Sunday, September 26, 2021

දේශනය.





ආයුබෝවන් සියලු දෙනාටම.

මගෙන් ඉල්ලුවෙ යන්ත්‍ර මන්ත්‍ර ගැන කතා කරන්න කියලා. මම මාතෘකාවෙ පොඩි වෙනසක් කළා. 'යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර සහ ශාන්තිකර්ම' කියල. මොකද මම ශාන්තිකර්මවල වැඩි වශයෙන් නියැලෙනවා. යන්ත්‍ර මන්ත්රවලට වඩා තන්ත්‍ර භාවිතා කරනවා. නිවාස ඉඩම් ආශ්‍රිතව පවතින අමනුෂ්‍ය බලපෑම්, කොඩිවින ඉවත් කිරීම, අමනුෂ්‍ය බලපෑම් හෝ වෙනත් බලපෑම් හේතුවෙන් සෞක්‍යයට, රැකියාවට, පවුල් ජීවිතවලට එල්ල වන බාධක ගැටළු දුරු කිරීම වගේ දේවල් තමයි වැඩි වශයෙන් කරන්නෙ. මේ ශාන්තිකර්මවලදි තන්ත්‍ර කියන කොටස වැඩි වශයෙන් භාවිතා කරනවා. තන්ත්‍ර සමඟ කටයුතු කරන කොට අධ්‍යාත්මික ශක්තිය වර්ධනය වෙනවා.


මේ මාතෘකාව යටතේ තියෙන කරුණු කතා කරලා ඉවරයක් කරන්න බෑ. විශාල විෂය ක්‍ෂේත්‍රයක්. විවිධ ආගම්වලට, සංස්කෘතීන්ට ආවේනික යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම තියෙනවා. මලයාලි,රොඩී ගුරුකම් වගේම අරාබි,කතෝලික,බින්තන්නෙ ගුරුකම් වගේ දේවලුත් තියෙනවා. ඒ හින්දා වැඩි වශයෙන් කතා නොකෙරෙන පැත්ත, වැඩිය සාකච්ඡාවට බඳුන් නොවන සැඟවිලා තියෙන පැත්ත ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.


මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ මන්ත්‍ර ශාස්ත්‍රය ගැන විශාල වශයෙන් කතා කෙරෙනවා. අදහස් හුවමාරු වෙනවා. මන්තර වගේම මන්තර පොත් පවා හුවමාරු වෙනවා. ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි ඕනැම මන්තරයකින් ඕනෑම කෙනෙකුට වැඩගන්න පුළුවන් කියන එක. එහෙම බෑ. තමන්ට හරියන, පල දෙන මන්තර තෝරාගන්න ඕනෑ. දීර්ඝ කාලීන අත්දැකීම් තියෙන අය අත්දැකීමෙන් දන්නවා සාර්ථක ප්‍රතිපල ලැබෙන මන්ත්‍ර මොනවද කියලා. නිතර වැඩ කටයුතුවලදි  භාවිතා කරන මන්තර කීපයක් හැමෝටම තියෙනවා. ඒවා හොඳටම වැඩ කරනවා. හොඳටම විශ්වාසයි. ශබ්ද විද්‍යාවට අනුව මන්තර තෝරගන්නත් පුළුවන්. ඒත් අත්දැකීමෙන් තෝරාගන්න දේ වඩාත් සාර්ථකයි. 


පොත්පත්, දේශන, ඉගැන්වීම් මේ කොයි ආකාරයකින් ගන්න දේටත් වඩා තමන්ට අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ වන දේවල් වටිනවා. ඒවා පිළුණු වෙලා නෑ. ඒවා බොහොම විශ්වාසනීයයි. පොකුණු බවට පත් වෙන්නෙ නැතුව ළිං බවට පත් වෙන්න ඕනැ. ලෝකය පුරාම අවුල් වියවුල් වැඩි හරියක් ඇති වෙලා තියෙන්නෙ පොකුණු බවට පත් වෙච්චි මනස් හින්දයි. පොකුණුවලට ජලය දාල පුරවනවා. ළිංවලට ජලය උනනවා. පොඩි කතාවක් කියන්නම්. එතකොට තවත් පැහැදිලි වෙයි.


එක්තරා ආශ්‍රමයක මහලු බ්‍රාහ්මණයෙක් වාසය කළා. මේ බමුණා ගෙන් යමක් ඉගෙන ඉගෙනගන්න තව තරුණ බමුණෙක් ඇවිත් නතර වෙලා හිටියා. ටික දවසක් යන කොට මේ ඉගෙනගන්න ආපු බමුණට දැනුණා මේ වයසක බමුණා මොනවත් දන්නෙ නෑ කියල. වැඩි කතාබහක් නෑ. දවසකට කියාදෙන්නෙ ටික දෙයයි. තරුණ බමුණා හිතුවා මේ ආශ්‍රමයෙන් පිට වෙලා යන්න ඕනැ කියලා. මේකෙ ඉඳලා තේරුමක් නෑ කියලා. එයා යන්න හිතාගෙන හිටපු දවසෙම මේ ආශ්‍රමයට තව බමුණෙක් ආවා. ඒ අලුතින් ආපු බමුණා හිත් ඇදගන්න විදියට කතා කරනවා. ආශ්‍රමයෙ අයට පැය දෙකක දේශනයක් කළා. කතා කරලා හැමෝම වසඟයට ගත්තා. පිට වෙලා යන්න හිතාගෙන හිටපු බමුණත් හිතුවා මෙයාගෙන් නම් බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා. දේශනය අවසන් වෙලා මේ බමුණා අර මහළු බමුණා ගෙන් අහනවා " කොහොමද මගෙ දේශනය හොඳයිද නේද..." කියලා. මහළු බමුණා කියනවා " ඔබ දේශනයක් නම් කළා...ඒත් කියපු එක දෙයක්වත් ඔබේ ඒවා නම් නෙමෙයි...ඔබ මොනවත්ම කිව්වෙ නෑ" කියල. මම මොනවත් කිව්වෙ නැත්නම් ඒ පැය දෙකේ කතා කළේ කවුද ? දේශනය කරපු අලුත් බමුණා අහනවා. ඇත්තම කියනවා නම් පොත්පත්,ධර්ම ග්‍රන්ථ,වේද ග්‍රන්ථ කතා කළා. ඔබ නම් මොනවත් කිව්වෙ නෑ... ඔබ ගිලගත් සියල්ල එළියට දැම්මා විතරයි. ඒවායින් පිළුණු ගඳක් මිසක් කිසිම සුවඳක් ආවෙ නෑ." මහළු බමුණා කිව්වා. මේක ඇහුවට පස්සෙ අර පිට වෙලා යන්න හිටපු බමුණා තේරුම් ගත්තා විවිධාකාරයේ දැනුම් තියෙන බව. භාහිරින් එකතු කරගන්න දැනුම එකක්. ඇතුළතින් පැමිණෙන දැනුම තව එකක්.


හොඳට මතක තියාගන්න...මන්ත්‍ර ශාස්තරයෙදි හිත තමයි වැදගත්ම. තමන්ට සමාධිගත වෙන්න පුළුවන් තරමට තමන් කරන වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. මල් ආසනය නැත්නම් පූජාසනය හදන කොට සම්ප්‍රදායික විදියට, ගුරුවරු කියපු විදියට, පොතපතේ තියෙන විදියට හැදුවට කමක් නෑ. හැබැයි තමන්ට හරියට ඒකාත්මික වෙන්න පුළුවන් විදියට ඒ පූජාසනය තියෙන්න ඕනැ. මම පහන් ආලෝකය වැඩිපුර භාවිතා කරනවා. පහන් ආලෝකය එක්ක මට සමාධිගත වෙන්න පුළුවන්.  පහන් ආලෝකයත් එක්ක අමුතු ජීව බලයක් ලැබෙනවා. ඕගොල්ලො දන්නවා වරමින් සාස්තර කියන අය ගැන. ඒ අය තමන්ගෙ ඥාතියා ඇඟට ගන්න විදියක් තියෙනවා. සමහරු ස්තෝත්‍ර කියාගෙන යනකොට ඥාතියා ඇඟට එනවා. තව අයට බෙර සද්දෙ ඕනැ. තවත් අයට සීනු හොලවන්න ඕනෑ. තව සමහරු පහනක් හෝ පිළිමයක් දිහා එක එල්ලේ බලාගෙන ඉන්නකොට ඥාතියා ඇඟට එනවා. සියල්ල සිද්ද වෙන්නෙ අරමුණ සමඟ ඒකාත්මික වීමත් එක්කයි. ඒක හොඳින් තේරුම් ගන්න.


මම වැඩි වශයෙන් තන්ත්‍ර භාවිතා කරනවා. තන්ත්‍ර භාවිතයේදී ආධ්‍යාත්මික ශක්තිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. තන්ත්‍රවලදි අපට කියනවා පූසාගෙන් ඉගෙනගන්න කියලා. මොනවද පූසාගෙන් ඉගෙනගන්න තියෙන්නෙ ? පූසාගෙන් ඉගෙනගන්න කියන්නෙ ඉහිල් වීම. ඒ කියන්නෙ Relaxation. පූසා නිදාගන්න ගියාම හොඳින් ඉහිල් වෙනවා. ඕගොල්ලො දැකලා ඇති. අත පය හොඳට දිග හැරලා ඉහිල් වෙලා තමයි නිදාගන්නෙ. නැගිට්ටමත් ඒ වගේ. හිරි ඇරලා, මැදින් ඉස්සිලා හොඳට ඉහිල් වෙලා තමයි ඉතුරු වැඩවලට ලෑස්ති වෙන්නෙ. යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවලදි හොඳ ඉහිල් බවක් තියෙන්න ඕනැ. නැත්නම් තමන්ට මොනවත් දැනෙන්නෙ නැතුව යනවා. නිකම් ඔහේ මතුරන එක නෙමෙයි මන්ත්‍ර ශාස්ත්‍රය කියන්නෙ. වැඩේ කරගෙන යද්දි සිද්දවෙන වෙනස් කම් දැනෙන්න ඕනැ. වැඩේ හරියට වෙනවා කියල හිතට දැනෙන්න ඕනැ.


අමනුස්ස බලපෑම් එක්ක සම්බන්ධ වීමේදී චිත්ත සමාධිය ගොඩක් වැදගත් වෙනවා. අමනුස්සයින් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් එකම මාර්ගය තමයි සිතුවිලි.  නිවෙස්වල ඉඩම්වල රැඳිලා ඉන්න පහත් පෙළේ ප්‍රේතයින් ඒ තැන්වලින් ඉවත් කරද්දි අපිට සිද්ද වෙනවා ඒ අයට යමක් අවබෝධ කරලා දෙන්න. ඒ අය විඳින්නෙ දුකක් කියලා ඒ අය දන්නෙ නෑ. ඒ අවබෝධය ඒ අයට ලැබෙන්නෙ නෑ. ගෙදර බණක් කිව්වත් ඒ අතරෙදි පිරිසක් තැනක බොනවා. තව අය තව විදියට විනෝද වෙනවා. අමනුස්සයින්ගේ කෝපය තවත් වැඩි වෙනවා මිසක් හරි අවබෝධයක් ලැබෙන්නෙ නෑ. දැඩි තෘෂ්ණාව හින්දා මැරුණට පස්සෙත් දේපළ අල්ලගෙන ඉන්නවා. ඒ දේවල් අනිත් අය භුක්ති විඳිනවට කැමති නෑ. තමන්ගෙ දේපළ අනිත් අය භුක්ති විඳිනවා කියල තරහෙන් ඉන්නෙ.  ඒ අය නොයෙක් බලපෑම් කරනවා. මේ අය ඉවත් කරන්න නම් ඔවුන්ට පැහැදිලි කරලා දිය යුතු කාරණා තියෙනවා. සමහරු කුප්පිවල දානව කියනව, ගැටගහනවා කියනව, කොන්ක්‍රීට් දානව කියනවා. ඕවා විශ්ව ධර්මතාවයට එකඟ දේවල් නෙමෙයි. කිසිවෙක් හිර කරන්න අපිට අයිතියක් නෑ. ඕවා සාර්ථක දේවලුත් නෙමෙයි. යන්න ඕනැ අහවල් බෝධිය ළඟට කියලා අණ කරන්න අයිතියකුත් අපිට නෑ. සියල්ල හරියට අවබෝධ කරලා දුන්නම ඒ අය තෝරාගන්නවා යන්න ඕනැ තැන. ඕවා දැන්වත් අත හැරියේ නැත්නම් තව කල්ප කාලයක් ප්‍රේත භවයෙ දුක් විඳින්න වෙනව කියන එක අවබෝධ කරලා දෙන්න ඕනැ. ඔය කරන්නෙ සසර දික් වෙන වැරදි වැඩක් කියන එක පැහැදිලි කරලා දෙන්න ඕනෑ. ගැලවීමේ මාර්ගය කියල දෙන්න ඕනැ.ඒගොල්ලන්ට ඒ අවබෝධය කවුරුවත් දෙන්නෙ නෑ. ප්‍රේත තටුවට කතා කරලා ඔය අවබෝධය හරියට දෙන්න නම් චිත්ත සමාධිය තියෙන්න ඕනැ.


ආයුධ උස්සගෙන, පුටු උස්සගෙන එන අමනුස්සයො ඉන්නවා. කාගෙ හරි ඇඟකට වැහුණම හරි ප්‍රචණ්ඩයි. සමහර ඇදුරො වැඩේ නවත්තලා යන්න යනවා. ගෙදර අයත් දුවනවා. කොහොමද මේ අය නවත්වන්නෙ ? කොහොමද මේ අයව පාලනය කරන්නෙ ? ඔය ප්‍රශ්නය මගෙන් දවසක් එක මහත්මයෙක් ඇහුවා. ඒ අයගෙ පූජාවකට එක්තරා ස්ථානයකට ගිහින් ඉන්න අතරෙදි එක තරුණයෙක් මහා හයියෙන් කෑගහගෙන දඟලනවා. ළඟට එන අයව එලවනවා. හතර පස් දෙනෙක් එකතු වුණත් නවත්තගන්න බෑ. ඒ වෙලාවෙ මාත් එක්ක හිටපු මහත්මයා මගෙන් අහනවා ' ඔබතුමා යන තැනකදි ඔය විදියෙ ප්‍රචණ්ඩ කෙනෙක් හිටියොත් කොහොමද එයාව පාලනය කරන්නෙ' කියලා. මම ඒ මහත්මයට කිව්වා පාලනය කරන විදිය. ඒක තනිකරම සත්‍යක්‍රියාවක්. හිතේ ශක්තිය. " මම මේ කරන්න හදන්නෙ යහපත් දෙයක්. යහපත් චේතනාවෙන් කරන දෙයක්. කිසිම පාපී චේතනාවක් නෑ. මම ලෝක සත්වයාට මෙත් වඩන කෙනෙක්. මා ඉදිරියේ කිසිම අමනුස්සයෙකුට ප්‍රචණ්ඩ වෙන්න බෑ. පාලනය වෙන්න ඕනැ. සන්සුන් වෙන්න ඕනැ" ඒ සිතුවිලි නිකුත් වෙනවත් එක්කම පාලනය වෙනව. සන්සුන් වෙනව. කීකරු වෙනව. යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවල නියැලෙන කෙනෙකුට තියෙන්න ඕනැ සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් තරමේ සීලයක්. ලෝක සත්වයාට මෙත් වඩන කෙනෙක් කියල බොරුවට සත්‍යක්‍රියා කරන්න බෑ. මේවා නිකම් උඩින් මතුපිටින් නැගෙන සිතුවිලි වෙලා බෑ. ආධ්‍යාත්මයෙන්, සමාධි සිතින් එන්න ඕනැ. ශරීරය කුළු ගැන්විලා, බලවත් විශ්වාසයක් එක්ක මතුවෙන්න ඕනැ. සමහරු කියනවනෙ 'එක මන්තරයයි කිව්වෙ අඩියක් ඉස්සරහට ආවෙ නෑ' කියල.එහෙමත් පුළුවන් ඇති. මම කියන්නෙ මගේ ක්‍රමය. මම දන්න විදිය.


යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවල යෙදෙන සමහරු ප්‍රේත කොට්ඨාශ ආධාර කරගෙන වැඩ කරනවා. සමහරු දේව ශක්තීන් එක්ක වැඩ කරනවා. මම ආධ්‍යාත්මික ශක්තිය මුල් කරගෙන කටයුතු කරනවා. මුල් කාලයෙදි අධ්‍යාත්මික ශක්තිය ගැන දැනුමක් අවබෝධයක් තිබුණෙ නෑ. ඒ කාලෙ මමත් දිෂ්ටි මන්ත්‍ර භාවිතා කළා.  පසු කාලීනව ලැබුණු අවබෝධය එක්ක දැන් අධ්‍යාත්මික ශක්තිය මුල් කරගෙන කටයුතු කරනවා. පැය ගණන් මතුරන එකේ විනාඩි 25 ක් වත් භාවනාවක් කරන්න. දවසකට පොඩි වෙලාවක් මෛත්‍රී භාවනාවත් කරන්න. ඒවායින් ලැබෙන වෙනස අත්විඳින්න.


