්වැනි භාවය: අග්නි මාරුත යෝගයට ගැළපෙන ස්ථානයකි. නොපසුබටව ඉදිරියට යාමේ ශක්තිය හිමි වෙයි. යම් උත්සාහයක් වරක් දෙවරක් අසාර්ථක වූවද අත නොහැර ඉදිරියට යාමේ ශක්තිය හිමි කර දෙන යෝගය කි. ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විශේෂ බලකා, කමාන්ඩෝ සෙබළුන්, අණ දෙන නිලධාරීන් සටන් කරුවන්, සටන් නළුවන්, රහස් පරීක්ෂකයින් ආදීන්ට අගනා ඵල ලබා දෙන කදිම පිහිටීම කි. මෙය සහජ ස්ථානය බැවින් කුමන වාතාවරණයක් යටතේ වූව ද ඉදිරියට හඹා යාමේ හැකියාව උපතින්ම හිමි වේ. ක්‍රීඩා කටයුතුවලදී ඉහළ දක්ෂතා පෙන්නුම් කිරීමට අවස්ථා උදා කරයි.  

සහෝදර සම්බන්ධතාවලදී ගැටළු මතු වීමට ඉඩ කඩ පවතී.

පාතාල ක්‍රියාවල නියැලෙන්නෙකු නම් අති ශූර පාතාලයෙක් බවට පත් වෙයි.


4. සිව්වැනි භාවය: සිව්වැනි භාවයෙන් ප්‍රකාශවත් වන්නේ ජන්මියාගේ ඇතුළාන්තය යි. හදවතේ ස්වභාවය යි. සිසිලස මෘදු බව පැවතිය යුතු තැනක අග්නි මාරුත යෝගයෙන් යහපත් ඵලයක් අත් නොවේ. මෙමගින් පමණට වඩා දැඩි ස්වභාවයත්  අනුකම්පා විරහිත බවත් ඇති වෙයි. ජීවිතයේ යම් කාල සීමාවක් ලෞකික අතින් සාර්ථකව ගත කිරීමට හැකියාව ලැබුණ ද එය කල් පවත්වා ගැනීමට අපහසු වෙයි. ගෙදරදොර සැනසිලිදායක තත්වය වරින් වර බිඳ වැටෙයි. ජීවිතයේ අවසාන කාලය දුකක් කරදරයක් නොමැතිව නිදහසේ සුවසේ ගත කළ යුතු වූවද මෙම යෝගය හේතුවෙන් එම තත්වය මඟ හැරේ. අවසන් කාලය තුළ දුක් කරදර මානසික පීඩා ඇති වෙයි. තමන් ආශාවෙන් රැකගත් දේපළ ගේදොර ආදී වටිනා දේ අන්‍යයන් අතට පත් වීමට ඉඩ කඩ ඇති කරන පිහිටීමකි. 

පපුව ආශ්‍රිත සංකීර්ණ අසනීප විශේෂයෙන් හෘද රෝග පිලිබඳ අවදානමක් ද මෙමගින් ඇති වෙයි.


5. පස්වැනි භාවය: මෙය අශ්වාදයේ නිවහන යි. සතුට ඇති කරන තැන යි. කරන කියන කටයුතුවලින් ජන්මියා ලබන ආත්ම තෘප්තිය කෙබඳුදැ යි හෙළි කරන භාවය යි. සතුට ආත්ම තෘප්තිය වෙනුවෙන් ජන්මියාගේ ක්‍රියා කලාපය මොන වගේද යන්න ප්‍රකාශවත් වන ස්ථානය යි.  අග්නි මාරුත යෝගය පස්වැන්නේ පිහිටි ජන්මීන්ට ක්‍රීඩාවලින් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වෙයි. ත්‍රාසජනක ක්‍රීඩා, කඳු නැගීම්, මල්ලව පොර, සටන් ක්‍රම, අසුන් පිට යාම, ගුවන් ක්‍රීඩා විශේෂයෙන් යෝග්‍ය වෙයි. හදිසි දුෂ්කර අවස්ථාවන්හිදී කඩිසරව කටයුතු කිරීමේ හැකියාව ලබා දෙයි. ගංවතුර, නාය යාම් වැනි ආපදා අවස්ථාවලදී නොබියව ඉදිරියට යාමේ ශක්තිය මොවුන් සතු වෙයි.

දුෂ්කර අවදානම් කටයුතුවලට නොපැකිළිව ඉදිරිපත් වීම මොවුන්ගේ සහජ සිරිතක් වූව ද එය පොදු සමාජය වෙනුවෙන් ද තම පෞද්ගලික ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් ද යන්න තීරණය වන්නේ සෙසු ග්‍රහ පිහිටීම් අනුව ය.


