විවාහය සඳහා කේන්දර ගැළපීම

                        පොරොන්දම් බලන්නේ ඇයි ?

              විවාහයට පෙර ගැළපීම පරික්ෂා කරන්නේ 
                නොගැළපෙනවානම් වෙන් කරන්නද?

      "කොයි දෙයක් උනත් කරන්න පිළිවෙලක් තියෙනවා. ඕවා දුර දිග යන්න කලින් දෙන්නගේ පොරොන්දම් ගැළපෙනවද බලන්න ඕනෑ. නොගැළපෙන දේවල්නම් කරගන්න දෙන්න බෑ........"
      අම්මලාගේ තාත්තලාගේ ඔය වගේ කතා ඉදිරියේ තරුණ දුරු පුත්තු අසරණ වෙනවා. දෙන්නට දෙන්නා ආදරෙයි නම් මොන පොරොන්දම්ද? පොරොන්දම් නොගැළපුනොත් අපිට වෙන්වෙන්න වෙයිද? අපේ ආදරේට වඩා පොරොන්දම් බලවත්ද? පොරොන්දම් කොහොමද විවාහයට බලපාන්නේ? තරුණ වයසේ ඉන්න දුරුන්ට පුත්තුන්ට ඔය වගේ ප්‍රශ්න මතුවෙනවා.
       "පොරොන්දම්" කියන වචනයේ තේරුම "පෙර අන්දම්" කියන එකයි කියලා සමහරු කියනවා. පෙර අන්දම් කියන්නේ පෙර භවයේ බැඳීම මොන වගේ මොන ආකාරයකට තිබුණාද කියන එකයි. කොහොම වුණත් දෙන්නෙක්ගේ කේන්දර ගැළපෙනවාදැයි පරික්ෂාකිරීම බොහොම ගැඹුරු කාර්යයක්. කේන්දර දෙකක් උඩින් පල්ලෙන් බලලා ගැළපෙනවද නොගැළපෙනවද කියළා තීරණය කරන්න බෑ. ඒ වගේම දෙන්නෙක්ගේ ගැළපීම බලන්නේ නොගැළපෙනවානම් වෙන් කරන්නම නෙමෙයි. නොගැළපීම් ගැළපීම් බවට පත්කරගන්නා ආකාරය පෙන්වා දීමටයි. මතුවියහැකි අවදානම් අවබෝධ කර දීමටයි. එම අවදානම් වලට මතුවන්නට ඉඩ නොදී යටපත් කරගන්නා ආකාරය අවබෝධ කර දීමටයි. අනොන්‍ය අවබෝධය, ලෙන්ගතුකම හා ආදරය බිඳ වැටෙන්නට ඉඩ නොදී පවත්වාගෙන යන අයුරු පැහැදිලි කර දීමටයි. 
          පොරොන්දම් යනු කේන්දර ගැළපීමේදී පරික්ෂා කෙරෙන කරුණු 20 ක් පමණයි. වඩාත් වැදගත් වන්නේ කේන්දර යුගළයේ සියළු ග්‍රහ පිහිටීම් මනාව පරික්ෂා කිරීමයි. යුග දිවිය තුළ මතුවියහැකි සියළු කරදර, ගැහැට, අභියෝග සටහන් වන්නේ දෙදෙනාගේ කේන්දර තුළයි. නමුත් අද ඇතැම් දෛවඥ මහතුන් පරික්ෂා කර බලන්නේ පොරොන්දම් 20 පමණයි. පොර්න්දම් 20 න්  පමණක් විවාහයක සාර්ථක අසාර්ථක බව තීරණය කරන්න බෑ. කේන්දර දෙකක ගැළපීම පරික්ෂාකිරීම ඉතාමත් ගැඹුරු කාර්යයක් බව පවසන්නේ ඔය හින්දයි. 
            ආදරය කරන කාලෙදි දෙවිවරු දේවතාවියො වගේ හැසිරුණු සමහරු යුග දිවියෙදි යක්ෂයො යක්ෂණියො බවට පත්වෙනවා. සමහරුන්ට එක සහකාරියකගෙන්, සහකරුවෙකුගෙන් සැහීමකට පත්වෙන්න බෑ. සමහරුන්ට ආවේගය පාලනය කරගන්න බෑ. සමහරු හරිම ගුප්තයි, රහස්‍යයි. රහස් වැඩ වලටමයි පෙළඹෙන්නේ. ආදරය කරන කාලෙදි තමන්ව නැතුවම බෑ වගේ හැසිරුණු සමහරු විවාහයෙන් පස්සේ තමන්ගෙ පාඩුවෙ වෙනම ගමනක් යනවා.සමහරු ආදරය කරන්නෙ ලැබෙන්න තියෙන දේපළ, මිල මුදල් වලට විතරයි. ඔන්න ඔය වගේ විවිධාකාරයේ චරිත සමාජයේ ජිවත් වෙනවා. පුද්ගලයා මොන වගේ කෙනෙක්ද? පෙන්නන්නේ සැබෑ ආදරයක්ද? පේන්න තියෙන්නේ සැබෑ ස්වරූපයමද? විවාහයෙන් පස්සේ වෙනත් අය පස්සේ යයිද? තියෙන්නේ හැමදාම පවතින ආදරයක්ද? ලැබෙන දරුවන්ට සෙනෙහෙබර මවක් වෙයිද? ආදරණිය පියෙක් වෙයිද? ඔන්න ඔය වගේ කාරණා කේන්දරය තුළින් සොයා දැනගන්න ඕනෑ. හැබැයි ඉතින් ඔය වගේ කාරණා හරියටම කියන්න පුළුවන්කම තියෙන ජ්‍යොතිෂවේදියෙක්ව තෝරාගන්නත් ඕනෑ.
