හිට්ලර්


            හිට්ලර් ගැන නොදන්නා කෙනෙක් නෑ. ඒ,ලෝකයම තමන් යටතට ගැනීමේ උමතුවෙන් පෙළුණු   දරුණු ඒකාධිපතියෙක්. එවන් සාහසික ආඥාදායකයෙක් මෙතෙක් බිහි වෙලා නෑ.
             
         ආචාර්ය ගොබෙල්ස් තමයි හිට්ලර්ගෙ සියලු මාධ්‍ය කටයුතු කළේ. මේ ගොබෙල්ස් ට හිටියා ජ්‍යොතිර්වේදියෙක්. ඒ ජ්‍යොතිර්වේදියා ගේ නම 'කාල් අර්න්ස්ට් ක්‍රාෆ්ට්.'  මේ ජ්‍යොතිර්වේදියා ගේ සේවය ලබාගත්තේ ගොබෙල්ස් පමණක් නෙමෙයි. හිට්ලර්ගෙ සමීප නිලධාරීන් කීප දෙනෙකුම ක්‍රාෆ්ට් ගේ සේවාදායකයෝ වුණා.  ස්විට්සර්ලන්තයේ උපන් ක්‍රාෆ්ට් ගණිතය පිලිබඳ උපාධිධාරියෙක්.  අති දක්ෂ ජ්‍යොතිර්වේදියෙක්. ඔහුගේ සියලු පුරෝකථන සැබෑ  වුණා.  1939 අග භාගයේදී තවත් ලෝක යුද්ධයක් ජර්මනියට පැමිණෙන බව ඔහු 1933 දි පැවසුවා.  ඒ කාලයේ ප්ලූටෝ ග්‍රහයා අදාල කරගෙන අනාවැකි පැවසූ ජ්‍යොතිෂවේදීන් අතර ක්‍රාෆ්ට් පෙරමුණේ හිටියා. හිට්ලර්ලා ගැන ලියූ බොහෝ දෙනා ක්‍රාෆ්ට් ගැන සඳහන් කරලා තියෙන්නෙ හිට්ලර්ගෙ ජ්‍යොතිෂවේදියා ලෙසයි.

        හිට්ලර්ලා ක්‍රාෆ්ට්ලා කියපු කරපු දේවල් බොහොමයක් කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් හමාරයි. මේ හදන්නේ ඒ ආඥාදායක හිට්ලර් ගැන ඔහුගේ ජන්ම පත්‍රය තුළින් කියවීමට යි. ඒ,අපිට පුරුදු අපේ ජ්‍යොතිෂයට අනුවයි.

      හිට්ලර් උපන්නේ ඕස්ට්‍රියාවේ දීයි. ඒ 1889 අප්‍රේල් 20 වෙනිදායි. උපන් වේලාව දැක්වෙන්නේ සවස 6. 30 ලෙසයි. ඒ අනුව හිට්ලර් කන්‍යා ලග්න හිමියෙ ක්. පුවසල නැකතේ ප්‍රථම පාදය. සිකුරු මහ දශාව උපතේ පටන් අවුරුදු 19 ක් ඉදිරියට තිබුණා.

        සියලු ග්‍රහයින් භාව තුනක තැන්පත් වීම 'ශූල යෝගය' යි.මෙහිදී රාහු,කේතු ගණන් නොගැනේ. හිට්ලර්ගේ ජන්ම පත්‍රයේ ගුරු,සඳු තෙවැනි භාවයේය. රවි,බුධ,කුජ, සිකුරු අට වෙනි භාවයේය. ශනි එකොළොස් වෙනි භාවයේය. එහෙම නම් සියලු ග්‍රහයෝ භාව තුනක ය. ඒ,ශූල යෝගයයි. ශූල යෝගයේ ප්‍රතිඵල මෙහෙමය. "ක්‍රෝධ සහගත වූද, දුෂ්ඨ වූද සිතැත්තේය. සංග්‍රාමයේදී ලත් වණ,කැළැල් සිරුරේ ඇත්තේය. ධෛර්යයෙන් අනූනය. පළි ගැනීමේ චේතනා සහගතය."   මේ කියැවෙන සියලු ලක්ෂණ හිට්ලර් තුළ තිබුණා. 

        යුදෙව්වන් කෙරෙහි වූ තද බල වෛරය හිට්ලර් තුළ ඇතිවන්නෙ 1907 දි.  හිට්ලර් චිත්‍ර විෂයට ආශා කළා වගේම චිත්‍ර ඇඳීමේ දක්ෂතාවයත් තිබුණා. හිට්ලර් ගේ බලාපොරොත්තුව වුණේ ඔස්ට්‍රියාවේ වියෙනා හි Art Academy නමැති චිත්‍ර පාසලට ඇතුළත් වී වැඩි දුර ඉගෙන ගැනීම වුණත් ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න බැරි වුණා. දෙපාරක්ම අයැදුම් කළත් හිට්ලර්ගෙ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වුණා. මේ විදියට තමන්ව ප්‍රතික්ෂේප කළේ යුදෙව් මහාචාර්යවරයෙක් බව හිට්ලර් දැනගත්තා. එදා පටන් සියලු යුදෙව්වන් ගැන වෛරයක් ඇති වුණා.