6. හයවැනි භාවය: මෙම භාවය බන්ධන ස්ථානය කි. ජන්මියා මුහුණ දෙන බාධක අභියෝග, සතුරු බලපෑම්  හා ඒවා ජයගන්නා ආකාරය හයවැනි භාවය හෙළිදරවු කරයි. තමන් තමා කෙරෙහි දක්වන සැළකිල්ල කෙබඳුදැ යි ප්‍රකාශවත් වන්නේ ද හයවැනි භාවයෙනි.  හයවැනි භාවය තුළින් ප්‍රකාශවත් වන තවත් වැදගත් කාරණයක් නම් සාංසාරික ණය ගෙවන ආකාරය යි. අග්නි මාරුත යෝගය ඉතාමත් හොඳින් ගැළපෙන ස්ථානයකි. බාධක අභියෝග සතුරු බලපෑම් සියල්ලට ඔරොත්තු දීමේ ශක්තිය ජන්මියාට සහජයෙන් හිමි කර දෙයි. දුෂ්කරතා මධ්‍යයේ වූව ද දැඩි කැපවීමෙන් කටුතු කිරීමේ හැකියාව මෙන්ම තම මානසික, ශාරීරික  සෞක්‍යය රැක ගනිමින් නිරෝගී සම්පන්න ජීවිතයක්‌ ගත කිරීමේ භාග්‍යය ද උදා වෙයි.


7. හත්වැනි භාවය: අග්නි මාරුත යෝගයේ අනිෂ්ට, අහිතකර බලපෑම් ඉතාමත් දැඩිව බලපාන ස්ථානයකි. පළමු භාවය තමන් නියෝජනය කරන අතර හත්වැන්න නියෝජනය කරන්නේ අනෙකා ය. අනෙකා කවුරුන්ද, අනෙකා ජීවීතයට එල්ල කරන බලපෑම් කෙබඳුද ආදී වශයෙන් හත් වැනි භාවය ඉතාමත් වැදගත් තොරතුරු රාශියක් හෙළිදරව් කරයි. යුග දිවිය, ජීවන සම්බන්ධතා, සහයෝගීතාවයන් සියල්ලට අනුකම්පා විරහිතව වින කටින පිහිටීමකි.  විවාහය ප්‍රමාද වීම, නොගැළපීම් සහිත විවාහයක් උරුම වීම, යුග දිවියේ සතුට සැනසීම බිඳ වැටීම, විවාහය හේතුවෙන් දැඩි මානසික පීඩාවන් ඇතිවීම ආදී වාතාවරණයන් උදා විය හැකිය. අනපේක්ෂිත දුෂ්කරතා ඇති කරවන ආකාරයේ බැඳීම් ඇති වීමටත්, සමීප වන ඇතැම් චරිත හේතුවෙන් ගැටළු කරදරවලට මුහුණ දීමටත් සිදු විය හැකිය. 


8.අටවැනි භාවය: කේන්දරයේ අභිරහස් නිවස අටවැනි භාවයයි. එය බොහෝ විට හැඳින්වෙන්නේ මාරක ස්ථානය ලෙස ය. මිනිසා උපදින්නේ අතරමගදී ය. ඉපදුනාය මැරුණාය කියා ගමන අවසන් නොවේ. එක් අතකින් අවසානයක් ගැන කියැවෙන අතරම  ආරම්භයක් ගැන ද කියයි. මරණය යනු අවසානයක් නොවේ. එය ආරම්භයක් ද වෙයි. ඒ අනුව අටවැන්න පරිවර්තනීය ස්ථානයකි. පරිවර්තනය සඳහා ධෛර්ය හා ඔරොත්තු දීමේ ශක්තිය අවශ්‍ය වෙයි. අටවැන්නේ වූ අග්නි මාරුත යෝගය ජන්මියා ධෛර්යවන්ත, ඔරොත්තු දීමේ ශක්තියෙන් යුතු තත්වයට පත් කරයි.  මරණය පෙනි පෙනී වූවද නොබියව ක්‍රියාත්මක වීමේ හැකියාව මෙයින් ලැබෙයි. මොවුන් එඩිතරය. 

කාන්තා කේන්දරයක අටවැන්නේ යෙදෙන අග්නි මාරුත යෝගය ස්වාමි පුරුෂයාට අපල විපත් එල්ල කිරීමට ඉඩ කඩ තිබේ.


9.නවවැනි භාවය: මෙය කේන්දරයේ පුණ්‍ය භූමිය යි. දිව්‍ය භවන යි. දෙවියන් සෙවිය යුත්තේ පිටත නොව ඇතුළාන්තය තුළ ය. ඒ සඳහා වූ අධ්‍යාත්මික ශක්තිය කෙබඳුදැ යි පැවසෙන්නේ නවවැනි භාවය තුළින් ය. නවවැන්නේ යෙදෙන අග්නි මාරුත යෝගය ජන්මියාගේ අධ්‍යාත්මික නැඹුරුව හීන කරවන අතර මතුපිටින් වූ ආගමික භක්තිය පමණක් විදහා දක්වයි. පන්සලට ගොඩ වැදුණු පාතාලයා මෙනි. ඇතුළාන්තයේ වූ උපායශීලී අශුද්ධ අරමුණු, සැලසුම් සියල්ල මතුපිටින්  වූ ආගමික භක්තියෙන් වැසී පවතී. ගුරුවර වැඩිහිටි ආදීන් කෙරෙහි ඇති විය යුතු භක්තිය හා ගරුත්වය හීන වෙයි. ඇතැම් විට එය ද මතුපිටින් පමණක් පෙනෙන්නට ඉඩ තිබේ. උරුම හිමිකම් සම්බන්ධයෙන් ගැටළු කරදර ඇති වුණ ද කුමනාකාරයෙන් හෝ යමක් තමන් සතු කර ගැනීමට හැකි වෙයි.