අනපේක්ෂිත බාධක එල්ල වන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවන්ට ශක්තිමත්ව මුහුණ දෙන්න ඕනැ. එක අවස්ථාවක ගෑණු ළමයෙකුට තිබුණු දෝෂයක් ඉවත් කරන්න ගියා. මේ ගෑණු ළමයා විදේශ රටක සේවය කරපු කෙනෙක්. ආච්චි කෙනෙක්ව බලාගත්තු එක තමයි ඒ රටේදි කරලා තියෙන්නෙ. එහෙ ආච්චිලා අපේ ආච්චිලා වගේ නෙමෙයි. හොඳට කන බොන අය. විස්කි බ්‍රැන්ඩි සිගරැට් හැම දෙයක්ම බොන ආච්චි කෙනෙක්. මේ ආච්චි මියගියාට පස්සෙ මේ ගෑණු ළමයගෙ ඇඟට වැහෙන්න පටන් ගත්තා. පස්සෙ මෙයාගෙ අම්මා මෙයාව ලංකාවට එක්කගෙන ආවා. නිකම් නෙමෙයි ආවෙ. අවශ්‍ය කරන බීම, සිගරැට් එහෙම අරගෙනමයි ආවෙ. ආපු දවසෙ ඉඳලා තමන්ගෙ පාඩුවෙ අර ගෙනාපු දේවල් පාවිච්චි කරනවා. හරි අමුතුයි. මම ඉතින් ගියා දෝෂය අයින් කරන්න. මම ගෙට ගෙට ගොඩ වුණා විතරයි මෙයා බොහොම ප්‍රචණ්ඩ විදියට හැසිරෙන්න ගත්තා. වීදුරු කැබිනට් එකකට හේත්තු වෙලා කෑගහනවා. ඔය අතරෙ කැබිනට් එකට බර වෙලා වීදුරුවත් කඩාගෙන වැටුණා. වීදුරුවට කැපිලා තුවාල වුණා. ගෙදර කට්ටිය එකතු වෙලා රෝහලකට එක්කගෙන ගියා. මැහුම් දාගෙන ආවට පස්සෙ තමයි වැඩේ පටන් ගන්න වුණේ. ඔය වගේ අවස්ථාවලදි ශක්තිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න ඕනැ. ඒ අය වෙනුවෙන් ඉටු වෙන්න ඕනැ දේ උපරිමයෙන් ඉෂ්ට කරන්න ඕනැ.


එකම දේ විශ්වාස කරගෙන එක රාමුවක් ඇතුළෙ හිරවෙන්න හොඳ නෑ. හිර වුණාම අවබෝධය ලැබෙන්නෙ නෑ. හිර වෙලා ඉන්න ෆ්‍රේම් ඇතුළෙන් එළියට ඇවිත් නිදහස් වෙන්න ඕනැ. යන්ත්‍ර මන්ත්‍රවලදි විතරක් නෙමෙයි ජ්‍යොතිෂයෙදි වුණත් ඒක වැදගත් වෙනවා. සමහර චැට් ග්රූප් තියෙනවා උදේට බැලුවත් යෝගයක් ගැන කතා කරනවා. දවල්ට ගිහින් බැලුවත් ඒත් කේන්දරයක් ගැන කතා වෙනවා. හවසට ගිහින් බැලුවත් 22 වෙනි දෙර්කනාධිපති ගැන කතා කරනවා. රෑට බැලුවත් 64 වෙනි නවාංශකාධිපති ගැන කතා කතාවක්. ඒ ජ්‍යොතිෂවේදීන් කේන්දරේ කොටු දොළහයි නැකත් විසිහතයි අස්සෙ හිර වෙලා. එහෙම බෑ. ඇඟලුම් කම්හලක වැඩට යන කෙනෙක් උදේ ඉඳලා කරුවල වැටෙනකල් වැඩ කරලා ගෙදරට ආවට පස්සෙ ඉතුරු වෙලාවෙදිත් ඇඳුම් මහන එක කරන්න ගියොත් මොනව වෙයිද... ඒක ඔලුවට අමාරුයි. ඉතුරු වෙලාවෙ වෙන මොනව හරි වෙනස් දෙයක් කරන්න ඕනැ.සමහරු කවුරු හරි ගුරුවරයෙකුට හෝ සෘෂිවරයෙකුට හිර වෙලා. එතනින් එහා දෙයක් මොකුත් නෑ.  යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කරන අය කොටු වෙන්න එපා. යන්තරේ ගැන මන්තරේ ගැන විතරක් නෙමෙයි තව බොහෝ දේවල් ගැන විමසිලිමත් වෙන්න. තමන් ළඟට එන මනුස්සයා කියන්නෙ මොනවද කියල ඇහුම්කන් දෙනවා වගේම එයාගෙ ඇස් දෙක, දේහ ලක්ෂණ, හැසිරීම, පැහැය මොනවද කියන්නෙ කියලත් බලන්න. පෙනුමෙ වෙනසක් තියෙනවද...ස්වභාවික මනුස්සයා යටපත් කරගෙන වෙන මොකක් හරි බලවේගයක් කතා කරනවද කියල බලන්න. පැහැදිලි සමාධිගත මනසකින් ඔය දේ කරන්න පුළුවන්.


ඔන්න ඔය දේවල් තමයි මම කියන්න බලාපොරොත්තු වුණේ. මොනව හරි පැහැදිලි කරගන්න, දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න.

ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.





Thursday, September 2, 2021

කේතු

 



කේතු කියන්නෙ මම කැමතිම ග්‍රහයෙක්. කේතු තරම් මට වාසි අත් කරලා දුන්නු වෙනත් ගරහ්යෙක් නෑ. මේ කියන්නෙ මගේ කේන්දරයේ ඉන්න කේතු මට උදා කරපු වාසි ගැන නෙමෙයි. අනුන්ගෙ කේන්දරවල ඉන්න කේතු මට සෑහෙන්න උදව් කරලා තියෙනවා. මට ඒ අය ගැන වගේම ඒ අය ජීවත් වන තැන් ගැනත් බොහෝ දේවල් හෙළිදරව් කරලා දීල තියෙනවා. විශේෂයෙන්ම තත්කාල සාස්තරයෙදි සෑහෙන්න උදව් කරනවා. ජ්‍යොතිෂය සම්බන්ධයෙන් ලියන එක හොඳටම අඩු වෙලා තිබුණත් කේතු ගැන නොලියා ඉන්න බැරි වුණේ ඒකයි. බොහෝ තැන්වල කේතු ගැන ලියැවෙන විස්තර දැක්කත් මට හමුවන කේතු ඊට වඩා වෙනස් කියල මට හිතෙනවා.


කේතු ගුප්තයි. රහස්‍යයි. ඒක ඕනැම කෙනෙක් දන්නවා. සමහර දේවල් පුදුම විදියට හංගන ග්‍රහයෙක්. ඒ හින්දම කේතු හරියට හඳුනා ගැනීම ඉතාමත් වාසිදායකයි. කේතු ලිංගිකත්වය ප්‍රතික්ෂේප කරන ග්‍රහයෙක් බව සමහරු සඳහන් කරනවා. පොත් පත්වලත් ඇති එහෙම. මම දන්න කේතු එහෙම කෙනෙක් නෙමෙයි.  ' නෑ නෑ එහෙම ග්‍රහයෙක් තමයි...සෘෂි තුමන්ලා කියල තියෙන්නෙත් එහෙම තමයි...' කියලා සමහරු කියයි. මට වැදගත් වෙන්නෙ මම දන්න කේතු මිසක් වෙන අය දන්න කේතු නෙමෙයි.