         හිට්ලර් ජර්මනියට පැමිණෙන්නෙ 1913 දි. ඒ රවි මහ දශාවේ බුධ අන්තර් දශා කාල සීමාවෙදි. රවි කේන්දරයේ උච්චයි. මේ උච්ච රවිගෙන් බලගතු යෝගයකුත් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තමයි "ගරුඬ යෝගය." ගරුඬ යෝගය උදාවෙන්නෙ කොහොමද ? සඳු තැන්පත් නවාංශකාධිපති කේන්දරයේ උච්ච වෙලා නම් ඒ ගරුඬ යෝගය යි. හිට්ලර්ගෙ කටක නවාංශක කේන්දරයේ දෙවැන්න වූ සිංහ නවාංශකයේ අධිපති රවි ලග්න කේන්දරයේ අට වෙනි භාවයේ උච්චයි. ගරුඬ යෝගය කියන්නෙත් බොහොම රණකාමී යෝගයක්. සතුරන්ට භීතිය ඇති කරවීමේ හැකියාව වගේම ශක්ති සම්පන්න සිරුරකුත් උරුම වෙනවා.

         අට වැන්නාධිපතියා 8,12,6 යන භාවයක තැන්පත් වෙලා ඉන්නවා නම් ඒ "සරලා යෝගය" යි. හිට්ලර්ගෙ කේන්දරයේ අට වැන්නාධිපති කුජ අට වෙනි භාවයේම තැන්පත් වෙලා ඒ සරලා යෝගය උදා කරලා තියෙනව. සරලා යෝගයේ ප්‍රතිඵල විදියට නිර්භීතකම, සතුරන් පරාජය කිරීමේ ශක්තිය, සතුරන්ට භීතිය ගෙන දීමේ හැකියාව ලැබෙන බව දක්වලා තියෙනව. හිට්ලර්ගෙ කේන්දරයේ සරලා යෝගය රණකාමී කුජ ග්‍රහයාගෙන් උදා වීම ඔහු බලවත් රණකාමික් බවට පත් කළා.
          
        හිට්ලර් චිත්‍ර ශිල්පයට දක්ෂතාවය දැක්වූ බව ඉහත සඳහන් කළා. ඊට හේතු වූ ග්‍රහ බලපෑම පිළිබඳව සඳහන් කළ යුතුයි. හිට්ලර්ගෙ ලග්නාධිපති බුධ " මහා යෝගාඩ" බලයෙන් යුක්තයි. ජන්ම ලග්නය, හෝරා ලග්නය, ඝටී ලග්නය යන ලග්න සියල්ල සමඟ සම්බන්ධ වූ ග්‍රහයෙක් වෙත්නම් ඒ ග්‍රහයා යෝගාඩ තත්වයට පත් වෙයි. බුධ ග්‍රහයා චිත්‍ර කර්මයට,ගෘහ නිර්මාණ ශිල්පයට දක්ෂතාවය ඇති කළා පමණක් නෙමෙයි අතිශය උපායශීලී ඥානයක් හා කථිකත්වයක්ද උරුම කළ බව පැහැදිලියි.

      ශූල යෝගය හිමිව උපන් විට සංග්‍රාමයේදී ලත් වණ,කැළැල් සිරුරේ ඇති වන බව මුලින් සඳහන් කළා. පළමු ලෝක සංග්‍රාමයේදී සොල්දාදුවෙක් ලෙස සටන් පෙරමුණේ සිටියදී තුවාල ලැබීම හේතුවෙන් ඔහු සම්මානයක් හිමි කරගත් බව මෙහෙදී සඳහන් කළ යුතුය.

     හිට්ලර්ගේ කේන්දරයේ රාහු ග්‍රහයාගේ පිහිටීම පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ලග්නය කන්‍යා වී දස වෙනි භාවයේ සිටින රාහු සුපිරි වේගයකින් ක්‍රියාත්මක වෙනවා. නිවැරදි අරමුණු ඇතුව යහපත් අතට ගියොත් ජයග්‍රහණය වගේම වැරදි අරමුණු ඇතුව වැරදි අතට ගියොත් ඉක්මන් විනාශය අත් කර දෙන පිහිටීමක් විදියටත් හඳුන්වන්න පුළුවන්.  ශ්‍රී ලංකාවේ එක්තරා දේශපාලන නායකයෙකුගේ ජන්ම පත්‍රයේ මෙම පිහිටීම සටහන් වෙනවා. කන්‍යා ලග්නය හිමි ඔහුගේ කේන්දරයේ ද රාහු දස වෙනි භාවයේ තැන්පත්ව සිටිනවා. ඔහු අගමැති පදවියට පත් වූයේද, දෙවරක් ජනපති ධූරයට පත් වූයේද රාහු මහ දශා කාලයේදී යි. 

      හිට්ලර්ට රාහු ලබලා අවුරුදු එක හමාරකින් ජර්මනියේ චාන්සලර් ධූරයට පත් වුණා. ඒ චාන්සලර් ධූරයට පත් වුණේ චිත්‍ර අංශයෙන් ලොකු ගමනක් යන්න හිතාගෙන ජර්මනියට ආපු හිට්ලර්.  දෛවය මොන තරම් පුදුමකාරද...

      චාන්සලර් ධූරයට පත් වෙච්චි හිට්ලර් යුදෙව්වන් ලක්ෂ ගණනින් මරා දමමින්, රටවල් ආක්‍රමණය කරමින් ඒකාධිපති වියරුවකින් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. හිට්ලර් පාලනය තුළ අවම වශයෙන් යුදෙව්වන් මිලියන හයක් ඝාතනයට ලක් වුණු බව කියවෙනවා. 

         1941 දි රුසියාව ආක්‍රමණය කිරීමට ගත් තීරණයත් සමඟ හිට්ලර් තම විනාශය ඉක්මනින්ම ළඟා කරගත්තා. 1945 අප්‍රේල් 30 වෙනිදා භූගත බංකරයක් තුළදී සිය දිවි හානි කරගත්තා.

         යුරේනස්,නෙප්චූන්,ප්ලූටෝ කියන ග්‍රහයො තුන් දෙනා පෙරදිග ජ්‍යොතිෂය තුළ භාවිතා වෙනවා අඩුයි. පුද්ගල කේන්දරක් පරීක්ෂා කිරීමේදී හෝ ලෝකයන ජ්‍යොතිෂයේදී යුරේනස්,නෙප්චූන්,ප්ලූටෝ අදාල කරගන්නේ ස්වල්ප දෙනෙක් පමණයි. කොහොම වුණත්, පළමු වන හා දෙවන ලෝක සංග්‍රාම කෙරෙහි පමණක් නෙමෙයි ප්‍රංශ විප්ලවය,කාර්මික විප්ලවය ආදී විශේෂ සිදුවීම් කෙරෙහි ද මෙම ග්‍රහයින් බලපෑම් එල්ල කර තිබෙනවා.

         හිට්ලර්ගෙ කේන්දරයේ යුරේනස් ග්‍රහයා පළමු භාවයේ සටහන් වෙනවා. යුරේනස් පළමු භාවයේ තැන්පත් වීම පුද්ගලයා නිර්මාණශීලී බවට පත් කරනවා වගේම  මාන්නාධික තත්වයට ද පත් කරනවා. බලය වර්ධනය කරගැනීමට පොළඹවනවා. මාධ්‍ය සහ ප්‍රචාරණයෙහි දක්ෂතාවය ඇති කරවනවා.  දේශපාලන මතවාද ජනතාව කරා රැගෙන යෑමට ජනමාධ්‍ය ඉහළ මට්ටමෙන් යොදාගත් නායකයකු ලෝක ඉතිහාසයේ වේ නම් ඒ ගෞරවය හිමි විය යුත්තේ හිට්ලර්ටයි. ගොබෙල්ස් නමැති අමාත්‍යවරයා යොදාගෙන මාධ්‍ය සදාචාරය අමු අමුවේ උල්ලංඝනය කරමින් තමන්ට හිතවාදී ජනමතයක් ගොඩනැඟූවා.

     1945 අප්‍රේල් 30 වෙනිදා හිට්ලර් මිය යන විට රාහු මහ දශාවේ සිකුරු අන්තර් දශාව ගෙවෙමින් තිබුණා. සිකුරු කියන්නෙ 64 වෙනි නවාංශකාධිපතියා. 64 වෙනි නවාංශකාධිපති සිකුරු ඒ වන විට හිටියේ බුධ සමඟ මීන රාශියේ. ඒ කියන්නේ ඒ වන විට ලග්නාධිපති බුධ නීචයි. මීනය කියන්නෙ 22 වෙනි දෙර්කාණාධිපතිගෙ රාශිය. ඒ වගේම උපතෙදි රාහු සිටි මිථුන රාශියේ සෙනසුරු රාහු සමඟ සංයෝග වුණා. නෙප්චූන් ලග්න භාවයේ ගමන් කළා. 

        එදා වියෙනාහි Art Academy වෙත ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා නම් සමහර විට හිට්ලර් ලෝකය බබලවන පුද්ගලයෙක් වීමට ඉඩ තිබුණා.

                    සංජීව කුළුපන බණ්ඩාර