10. දසවැනි භාවය:  සිව්වැන්නෙන් ඇතුළාන්තය ගැන කියැවෙන අතර ඊට මුහුණලා පිහිටි දසවැන්නෙන් භාහිර ජීවිතය ගැන කියැවෙයි. භාහිර ජීවිතය තනිකරම ක්‍රියාන්විතයකි. අරගලයකි. කප්පරක් වැඩ කටයුතුවල යෙදෙන්නට සිදු වෙයි. රැකියාවක යෙදිය යුතුය. නැති නම් ව්‍යාපාරයක් කළ යුතුය. ජයග්‍රහණය සඳහා ද,  දියුණුව හා සාර්ථකත්වය සඳහාද, අන්‍යයන් වෙනුවෙන් ද වෙහෙසිය යුතු ය. මෙම අරගලය තුළ කැප වීමෙන් කටයුතු කිරීමේ ශක්තිය අග්නි මාරුත යෝගය ජන්මියා වෙත ලබා දෙයි. තමන් නියැලෙන ක්‍ෂේත්‍රය තුළ වෙහෙස නොබලා කටයුතු කිරීමේ හැකියාව ලබා දෙයි. යෙදෙන කාර්යය තුළ තම භූමිකාවට ඉහළ සාධාරණයක් ඉටු කරලීම සඳහා අගනා දායකත්වයක් ජන්මියාට හිමි කර දෙයි.


11.එකොළොස්වැනි භාවය: මෙය ලාභස්ථානය හෙවත්  අයස්ථානය යි. ලැබෙන තැන යි. පස්වැනි භාවයෙන් ආශ්වාදය, ආත්ම තෘප්තිය හෙළි කරන අතර ඊට ඉදිරියෙන් පිහිටි එකොළොස්වැනි භාවයෙන් පෙන්වන්නේ ආශ්වාදනය සඳහා වන ලැබීම් ය. ඒ සඳහා වන අවස්ථාවන්ගේ ලැබීම ද එකොළොස්වැන්නෙන් හෙළි වෙයි (අවස්ථාව යනු ද ලැබීමකි). එකොළොස්වැන්නේ යෙදුණු අග්නි මාරුත යෝගය ජන්මියාගේ ලැබීම් විකෘති කරවයි.  කැමති දේ, රුචි දේ මඟ හරවමින් විඳිය නොහැකි, ආශ්වාදනය කළ නොහැකි දේ ලබා දෙයි. රුචිකත්වයට අදාල ලැබීමේ  අවස්ථා මඟ හරවයි. පිරිස සීමා කරයි. නොගැළපෙන සමාජ සම්බන්ධතා ගොඩනංවයි. 


12.දොළොස්වැනි භාවය: මෙය හැඳින්වෙන්නේ වැයස්ථානය ලෙසයි.  බන්ධන මුදාහරින තැනයි. ගැඹුරු විඥානයට සම්බන්ධ ස්ථානය යි. පෙනෙන පුද්ගලයා නොව නොපෙනෙන පුද්ගලයා පිළිබඳව හෙළි කරන භාවය යි. බොහෝ දෙනෙකුගේ වැරදි අර්ථකථනයන්ට ලක් වුණු භාවයකි. 

දොළොස්වැනි භාවයට අග්නි මාරුත යෝගය අයහපත් වෙයි. අරමුණක් ඉටු කරගැනීමේදී අනපේක්ෂිත බාධා හේතුවෙන් අතරමඟ නතර කිරීමට හෝ වෙනස් කිරීමට සිදු වෙයි. රැකියා කටයුතු ආදිය ද බලාපොරොත්තු නොවූ පරිදි වෙනස් කිරීමට සිදු විය හැකියි. මානසික ශාන්තභාවය අසමතුලිත වෙයි.   මානුෂික පරිත්‍යාග සසර ගමනේදී අතිශයින් වැදගත් වන නමුත් මෙමගින් ඒ සඳහා වන පෙළඹීම හීන වෙයි. එසේ නැතහොත් එය පූර්ණ පරිත්‍යාගයක් ලෙස අවසන් කර ගැනීමට නොහැකි වෙයි. මානසික සෞක්‍යයට අසුබදායක තත්වයකි. වැරදි කල්පනාවන් ඇති විය හැකියි.


සංජීව කුළුපන බණ්ඩාර