කේතු කෙනෙක්ව ලෞකික මාර්ගයේ ගෙනියන කොට අනිත් අයට හිතාගන්න බෑ කොහොම සල්ලි හම්බකරනවද කියල. අනිත් අයට නොදැනෙන විදියට නොපෙනෙන විදියට සල්ලි හොයන මාර්ග හදල දෙනවා. අල්ලපු ගෙදර මනුස්සයා දන්නෙ නෑ මෙහා ගෙදර ඉන්න මනුස්සයා මොනවා කරල සල්ලි හම්බකරනවද කියල. කේතුගෙන් බොහෝ දෙනෙක් දියුණුවට පත්වෙන එක හේතුවක් තමයි තමන්ගෙ අරමුණු බලාපොරොත්තු අනිත් අයට හෙළි නොකිරීම. ' මම කරන්න හිතාගෙන ඉන්නෙ මේකයි...මගේ ටාගට් එක මේකයි...' ඒවා නෑ. හැම දෙයක්ම හංගගෙන ඉන්න පුළුවන්.


කේතු ලිංගිකත්වය ප්‍රතික්ෂේප කරනවා කියන කතාව මම විශ්වාස කරන්නෙ නෑ. එතැනදි වෙන්නෙ ලිංගික ජීවිතය, ලිංගික ආශාවන් අමුතු වෙන එක මිසක් ලිංගික ජීවිතයෙන් වෙන් වීම නෙමෙයි. දැනට විවාහ තුනකින් අයින් වෙලා ඉන්න ජනප්‍රිය කලාකාරියක් ඉන්නවා. කේතු හතේ.එයාව ළඟින්ම ආස්සරේ කරන කෙනෙක් එක්ක ඔය ගැන කතා කරන කොට එයා කියනවා ' එයාගෙ රුචිකත්වයට ගැළපෙන කෙනෙක් ලැබුණෙ නැති එකනෙ වුණේ...' කියල. ඒ රුචිකත්වය මොකක්ද කියල මෙහෙම සඳහන් කරන්න බෑ. කොහොම වුණත් කේතු ලිංගික ජීවිතය ඉවතලන ග්‍රහයෙක් විදියට සළකන්න බෑ. එහෙම සිද්දවෙන වෙන හේතු තියෙන්න පුළුවන්. පොදුවේ "කේතු" ගැන කතා කරන කොට කේතු එහෙම කෙනෙක් කියල කියන්න බෑ.


කේතු උපායශීලීයි. අපි දන්නවනෙ බුධත් උපායශීලීයි කියල. කේතුගෙ උපායශීලී ගතිය බුධගෙ උපායශීලී ගතිය වගේ නෙමෙයි. කොහොමත් සමාන වෙන්න බෑ නෙ. ඔය වෙනස කොහොමද තේරුම්ගන්නෙ ? ඕක මුළුමනින්ම තේරුම් කරන්න බෑ. බුධගෙ උපායන් නිර්මාණශීලියි, තාත්විකයි. තැනට උචිත විදියට, පුද්ගලයාට උචිත විදියට නිර්මාණශීලී විදියට උපාය භාවිතා කරනවා. ඒ හින්දා උපායශීලී හැසිරීම සාර්ථක වෙනවා. කේතුගෙ උපාය තුළ එහෙම නිර්මාණශීලී ගතියක් නෑ. ජ්‍යොතිෂවේදියා නිර්මාණශීලී වෙන තරමට මෙන්න මේ වගේ වෙනස්කම් බොහොම හොඳට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. කියාදෙන්න බැරි දේවල් ඕනැ තරම් තියෙනවා. ඒවා දැනෙන්නම ඕනැ දේවල්. කොහෙන්වත් ගන්න බෑ. ඒවා පිටතින් නෙමෙයි ඇතුළතින් එන දේවල්. ඉඳිකටුවකින් ඇන්නත්, ඉරටු කෑල්ලකින් ඇන්නත්, මිටියෙන් ගැහුවත් කියන්නෙ රිදෙනවා කියල වුණාට ඔය වේදනාවන්වල වෙනස්කම් විස්තර කරන්න භාෂාව ප්‍රමාණවත් නෑ. ඒත් වේදනාව දැනෙන්නෙ වෙනස් විදියට. ග්‍රහයන්ගෙ වුණත් තමන්ට දැනෙන විලාශයන් තියෙනවා.


බොහොමයක් අමනුෂ්‍ය බලපෑම් එක්ක කේතු සමබන්ධ වෙනවා. ගුප්ත ලෝකයනෙ. ගුප්ත ග්‍රහයා ගුප්ත ලෝකය එක්ක සම්බන්ධයි. ඒ පැත්ත කේතු නියමෙට පෙන්නනවා. තව තව අය එක්ක හවුල් වෙලා එහෙම ඒ වැඩේ හරියට හොයාගන්න පාර හදල දෙනවා.


