Friday, July 14, 2023

 


හරෝ හරා...   හරෝ හරා...   හරෝ හරා... 


ඒ සූර්යයා වෙනුවෙන් හඬ නගා කෙරෙන ප්‍රීති ඝෝෂාවකි. හරෝ හරා යැයි කියූ සැනින් අපගේ මතකයට නැඟෙන්නේ කතරගම ය. පතර තෙද ඇති කතරගම දෙවියන්ය. එහෙත් හරෝ හරා යැයි හඬ නගන්නේ සූර්යයා වෙනුවෙන්ය. ඒ කතාව මෙසේය.

හෙළයේ දෙවිවරු ප්‍රබන්ධිත දෙවිවරු නොවේ. ඔවුන් යම් කලෙක මහා බලපරාක්‍රමයෙන් යුතු රජවරු ය. වීරෝධාර සෙන්පතියන්ය. ජනහිතකාමී යුක්තිගරුක මිනිසුන්ය. කතරගම දෙවියන්ද එක් සමයක හෙළයේ නරපතියෙකි. කතරගම කන්දේ රාජ මාළිගයක උපන් රජ දරුවෙකි. මහා සේනාවන්ගෙන් යුතු එඩිතර නරපතියෙකි. වැව් අමුණු තනා කුඹුරු අස්වද්දා හෙළය ස්වයංපෝෂිත කළ පාලකයෙකි. හෙළ රාජධානියට අමතරව භාරතයේද රාජධානි පහක බලය සතු කරගෙන විජය කොඩි ලෙලවූ රජෙකි. අංගම් ශිල්පයේ කෙලපැමිණියෙකි. එතුමන් නමින් මහාසේන හෙවත් මහසෙන් ය. පසු කාලයේ කන්දේ කුමාර හෙවත් කතරගම දෙවියන් බවට පත් වන්නේ ඒ හෙළ නරපතියා ය. මහසෙන් දෙවියන් ලෙස හැඳින්වෙන්නේද කතරගම දෙවියන්ම ය. මේ කියැවෙන්නේ මින්නේරිය වැව ඉදි කළ මහසෙන් රජු ගැන නොවන බව අවබෝධ කර ගත යුතුය.  රාවන රජු පාලනය කළ රාජ්‍යයන් දහය මුහුණු දහයකින් නිරූපණය වනවා මෙන්ම කතරගම දෙවියන්ගේ මුහුණු හයෙන් නිරූපණය වන්නේ මහසෙන් රජු පාලනය කළ රාජධානි හය යි. 

මහසෙන් රජු  ද රාවන රජු මෙන් හිරු දෙවියන් පිදූ රජෙකි. ඔවුහු සමකාලීන රජවරු ය. ඔවුන්ගේ කිරීට, සිංහාසන, කුඩ කොඩි සේසත්වල  පවා මූලික සංකේතයක් වූයේ හිරු ය. හරෝ හරා යනු හිරු දෙවියන්ට ද, හිරු දෙවියන් පිදූ හෙළ රජවරුන්ට ද  ජය ඝෝෂා නැඟීම සඳහා භාවිතා කරන ලද ප්‍රීති වාක්‍යයකි. 

ඇතැමුන් සිතන පරිදි කතරගම දෙවියන් වූ කලී ද්‍රවිඩ දෙවියෙකි. ඒ ස්කන්ද නම ව්‍යවහාර කෙරෙන බැවිනි. කාලයාගේ ඇවෑමෙන් හෙළ දේවතාවන්, දේවතාවියන් බොහොමයක් ද්‍රවිඩ දෙවි දේවතාවියන් බවට පත්ව තිබීම කණගාටුදායකය.


සංජීව කුළුපන බණ්ඩාර