Wednesday, November 9, 2022

 


සිත එහෙමත් නැත්නම් මනස හරියට දුරකථන සම්ප්‍රේක්ෂණ කුළුණක් වගෙයි. ගුවන්විදුලි සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානයක් වගේය කියල කියන්නත් පුළුවන්. මේ සම්ප්‍රේක්ෂණ කුළුණු ඉලෙක්ට්‍රොනික තරංග අවශෝෂණය (Receiving) කරගන්නවා. ඒවගේම ඉලෙක්ට්‍රොනික තරංග මුදාහරිනවා (Transmisson). මනසේ ස්වභාවික ක්‍රියාවලිය ගුවන්විදුලි සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානයකට එහෙමත් නැත්නම් දුරකථන සම්ප්‍රේක්ෂණ කුලුණකට සමාන කරන්න පුළුවන්. 


සංඛ්‍යාතය (Frequency) ගැන හැමදෙනාම වගේ අහල තියෙනවා. විද්‍යාව ඉගෙනගත්තු අය සංඛ්‍යාතය ගැන දන්නවා. සංඛ්‍යාතය කියන්නෙ පුනරාවර්ත  සිදුවීමක ඒකක කාලයකදී  සිදුවන කම්පන සංඛ්‍යාව යි කියල තමයි උගන්වන්නෙ. සරලව කියනවා නම් 'කම්පන ප්‍රමාණය' කියල කියන්න පුළුවන්. ලෝකයේ ජීව අජීව සෑම සියලු දෙයකම සංඛ්‍යාතයක් තියෙනවා. ජීවීන්, ගහකොළ,ශබ්දය,ආලෝකය,සිතුවිලි මේ හැම දෙයකම සංඛ්‍යාතයක් තියෙනවා. සංඛ්‍යාතය මණින ඒකකය හර්ට්ස් (Hz) කියල හඳුන්වනවා.



නිශ්චිත තරංග මාලා ලබාගැනීමට වගේම නිශ්චිත තරංග මාලා සම්ප්‍රේෂණය කිරීමට ඒ ඒ තරංග සංඛ්‍යාතවලට අනුගත වෙන්න ඕනැ. ඒ කියන්නෙ සංඛ්‍යාත ගළපාගන්න වෙනවා. අපි මේ ජීවත්වෙන ලෝකය හඳුන්වන්නෙ තුන්වැනි පරිමානීය ලෝකය කියලයි. අපි  සුසර වෙලා තියෙන්නෙ මේ තුන්වැනි පරිමානීය ලෝකයේ තරංග සංඛ්‍යාතයන්ට අනුකූලවයි. අපි උපදින්නෙම මේ ලෝකයට ගැළපෙන සංඛ්‍යාතයක් අරගෙනමයි. අපිට නොපෙනෙන දේවල්, නොඇසෙන ශබ්ද, නොදැනෙන දේවල් බොහොමයි. අපට ඇසෙන ශ්‍රව්‍ය සංඛ්‍යාතයක් වගේම පෙනෙන දෘශ්‍ය සංඛ්‍යාතයක් තියෙනවා. ඒ සීමාවෙන් පිටත දේවල් දැකගැනීමේ හෝ ඇසීමේ හැකියාවක් නෑ. අපට ඇහෙන්නෙ Hz 20 - Hz 20000 අතර ශබ්ද පමණයි. Hz 20 ට අඩු ශබ්ද අපට ඇහෙන්නෙ නෑ.  අපට නොඇසෙන ශබ්ද ඇසීමේ හැකියාව, අපට නොපෙනෙන දේවල් දැකීමේ හැකියාව සමහර සතුන්ට තියෙනවා.  ඒ හැකියාව තියෙන අය මනුෂ්‍යයින් අතරත් ඉතාමත් අල්ප වශයෙන් ඉන්නවා. ලෝක ජනගහණයෙන් සියයෙන් එකකට පාරජම්බූල කිරණ පෙනෙනවා. ලෝක ජනගහණයෙන් දාහෙන් එකකට අධෝරක්ත කිරණ පෙනෙනවා. ප්‍රේත ආත්ම වැනි අමනුෂ්‍යයින් දැකගැනීමේ හැකියාව ඇති අය, ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව ඇති අයත් ඉන්නවා. එය මනස නිශ්චිත සංඛ්‍යාතයට උවමනාවෙන් සුසර කර ගැනීමෙන් ලැබෙන ශක්තියක් නොවුණත් අදාල සංඛ්‍යාතයට ස්වභාවිකව සුසර වීමක් විදියට හඳුන්වන්න පුළුවන්. එවන් හැකියාවන් කලෙක ඇතිවී නැවත නැතිවී යන අවස්ථා වැඩියි.


අපි අහලා තියෙනවා "මාර්ග ඵල" ගැන. සෝවාන්,සකෘදාගාමී, අනාගාමී, අරහත් කියල මාර්ග ඵල 4 ක් තියෙනවා. ඒ වගේම බුද්ධත්වය නැත්නම් 'බුද්ධ' කියල ස්වභාවයක් තියෙනවා. මේ මාර්ගඵල කියන්නෙත්, බුද්ධත්වය කියන්නෙත් විශේෂ සංඛ්‍යාත මට්ටම්. බුද්ධත්වය එහෙමත් නැත්නම් බුද්ධ ස්වභාවය කියන්නෙ ඉහළම සංඛ්‍යාත මට්ටම විදියට හඳුනාගන්න පුළුවන්. මේ සියලු මාර්ගඵල ලැබෙන්නෙ අවබෝධය තුලින්. අවබෝධය කියන්නෙ දැනුම නෙමෙයි. දැනුම කියන්නෙ  අනුන්ගෙන් ණයට ගන්නා දෙයක්. කිසිම රාමුවකට කොටු වෙලා, විශ්වාසයකට ඇලිලා, දැනුමක හිර වෙලා අවබෝධයට පත් වෙන්න බැ.  අවබෝධය ඇතිවෙනවා කියන්නෙ තරංග සංඛ්‍යාත මට්ටම ඉහල තත්වයකට පත් වෙනවා කියන එකයි. අපි දන්නවා 2G, 3G,4G, 5G කියල තාක්ෂණයන් තියෙනවා. 5G තාක්ෂණය ( fifth-generation technology) සෙසු තාක්ෂණයන්ට වඩා වේගවත් බවත්, එහි සංඛ්‍යාත ගොඩනැගිලි හා තාප්ප හරහා බාධාවකින් තොරව වැඩි දුරකට සම්ප්‍රේෂණය කල හැකි බවත් කියනවා. ගොඩනැගිලි, තාප්ප වගේ දේවල් හරහා බාධාවකින් තොරව ගමන් කරනවාය කාරණය මෙතැනදි වැදගත් වෙනවා. ඒ සංඛ්‍යාත පරාශයේ වැදගත්කම, ශක්තිය ගැන තමයි මේකෙන් කියැවෙන්නෙ.


මීට වසර දහස් ගණනකට පෙර අද අපි අත්විඳින ආකාරයේ සන්නිවේදන තාක්ෂණයන් තිබුණු බවට සාක්ෂියක් හෝ සඳහනක් නෑ. භාවනා ක්‍රම මඟින්, ධ්‍යාන වැඩීමෙන් සිදු කළායැයි කියන අනුන්ගේ සිත් කියැවීම, ගුවනේ ගමන් කිරීම, ජලය මතුපිට ගමන් කිරීම, සිටින තැනින් තවත් තැනක පෙනී සිටීම ආදී නොයෙක් දේවල් ගැන සඳහන් වෙනවා. භාවනා කිරීම කිව්වත්, ධ්‍යාන වැඩීම කිව්වත් මේ  කියන්නෙ  නිශ්චිත තරංග සංඛ්‍යාතයකට සුසර වෙනවාය කියන එක මිසක් වෙන දෙයක් නෙමෙයි. අද තාක්ෂණය මඟින් අත්විඳින විශ්මයජනක අත්දැකීම් එදා නොයෙක් දෙනා ඉහළ සංඛ්‍යාතවලට එසැවීම තුලින් සිදු කර තිබෙන  බව තේරුම් ගන්න පුළුවන්.