කේතු හදන ලෙඩ ලේසියෙන් නිශ්චය කරගන්න බෑ. තියෙන ලෙඩේට නෙමෙයි බෙහෙත් කරන්නෙ. වෛද්‍යවරුත් හොල්මන් වෙනවා. පරීක්ෂණ කරනවා කෙළවරක් නෑ. කේතුගෙ කාලවලදි ඒ වගේ ප්‍රශ්න බහුලයිනෙ. ඒ වගේ වෙලාවට හඳහන ගොඩක් වටිනවා. බඩේ තියෙන ප්‍රශ්නෙ හොයාගන්න බැරුව වෙන වෙන තැන්වල ලෙඩ හොයන කොට ජ්‍යොතිෂවේදියාට පුළුවන් අඩුම තරමේ ඉඟියක් හරි දෙන්න මෙන්න මෙතැනයි ලෙඩේ තියෙන්නෙ කියල. ඒකත් වටිනවනෙ වෙලාවෙ හැටියට.


කේතු මෝක්‍ෂකාරකයි කියනවා. අන්න හොඳ කතාවක්. මෝක්‍ෂය කියන්නෙ හින්දු දහමට අනුව නැවත ඉපදීමක් නෑ කියන එකනෙ. අපිට අනුව නම් නිවනනෙ. කේතුගෙ කාලවලදි සමහරු තනි වෙනවා නේද... අනිත් අයට වැඩිය මුහුණ දෙන්නෙ, කතා බහ කරන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ ඉන්න බලනවනෙ. සමහරු  කාමරයට වෙලා ඉන්නවා. ඇයි තනි වෙන්නෙ? තනි වුණාම තමයි තමන්ට තමන් හමුවෙන්නෙ. ගොඩක් දෙනෙක් තනි වෙන්න බය වෙන්නෙ තනි වුණාම තමන්ට තමන් මුණ ගැහෙන හින්දනෙ. කේතු තනිකම දෙනව. විවෘත ස්වභාවය අඩු කරනවා. කේතුගෙ කාලවලදි සමහරු තනියම ඉන්න හදනව වගේම  තදින් කෝපයට පත්වෙනවා. ඇයි කෝප වෙන්නෙ ? තමන් තමන් තුළට එබිලා බලන කොට මොන වගේ කෙනෙක්ද දකින්නෙ? ශාන්තුවරයෙක්ද ? නෑ. ගොඩක් දෙනෙක් තමන් තුළ ඉන්න තමන් දිහා බලන්න කැමති නැත්තෙ හොඳ කෙනෙක් දකින්න නොලැබෙන හින්දයි. තමන් දිහා බැලුවම දකින ඇත්ත මනුස්සයාට බය වෙනවා.කලකිරෙනවා. දුක හිතෙනවා. ඒ තරම් යක්ෂයොනෙ ගොඩක් දෙනෙක්ගෙ ඇතුළෙ ඉන්නෙ. කේතු අවස්ථාව උද කරලා දෙනවා තමන්ව මුණගැහෙන්න. තමන්ට තමන්ව හමු නොවී කොහොමද මොක්ෂයක් දකින්නෙ...  මෙහෙම වුණා කියලම කේතු මෝක්ෂය කරා අරගෙන යන්නෙ නෑ. ඒ කාලෙ මෝක්ෂය ගැන හිතන අය වැඩි වුණාට අද කාලෙ ලෞකික පැත්ත ගැන හිතන අය වැඩියි. ඔය අතරෙ දෙපැත්ත සමබර කරගෙන යන්න හදන අයත් ඉන්නවා. මේ ලක්ෂණ දීර්ඝ කාලීන නොවෙන්න පුළුවන්. තව ග්‍රහයො අට දෙනෙක් වෙනස් වෙවී බලපෑම් කරනවා. අන්තර් දශා වෙනස් වෙනවා. ඒත් මේ ගති ලක්ෂණ දැනගෙන ඉන්න එක වටිනවා.


මම දකින කේතු ඔන්න ඔය වගේ කෙනෙක්. 


සංජීව කුළුපන බණ්ඩාර