Thursday, November 9, 2023

භූත ආත්ම සමඟ සන්නිවේදනය ට භාෂාවක් උවමනා ද?

 


භූත ආත්ම සමඟ සන්නිවේදනය ට භාෂාවක් උවමනා ද?


මේ කාන්තාව කාලයක් වරමක් හිමිව සිටි අයෙක්. සාස්තර කීම, අසනීප වුණු අයට ප්‍රතිකාර කිරීම වගේ දේවල් කරගෙන ගිහින් තිබුණා. හදිසියේ මතු වුණු ගැටලුවකදී එය තමන්ට විසඳාගැනීමට නොහැකිව ඇය වෙනත් ඇදුරෙක් හමුවට ගිහින් තියෙනවා. එතැනදි ඇදුරා මේ කාන්තාවගෙ ඥාතියා හිර කරලා. එතැන් පටන් මේ කාන්තාව රෝගී තත්වයට පත් වුණා. ඥාතියා ශරීරයට ආවත් ඇදුරාගේ බන්ධනය හින්දා හරියට යමක් කියාගන්න බෑ. එක්තරා අවස්ථාවකදි මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මගෙන් ඉල්ලීමක් කළා මේ ගැටළුව විසඳලා බිරිඳ සුවපත් කරලා දෙන්න කියල. 


ශාන්තිකර්මය කරන දවස. හවස් යාමයේ සියල්ල ලෑස්ති කරගෙන මල් ආසනය සකස් කරගෙන වැඩ කටයුතු කරගෙන යනවා.ඒ අතරතුර රාත්‍රියේ එක්වරම මේ කාන්තාව දණ ගාගෙන වැඳගෙන මල් ආසනය දිහාවට එනවා.  ඇවිත් බොහොම ආයාචනාත්මකව  නමුත් බොහොම සද්දෙන් කතා කරන්න පටන්ගත්තා. 

"මාව එලවන්න එපා...බන්ධනය කපලා නිදහස් කරන්න..මම යන්න කැමති නෑ. මම කලින් හිටියා වගේම මේ අයත් එක්ක ඉන්නවා. මාව එලවන්න හදන්න එපා..."

"මට පුලුවන්ද ඔය බන්ධනේ කපන්න ?" මම එහෙම ඇහුවෙ මොකද කියන්නෙ කියල බලන්න.

"ඔබවහන්සෙට පුළුවන්" 

"මොකෙන්ද මම ඕක කපන්න ඕනැ ?"

"කාලි මන්තරෙකින් කපන්න ඕනැ"

"හරි...කාලිගෙන්ද කාගෙන්ද කියන එක අදාල නෑ. මම සුදුසු විදියට වැඩේ කරන්නම්...එතකල් සද්ද නැතුව ඉන්න." (මොකද, බන්ධනය කපන්න මට මන්තරයක් අවශ්‍ය නෑ)


හොඳමයි කියල ඥාතියා ශරීරයෙන් පිට වුණා. කාන්තාවගේ පවුලේ අයගෙ අදහස වුණේ කරදරයක් නැතුව ඉන්නවා නම් බන්ධනෙන් නිදහස් කරලා ඥාතියාට ඉන්න හරින්න කියන එකයි. ඒ මොහොතේ ඥාතියා කාන්තාව හරහා කළ ප්‍රකාශය එතරම් සංවේදියි. නමුත් හොඳම සුදුසුම පිළිවෙත ඥාතියා බන්ධනයෙන් නිදහස් කරනවා මෙන්ම මේ කාන්තාවගෙන්ද ඉවත් කිරීම බව මම අවබෝධ කරගෙන හිටියා.


සන්නිවේදනය හා සම්බන්ධ වැදගත්ම අවස්ථාව තමයි මේ.  පසුදා අලුයම. ප්‍රේත තටුව කැප කරන්න සූදානම් වෙන අවස්ථාව.  කාන්තාව සහ පවුලේ සියලු දෙනා මා අසළට වෙලා බලාගෙන ඉන්නව. මේ වෙලාවෙ මම වචන භාවිතා කරන්නෙ නෑ. සිතුවිලි සන්නිවේදනය පමණයි සිද්ද වෙන්නෙ. වෙන්න ඕනැ සියලු දේ සිතුවිලි හරහා මම ඥාතියාට දැනුම් දුන්නා. වඩාත් හොඳම දේ නිදහස් වෙලා යන එක මිසක් තව දුරටත් ඔය තත්වයෙන් ඉන්න එක නෙමෙයි. ඔහොම ඉන්න ගියොත් කල්ප කාලාන්තරයක් ඔය විදියට ඉන්න වෙයි. කාවවත් අල්ලාගෙන ඉන්න එපා. අල්ලාගැනීම කියන්නෙ දුකක්. ඒ හින්දා අතඅරින්න. 

"චූටෝ මට ඔය සුරුට්ටුව පත්තු කරලා ගනින්..." කාන්තාව කිව්වා. 

කාන්තාවගේ ස්වාමිපුරුෂයා ප්‍රේත තටුවෙ තිබුණු සුරුට්ටුව පත්තු කරලා කාන්තාව අතට දුන්නා. ඇය සුරුට්ටුව දෙතුන් පාරක් තදින් උරලා විසිකළා. අනතුරුව බොහොම හැඟීම්බරව, දීර්ඝ කතාවක් ආරම්භ කරන ආකාරයට ඥාතියා කතා කරන්න පටන් ගත්තා. තමන් මෙපමණ වර්ෂ මාස දින ගණනක් මේ කාන්තාව ඇසුරේ ඇගේ පවුලේ උදවියට උපකාර කරමින් සිටි බවත්, අනපේක්ෂිතව සිර වුණු බන්ධනයෙන් නිදහස් වුණු බවත් පැවසුවා. එමෙන්ම, තව දුරටත් කිසිවකට බැඳී කටයුතු කිරීමට අදහසක් නොමැති බවත්, ඥාති කාන්තාව අතහැර කුසල් වැඩිය හැකි ස්ථානයකට(ප්‍රසිද්ධ සිද්ධස්ථානයක නම සඳහන් කරමින්) යන බවත්, නැවත කිසිදා නොපැමිණෙන බවත් සඳහන් කළා. මා සිතුවිලි හරහා සන්නිවේදනය කළ සියලු දේ ඉතාමත් හොඳින් පිළිගත් ආකාරය බලන්න. ඒ අමනුස්ස ආත්මය තුළ පෙර දින රාත්‍රියේ පැවතී තෘෂ්ණාව අලුයම වන විට තුරන්ව ගිය ආකාරය බලන්න. කාන්තාවගේ සැමියා ඇතුළු පවුලේ සාමාජිකයින් කඳුළු සලමින් කතාවට සවන් දෙමින් ඉන්නවා. කතාව අවසන් කර මොහොතක් නිහඬව සිටි ඥාතියා මාගේ විදානයට අනුව කාන්තාවගේ ශරීරයෙන් ඉවත් වුණා. ඇද වැටුණු කාන්තාව අසල සිටි අය අල්වා ගත්තා. ඥාතියා සිර වුණු දා පටන් ඇගේ ශරීරයේ තිබුණු දැඩි අපහසුතාවන්, පීඩාවන් ඒ මොහොතේම නැති වෙලා ගියා.

මේ  අමනුස්සයා එහෙමත් නැත්නම් ඥාතියා වුණේ  කාන්තාවගෙ සැමියාගේ පියා. ඔහු බාල පුතාට සුරතලයට කතා කරලා තියෙන්නෙ චූටා කියල. මේ ඥාතියා අංශභාගය හේතුවෙන් කාලයක් එක්තැන් වී ඉඳලා තියෙනවා. ඒ කාලෙ පවුලෙ කවුරුවත් ඔහුට බුලත්විට,සුරුට්ටු වගේ දේවල් දීලා නෑ. චූටා තමයි  අනිත් අයට හොරෙන් සුරුට්ටුවක් දල්වලා දීලා තියෙන්නෙ. ඒ කාලෙත් සුරුට්ටුවක් ඕනැ වුණාම "චූටෝ සුරුට්ටුවක් පත්තු කරලා දීපන්" කියල ඔය විදියටම කියනවලු.


ඉතින් මේ සිදුවීමත් එක්ක විශේෂයෙන් කිව යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි  ආධ්‍යාත්මික ලෝකය තුළ භාෂවකින් වැඩක් නෑ කියන කාරණය. භාෂාවක් අවශ්‍ය වෙන්නෙ භෞතික ලෝකයට විතරයි. ආධ්‍යාත්මික තලයේදී සන්නිවේදනය සිද්ද වෙන්නෙ සිතුවිලි හරහා පමණයි.


මේ වැඩේ ඇදුරෙක් කරන්නෙ ඔය විදියට නෙමෙයි. ඇදුරෙකුට, එහෙමත් නැත්නම් කවුරුත් දන්නා පරිදි කට්ටඬි මහත්තයෙකුට යාදිනි,කන්නලව්,කවි, බෙර, කුකුල්ලු, නැටුම් ආදී නොයෙක් අංග එක්ක ලොකු තොවිලයක් කරන්න සිද්ද වෙන්න පුළුවන්. නමුත් අධ්‍යාත්මික තලයේ කෙනෙකුට පිරිපහදු කරගත් සිතෙන් ඒ කියන්නෙ සමාධියෙන් සියල්ල නිවැරදිව කරන්න පුළුවන්  ප්‍රේත තටුව වුවත් නොදී අමනුස්සයෙක් ඉවත් කරන්න පුළුවන්. නමුත් අපේ සංස්කෘතියට අනුව වගේම මනුෂ්‍යත්වය අනුවත්   කිසිවෙකුට නොසළකා ඉවත් කිරීම සදාචාරසම්පන්න නෑ. ඔවුන්ට දෙන දානයක්, සංග්‍රහයක් විදියට ප්‍රේත තටුවක් පිරිනමනවා.


යක්ෂ,ප්‍රේත,බහිරව බලවේග සමග පමණක් නෙමෙයි දෙවි දේවතාවුන් සමඟ සන්නිවේදනයටත් ස්තෝත්‍ර,කවච,කවි,යාදිනි අවශ්‍ය නෑ. අවශ්‍ය වෙන්නෙ සමාධිය පමණයි.


සංජීව කුළුපන බණ්ඩාර.