ලෝකයේ සෑම සියලු දෙයකම තරංග සංඛ්‍යාතයක් තියෙනවා. ගස් වැල්වලත් තරංග සංඛ්‍යාතයක් තියෙනවා. ගෞතම බුදුන් වහන්සේ සෙවන දුන් ගස බෝ යනුවෙන් හඳුන්වනවා. එය ඇසතු වෘක්ෂය වුණත් බුද්ධත්වයේදී උපකාරී වුණු බැවින් බෝ හෙවත් බෝධි යනුවෙන් හඳුන්වනවා. අදටත් බොහෝ දෙනා බෝධි පූජා පවත්වමින් බෝ ගසෙන් පිහිට අපේක්ෂා කරනවා. යහපත් සිතින් ගස් සමඟ කරන සෑම කටයුත්තක්ම සංඛ්‍යාත ගණුදෙනුවක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙතනදී වඩාත් වැදගත් වෙන්නෙ සිතුවිලි මිසක් වචන නෙමෙයි. කරුණාව මෛත්‍රිය ඔස්සේ සිතුවිලි තරංග සුසර කරගැනීම තුළින් තමයි නිසි ආශීර්වාදය ලැබෙන්නෙ. එතකොටයි ඒ ගණුදෙනුව ඵලදායක වෙන්නෙ. වචන කියන්නෙ ප්‍රාථමික මාධ්‍යයක්. උසස්ම සන්නිවේදනය, දිව්‍යමය සන්නිවේදනය සිද්ද වෙන්නේ සිතුව්ලි හරහා මිසක් වචන හරහා නෙමෙයි. ඒවගේම තමයි ඔය ගණුදෙනුව කරන්න පුළුවන්කම තියෙන්නෙ බෝධිය සමඟ හෝ අටවිසි බෝධීන් වහන්සේලා සමඟ පමණක් නෙමෙයි. ඕනෑම වෘක්ෂයක් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. ජ්‍යොතිෂයේ ඒ ඒ ග්‍රහයින්ට වෘක්ෂ වෙන් කරලා තියෙන්නෙත් ඒ ගණුදෙනුව සඳහා තමයි. ඒ ඒ ග්‍රහයින්ගෙ බලපෑම් නිවේදනය කරන කාලවලදි සිතුවිලි තරංග රටාව සංහිඳියාවකට පත්කරගන්න ඒ ගස් සමඟ අවබෝධයෙන් කළ යුතු සිතුවිලි ගණුදෙනුව නැත්නම් සංඛ්‍යාත ගණුදෙනුව ඉසිවරු පැහැදිලි කරලා තියෙනව.



නිශ්චිත තරංග සංඛ්‍යාතයන්ට වෙන්න නම් භාවනා කරන්න වෙනවා. භාවනා කිරීම ආගමකට අයත් දෙයක් නෙමෙයි. ආගම්වලත් භාවනා විධි තියෙනවා. බුදු දහමේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් ආදී වශයෙන් නම් කළ ඥාන මට්ටම් තියෙනවා. එහෙම 'නම්' නොකළත්, එවන් ඥාන මට්ටම්වලට පත් වුණු බොහොමයක් දෙනා මේ මොහොත වෙන කොටත් කොපමණ ඉන්න පුලුවන්ද...භාවනාව එහෙමත් නැත්නම් සුසරණය කියන්නෙ නිවන ඉලක්ක කරගෙනම කරන දෙයක් නෙමෙයි. නොයෙක් අරමුණු වෙනුවෙනුත් එය භාවිතා කරන්න පුළුවන්.  ලෞකික අරමුණු සාක්සාත් කරගැනීම, සුවය ආරක්ෂා රැකගැනීම, ආරක්ෂාව සලසා ගැනීම, අන්‍යයන්ට සුවය,යහපත සැලසීම, නොපෙනෙන බලවේග සමඟ සන්නිවේදනය කිරීම වගේ නොයෙක් අපේක්ෂා පෙරදැරිව භාවනාවේ යෙදෙන්න පුළුවන්.

සත්‍යය පවතින්නේ මේ මොහොත තුල පමණයි. අතීතය ගෙවී ගොස් අවසන්. අනාගතය තවමත් පැමිණ නෑ. අතීතය සහ අනාගතය යන දෙකම මායාවන් පමණයි. මේ මොහොත තුල සිහියෙන් සිටින්න. කරන කියන සියලු දේ වඩාත් සිහියෙන් යුතුව කරන්න. නිතර අතීතයට හෝ අනාගතයට නොයන්න. මේ ආකාරයට මූලාරම්භය ගන්න. මෙය අසීරු වුණත් අඛණ්ඩව කරගෙන යන්න. මනස ඔබව මේ මොහොත තුලින් ඉවත් කිරීමට දැඩි උත්සහයක් ගන්නවා. ඔබව අතීතයට රැගෙන යනවා. අනාගතයට රැගෙන යනවා. ඊට ඉඩ නොදෙන්න. හැකි තාක් මේ මොහොත තුල සිහියෙන් කටයුතු කරන්න. ඔබට නොසිතූ ප්‍රතිඵල ලැබෙන්නට පටන් ගනියි.


සංජීව කුළුපන බණ්ඩාර.