Sunday, October 27, 2019

මිථුන, කන්‍යා ලග්න හිමියන්ට ලංකා පොළවේ වාසිය වැඩිද ?



බුධ ග්‍රහයා සහ ශ්‍රී ලංකා භූමිය අතර තිබෙන විශේෂ බැඳීම කුමක්ද? ශ්‍රී ලංකාවේ බිහිවූ අගමැතිවරු ජනාධිපතිවරු බොහොමයක් දෙනා මිථුන හා කන්‍යා ලග්න හිමියන්ය. ඒ ගැන පැහැදිලි කරන්න නම් මුළටම යා යුතුය. ඒ කියන්නේ...නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයාගේ සිට වර්තමාන ජනාධිපතිවරයා තෙක් සියලු රාජ්‍ය නායකයින්ගේ ලග්නය සෙවිය යුතුය.

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වූයේ ඩී.එස් සේනානායක මහතාය. එතුමා මෙළොව එළිය දුටුවේ 1884 ඔක්තෝබර් මස 20 වෙනිදාය. ඒ, බුධට අයත් මිථුන ලග්නයෙනි. බුධගෙන් යෙදුණු භද්‍ර යෝගය නම් වූ පංච මහා යෝගයද ඇතුවය. එහෙම නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා මිථුන ලග්න හිමියෙකි.

නිදහස් ශ්‍රී ලංකාවේ දෙවැනි අගමැතිවරයා ඩඩ්ලි සේනානායක මහතාය. 1911 ජූනි මස 19 වෙනිදා උපත ලැබූ එතුමා කන්‍යා ලග්න හිමියෙකි. කන්‍යා ලග්නය බුධට හිමි ලග්නයකි. ඩඩ්ලි සේනානායක මහතා තෙවරක් අගමැති පදවියට පත්විය.

ශ්‍රී ලංකාවේ තෙවැනි අග්‍රාමාත්‍යවරයා වූයේ ජෝන් කොතලාවල මහතාය. 1895 අප්‍රේල් 04 වෙනිදා මෙලොව එළිය දුටු ජෝන් කොතලාවල මහතාගේ ලග්නය වූයේ බුධට අයත් කන්‍යා ලග්නයයි.

මේ අනුව 1956 තෙක් ශ්‍රී ලංකාව පාලනය කරනු ලැබුවේ බුධට අයත් මිථුන හා කන්‍යා ලග්න හිමියන්ය. 1956 මහ මැතිවරණයෙන් ජය ලබා අගමැති තනතුරට පත් එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා කුම්භ ලග්න හිමියෙකි. 

1959 සැප්තැම්බර් මස 26 වෙනිදා බණ්ඩාරනායක මහතා දැයෙන් සමුගත් අතර, අග්‍රාමාත්‍ය තනතුරට පත් වූයේ විජයානන්ද දහනායක මහතාය. 1902 ඔක්තෝබර් මස 22 වෙනිදා උපත ලැබූ විජයානන්ද දහනායක මහතා කන්‍යා ලග්න හිමියෙකි.

විජයානන්ද දහනායක මහතාගෙන් පසුව නැවත අගමැති තනතුරට පත්වන්නේ කන්‍යා ලග්නය හිමි ඩඩ්ලි සේනානායක මහතාය.

ඩඩ්ලි සේනානායක මහතාගේ ධූර කාලය මාස කීපයකට සීමා වූ අතර සිරිමාවෝ ආර්.ඩී බණ්ඩාරනායක මැතිනිය අගමැති තනතුරට පත් වූවාය. බණ්ඩාරනායක මැතිනිය බුධට අයත් කන්‍යා ලග්නයෙන් උපන්නියකි. 

1965 වසරේදී නැවත බලයට පත්වන්නේ බුධ හිමි කන්‍යා ලග්නයෙන් උපන් ඩඩ්ලි සේනානායක මහතායි. අනතුරුව, 1970 දී බලයට පත්වන්නේ බුධ හිමි කන්‍යා ලග්නයෙන් උපන් බණ්ඩාරනායක මැතිනියයි.

1977 වසරේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති තනතුරට පත් වූයේ ජේ.ආර් ජයවර්ධන මහතාය. 1906 සැප්තැම්බර් මස 17 වෙනිදා උපත ලැබූ ජේ.ආර් ජයවර්ධන මහතා බුධට අයත් කන්‍යා ලග්නයෙන් උපත ලැබූවෙකි. ජේ.ආර් ජයවර්ධන මහතා 1988 වසර තෙක් ජනාධිපති ධූරය හෙබවූ අතර එතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ය.

මේ අනුව 1959 වසරේ පටන් 1988 වසර තෙක් මෙරට පාලන බලය හිමි කරගෙන ඇත්තේ බුධට අයත් කන්‍යා ලග්න හිමියන්ය.1988 වසරේ ජනාධිපති තනතුරට පත් වූයේ කුජට අයත් මේෂ ලග්නය හිමි රණසිංහ ප්‍රේමදාස මහතා යි.

රණසිංහ ප්‍රේමදාස මහතා 1993 මැයි මස පළමු වෙනිදා හදිසියේ දැයෙන් සමුගත් අතර ජනාධිපති පදවිය හිමි වූයේ ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතාට ය. 1916 පෙබරවාරි 15 වෙනිදා උපන් ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා බුධට අයත් මිථුන ලග්න හිමියෙකි. වසර එකහමාරක කාලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරය හෙබවූ විජේතුංග මහතා 1994 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණු අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති ධූරයට පත් විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සඳුට අයත් කටක ලග්නයෙන් උපන්නියකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පස් වැනි විධායක ජනාධිපති ධූරයට පත් වන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. එතුමා බුධට අයත් කන්‍යා ලග්න හිමියෙකි. මහින්ද රාජපක්ෂ මහතා වසර දහයක් ජනාධිපති ධූරය හෙබවූ අතර 2015 වසරේ ජනාධිපතිවරණයෙන් ජයගනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන මහතාය.  එතැන්  පටන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය හොබවන මෛත්‍රීපාල සිරිසේන මහතා සිකුරුට අයත් තුලා ලග්න හිමියෙකි.

2019 නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ද මිථුන ලග්න හිමියෙක් ඉදිරිපත් වී සිටියි. ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා මිථුන ලග්න හිමියෙක් වේ දැයි දැන ගැනීමට තව දින කීපයක් ඉවසා සිටිය යුතුය.

1948 නිදහස ලබාගත් මොහොතේ උදා වී පැවතියේ කුම්භ ලග්නය බැවින් වැඩි වශයෙන් ශ්‍රී ලංකා කේන්දරය විග්‍රහ කරනු ලබන්නේ කුම්භ ලග්නය මුල් කරගෙනය. ශ්‍රී ලංකා ජනරජ කේන්දරය විග්‍රහ කෙරෙන්නේ රවි හිමි සිංහ ලග්නය මුල් කරගෙනය.ඒ, 1972 මැයි 22 වෙනිදා ජනරජය පිහිටුවනු ලැබූ මොහොත මුල් කරගෙනය. බ්‍රිතාන්‍යයන් විසින් පහතට හෙළනු ලැබූ ශ්‍රී ලංකා ජාතික කොඩිය මහනුවරදී නැවත ඔසවනු ලැබුවේ 1948 පෙබරවාරි මස 12 වෙනිදා රාත්‍රී 08.30 ට බව සඳහන් වෙයි. ඒ මොහොතට අනුව උදා වී පැවති ලග්නය බුධ හිමි කන්‍යා ලග්නය යි.
කෙසේ වූවද නිදහස් ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වී ඇති රාජ්‍ය නායකයින් අතරින් වැඩි පිරිසක් මිථුන හා කන්‍යා ලග්න හිමියන් බව පැහැදිලිය.

ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
සංජීව කුළුපන බණ්ඩාර