                තමන් විවාහ වෙන්න ඉන්න කෙනා ගැන විස්තර ඉහතතින් සඳහන් කළ විදියට අහලා දැනගන්න. අනිත් කෙනා පොඩි දේකටත් කේන්ති ගන්න කෙනෙක්නම් ඊට ගැළපෙන විදියට ජිවත් වෙන්න තමන්ට පුළුවන් වෙනවා. අනිත් කෙනාගේ ආශාවන්, රුචි අරුචිකම්, ඇවතුම් පැවතුම් ගැන හරියට දැනගත්තම එයත් එක්ක ලොකු ප්‍රශ්නයක් මතු නොවන විදියට ජිවත් වෙන්න පුළුවන්. "නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳයි" කියලා කියමනක් තියෙනවා.යක්ෂයෙක් වගේ කෙනෙක්ගේ වුණත් අභ්‍යන්තර ගති ලක්ෂණ, දුර්වලතා, මානසික ස්වභාවය හරියට අවබෝධ කර ගත්තොත් එයත් එක්ක කටයුතු කලයුතු "කලාව" අල්ල ගන්න පුළුවන් වෙනවා. 
        විවාහය කියන්නේ ජීවිතයකට තීරණාත්මක දෙයක්. කෙසෙල් ගහට ගහන මුක්කුව දුර්වල වුනොත් කෙසෙල් ගහයි මුක්කුවයි දෙකම බිම. අන්න ඒ වගේ තමයි ජිවිතයට වදින මුක්කුවත් දුර්වල වුණොත් ජීවිතය අනතුරේ වැටෙන්න පුළුවන්. වදින්න යන්නේ මොන වගේ මුක්කුවක්ද කියලා හරියට දැනගන්න නම් දෙන්නගේ කේන්දර දෙකේ ගැළපීම හරියට පරීක්ෂා කර ගන්න වෙනවා.මේ පරීක්ෂණය පරිඝනකයෙන් කරගත්තටවත්, නිසි දැනුමක් නැති දෛවඥ මහතෙකු ලවා කරගත්තටවත් වැඩක් වෙන්නේ නෑ. යමක් හරියට දැනගන්න ඕනෑ නිවැරදි දැනුම තියෙන කෙනෙක්ගෙන්මයි. 
         අද කාලයේ ගොඩක් දෙනෙක් විවාහ මංගල උත්සවයට විශාල මුදලක් වැය කරනවා. ඇඳුම් පැළඳුම් උපරිම ලස්සනට හදාගන්නවා. හොඳම කෙනෙක් ලවා හැඩ වැඩ වෙනවා. ජායාරුප ටික, වීඩියෝ පටය උපරිම විදියට සකස් කර ගන්නවා. ඒත් දෙන්නා කවුද කියලා හරියට අවබෝධ කර නොගත්තොත් සියල්ල මතක වස්තු බවට පත් කරගෙන සුසුම් ලන්න සිද්ද වෙනවා. ආදරෙන් බැඳිලා ඉන්න දෙන්නෙකුට වෙන්වෙන්න අමාරුයි. ආදරය කරන කාලෙදි හිතන්නේ ආදරය ගැන විතරයි. ඒත් විවාහය තුළ දරුවො ලැබෙනවා.විවාහය තුළ මතුවන ප්‍රශ්න, ගැටළු, කරදර ඉදිරියේ දරුවො අසරණ වෙනවා. මව්පියන් අතර අඬ දබර, අසමගිකම් ඇතිවෙනකොට දරුවො මානසිකව ඇදවැටෙනවා. අවේගශීලි වෙනවා.   
           අඬ දබර, අසමගිකම්, අතෘප්තිමත්කම්, නොරිස්සුම්, වලින් තොර සැනසිලිදායක යුග දිවියක් උදෙසා තමයි ගැළපීම බලන්නේ. යුග දිවි ගමන අතරමං නොවී සාර්ථකව යන්නනම් දැනගෙනම යන්න ඕනෑ. එහෙම නොවුනොත් ජායාරුප ඇල්බමය ගෙදරට ගේන්නත් කලින් දෙන්නා දෙපැත්තක ඉන්නත් පුළුවන්.  

                     ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දේශමාන්‍ය 
                                       ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර