Saturday, March 30, 2019

අල්හාජ් මොහිදීන් බෙග්.


ලාංකික ජනතාව අතර තවමත් ජීවමාන අග්‍රගණ්‍යයේ ගායන ශිල්පියා අල්හාජ් මොහිදීන් බෙග්. ඒ ඔබේත් මගේත් ආදරය දිනාගත් අමරණීය ගායන ශිල්පියා යි.

පනහ දශකයේ අග භාගයේ දිනෙක ඉන්දියාවේ ස්ටුඩියෝවක ගැහැණු ළමුන් පිරිමි ළමුන් පනස් දෙනෙක් සමඟ මේ අමරණීය ගායන ශිල්පියා ගීතයක් ගායනා කළා. ගීතය ආරම්භ කර තප්පර කීපයකින් ඉන්දීය සංගීත අධ්‍යක්ෂ අනිල් බිස්වාන් පැමිණ ගීතය නතර කර මෙසේ විමසා සිටියා.
'මේක විනාඩි දාහතරක ගීතයක්...මේක එක දිගට කියන්න ඔයාට ශක්තියක් තියෙනවද...?'
සංගීත අධ්‍යක්ෂවරයා ගේ ප්‍රශ්නයට බෙග් මාස්ටර් මේ විදියට උත්තර දෙනවා.
'මේ සින්දුව මම කියනවා...නැත්නම් මැරෙනවා...'

එසේ කී මේ අසහාය කලා ශිල්පියා, එදා මෙදා තුර ලාංකීය බොදු ගී ඉතිහාසයේ සදා නින්නාද දෙමින්  බුද්ධාලම්භන ප්‍රීතිය උතුරා ගලා යන ගීතයක් සත්සර සමඟ මුසු කළා.

‘මෛත්‍රී කරුණා දූෂිත වී... ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී...
හිංසා පීඩා දේවිදෝ... මිනිසා තිරිසන් වේවිදෝ...
ඝෝර විසැති නයි පොළොඟුන් වන්...
මිනිසුන් මිතුරු වෙසින් එයි නම්...
එමවිට පවසනු මුවින් ඔබේ...
බුද්ධං සරණං ගච්ඡාමි...'
මේ සූදානම ඒ අමරණීය, ආදරණිය කලා ශිල්පියා ගේ ග්‍රහ බලය විමසුමට ලක් කිරීමට යි.
1919 දෙසැම්බර් මස 05 වැනි සිකුරාදා අලුයම සිකුරු හිමි බෙරණ නැකතින්, සිකුරු හිමි තුලා ලග්නයෙන් ඉන්දියාවේ දී  උපන් මේ කලා ශිල්පියා ඉතාමත් වාසනාවන්ත ග්‍රහ බලයකට හිමිකම් කියනවා. සකල කලාවට අධිපතිත්වය දරන සිකුරු ග්‍රහයාගේ පූර්ණ බලය විශේෂයෙන්ම කැපී පෙනෙනවා. උපන් නැකතත් සිකුරුට හිමි නැකතක් නම්, ලග්නයත් සිකුරුට අයත් ලග්නයක්නම්, ලග්නාධිපති සිකුරු ඉන්නෙත් සුවිශේෂ යෝගයක් උදා කරමින් ලග්න භාවයේම නම්, ඒ සිකුරු නවාංශකයෙත් බලවත් නම් තව මොනවද...ඒක තනිකරම කලා යෝගයක්ම යි. සිකුරුයි කලාවයි කියන්නෙත් හරියට ගහයි පොත්තයි වගේ තමයි.
තුලා ලග්නයෙන් ඉපදිලා, සිකුරු ලග්නගත වෙලා උදා කළ යෝගය 'මාලවි යෝගය' යි. මෙය පූර්ණ පුණ්‍ය බල යෝගයක් විදියට හැඳින්වෙනවා. බොහෝ දෙනෙකු ගේ ආදරයට පාත්‍ර කරවන, ජනප්‍රියතාවය හිමි කරවන, ඉතාමත් වාසනාවන්ත යෝගයක් බවට පිළිගැනෙනවා. මේ යෝගයේ බලය මොහිදීන් බෙග් කලාකරුවා ගේ ජීවිතය ඇසුරින් කදිමට විවරණය වෙනවා.
පුර පස චන්ද්‍රයා සත් වැනි භාවයේ තැන්පත්ව සිටිමින්, ලග්න භාවයේ බලවත්ව සිටින සිකුරුට හෙලන පූර්ණ දෘෂ්ටිය, කලා කුසලතාවය මෙන්ම ජනප්‍රියතාවය වඩාත් වර්ධනය කිරීමට හේතු වී තිබෙනවා..

නායක කාරකාදීන්ගේ සහයෝගය ලබන්නත් හැමෝටම බෑ. ඒකටත් හොඳ පින් බලයක් තියෙන්න ඕනෑ. කේන්දරයක ගුරු ග්‍රහයාගේ බලවත් බව ප්‍රභූ ඇසුර මෙන්ම ප්‍රභූ සහයෝගය ලැබීමට බොහෝ සෙයින් ඉවහල් වෙනවා. ගුරු උච්ච බලයෙන් යුතුව දස වැනි භාවයේ තැන්පත්ව 'ජයසිඳු' යෝගය උදා වී ඇති අතර, එම ගුරු හත් වැනි භාවයේ තැන්පත්ව සිටින සඳු ට කේන්ද්‍රගතව පිහිටීමෙන් 'ගජ කේශරී' යෝගය ද යෙදී තිබෙනවා. මොහිදීන් බෙග් මහතාට ලංකාවේ පුරවැසි භාවය ලබා දුන්නේ, 2500 වැනි බුද්ධ ජයන්තිය නිමිත්තෙන් පැවති උත්සවයකදී බෙග් මාස්ටර් ගායනා කළ 'දෙදහස් පන්සිය බුද්ධ ජයන්තිය බැබළේවා ලංකා' ගීතය සාවධානව අසා සිටි  අගමැති බණ්ඩාරනායක මහතා යි. පසු කලෙක පාකිස්ථාන ජනාධිපති සියාඋල් හක් මහතාගේ ගේ අනුග්‍රහයෙන් මක්කම පුදබිම වෙත යාමේ අවස්ථාව මෙන්ම, පාකිස්තානයේ සංචාරය කිරීමේ අවස්ථාව ද බෙග් මාස්ටර්ට උදා වුණා.


ගුරු ග්‍රහයාගේ බලවත් බව පුද්ගලයෙකු ගේ විනය සහ සදාචාරසම්පන්න බව ආරක්ෂා වීමට විශේෂයෙන් හේතු වෙනවා. කෙතරම් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටිය ද  අද බොහෝ කලා ශිල්පීන් ගේ නොමනා හැසිරීම් පිළිබඳව නොයෙක් විට අසන්නට ලැබෙනවා. ඇතැමුන් උන් හිටි ගමන් නීතියේ රැහැනට හසු වන අවස්ථා ගැන ද වාර්ථා වෙනවා. එවන් පුද්ගලයින් ගේ ජන්ම පත්‍ර තුළ ගුරු ග්‍රහයා දුර්වලව පිහිටා ඇති බව පෙනෙන්නට තිබෙනවා.

බෙග් මහතා ගේ විවාහය සිදුවුණේ 1947 වර්ෂයේදී යි. එනම් විවාහස්ථානය වූ හත් වැනි භාවයේ තැන්පත්ව සිටි සඳු ගේ මහ දශා කාලයේදී යි.

බෙග් මහතා ගේ කේන්දරය තුළ සටහන්ව ඇති තවත් යෝගයක් වෙත හැරෙමු. ඒ 'චාමර යෝගය' යි. ගුරු ද ඇතුළුව ශුභ ග්‍රහයින් දෙදෙනෙකු හෝ ගුරු වෙතින් දෘෂ්ටි ලබන ශුභයින් දෙදෙනෙකු 1,7,9,10 යන තැනක සිටීමෙන් චාමර යෝගය යෙදෙනවා. මෙම කේන්දරයේ ගුරු දස වැන්නේත්, සිකුරු ලග්නයේත් ඉතාමත් බලවත්ව යෙදී 'චාමර යෝගය' උදා වී තිබෙනවා. උතුමන්ගෙන් පවා හරසර ලැබීමට, කලා ශිල්පවල නිපුණත්වය ලැබීමට, ගුණදම් සපුරන විනයගරුක පුද්ගලයෙකු වීමට හේතු වන යෝගයක් ලෙස චාමර යෝගය සැළකෙනවා.


කලාවට අධිපතිත්වය දරන්නේ සරස්වතී දේවිය යි. සරස්වතී දේවිය ගේ නමින් හඳුන්වන යෝගය 'සරස්වතී යෝගය' යි. ගුරු,සිකුරු,බුධ යන ග්‍රහයින් ලග්නය, දෙවැන්න,සිව්වැන්න,පස්වැන්න,සත්වැන්න,නවවැන්න හා දසවැන්න යන ස්ථානයන්හි එක්ව හෝ වෙන් වෙන්ව හෝ දෙදෙනෙකු යෝගව තැන්පත්ව සිටී  නම්, එහිදී ගුරු උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව සිටී නම් එය සරස්වතී යෝගය යි. මොහොදීන් බෙග් මහතා ගේ කේන්දරයේ සිකුරු ලග්නයේ ස්වක්‍ෂේත්‍රව පිහිටා ඇති අතර බුධ දෙවැන්නේ ද, ගුරු උච්චව දස වැනි භාවයේද පිහිටීමෙන් සරස්වතී යෝගය ඉතාමත් අපූර්ව ලෙස යෙදී තිබෙනවා. මෙය, කුසලතා පූර්ණ අභිමානනීය කලාකරුවන් බිහි කරවන යෝගයක් ලෙසට අවිවාදයෙන් පිළිගැනෙනවා.

1991 වසරේ නොවැම්බර් මස 4 වැනිදා මොහිදීන් බෙග් මහතා තම දිවි සැරිය නිම කළ ද, අදටත් බණට, පිරිතට, පිංකමට,තොරණට, දන්සැලට,පෙරහරට සූදානම් වන කොතැනක වූවද ඒ මධුර මනෝහර හඬ අනිවාර්යයෙන්ම ඇසෙනවා. ඒ හඬ තවත් චිරාත් කාලයක් පුරා අමරණීයව නින්නාද දෙන බව ඒකාන්තයි.

සංජීව කුළුපන බණ්ඩාර.